ජනප‍්‍රිය විචාරකයෙක් සහ චරිතාංග නළුවකු වන ජැක්සන් ඇන්තනී ‘මෝටර් බයිසිකල්’ චිත‍්‍රපටයේ මංගල දර්ශනය නරඹා මෙසේ කීවේය. ”මට මේ චිත‍්‍රපටය නරඹනකොට පතිරාජගේ සිනමාව මතක් වුණා… පාර දිගේ චිත‍්‍රපටයේ ‘චන්දරේගේ’ චරිතය මතක් වුණා” සමකාලීන චිත‍්‍රපටයක් නැරඹූ විට අතීත කාලයේ චිත‍්‍රපට යළි මතකයට එන්නේ මන්ද? තවත් සමහර විචාරකයන්ට අනුව ‘මෝටර් බයිසිකල්’ චිත‍්‍රපටය නැරඹූ විට මතක් වන්නේ ‘අහස් ගව්ව’ චිත‍්‍රපටයයි.

ඉහත විචාරකයන්ගේ අදහස චිත‍්‍රපටයක් ඇතුළතම ගැබ් ගත් අවස්ථාවක් ලෙස ස්ටැන්ලි කුබ්රික්ගේ Shining (1980) සැලකිය හැකිය. මේ අදහස විදාරණය කිරීමට ‘ඉතිහාසවේදය’ (Historicism) නම් අදහස අර්ථකථනය කළ යුතුය. ඊට අනුව යම් කලා කෘතියක් හෝ චිත‍්‍රපටයක් එය නිපදවූ සහ දරාගත් ඓතිහාසික සන්දර්භයක අර්ථයකින් තොරව අසම්පූර්ණ වන බවට වූ විශ්වාසයයි. ජැක්සන්ට අනුව ‘මෝටර් බයිසිකල්’ චිත‍්‍රපටයේ සම්පූර්ණ අර්ථය වටහා ගන්නට නම් පතිරාජ සහ ඔහුගේ චිත‍්‍රපට නරඹා තිබිය යුතුය. තවත් සරලව කිවහොත් 70-80 දශකයට ආපසු අතීතකාමයක් ලෙස නොයන්නේ නම් ‘මෝටර් බයිසිකල්’ චිත‍්‍රපටයේ අර්ථය හීන වෙයි.

කුබ්රික්ගේ Shining චිත‍්‍රපටයේ සුවිශේෂත්වය වන්නේ ජැක්සන් කියන මෙම අතීත වේදනාව චිත‍්‍රපටය තුළම අන්තර්ගත කර තිබීමයි. එනම් චිත‍්‍රපටය තුළ ඇති පැසක් තුළ ‘ඉතිහාසය’ ගැබ්ගෙන ඇත. චිත‍්‍රපටයේ කතා නායකයා ලේඛකයෙකි. ඔහු සීත කාලයට අතහැර දමා තිබෙන විශාල සුඛෝපභෝගී හෝටලයකට එන්නේ එහි තාවකාලික භාරකාර තනතුර සමඟින්ය. ඔහු සමඟ එහි පදිංචියට ඔහුගේ කුඩා දරුවා සහ බිරිඳ ද එක් වෙයි. තදින් හුදෙකලා වූ අතිවිශාල සුන්දරත්වයෙන් දිදුලන හෝටලය තුළ නවකතාවක් ලියන්නට වලි කන ලේඛකයා උන්මත්තක වෙයි. ඔහු ඉන්පසු තම දරුවා සහ බිරිඳ මරා දැමීමට උත්සාහ කරයි. හෝටලයේ විශාල දිගු කොරිඩෝ, ආන්තිකකරණය වූ විශාල අවන්හල් සහ නාන කාමර, බිත්තිවල එල්ලා ඇති විශාල පින්තූර හරහා හොල්මන් ජාලයක පැටලෙන ඔහු මේ අවතාර නිසාම උන්මත්තකභාවය දියුණු කරගනියි.

සිනමා අර්ථකථනවේදියකු වන ෆ්‍රෙඞ්රික් ජෙම්සන්ට අනුව ලේඛකයාට වැහෙන්නේ ඇමෙරිකාව නවසිය විසි ගණන්වල දී පාලනය කළ පාලකයන්වය. ආධිපත්‍යයක් ලෙස ලේඛකයා කරා එන්නේ ඉතා හොඳින් ටොප් හැට් දමා කිසිදු වරදකාරී හැඟීමකින් තොරව සුපිරි ලෙස සුඛෝපභෝගීව ජීවත් වී පරිභෝජනය කළ සමාජ පන්තියයි. සමකාලීන පාලකයන් එනම් බහුජාතික සමාගම්වල අධ්‍යක්ෂවරුන් සහ ලිබරල්වාදී පාලකයන් ඉබේ පාලනය වීමට සමාජය අතහැර ඇති නිසා එම හිදැස පිරවීමට එන්නේ අතීත පාලකයන්ය. තම නිදහස තුළ සාරයක් සොයන වාමාංශික හෝ ජාතිවාදීන්ට පොදු ගුණාකාරයක් සේ අතීත – ෆැන්ටාස්මැතික – අධිපති පාලකයන් මනස තුළ හොල්මන් කිරීම අතීතකාමයක එක ආකෘතියකි.

‘මෝටර් බයිසිකල්’ නරඹන්නට ගොස් පතිරාජ ගැන කතා කිරීමට සිදු වීම එම චිත‍්‍රපටය ඉතිහාසවේදයක් බවට ඌනනය කිරීමකි. තමන්ගේ ජන ජීවිතය තුළ ඇති අධිකතර නිදහස සහ සියල්ලට ඉඩ දෙන ස්වරූපය පාලනය කරන්නට අතීතය ලෙස මර්දනය කළ දේ ආපසු පැමිණීමක් ලෙස පතිරාජ රූපකය සැලකිය හැකිය. නිදහසට සාරයක් නැතැයි නොදන්නා  ඕනෑම වාමාංශිකයෙක් ස්ටාලින් වැනි දෘඪ ආධිපත්‍යයක් අවිඥානිකව කල්පිතකරණය කරයි. ”ඔබ මාව පාලනය කරන්න!” යන්න එහි සරල පණිවිඩයයි. කෙසේ නමුත් පැරණි සුන්දර අවතාරවලට අලුතින් කියන්නට දෙයක් නැත.

ඔබේ අදහස කියන්න...