නලින්ද සිල්වා කියන්නේ දන්නා දෙයක් නොතේරෙන ලෙස කීම නිසා ජනප්‍රියත්වයට පත් වුනු බටහිර උගතෙක්. ලංකාව කියන්නේ ඕනම පිස්සෙකුට පවතින සමාජ ගලායාම අපගේ වචන වලින් කියනවා නම් මහජන අවකාශය තුල පවතින විනෝදය අනුමාන කර එයට අනුකූලව ක්‍රියාකිරීම තුලින් ඕනෑම යමක් කල හැකි සමාජ අවකාශයක් පවතින සමාජ ඒකකයක්.
නලින්ද සිල්වා ඉදිරිපත් කල බව කියන්නේ නිර්මාණාත්මක සාපේක්ශතාවාදය යැයි ඔහු ප්‍රකාශ කරනවා.
දැන් අපි බලමු නලින්ද සිල්වා අලුතින් ඉදිරිපත් කරන ලද දැනුම මොකක්ද සහ එහි පවතින නොදැනුම ,පරස්පරතා විමසා බැලීමට.
~නලින්ද සිල්වා ගේ චින්තනයට ඇති යටත් විජිත බාවයේ බලපෑම .
ලංකාව කියන්නේ යටත් විජිත රාජ්‍යක්. 1505 න් ආරම්භ වෙච්ච යටත් විජිත කරනයේ අවසානය සංකේතීයව අවසාන වෙන්නේ 1948 දී , ඒ කියන්නේ සියවස් හතරකට වඩා වැඩියි. මේ කාලය ඇතුලේ ගොඩ නැගුනු බටහිර දැනුම (නලින්ද සිල්වා කියන බටහිර චින්තනය) තුලින් තමයි ලාංකික අපි ලෝකය දකින්න පුරුදු වුනේ සහ අදටත් ලෝකය දකින්න පුරුදු වෙලා තියෙන්නේ. මේ යටත් විජිත කරනය කියන්නේ අපි සියලු දෙනාටම ක්ෂිතිමය අත්දැකීමක්, ගැලවෙන්න බැරි, කිසිවිටකත් අමතක කරන්න බැරි සිදුවීමක් (Traumatic experience ).
පුරාවිද්‍යාව , ඉතිහාසය , වාරිමාර්ග, කෘෂිකර්මය , විද්‍යාව , තාක්ෂණය ආදී සියලු දැනුම පිලිබද සංකල්ප අප තුල ගොඩනැගෙන්නේ මෙම යටත් විජිත කරනය එක්ක. ඒක හරියට කිසියම් භූමි ප්‍රදේශයක් වටා තියෙන විශාල අගලක් වගේ, එම භූමියෙන් පිටට යනවා නම් යන්න වෙන්නේ මෙම අගල පසුකරලාම තමයි , ඒ ඇරෙන්න යන්න කිසිම ක්‍රමයක් නැහැ, මේ අගල අමතක කරලා, එහි බලපෑමක් නැතිව එලියට යන්නම බැහැ.
අන්න ඒ වගේ අපි අපේ උරුමය, අතීත දැනුම හොයාගෙන යනවා කියන්නෙම අපගේ යටත් විජිත කරනය තුලින් අප තුල ගොඩ නැගෙන (බටහිර දැනුම සහ ඒ හරහා ගොඩ නැගෙන චින්තනය . එයට ගැරහීමෙන් හෝ එම චින්තනය ප්‍රතික්ශේප කල පමනින් එම චින්තනයෙන් මිදිය නොහැකිය ) අප අද ජීවත් වන තැන සිට ආපසු හැරී බැලූ විට පසු ආවර්තිතව අපිට පෙනෙන සහ හැගෙන අදහසක් මිස සැබෑවටම පැවති අතීත ශ්‍රී විභූතිය නැමති වාස්තවිකත්වයක් නොවේ. මෙම අදහස යනු තේරුම් ගැනීමට අපහසු, දේශප්‍රේමින් කුපිත කරවන සුලු අදහසක් වීමට ඉඩකඩ වැඩි වුවත් සත්‍ය එයයි.
මා ඉන් විස්තර කරන ලද්දේ නලින්ද සිල්වා ඉතා කෝපයෙන් නලියමින් ඉදිරිපත් කරන ලද ‘සිංහල බෞද්ධ චින්තනය’ නැමති ඉතා උත්කෘෂ්ට න්‍යාය ගොඩ නැගීම යන්න පවා ඇති වන්නේ කිසියම් සාරාත්මක පදනමකින් නොවන බවත් එය ගොඩ නැගෙන්නේ යටත් – විජිත කරනය තුල ගොඩනගන ලද දැනුමක් තුලින් පසු ආවර්තිතව – retroactive essence – ඇතිවන අදහස් තුලින් බවයි.
~මනංකල්පිතව පවතින්නේ යැයි උපකල්පනය කරමින් ඉදිරිපත් කරන න්‍යායික අදහසේ පවතින පරස්පරතා විමසා බලමු.
නලින්ද සිල්වා ඉදිරිපත් කරන මිහිදු හිමියන්ගේ තර්කන ක්‍රමය ..
මිහිදු හාමුදුරුවෝ දේවානම්පියතිස්ස රජුගෙන් අහපු අඹ ප්‍රශ්නය සහ නෑදෑ ප්‍රශ්නය අපි කවුරුත් වගේ අසා තිබෙනවා. නෑදෑ ප්‍රශ්නය අවසානයේ මිහිදු හාමුදුරුවෝ රජුගෙන් අහන්නේ ‘මහරජ ඔබේ නෑයෝත් නොවන නොනෑයෝත් නොවන අය ඉන්නවාද?“ කියන ප්‍රශ්නයයි. එවිට රජු උත්තර දෙන්නේ ඒ ‘මමය‘ කියලා.
=========================================
“මේ අඹ ගස හැර තවත් අඹ ගස් තියෙනවා ද?”
“ඇත, ස්වාමීනි.”
“ඒ අඹ ගස් හැර තවත් ගස් තියෙනවා ද ?”
“ඇත ස්වාමීනි..බොහෝ ඇත.”
“ඒ ගස් සියල්ල හැර තවත් ගස් තියෙනවා ද ?”
“ඇත ස්වාමීනි..ඒ මෙම අඹ ගසයි.”
මෙහි අවසාන පියවර දක්වාම තිස්ස රජු විසින් කිසිම ගසක් නිශ්චිත ලෙස හඳුනාගෙන නැහැ. තිස්ස රජු දන්නේ “ගස” හා “අඹ ගස” කියන වියුක්ත සංකල්ප ගැන පමණයි. ඒ ගස් කිසිවක් තිස්ස රජුගේ මනසේ මිස මහ පොළොවේ නැහැ (nowhere). නමුත්, අන්තිමට “ඇත ස්වාමීනි” කියා කියන්නේ මේ දැන් මේ මෙතැන (now,here) තිබෙන අඹ ගසක් ගැනයි. ඒ අඹ ගසත් ඇත්තටම තිබෙන එකක්ද කියන එක වෙනම ප්‍රශ්නයක්. ඉංග්‍රීසියෙන්නම් ඔය මැද කොමාවේ වෙනසනේ. කොහොම වුනත් අනෙක් සියලුම ගස් වියුක්ත සංකල්ප පමණයි. ප්‍රශ්න වටය අවසානයේදී නිශ්චිත අඹ ගසක් දැන්, මෙතැන තිබෙන බව තිස්ස රජු දකිනවා. රහත් වී සිටි මිහිඳු හිමිටනම් එතැන අඹ ගසක් නැති බව පෙනෙන්න ඇති.
මේ ප්‍රශ්න වටය අවසානයේදී තමන් විසින් මෙහි දකින අඹ ගස සැබෑවටම තිබෙන අඹ ගසක් සේ දකින්නට හෝ පෙනෙන්නට හේතු වෙන ක්‍රියාවලිය ගැන අදහසක් තිස්ස රජුට ඇති වුනාද නැද්ද කියා මම දන්නේ නැහැ. මිහිඳු හිමි විසින් පළමු ප්‍රශ්නය අසද්දී තිස්ස රජුට මෙහි දැන් තිබෙන නිශ්චිත අඹ ගස පිළිබඳව සුවිශේෂී වූ දැනුමක් තිබුණේ නැහැ. ඒ නිසා, එය ඔහුට තවත් එක් අඹ ගසක් පමණයි. අඹ ගසක් පෙර කවදාවත් දැක නොතිබුණානම් තිස්ස රජුට මේ ගස තවත් ගසක් පමණයි. එහෙම වුනානම් පිළිතුරු දෙන්න වෙන්නේ “නමක් ගමක්නම් දන්නේ නැහැ. හැබැයි ගහක්” කියලයි.
ගස වගේම අඹ ගසත් වියුක්ත සංකල්ප. ඒ වියුක්ත සංකල්ප වලට හේතුව දැනුමයි. අඹ ගස ගැන දැනුමක් නැත්නම් මනසේ අඹ ගසක් හැදෙන්නේ නැහැ. ගස ගැන දැනුමක් නැත්නම් මනසේ අඩු වශයෙන් ගසක් හෝ නැහැ. අඹ ගස හෝ ගස දකින්න උදවු වෙන්නේ දැනුමයි. එහෙත් දැන් මෙතැන තිබෙන නිශ්චිත අඹ ගසක් පිළිබඳව එවැනි දැනුමක් තිස්ස රජුට නැති නිසා එය ඔහු දෑසින් දැක්කත් එම අඹ ගස පිළිබඳ නිශ්චිත හෝ වියුක්ත සංකල්පයක් ඔහුගේ මනසේ නැහැ. ඒ නිසා, තිස්ස රජු මිහිඳු හිමිගේ පළමු ප්‍රශ්නයට පිළිතුරු දෙන අවස්ථාවේදී එම අඹ ගස නිශ්චිත අඹ ගසක් ලෙස දකින්නේ නැහැ.
මෙහි දැන් තිබෙන අඹ ගස තිස්ස රජු මීට පෙර දැක හඳුනාගෙන නැහැ. ඒ නිසා, මිහිඳු හිමි විසින් පළමු ප්‍රශ්නය අහන විට තිස්ස රජුට එම අඹ ගස ගැන නිශ්චිත දැනුමක් නැහැ. ඔහුට පුළුවන්කම තිබෙන්නේ තමන්ගේ දැනුම උපයෝගී කරගෙන “ගස” කියන වියුක්ත අදහස ඇතුලේ තිබෙන අවිනිශ්චිතතාවය “අඹ ගස” දක්වා අඩු කිරීම පමණයි. සාමාන්‍යයෙන් දැනුම ලබා ගැනීමේ ක්‍රියාවලිය කියන්නේ මෙයයි.
=========================================
මෙම ප්‍රශ්නය වටා පැවති සංවාදය සම්බන්ධයෙන් අපටද නලින්ද සිල්වා සමග විසංවාදයක් නැත. අනුභූතික ලෝකය සමග ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂය පිලිගනිමින් කටයුතු කරන විට අප කටයුතු කරන්නේ එම තර්ක ඥානනයට අනුකූලවය. එසේ නැතහොත් අපගේ භෞතික ලෝකය තුල අපගේ එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමට නොහැකි වනු ඇත.
බටහිර යුදෙව් ක්‍රිස්තියානුවන් පමණක් නොව නලින්ද සිල්වා ඇතුලු මහා ප්‍රාඥයන් ද ඇතුලත් පෙරදිග ලෝකයේ නුවණැත්තන්ද අනුභූතික ලෝකය තුල ගනුදෙනු කිරීමේදී පදනම් වනුයේ මෙම තර්ක ක්‍රමයට අනුකූලවය.
ප්‍රශ්නය ඇතිවන්නේ සහ සාකච්ඡා කල යුත්තේ දෙවන ප්‍රශ්නය එනම් රජු සහ ඔවුන්ගේ ඥාතීන් සම්බන්ධ සංවාදය පිලිබද වය.
ඥාතීන්ගේ ගැටලුව ……
ඉහත කුලකවල රජුව ලකුණු කරන්ඩ තැනක් නෑ. ඒකට හේතුව කුලක යනු ද්විකෝටිකය මත ගොඩනැගුනු ගණිතමය පද්ධතියක් වීම. එනම් A සත්‍ය නම් ~A අසත්‍ය බවත්, A අසත්‍ය නම් ~A සත්‍ය බවත් තමා එහි පදනම. එය යොදා ගත හැක්කේ නිරපේක්ෂ සහ සාධාරණ (generalized) නිරීක්ෂණවලට. නමුත් නෑදෑ ප්‍රශ්නය එහෙම එකක් නොවේ. එය නිරීක්ෂකයාට සාපේක්ෂ ප්‍රශ්නයක්. එහි A අසත්‍ය මෙන්ම ~A අසත්‍ය වෙන අවස්ථාවක් තියෙනවා (ඊට අමතරව චතුස්කෝටිකයේ ඇත්තෙ A මෙන්ම ~A සත්‍ය වෙන අවස්ථාවයි) . අඹ ප්‍රශ්නයේත් මේ ලක්ෂණයම තියෙනවා. එකම වෙනස එහි චතුස්කෝටිකය යොදා ගන්නෙ පද්ධතියට පිට ඉදලා.- දර්ශන කස්තුරිරත්න