ශිෂ්ටත්වයේ සිහිනය...|Tuesday, September 26, 2017
You are here: Home » News » Blade Runner සහ ලයනල් බෝපගේ

Blade Runner සහ ලයනල් බෝපගේ 

Blade Runner

 

සංස්කෘතිය මගින් මිනිසෙකු නිර්වචනය කිරීම චිරාගත සම්ප්‍රදායකි. ඒ අනුව ගත්විට සංස්කෘතිය යනු සිතුම්- පැතුම්, සිරිත්- විරිත්, චාරිත්‍ර- වාරිත්‍ර අනුගමනය කිරීමයි. නැතහොත් ඒවා අනුකරණය කිරීමය. මාක්ස් නිර්ධනයා යනුවෙන් හඳුනාගත්තේ මේ කිසිවක් නැති හිස් මිනිසාය. ඔහුට අනුව නිර්ධනයා යනු සංස්කෘතියක් හෝ සභ්‍යත්වයත් නැති මිනිසාය. මැද හිස් බවකි. බාහිරින් පිරවීමට ඇති හිස් තැනකි. ලයනල් බෝපගේ යනු ජනතා විමුක්ති පෙරමුණේ 80 දශකයේ ලේකම්වරයාය. ඔහු වැනි පුද්ගලයකු සමාජ ජාල වෙබ් අඩවියක් වන Facebook සඳහා මෙතරම් වශී වී ඇත්තේ මන්ද යන කාරණය වග විභාග කිරීම අපගේ සමකාලීනත්වය අරභයා වරනැගිය යුතු සාරාත්මක ප්‍රශ්නයකි.
මිනිසා තමන්ට උගන්වා ඇති පරිදි මම කව්ද? යන ප්‍රශ්නයේදී ඉතා අසරණය. මේ සඳහා අපට ආගම විද්‍යාව සහ දර්ශනය විසින් විවිධ විසඳුම් ලබා දී ඇත. ලංකාව වැනි රටක නම් ජනතාව මේ සඳහා ලබාදී ඇති ආගමික පිළිතුර මගින් සෑහීමකට පත්වේ. ආගම විසින් මිනිසා යනු කවුද? යන ප්‍රශ්නයට දී ඇත්තේ පතල් තාක්ෂණයට අදාල පිළිතුරක්ය. මැණික්, රත්තරන්, යකඩ, දියමන්ති වැනි ලෝහ සහ වටිනා දේවල් ඇත්තේ පොළොව අභ්‍යන්තරයේය. නිවැරදි තාක්ෂණය භාවිතා කොට පොළොව අභ්‍යන්තරය ක්‍රම ක්‍රමයෙන් කැනීම් සිදුකිරීම මගින් අපට වටිනාම සම්පත හමුවෙයි.මෙය විද්‍යාව විසින් අපට අප සිතන දෙය පිළිබඳව ලබාදෙන නිරවද්‍යතාවයයි. කැනීම් තාක්ෂණය යනු පොළොව අභ්‍යන්තරයේ පවතින වටිනා දෙය සොයා ගැනීමයි.
මිනිසා කවුද? යන ප්‍රශ්නයට ආගම විසින් ලබාදී තිබෙන පිළිතුර ඉහත කැණිම් තාක්ෂණයට අදාල මූලධර්මය මත පදනම් වේ.මේ සඳහා ආගම විසින් යෝජනා කරන්නේ සිත අභ්‍යන්තරයට ගමන් කිරීමයි.පෙරදිග ආගම් විසින් මේ සඳහා ඇති විධිමත් ක්‍රමවේදයක් ලෙස යෝජනා කරන්නේ එක තැනක වාඩිවී බුරිය දෙස බලාගෙන භාවනා කිරීමයි.මෙය බොහෝ විට දර්ශනය සම්බන්ධයෙන් ද සත්‍යයකි.නමුත් අප මනෝවිශ්ලේෂණය දෙස හැරෙන්නේ නම් ඉහත අදහස ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරයි.මනෝ විශ්ලේෂණයට අනුව යම් දෙයක (ධනවාදය, සමාජවාදය, කලා කෘතිය, පුද්ගලයා, ස්ත්‍රිය, ගැඹුර, සාරය, ස්වාත්මය, සවිඥානය…..) නියම පැවැත්ම ඇත්තේ ඒ තුළ නොව ඉන් පිටතය. මෙය බොහෝ විට වටහා ගැනීමට දුෂ්කර තත්ත්වයකි. සරලව කිවහොත් පුද්ගලයකුගේ අනන්‍යතාවය හෝ හරයාත්මක පැවැත්ම පවතින්නේ ඒ පුද්ගලයාගේ ගැඹුර තුළ නොව ඉන් පිටත පවතින සංකේත ප්‍රබන්ධ ලෝකයේය. මෙය අපගේ අත්දැකීම් වලට (මානසික සහ ආත්මීය අත්දැකීමට) පවා අදාළය. මේ අත්දැකීම් පොළොව අභ්‍යන්තරයේ රන්, රිදී, දියමන්ති ආකර මෙන් පවතිනවා නොවේ. ඒවා ඇත්තේ සැඟවුණු තැනක නොව එළිමහනේය. අපගේ ස්වාත්මය (self) සවිඥානය පවා නිදන්ගතව පවතින්නේ අප තුළ නොව අපගේ අනෙකා තුළ ය.

blade runner 2
පසුගිය දශක දෙක තුල සිදුවූ ගෝලීයකරණ ක්‍රියාවලිය සමග සැබවින්ම අපට සමීපයේ සිටින අනෙකා ප්‍රබන්ධයක් හෝ බොරුවක් බව පසක් විය. මෙම තත්ත්වය පසුගිය සමයේ කලා සංස්කෘතික අඩවි වල සිට දේශපාලනය දක්වා දිගුවිය. කරුණා සිට මෛත්‍රීපාල සිරිසේන දක්වා වූ අනෙකාගේ පරාසය තුල ‘සැකය’ චින්තනයේ මූලික සංඝටකය විය.
Blade Runner (1982) චිත්‍රපටය රිඩ්ලි ස්කොට් විසින් නිර්මාණය කළ විද්‍යා ප්‍රබන්ධ ශානරය යටතේ වූ චිත්‍රපටයකි. චිත්‍රපටයේ කතා තේමාව වන්නේ සමකාලීන මිනිසා පිළිබඳ ගැටලුවයි.චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන ඩෙකාර්ට්ට අනුව ඔහුගේ ගැටලුව වන්නේ රොබෝවරුන්ගෙන් මිනිසුන් වෙන් කිරීමයි. මෙය ඔහුට දුෂ්කර කාර්යයක් වන්නේ රොබෝවරුන් මිනිසා මෙන්ම නිර්මාණය කර ඔවුන්ගේ මොළයට කෘතීම මතකයන්, හැඟීම්, යළි සිහිපත් කිරීම්, ලිංගික වෙනස පවා ඇතුළත් කර ඇති නිසාය.උදාහරණයක් ලෙස චිත්‍රපටයේ කතා නායකයාගේ පෙම්වතියව නිර්මාණය කර ඇත්තේ ඔහුගේ අතීත මතක සටහන්වලට අනුපූරක වන අයුරිනි. මෙය ලැකානියානු තේමාවක් වන ස්ත්‍රිය යනු පුරුෂයාගේ හාෂාවේ ද්‍රව්‍යකරණය යන්න තහවුරු කරයි. ඇය කතාව විසින් උත්පාද කර ඇත්තේ ඔහුගේ ෆැන්ටසියට අනුකූල වන පරිදිය.පෙම්වතා ප්‍රබන්ධයක් නම් පෙම්වතිය යනු මෙම ප්‍රබන්ධයේ ෆැන්ටසි සාරයයි. ඒ අනුව මිනිසාගේ ස්වයං අනන්‍යතාවය යනු අනෙකාය. ස්වයං- අනන්‍යතාවය පුද්ගලයෙකුව ඒකාත්මික කරනු වෙනුවට දෙබිඩි කරයි.කෙනෙකුගේ පුද්ගල අනන්‍යතාවය අනෙකා වෙතට සුචිගත කරයි. එය අභ්‍යන්තරයෙන් බෙදී ඇත.
මාක්ස්වාදයට අනුව ධනේශ්වර සමාජයේ හුවමාරු සබඳතා වඩ වඩාත් තහවුරු වන විට තමන්ට සමීප අනෙකාගන් පුද්ගලයා පරාරෝපණය වෙයි.තමන්ගේ කේන්ද්‍රය ඇත්තේ තමන්ට සමීප අනෙකා ළඟ බව වැටහෙයි. එවිට ඕනෑම පුද්ගලයකු උත්සාහ කරන්නේ මේ සමීප අනෙකාට බිය වී එවැනි අයගෙන් පලා යාමටය.අප ජීවත්වන සමකාලීන යුගයේ දී සමීපව ආශ්‍රය කිරීම ඉතාම භයානක ක්‍රීඩාවක් ලෙස මිනිසුන් සලකන්නේ මේ නිසාය. මෙම ගැටලූවෙන් ගැළවීමට ඇති එකම අවකාශය වන්නේ යම් පරතරයක් සහිතව මිනිසුන් (Gap එකත් තියාගෙන) ආශ්‍රය කිරීමයි.
Facebook නම් වෙබ් අඩවිය සමාජ අවකාශයට එන්නේ ඉහත සමාජ දේශපාලන ඉල්ලීමට උත්තරයක් ලෙසය. Facebook තුලට එන ඕනෑම පරිණත පුද්ගලයෙකු හොඳින් දන්නා පරිදි ඒ තුළ “මම කියන්නේ මම නොවේ”. ඊළඟට “මම සිටින්නේ මම නොසිතන තැනකය”. හිස්ටරිකයාගේ ස්ථිර පෙම්වතා බවට පත්විය හැක්කේ නාවිකයෙකුට පරිදි Facebook තුළ දී හිතවත් කෙනෙක් යනු සැබෑ කෙනෙකු නොවේ. යකඩ හෝ දියමන්ති නිධියක් සෙවීමට පොළොව තුළට යෑමට සිදු වුවත් Facebook අනෙකා තුළට එසේ ප්‍රවිශ්ට වීමට ඉඩක් නැත. එකම පුද්ගලයකු ව්‍යාජ නම් 23කින් පෙනී සිටින විට ලයනල් බෝපගේට සිදුවන්නේ කුමක්ද?එක profile එකකින් එන්නේ ජාතිවාදියෙකි. ඔහු බෝපගේට දේශද්‍රෝහියා කියයි. තව profile එකකින් එන මුල කී තැනැත්තාම දෙමළ ජාතියට ස්වයං නිර්ණය අයිතිය දීමට කැමතිය. දැන් සිදුවී ඇත්තේ තමන් සහමුලින්ම නිර්මාණය වන්නේ බාහිර ප්‍රබන්ධයකින් බව පිළිගැනීම පමණි. කෙනෙකුගේ අතිශය රහසිගත, අතිශය පුද්ගලික ආශාවන්, ෆැන්ටසි, මතිමතාන්තර පවා තීරණය වන්නේ පිටතිනි. හොඳින් වටහාගත යුත්තේ මේ තීරණය වීම පාලනය කරන්නේ අඥාන උමතු පුද්ගලයන් මගින් වීමයි. මේ නිසා ෆේස්බුක් යනු නිදහස් වූ විමුක්තිය නොව නව වහල්භාවයකි. ලයනල් බෝපගේ සඳහා දැන් මාර්ගෝපදේශ ලබා දෙන්නේ සයිකෝසිකයන් සහ විපරීතයන්ය.
නමුත් කරන්නට දෙයක් නැත. ධනවාදී විනාශයට වඩා මිනිස් ස්වභාවයේ මේ ඇතිවී ඇති සුසමාදර්ශ විතැන්වීම ආවර්ජනය කිරීම වඩා පහසුය. අවම වශයෙන් තමන්ගේ දරුවන් හෝ තමන්ට අවංක වනු ඇතැයි කෙනෙකු සිතිය හැක. විධිමත් පක්ෂ දේශපාලනයෙන් ඉවත්වී Facebook ඇතුලට රිංගන උරගයන්ට බෙන් තුල හමුවන්නේ කුරුලු බිත්තර නොව විෂකුරු සර්පයන්ය. ඔබ වඩ වඩාත් රුචිවන්නේ අනෙකා ගේ අඳුරට නම් සර්පයා ‘ඔහු’ නොව ඔබමය.

සම්බන්ධිත පුවත්:

ඔබේ අදහස කියන්න...