“Personal Shopper” (පෞද්ගලික සාප්පුගාමියා) (2016) ඔලිවියර් අසායස් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයකි. එක් ශානරයකට ලඝු කළ නො හැකි මෙම චිත්‍රපටය බැලූ බැල්මට උත්කෘෂ්ට විලාසිතා ලෝකයක නිරූපණය වන හොල්මන් කතාවක් ලෙස පෙනේ. අප ජීවත්වන ලෝකය එක ම විට චිත්තාකර්ශනීය හා බියජනක ය යන අදහස එමඟින් ඇති වේ. එහි වැදගත් මානය වන්නේ අප ද එම යථාර්ථයේ ම කොටසක් බව වටහා ගැනීම ය. “Personal Shopper” චිත්‍රපටය විශ්ලේෂණය කිරීමට පෙර චිත්‍රපටයේ කතාව සැකෙවින් විමසා බලමු.

මොරීන් යනු (Kristen Stewart) කැයිරා (Nora Von Woldstatten) නැමැති සුප්‍රසිද්ධ නිරූපිකාව වෙනුවෙන් සාප්පුවලට ගොස් භාණ්ඩ මිලදී ගන්නා සේවිකාව යි. ඇය හා ඇගේ මිය ගිය සොහොයුරා වන ලුවිස් උපතින් ම හදවත් රෝගවලින් පෙළෙමින් සිටි බවත් ඔවුන්ගෙන් මුලින් ම මිය යන කෙනා තම මරණයෙන් පසුව ජීවත් ව සිටින කෙනාට යම් සංඥාවක් පළකරන බවට සපථ කර ගෙන සිටි බව හෙළි වේ. ඒ අනුව පැරිස් නුවර ජීවත්වන මොරීන් සිය මියගිය සහෝදරයාගේ ආත්මය සමඟ සන්නිවේදනයක යෙදීමට උත්සාහ ගනිමින් සිටියි. ඇයට භූතාත්ම දකින්නට ලැබෙන අතර ඇයගේ ජංගම දුරකථනයට ද නිර්නාමික හා ත්‍රස්ත කරවනසුලු කෙටි පණිවිඩ ලැබේ. මේ අතර කැයිරා හදිසියේ ඝාතනයට ලක් වේ. ඒ සමඟ ම මොරීන් පැරිසිය අතහැර ඕමානයේ සේවය කරන තම පෙම්වතා (Ty Olwin) සොයා යයි.

වර්තමාන කලාකරුවා යනු ප්‍රශ්නයකට පිළිතුරක් සම්පාදනය කරන්නෙක් නො ව ප්‍රශ්නය නැවත වෙනත් වේශයකින් වර නගන්නෙක් ය යන අදහස මෙවැනි චිත්‍රපටවල දක්නට ලැබෙන ලක්ෂණයකි. එවිට චිත්‍රපට අධ්‍යක්ෂවරයා නිෂ්පාදකවරයාගේ හෝ ප්‍රේක්ෂිකාවගේ දැක්මට යටත්වීම නැමැති කරුණ අධිනිශ්චය කොට නො සලකයි. ඌන සංවර්ධිත රටවල විපරීත සිනමාකරුවන් ප්‍රේක්ෂිකාවගේ හා සුදු ස්වාමියාගේ දැක්ම වෙනුවෙන්, යුරෝපීය සිනමා වෙළඳපළ වෙනුවෙන් දුක් විඳින මිනිසුන් නිරූපණය කරන චිත්‍රපට නිර්මාණය කරන විට 2016 වර්ෂයේ ප්‍රංශයේ කාන් චිත්‍රපට සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂණය සඳහා සම සම්මානය දිනාගත් මෙම සිනමාකරුවා ප්‍රකාශ කරන්නේ තමන් මිනිසුන්ගේ දුක යුරෝපය වෙනුවෙන් අලෙවි කරන්නට සූදානම් නො මැති බව ය. එය යුරෝපීයන් තමන්ගේ වරදකාරී බව ප්‍රතික්ෂේප කිරීම සඳහා උපයෝගී කරගන්නා උපක්‍රමයක් ලෙස ඔහු සලකයි.

අප දැනටමත් දන්නා දේ චිත්‍රපටයකට ඇතුළත් කර චිත්‍රපටයක් විචාරය කිරීම හෙවත් චිත්‍රපටයක කතාවකින් යහපත හා අයහපත අතර ගැටුම නිරූපනය වන බව සඳහන් කිරීම, ධනවත් පවුලක් හා දිළිඳු පවුලක් චිත්‍රපටයක නිරූපණය වන විට විචාරකයා විසින් ධනවාදය භයානක ය යන අදහස සමඟ සූරකෑම හා පන්ති අරගලය බවට එම චිත්‍රපට කතාව ඌනනය කිරීම (“Parasite“ චිත්‍රපටය පිළිබඳ පළ වී තිබූ බොහෝ විචාරවල මෙම තත්ත්වය දක්නට ලැබිණි.) නව දැනුම සහිත සංකීර්ණ වර්තමානයට නො ගැලපෙන්නේ යැයි පෙන්වා දෙන්නේ මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන ඔලිවියර් අසායස් ය. එබැවින් ලැකාන්, ෆ්‍රොයිඩ් හා ජිජැක්ගේ සිද්ධාන්තවල අයිතිය හා නිවැරදිභාවය පිළිබඳ හිතලු ඉදිරිපත් කරන ලාංකේය විචාරකයන් යැයි කියාගන්නා පුද්ගලයින් ”සත්භාවවේදයන්” ප්‍රපංචවේදයක් තුළට ගාල් කර ඇති පසුබිමක ඔවුන්ට විචාරය පිළිබඳ ප්‍රථම පාඩම ලැකාන්, ජිජැක් වැනි දාර්ශනිකයන්ගෙන් නො ව ඔලිවියර් අසායස් වැනි චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ගෙන් ඉගෙන ගැනීමට සිදු ව තිබීම මෙරට චිත්‍රපට විචාරයේ පවතින දුගී බව නිරූපණය කරන්නක් නොවේ ද? මුහුණුපොතේ එවැනි හිතලුවලට like, comment දමන මෙරට චිත්‍රපට අධ්‍යක්ෂවරුන් ද කිසිඳු හැදෑරීමක් නො කරන එක තැන පල්වෙන පිරිසක් බවට පත් ව ඇති අයුරු දැකිය හැකි ය.

“Personal Shopper” චිත්‍රපටයේ පවතින සරල බව නිසා ම චිත්‍රපටයට යම් සංකීර්ණ බවක් ආරෝපණය වී ඇත. එනම්, චිත්‍රපට අධ්‍යක්ෂවරයා මොරීන්ගේ ලෝකයට භෞතික මානයක් ආරෝපණය කිරීම නිසා චිත්‍රපටය තුළ නිරූපනය වන සියලු දේ (අනෙකුත් චිත්‍රපටවල මායාමය ලෙස සැලකෙන දේ පවා) යථාර්ථයක් ලෙස බාර ගැනීමට ප්‍රේක්ෂිකාවට බල කෙරේ. මොරීන් චිත්‍රපට කතාව තුළ පවසන අන්තරාත්ම පුද්ගලයන් හෝ මියගිය නමුත් නො මළභාවය (undead) පුද්ගලික මට්ටමෙන් ඇයට ම ආවේණික ඇයගේ ම සංවෘත ලෝකයක් ලෙස සැලකිය හැකි වුව ද මානව වර්ගයාගේ මානයෙන් එය සාකච්ඡා කරන විට එයට අමරණීයබවක් ද ආරෝපණය වේ. එබැවින් මෙම චිත්‍රපටය තුළ පෞද්ගලික මානයක් මෙන් ම පොදු මානයක් ද පවතියි. අප චිත්‍රපටය විචාරය කළ යුත්තේ පොදු මානයක සිට ය.

අප වටහා ගත යුත්තේ සංකේතීය පියාගේ භූමිකාව පවතින විට යථ හා සංකේතනය අතර පැහැදිලි බෙදුමක් සලකුණු කළ හැකි වුව ද සංකේතීය පියාගේ භූමිකාව බිඳ වැටී ඇති විටෙක යථ සංකේතනයේ ම යථක් බවට පත් වන බව ය. මෙම සංකේතනයේ ම පවතින යථ සංකේතනය පරිපූර්ණ යමක්වීම වලක්වයි. මෙහි දී සංකේතීය අනෙකා වෙත ද යථමය අසීමිත අනේකත්වයක් සම්බන්ධ වේ. මෙම සංකේතනයෙන් පිටත පවතින දෙය මිථ්‍යාමය, මියගිය නමුත් නො මළ දෙයක් බවට පත් වේ. එවිට මෙම චිත්‍රපටයේ නිරූපනය වන මියගියත් නො මළ අය යනු සැබෑ යථට භෞතික මානයක් ගෙන දීමක් නො ව සංකේතනයේ දෘෂ්ටිකෝණයෙන් උපකල්පනය කරන යමක් බවට පත් වේ. අනෙකාගේ අනෙකා නො පවතියි යන මෙම ලැකානියානු ප්‍රවාදයට අනුව ස්වයං-පරිපූර්ණ සංකේතනයක් හා ඒ වටා පිටතින් පිහිටි යථක් යනුවෙන් දෙයක් නො පවතියි. ඒ අනුව යථ නො මැති ව සංකේතනය හා සංකේතනය නො මැති ව යථක් නො පවතියි. මෙහි දී සංකේතනයේ ස්වයං-පරිපූර්ණභාවය සහතික කළ ක්‍රියාවලිය ම (පියාගේ නාමය ලෙස මෙය හැඳින්විය හැක.) සැබෑ පිටතක් පවතින බවට වන මායාව ඇති කරයි. මෙම චිත්‍රපටයට සංකීර්ණබවක් ආරෝපණය වීමට තවත් හේතුවක් වන්නේ මෙවැනි තේමා නිරූපනය කරන චිත්‍රපට ප්‍රේක්ෂිකාවට එතරම් හුරු නැති නිසා ය. එම තත්ත්වය යටතේ ප්‍රේක්ෂිකාවට මෙම චිත්‍රපටයට සම්බන්ධ වීමට සිදු වන්නේ නිශ්ක්‍රීය ආකාරයකට නො ව සක්‍රීය ආකාරයකට ය. එ නිසා චිත්‍රපටය මඟින් ප්‍රේක්ෂිකාව පිනවීමක් සිදු නො වේ. ලැකානියානු අර්ථයෙන් මෙවැනි ප්‍රබන්ධිත බවක් යනු ප්‍රේක්ෂිකාව රවටනසුළු යමක් නො ව සංකේතනයට ඉතා සමීප දෙයකි. එබැවින් සෑම සංකේතීය සත්‍යයක ම ප්‍රබන්ධ ආකෘතියක් පවතින බව ද මින් හඳුනාගත හැකි ය.

මෙහි දී චිත්‍රපටයේ කථානායිකාව වන මොරීන් ගොඩනගන යථාර්ථ දෙකක් පවතියි. එකක් නම්, මියගිය සොහොයුරා, සොහොයුරාගේ බිරිඳ (Sigrid Bouaziz) හා සිය පෙම්වතා සහිත එදිනෙදා යථාර්ථය යි. දෙවැන්න නම්, සංකේතනයෙහි පවතින යථමයභාවය නිරූපනය කරන ඇගේ චර්යාමය පිපුරුම හෙවත් කැයිරා, කැයිරාගේ මිනීමරු පෙම්වතා වන ඉන්ගෝ (Lars Eidinger) හා අන්තරාත්ම ලෝකය (spiritual world) සහිත යථාර්ථය යි. චිත්‍රපටයේ ගොඩනැගෙන අන්තරාත්ම ලෝකය ප්‍රාථමික ලෝකයක් ලෙස වටහා ගැනීම ඌනිත වටහා ගැනීමකි. මෙම චිත්‍රපටයේ විශේෂත්වය වන්නේ චිත්‍රපට කතාව තුළ ඉහත යථාර්ථ දෙක අතිපිහිත වී පැවතීම ය. චිත්‍රපටය වටහා ගැනීමට යාමේ දී අප මොරීන්ගේ ආත්මය නිරූපනය වන එකිනෙක සම්බන්ධ වී පවතින එම යථාර්ථ ලෙහා ගත යුතු ව ඇත.

අප වටහා ගත යුත්තේ ආත්මය යනු හුදෙක් හැඟවුම්කාරකයේ මැදිහත්වීමට යටත් වූ යමක් පමණක් නො ව යථ හා හැඟවුම්කාරකය අතරමැද පවතින යමක් බව ය. එය කදිමට නිරූපණය කළ හැක්කේ සිනමාවට බව ඔලිවියර් අසායස් අපට මෙම චිත්‍රපටය මඟින් පෙන්වා දෙයි. මොරීන්ගේ සොහොයුරා ජීවත් වූ නිවෙස තුළ අන්තරාත්මභාවය නිරූපණය කිරීම, ලේඛක වික්ටර් හියුගෝ අන්තරාත්ම සන්නිවේදනය සිදු කරන ආකාරය හා මොරීන්ට ලැබෙන නිර්නාමික හා ත්‍රස්ත කරවන කෙටි පණිවිඩ චිත්‍රපටය තුළ ඇගේ යථාර්ථයට ම බද්ධ කර තිබීම යනු සිනමා කලාව පැත්තෙන් සිනමාකරුවා නැතියාව (absence) භෞතික කිරීමක් ලෙස ද සැලකිය හැකි ය. සිනමාව පැත්තෙන් එය ජයග්‍රහණයක් වන්නේ ආත්මමූලිකත්වය නිරූපණය කිරීම සඳහා ගනු ලබන උත්සාහයක් ලෙස එය සැලකීමේ දී ය. එම ස්වභාවය මොරීන්ගේ පරිකල්පනයට වඩා ඇයගේ සංකේතීය යථාර්ථයේ ම කොටසක් බවට පත් කිරීමකි. සිනමාව අනෙක් මාධ්‍යවලට වඩා ප්‍රබල වන්නේ මෙවැනි අභීත අත්හදා බැලීම් කළ හැකි නිසා ය.

SHOPPING for OTHERS

එවිට “Personal Shopper” යනු තම නිවුන් සොයුරාගේ මරණය නිසා ක්ෂතියට ලක් වී සිටින යුවතියක් ගොඩනගන කතාවක් ලෙස අපට තවත් සරල කළ හැකි ය. එය තුළ සංකේතනය, පරිකල්පනය හා සැබෑව යන පිළිවෙල තුන ම මුසු වී පවතියි. තවත් අතකින් ධනවාදය තුළ ආත්මමූලිකත්වයේ සැබෑව නිරූපණය කිරීමක් ලෙස ද අපට මෙම චිත්‍රපටය නම් කළ හැකි ය. මොරීන් සාප්පුගාමියක ලෙස නඩත්තු කරන්නේ සමරූපයකි. එනම්, ඇය ඉතා මිල අධික ඇඳුම් පැළඳුම් මිල දී ගත්ත ද ඇය ඒවා පරිභෝජනය නො කරයි. ඇයට පිළිගැනීමක් නො ලැබේ. ඇයගේ සංවර්ධනයක් දක්නට නො ලැබේ. නො එසේ නම් ඇය එක තැන පල්වෙයි. ඇයට ඇයගේ ම ජීවිතය පිළිබඳ පවතින්නේ පිළිකුල් සහගත බවකි. හොඳින් නිරීක්ෂණය කරන විට පෙනී යන කරුණක් නම් ඇය දෘශ්‍යමානය නඩත්තු කරන්නියක් පමණක් බව ය. එවිට ඇය සාප්පු යන්නේ අනුන් වෙනුවෙනි. එය එක් අතකින් ස්වපීඩාකාමි ය. ධනවාදී ආත්මයේ සැබෑ ආකෘතිය මෙය නො වන්නේ ද? එමෙන් ම ඇයට ඇගේ ආත්මයේ සංසක්තබව (coherence) සහතික කරන, නො වෙනස් හා ස්ථිරසාර යමක් අවශ්‍ය ය. පීතෘ භූමිකාව බිඳ වැටී ඇති ලොවක ඇය අන්තරාත්ම ලෝකයක් (spiritual world) ගොඩනගන්නේ එබැවිනි. නිදසුනකට මෙම චිත්‍රපට කතාවේ ඇය ව නො රවටනසුළු දෙය බවට පත් වන්නේ එම අන්තරාත්ම ලෝකයේ සිටින්නන් ය. සෑම සංකේත පද්ධතියකට ම නො රවටන සුළු යැයි සහතික කරන එවැනි යමක් අත්‍යවශ්‍ය ය. අපට සත්‍යය ප්‍රබන්ධයක් ලෙස විධිමත් ව දැක්විය හැකි ක්‍රමවේදය ද එය වේ.

සංකේතනයේ ම පවතින යථ යනු අඩුවක් වන විට මියගියත් නො මළ බව යනු කිසිවක් නැත (no-thing) යන්න ය. සැබැවින් ම මෙහි දී යථ යනු ආත්මයේ ආශාවේ සැබෑ වස්තුව යි. එවිට සංකේතනයේ ම පවතින එම යථ යනු ආත්මයට තම නිර්මල සත්තාවට සම්බන්ධතාවය සම්පාදනය කරන පාදක ස්ථානය ලෙස ද අපට නම් කළ හැකි ය. ආත්මයට තම සත්තාව සමඟ සමපාත වන ආශාවේ වස්තුව හෙවත් සැබෑ වස්තුව හේතු කොට ආත්මය සමඟ සමීප සබඳතාවයක් ගොඩනැගෙන්නේ තමන්ගෙන් එම වස්තුව දුරස්ථ ව පවතින තාක් ය. වෙනත් ආකාරයකින් සඳහන් කරන්නේ නම් දෙය (Thing) ආත්මය මධ්‍යයේ පවතින්නේ එය බැහැර කර ඇති බවට වන හැඟීම ආත්මය තුළ පවතින විට පමණි. එවිට දෙය යනු බහිසංස්ලේෂී (extimate) යමකි. ආත්මය ව්‍යුහගත වන්නේ ඒ වටා ය. ආත්මයේ සබඳතා හා සන්නිවේදනය සිදුවන්නේ ඒ මත පදනම් වෙමිනි. මෙය චිත්‍රපටයට අදාළ කළ විට කැයිරාගේ ඇඳුම් මොරීන් හැඳ ගැනීමෙන් පසු කැයිරා තවදුරටත් මොරීන්ගේ ආශාවේ වස්තුවක් බවට පත් නො වේ. ඉන්ගෝ විසින් කැයිරා ඝාතනය කළ බවට මොරීන් කරනු ලබන ප්‍රකාශය අප වටහාගත යුත්තේ ඒ ආකාරයට ය. එනම්, ඇගේ ලෝකය තුළ තවදුරටත් කැයිරාට ඉඩක් නො පවතියි. වෙනත් ආකාරයකින් සඳහන් කරන්නේ නම් කැයිරාගේ ඇඳුම් හැඳ ගැනීම නැමැති තහනම ඇය උල්ලංඝනය කළ සැණින් මොරීන්ට තමන්ගේ අනන්‍යතාවය ද අහිමි වේ. “Do you want to be someone else?” යනුවෙන් ඇගේ ජංගම දුරකථනයට නිර්නාමික කෙටි පණිවිඩ ලැබෙන පසුබිම අප වටහා ගත යුත්තේ ඒ අනුව ය.

මෙම චිත්‍රපටය වටහා ගැනීමේ දී අපට මොරීන්ගේ චරිතය එකම පුද්ගලයාගේ විවිධ අදහස් හා දැක්මවල් (නිදසුනකට මිය ගිය සොහොයුරාට අදාළ අන්තරාත්ම සන්නිවේදනය පිළිබඳ ඇය තුළ පවතින අදහස, නිරූපිකාවට අදාළ විලාසිතා, දැක්ම හා පරිභෝජනය පිළිබඳ අදහස, පෙම්වතාට අදාළ එදිනෙදා තොරතුරු සන්නිවේදනය) ලෙස නො ව විවිධ සන්දර්භ තුළ (අන්තරාත්ම ලෝකය, විලාසිතා ලෝකය, පෙම්වතාගේ ලෝකය) එකම පුද්ගලයකු දක්වන ප්‍රතිචාර ලෙස ද හඳුනාගත හැකි ය. එනම්, එය ඒ ඒ සන්දර්භවලට සාපේක්ෂ ව ඇගේ ආත්මමූලිකත්වය නිරූපණය වීමක් ලෙස සැලකිය හැකි ය. මෙම ස්වභාවය ඇගේ ආත්මමූලිකත්වය තුළ පවතින පරස්පර ලෙස නො ව එම පරස්පර ස්වභාවය ම ඇගේ ආත්මමූලිකත්වය ලෙස සැලකිය යුතු ව ඇත. එබැවින් අප වටහාගත යුත්තේ උද්ඝෝෂණ වල සටන් පාඨ කියමින්, වේදිකාවල න්‍යායාත්මක ප්‍රකාශ සිදු කරමින් හා සමාජ මාධ්‍ය වල අසභ්‍ය වදන් හා අනෙකා සෝපාහාසයට ලක් කරමින් සිටින පුද්ගලයින් යනු මහ පාරේ සටන් හා සංවාද බැරෑරුම් ලෙස සලකමින් ඊට පටහැනි ව සමාජ මාධ්‍ය යනු සරල, සැහැල්ලු යමක් ලෙස වටහාගෙන එක් එක් සන්දර්භවල මායිම් රේඛා නිවැරදි ලෙස හඳුනා ගෙන ඊට අනුකූල ව කටයුතු කරන පුද්ගලයින් නො ව තම ආත්මමූලිකත්වය එම සන්දර්භවලට අනුව හෙළිදරව් කරන්නවුන් බව ය. සැබැවින් ම සමාජ මාධ්‍ය යනු සරල යමක් නො ව ඔවුන්ගේ ආත්මමූලිකත්වයේ පවතින අශ්ලීල හා අසභ්‍ය මානය ප්‍රකාශමානවීමට ඉඩ සලසන ආකෘතියක් පමණි. අවිඥානය පවතින්නේ අභ්‍යන්තරික ව නො ව බාහිරව යන්න අප වටහා ගත යුත්තේ මේ නිසා ය.

පුෂ්පජිත් නිරෝෂණ ජයසිංහ

======================++++++++++++++++++==========

ඔබට උත්තර යෝජනා නොකරන, නිවැරදි ප්‍රශ්නය ඇසීමට, අධ්‍යයනය කරන අප සමඟ එකතු වෙන්න.

ඉගෙන ගැනීමට අවශ්‍ය නම්, අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය

ඔබේ අදහස කියන්න...