චිරාත් කාලයක් (සමහර විට වසර 50 ක පමණ කාලයක්) ශ‍්‍රී ලංකාවේ එක්සත් ජාතික පක්ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පසුපස ගමන් කරන්නට පුරුදු වී සිටි ජනතාවක් මේ වන විට අන්දමන්ද වී වී ඇත. මේ තත්ත්වය අප සංයුක්ත දේශපාලන අර්බුදයක් ලෙස වටහාගත යුතුය.

2005 වසරේ දී රාජ්‍ය බලය අල්ලාගෙන 2010 වසරේ දී ඊළාම් අරගලය සුනුවිසුණු කර ලබා ගත් අත්තනෝමතික බලය හරහා මහින්ද රාජපක්ෂ අතින් සැබැවින්ම විනාශ වී ගියේ UNP යේ සංගතභාවය මිස ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංගතභාවය නොවේ. කිසිවකු කලින් බලාපොරොත්තු නොවූ ලෙස මහින්ද රාජපක්ෂ ඒ දක්වා ධනවාදයේ ඒජන්තයා වූ UNP ය සතු ‘ධනපතිකම’ වෙනුවෙන් පෙනී සිටීමට තිබූ සුජාතභාවය තියුණු ලෙස අභියෝගයට ලක් කළේය. හිමින් සැරේ පියා විදහමින් කියන්නේ නම් මහින්ද රාජපක්ෂ UNP නායකත්වය තමන්ගේ රාජ්‍ය බලය හැසිර වූ ආකෘතිය හරහා කොන්සර්වේවිට්වාදීන් බවට පත් කළේය. FCID ය හරහා UNP ය ධනේශ්වර ප‍්‍රාග්ධනයට වැට බදින ලදී. මේ හේතුව නිසා UNPයට උදව් කළ සාම්ප‍්‍රදායික ධනේශ්වර ස්ථරයන් ඉන් ඉවත් වී ජවිපෙ දෙසට හැරෙමින් සිටිති. ලංකාවේ ප‍්‍රධාන ධනපතියන්ට දැන් අවශ්‍ය වී ඇත්තේ තම ප‍්‍රාග්ධනය යෙදවිය හැකි විශාල ඉඩම් සහ ඒ ඉඩම් මත ඉදිකළ හැකි විශාල කර්මාන්තශාලාය. චීනය මෙහි උත්පේ‍්‍රරක ක‍්‍රියාවට යොමු වනු ඇත.

2011 වර්ෂයේ සිට කුමාර මහත්තයා උත්සාහ කරන්නේ ‘සන්නිවේදන සමාජවාදයට’ හැරෙන්නටය. පණිවිඩයක් නොමැතිව හුදු සහභාගීත්වය (පිකටින්, උද්ඝෝෂණ, විරෝධතා) පමණක් සහිත මෙම සන්නිවේදන සමාජවාදය අන්තර්ජාලය තුළ ඇති වීඩියෝ ක‍්‍රීඩාවකට වැඩි වැඩි දෙයක් නොවේ. මේ ක‍්‍රීඩාවේ එක අන්තයක අධික‍්‍රියාකාරී ක‍්‍රීඩකයන් සිටින විට අනෙක් අන්තයේ සිටින්නේ ජනාධිපති කාර්යාලයේ නිලධාරියෙකි. ඔහු කරන්නේ සතියකට, මාසයකට පැවැත්වෙන ක‍්‍රීඩා ගණන එකතු කර ඒ සඳහා පාවිච්චි කළ යුතු උපායමාර්ග සකස් කිරීමයි. උදාහරණයක් ලෙස මේ දක්වා මෙම උද්ඝෝෂණ විසුරුවා හැරීමට යොදාගත්තේ බැටන් පොලු වුවත් පසුගිය දා ඒ සඳහා කුරුදු පොලු පාව්ච්චි කිරීමට උපදෙස් දෙන ලදී. ‘තත්ත්වය’ කුමාර් මහත්තයා හිතන ආකාරයට අනුව පෙලගැසෙන්නේ නම් ශිෂ්‍ය සටන් මේ වන විට කම්කරු අරගල දක්වා වර්ධනය විය යුතුය. ‘සමාජවාදය’ තවදුරටත් දුගීන් තුළ සහ ධනපතියන් තුළ පැළ කළ නොහැක. එය මැද පන්තියට සීමා වී ඇති ප‍්‍රපංචයකි. එනිසා ප‍්‍රාතිහාර්යවලට විශාල ඉඩක් දැන් බිහි වී ඇත. වාමාංශයට උදව් කළ පිරිස ඉන් විතැන් වී ඇත. ඔවුන්ගේ පරමාදර්ශ කරපින්නාගෙන යන අයට කනත්ත දෙසට විවෘත වූ මාර්ගයක් ඇත.

මේ වන විට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කැඩී පවතින අතර UNPය රනිල් කේන්ද්‍රය සහ සජිත් පරිවාරය ලෙස අභ්‍යන්තරයෙන් භේද වී ඇත. නිශ්චිත එක මොහොතක දී මේ දෙකට වෙන් වී ඇති පලු දෙකක් ඒකාබද්ධ වීමට නියමිතය. එය සිදුවන ආකාරය පුරෝකථනය කිරීමට හැකියාවක් නැත. සමාජවාදීන්ට සිදු වූ දෙය සිංහල ජාතිවාදීන්ටත් සිදු විය හැක. එය නෝර්වේ ව්‍යාපෘතියකින් අවසන් විය හැක.

බොහෝ දෙනා ක‍්‍රීඩා පිටියේ සෙල්ලම් කරන බව සැබෑය. නමුත් ප‍්‍රාතිහාර්යක් සිදු වන තුරු අපි ක‍්‍රීඩා පිටියට එන්නේ නැත. සංස්කෘතිය තවදුරටත් අපගේ කේන්ද්‍රය නොවේ. මධ්‍යගත මතවාදී සැකැස්මක් නොමැති තැන සිදු වන දෙය හැසිරවීම අපට පහසුය. කුමාර් මහත්තයා නුගේගොඩ රැස්වීමේ දී චිත‍්‍රපට විචාරකයන්ට පවා පුටු වෙන් කිරීම අපගේ පැත්තෙන් යහපත්ය. දැනට මේ ඇතිය.

ඔබේ අදහස කියන්න...