අප ජීවත් වන්නේ සන්නිවේදන ධනවාදී යුගයකය.  එයින් අදහස් වන්නේ මේ ධනවාදී යුගය වඩවඩාත් සන්නිවේදනය හරහා තම වෙළඳපොල පුළුල් කර ගනිමින් සිටින බවයි.  ජිජැකියානු පාසලේ ඉතාම වැදගත් විචාරිකාවක් වන ජොඩි ඩීන් ට අනුව එවන් සන්නිවේදන යුගයක දේශපාලන පක්ෂයක් ක්‍රියාත්මක විය යුතු ආකාරය ගැටළු සහගත බවක් පෙන්නුම් කරන බවයි.  මන්ද දේශපාලනය යනු පුද්ගලයින් හා කණ්ඩායම් සංවිධානයවීම වෙනුවට ‘සන්නිවේදනය කිරීම’ නම් ක්‍රියාව ම සංවිධානය වීම ලෙස වැරදි තේරුම් ගැනීමකට ගමන් කර ඇති බව අපට ටියුනිසියානු, ලිබියානු හා ඊජිප්තු ෆේස්බුක් අරගල වලින් උගත හැකිය.  එක් සමාජ ජාලා පණිවිඩයක් ඔස්සේ ලක්ෂ ගණනක් මිනිසුන්, යම් ස්ථානයකට කැඳවා ගත හැකි බවට වන ‘දේශපාලන පණ්වුඩය’ සාර්වත්‍රික අර්ථයකින් අද දිනටත් වලංගු බව එම අරගල තුලින් අපට පෙන්නුම් කළ ද එම ‘රැස්වීම’ නම් ක්‍රියාවෙන් පසුව යම් පාලන තන්ත්‍රයක පලවා හැරිය හැකි බව මැද පෙරදිග අරගල භුමියෙන් ඔබ්බට ලාංකික මහපොළොව මත ද සත්‍යයක් විය හැකි බව යහපාලනයේ ආගමනය තුල අපට පසක් විය.  ඒ අර්ථයෙන් මිනිසුන් යම් විශ්වීය හැඟවුමක් (Universal Signifier) වටා තවදුරටත් නුතන අර්ථයෙන් එක් රැස් විය හැකි බව විසින් මෙලන්කොලික ෆුකුයාමාවාදින්ට හොඳ පිළිතුරක් 21වන සියවස ලබා දෙයි.

මේ තත්වය මෙසේ තිබිය දී ම ඉහත සඳහන් කළ ජොඩි ඩීන් නම් විචාරිකාව ඉතා වැදගත් කරුණක් අපට සිහිගන්වයි.  ඊජිප්තු මාදිලියේ අරගල විසින් අවසානයේ සිදුකලේ කුමක් ද? එනම් පැවති තත්වයටත් වඩා නරක තත්වයක් නැතිනම් ඉච්ඡාභංගත්වයක් එම විප්ලවීය ‘සිද්ධියට පසු’ (after the event) එම දේශපාලන සන්දර්භයක් කරා රැගෙන ඒමයි.  මේ තත්වය අද්‍යතන යහපාලන අරගලයෙන් පසු එක්තරා දුරකට දැකගත හැකි එක තැන පල්වෙන විෂාදී ස්වරුපයකි.  මෙම සන්දර්භයද මිනිසාගේ අපේක්ෂාභංගත්වය (angst) මීට පෙර පැවති පීඩනයට (Oppression) වඩා ඉතා වැඩියි.  මෙයට  ප්‍රධාන හේතුව ‘සිද්ධියට පසු’ සංකේතීය පිළිවෙලේ ඉස්මතු වී ඇති අවුල් සහගත තත්වයයි.  යහපාලනවාදීන් තම තමන්ට කැමති කැමති දේ කියන කරන අතර එක් නිශ්චිත හැඟවුම්කාරකයට අවනත වීම සපුරාම අමතක කර දමා ඇත.  මෙය බරපතල විපරීත තත්වයක් වන අතර මෙහි නරක ප්‍රතිඵල ඉතා තදින් සමාජයට දැනේ.  මෙය දේශපාලනය වේශයෙන් පැමිණි බරපතල අදේශපාලනයකි.

අපි නැවතත් ජොඩි ඩීන් වෙත හැරෙමු.  මෙවන් සන්දර්භයක දී පක්ෂයක කාර්යය කුමක් ද? ධනවාදයේ නිමක් තෙරක් නොපෙනෙන ජයග්‍රහණයෙන් පසුව වාමාංශික පක්ෂ විසින් තම කාර්යභාරය පහත සඳහන් පරිදි ව්‍යුහගත කර ගෙන ඇත.

(අ.)         නිර්ධන පංතියේ ආශාව ප්‍රතිනිර්මාණය කිරීම හා ඒ වෙනුවෙන් නියෝජනය වීම.  ලාංකික සන්දර්භයක දී ජ.වි.පෙ. විසින් මෙහෙයවන ගොවි අරගල, දුෂණ විරෝධී දේශපාලනය, යහපාලනයට මුක්කු ගැසීම ඔස්සේ යම් යම් සුභසාධන තත්වයන් එම පංතිය කරා අත්පත් කර දීම මෙන්ම කුමාර් ගුණරත්නම් ගේ පක්ෂය විසින් ශිෂ්‍ය අරගලය නුගේගොඩ සිට තුම්මුල්ලටත්, තුම්මුල්ලේ සිට වෝඩ් පෙදෙසටත්, සහ තවත් කොහේ හෝ සිට කොටුවටත් දක්කන්නේ ඉහත ආශා නියෝජනය තුල විකසිත වෙමිනි.

(ආ.)       දෙවන වර්ගය නම් නිර්ධන පංතියට අවශ්‍ය ‘දැනුම’ පොම්ප කිරීමේ රැඩිකල් කාර්යභාරය වම්මුන් විසින් නිර්ලෝභීව තම කරමතට ගෙන තිබීම යි.  මේ සඳහා අත කැඩෙනකල් සමහරු ලියන අතර ඒවායින් මුහුණුපොත් සහ වෙබ් අඩවි පුරවා දමයි.  ලිපිවලට වඩා ලොකු කොමෙන්ටු දමයි.  ඒවා Share කරයි.  එසේම තම වර්ගීකරණයට අයත් නොවන අයට ‘දෝහීන්’ ලෙස හෝ ‘ප්‍රතිසංස්කරණවාදීන්’ ලෙස පටබැඳිනු ලබයි.

(ඇ.)        ජොඩි ඩීන් ට එතරම් හුරුපුරුදු නැති නමුත් තුන්වැනි කැලෑසියක් ද ලංකාවේ ඇත.  එනම් ඉහත දෙයාකාරයටම අයිති නොවන ගුප්ත, යටි බිම්ගත (අවශ්‍ය වු විටෙක කැලෑ පනින්නට සුදානම්) මුලධර්මවාදීන් ය.  ඔවුන් මුලික වශයෙන් දැනුම් විරෝධීන් වන අතර අඳුර ප්‍රිය කරයි.

ඉහත වර්ගීකරණයන්ට අමතරව (ප්‍රතිපක්ෂව) ජොඩි ඩීන් විසින් තව එක් වැදගත් දේශපාලන කාර්යයක් යම් වාමාංශික පක්ෂයකට සිදු කිරීමට ඇති බව පෙන්වා දෙයි.  එනම් සාමුහිකත්වය පිළිබඳව සාමුහික ආශාවක් නිර්මාණය කිරිමේ නුතන කාර්යභාරයයි.  මෙය කාර්යය වාමාංශික දේශපාලනය අමතක කර දමා ඇති හෙයින් ඉහත ඊජිප්තු අරගල මාදිලියේ ‘අර්ථ ශුන්‍ය’ ක්‍රියා සඳහා සමාජය සතු ඵෙන්ද්‍රිය සාමුහිකබව වැරදි ලෙස භාවිතා කිරිමේ අවකාශයක් නිර්මාණය වී ඇත.  ලංකාවේ යහපාලන අපේක්ෂාභංගත්වය ඉහත වාමාංශික හිඩැස (vacuum) නිසා බිහිවුවක් ලෙස අපට සඳහන් කළ හැකිය.  අද දවසේ යහපාලනයට නැත්තේ ද ඉහත සාමුහික බවයි. පොදු ආශාව ඉක්මවා කේවල ව්‍යාපෘති ඉස්මතිතට පැමිණ ඇත.  එක් එක් පක්ෂවල බිස්නස්කාරයන් වැඩ පටන්ගෙන ඇත.  ඔවුන්ට සාමුහික-සාර්වත්‍රික හැඟවුම්වලින් පලක් නැති අතර අවශ්‍ය වන්නේ තම තමන්ගේ සාක්කු පුරවා ගැනීමයි.  (මෙතනදී රනිල්ගේ සාක්කු පිරවීම අදාල වන්නේ කුමන තත්වයන් සඳහාදැයි සලකා බලන්න).

නමුත් සන්නිවේදන ධනවාදය ඉස්පොල්ලේ ගිහින් ඇති ලංකවේ අපේ රැස්වීම් ආවරණය කිරීමට මාධ්‍යකරුවන් පැමිණෙන්නේ නැත. වම්මු පැමිණෙන්නේ ද නැත. ඒ අර්ථයෙන් අප දෙස කිසිවෙක් බලා නොසිටින බව ගම්‍ය වන අතර එය අපට මහත් නිදහසකි. විශේෂයෙන් පරණ වම අප දෙස බලා ගෙන නැත. අපට කැමති විදියට අපේ අදහස් අපි ප්‍රකාශ කරමු. මිනිසුන් දැනුවත් කරමු. පොදු වටිනාකම් වල අගය පැහැදිලි කරමු. ජ. වී. පෙ. සහ පෙරටුගාමී සමාජවාදීන් විසින් ‘රැඩිකල්කරණය’ කරන ධාවනකාරී  සමාජ තීරු වලට අමතර බහුතර ජනතාවකට (ඊජිප්තු මුහුණු පොත් අරගල දිහා බලා සිටින ලක්ෂ සංඛ්‍යාත ජනතාව) අප වග කිව යුතු වෙමු.

පක්ෂයක් ලෙස අප ඉදිරියේ අභියෝග දෙකක් පවතී.  අරගල ගණනක පරාජයෙන් පසු ප්‍රබුද්ධ වාමාංශික දේශපාලනයක් ඉදිරියට ගැනීමට අවශ්‍ය වී ඇතිවාක් මෙන්ම සමාජය නුතනකරණය කිරීමේ වැඩපිළිවෙලක් ද අප ඉදිරිපත් කළ යුතුය.  එහිදී දැනුම සහ තාර්කික චින්තනය විශාල කාර්යයක් කරයි.  අනෙක් අතට අප නිපදවන දැනුම සාමුහික සමාජයක් පෝෂණය කිරීම දෙසට ද යොමු කළ යුතුය.  මෙය පහසු කාර්යයක් නොවන අතර සෑම අතකින්ම ඒ සඳහා ඔබගේ අධාරය අපට අවශ්‍ය වේ.  ඒ සඳහා ඔබගේ සහභාගීත්වය අද දවසේ අප වෙත ලැබී ඇති බව අපට පැහැදිලිය.  ඉදිරියට එය මීටත් වඩා අපට අවශ්‍ය වනු ඇත.  ‘ලිබරල්වාදීන් ධනවාදය කර ගසාගෙන ඉදිරියට යනවා වෙනුවට ඔවුන් ජාතිවාදය කර ගසා ගන්නේ ඇයි?’  අන් කිසිවක් නොව පුද්ගලවාදය තුල ගිලී ඇති ධනවාදයට සාමුහික බව ව්‍යාජ ලෙස පොම්ප කරන්නේ ජාතිකවාදය විසින් වීම නිසයි.  අවම වශයෙන් එවිටවත් ඔවුන් සමානයින් ලෙස පෙනෙනු ඇතැයි සිතන නිසාය.  සාමුහිකත්වය සඳහා කෙටි පරිපථ (short circuit) නොමැති බැවින් අපට ඇත්තේ එකම දුෂ්කර මාර්ගයක් පමණි.  එය හැදෑරීමේ සහ එම හැදෑරීම සමාජගත කිරීමේ දුෂ්කර මාවතයි. දීප්තිගේ ජීවිතය ගතවුවේ එයටය. අපගේ ජීවිතය ගතවනු ඇත්තේද එයටය. තවත් එක් සන්ධිස්ථානයක සිදුවූ අලුත් ගමනක ප්‍රථම පියවරට පැමිණි ඔබ ට අපගේ විප්ලවීය ආචාරය!

“අපට අප නිදහස් සේ දැනෙනුයේ අපගේ වහල්භාවය ප්‍රකාශ කිරීමට භාෂාවක් නොමැති හෙයිනි” (ස්ලෙවෝයි ජිජැක්).

 

පෙරටුගාමී පක්ෂය 

 

ඔබේ අදහස කියන්න...

4 COMMENTS

  1. මේ කියන “යටි බිම් ගත” කට්ටිය ඉන්නේ ගල්කිස්සේ ගුහාවක නේද ?

  2. බොහොම හොඳ ලිපියක්. අප දැනුම දෙමු. සමාජය (ජනතාව) තීරණය කරාවී.

  3. “ජොඩි ඩීන් ට එතරම් හුරුපුරුදු නැති නමුත් තුන්වැනි කැලෑසියක් ද ලංකාවේ ඇත. එනම් ඉහත දෙයාකාරයටම අයිති නොවන ගුප්ත, යටි බිම්ගත (අවශ්‍ය වු විටෙක කැලෑ පනින්නට සුදානම්) මුලධර්මවාදීන් ය. ඔවුන් මුලික වශයෙන් දැනුම් විරෝධීන් වන අතර අඳුර ප්‍රිය කරයි.”
    ජොඩි ඩීන් ඉන්නෙ ගොත්‍රික යථර්තයක් තුල නොවන නිසා ඔබලා ට හිතෙන වල් පල් හෑලි බටහිර අකඩමියාව තුල නෑ , බටහිර චින්තනය කතා කරාට ඔබලා තවම සත්භාවත්මකව ගොත්‍රිකය්

Comments are closed.