හම්බන්තොට මහින්ද පොළොන්නරුවේ සිරිසේන‘ නම් ගීතය පහල සහ මැද පන්තික කොටස් අතර මෙතරම් ජනප්‍රිය වන්නේ ඇයි යන්න විමසා බැලිය යුතු කරුණකි. ‘පහල පන්ති සහ මැද පන්තික කොටස් අතර’ යන්නෙහි අර්ථය එම පන්තීන් බහුලව සැරිසරන කලාප වල යන්නයි. බස්වල, හන්දිවල, කඩ පිල්, සුපර් මාර්කට් වල ආදී මෙකි නොකී හැම තැනම මේක දිගින් දිගට ප්‍රචාරය කරනවා යන්න මෙයින් ගම්‍ය වේ (සමහර බස් රථවල තුන් හතර වතාවක් දිගටම වාදනය කරයි). පශ්චාත් යටත්විජිත දේශපාලනයේ අශ්ලීල වස්තුව නැවත ආගමනය වී ඇත. ජිජැක් සඳහන් කරන ආකාරයට මෙය දෘෂ්ටිවාදයට දෙන්න පුළුවන් හොඳම උදාහරණය යනුවෙන් සැලකිය හැකියි. එයින් අදහස් කරන්නේ ගීතය තුලින් ලබාගන්නාවූ  දුරස්ථ බව විසින් අප යථාර්තයෙන් නරුමවාදී ලෙස වෙන් වෙන අතරේ ම එයට නැවත සම්බන්ද වෙනවා යන්නය. එයින් විරුද්ධාභාෂි ලෙස අදහස් වන්නේ අපේ විනෝදයේ කොටසක් ලෙස නැවත එම යථාර්තය පැවතීමට පටන් ගන්නවා යන්නයි. පවත්නා තත්වය ‘මම දනිමි එහෙත්(I know but…) යන තත්වය තුළ ප්‍රති-නිෂ්පාදනය වීමට පටන් ගනී යන්න මෙහි සරල අදහසයි.  මෙම ජරාජීර්ණ තත්වය හා දුරස්ථබාවය අපිට අර ගීතය හරහා පවත්වා ගන්න පුළුවන් වන්නේ එම තත්වයට නරුම විදියට නැවත සම්බන්ද වීම මගින් පමණකි. එවිට පමණක් අපිට ඒ තුල හිදිමින්ම අපි ගැනම සිනාසිය හැකියි (පශ්චාත් යටත් විජිත දෛවය). ක්‍රමය බිංදුවක් වත් වෙනස් නොවී එසේම පවතින අයුරු අපට දැන් දැකිය හැකිය. ජිප්සීස් ගේ ‘සිඥෝරේ’, ‘එහෙම වෙන්නේ ඇයි’, මොහාන් රාජ් ගේ ‘ආදරණිය වික්ටෝරියා’, චුටි මල්ලි පොඩි මල්ලිගේ ‘අපි නොදන්න Live’, චිත්‍රාල් ගේ ‘විල්පත්තුවේ’, ලහිරු ගේ ‘රම්බරී’ සහ ‘මොට්ටු’,  ඉරාජ් ගේ ‘මනුසතා’ යන පශ්චාත් යටත්විජිත ප්‍රතිචාරාත්මක (reactionary postcolonial) මාවතේ ම අපට ඊළඟට මුණ ගැසෙන “කලාකෘතිය” නම් ‘හම්බන්තොට මහින්ද පොළොන්නරුවේ සිරිසේන’ යි.  මෙම තත්වය ප්‍රබුද්ධ අර්ථයකින් ඉතාම කණගාටුදායක මෙන්ම පසුගාමිය.  වහල් භාවයේම දිගුවකි නැත්නම් ප්‍රති නිෂ්පාදනයකි. බටහිර ස්වාමියා වෙත ප්‍රක්ෂේපනය කරන අපගේ අවින්ඥානික පැණය මෙවැන්නකි. යටත් විජිත අව-මානුෂික බව විසින් අවසානයේ ඔබ විසින් අපට කර ඇති අපරාධයක මහත. දැන් අපගේ මෙම දුක්ඛිත  බව දෙස බලනවිට ඔබට ක්ෂිතියක් ජනනය නොවේද ? 

මේ වනවිට ඇතිවෙමින් පවතින ආතතිමය, ක්ෂිතිමය දේශපාලන කලාපය නැතහොත් යහපාලන ආණ්ඩුවේ නොහැකියාව නම් තත්වය චිකිත්සක (therapeutic) අර්ථයකින් අප මඟ හරිනු ලබන්නේ එම යථාර්තය සමඟ දුරස්ථ සම්බන්දයක් නඩත්තු කිරීමෙනි. මෙම ගීතය එනයින් මානසික චිකිත්සක සහනයකි (මහින්ද ගේ කාලයේ මෙවැනි චිකිත්සක සහන දුන්නානම් ගැඹුරු මුහුද දෙසට සැනෙකින් අතුරුදහන් වෙන නමුත්). ඩිෆෙන්ඩර් හිරුනිකා, කොළඹ රනිල්, චම්පික, රාජිත විල්පත්තුවේ බද්රුදීන් සහ පොළොන්නරුවේ සිරිසේන වශයෙන් පුද්ගල බද්ධ ව පහසුවෙන් නම් කල හැකි මෙම බිඳවැටීමේ හේතුව (reason) මිට වඩා ඉතා ගැඹුරු තැනක ස්ථානගතවී ඇති එකකි. එය ඉහත පුද්ගල සාධක ඉක්මවා ගිය සමස්ත පශ්චාත් යටත්විජිත අසමත් භාවයකි. නමුත් මෙම බිඳවැටීම අප විපරීත ලෙස මඟ හරිමින් සුවිශේෂ පුද්ගල සාධක අරමුණු කරමින් සිටිමු. වෛද්‍ය වෘතිකයින් කරන්නාක් මෙන්  මෙම සමස්ත ගැටලුව ප්‍රතික්ෂේප කිරීම දැනුවත් නරුම වාදයකි (cynicism). රෝග ලක්ෂණයක් ලෙස අර්ථකතනය කෙරේ නම් මෙයට දිය හැකි වචනය ‘අර්චනකාරී විපරීත බව’ ය (fetishistic perversion). එහි අර්ථය නම් තමා මේ වනවිට අත්දකිමින් සිටින යථාර්තය ප්‍රතික්ෂේප කිරීමේ යාන්ත්‍රනය මානසිකව ගොඩනගා ගැනීමයි. මවට ෆැල්ලසයක් නැතිබව විෂය ය දන්නා නමුත් එය නොදන්නවා සේ සිටිමින් (disavow) එය නොමැති බව පරිපුරණය කිරීම සඳහා වෙනත් අනුපුරක (ආදේශක=substitute) අර්චන වස්තුන් සොයා යෑම මෙයට උදාහරණ වේ. 
මෙයටම තවත් උදාහරණයක් ගෙනෙන්නේ නම් ජ. වි. පෙ. ඇතුළු වාමාංශික ව්‍යාපාර තම සාමාජිකයින් නැවත ග්‍රාමීය ප්‍රදේශ වලට යවමින් (නාගරිකව කළහැකි බොහෝ රැකියා නිෂ්පාදන හා සේවා ආර්ථිකය තුළ තිබුනත්) එම ග්‍රාමීය ප්‍රදේශ වල ගොවි පළවල් නඩත්තු කිරීම,  ගොවිතැන් වැඩ කිරීම, හේන් වැඩ කිරීම,  ලී ඉරීම  වැනි නාගරිකත්වයෙන් පළා යමින් කරන්නාවූ අපගමනයන් විසින් නැවත වරක් අපගේ ග්‍රාමීය අනන්‍යතා වලට අතිරික්ත වටිනාකමක් දීම ඉහත මාතෘ මුලික අනුපුරක තත්ත්වයේම දිගුවක් වේ.  අප රනිල් දෙස බලා සිනාසුනද (ඔහුගේ සීමාකම් කොතෙක් වුවද) යම් දේශපාලනයක් කිසිවෙකු විසින් කරන්නේ නම් ඒ සඳහා ශක්‍යතාවය ඇත්තේ සහ අපව ම නිර්මාණය කරගැනීමේ විභවතාවය ඇත්තේ රනිල් ලා ජිවත් වන නාගරිකත්වය තුළ ම බව අප අවබෝද කර ගත යුතු වෙමු. අරුන්දතී රෝයි, සල්මන් රුෂ්දී වැනි ලේඛකයින් විසින් ද පවත්වා ගෙන යන මෙම නරුම දුරස්ථ බව (cynical distance) වෙනුවට අප එම සංකීර්ණ යථාර්තයට මුහුණ දිය යුතුය. එයින් පැන නොයා යුතුව ඇත. අනාගතය ඇත්තේ එම යථ හමුවීම තුලම ය.     
kim kardashian

සාක්කු පුරවන දේශපාලනය…

සාමාන්‍යයෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ගේ හැම කතාවකම තියෙන පොදු යෙදුමක් තමයි ‘සාක්කු පුරවනවා ‘කියන එක.  ඒ කියන්නේ භෞතික දේවලින් පුරවනවා කියන එක. රනිල් වෙළදාම ගැන ඔච්චර අදිනිශ්චය කරගෙන ඉන්නෙත් එකයි (බලන්න ත්‍රිමාණ පුවත් සඟරාවේ ළිපිය. සබැදියට යන්න). ඒ උනාට මිනිස්සු සාක්කු ගැන විතරක් බැලුවනම් අද රනිල් සහ මෛත්‍රී දෙදෙනාම ඔය පුටුවල නැහැ. උතුරේ මිනිස්සු කොච්චර පාරවල් බෝක්කු හදල තිබුනත් ඒවා බැලුවේ නැහැ. දකුණේ උනත් කොච්චර අධිවේගී මාර්ග හදනවා කිව්වත් මිනිස්සු ඒක දිහා බලල ම වැඩ කළේ නැහැ. අනික අපි වගේ රටවල් වල ආත්මය (spirit) තනිකරම භෞතික දේවල් වලින් පුබුදුවන්නත් බැහැ. රනිල් (මෙන්ම මෛත්‍රී) වෙනුවෙන් පෙනී සිටපු හුගක් අය පසුගිය කාලේ එයාව සාධාරණිකරණය කලේ තනිකරම ද්‍රව්‍යවාදී (materialist) අර්ථකයකින් නෙවෙයි. යුක්තිය, සාධාරණය, නීතිය, සමානත්මතාවය, දුෂණය පිටුදැකීම වගේ අධ්‍යාත්මික කලාපයක් ඔස්සේ. අනෙක් අතට බලන්න අදටත් මහින්ද සාක්කු පුරවන කතා නෙවෙයි කියන්නේ ‘රට’ ‘ජාතිය’ වගේ පාර -භෞතික කතා. ඒ කියන්නේ භෞතිකය ඉක්මවා යන දේවල් …මම හිතන්නේ දේශපාලනය තියෙන්නේ ඒ වගේ පාර-අනුභූතික කලාපයක. 

මේ වෙලාවේ මෙහෙම කියන්න හේතුවක් අපට තියෙනවා. ආසියාතික අරුතකින් අපි බලමු මහත්මා ගාන්ධි කියන චරිතය …අධිරාජ්‍යවාදීන්ගේ ඉන්දියාව අපි තුළ තිබුණ අල්පේච්ච බව පාදක කරගෙන ඔහුගේ අහිංසා වියාපාරය විසින් සම්පුර්ණයෙන්ම  අකර්මන්‍ය කළා එක මොහොතක . ඉතින් ජිජැක් කියනවා ගාන්ධි හිට්ලර්ටත් වඩා ප්‍රචණ්ඩයි කියල. ඒ කියන්නේ මේ තියන පරිබෝජන ආකෘතිය ට යම් අභියෝගයක් දෙනවා නම් අප තුළ ම තියන එක් ‘නිරෝගී’ අනන්‍යතාවයක් නැත්නම් ‘අන්තර්ගතයක්’ (healthy content) විප්ලවීයකරණය කළ හැකියි ජිජැක් පෙන්වා දෙන විදියට. ඒක රනිල් කියන භෞතික තත්වය ඉකමවවා යන එකක්. නමුත් රනිල් ගෙනෙන්න හදන වෙළඳපල මේ වෙලාවේ යහපත් කියල කියන්න පුළුවන්.  ඒ උනාට දීර්ග කාලීනව සාර්වත්‍රික අර්ථයකින් ප්‍රමාණවත් නැහැ. මොකද නව ගෝලීය අධිරාජ්‍යවාදය අප ඉදිරියේ තිබෙන සතුරෙක් නිසා. ඒක පරිකල්පනීය සතුරෙක් නෙවෙයි. 

ඔබේ අදහස කියන්න...