බ්‍රෙස්ගර්ඩල්

ජෙහාන් ලෙනින්
සෝවියට් විවාහ හා ජෙහාන් ට්‍රොට්ස්කි – 1
සෝවියට් විවාහ හා ජෙහාන් ට්‍රොට්ස්කි – 2
සෝවියට් විවාහ හා ජෙහාන් ට්‍රොට්ස්කි – 3

මේ ලිපි පෙළේ සමාප්ත කිරීම  සඳහා මා පෙර ලියු ලිපියක් වැදගත් වේ.එම ලිපිය නම් “සෝවියට් සාහිත්‍යය සහ ලංකාවේ වම 1 – පැරැණි වමේ මූලාරම්භය ”  මැයෙන් ඇන් ඇම් , කොල්වින් , පිලිප් ගුණවර්ධන ලාගේ වම ගැන ලියූවකි.  පැරණි වම ගැන කතා කිරීමේදී අධිරාජ්‍යවාදී බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව ඔවුන් ගෙන ගිය අරගලයේදී සුරියමල් ව්‍යාපාරය, මැලේරිය මර්දනයට සහය දීම ආදිය  මගහැර ගිය නොහැකිය. එසේම වසර 1915දී සිදුවුණු  සිංහල මුස්ලිම්  කෝලාහලයේදී පොලිස්පති ඩව්බිගින් විසින් බොහෝ මිනිසුන් නිරපරාදේ මරා දැමීමට  එරෙහිව ඔවුන් කල අරගලය අවසන් වූයේ  ඩව්බිගින් ලංකාවෙන් එළවා ගැනීමෙනි.

මාර්ක් ඇන්තනි බ්‍රෙස්ගර්ඩල් 1936 දී ලංකාවට පැමිණි වාමාංශික ඉංග්‍රීසි ජාතිකයෙකි.  ඔහු වතු කම්කරුවන්ට සුදු  වතු පාලකයන් සලකන තිරශ්චීන  ආකාරය ප්‍රබල ලෙස විවේචනය කල අයෙකි. ලංකා සම සමාජ පක්ෂයට මුලින්ම බැඳුනු සුදු ජාතිකයා ඔහුය. නාවලපිටියේදී වතු කම්කරුවන් දෙදහසක් අභියස බ්‍රිතාන්‍ය පාලකයන් ප්‍රසිද්ධියේ විවේචනය කිරීමේ හේතුවෙන් ඔහු අත් අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කල අතර සම සමාජ පක්ෂය  ඔහු සඟවාගෙන වරෙන්තුවට එරෙහිව විරෝධතා  දියත් කළේය. 1937 මැයි  5 දා  ව්‍යවස්ථා දායක සභාවේ දී චන්ද 34 – 7 කින් බ්‍රෙස්ගර්ඩල්  පිටුවහල් කිරීමට  සුදු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් ස්ටබ්  දුන් නියෝගය පරාජය කරන ලදී. ඇන් ඇම් , ලෙස්ලි, පිලිප්, ගුණසිංහ , ජෝර්ජ් ඊ  ද සිල්වා, ඩි  එම්  රාජපක්ෂ , පෙරිම්බනායගම්, බණ්ඩාරනායක වැනි නායකයන් සමග ගෝල ෆේස් පිටියේ  පනස් දහසක පමණ ජනතාවක් සහභාගී වූ රැලියට බ්‍රෙස්ගර්ඩල් පැමිණි අතර පොලිසියට ඔහු අත් අඩංගුවට ගැනීමට නොහැකි විය.

එවකට වම, ප්‍රබල අධිරාජ්‍යයක නියෝගයක් අභියෝගයට ලක් කළේ  එලෙසය.

ඩී එස් සේනානායක ඇතුළු ජන නායකයන්ට ශ්‍රී ලංකාව ට නිදහස ලබා ගැනීමට වැඩි බලපෑමක් කිරීමට අවශ්‍ය නොවුයේ එවකට පැවති  මේ ප්‍රබල වාමාංශය හේතුවෙනි.

මා පෙර ලිපියෙන් නැගූ ප්‍රශ්නය වූයේ ප්‍රධාන රටවලින් ලංකාවට ඇතිවන බලපෑම ජාතිවාදී පිබිදීමකින් පරාජය කළ හැකිද යන්නය. බණ්ඩාරනායක මහතා  නිතරඟ ගිවිසුමක් අත්සන් කරමින්  1956 දී  වාමාංශික රජයක් පිහිටවුවද එය හරයෙන්ම ජාතිවාදී වූවක් විය. අවසානයේ අන්ත ජාතිවාදී ගමනක් යෑම ප්‍රතිකෙෂේප කිරීමේ හේතුවෙන් ඔහු ජිවිතයෙන් වන්දි ගෙවීය.

 සිරිසා පන්නයේ සමාජීය බලවේගයන්ගේ ලිහිල්  එකතුවකින් මිස මේ අනවශ්‍ය අත පෙවීම් පරාජය කළ නොහැකිය.

අනුර කුමාර දිසානායක හිවලෙකු වැනි කපටි ඥාණයක් ඇත්තෙකු යැයි මට සිතේ. එවැන්නක්  එංගලන්තයේ හැඳින්වෙන්නේ දක්ෂකමක් (clever) වශයෙනි. (crook නොවේ.) ඔහුට ඩීල් කුමාර යයිද නමක්  පට බැඳී තිබේ. අනුරට වඩා ඩීල් කාරයෝ ශ්‍රී ලංකා දේශපාලනයේ එදත් අදත් සිටියහ. බොහෝ අය එසේ කලේ තම බඩ හා පවුල රැක  ගැනීමටය. ඉඳහිට ජාතිය  ගලවා ගැනීමේ කතාද එවැනි උන්  මතුරති. අනුර කුමාර මහතා  එසේ කරන්නේ යයි මම නොසිතමි.

මා ලියූ ජෙහාන්  ලෙනින් ලිපියේ අන්දමට ලෙනින් ද එක්තරා විධිහක ඩීල් කාරයෙකි. නමුත් දේශද්‍රෝහී ලේබලයෙන් ගැලවීම පිණිස ජර්මානුන් සැපයූ  දුම්රියේ ගමන් කරද්දී ජර්මානුන් ගෙන් වෙන්ව එම දුම්රිය මැදිරිය “වෙනම රටක් ” මෙන් මවාගත් දේශ සිමා සහිතව ගමන් කරන බව පෙන්වීමට ඔහු වග බලා ගත්තේය. එසේම ලෙනින් තමන්ගේ බඩ වඩා ගැනීමට ගියේ ද නැත.

අනුර,  විජිත හේරත් , නලින්ද ජයතිස්ස වැනි ජවිපෙ දක්ෂිනාංශයේ ප්‍රතිගාමින් මෙන්ම බිමල් රත්නායක, සමන්ත හේරත් වැනි ජවිපෙ වාමාංශය ද මැනවින් කළමනාකරණය කරගනිමින් සිටී. එසේම  ටිල්වින්ද ඔඩොක්කුවේ තබාගෙන පළාත් පාලන ඡන්දයෙන් චන්ද ලක්ෂ හතක් පමණ ලබා ගැනීමට  පක්ෂය මෙහෙයවා නායකත්වයට අභියෝගයක් නොමැතිව සුවසේ වැජඹෙයි. ඔහු ජවිපෙට සුපුරුදු ජාතිවාදී ස්ථාවරයෙන්  මිදී සම්බන්ධන් වැන්නවුන් සමගද හොඳ  සම්බන්ධතාවයක් පවත්වා ගෙන යන බවක් පෙනී යයි.

සිරිසා වැනි සාමාජිය බලවේගයක නායකත්වය දැරීමට ඔහුගේ  නුසුදුසු කමක් මට පෙනෙන්නේ නැත.

අනිත් පසින් ඩීල් එකක් දම්මවා ගෙන ලංකාවට පැමිණියා යයි පැවසෙන කුමාර් ගුණරත්නම් ඇතුළු පෙරටුගාමී සමාජවාදී පක්ෂය,   ද්‍රවිඩ ජනතාවගේ ස්වයං නිර්ණන අයිතිය ඇතුළු ප්‍රශ්න  බොහොමයක්ද ජවිපෙ අතීත ක්‍රියාකාරකම් පිලිබඳ පැන නැගෙන විවේචන  බොහොමයකටද සාධාරණය ඉටු කරන්නේ යයි කියමින් දේශපාලනයට පිවිසියද ඒවායේ තවමත් හිරවී  සිටින බවක් පෙනී යයි.  ඔවුන්ගේ ප්‍රධානම අරගලය  සයිටම් විරෝධය හා නිදහස් අධ්‍යාපනය රැක ගැනීම බවද පෙනේ.

එය එසේ වුවද කුමාර් ගුණරත්නම් ගේ සංවිධාන ශක්තිය හා ජවිපෙ හි දීර්ඝ කාලයක් වැඩ කිරීමෙන් ලද අත්දැකීම් සමුහයද නිකම්ම අතහැර දැමීමට නොහැකි දේය. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකත්වය  තවමත් සිරවී සිටින්නේ යල්පැනගිය විජේවීර  වාදයේ හා ස්ටාලින් වාදයේ අනවශ්‍යම න්‍යායාත්මක බැඳීම් වලය. කුමාර් ගුණරත්නම් හා පුබුදු ජාගොඩට  පක්ෂයේ මූලික හර  පද්ධතීන් වෙනස් කිරීමට තව සැහෙන කාලයක් ගතවනු ඇත. එය එසේ වුවද  කුමාර් ගුණරත්නම් ගේ වේදිකා ප්‍රකාශ හා රැස්වීම්  වල දහස් දැක්වීම් අනුව “අපහසුවෙන් හෝ” ඔහු සිටින්නේ නිවැරදි ස්ථාවරයක  බව පෙනී යයි. මගේ අදහස නම් අනුරගේ නායකත්වයෙන් දියත් කළ හැකි සිරිසා පන්නයේ  සමාජීය බලවේගයක ප්‍රධාන සංවිධායකවරයා විය යුත්තේ කුමාර් ගුණරත්නම්ය.

නමුත් මේ සංවිධාන හෝ පක්ෂ දෙකෙහිම ප්‍රබල ප්‍රශ්නයක් තිබේ. ඒ මොනතරම් පුරසාරම් දෙඩුවද ඔවුන්ට වර්තමාන දේශපාලන තත්වයන් නිසි පරිදි විග්‍රහ කර ගැනීමට ඇති නොහැකියාවයි. ඔවුන් සිරවී සිටින වාමාංශික න්‍යායවාදී මකුළු දැලින් මිදීමට තවමත් හැකියාවක් ලැබී නැත.

ඒ තත්වයෙන් මිදීමට වසර ගණනක් වෙහෙසෙන වාමාංශික න්‍යායධරයෙකු  ශ්‍රී ලංකාවේ සිටි. ඒ දීප්ති කුමාර ගුණරත්නය.  නමුත් දීප්ති යනු තමන්ගේම “ඇසිඩ් වැස්සක” නිරන්තරයෙන් තෙමෙමින් සිටින තැනැත්තෙකි. දීප්ති ගේ කණ්ඩායම විසින් 2004 දී  ඔවුන් හැරගිය අයට ස්ටාලින් ක්‍රමයේ හෝ,  ජවිපෙ විජේවීර ක්‍රමයේ දඬුවම් දීම වෙනුවට පක්ෂ වෙබ් අඩවි හා සමාජ ජාල වලින් ඉදිරිපත් කරන ඇතැම් විට  පුද්ගලවාදී වශයෙන් පෙනෙන  නිර්දය ඇසිඩ් විවේචන නිසා ඔවුන් සමග එක්වී කටයුතු කිරීමට බොහෝ වාමාංශික අදහස් ඇත්තන් මැලි කමක් දක්වති.

මෙය හොදින් නිරීක්ෂණය කලවිට මා දුටුවේ  වෙනත් දෙයකි. ශ්‍රී  ලංකාවේ වාමාංශය  තුල සටින ලංකාවේ  හෝ විදේශයන්හි ජිවත්වන අය  තුල  අමුතු ආකාරයේ හැසිරීම් සමුදායක් තිබේ .  දියුණු බටහිර සමාජයක ජිවත් වෙන සමහරුන්  අගයන්නේ කියුබාවේ ආර්ථිකයයි. නමුත් කියුබාවට  ගොස් ජිවත් වීමට ඔවුන්ට නොහැකි සේම ඔවුන් එසේ කරන්නේද නැත. එසේම සමහරු ගැහැනුන් ගේ සම අයිතියට සටන් කරන ගමන්  තම බිරිඳ බත් ටික බෙදා අතට  නොදුනහොත් කෑම  වර්ජනය කරන ජාතියේ අයයි.  බැදුම්කරයට විවේචනය කරන ගමන් එවැනිම මුදල් උපයන ක්‍රියා මාර්ග අනුගමනය කරන සමජවාදීන් ද සිටි. ලේඛනය තව දිගට ලිවිය හැකි වුවත් මින් නවතිමි.

දීප්තිලාගේ නිර්දය විවේචන මේවා කෙරෙහි එල්ලවන නිසාත් බොහොමයක් අයගේ දෙබිඩි හැසිරීම් ඇත්තේ එතන  නිසාත් දීප්ති තමන්ගේම ඇසිඩ් වැස්සෙන් තෙමේ.
 “90 දශකයේ සාහිත්‍ය කලා හා දේශපාලන වැඩ බිමට පැමිණි මිනිස් පරම්පරාව යනු දේශපාලනයේදී මට සම්මුඛ වූ ප්‍රමුඛ මිනිසුන්ය. පරම්පරාවක් ලෙස ඔවුන් උභයාවේගිය. ඔවුන්ගේ ආත්ම මුලිකත්වයේ මුඛ්‍ය සාධකය ආශාව හා බිය අතර දෝලනය වෙයි. දේශපාලනය යනු ඔවුන්ට ආත්ම  භාෂණයක් මිස  විප්ලවවාදී මැදිහත්වීමක් නොවේ. මෙම පරම්පරාවට මාක්ස්වාදය ගැන ඇති සාක්ෂරතාවය දුලබය.  ඔවුන් රොමැන්තිකය. සංකේත නීතියට වඩා ඔවුන් ගරු කරන්නේ හදවතේ නීතියටය . තමන්ගේ දෛවයට වඩා  වෙනත් අයගේ දෛවයට රිට් ආඥා නිකුත් කරයි.  – දීප්ති කුමාර ගුණරත්න -“ඇසිඩ්  වැස්ස ” පි. 102

ලැකානියානු මනෝ විශ්ලේෂණයන්,  ජිජැකියානු මාක්ස්වාදී විග්‍රහයන් හරහා දීප්තිගේ කණ්ඩායම වාමාංශික දේශපාලන ක්ෂේත්‍රයේ කාලයක සිට පෙරලියක් ඇති කරමින් සිටියි. කුමාර් ගුණරත්නම් ද මෙය වටහාගත් බව මට පෙනුනේ කලකට පෙර පෙසපේ සාමාජිකයකු ඇමතීමෙනි.

” මේ පෙරටුගාමී කට්ටියගෙන්   හොඳ, විවේචනාත්මක දේශපාලන අදහස් වගයක් ප්‍රකාශයට පත් වෙනවා නේද? කලින් හිටිය එක්ස් කට්ටිය නේද ?”
” ආ ඔව් ඔව් ඒ අපි තමයි. එක්ස් කට්ටිය ඉන්නේ අපිත් එක්ක”
මා පසුව වටහා ගත්තේ ඔවුන් පෙරටුගාමී සමාජවාදීන් බවය. නම් පැටලී ඇත.

සිරිසා පන්නයේ හෝ පැරණි වමේ මුල කාලයේ මෙන් වන  සමාජීය බලවේගයක න්‍යායාත්මක පදනම වැටිය යුත්තේ දීප්තිගේ සහභාගිත්වය හරහාය.

සිරිසා 

මේ බලවේගයට  තනිව (පක්ෂයක් රහිතව)  දේශපාලනයේ  සිටින දයාපාල තිරාණගම, ලයනල් බෝපගේ වැන්නවුන් මෙන්ම විදේශගත රෝහිත භාෂණ කණ්ඩායමද එක්  විය යුතු බව මගේ විශ්වාසයයි. ඕනෑම  ජාතිවාදී මැදිහත්වීමක් ප්‍රබල ලෙස පරාජය කිරීමට  ඔවුන් සහය දෙනු ඇත.

නමුත් නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් සොයා ගැනීම කළ නොහැක්කක් සේම සිරිසා පන්නයේ සාමාජීය බලවේගයක් ගොඩ නැංවීමට  අපරිණත නායකයන් හා සාමාජිකයන් ගෙන් සපිරුණු ලංකාවේ   වම කිසිදා සමත් නොවෙනු ඇත. මිනිසුන් වෙනුවෙන් නිතර කැප වීමට හා ජීවිතය පිදීමට වුවත් සූදානම්  යයි දෙසන  සමහරු බොහෝ විට තම පක්ෂ පුටුව අත හැරීමට මැලිවෙති. පක්ෂයේ ඇති තැන රැක  ගැනීමට පොර කති.

කොටින්ම විය නොහැක්කක් ගැන මේ ලියවිල්ල මාගේ  හිතළුවක්  පමණි.

මේ නිසා ශ්‍රී ලංකාවේ සැබවින්ම විය හැක්කේ කුමක්ද?

~ මතු සම්බන්ධයි

Ajith Dharmakeerthi

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. Oyage idea 💡 eka Maru.mage danume tharamata lankawa athule wadathma kuhakoyo thamai wamanshikayo.

Comments are closed.