සයිටම් හරහා අධ්‍යාපනය පෞද්ගලීකරණයට එරෙහිව නැවත වටයකින් අරඹන ලද අරගලය මේ වනවිට සයිටම් වසා දැමීම යන කාරණය පමණක් අධිනිශ්චය වී එයට පමණක් ලඝුවෙන අයුරු නිරීක්ෂණය කළ හැකිය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ විසින් සුපූරුදු පරිදි සිය උරුමය නැවත විදහා දක්වමින්, අධ්‍යාපනය පෞද්ගලීකරණයට එරෙහිව පෙරට විත් සිටින ශිෂ්‍ය ව්‍යාපාරයද නොමග යවමින් එම අරගලය සුළු ධනේෂ්වර අවස්ථාවාදය වෙත පල්ලම් බස්සවමින් සිටී.

සයිටම් වසාදැමීම අරගලයේ එක් ජයග්‍රාහී සංධිස්ථානයක් වන බවට සැක නැත. එහෙත් අරගලයේ හැඩය අවසානයේ ප්‍රතිගාමී බලවේග මතින් තීරණය වන්නේ නම් අප එම මාවත ගන්නේ කුමටදැයි නැවත නැවත විමසා බැලිය යුතුය.අතීත පාඩම් අපට උගන්වා ඇත්තේ එයයි.

ශිෂ්‍ය ව්‍යාපාරය විසින් මැදිහත්ව අරඹන ලද මේ අරගලය මුල්වකවානුවේදී අධ්‍යාපනය පෞද්ගලීකරණයට එරෙහි විශාල බලමුළු ගැන්වීමක් ලෙස ඉදිරියට පැමිණි අතර අනිත් අතට පංතිමය ස්භාවයකින් ඉදිරියට ආ අරගලයක් විය.

ධනේෂ්වර අධ්‍යාපනය විසින් සකසන ලද සුළු ධනේෂ්වර සහ සාම්ප්‍රාදායික අගතීන් සමග කොයි තරම් පැටලී සිටියද මේ ශිෂ්‍යයන් බහුතරයක් පහළ අව වරප්‍රසාදිත කම්කරු,ගොවි පාංතික නියෝජනයන්ය.ප්‍රාග්ධනයට එරෙහිව කුළුගැන්වී අරගලකල යුතු ශ්‍රමිකයින් වෘත්තීය සමිතිවාදයට සහ ජාතිවාදය වැනි ප්‍රතිගාමිත්වයන්හී ගිලීසිටියදී කම්කරු තරුණ කොටස් වෙළඳපොල වන්දනාමාන කරමින් සිටිද්දී ශිෂ්‍යයින් මෙසේ ඉදිරියට පැමිණීම තුළ වාමාංශිකයින් ලෙස අප ඔවුන්ට පෙරටුගාමිත්වය දිය යුත්තේ කෙසේද?

අප මෙම අරගලයට සම්බන්ධ වන්නේ එවැනි පුළුල් අරථයක් සහිතවය එනම් හුදු ප්‍රායෝගිකත්වය පමණක් නොව ප්‍රශ්නය දෙසට න්‍යායාත්මක විග්‍රහයක් තුලින් පිවිස එය විචාරය කර දීමද අපගේ එක් අභිප්‍රායකි. අපගේ උවමනාව අධ්‍යාපනය වෙලඳ භාණ්ඩයක් කර එය ලාභ සමුච්චනය වෙනුවෙන් වූ ප්‍රාග්ධන තර්කණයට යටත් කිරීමට එරෙහිවීම සහ අනිත් අතට ධනේෂ්වර අධ්‍යාපනය සම්බන්ධයෙන් ඇති දෘෂ්ටිවාදය විචාරය කරමින් අධ්‍යාපනය සම්බන්ධයෙන් ලෙනින්වාදී මැදිහත් වීමක් කිරීමටයි.අපට අනුව රාජ්‍ය විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් සහ පුද්ගලික විශ්වවිද්‍යාල වල සිටින දෙපිරිසම අධ්‍යාපනය සම්බන්ධයෙන් සිටින්නේ එකම දෘෂ්ටිවාදයක වන අතර එතනදී දෙපිරිසම අසරණ අතර පෞද්ගලීක විශ්වවිද්‍යාල ශිෂ්‍යයා යනු ධනේෂ්වර සුරාකෑමට වැඩියෙන්ම ලක්වන්නායි.

අනිවාර්යෙන්ම මෙවැනි අරගලයක පෙරටුගාමිත්වය ගත යුත්තේ වාමාංශික දේශපාලන ව්‍යාපාර සහ කම්කරු ව්‍යාපාරයයි.මන්ද ශිෂ්‍යයින් යනු අරගලයක ප්‍රධාන පෙරමුණ නොවේ.ප්‍රාග්ධනයට එරෙහි අරගලයේ පෙරමුණ ගත යුත්තේ වැඩකරන ජනතාවයි.ශිෂ්‍යන්ට පමණක් තනිව ජයග්‍රහණය කල නොහැකිය.තාවකාලික ජයග්‍රහණ ලබාගත හැකිමුත් අඛණ්ඩ අරගලයක නිරත වීමට නම් සිදුවිය යුත්තේ වාමාංශික දේශපාලන ව්‍යාපාර සහ වැඩකරන ජනතාවගේ පෙරටුගාමිත්වය මෙවැනි අරගලයක තිබීමයි.

එහෙත් දැන් සිදුවෙමින් යන්නේ තක්කඩි අවස්ථාවාදීන්ගේ  දෙපාමුලට අරගලය ගෙනයාමයි.

Sitem1අදවන විට සයිටම් විරෝධී වේදිකා තනන්නේ වරප්‍රසාදලත් නිළධාරීවාදී වෘත්තීය සංගමයක් වන වෙද්‍ය නිළධාරී සංගමයයි.ඔවුන් අධ්‍යාපනය පෞද්ගලීකරණයට පක්ෂ අතර විරුද්ධ වන්නේ සයිටම් එකට පමණි.ඒ තම පංති ආස්ථානයන් රැකගැනීමේ ප්‍රතිගාමී යටිහිත්ද සහිතවය.අවස්ථාවාදී හෙළ උරුම නායකයින් පාර්ලිමේන්තුව තුල අධ්‍යාපනය පුද්ගලීකරණ යෝජනා ඇතුලත් බජට් එකට චන්දය දෙන අතර එළියට විත් සයිටම් වසා දමනු යැයි කෑගසමින් අපට කියයි. එකාබද්ධ විපක්ෂයේ තක්කඩියන් ඊලඟට බලයට පැමිණි පසු සයිටම් එකට දෙකක් විවෘත කරනු ඇත.

එවිට සමහර විට රනිල් වික්‍රමසිංහ සමග නැවත වේදිකාවට ගොඩ වෙන්නට දුමින්ද නාගමුව සහ අනුර දිසානයක සහෝදරවරුන් සිතා සිටිනවා වෙන්නට පුළුවන.

මේ අවස්ථාවාදීහූ කිසිවිටක අධ්‍යාපනය පෞද්ගලීකරණය හෝ මෙහි ඇති සැබෑ ප්‍රශ්නය විචාරය කරන්නේ නැති අතර ඒ වෙනුවට ශිෂ්‍යයින්ගේ හිස් තුල නිදන්ව ඇති සුළු ධනේෂ්වර අගතීන් කුළුගන්වමින් සහ ඔවුන්ගේ සුළු ධනේෂ්වර මනෝභාවයන් උත්සන්න වන අයුරින් කතා කරමින් ප්‍රතිගාමිත්වය නැවත නැවත තහවුරු කරමින් සිටිති. ධනවාදය යන්න තහනම් වචනයක් වී ඇති අතර වේදිකා මතදී ජ වි පෙ සහ පෙ ස පේ නියෝජිතයින්ට එය අමතක වේ. සියල්ලන් සැබෑවට සම්මුඛ වීම අත්හැර දෘෂ්ටිවාදි හොරා පොලිස් ක්‍රීඩාවක නිරතවී සිටිති.

අරගලය පුළුල් බහුජන ව්‍යාපාරයක් බවට පත්වීම නරකදැයි කවුරුන් හෝ විසින් මෙහිදී අසන්නට ඉඩ තිබේ.නරක නැත.පුළුල් බලවේගයන් සමහ දේශපාලනය කිරීම නරක නැත. ජයග්‍රහණයන් සඳහා එය උපකාරී වනවාද ඇත.එහෙත් එයින් ගුණාත්මක වෙනසක් සිදුනොවන්නේ නම් ඒ අවසානය නැවත වටයකින් තහවුරු කරනු ඇත්තේ පැරණි ක්‍රමයමය.සයිටම් වසා දැමූ පසු ඔය වේදීකාවෙන් බොහෝ දෙනෙකු බැස යනු ඇත.එහෙත් පැරණි වමේ භාෂාවෙන්ම කියන්නේ නම් අධ්‍යාපනය, සෞඛ්‍යය විකිණීම එතනින් නතර වනවාද? ඒ වෙනුවට ජයග්‍රාහී අවස්ථාවාදය විසින්  ධනේෂ්වරය ඊලඟට ගතයුතු හැඩය තීරණය කර දෙනු ඇත.

මොවුන්ට අමතක වන(හෝ නරුම ලෙස අමතක කරන ) සැබෑව ධනවාදයයි .අපට නම් ප්‍රශ්නයම ධනවාදයයි.මෙහි මූලය එයයි.සමහරෙකුට මෙසේ පැවසීම විහිළු සහගත විය හැක.නමුත් සැබෑ ප්‍රශ්නය එය නම් විසඳුම ඇත්තේ එයට  එරෙහිව අරගල කිරීම තුල නම් කල යුත්තේ එය හැර වෙන කුමක්ද?

wrong side of capitalismඑයින් මෙහා තමන්ගේ කොටුව තුල ගින්දර නිවීමට යාම අඩුම තරමේ ප්‍රතිසංස්කරණවාදයවත් නොවේ.

මේ පෙන්නුම් කරමින් සිටින්නේ නව පුළුල් වාමාංශික ව්‍යාපාරයක අඩුවයි. උදම් රළක් සේ නැග එන ශිෂ්‍ය,කම්කරු,බහුජන අරගලයන්ට නියම මාවත පෙන්වා සැබෑ ජයග්‍රහණයන්ට එනම්  සමාජයේ ගුණාත්මක වෙනසක් ඇති කිරීමට අලුත් අරගල ආකෘතියක් යෝජනා කිරීමට පටු චින්තනයනගෙන් වියෝවූ නව වමාංශික ව්‍යාපාරයක් තිබිය යුතුය. දැන් මේ අරගලය දිශානත වී ඇති දිශාව පෙන්වන්නේ එම අඩුවයි.

පුළුල් වාමාංශික පෙරමුණක් නිර්මාණය කරමු යැයි පවසා මුල්වටයකදීත්, ප්‍රජාතත්න්‍රවාදය දිනාගැනීම වෙනුවෙන් පුළුළ් ව්‍යාපාරයක් තැනමු යැයි කියා දෙවන වටයකදීත් ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂය දෙවතාවක් පුළුල් වාමාංශික ප්‍රගිතිශීලී බලවේගයක් පිළිබඳ බලාපොරොත්තු සහගත සහ උනන්දු වුනු සියලු පක්ෂ සහ සංවිධානයන් පසුගිය වකවානුවේ දැඩි මුළාවකට ඇද දමන ලදි.

ජ වි පෙන් ඛණ්ඩනය වි පැමිණ ඉන්පසු කුමාර් සහෝදරයාව රටින් පිටුවහල් කරනු ලැබ විශාල සෝදාපාළුවකට සහ අභ්‍යන්තර ඛණ්ඩනයන්ට ලක්වෙමින් සිටින විට පළමුව පොදු වමක් සඳහා යැයි කියමින් පෙ.ස පේ මූලික වී වමේ පක්ෂ සියල්ල කැඳවා සාකච්ඡා කරන ලද අතර අවුරුද්දක් පමණ අප සියළු දෙනාගේ කාලය නාස්ති කර සාකච්ඡා වටය අතරමැද නතර කරවූයේ අනෙකුත් වාමාංශික දේශපාලන පක්ෂවලට මේ සාකච්ඡා වටයට වූයේ කුමක්දැයි ඇසීමට තරම්වත් හේතුවක් ඉතිරි නොකරමිණි.

නැවත පසුගිය වසරේ ප්‍රජාතත්න්‍රවාදය දිනාගැනීම වෙනුවෙන් පුළුල් ව්‍යාපාරයක් තැනමු යැයි පවසමින් නැවත ඔවුන් අපටද ආරාධනා කර සිටියේය.කලින් වතාව සම්බන්ධයෙන් වූ අත්දැකීමත්, ඔවුන්ගේ දේශපාලනය පිළිබඳ  අප සවිඥ්ඥාණිකව සිටියද ඉතා සද්භාවයෙන් සහ උදාර අරමුණු සහිතව මෙම පුළුළ් පෙරමුණු සාකච්ඡා වෙනුවෙන් අපද සහභාගී වුණෙමු.

ප්‍රජාතන්ත්‍රවාදී අරගලය වෙනුවෙන් පොදු වාමාංශික දේශපාලන පක්ෂ සහ සංවිධාන එකමුතුවක් ගැන අදහසකින් අප එයට එකතු වුවද අපට පෙනී ගියේ එය එලෙස නොවන බවයි.එහි ලිබරල්වාදීන්ගේ සිට තනි තනි පුද්ගලයින්,අනන්‍යතා දේශපාලනයක නිරත කණ්ඩායම් වල සිට පාරේ සිටින පූසන් බල්ලන් දක්වා ඕනෙම කෙනෙකුට එය විවෘත විය.අප එම තත්වය සහ එහි ඇති සාරසංග්‍රහාවාදී බව මෙන්ම එකතුවන කණ්ඩායම්වල  පංති ස්භාවය,ඓතිහාසික කාර්‍යභාරයන්,තනි තනි පුද්ගලයින් සම්බන්ධව වගකීම්සහගත භාවයන් දිගින් දිගටම ප්‍රශ්න කරමින් එම එකමුතුව යම්කිසි නියමිත දේශපාලන අදහසක් සහිතව සංවිධානගත රාමුවකින් කටයුතු කිර්‍රිමට හරවා ගැනීම සඳහා දිගින් දිගටම මැදිහත් වුණෙමු.

අපගේ විවේචනයන් සනාථ කරමින් එම සාකච්ඡා වට සඳහා සැමවිටම සහභාගී වූයේ වාමාංශික සංවිධාන පමණි.අනිත් කණ්ඩායම් සහ තනි තනි පුද්ගලයින් කිසිදු වගකීම් සහිත භාවයකින් කටයුතු නොකල අතර හිටපු ගමන් ගෙදර යනගමන් කම්මැළිකමක් ආවිට මෙන් ඉඳ හිට පැමිණි අතර සමහරුන් පැමිණියේ කොළඹ පවත්වන සම්මන්ත්‍රණ සහ මාධ්‍ය සාකච්චා සඳහා පමණි.

ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ප්‍රධාන සටන් පාඨ  කිහිපයක් මුල් කරගෙන සංවිධානය කරන ලද මෙම ව්‍යාපාරයෙහි කුමාර් සහෝදරයාගේ නිදහසත්,පුරවැසි භාවය හිමිකරගැනීම කියන ඉල්ලීමද විය.අනෙකුත් ඉල්ලිම් ලෙස සියළු දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, කම්කරු මර්ධන නීතී අහෝසි කිරීම,ශිෂ්‍ය මර්ධනය නතර කීරීම ආදී ඉල්ලීම් විය. වසරකට ආසන්න කාලයක් සාක්ච්ඡා සම්මන්ත්‍රණ උද්ගෝෂණ පවත්වමින් ගෙන ආ එම ව්‍යාපාරය(මෙහි සියලු සංවිධාන ශක්තිය,ශ්‍රමය සහ වැඩි බර සියල්ල දැරුවේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සහෝදරවරුන්ය.) කුමාර් සහෝදරයාගේ නිදහස් වීමත් සමග ක්ෂණිකව නතර විය.තවමත් දේශපාලන සිරකරුවන් නිදහස් නැත.කම්කරු මර්ධන නීතී එලෙසමය.ශිෂ්‍යයන්ගේ ප්‍රශ්නත් එලෙසමය.එහෙත් වැඩේ එකවරම නතරවිය.

එහි කැඳවුම්කරු ලෙස කටයුතු කල චමීර කොස්වත්ත සහෝදරයා ආගිය අතක් නැතිය. (ඔහුව දුටු  කෙනෙක් සිටී නම් අපට පවසන ලෙස අප කරුණාවෙන් ඉල්ලා සිටින්නෙමු.).එයට සහභාගී වූ අනෙකුත් වමාංශික පක්ෂ සහ සංවිධාන වල සහෝදරවරුන් සිදු වුනේ කුමක්දැයි තම තමන්ගෙන් සහ එකිනෙකාගෙන් අසා ගනිමින් සිටිති.

අපට අවධාරණය කිරීමට ඇත්තේ මෙයයි .දැන් දැන් සිදුවෙමින් පවතින දේත් ඉහත සිදුවීම්ද පරීක්ෂා කර බලනවිට අපට ඉතාමත් අවලස්සන ලෙස පෙනෙන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අවස්ථාවාදයයි.

එහෙත් අප සටන අත් හැරීමට සුදානම් නැත.අපගේ සටන් කිරීම එදාසිටම බලාපොරොත්තු රහිතව සටන් වැදීමයි. අපගේ අරගලයේදී දැඩි ලෙස අවධාරණය කරන්නේ මේ දුර්දාන්ත සමාජ ක්‍රමය යන්නෙන් අදහස් කරන්නේ පුද්ගලයන්ගේ දේෂ පිළිබඳ නොවන බවය. ඒ නිසා කුමාර් ගුණරත්නම් හෝ අනුර කුමාර හෝ රනිල් වික්‍රමසිංහ ගැන ගැටලුවක් අපට නැත. අප සංවේදී වන්නේ සමස්ත ධනවාදී සමාජ ක්‍රමය ගැනය.

අපගේ අදහස පන්ති අරගලය මත පදනම් වී පොදු වමක් අප බළමුළු ගැන්විය යුතු බවයි. පන්ති අරගලය මත පදනම් නොවී සාංසිද්ධික කරුණු මත ඉදිරියට යන ව්‍යාපෘතියකින් අපට එය නිර්මාණය කරගත නොහැකිය.අප හැරිය යුත්තේ විසිවන සියවසේ සමාජවාදය දෙසට නොව විසි එක්වෙනි සියවසේ කොම්යුනිස්ට්වාදය දෙසටය.

පටු අවස්ථාවදයට සහ ප්‍රතිසංස්කරනවාදයට ඇද නොවැටෙමින්, බොරුවලවල් නොපෙන්වමින් පංති අරගලය දෙසට වැටුණු මාවතේ අප ගමන් කිරීමට සුදානම්ය.

1919-Trotsky_Lenin_Kamenev-Party-Congressමෙය යුතෝපියාවවක් පමණකි යැයි බොහෝ අය කියනු ඇත. මේ යුගයේ උතෝපියාවන් සහිත මිනිසුන් අවශ්‍යය. මන්ද ඉතිහාසය අවසන් නැති බව අපි දනිමු.අපට ඇත්තේ කොම්යුනිස්ට්වාදී යුතෝපියාවක් පමණක් නොව අප ඒ වෙනුවෙන් මහන්සි වීමටද සුදානම්ය.

පශ්චාත් දෘෂ්ටිවාදී යුගය තුල ධනවාදයේ හැඩය තීරණය කරන්නේ පෙරටුගාමී සමාජවාදී සහ ජ වි පේ වැන්නන්ගේ ක්‍රියාවන්ය. අපට අවශ්‍ය ධනවාදය පෙරළා දැමීමටය

අප මෙන්ම සටන අත් නොහැර ඉතිහාසයේ ගමන්මග වෙනුවෙන් කැප වීමට තවත් සහෝදර සහෝදරියන් රාශියක් දේශපාලන සංවිධාන,ව්‍යාපාර තිබෙන බව අපි දනිමු.අප ඔවුන් සමග එක්ව නව අරගල ආකෘතියක් යෝජනා කරන නව වමාංශික ව්‍යාපාරයක් සැදීමට සුදානම්ය.

මන්ද අධ්‍යාපනය,සෞඛ්යය වැනි මූලික මිනිස් අයිතීන් පමණක් නොව, මුදල්,ලාභය මත කිසිදු මානවීය සබඳතාවයක්,හැඟීමක්,හිමිකමක් තීරණය නොවන අනාගත කොම්යුනිස්ට්වාදී සමාජයක් වෙනුවෙන් වූ අනුරාගය අප තුළ තවමත් ඉතිරිව ඇති බැවිනි

 

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

Comments are closed.