1975දී, ස්ටීවන් ස්පිල්බර්ග් විසින් නිර්මාණය කළ ‘Jaws’ චිත්‍රපටයේ කතා තේමාව අපුර්ව එකකි. ඇමරිකාවේ වෙරළබඩ ප්‍රදේශයක ස්ථානගත වූ දේශීය සංචාරකයන්ගේ නිමක් නොවන පරිභෝජන ජීවිතය එමඟින් නිරූපණය වෙයි. මුළු මහත් මුහුදු තීරයම සංචාරක අවන්හල්වලින් පිරී ගොස් ඇති අතර අධික ජනගහනයක් මුහුදේ පිහිනමින් සතුටු වෙති. එක්වරම, මුහුදේ නාමින් සිටි පිරිසකට විශාල මෝරෙකු පහර දෙන අතර විටින් විට, මුහුදේ නාමින් සිටි විවිධ වයස් කාණ්ඩයේ පුද්ගලයන් අතුරුදහන් වෙයි.
නගරාධිපතිවරයාට, පොලිස් ප්‍රධානියාට සහ ව්‍යාපාරිකයන්ට මතු වන මුඛ්‍ය ගැටලුව වන්නේ, මෙම ‘මෝරා’ අර්ථකථනය කර ගන්නේ කෙසේද කියා ය. සමාජයේ ‘බලය’ නිරූපණය කරන අයට මෝරා අර්ථ නිරූපණය කිරීමට නොහැකි වූ තැන, ඒ සඳහා විවිධ පුද්ගලයන් ආරෝපණය වෙති.
එක් පිරිසක් කියා සිටියේ, ඇමරිකානුවන් දෙවියන් අමතක කර දැඩි ලෞකිකවාදයක ගිලී සිටි බවයි. මේ ‘මෝරා’ මඟින් හැඟවෙන්නේ, දෙවියන් විසින් අදේවවාදී ඇමරිකානුවන්ට දුන් දඬුවමක් බවයි.
තවත් පිරිසක් කියා සිටියේ, ඇමරිකානුවන් පවුල් සම්බන්ධතා අමතක කර, විවිධ විපරිත ලිංගික සබඳතා අත්හදා බලමින් විවෘතවම ඒ වෙනුවෙන් පෙනී සිටින මොහොතක, ජාතිකවාදීන් මෙම මෝරා මුහුදුබඩ ප්‍රදේශයට ගෙනත් දැමූ බවයි.
වාමාංශිකයන් පිරිසක් කියා සිටියේ, නිර්ධන පාන්තික ඇමරිකානු ජනයාට එරෙහි විශාල සමාගම්වල ප්‍රාග්ධනය නිරූපණය කරන රූපකයක් මොරා මඟින් සංකේතවත් වන බවයි.
ආගමික සහ ජාතිකවාදී අන්තවාදී පිරිසක් කියා සිටින්නේ, අපගේ ආගමික ලබ්ධිය අභ්‍යන්තරයෙන් විනාශ කරන සුළු ජාතිකයන් ඉතා හොඳින් ‘මෝරා’ මඟින් සංකේතවත් වන බවයි.
ඒ අනුව, ‘මෝරාගේ’ හදිසි ආක්‍රමණික කඩාවැදීම ගැන කතන්දර ඕනෑ තරම් ඇත.
ඉහත විවිධ කතන්දරවලට පොදු වූ ප්‍රධාන සාධකය මෝරා ය. කතන්දර විවිධ වුවත්, සියළුදෙනා පොදු සංකේතය ලෙස ‘මෝරා’ ව තෝරා ගෙන ඇත. එබැවින්, විසඳිය යුතු ගැටලුව වන්නේ, ඉහත සියලු කතන්දර අසංගත වන තැනදී අපට මෝරාව හමු වන්නේ මන්ද යන්න යි. 1920 ගණන් අගදි, ජර්මනියේ සියලුම අසාර්ථක දේශපාලන උත්තරවලට පසුව ඔවුන්ට ආකර්ෂණීය සතුරෙක් හමු විය. ඒ යුදෙව්වා ය. 1930 වන විට, බහුතර ජර්මන් ජනයා තමන්ගේ සියලු සමාජ- ආර්ථික- සංස්කෘතික ගැටලුවලට හේතුව යුදෙව්වා ලෙස හඳුනා ගන්නා ලදී. ඒ අනුව, ‘මෝරා’, ‘යුදෙව්වා’, ‘දෙමළා’, ‘තම්බියා’ යනු , සමාජයේ විවිධ කණ්ඩායම්වල අර්බුද නිර්වචනයෙහිලා පවතින පොදු සාධකය යි.
දැන් අපට මෙසේ ප්‍රකාශ කළ හැකිය. සමාජ අර්බුදය පිළිබඳ විවිධ කතන්දර එක්සත් කරන්නේ, ‘මෝරා’ නම් රූපකය යි. නැතහොත් මෝරා යනු, මාස්ටර් හැඟවුම්කාරකය යි. අර්ථයක් නැති හැඟවුම්කාරක ගොන්නකට අවසන් අර්ථය එන්නේ, මාස්ටර් හැඟවුම්කාරකයෙනි. අර්බුදයට පොදු උත්තරය සාරවත් කරන්නේ, මෝරා ය.
සමකාලීන අධි පරිභෝජනවාදී ධනවාදී සමාජයක ජීවත්වන අපගේ අනාගතය, අතීතය, වර්තමානය යන තුන් කලම අවිනිශ්චිතය. අවිනිශ්චිතභාවය හැර වෙනත් ස්ථාවර බවක් අපට දැන් නැත. සෑම තැනකම ඇත්තේ, විවිධාකාර බියවල් ය. සොර බිය, සතුරු බිය, ලිංගික බිය, දාර්ශනික බිය, ස්ත්‍රී බිය යනාදිය මෙම බිය වල්වල කෙටි ලැයිස්තුවකි. එසේ නම්, මෙම බහුල බියවල් එක්තැනකට ස්ථානීය කරන බියක් නිර්මාණය වන්නේ නම්, එය අපට සහනයකි. මුසම්මිල් බස්නාහිර ආණ්ඩුකාරවරයා වීම බියකි. සීතා අරඹේපොල එම තැනට එම සහනයක් ඇති කරන බියකි. විවිධ බියවල් පැතිරී යන සමයක අපගේ හදවත ඉල්ලා සිටින්නේ, බිය මධ්‍යගත කරන්න යන පණිවිඩය යි.
බහුතර දෙනෙක් අපගේ බියවල් ගැන විවිධ කතන්දර නිර්මාණය කරති. ඒ විවිධ කතා අතර පවතින්නේ, හුදු වෙනස්කම් පමණි. මෙම කතා අතර පවතින ‘පරතරයට’ අප අනන්‍ය වන්නේ නම්, එය අපට සහනයකි. කතිකා විශ්ලේෂණය සහ ග්‍රාම්ස්චිගේ අධිපති මතවාදය යන අදහස්වල සීමාව හමුවන්නේ කොතැනද?
සමාජයක ‘අසංගතභාවය’ පිළිබඳ විවිධ කතන්දර පවතින මුත් කතන්දරකරුවන්ට පොදු වූ රූපකයක් ඇත. ‘Jaws’ විත්‍රපටයේ ආකෘතිය අපට උගන්වන්නේ, ඕනෑම කතාවක අන්තර්ගතයට වඩා එය ඉදිරිපත් කරන ආකාරය නැත්නම් ආකෘතිය (Form) ඉතා දේශපාලනික බවයි. සවිඥාණක අන්තර්ගතයන්ම එක්වරම වෙනත් දේවල් වන්නේ, අවිඥාණය නම් ආකෘතිය නිසාය. ඒ නිසා, ‘මෝරා’ යනු අර්ථයක් නොව ආකෘතියකි.
හිච්කොක්ගේ ‘Birds’ නම් චිත්‍රපටයේ එක්තරා මොහොතකට පසුව චරිත නායිකාවගේ හිසට අතාර්කිකව කුරුල්ලන් රංචුවක් කොටන්නට පටන් ගනියි. මෙය ප්‍රේක්ෂිකාවට ප්‍රහේලිකාවකි. එය හරියට, ‘Jaws’ චිත්‍රපටයේ සියලු චරිත වලට ‘මෝරා’ යනු ප්‍රහේලිකාවක් පරිදිය. සිනමා කලාවේ අද්විතීයභාවය දිග හැරෙන්නේ, මේ සන්ධියේ ය. වෝඩ් පෙදෙසේ උපන් අර්ජුන පරාක්‍රමට කොළඹ විශ්වවිද්‍යාලය ‘බඩු පොට්’ එකක් ලෙස නොපෙනී, ඇඹිලිපිටියෙන් එන කෙනෙකුට එය ‘බඩු පොට්’ එකක් ලෙස පෙනෙන්නේ මන්ද? රමිඳු පෙරේරා තම විග්‍රහ කිරීම අතහැර දමන්නේ, මෙම ස්ථානයට පසු තැනයි. අර්ථය අවසන් වූ පසු බිහි වන්නේ, විනෝදය යි.[enjoyment as a political factor]
‘Birds’ චිත්‍රපටයේ කුරුල්ලන් මගින් භෞතික වන්නේ, චිත්‍රපටය පටන් ගැනීමට පෙර පැවති පවුලේ ආතතිය යි. එනම්, මවගේ කැමැත්තට පිටින් යන ශෘංගාරාත්මක ස්ත්‍රීයකට පුතා ආශා කරයි. ඊට දඬුවම පුතා අවිඥාණකව බලාපොරොත්තු වෙයි. එම දඩුවම ද්‍රව්‍යාත්මක කිරීම සිනමා මාධ්‍යය හරහා සිදුවෙයි. එනම්, කුරුල්ලන් ය. සිංහල- බෞද්ධ ග්‍රාම්ස්චිවාදීන්ට වැදගත් චිත්‍රපටයක් ලෙස ‘වැලිකතර’ සැළකිය හැකිය. චිත්‍රපටය ආරම්භ වන්නේම දැඩි ආතතියකිනි. හේතුවක් නැතිව ASPවරයාගේ බිරිඳ අසහනයට පත්කරන මැරයෙක් තිරයෙන් අපට හමු වෙයි. මෙම ‘මැරයා’ මඟින් නිරූපණය වන්නේ, වැදගත් සිවිල් මහත්තයෙකු වන ASPවරයාගේ හෘද සාක්ෂියයි. ඔහු ගමේදී, පෙම් කළ පෙම්වතිය මරා පුලුස්සා පසුව සිවිල් සමාජය තුළ වැදගත් මහත්මයකු වී ඇත. හරියට ග්‍රාම්ස්චිවාදීන් මෙන්ය. ඔවුන්ගේ අල්මාරි තුළ ස්ත්‍රී ඇටකටු ඇත.
‘මෝරා’ යනු, ඒ අනුව හුදු මාස්ටර් හැඟවුම්කාරකයක් පමණක් නොවේ. අප මේ මෝරා හරහා වේදනාත්මක සතුටක්ද විඳියි[object a-cause of desire]. ඉන් අදහස් වන්නේ, මාස්ටර් හැඟවුම්කාරකයකට අප බැඳෙන්නේ ඊට අර්ථයක් ඇති නිසා පමණක් නොව, එමඟින් අපට අශ්ලීල පීඩාකාරී විනෝදයක් ද සහතික කරන නිසා ය. මුහුදු වෙරළේ රමණයේ යෙදෙන ජෝඩුවකට මිනී කන මෝරෙකු මුහුදෙන් මතු වීම සහනයකි. මෝරුන් පැමිණියා කියා දේශපාලනය වෙනස් වන්නේ නැත. මෝරුන් අපගේ ආත්මීය අවශ්‍යතාවයකි. වෙනස් කළ යුත්තේ, යථාර්ථය නොව අපවමයි.
[[]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]
විපරිතයන්ව සිරගෙවල් වලට දක්කා මනෝවිශ්ලේෂණය හරියට ඉගෙන ගැනීමට අවශ්‍ය නම්, අප සමග එකතු වන්න!
ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!
click..
කොරෝනාවත් එක්තරා විධිහක මෝරෙක් තමයි
Comments are closed.