අභ්‍යන්තරික වශයෙන් සියලුම දුරාචාර වලින් පිරුනු ලංකාවේ බහුතරයක් ජහමනයා ආර්ථික බංකොලොත් බාවයෙන් පසු පාරිශුද්ධ සබුද්දික මහජනතාව බවට රූපාන්තරනය විය. නාස්තිය දූශනය, මිත්‍යාව, හොර මැරකම් ආදී සකල විද දුරාචාරයන් රහසින් හෝ නොකරන සැබෑ මහජනතාවක් බවට පත් විය.
ඊනියා අරගලය ආරම්භ වී ගෝඨාභය එලවීමෙන් පටන් ගෙන 2024 අග මාලිමාව බලයට ගෙන ඒමේ සුරතාන්තය තෙක්ම රග දක්වනු ලැබුවේ මෙම විනෝදයයි. (මෙම විනෝදය යනු සරලව සතුටුවීම නොව අවිංඥානිකව වේදනාවෙන් සතුටුවීමයි- jouissanace).


ලංකාවේ සියලු දෙනාම අභ්‍යන්තරිකව අඩු වැඩි වශයෙන් ඉතාම අලස, වැඩ නොකර සියලු වාසි බලාපොරොත්තු වන , හොරුන්ට සහ දූශිතයන්ට කැමති, තමනුත් හොරකම් සහ දූශන කරන ජන කොටසකි (අවිංඥානිකව සහ අමතක කරන සවිංඥානකත්වය තුල). එහෙත් බාහිරත්වය තුල ඉතාම නරුම වාදීව රගදක්වමින් සිටින්නේ පරමාදර්ශී දියුණු පුරවැසි භූමිකාවය.
මැතිවරණයකදී දියුණුම ජන්ද දායකයාගේ භූමිකාව රගදක්වන අතර, නාස්තිය සහ දූශනයේදී ඉන්ද්‍රඛීලයක් ලෙස ඊට එරෙහි වෙයි.

සබුද්දික තලයේදී මෙතරම් තාර්කික, දියුනු මිනිසා ක්‍රියාකාරීත්වය තුල මෙහි පරස්පරය අනවරතව සිදු කරමින් සිටින්නේ ඇයි?.(මේ වකවානුව තුල මිනිසා දෘෂ්ඨිවාදයට ගැට ගැසෙන්නේ සිතන විට නොව ක්‍රියාකාරීත්වය තුලය – මනෝවිශ්ලේශනයට අනුව)


මහින්ද රාජපක්ෂලා සුනාමි හොරුන් බව දැන දැනම අනුර කුමාරලා ඔහුව බලයට ගෙන ඒමට දර දිය අදින්නේ ඇයි?
එමෙන්ම දූශිතයි කියා රාජපක්ෂලා පරාජය කල ජහමනයාම නැවතත් රාජපක්ශලාවම බලයට පත් කරන්නේ ඇයි ?
ආර්ථික අර්බුදයෙන් රට ගොඩගත් රනිල් වික්‍රමසිංහට නාකියා යැයි අපහාස කරමින් ආර්ථික ප්‍රතිසංස්කරණ සියල්ලට විරුද්ධ අනුර කුමාරව බලයට ගේන්නේ ඇයි?


ඉහත සිදුවීම් දෙස විචාරශීලීව බැලූවිට තව දුරටත් පවතින සමාජය සහ ජහමනයා තේරුම් ගැනීමට මීට පෙර බාහිර යථාර්ථය තේරුම් ගැනීම සදහා යොදාගත් සබුද්ධික චින්තන සම්ප්‍රදාය තවදුරටත් වලංගු වන්නේ නැත.
විජේ ඩයස්, සුචරිත ගම්ලත්ගේ සම්භාව්‍ය මාක්ස්වාදී ඥාන විභාගය මෙන්ම බුද්දිමය වශයෙන් නන්නත්තාරවී සිටින ජයදේව උයන්ගොඩගේ හිතට නැගෙන විකාර සමාජ දේශපාලන‍ අදහස් ද විහිලු බවට පත්වන්නේ මේ නව සමාජ සන්දර්බය ඇතුලතය.


තව දුරටත් අප සමාජ දේශපාලන‍ අවකාශය පාලනය වන්නේ අපට පෙනෙන බාහිර යථාර්ථයට අනුකූලව නොව අපගේ ඇතුලත පවතින ආත්මීය තර්කනයක් පදනම්වය. එනම් යථාර්තය ඇත්තේ එලියේ නොව අපගේ අභ්‍යන්තරය තුලය. ඇත්ත යථාර්ථය අප තුල පවතින අතර එලියේ පෙනෙන යථාර්ථය යනු අපව මුලා කරවන මායාමය යථාර්ථයයි.


සැබෑ යථාර්තය ගොඩ නගන්නේ අප බාහිරට පෙන්වන සබුද්ධික ජහමන ආත්මය (අදූෂිත, යහපත පතන, ඉතාම තාර්කික ආත්මය) නොව ඇතුලත සිටින විනෝදවන අවිංඥානික ආත්මයයි (හොරකමට, දූශනයට කැමති, අලස,අතාර්කික).

19වන සියවසේදී ධනවාදය ක්‍රියාත්මක වූයේ කර්මාන්ත ප්‍රාග්ධනය පදනම්වය. මාක්ස් ධනවාදය සම්බන්ධයෙන් විශිෂ්ට විග්‍රහය ඉදිරිපත් කරන්නේ එලියේ, කර්මාන්ත තුල පවතින ප්‍රාග්ධනයේ තර්කනයට අනුකූලව ක්‍රියාත්මක වූ ධනවාදය සම්බන්ධයෙනි. කම්කරු සවිංඥානකත්වය සහ කම්කරු ආත්මීයත්වය එලියේ පවතින සමාජ යථාර්තය සමග සමපාත වීම එම වකවානුවට සුවිශේෂී විය.


21වන සියවස යනු නව සමාජ ආර්ථික සන්දර්බයකි. තව දුරටත් අතිරික්ත වටිනාකම් සමුච්චනය වන්නේ කර්මාන්ත ප්‍රාග්ධනය හරහා නොව මූල්‍ය ප්‍රාග්ධනය හරහාය. දැන් සිදුවන්නේ මුදල් වලින් මුදල් මැවීමය.


මාක්ස්ගෙන් එහාට යාමට සිදුවන්නේ මාක්ස් වැරදි නිසා නොව, ඔහු අභිබවා යා යුතු වීම නිසාය.
මෙම නව සන්දර්බය තුල ජීවත් වන්නේ ප්‍රාග්ධනයේ තර්කනය තුල ගොඩ නැගුනු නිර්ධන පංතික පුද්ගල ආත්ම නොව, පරිභෝජන වාදය තුල ගිලුනු, පරිභෝජනවාදය සමාජ ආර්තික ගතිකත්වයේ පදනම බවට පත්කර ගත් විනෝදවන පුද්ගල ආත්මයන්ය.


තාර්කික සබුද්දිකත්වය වෙනුවට ජහමනයා ඉල්ලා සිටින්නේ අතාර්කිකත්වයේ විනෝදයයි.

උදා….. දූශිත, හොරකම් කරන බව දැන දැනම හොරකමේ කප්පිත්තන් පාලකයන් කර ගනියි.
ආර්ථික අර්බුදයෙන් රට ගොඩගත් රනිල් වික්‍රමසිංහ ප්‍රතික්ෂේප කරමින් ඊට ප්‍රතිවිරුද්ධ ආර්තික අදහසක සිටි අනුර කුමාරව ජනාධිපති කරයි.
මෙම ජහමනයාට අවශ්‍යය වන්නේ සමාජ – ආර්ථිකව ගැටලු වලට සබුද්ධික විසදුම් සොයනවා වෙනුවට පාලකයා විදින්නේ යැයි සිතන විනෝදය පැහැර ගැනීමයි. රනිල් නැමති නාකි සීයා කජු කමින්, විදේශ සංචාර වල යමින්, විදි විනෝදය අප පැහැර ගත යුතු යැයි යෝජනා කරන ජහමන ආත්මය ඒ හරහා විදින විනෝදය.

මෙම ජහමනයා මාලිමාවට ජන්දය දෙන්නේ ඔවුන් යහපත් සමාජයක් ගොඩනගන්නේ යැයි සිතා නොව, ඉහත කී ජහමන ආත්මයේ විනෝදය වෙනුවෙනි.මෙය මේ වකවානුවේ ජහමනයා ක්‍රියාත්මක වන විනෝද වන පුද්ගල ආත්මයේ ගතිකත්වයයි.

මාලිමාව මනෝවිශ්ලේශනය ගැන කිසිවක් නොදන්නේ වුවද ජනතාව විනෝදය වන නිලය රාජපක්ශලා මෙන් අල්ලාගත්තේය. වමේ බලව්වෙගයක් බවට පාරම්බෑවද මාලිමාවේ මුලු දේශපාලන‍ ව්‍යාපෘතියම සැබෑ සමාජ ආර්ථික අභියෝග කතා කරනවා වෙනුවට මෙම ජහමන විනෝදය සංවිධානය කිරීම වටා සංවිධානය විය. මැතිවරණ ව්‍යාපාරය තුල මෙම විනෝදය කිසිදු අඩුවක් නැතිව සංවිධානය කිරීමට අනුර කුමාර ප්‍රමුක මාලිමාවට හැකි වූ අතර එය දිගින් දිගටම පවත්වා ගැනීම මාලිමාව හමුවේ ඇති ලොකුම අභියෝගයයි.


ආර්තික බංකොලොත් බාවය කළමනාකරනය කර ගැනීම වෙනුවෙන් විශාල ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් කලයුතු තත්වයක් තුල මෙම ජහමන විනෝදය දිගින් දිගටම නඩත්තු කර ගැනීම පහසු වන්නේ නැත. එමෙන්ම දිනෙන් දින විශාල වන ආර්ථික අර්බුදය නැමති යථට මුහුන නොදී සිටීමද කිසිසේත්ම කල නොහැක්කකි.


මෙම උභතෝකෝටිකය ජයගැනීම මාලිමාව හමුවේ ඇති අභියෝගයයි. එය ජය ගැනීම මත මාලිමාවේ අනාගතයත් රටේ අනාගතයත් රැදී ඇත.

 


මාලිමාව බලයට පත්කර මාස හතක් තුල මෙම විනෝද වන ජහමන ආත්මයේ- Enjoying substance – මතු වීම දැකිය හැකිය.


තමන්ට නොලැඹෙන විනෝදයක් පාලකයා සෑම විටම බුක්ති විදින්නේ යැයි ජහමනයා සෑම විටම පරිකල්පනය කරයි. කලින් පාලකයා අත් විදි විනෝදය අත් හිටුවා, එම විනෝදය ජහමනයාට දීම වෙනුවෙන් සපථ කල අනුර කුමාරලාගේ ආණ්ඩුවේ විනෝදයද ජහමනයාට පෙනෙන්නට පටන් ගෙන ඇත. නව පාලකයාගේ විනෝදය ජහමනයාගෙන් සගවා ගන්නට මාලිමාව සමත් නොවන්නේ නම් මාලිමාවේ ගමනද ඉතා ඉක්මනින් අවසන් වීමට නියමිතය.


එය තීරනය වනුයේ ජහමනයාගේ විනෝදය සහතික කරන ඊලග නරුම පාලකයාගේ බිහිවීම සිදු වීමත් සමගය.


මෙය ලාංකීය සමාජ දේශපාලන‍ විෂම චක්‍රයේ ඇබ්බැහියයි.


සැබෑ වමේ ව්‍යාපාරයක අවශ්‍යතාවය වනුයේ මෙම විනෝද වන ජහමන පුද්ගල ආත්මය වෙනුවට විනෝදය අත්හිටවූ නූතන පුරවැසි ආත්මය ගොඩනැගීමයි.
ඒ සදහා මූලිකත්වය ගත හැක්කේ යථාර්තය යනු මගේ අඩංගුවද සමග ගොඩනැගුනු යථාර්තය බව පිලිගන්නා භෞතිකවාදය මත පදනම් වූ ව්‍යාපාරයකටය. යථාර්ථයේ පවතින මගේ අඩංගුව මට අවිංඥානක වන අතර එය කියවා ගැනීම සදහා බාහිර ඒජන්තයෙක් නැතිනම් විශ්ලේශකයෙක් අවශ්‍යයයි. මනෝවිශ්ලේශනය පදනම් කරගත් එකම වමේ දේශපාලන‍ ව්‍යාපාරය වූ සමබිම පක්ශයේ කාර්‍යබාරය යනු එම විශ්ලේශකයාගේ කාර්ය බාරයයි. සමබිම පක්ශය රැඩිකල් සමාජ පරිවර්තනයක අනිවාර්යතාවයක් වන්නේ එබැවිණි.

-චන්දන-

ඔබේ අදහස කියන්න...