සිරගෙය යනු දඬුවම් කිරීම සඳහා පමණක් බිහිවූ  ආයතනයක් නොව නීතිමය අවකාශයට බාහිරින් මිනිසුන් ප‍්‍රයෝජනවත් සහ ශික්ෂණය කරන ලද පිරිසක් ලෙස නිර්මාණය කිරීමේ ආකෘතිය සහිතව ගොඩනැඟුන ආයතනයකි. සිරදඬුවම තුළ ඇති අපහසුකාරී බව සහ භයානකකම ගැන අප දන්නා නමුත් එයට විකල්පයක් පිළිබඳව සිතිය නොහැකිය. සිරගෙයින් පිටත ජීවත් වන සදාචාරාත්මකව යහපත් මිනිසාව බිහි කිරීමේ දී ඔහුගේම නපුරු කොටසක් ලෙස නිශේධනය වන ආත්මයන් සිරගෙයට ඇතුළු වේ. මෙම නපුරු, අශ්ශීල ආත්මයන් සහිත පුද්ගලයන්ව සමාජ ක‍්‍රමය තුළ නැවත  ප‍්‍රයෝජනයට ගන්නේ කෙසේද? ඔවුන්ට සමාජය තුළ හිමිවන අනන්‍යතාවය කුමක්ද? සිරගෙය සහ එයට යන එන පුද්ගලයන් පිළිබඳ ෆූකෝගේ ව්‍යුහාත්මක අධ්‍යයනය අපව ඒ පිළිබඳ සිතීමේ නව මාවතක් කරා යොමුකරයි.

සිර දඬුවම තුළ ක‍්‍රියාත්මක ප‍්‍රතිසංස්කරණවාදී මූලධර්මයන් වෙත පළමුව අවධානය යොමු කරමු. සිරකිරීමේ පළමු මූලධර්මය වන්නේ පුද්ගලයාව හුදෙකලා කිරීමයි. එමඟින් ඔහුට තමා සිදු කළ අපරාධය ගැන ආවර්ජනය කිරීමට සහ කනගාටු වීමට අවස්ථාව උදාකරයි. දෙවනුව සිරකරු වැඩ කිරීම සහ ආගමික කටයුතුවලට යොමු කිරීම  සිදු කරයි. එමඟින් ඔහුගේ ජීවිතය යම්කිසි පිළිවෙළක් අනුව ගොඩනැගීමට උත්සාහ කරයි. මීළඟට කාලය අනුව දඬුවම සකස් කිරීම සිදු කරයි. අපරාධය අනුව සිරකරුගේ ආත්මය ප‍්‍රතිසංස්කරණය කිරීමට යන කාලය ගණනය කෙරේ. රැුඳවියා බාරව සිටින නිලධාරියා මෙන්ම වරදකරුට දඬුවම ලබාදෙන මහේස්ත‍්‍රාත්වරයාට ද ඒ සඳහා නිවැරැුදි දැනුමක් තිබිය යුතුය.

අපරාධවලට නීතියෙන් සහ උසාවිය මඟින් දඬුවම් ලබා දීම අත්තනෝමතික දෙයකි. විනිසුරුවරුන් සිදු කරන්නේ පූර්ව නිගමනයක් පමණි. මේ නිසා විනිසුරුවරුන් තම තීන්දුව/තක්සේරුව පිළිබඳව සුපරීක්ෂාකාරී වීම සහ තමාට සිදුවන වැරැුදි නිවැරැුදි කර ගැනීමද අත්‍යවශ්‍ය වේ. සිරගෙය අධිකරණයට සම්බන්ධ වන තැන දණ්ඩනාගාරය (සායනය* ලෙස හැඳින්වේ. සිරගෙය මඟින් රැුඳවියා පිළිබඳ නිවැරැුදි සායනික දැනුමක් ලබා දිය යුතුය. අධිකරණය විසින් පුද්ගලයා වරදකරුවෙකු කර සිරගෙය වෙත යවන නමුත් සිරගෙය විසින් ඔහු අපරාධකරුවකු ලෙස නොව අපරධාත්මක ආත්මයක් සහිත අයෙකු ලෙස සලකයි. මෙම අපරධාත්මක ආත්මය පිළිබඳ අධ්‍යයනය මඟින් ගොඩනැගෙන දැනුම අපරාධ විද්‍යාව ලෙස හඳුන්වයි. සිරකරුවාගෙන්ම බිහිවන අපරාධ විද්‍යාවේ දැක්ම නැවත අලූ‍ත් සිරකරුවන් වෙත ක‍්‍රියාත්මක වේ. ඒ අනුව  ශරීරය ඉලක්ක කරගෙන ක‍්‍රියාත්මක වූ  දඬුවම් දීමේ බලය නූතන සමාජය තුළ විද්‍යාත්මක දැනුමක් ලෙස මතුවී තිබේ. මෙම දැනුම මඟින් සිරගෙයට පැමිණිය යුතු අය පිළිබඳව අධිකරණයට දැනුම් දෙයි. නව නීති බිහි කිරීමේ දී නිවැරැුදි කළ යුතු පුද්ගලයන්, භයානක පුද්ගලයන් වන්නේ කවුදැයි  තීරණය වන්නේ මෙම දැනුම මඟිනි. ඒ අනුව වර්තමානයේ බලය ක‍්‍රියාත්මක වන්නේ දැනුම උපකරණයක් කරගනිමින්ය.

නීතියේ අරමුණුවලට අනුව සිරගෙය තුළ දී පුද්ගලයා දඬුවම ලෙස තම නිදහස අහිමි කරගනිමින් පුනරුත්ථාපනය වීමේ ක‍්‍රියාවලියකට යොමුකරවන බව මතුපිටින් පෙන්නුම් කළද සිරගෙය තුළ දී ක‍්‍රියාත්මක ව්‍යාපෘතිය ඊට හාත්පසින්ම වෙනස්ය. සිරගෙය යනු අපරාධකරුවා නිර්මාණය කරන ආයතනයයි. සිරගෙය තුළ ඇත්තේ හිතුවක්කාරී පරිපාලන බලයයි. සිරකරු භයානක පුද්ගලයෙකු ලෙස සලකා ඔහුව නිවැරැුදි කිරීමට උත්සාහ කරන ක‍්‍රමයේ පවතින අත්තනෝමතික ස්වරූපය නිසා සිරකරු එම ක‍්‍රමයට වෛර කිරීමට පටන් ගනී. සිරගෙයින් පිටතට යන පුද්ගලයා තමා සිරගත වූ බවට වූ අනන්‍යතාව රැුගෙන යයි. රැුකියාවක් සොයාගැනීමට අපහසු වීම, සමාජයෙන් කොන් කිරීම, පොලීසියේ සුපරීක්ෂාවට ලක් වීම ආදී හේතු නිසා සිර දඬුවම් විදි අයකු පුනරාවෘත්තියට පැමිණීම එනම් නැවත අපරාධ සිදු කිරීමට යොමුවීම සිදුවේ. මෙම හේතුව සහ එල්ල වන විවේචන නිසා 70 දශකයේ දී සිරගෙවල් සඳහා සාර්වත‍්‍රික නියම කිහිපයක් ප‍්‍රංශය තුළ බිහිවිය. රඳවාගනු ලබන කාල සීමාව තුළ දී පුද්ගලයාගේ හැසිරීම් වෙනස් කිරීම, රැුඳවියා හුදෙකලා කර ඔහුගේ වයස සහ හැකියාවන් අනුව නිවැරැුදි කිරීමේ ක‍්‍රම සැකසීම, සිරකරුවා හොඳින් නිවැරැුදි වන බව පෙනේ නම් ඔහුගේ දඬුවම් කාලය අඩු කිරීම, වැඩ කිරීමට අනිවාර්යයෙන්ම යොමු කරවීම, අධ්‍යාපනය ලබා දීම, විශේෂඥයන්ගේ පරීක්ෂාවට ලක් කිරීම, නැවත යථා තත්ත්වයට පත්වන තෙක් සිරගෙයින් පිටවූ පසුවත් සහයෝගය ලබා දීම මෙම නියමවලට අයත්ය.

කෙසේ නමුත් සිරගෙය අසාර්ථක වීම සහ අපරාධකරුවකු ලෙස පුද්ගලයෙකු නඩත්තු වීම ක‍්‍රමයේ පවතින දුර්වලතාවයක් නොවේ. මෙම ක‍්‍රියාවලිය තුළ පවතින නරුමවාදී රහස හඳුනාගත යුතුය. දඬුවම් ලබා දෙන්නේ වැරැුදි නැති කිරීමට නොවේ. නමුත් එහි බලාපොරොත්තුව වැරැුදිකරුවන් වෙන්කර හඳුනා ගැනීමත්, ඒවා ව්‍යාප්ත කිරීම සහ ප‍්‍රයෝජනයට ගැනීමත්ය. දඬුවම යනු නීති විරෝධී ක‍්‍රියා පරිපාලනය කිරීමේ ක‍්‍රමයකි. නීති විරෝධී ක‍්‍රියා දේශපාලන තලය, නිෂ්පාදනය  සහ සංවිධානාත්මක අපරාධ කල්ලි යන ආකාර තුනකින් ක‍්‍රියාත්මක වේ. අධිකරණ පද්ධතිය තුළ ඇති ප‍්‍රතිවිරෝධිතාවය ඇත්තේ නීති විරෝධී දේවල් සහ නීත්‍යනුකූල දේවල් අතර වුවත් එහි උපායමාර්ගික ප‍්‍රතිවිරෝධිතාව ඇත්තේ නීති විරෝධීභාවන් සහ අපරාධකරුවන්/අපරාධභාවයන් අතරය. දේශපාලනිකව සහ ආර්ථිකව භයානකකමින් අඩු අපරාධකරුවන් බිහිකර ගැනීම සිරගෙය තුළ සිදු වේ. ඒ තුළ අපරාධකරුවන්  නිවැරැුදි කිරීම අසාර්ථක වීම දඬුවමේ ඇති අඩුපාඩුවක් නොව එහි සැබෑ ප‍්‍රතිඵලයයි. ලෝකය තුළ නීති විරෝධී ක‍්‍රියා නඩත්තු වන අතර ඒවාට භයානක සීමාවන් වෙත පැමිණීමට ඉඩ නොදී තබා ගනී.

තහනම් ලිංගික සතුට මඟින් ආදායම් ඉපයීමට හැකි ගණිකා නිවාසවල හිමිකරුවන් වන්නේ  අපරාධකරුවන්ය. ආයුධ ගනුදෙනු, නීති විරෝධී මත්ද්‍රව්‍ය යනු ප‍්‍රයෝජනවත් අපරාධ භාවයන් වේ. ඒවා තුළ විශාල නීති විරෝධී ලාබයක් ඇති අතර ඒවා පරිපාලනය මඟින් එම ආර්ථිකය තුළ සූරාකෑම සිදු වේ. පොලීසියේ සුපරික්ෂාව නොමැතිව හුදෙකලා නීති විරෝධී ක‍්‍රියා සිදු නොවේ. පොලීසිය ජනතාවට නොදැන සියලූ‍දෙනා දෙස බලා සිටී. පොලීසිය සිරගෙය සමඟ සම්බන්ධ වන අතර එමඟින් නීති විරෝධී ක්ෂේත‍්‍රය සහ අපරාධකරුවන් භාවිත කිරීම සහතික වේ. එය පවතින ක‍්‍රමයේ ඵලයක් මෙන්ම උපකරණයක් ද වේ. පොලීසිය – සිරගෙය – අපරාධකරුවා යන ත‍්‍රිත්වය එකිනෙකාට උදවු කරගනිමින් පරිපථයක් නිර්මාණය කරයි.

අධිකරණය යනු නීති විරෝධී ක‍්‍රියා විභේදනය කර පරීක්ෂා කිරීමේ උපකරණයකි. අධිකරණය සමඟ එකට පවතින අනෙක් අංග වන්නේ පොලීසිය, සිරගෙය, සහ අපරාධකරුවායි. නවීන සමාජයක් තුළ විනිසුරුවරුන් එදිනෙදා අවශ්‍යතාවට අනුව නඩු ඇසීම රඟ දැක්වුවද පොලීසිය සහ අපරාධකරුවන් එක් වූ අඳුරු ලෝකයක් තුළ බොහෝ දේ සැඟවී ඇත. මත්ද්‍රව්‍ය, ආයුධ වෙළෙඳාම, ගණිකා නිවාස, මිනී මැරීම, වංචා ¥ෂණ ආදී නීති විරෝධී ක‍්‍රියා  සිදුවන අඳුරු ලෝකය තුළ බදු රහිත විශාල ආර්ථික ක‍්‍රියාවලියක් පවතී. එහි වෘත්තිකයන් වන්නේ සිරගෙයින් අනන්‍යතාවය ලැබූ අපරාධකරුවන්ය. මෙම ආර්ථිකයේ ලාබය පාලක පන්තිය විසින් හිමිකර ගන්නා අතර එහි ඇතිවන ගැටුම් පරිපාලනය කිරීමේ කාර්යය පොලීසිය, උසාවිය සහ සිරගෙය  විසින් සිදු කරයි. මෙම නව ව්‍යුහය තේරුම් ගැනීමට අවශ්‍ය  ඓතිහාසික පසුබිම  මිචෙල් ෆූකෝ විසින් පෙන්වා දෙන  අතර එය විකල්ප සමාජ ක‍්‍රමයක් වෙනුවෙන් වූ අපගේ අරගලයට වැදගත් මාර්ගෝපදේශනයක් සපයයි.

ඔබේ අදහස කියන්න...