විජය පුවත්පත් සමාගමට අයත් පුවත්පත් ද්විත්වයක් වන ලංකාදීප සහ Sunday Times කර්තෘ මණ්ඩල සාමාජික සාමාජිකාවන් කියන්නෙ අහසයි පොළවයි තරම් වෙනස්කම් රාශියක් සහිත ජීවීන් කොට්ඨාශයක්. මේ සදහා බලපාන ප්‍රධානතම සාධකයක් තමයි ඔවුන්ගෙ පන්ති පරතරය. Sunday Times හි සේවය කරන්නේ ඉංග්‍රීසි දන්න කොළඹ කේන්ද්‍රීය මධ්‍යම පාන්තිකයන්. ලංකාදීපෙ ඉන්නෙ නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් දුෂ්කර ගම් පළාත් වල සිට කොළඹට සංක්‍රමණය වූ පහළ මැද පන්තිකයන්. ඒ නිසා මේ දෙකොට්ඨාශයේ වෙනස ඕනෑම අයෙක්ට සවිඥාණිකව අත්විදින්න පුලුවන්.
ඒ විතරක් නෙවී, මේ දෙගොල්ලො භාවිතා කරන ටොයිලට් දිහා බලපුවාම ඊටත් වඩා හොදින් මේ පරතරය අවබෝධ කරගන්න පුලුවන්. මේ පුවත්පත් දෙකේ කර්තෘ මණ්ඩල පිහිටල තිබෙන්නෙ එකම ගොඩනැගිල්ලක. ලංකාදීප දෙවැනි තට්ටුවෙ.Sunday Times තෙවැනි තට්ටුවෙ. ඒත් හරි අපූරු වැඩක් සිද්ධ වෙනවා. ලංකාවේ මිනිසුන් වැඩියෙන්ම බලන පුවත්පත වන ලංකාදීපයෙහි ටොයිලට් එක කියන්න හරිම කාර්යබහුල තැනක්. ඒ විතරක් නෙවී, එය භාවිතා කරන මාධ්‍යවේදීන්ට තිබෙන්නෙ හරිම කැත පුරුදු. බුලත් කෙළ හැමතැනම. සිගරට් ෆිල්ටර් ටොයිලට් එක පුරාවටම. අත් පිහදාපු පත්තර කොළ ටොයිලට් එක කෙළවරේ ගොඩගැහිල. සමහර දවස්වලට කොමඩ් එක ඇතුලෙ තියෙන්නෙ පත්තර කොළ. ඒව හිරවුණාම වතුර Flush වෙන්නෙ නැතිව ටොයිලට් උතුරනවා. Bidder Shower යකඩෙන් හයි කළත් වැඩක් නැහැ. පිරිසිදුකම ගැන සැළකිලිමත් අයෙක්ට ලංකාදීපෙ ටොයිලට් එකට ගිහින් සිය ශරීර කෘත්‍ය කරගන්න බැහැ.
තවත් කාරණයක් තමයි, ලංකාදීපෙ ටොයිලට් එකේ වෝල් එක පුරා තැන තැන කුණුහරුප කුරුටු ගාල තියෙනවා. ඒක වෙන්නෙ මෙහෙමයි. මාධ්‍යවේදියෙක් ලියන පුවතක වැරදි ගොඩක් තියෙනවා කියමුකො. එතකොට සාමාන්‍යෙයන් ප්‍රවෘත්ති කර්තෘ කරන්නෙ ඒ මාධ්‍යවේදියට අම්බානක් බැනල පුවත නිවැරදි කරන එකයි. මේකෙන් ලැජ්ජාවට පත්වෙන මාධ්‍යවේදියා කරන්නෙ ටක් ගාල ටොයිලට් එකට ගිහින් ප්‍රවෘත්ති කර්තෘගෙ අම්ම මතක් කරල අත්අකුරු අදුන ගන්න බැරි විදිහට වෝල් එකේ කුණුහරුපයක් ලියනවා. ඒක ඒ මාධ්‍යවේදියට සහනයක්.
ඒත් Sunday Times ටොයිලට් එක එහෙම නෙවෙයි. ,ලංකාදීප ටොයිලට් එකට සාපේක්ෂව ඒක හරිම පිරිසිදුයි. අත් හෝදන්න සබන් තියලා, පැත්තකින් ඈෂ්ටරයක් තියලා.. මේ පිරිසිදුකම නිසා බොහෝ වෙලාවට ලංකාදීපෙ පහළ මැද පන්තික මාධ්‍යවේදියො කරන්නේ Sunday Times ටොයිලට් එකට යන එක. ඒත් මේක Sunday Times එකේ මධ්‍යම පාන්තික මාධ්‍යවේදීන්ට දිරවන්නෙ නැහැ. මූණට බනින්න බැරි නිසා Sunday Times ටොයිලට් දොරේ ගහනවා ‘‘Sunday Times Staff Only‘‘ කියලා. ඒත් ලංකාදීපෙ මාධ්‍යවේදියො මේක දැක දැක තමන්ට නෙමේ කියල තියෙන්නෙ කියල හිතාගෙනSunday Times ටොයිලට් එකටම රිංගනවා.
මේච්චර සිද්ධි තියෙද්දි ඇයි මේ ටොයිලට් කථාවක් ඇද්දෙ කියල, කෙනෙක් අහන්න පුලුවන්. ඒකට අපිට සංවිධිත පිළිතුරක් ලබා දෙන්න පුලුවන්. මේ ටොයිලට් එක හරහා පෙනෙන පන්ති අසමානතාවය කවුරුවත් ටච් කරන්නෙ නැහැ. තමන්ගෙ උරුමයක් විදිහට ඒක බාර අරගෙන මේ මාධ්‍යවේදීන් පුරුද්දට වගේ හැමදාම කරන්නෙ අනුන්ගෙ ටොයිලට් එකක් අස්සට රිංගන එකයි. පන්ති අසමානතාවය නැති සමාජය යනු කුමක්දැයි යන්නවත් ඔවුන්ට සිතන්න අවකාශයක් නැහැ. ඔවුන්ගේ සැබෑ ප්‍රශ්නය ( යථ – Real ) වන පන්ති අසමානතාවය ඔවුන්ට කිසිවිටෙක මුණ ගැසෙන්නෙ නැත්තෙ දෘෂ්ටිවාදය ( Idealogy ) විසින් ඔවුන්ට වෙනත් ප්‍රශ්න සම්මුඛ කරල තිබෙන නිසයි. ඒ වගේම මාධ්‍යවේදියා කියන තනතුර හරහා ඔවුන්ට අල්ලසක් වශයෙන් මේ සමාජ ක්‍රමය විසින් ලොකු ලුබ්ධියක් ( Libido ) ලබාදීල තිබෙන නිසා අඩු වැටුපක් ලැබුනත් ඔවුන් දිගමට මේ වෘත්තියේ නියැළෙනවා.
පන්ති අසමානතාවය වෙනුවට ඔවුන්ට අභිමුඛ වෙන්නෙ මෙන්න මේ වගේ ප්‍රශ්න. ලංකාදීපෙ පහළ මැද පන්තික මාධ්‍යවේදියා හදන්නෙ මොන ජරා වැඩේ කරල හරි මධ්‍යම පන්තිකයෙක් වෙන්න. ඒ වගේම Sunday Times මධ්‍යම පන්තිකය කරන්නෙ තමන්ගෙ පන්තියට එන්න දගලන පහළ මැද පන්තිකයගෙ අශ්ලීල ක්‍රියා බල බල විනෝද වෙන එක. මොවුන්ගේ මෙම බෙලි කැපීම නතර වන්නේ කවදාද ?

මේ සියලු දේ මැද සති අග පිං කරන ලංකාදීප පුවත්පතේ ප්‍රධාන කර්තෘ හා කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂක සිරි රණසිංහ මහතා තමන්ටම වෙන් වූ තනි ටොයිලට් එකක් භාවිතා කරන බැවින් තමා යටතේ සේවය කරන පහළ මැද පන්තික මාධ්‍යවේදීන්ගේ අශ්ලීල ටොයිලට් විනෝදය තවම වටහා ගෙන නැත.

– පෙරටුගාමී පක්ෂයේ ලංකාදීප අධ්‍යන කවය –

ඔබේ අදහස කියන්න...