එක් එක් කෘතිය හුදෙකලා කොට විශ්ලේෂණය කරන අවධියක එවකට පැවති X කණ්ඩායමේ “කෘතිය මේ තරම් නිසා නෙවි. අපේ හැදෑරීම් මේ තරම් නිසා’’…. නම් කෘතිය තුළ “තනි තටුවෙන් පියාඹන්න’’ (2002) අරබයා මා මතු කළ න්‍යායික අදහස් දෙකක් දැඩි ලෙස X විමතිකයන් විසින් පාදා පෙන්වන ලදී.
 
(A) හඳගමගේ ‘අව්‍යාජත්වය’ රැඳී පවතින්නේ ලාංකීය ගැමියාව ඒ හැටියෙන්ම පෙන්වන නිසාය. එනම් ඔහු ‘යථාර්ථවාදී’ නිසාය.
 
(B) සංකේත පියා නොමැති හෝ තහවුරු නොවූ සමාජයකදී මානසික රෝගීන් අතින් පවුල්, සමාජ සංස්ථාවන්, දේශපාලන පක්ෂ අවුල් වියවුල් වී යයි.
 
X කණ්ඩායමේ අන්තරාභවිකයා (තම පදිංචිය සඳහා ගම හෝ නගරය තෝරා නොගත් පුද්ගලයා- Now we identify this person as Sumith Chaminda]) මීට දශකයකට තරමක් ඈත දිනෙක හඳගමගේ සිනමාව පිළිබඳ මාගේ න්‍යායික ස්ථාවරය පහත ආකාරයට ප්‍රශ්න කරන ලදී.
 
“මේ මගේ සඳයි (2000) කෘතිය අරබයා දීප්ති කුමාර ගුණරත්නගේ විචාරය තුළ හඳගමගේ කෘතිය ලාංකේය ‘යථ’ (Real) සිනමාවට නගා ඇතැයි තර්ක කළේය. මෙහි දී ඔහු යථාර්ථය සහ යථ හෝ සැබෑව (Reality and Real) පිළිබඳ මූලික ලැකානියානු සංකල්ප වැරදි ලෙස තේරුම් කරමින් ‘යථ’ යනු යථාර්ථයට වඩා ප්‍රාග්මය (a Priory) ලෙස අර්ථකථනය කර ඇත. ලැකානියානු නිර්වචනය අනුව ‘යථ’ සංකේතීය  යථාර්ථයට පූර්වයෙන් පවතින හෝ ඊනියා ප්‍රකෘති තත්ත්වයක් නොව සංකේතකරණයේම අසමත්කමයි.’’  – ඔහු ලියන්නේ කුමක්දැයි ඔහු නොදන්නා නිසා…. LLP සඟරාව – 2006 පෙබරවාරි – මෙම උපුටා දැක්වීමේ පරිවර්තකයා ප්‍රභා මනුරත්න නිසා ඇගේ Philosophical English දැනුම මින් හෙලිදරව් විය- පිටුව 63 –
 
X කණ්ඩායමේ විමතිකයා විසින් ඔහුගෙන්ම ඇසිය යුතු වැදගත්ම දේශපාලන ප්‍රශ්නය අසා නැත. ලංකාවේ කිසිවකු ලෙස්ටර්ගේ, සුමිත්‍රාගේ, ලෙනින් මොරායස්ගේ, තිස්ස අබේසේකරගේ චිත්‍රපට ගැන නැති උනන්දුවක් හඳගමගේ හෝ ධර්මසිරිගේ චිත්‍රපට සම්බන්ධයෙන් පෙන්නුම් කරන්නේ ඇයි? හේතු-ඵල සම්බන්ධය පිළිබඳව අප මෙතනදී රැඩිකල් වෙනසක් කළ යුතුය. සාමාන්‍යයෙන් තර්කනය තුළ හේතුවට පසු ඵලය පැමිණෙයි. නමුත් අප මෙම සුවිශේෂ උදාහරණයේදී ඵලයට පසුව හේතුව සොයාගත යුතුය. විමතිකයා මෙය ලියා දශකයක පමණ කාලයක් ගත වී ඇත. ඔහු විසින් අසන ගැටලුවට අපට දැන් පැහැදිලි උත්තරයක් දිය හැක. සැබෑව හෝ යථ කියා කිවූ විට බොහෝ දෙනෙකුට නොවැටහෙන අවබෝධය එහි සමාන පදයකට මාරු කරමු. මෙහි සැබෑව නොහොත් යථ යනු විනෝද වීමයි. (Enjoyment) විමතිකයා අපෙන් ප්‍රශ්න කරන්නේ සැබෑව හෝ විනෝදය ප්‍රාග්-අනුභූතියක් (අත්දැකීම ව්‍යුහගත කරන නොදැනුමක්) ලෙස පැවතීම ගැන ප්‍රකාශ කිරීම ලැකාන්ගේ අදහස්වලට විරුද්ධව යාමක් ලෙසය.
 
නමුත් අවාසනාවන්ත තත්ත්වය වූයේ අදාළ විමතිකයා ලැකාන්ගේ ‘සැබෑව’ පිළිබඳ මතය අරගෙන තිබුණේ ලැකාන්ගෙන් නොව ජිජැක්ගෙන්ය. ‘සැබෑව’ යනු සංකේතනයේ අසමත්කම යන අදහස ස්ලාවෝජ් ජිජැක් අවධාරණය කරන්නේ Fright of Real Tearsසැබෑ කඳුළුවල භයංකාරත්වය – නම් කෘතිය තුළය. එම කෘතිය පළවන්නේ 2001 වසරේදීය. නමුත් ග්ලින් ඩාලි සමග කරන සම්මුඛ සාකච්ඡාවකදී (එයද කෘතියක් ලෙස ”Conversations with Zizekලෙසින් 2004 වර්ෂයේදී පළ විය.) ජිජැක් තමන්ගේ අතීත න්‍යායික අපගමනය ගැන මෙලෙස සඳහන් කරයි. I am Co-responsible for the Predominance of the notion of the Real as the impossible Thing: Something that we cannot directly confront. I think that not only is this theoretically wrong, but it has also had catastrophic political consequences. [බඩුකාරයන් දේශපාලන වීරයන් වීම ]
 
ශ්‍රී ලංකාවේදී ජිජැක්ගේ ‘යථ’ පිළිබඳ වැරදි කියවීම ඍජු ලෙස මටත්, අශෝක හඳගමටත් දේශපාලනිකව අහිතකර ලෙස බලපෑවේය. මෙම න්‍යායික වැරැද්ද කරන ලද X කණ්ඩායමේ හිටපු විමතිකයා තමා අතින් සිදු වූ වරදට කිසිදු අදහසක් අද දක්වා පළකර නැත. අදාළ ලිපියට ආරූඪ නාමයක් දමා තිබුණත් මේ පුද්ගලයා අදටත් ග්‍රාම්ස්චි නම් වෘත්තය වටා යළි යළිත් ගමන් කරන්නෙකි. ජිජැක් විසින් පසුව නිවැරදි කරන ලද අදහස මෙසේය. සැබෑව යනු සංකේතනයේ අසමත් බව නොව ‘අසමත්භාවය’ විසින් සැබෑව හඟවයි. දෘෂ්ටිවාදී විචාරයේදී මෙම නිවැරදි කරන ලද අදහස රැඩිකල් දේශපාලනික පෙරළියක් පෙන්නුම් කරයි.
 
යම් පුද්ගලයකු විසින් හඳගම අරබයා මා විසින් ලියන ලද විචාරයකට බය නැතිව පහරදීම දේශපාලන කරුණු දෙකක් විද්‍යමාන කරවයි. එකක් බලය සහ පිළිගැනීමයි. අනෙක ‘අනෙකා’ විඳින විනෝදයයි. X විමතිකයා ලෙස්ටර් හෝ වෙනත් සිංහල සිනමා නිර්මාණකරුවකු ගැන කතා නොකර අශෝක හඳගම ගැන කතා කරන්නේම යම්කිසි පූර්ව අගතියක් නැතහොත් ප්‍රාග්-අනුභූතියක් නිසාය. දීප්ති නම් ඊනියා සුවිශේෂ විචාරකයා වැඩිපුර කතා කරන්නේ හඳගම ගැනය. ඒ වනාහි හඳගම ගැන නොව ‘වඩා-හඳගම’ කෙනෙකි. මේ ‘වඩා-හඳගම’ හෝ අතිරික්ත විනෝදයක් විඳින හඳගම (වෙනත් සිනමාකරුවන් නොවිඳින) යනු මේ විමතිකයාගේ සේම අනෙකුත් සිංහල ජනයාගේද විනෝදය පැහර ගන්නා ආගන්තුක රහස් ජීවිතයක් ඇති පුද්ගලයෙකි. X විමතිකයා තම විචාරය හරහා උත්සාහ කරන්නේ හඳගමගේ සිනමා කෘති විශ්ලේෂණය කිරීමට නොව එම කෘති විශ්ලේෂණය හරහා දීප්ති ලබා ගන්නා ‘අතිරික්ත-ජීවිතය’ විනාශ කිරීමටය. ‘විනෝදය’ මිනිසකුගේ ජීවන අත්දැකීමට පෙර ප්‍රාග්මය ස්වභාවයකින්-සංකේතීයව- (විධිමත්ව කිවහොත් අවිඥානක දැනුමක් ලෙස) පවතින්නේ කෙසේද යන්න පහදන්නේ X විමතිකයා මිස අප නොවේ. හඳගම පිළිබඳ දීප්තිගේ විචාරය පිටුපස පන්නන්නේම X විමතිකයා සතු අවිඥානක ආශාවක් නිසාය.
 
අශෝක හඳගමගේ සිනමාව ආශ්‍රිතව ඒවායේ අන්තර්ගතයන්ට-CONTENT- අමතරව යමක් ඇත යනුවෙන් ප්‍රවාදයක් අප ගොඩනගන ලද්දේ මේ නිසාය. මෙම ‘වඩා-දෙය’ ඔහුගේ චිත්‍රපටවල කතාව තුළ අන්තර්ගත ආඛ්‍යානය හෝ අන්තර්ගතය නොවේ. ඔහු ලංකාවේ ගමෙහි සැබෑව නොහොත් අව්‍යාජත්වය නිරූපණය කරනවා යැයි අප මීට දශකයටත් පෙර ප්‍රකාශ කරන ලද්දේ මේ නිසාය. ලෙස්ටර්ගේ හෝ වෙනත් සිනමාකරුවකු ගැමියකු පෙන්වන අතර හඳගම පෙන්වන්නේ පුක කසන ගැමියෙකුවය.
 
ගැමියාගේ සමාජ-ආර්ථික වටපිටාව පමණක් නොව ඔහු/ ඇය අශ්ලීලව විනෝද වන ආකාරය ද හඳගම විද්‍යමාන කරවයි. ඔහුගේ සිනමා අන්තර්ගතයට සවි නොවූ ආකෘතිය (Form) මගින් “සිනමාව-යනු-හිතන-දෙයක්’’ (Thinking-thing) ලෙසින් නිරූපණය වෙයි. ඔහුගේ චිත්‍රපට නැරඹීමට ඇති දෙයකට වඩා හිතන දෙයකි. මේ ‘හිතන දෙය’ විදාරණය කිරීම තමයි මගේ සිනමා විචාරයන් හරහා ප්‍රකාශමාන කරවන්නට උත්සාහ කරන්නෙ. “හිතන සිනමාව’’ යන්න මගේ තේමාවයි.
 
හඳගමගේ චිත්‍රපට මගින් අපට විඳින්නට සිදු වූ නව්‍ය අත්දැකීම වන්නේ යථාර්ථය සාරාත්මක දෙයක් නොවන බවයි. 90 දශකය දක්වා ලංකාවේ සිනමාකරුවන් උත්සාහ කරන ලද්දේ චිත්‍රපටයට බාහිරින් ඇති යථාර්ථය අඩුවක් නොමැතිව නිරූපණය කරන්නටය. නව සහශ්‍රයේ ආරම්භය සමඟම සිනමා ශාලාවලට පැමිණි ‘මේ මගේ සඳයි’ නම් චිත්‍රපටය යුද්ධය සහ මායිම් ගම්මානවල ඛේදවාචකය නිරූපණය කරන්නකි. චිත්‍රපටයේ අන්තර්ගතය වූයේ යුද්ධය පසුබිම් කරගත් චරිතවල අවිනිශ්චිත අනාගතයයි. නමුත් චිත්‍රපටයේ ආකෘතිය බවට පත් වූයේ වෙනත් මානයකි. චිත්‍රපටය හිනිදුම සුනිල් සෙනෙවි තම ආචාර්ය නිබන්ධනය තුළ මෙසේ සාරාංශගත කරයි.
 
“උතුරු පළාතේ හමුදා බංකරයකින් චිත්‍රපටය ඇරඹෙයි. සෙබලෙක් LTTE සතුරන්ට වෙඩි තබයි. විනාශය මැද මව්පියන් සහ ගේ දොර අහිමි වූ දමිළ යුවතියක් බංකරයට පනින අතර දිවි ගලවා ගැනීමට සෙබළාට සිය ඇඳිවත ඔසවයි. දින තුනකට පසු සෙබළා හමුදාව හැර ගමට එන විට යුවතිය පසුපස පැමිණේ. චිත්‍රපටයේ ඉතුරු භූමිකා මෙසේය. සෙබළාගේ පියා, මව, රේස් බුකිය කරන අයියා, නංගී, පන්සලේ භික්ෂුව, හමුදා වැන්දඹුවක්, සෙබළාගේ ගමේ පෙම්වතිය සහ තරුණියන් දෙදෙනෙක්. නියඟය, විරැකියාව, අසහනය, කුසගින්න සහ දූවිල්ල මේ ගමේ අංගයෝය. හමුදාවට යාම, මිය ගියහොත් වන්දි ලැබී අත්ට්‍රැක්ටරයක් ගැනීම මේ ගමේ ජීවන සූත්‍රය වී ඇත…… හේන් කෙටීමට වඩා ආමි එකට යාම ජනප්‍රිය වී ඇත. අවසානයේ සෙබළා නැවත හමුදාවට අල්ලාගෙන යයි. අර දමිළ යුවතිය භික්ෂුව (ඩබ්ලිව්. ජයසිරි) සමඟ රහසේ පැන ගොසිනි.’’
 
චිත්‍රපටයේ රැඩිකල් දේශපාලන මානය වන්නේ එහි විමර්ෂකය හෝ අන්තර්ගතය යුද්ධය වුවත් එහි රැඩිකල් ආකෘතිය (Form) යුද්ධය නම් යථාර්ථය හාස්‍යයට ලක් කිරීමයි. විචාරකයන්ට හැමවිටම අවශ්‍ය වූයේ හඳගම යුද්ධයේ කටුක යථාර්ථය පෙන්වනවාද යන කරුණයි. නමුත් ඔහුගේ චිත්‍රපටය යුද්ධය පිළිබඳ විරුද්ධාභාසයකි. විරැකියාව, සාගින්න, අසහනය නම් ආඛ්‍යාන අන්තර්ගතය පසෙකලා හඳගම උනන්දු වන්නේ ගැමියාගේ ජාගර අශ්ලීල ආත්මමූලිකත්වය පෙන්වීමටය. චිත්‍රපටය හිතන අතර එය අපට ද හිතන්නට උගන්වන්නේ මෙහිදීය. දෙමළ යුවතිය මැදිවියේ භික්ෂුව සමග පැන යාම යුදමය අන්තර්ගතයකට කොහෙත්ම ගැලපෙන්නේ නැත. යුද්ධය නම් සංකල්පයේ සම්මත රාමුව මෙතැනදී බිඳ වැටී යුද්ධය නිසා අශ්ලීලව විනෝද වන ගැමියාව හඳගම අපට සම්මුඛ කරවයි. යථාර්ථයේ වාස්තවික ලක්ෂණවලට අයිති නැති ගුණයක් හඳගම යථාර්ථය මතම පැල්ලමක් ලෙස පෙන්වයි. එම පැල්ලම අයිති වන්නේ ආත්මීය ක්ෂේත්‍රයට නොහොත් සද්භාවවේදයටය. ජාතිවාදීන් හඳගමට ඉතාම අතාර්කික ලෙස විරුද්ධ වන්නේ ඔවුන්ගේ අශ්ලීල විනෝද වීම් හඳගම තිරය මතට ආදේශ කරන නිසාය-Fantastic content .අප යථාර්ථයට ගැට ගැසී එය වෙනස් නොකර එලෙසින්ම තබාගන්නේ යථාර්ථය සතු සද්ගුණයක් නිසා නොව එමඟින් සහතික කරන අශ්ලීල විනෝදය නිසාය. හඳගමගේ චිත්‍රපටවල අන්තර්ගතයට එරෙහි විමර්ශකයක් එහි ආකෘතිය පෙන්වයි. ඔහුගේ සිනමාව විප්ලවවාදී අදහසක් ජනිත කරන්නේ මේ නව ආකෘතිය හරහාය.
 
‘මේ මගේ සඳයි’ චිත්‍රපටයේ ඉහත අප විග්‍රහ කරන ලද අන්තර්ගතයට විරුද්ධව යන ආකෘතිය නිසා සිංහල – බෞද්ධ සමාජයේ සුවිශේෂී ආත්මමූලික ස්ථාවරයක් ප්‍රකට වෙයි. යුද්ධයට ගිය සෙබළාට යුද්ධය සමග යම් නරුමවාදී පරතරයක් පවතියි. එක පැත්තකින් භාවනාවට යොමු වන ගමන්ම අනෙක් පැත්තෙන් අතිශය කෘෘර ක්‍රියාවකට පෙළඹවීම බෞද්ධයාට පරස්පරයක් නොවේ. එනිසා හඳගමගේ චිත්‍රපටවල පාත්‍ර වර්ගයා සතු අභ්‍යන්තරික අර්ථයන් (Inner Meaning) සෙවීමට යාම නිශ්ඵලය. ඔවුන්ගේ වෙස්මුහුණට යටින් ඇති ගැඹුරු අර්ථයන් සොයා යෑමද නිරර්ථකය. අප ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ “ඇයි ඔවුන් එහෙම කරන්නේ’’ (Why they do it). එකක් කියා වෙන දෙයක් කරන නරුමවාදී සිංහල – බෞද්ධ ආත්මීය ස්ථාවරයේ හදගැස්ම ඉතා හොඳින් හඳගමගේ ආකෘතියේ පැටලී ඇත.
 
1998 වර්ෂයේ නිපදවන ලද ‘සිත්තටික් සිහින’ නම් ටෙලි නාටකයේ කිසිවකු ‘කියන-දෙය’ කරන්නේ නැත. විශ්වවිද්‍යාල මහාචාර්වරයෙක් තම ශිෂ්‍යාවකගේ නිවසට අධ්‍යයන නිවාඩු සමයේ පැමිණෙන්නේ පර්යේෂණයක් කිරීමටය. නමුත් ටික දිනක් ගත වන විට මහාචාර්යවරයා ශිෂ්‍යාවගේ මව වෙතට ආකර්ෂණය වෙයි. ඇය සිදු වන දෙයට වක්‍රව ඊර්ෂ්‍යා කරයි. ශිෂ්‍යාවගේ පියා ඇගේ වයසට සමීප වයසක සිටින තරුණියක් සමග දීගයක ගොසින්ය. මේ ටෙලි නාටකයේ උභතෝකෝටිකය 90 දශකයට වඩා හෙළිදරව් වී ඇත්තේ දැන්ය. ‘සිත්තටික් සිහින’ තුළ පුද්ගලයකු හෝ පුද්ගලයන් නොමැති අතර පවතින්නේ විවිධ අශ්ලීල හඹා යාම්ය. චරිතවල අර්ථවලට වඩා වැදගත් වන්නේ මෙම අශ්ලීල හඹා යාම්ය. තුලනාත්මක ලෙස විමුක්ති ජයසුන්දරගේ ‘සුළඟ එනු පිණිස’ සලකා බලන්නේ නම් එහි අන්තර්ගතය සහමුලින්ම යුද්ධය සහ එහි අනිටු විපාක පිළිබඳවය.  නමුත් අප චිත්‍රපටයේ පාත්‍ර වර්ගයා හරහා දකින්නේ සමීප ඥාතීන් අතර හොර රහසේ සිදුවන ලිංගික ජවනිකාය. මෙම සිනමාකරුවන් යථාර්ථය පෙන්වීමට වඩා උනන්දුවක් දක්වන්නේ අශ්ලීල විනෝදවීම් පෙන්වීමටය. මෙම තත්ත්වය විසින් මුළුමහත් වාමාංශයේම ඥාන ක්‍රියාකාරීත්වයට බාධාවන් එල්ල කරන ලදී. යථාර්ථය නම් අන්තර්ගතයට වඩා මේ නව-සිනමාව තුළ ‘විනෝදය’ නම් ආකෘතිය අධිනිශ්චය විය. හඳගම විසින් මේ ‘විනෝදය’ පෙන්වන නිසා ඔහු ගැමියාව ඒ හැටියෙන්ම පෙන්වයි.
Deepthi
LANKANEWSWEB

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. Oyagollange “book” nugegoda sarasavi eke na.ganna thanak kiyanawada.(asid wassa’vinodaya)

Comments are closed.