ඊයේ රෑ සිරස රූපවාහිනියේ අපි නොදන්න Live  අලුත්ම වැඩසටහනක් ගියා. මේ වැඩසටහනේ ප්‍රධාන තේමාව වුනේ පසුගිය පළාත් සභා මැතිවරණයයි. පළාත් සභා මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා ගත් අපෙක්ෂයන් තුන් දෙනෙක් මේ වැඩ සටහන ආරාධිතයින් ලෙස සහභාගි වුනා. මේ වැඩසටහනේ විශේෂත්වය තමයි මේ වැඩටහනේ පොඩි මල්ලියි,චූටි මල්ලියි හිටියේ නැහැ. ඒ වෙනුවට ඒ චරිත දෙක රගපෑවේ කිංස්ලි සහ චන්දන. ඔන්න දැන් පුරුදු විදිහට දැන්වීම් එහෙම දාලා අපි නොදන්න Live  වැඩසටහන පටන් ගත්තා. පොඩි මල්ලිගේ චරිතය රගපාන චන්දන සහ චූටි මල්ලි ගේ චරිතය රගපාන කිංස්ලි ඔන්න දැන් ආරාධිතයින්ව හදුන්වලා දෙනව. අද මේ වැඩසටහනට සහභාගි වන්නේ එක්සත් ජනතා නිදහස් සංධානයෙන් සුසාර දිනාල් මහතා, එක්සත් ජාතික පක්ෂයෙන් එස්.එම් මරීක්කාර් මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී  පක්ෂයෙන් සුසිල් කිදෙල්පිටිය මහතා. අද මේ තුන්දෙනා තම තමන් ගේ පක්ෂ නායකයන් මේ රටේ දේශපාලනය වෙනුවෙන් කළ මෙහෙවර සහ ඔවුන් ගේ අනාගත දේශපාලන බලාපොරොත්තු ගැන කතා කරනවා.

ඔව් පොඩි මල්ලි මුලින්ම අපි ආරාධනා කරන්නේ සුසාර දිනාල් මහතාට. දැන් සුසාර දිනාල් මහතා තම පක්ෂය සහ පක්ෂ නායකයා ගැන කතා කරන්නයි මේ යන්නේ. ඔව් සුසාර කියන්න ඔබ දැන් ඒ ගැන.

මට මේ අපි නොදන්න Live වැඩසටහනට ආරාධනා කිරීම ගැන මම චන්දනට සහ කිංස්ලිට ගොඩක් ස්තූතිවන්ත වෙනව.   මුලින්ම මම කියන්න කැමතියි අපේ මේ ජනාධාපතිතුමා තමයි මේ රටේ සේනාධිනායකයා වශයෙන් යුද්ධය අවසන් කලේ. දැන් ඔය එක එක අය තමන් යුද්ධය දින්නා යැයි පාරම්බෑවත් ඇත්තටම යුද්ධය දින්නේ අපේ ජනාධිපතිතුමා නිසයි. එතුමා නොහිටින්නට අපි තවමත් ත්‍රස්තවාදය නිසා බැට කනවා. මේ රටේ කුරිරු යුද්ධය අවසන් කරන්න අපේ ජනාධිපතිතුමා ගත්ත වෙහෙස මහන්සිය ගැන දන්නේ මේ රටට ආදරය කරන අය විතරයි. එහෙම කෙනෙක්ව මේ එන්.ජී.ඕ කාරයෝ දැන් ජාත්‍යන්තර දංගෙඩියට දක්කන්න හදනව. අපි විදෙස් කුමන්ත්‍රණ වලට බය නැහැ. මේ රට සිංහල බෞද්ධ රටක්. ඒ වුනාට මේ රටේ හැම කෙනෙක්ටම සමගියෙන් ඉන්න පුළුවන්. දැන් බලන්න තව ටික දවසකින් රටේ පාරවල් තව ගොඩක් හදනව. අපි මේ රට දකුණු ආසියාවේ ආශ්චර්ය බවට පත්කරන්නයි මේ හදන්නේ.

ඔව් චූටි මල්ලි මීලගට කතා කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ එස්.එම් මරික්කාර් මහතායි.

ස්තුතියි කිංස්ලි. දැන් බලන්න මෙයාලා සංවර්ධනයක් ගැන කතා කරනව. පාරවල් ගැන කතා කරනව. යුද්ධය ගැන කතා කරනව. ඒ වුනාට ඇත්තටම යුද්ධය අවසන් කරන්න පුළුවන් වුනේ ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා සටන් විරාම ගිවිසුම අත්සන් කරපු නිසයි. මේ රටේ අද මිනිස්සුන්ට කන්න අදින්න නැහැ. බඩු මිල අහස උසට නැගලා.කොළඹ පැල්පත්වාසීන්ව බලෙන් පන්නනවා. හොරකම් කරනවා. කොමිස් ගන්නවා. රෑට කොළඹ පාරවල් වල නයිට් රේස් යනව. බුගාති කාර් ගෙන්නවනා කෝටි ගනණ් දිලා. මිනිස්සුන්ට රස්සාවල් නැහැ. රස්සාවල් තියෙන අයටත් ජීවත් වෙන්න හොද වැටුපක් ලැබෙන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ කවදාවත් මෙහෙම වෙලා තියෙනවද? ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ ජනාධිපති වුන දවසට විතරයි මේ ප්‍රශ්ණ ඕක්කොම අවසන් වෙන්නේ.

ඔව් පොඩ් මල්ලි අවසන් වශයෙන් දැන් අදහස් දක්වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සුසිල් කිදෙල් පිටිය මහතා.

ඇත්තටම චන්දන මෙහෙමයි. කවුරු කොහොම කීවත් ගරු ජෙනරාල් සරත් ෆොන්සේකා තමයි මේ රටේ යුද්ධය අවසන් කලේ. එතුමා වෙඩි වැදිලා මර ඇදෙන් නැගිටලා යුද්ධ භූමියට ගියේ අවසන් ත්‍රස්තවාදියාවත් ඝාතනය කර මේ යුද්ධය අවසන් කරන්න අධිෂ්ඨානයක් ඇතිවයි. එතුමව දේශපාලන වශයෙන් පළිගැනීමට ලක්වුනා. මේ රට සිංහල බෞද්ධ උරුමයක් තියෙන රටක්. අපි හැම ආගමකටම හැම ජාතියකටම සළකනව. ඒ වුනාට හැමෝම මතක තියා ගන්න ඕන මේ රට රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් බේරගත්ත සිංහල අපේ රට බව. ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමාට හොද ආර්ථික දර්ශණයක් තියෙනව. එතුමා ජනාධිපති වුන දවසට විතරයි මේ රට සුඛිත මුදිත වෙන්නේ.

කතාව නතර කරපු ගමන් ඔන්න කිංස්ලි ( චූටි මල්ලි) කීවා අපි දැන් කෙටි විරාමයකට යනවා කියලා. ඔන්න දැන් පෙන්වනවා විරාමය අතරතුර දර්ශණ.

ඇත්තටම මචං මේ පාර ලොක්කා බොනස් එක උබටත් වැඩියෙන් දුන්නද? නැතුව මචං මට ඒ විතරක් නෙමෙයි අලුත් කාර් එකකුත් ගන්න කීවා. උබලා දෙන්නට කියන්න මචං මට ලොක්කා කිවා මාව පිටරට යවලා උපාධියක් කරවනවා කියලා. ඇත්තටම මචං අපි මොන පක්ෂයේ හිටියත් ඉතිං අපේ ලොක්කා කියන විදිහට වැඩ  කරනවා හැර වෙන මොනවා කරන්නද? උබලා කියන්නේ දැන් බලපන් අපේ ලොක්කා ගේ ඕන කණු ගොඩක් කර ගන්න ප්‍රධාන පක්ෂ තුනෙන් අපි තුන්දෙනා ඉන්නවා. ඒ වුනාට ජෙවිපී කාරයෙකුත් හිටියා නම් වැඩේ සම්පූර්ණයි. ඒ ගැන බය වෙන්න එපා බං ජේවීපී කාරයන්ගේ ලොකුම අත්තක් ලොක්කා අල්ලගෙන ඉවරයි. ඒ නිසා වැඩේ අංග සම්පූර්ණයි.

ඒ කතාවත් එක්ම මට දඩස් ගාලා ඇහැරුණා. එතකොට තමයි මම දන්නේ මම මෙච්චර වෙලා දැක්කේ හීනයක් කියලා. ඊට පස්සේ මම ඇස්දෙක වහගෙන ඒ හීනයේ ඉතිරි ටික දකින්න ෆුල් ට්‍රයි එකක් දුන්නා. ඒ වුනාට ඇත්තටම මට ඊට පස්සේ නින්ද ගියේ නැහැ.

 

 

ඔබේ අදහස කියන්න...