අප දැන් අර්ථයාගේ ප‍්‍රශ්නයේ සිට ලූබ්ධිය (Libido) ස්ථානගත වීමේ ගැටලූව වෙත මාරු වන්නේ නම් වැඩිදුර විලක්ෂණයක් එළි දකී. නියුරෝසිකයාට අනුව ලුබ්ධිය හැම විටම අහිමි වීම පිළිබඳ හැඟීමක් සමඟ ගැට ගැසෙයි. විනෝදය කිසි දිනෙක ඇති වන්නක් නොවේ. එය ළඟාකර ගත නොහැකි ලෙස පලා යමින් සිටී. මෙය මවගෙන් සංකේතිකව වෙන්වීම මඟින් ජනිත කරන ප‍්‍රතිඵලයකි. ඇය සෑම විටම තමාට ප‍්‍රවේශ විය නොහැකි තැනක සිටින්නියකි. ඇය ඇසුරේ සිටිය දී ලැබූ අහිමි වූ ගුප්ත විනෝදය හැම විටම අපට සිහිපත් කරයි. එහෙත් අප දැක ඇති පරිදි සයිකෝසියාව තුළ ලුබ්ධිය රින සංඥාවක් සමඟ ගැට නොගැසෙයි. එය සම්බන්ධ වන්නේ ධන සංඥාවකටය. එනම් එය අධිකතර ලෙස විද්‍යමාන වන බවය. පීඩනෝන්මාදයේ දී එය ස්ථානගත වන්නේ අනෙකා (පීඩකයා හෝ ලෝකයාගේ දෝෂය) තුළය. භින්නෝන්මාදයේ දී එය කෙනෙකුගේ ශරීරය ආක‍්‍රමණය කරයි.
ෂ්රූබර් තමාට වැලඳී තිබුණේ කාමාතුර වීමෙන් හට ගන්නා ස්නායු ආබාධයකැයි කියා සිටියද ලුබ්ධිය පිරිමින්ගේ අංගජාත වටා ස්ථානගත වන බව සඳහන් කළේය. තමා අසනීපය විස්තර කිරීමේ දී ඔහු එය තම පාදයේ සිට හිස් මුදුන දක්වා පැතිරී තිබුණ බව පැවැසීය. මේ නිසා ස්ත‍්‍රියක විඳින ආකාරයේ ලිංගික සතුටක් පිළිබඳ හැඟීමක් ඔහු තුළ විය. ප‍්‍රහර්ශය ශෘංගාර කලාපයන්ටම සීමා නොවී ඔහුගේ සමස්ත ශරීරයම විනිවිදී. ලීඩර්ගේම රෝගිනියක ඔහු සමඟ පවසා තිබුණ පරිදි ඇගේ ලිංගික අවයව හිස් මුදුන දක්වාම විහිදී තිබිණි. ඇගේ මොළය නිතරම ස්ත‍්‍රී යෝනියක් මෙන් නිතර ‘පිම්බෙන’ බව ඇයට දැනෙයි.
මෙම අතිරික්තය විසින් ආක‍්‍රමණය කරනු ලැබූ භින්නෝන්මාදී ආත්මය මෙය නිශේධනය කිරීමට තැත් කරනු ඇත්තේ වෛද්‍යවරුන්ට කන්නලව් කිරීමෙන් ශල්‍ය ක‍්‍රම සරණ යාමෙන් හෝ තමාටම පීඩා පමුණුවා ගැනීමෙන් ධන සංඥාව රින සංඥාවක් බවට පෙරළාගෙන විය හැකිය. ලුබ්ධිය මෙහි දී කෙනෙකුගේ ශාරීරික ඒකත්වය අහිමි කරයි. ඔවුන් තම ශරීරවල මේ සීමාවන් නිරපේක්ෂ ලෙස යළි තහවුරු කර ගැනීමට උත්සාහ කරන්නේ නිතර ව්‍යායාම කිරීමෙන්, කාය වර්ධන මධ්‍යස්ථානවලට යාමෙන් හෝ අඳින ඇඳුම් ගැන වද වීමෙනි. එක්තරා රෝගිනියකට දැනෙමින් තිබුණේ ඇතුළතින් හෝ පිටතින් කිසිදු බාධකයකින් තොරව තම සිරුර විසිරී යමින් තිබෙන බවය. ඇගේ අභ්‍යන්තරික අවයව පිටතට වැටෙතැයි ඇය බිය ගත්තාය. මින් ගැලවීම සඳහා ඇය කළේ කුඩා හුරුබුහුටි අත්බෑගයක් මිලදී ගැනීමය. එමඟින් ඇයට විවෘත අවකාශයෙන් වලකා ගැනීමේ හැඟීමක් ඇතිකර ගැනීමට ඉඩක් ලැබෙයි. ඇය මුලදී පාර මාරු වුණේ රථ වාහන පිළිබඳ කිිසිදු සැලකිල්ලකින් තොරව වටපිට නොබලමිනි. ඇය සිතුවේ මෝටර් රථයකට යට වීම මේ සියල්ලටම ලැබෙන සහනයක් විය හැකි බවය. ඇය දැන් පාර මාරු වන්නේ සැලකිලිමත්වය. නැත. ඇය එලෙස කරන්නේ ඇගේ පරෙස්සමට නොවේය. අර බෑගයට හානියක් වීම වලකා ගැනීමටය.
තවත් අවස්ථාවක දී භින්නෝන්මාදී ආත්මයක් විස්තර කළේ තමා අවුරුදු ගණනාවකින් තම මහල් නිවාසය පිරිසිදු කර නැති බවය. ලේ, මළමුත‍්‍රා ආදිය අනෙකුත් කුණු රොඩු සමඟ හැමතැනම විසිරී තිබිණි. ඇගේම සුවසෙත සලකා ලීඩර් තම රෝගිනියට පෞද්ගලික පිරිසිදු කරන්නකුගේ සහාය ලබා ගැනීමට දිරිමත් කළේය. එමඟින් ඇගේ මානසික තත්ත්වයට යම් බලපෑමක් වෙතැයි ඔහු කල්පනා කළේය. ඇගේ ජීවන තත්ත්වය පිළිබඳ යම් දෙයක් කළ යුතු බව ඇය දැන සිටියාය. එහෙත් එවිටම ඇය පසුතැවුණේ මහල් නිවස ඇගේම ශරීරය වන බවය. එය ඇගේ සිරුර ‘වගේ’ නොව ඇගේ සිරුරමය. තමා අවට මෙලෙස ජරාජීර්ණව තබා ගැනීමෙන් ඇගේ ශරීර අභ්‍යන්තරයේ ස්වභාවය ඇයට තහවුරු වෙයි. පවිත‍්‍රකාරකයා නිවසට ඇතුළු වන විට ඇගේ සයිකෝසියාව ඇවිලිනි. තමාගේ සිරුර යයි සිතාගෙන සිටි ස්ථානයට තුන්වැන්නකු ඇතුළු වීම විනාශකාරීය. දැන් ඇය කියන්නේ තමාගේ අභ්‍යන්තරික අවයව කොහේ තිබෙන්නේදැයි ඇය නොදන්නා බවය. පිටත සහ ඇතුළත යන බෙදීම කඩා වැටී ඇත. තමාගේ ශරීරය කෑලි ගැලවී විසන්ධි වී යන බව ඇයට දැනිනි.

Bipolar 2
ශාරීරික සීමාවන් පිළිබඳ වද වීම භින්නෝන්මාදයේ දී තීරණාත්මකය. ”මගේ ඇෙඟ් සීමා මායිම් නැහැ” එක්තරා රෝගියෙකු විස්තර කර තිබිණි. ”අනෙක් අයට තිබෙන චර්මය වගේ වෙන් කරන දෙයක් මට නැහැ. කොතනකින් හරි යම් දෙයක් එළියට වැටෙන්න පිළිවන්. මම හැම තිස්සෙම අනතුරකට මුහුණ පාල ඉන්නෙ” ඔහු තවදුරටත් කියා සිටියේ ”මගේ ඇඟ ඇතුළේ තිබිය යුතු අවයව තිබෙන්නේ ශරීරයෙන් පිට” යනුවෙනි. කෙනෙකුට බාගවිට දැනෙන්නේ තම සිරුරේ කොටස් වෙනත් අයගේ සිරුරුවල කොටස් සමඟ මාරු වී ඇති බවය. ”මගේ සිරුරේ මොකක් හෝ වෙනසක් වෙලා” එක්තරා ස්ත‍්‍රියක් වාර්තා කළාය. ඇගේ මැණික් කටුවේ කොටසක් වෙනත් ගැහැනියකගේ මැණික් කටුව සමඟ මාරු වී ඇති අතර දැන් ඇය බිය වන්නේ එම ඉරණමම තමාගේ බාහුවටත් සිදුවේද යන්න ගැනය. ”මගේ අත මට අයිති නැහැ” ඇය පැවසුවාය. ”ඒක හරියට (අනෙක් ගැහැනියගේ) ජරා සිරුරු කොටස් මගේ ශරීර කොටස් වෙනුවට ලැබිල වගේ” තමාගේ ශරීරයේ ඉතිරි කොටස් වෙන අය විසින් අයිතිකර ගනු ලැබීමෙන් වලකා රැුක ගැනීමට ඇයට ඉමහත් උත්සාහයක් ගැනීමට සිදු වී තිබේ.
භින්නෝන්මාදය තුළ ශාරීරික වෙනස්කම් විවිධ ආකාරයෙන් සිදුවීමට පිළිවන. ශරීරය තුළ යම් චලනය වීම් දැනීම, ඇදීම හෝ තදකිරීම, උණුසුම හෝ සීතල දැනීම ශරීර කොටස්වල අංග හැකිලීම හෝ විශාල වීම ඉන්ද්‍රියයන් අතුරුදන් වීම, ශක්තිය අතිරික්ත වීම හෝ මුළුමනින්ම වියැකී යාම, දැවෙන්නාක් සේ දැනීම, ශරීරය මතුපිට පුරාම හෝ යම් නිශ්චිත තැනක කැසීම හෝ කිති කැවීම වැනි දේවල් මෙහි දී සිදුවේ. බලපෑමට නතු වූ ශරීර කොටස පටු වීම, පළල් වීම, ඉදිමීම, වියැළී යාම, ගැට ගැසීම හෝ විස්ථාපනය වීම පිළිබඳ රෝගියා පැමිණිලි කළ හැක. තමාව තදින් අල්ලාගෙන රැහැන්වලින් සහ අඬුවලින් තද කරන්නාක් සේ දැනෙනු ඇත. එසේ නැතහොත් යම් බාහිර ශරීර තමා තුළට ඇතුළු වී කඩා දමනු, අදිනු, තද කරනු වැනි දෙයක් හෝ අතපය ගලවා දමනවා සේ දැනෙනු ඇත.
ලූබ්ධිය ශරීරය තුළට ඇතුල් වීම යන්නෙහි අර්ථය නම් භින්නෝන්මාදී තැනැත්තා නොයෙක් විට සෞඛ්‍ය ගැටලූ පිළිබඳ සිතන බවය. එසේම සයිකෝසියෝවේ දී නොයෙක් විට අහේතුක විශාදියක් වැන්නක් ප‍්‍රකාශ වීම ද මින් පැහැදිලි කෙරේ. මායාමති භ‍්‍රමික සිතිවිලි නොමැතිව වුවත් කෙනෙකු සාමාන්‍ය වෛද්‍යවරයකු සරණ යා හැක. ඔවුහු සාමාන්‍යයෙන් විශේෂඥ වෛද්‍යවරයකු ලවා පරීක්ෂා කරවා ගැනීමට යති. වරද කුමක්දැයි හරියට හඳුනා ගැනීමකින් තොරව වෛද්‍ය පරීක්ෂාවන් සිදුවේ. ශාරීරික සංවේදනා යම් නිශ්චිත තැනකට ස්ථානගතව තිබුණත් එය කිසිදු දන්නා කියන රෝග ලක්ෂණයකට ගැට නොගැසෙයි. කෙසේ හෝ තමන්ගේ අත්දැකීම් විස්තර කිරීම තුළ රෝග ලක්ෂණ හෝඩුවාවන් හමුවෙයි. ඔවුන් වෛද්‍යවරු කීප දෙනෙකු ඉදිරියේ භාවිත කළ එකම වචනය නැවත නැවත පාවිච්චි කරනු දැකිය හැකිය.
ලුබ්ධිය ශරීරය තුළට කඩා වැදීම ප‍්‍රකටව පෙනී ගියත් සමහර තැන්වල දී සිදුවන්නේ එහි ප‍්‍රතිලෝමයයි. ශරීරය ඔවුන්ට දැනෙන්නේ ද්විමාන රූපයක් පරිද්දෙනි. බ්ලූලර් පවසන පරිදි සමහර රෝගීන්ට තමා තමාගේම හුදු ප‍්‍රතිබිම්බනයක්, පොතක තිබෙන චිත‍්‍රයක් හෝ බිත්තියක් මතට ප‍්‍රක්ෂේපණය කළ චංචල රූපයක් සේ දැනී ඇත. තථ්‍ය සමාන රූපයේ ද්විමාන ගුණය ආත්මයාගේ සැබෑ ශරීර අත්දැකීම බවට පත්වෙයි. සයිකෝසියාව වැලඳුණ එක් ස්ත‍්‍රියක පැවසුවේ තමාට කැඩපත තුළින් තමාව හඳුනාගත නොහැකි වූ බවය.

සමන් වික‍්‍රමාරච්චි

ඔබේ අදහස කියන්න...