2018 අයවැය යෝජනා සම්මත වීමෙන් අනතුරුව එය ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න සම්බන්ධව ආණ්ඩුවට වැඩපිළිවෙළක් තිබේද? අයවැයෙන් සම්මත වූ වැදගත්ම යෝජනාව වූයේ රාජ්‍ය ආදායම ද.දේ.නි. ප‍්‍රතිශතයක් ලෙස 16.8% දක්වා වැඩි කිරීමය. මේ සඳහා අවශ්‍ය තාක්ෂණික ඥානය ආදායම් බදු දෙපාර්තමේන්තුව, රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව සතුද? අදාළ නිලධාරීන් මේ සඳහා අවශ්‍ය පුහුණුවීම් කර තිබේද? ආණ්ඩුවේ යෝජිත බදු පනතින් ඍජු බදු ආදායම 20% සිට 40% දක්වා වැඩි කිරීම වක‍්‍ර බදු ආදායම 80% සිට 60% දක්වා අඩු කිරීම යෝජනා කර තිබුණි. මෙය ලෝකයේ ලංකාව වැනි පහළ මධ්‍යම ආදායම් ලබන රටවල අනුගමනය කරනු ලබන ක‍්‍රමයකි. සංවර්ධන ආර්ථික විද්‍යාඥයන්ට අනුව එය ප‍්‍රගතිශීලී බදු ප‍්‍රතිපත්තියක තිබිය යුතු අනිවාර්ය සාධකයකි. අඩු ආදායම් ලාභීන්ට සමාජ සාධාරණය ඇති කිරීම සඳහා මෙය ක‍්‍රියාත්මක කළ යුතුය. එය මේ වසර තුළ ක‍්‍රියාත්මක කිරීමට ආණ්ඩුව පොහොසත්ද.

අනෙකුත් වැදගත් සාධකයක් ආණ්ඩුවේ ගෙවීම් ශේෂයේ පරතරය 4.8% ක් දක්වා අඩු කිරීමය. 2017 පුරෝකථනය කරනු ලැබුයේ 5% ක අඩු පරතරයක පවත්වා ගැනීමය. අවාසනාවන්ත ලෙස එය 5.2% දක්වා වැඩි විය. යෝජනා කොතරම් යහපත් වුවත් ඒවා ක‍්‍රියාත්මක කිරීමට සාර්ව ආර්ථිකයේ කළ යුතු වෙනස්කම් මොනවාද? එය දේශපාලන අවශ්‍යතා මත යම් යම් අවස්ථාවල කරනු ලබන මැදිහත්වීම් තුළ අවුල් විය හැකිද? වසර 2006 සිට 2014 දක්වා පැවති ආණ්ඩුව කරනු ලැබූ ආර්ථික ක‍්‍රියාකාරකම් (දේශපාලන වාසි ලබාගැනීම) අදට ද පැහැදිලි නැත. 2015 මුල් කාර්තුව තුළ ලබා දුන් ආණ්ඩුවට දරාගත නොහැකි සහන ආදායම් මෙයට නිදසුන්ය. 2002 රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මෙවැනි යෝජනාවක් කර තිබුණි. එය කි‍්‍රයාත්මක කිරීම සඳහා විශාල පරිශ‍්‍රමයක් දරන ලදි. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ආණ්ඩුව විසුරුවා හැරීම නිසා ආර්ථික ස්ථාවරත්වය අවුල් විය. මේ සඳහා අවශ්‍ය දැඩි ප‍්‍රතිපත්තියක් ආණ්ඩුව සතු විය යුතුය.

කම්කරු නීති ප‍්‍රතිශෝධනයද අගය කළ යුතු ප‍්‍රතිපත්තියකි. මේ හා සමානම යෝජනාවක් මහින්ද චින්තන 2006-2016 දස අවුරුදු සැලැස්මේද ඇතුළත්ව තිබුණි. දැටන පවතින නීති රීති සම්පාදනය කර වසර 45 වැඩි කාලයකි. දැනට පවතින නීතිය අනුව සේවකයකුගේ සේවය අවසන් කිරීම වෙනුවෙන් විශාල පාරිතෝෂිකයක් ගෙවිය යුතුව ඇත. මෙය වෙනස් විය යුතුය. ඒ සඳහා යම් රාජ්‍ය අරමුදලක් පැවතීම වඩා කාලෝචිතය. එය ගොඩනැගීම වෙනුවෙන් ආණ්ඩුවට වැඩපිළිවෙළක් තිබිය යුතුය. වාර්ෂිකව ශ‍්‍රම බළකායට ලක්ෂ 2 1/2 ක් පමණ ශ‍්‍රමිකයන්ට රැකියා සැපයීමට ආණ්ඩුවට හෝ දේශීය ප‍්‍රාග්ධනයට කළ නොහැකිය. එබැවින් රටේ රැකියා නියුක්තිය වැඩි කිරීමට නම් අනිවාර්යයෙන්ම විදේශීය ප‍්‍රාග්ධනය ආකර්ෂණය කර ගැනීමේ වැඩපිළිවෙළක් තිබිය යුතුය. මේ සඳහා පවතින ප‍්‍රධාන බාධාව වී ඇත්තේ දැනට ක‍්‍රියාත්මක කම්කරු නීතිවල ඇති අනම්‍ය ස්වභාවයයි.

පවතින රේගු පනත් පවතින්නේ ඉතා පැරණි යුගයේය. අද වන විට දේශීය නිෂ්පාදකයන්ට ඇති ප‍්‍රධාන බාධාව වී ඇත්තේ අපනයන වෙළෙඳ ප‍්‍රතිපත්තිය අනුව රටින් යම් භාණ්ඩයක් අපනයනය කිරීම දින 25 ක් ලියවිලි 8 ක් සම්පූර්ණ කළ යුතුව ඇත. දියුණු රටවල මෙය දින 03 ක සරල ක‍්‍රියාවලියකි. කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ අපනයනය වැඩි කිරීමට නම් මේ සඳහා අවධානය යොමුවිය යුතුය. ඊට අමතරව අපනයනය කරනු ලබන එළවළු පලතුරු ආදිය තැන්පත් කිරීමේ ශීතාගාර හා නිරෝධන කටයුතු අදටත් පවතින්නේ යල්පැනපු තත්ත්වයකය.

අධ්‍යාපනය සම්බන්ධව දැවැන්ත ප‍්‍රතිසංස්කරණ යෝජනා කර ඇත. ඒ අතුරින් වැදගත් වන්නේ රැුකියා වෙළෙඳපොළට පිවිසෙන ශ‍්‍රමිකයන්ගේ නිපුණතා වර්ධනය කිරීමයි. මේ සඳහා ආණ්ඩුව විසින් යෝජනා කර ඇති යෝජනා ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක් ඇතිද, මෙහි දී අවධාරණය කරගත යුතු ප‍්‍රධාන කරුණක් වන්නේ යෝජිත යෝජනා ක‍්‍රියාත්මක කළ යුතු වන්නේ පවතින නිලබල අධිකාරිය තුළ ඇති සීමාසහිත බව සමඟය. එකල මහවැලි ව්‍යාපාරය ක‍්‍රියාත්මක කිරීමට මහවැලි පනත (මා දන්නා තරමට ලංකාවේ ඇති බලවත්ම පනත මහවැලි පනත) සම්මත කරගන්නේ පවතින දෙපාර්තමේන්තු සම්ප‍්‍රදාය තුළ ඇති මන්දගාමී ස්වභාවය නිසයි. ඒ නිසා මේ සඳහා අවශ්‍ය කඩිනම් කිරීමට අදාළ නිලධාරී පුහුණු කිරීම සේවා දිරිගැන්වීම ආදිය සකස් කොට ඇතිද යන්න ගැටලුසහගතය.

වෛද්‍ය අධ්‍යාපනය වෙනුවෙන් ඇතුළත් ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කිරීමට කර ඇති යෝජනාව හා වෙන්කර ඇති ප‍්‍රතිපාදන දෙස බැලූ විට පෙනී යන්නේ එය සාර්ථක කළ නොහැකි යෝජනාවක් ලෙසයි. දැනටමත් ක‍්‍රියාත්මක මඩකලපුව, අනුරාධපුරය, යාපනය වැනි වෛද්‍ය විද්‍යාලවල ද විශාල වශයෙන් අඩු පාඩු ඇත. උසස් අධ්‍යාපනය සම්බන්ධ රජයේ ප‍්‍රතිපත්තිය දැන් වෙනස් විය යුතුය. රජයේ අවධානය යොමුකළ යුතු වන්නේ ප‍්‍රාථමික ද්විතීයික සහ අවම අධ්‍යාපන සුදුසුකම් සපුරන්නන්ගේ වෘත්තීය පුහුණුව ආදිය වෙනුවෙනි. අද ලෝකයේ කිසිම රටක විශ්වවිද්‍යාල අධ්‍යාපනය නොමිලේ ලබා දෙන්නේ නැත. අපට වඩා ඒකපුද්ගල ආදායම අඩු ඉන්දියාව සහ බංග්ලාදේශයවත් එය නොමිලේ ලබා දෙන්නේ නැත. මේ රටවල හැම දෙයකම ප‍්‍රතිපත්තිය වී ඇත්තේ සහනදායී පොලියට හෝ පොලිය රහිතව ලබා දෙන ශිෂ්‍ය ණය පහසුකම් යටතේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා දීමය. රැකියාවක් ලැබූ විගස ශිෂ්‍යයන් තමන් අධ්‍යාපනය ලැබූ මුදල ප‍්‍රතිපූර්ණ කළ යුතුය. මේ ලියුම්කරු සමඟ මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ කථිකාචාර්යවරයකු පවසා සිටියේ උපාධි ලබාගත් ඉංජිනේරුවන්ගෙන් 60%කට ආසන්න පිරිසක් ලංකාව අත්හැර ගොස් ඇති තත්ත්වයයි. මේ අය වෙනුවෙන් කරන ලද ආයෝජනයට රටට ලැබෙන ප‍්‍රතිලාභයක් නැත. දැනටමත් විදේශීය පුහුණුව සඳහා ගොස් සිටින වෛද්‍යවරුන්ගෙන් කී දෙනෙක් නැවත ලංකාවට පැමිණ ඇද්ද. එමනිසා තවදුරටත් මේ නිදහස් අධ්‍යාපන බොරුව පවත්වාගෙන යා යුතු නැත.

නම්‍යශීලී වැඩමුර ක‍්‍රමය යෝජනාවක් විදිහට ප‍්‍රගතිශීලී වුවද ඒ සඳහා අවශ්‍ය පර්යේෂණයක් කර ඇතිද? කාන්තා ශ‍්‍රම දායකත්වය වර්ධනය කර ගැනීමට මෙය බලපාන්නේ කෙසේද සම්බන්ධ අධ්‍යයනයක් කර ඇතිද? රාජ්‍ය සේවා තුළ මෙය ක‍්‍රියාත්මක කරන්නේ කෙසේද? මෑතක බත්තරමුල්ල අවට වාහන තදබදය අඩු කිරීමට ඒ අවට පිහිටා ඇති රාජ්‍ය ආයතනවලට නම්‍යශීලී වැඩමුර ක‍්‍රමයක් හඳුන්වා දුන්නද අපේක්ෂිත ප‍්‍රතිඵල අත්වූයේ නැත. දැනට යෝජනා කර ඇති දරුවන් දිවා සුරකුම් මධ්‍යස්ථාන සහ එයට අවශ්‍ය ශ‍්‍රමිකයන් සොයා ගැනීම පුහුණු කිරීම ආදිය සම්බන්ධව ආණ්ඩුවට මේ වසර තුළ හැකියාවක් ඇතිද යන කරුණු සාකච්ඡා කළ යුතුය.

සංචාරක ව්‍යාපාරය සඳහා දැනට කර ඇති යෝජනාවලට අමතරව පිරිවැය අවම වැඩපිළිවෙළක් තිබිය යුතුය. තරු පහේ හෝටල් ඇති කිරීම කෙටිකාලීනව කළ නොහැකිය. පරිසර හිතකාමී සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමේ පරිසර හිතවාදී (Eco Tourism) සංචාරක ක‍්‍රම තිබීම වැදගත්ය. මේ සඳහා අවශ්‍ය ශ‍්‍රමිකයන් පුහුණු කිරීම ආදිය කිරීමට සංචාරක අමාත්‍යාංශය උත්සුක විය යුතුය.

සැලකිය යුතු ප‍්‍රධාන කරුණ වන්නේ දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු අයවැය ක‍්‍රියාත්මක කිරීමට දෙනු ලබන සහයෝගයයි. අයවැය විවාදයේ ඔවුන් බහුතරයකගේ අදහස් දැක්වීම තුළ වූයේ ඔවුන්ට මේ සඳහා විශාල අවබෝධයක් නොමැති බවයි.

විපුල කරුණාතිලක

ඔබේ අදහස කියන්න...