‘විමුක්තිය වූ කලී මානසික ක්‍රියාවක් නොව, ඓතිහාසික ක්‍රියාවකි’

    • හේගල් සහ මාක්ස් – 

 ශ්‍රී ලංකාවේ ‘දේශපාලන විද්‍යාව’ පිළිබඳ (රාජ්‍යය සහ සිවිල් සමාජය අතර ගැටුම ක්‍රමවත්ව අධ්‍යයනය කරන විද්‍යාව) මහාචාර්යවරයෙක් වන ජයදේව උයන්ගොඩ සහ විවෘත විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ ආචාර්යවරයෙක් වන අතුලසිරි සමරකෝන් විසින් ජනතා විමුක්ති පෙරමුණ සහ එහි දේශපාලන ස්වභාවය පිළිබදව පළ කරන අදහස් විද්‍යාත්මක ද?

        ගම්වලින් කොළඹට පැමිණ පසුව විශ්ව විද්‍යාලවලට ඇතුළු වී විශ්ව විද්‍යාලවල ගුරුවරුන් බවට රූපාන්තරණය වූ ඉහත මහත්වරුන්ට ගම/ නගරය භේදය ”කොළඹ” දී කියවීම පිළිබඳ අනුභූතිවාදීවාදයට වඩා උසස් ඥාණ විභාගයක් සකස් කර ගැනීමට තවමත් නොහැකි වී ඇත. සමාජ මාධ්‍ය තුළ බිහි වන්නේ, Public Intellectual ලා නොව මෘදුකාංග වලට අවශ්‍ය පරාමිතීන්ට අනුව චලනය වන සහ ලාභය මුල්කරගත් ඇකඩමික් ව්‍යාපාරයක් බව අතුල සමරකෝන්ට පහදා දීමට ඉතා දුෂ්කර වන්නේ, ප්‍රමිතිගත දැනුමෙන් විශ්ව විද්‍යාල බුද්ධිමතා කෙතරම් දුරස් වී ඇත්ද යන්න විද්‍යාමාන කරවමිනි.

        කිසියම් සමාජ ප්‍රපංචයක් විශ්ලේෂණය කිරීම අරභයා පූර්වාදර්ශයක් ලෙස ‘සමාජ විද්‍යාඥයෙකු’ [1987] ලෙස ලංකාවට දැනුමක් නිෂ්පාදනය කළ ආචාර්ය නිව්ටන් ගුණසිංහ ‘56 විපර්යාසය’ අරභයා රචනා කළ ලිපියේ න්‍යායික සන්දර්භය සලකුණු කරයි. ගුණසිංහ උත්සාහ කරන්නේ, ”බණ්ඩාරනායකවාදය” පිළිබඳව විද්‍යාත්මක දෘෂ්ටියක් නිපදවීමට ය.

        කිසියම් දේශපාලන ප්‍රපංචයක් විශ්ලේෂණය කිරීමේ දී, උයන්ගොඩ සහ සමරකෝන් යන විශ්ව විද්‍යාල ගුරුවරුන් සරණ යන්නේ අනුභූතිවාදය යි.  ජහමනයාට වැටහෙන විදිහට කිවහොත්, මේ දෙදෙනාගේ ඥාණ විභාගය ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂයට එහා නොය යි.[appearance] මේ දෙදෙනාම පුවත්පත් මගින් සහ සමාජ මාධ්‍ය මගින් ‘ජනතා විමුක්ති පෙරමුණේ’ දේශපාලනය පිළිබඳව ගොඩනගන වර්තමාන සහ අනාගත ප්‍රවාද අයත් වන්නේ, මනස්ගාත තලයට ය.

       මීට හාත්පසින් ම වෙනස්ව, නිව්ටන් ගුණසිංහ විසින් සමාජ සහ දේශපාලන ප්‍රපංච නිරීක්ෂණයේ දී යෝජනා කරන න්‍යායික සංකල්ප පහත සඳහන් කරනු ලැබේ.

 

A. ජනතා විඥාණය සෑම විටම ව්‍යාකූල තත්ත්වයක පවතී. එම නිසා, න්‍යායික විග්‍රහයක් කරන පුද්ගලයෙකු තමන් එදිනෙදා සමාජයෙන් ඈත් වී බැරෑරුම් ලෙසම අධ්‍යයන පරිසරයක් නිර්මාණය කරගත යුතු ය. කාල් මාක්ස් ඔහුගේ ‘ප්‍රාග්ධනය’ නම් ප්‍රසිද්ධ සහ උසස් රචනාවේ දී භාවිතා කළේ මෙම ක්‍රමය යි.

ලංකාවේ ද සමාජ දේශපාලන ක්‍රියාවලිය පිළිබඳව ගැඹුරු විඥාණයකට යාමට කෙනෙකුට අවශ්‍ය නම්, ඉහත ක්‍රමවේදයම අනුගමනය කළ යුතු ය.

අවාසනාවකට ලංකාවේ දී සිදු වන්නේ, ජහමන මත සහ විශ්වවිද්‍යාල ගුරාගේ මතය සම්පාත වීමයි. එම නිසා, අලුත් දැනුමක් නිෂ්පාදනය නොවන අතර ඩොක්සාව න්‍යාය වෙනුවට ආදේශ වෙයි.

B. දේශපාලන සහ සමාජ න්‍යායේ දී ඉතාම දුෂ්කර කාර්යයක් වන්නේ, නිවැරදිව ”ගැටලුව” සූත්‍රගත කිරීමයි. ගැටලුව සූත්‍රගත වූ විට, එමගින් කතිකාවේ මං පෙත සකස් වෙයි. එවිට, අර්ථාන්විතව ප්‍රශ්න නැගීමට සහ ඒවාට නිවැරදිව පිළිතුරු සැපයීමට හැකි වෙයි. උකුණන් ලවා ගල් ඇද්දවිය නොහැකි බව විශ්ව විද්‍යාල ගුරුවරයාට වටහා ගැනීමට අවශ්‍ය නම්, හැරිය යුත්තේ දේශපාලන රැස්වීම් දෙසට නොව න්‍යාය දෙසට ය.

(C) ජනතා විමුක්ති පෙරමුණේ අභිලාෂයන් හෝ මාලිමාවේ හඬ නගන අභිලාෂයන් සමාජයේ පොදු අභිලාෂයන් සමඟ පැටලවීමට විශේෂයෙන් උයන්ගොඩත්, සුවිශේෂව සමගි ජන බලවේගය හරහාත් සමරකෝන් උත්සාහ කරයි. නමුත්, අවාසනාවකට මෙම අන්ත දෙක සම්පාත නොවේ. මාලිමාවේ අයගේ සුවිශේෂ වුවමනාවන් පොදු සමාජයේ සාර්වත්‍රික ඉල්ලීම් සමඟ (සුළු ධනේෂ්වරයට ආවේණික පුද්ගලික දේපළවලට එරෙහි අනුරාගික විරෝධය) සම්පාත නොවේ. පොදු වුවමනාවන් සහ රැවටිලි සහගත පොදු වුවමනාවන් අතර තීරණාත්මක වෙනසක් ඇත. උදා:- වැටුප් වර්ධකයන් අදාළ වන්නේ, රජයේ සේවකයන්ට පමණි. එය, ශ්‍රමික ජනගහනයෙන් බහුතරයට අදාළ නැත.

(D) දේශපාලන න්‍යායේ අතිශයින් ව්‍යූක්ත මට්ටමින් හේගල් විසින් ඉදිරියට ගෙන ආ රාජ්‍යය සහ සිවිල් සමාජය අතර තිබෙන වෙනස දක්වන න්‍යාය- උදාහරණ වශයෙන්, රජය සහ සිවිල් සමාජය අතර තිබෙන හඳුනාගත හැකි ගැළපීම් සහ නො ගැළපීම් මොනවාද? ඉන් අදහස් වන්නේ, ආර්ථික සහ දේශපාලන මට්ටම්වල ගැටුම සිවිල් සමාජය සහ රජය අතර පවතින ඝට්ටනය ඇසුරෙන් පහදන්නේ කෙසේ ද යන ගැටලුව විධාරණය කරන්නේ කෙසේ ද යන්නයි. 

උදා:-  90 දශකයේ දී, විකල්ප මාධ්‍යවේදියෙකු වූ සුනන්ද දේශප්‍රිය විසින් පාස්කු ඉරිදා ප්‍රහාරය විශ්ලේෂණය කරන විට ඔහු එය කරන්නේ, සිවිල් දේශපාලනය සහ රාජ්‍යය අතර ගැටුම ඔස්සේ ය. නමුත්, ඒ සඳහා පාදක වන ආර්ථික දුගීභාවය සහ දේශපාලන මට්ටම්වල ගැටුම අතහැර දමයි. එය, ඔහු පාර-රාජ්‍යයට ඌනනය කරයි. සහරාන්ගේ දුගීභාවය සහ ඊබ්‍රහීම්ලාගේ පොහොසත්භාවය අතර දයලෙක්තික එකමුතුව සහ ප්‍රතිපක්ෂය කුමක් ද? අනෙක් අතට, සුනන්ද කල්පනා කළ යුතු වන්නේ වඩා ව්‍යුහාත්මක ලෙසින් මාධ්‍ය කලාවට සිදු වී ඇති වෙනසයි. අද සිටින සමාජ මාධ්‍යවේදියාට, 90 දශකයේ විකල්ප මාධ්‍යවේදියාට වෙනස්ව අමතර දෙයක් අහිමි වී ඇත. එනම්, අනන්‍යතාවය යි. 

පශ්චාත්-නූතන මාධ්‍ය යනු, සත්‍යය වසඟකාරීව වෙනස් කරන ප්‍රපංචයකි. මෙම නව-මාධ්‍ය තුළ මාධ්‍යවේදියා යනුවෙන් කෙනෙක් නො පවතින අතර පවතින්නේ, වේෂ- නිරූපණ යන්ත්‍රයන් ය.[Simulation Machines] එවිට, සිවිල් සමාජය සහ රාජ්‍යය අතරමැද පිහිටන්නේ, US Aid වැනි සංක්‍රාන්ති රාජ්‍ය සංස්ථාවන් ය. තරිදු උඩුවරගෙදර වැන්නන් මාධ්‍යවේදීන් නොව වේෂ- නිරූපණ ශිල්පීන් ය. එම නිසා, ‘පාස්කු ප්‍රහාරය’ වැනි සැබෑ සිදුවීම් පශ්චාත්- සත්‍යය [post-Truth]කරා වේගයෙන් ගමන් කරයි. එවිට, කරුණු සහ යථාර්ථය අතර ඇති ප්‍රබන්ධ මානය හෙළි වෙයි.

(E) ‘පාලන තන්ත්‍රය’ ගතික ව්‍යවසායකි යන අදහස බොළඳය. සමාජ ආර්ථික න්‍යාය පිළිබඳ දැනුමක් ඇති ඕනෑම අයෙකු ‘ව්‍යවසායකයා’ යන්නෙන් න්‍යායාත්මකව අදහස් කරන්නේ, ‘තනි පුද්ගලයෙකු’ මිස සමාගමක් හෝ රජයක් හෝ නොවන බව දනී. පුද්ගලික ව්‍යවසායකයා තම සුඛ විහරණය අතහරිමින් ‘බර වැඩ’ කරන නිසා ප්‍රාග්ධනය සමුච්ජනය වේ. මෙම අදහස පාවිච්චි කර, මාක්ස් වේබර් ධනවාදී සදාචාරයේ ප්‍රොතෙස්තන්ත ලෝක දෘෂ්ටිය පහදයි. මේ අර්ථයෙන් ගත් විට, දිලිත් ජයවීර යනු පශ්චාත්-නූතන මිත්‍යා දෘෂ්ටිකයෙකි. ඔහු රාජ්‍යයට ගැළපිය නොහැකි අදහසක් තම මාධ්‍යය ගණිකා වෘත්තියේ යොදවමින් සමාජයට බලහත්කාරය යෝජනා කරයි. දිලිත් ජයවීරට එරෙහිව බුද්ධිමතුන්ගෙන් විචාරයක් නොපැමිණීම පුදුමයට කාරණයක් නොවන්නේ, ඔවුන් බහුතරය වැඩසටහන් ඉල්ලන හිඟන්නන් වීම නිසා ය. රාජ්‍යය තනි ව්‍යවසායකයාට වඩා බෙහෙවින් වෙනස් ය. රජයක පවතින දේශපාලන අවශ්‍යතාවයන් සහ පුද්ගලයකුගේ පවතින ආර්ථික අවශ්‍යතාවයන් අතර වෙනස්කම් පැහැදිලිව අවශෝෂණය කරගත යුතු ය.

(F) පොදුවේ ගත් කල, ‘අතරමැදි සමාජ පන්තීන්ගෙන් යුක්ත’ පාලන තන්ත්‍රයක් අධිරාජ්‍ය විරෝධී/ ධනේශ්වර විරෝධී/ වැඩවසම් විරෝධී වීම අහම්බයක් නොවේ. ඉන් සිදුවිය හැකි එකම විපාකය වන්නේ, නාගරික ප්‍රදේශවල රාජ්‍යයේ  කාර්යභාරය පුළුල් වීම පමණි. නමුත්, අවාසනාවන්ත ලෙස මෙවැනි පාලන තන්ත්‍රයන් ධනපති ක්‍රමය ගතික ආකාරයකට ගොඩනැගීමට අපොහොසත් වෙයි. එහි අතුරුඵලයක් වන්නේ, සමස්තය ධනපතිකරණයට ලක්වීම වෙනුවට රාජ්‍ය ධනවාදය ආදේශ වී ඊට ‘සංවර්ධනය සඳහා capitalist නොවන මාවතක්’ නම් බෝඩ් ලෑල්ලක් සවි වීම පමණි.

මාලිමාවේ ක්‍ෂමාපකයන් බහුතර දෙනෙකු උත්සාහ කරන්නේ, එම තන්ත්‍රයේ සදාචාරාත්මක ගුණය වර්ණනා කිරීමට ය. එහි ආර්ථික දර්ශනය පිළිබඳව කතා නොකිරීමට ඔවුහු පරිස්සම් වෙති.

 

(G) මාලිමාව විසින් ඉදිරිපත් කරන දේශපාලන වැඩසටහන තුළ ඔවුන්ට සහ ඔවුන්ගේ පාක්ෂිකයන්ට ආර්ථික වුවමනාවන් නොමැති පිරිසක් ලෙසින් ඉදිරිපත් කෙරෙයි. උදාහරණයක් ලෙස, කොට්ටහච්චි නිල් බලකායේ සාමාජිකාවක් වන විට ඇගේ ආර්ථික අවශ්‍යතාවයක් ලෙස ‘ගල් කෝරියක්’ මතු විය හැකි මුත්, ඇය මාලිමාවේ සාමාජිකාවක් වන විට දී ඇගේ ආර්ථික වුවමනාව සිවිල් කටයුත්තකට ඌනනය වෙයි. එනම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වීමයි. ‘ගල් කෝරිය’ සන්දර්භය මාරු වී මන්ත්‍රීවරියක් බවට රූපාන්තරණය වීම ද ආර්ථික වුවමනාවකි. එනම්, ‘ධනවාදී නොවන ආර්ථික සංවර්ධන මාදිලිය’ යනු ඊනියා අතරමැදි පන්තිවල ආර්ථික අවශ්‍යතාවයකි. 1999 වර්ෂයේ සිට 2004 දක්වා x කණ්ඩායමේ ප්‍රධාන කාර්යාලයේ නොමිලේ නවාතැන් දුන් පිරිස ඉන් ඉවත් වූ විගස කීවේ, ඔවුන් නතර වී සිටියේ බෝඩිමක බවයි. ලංකාවේ පහළ මැදපන්තිකයා දෙයක වටිනාකම ලකුණු කරන්නේ, පසුආවර්තිතව බව මතක තබා ගැනීම සෞඛ්‍යයට සුවදායක ය. මාලිමාවට දරදිය අදින සහචරයන්ගේ ආර්ථික අවශ්‍යතාවයන් දැනට ගුප්ත ය. එය, නිසි මොහොතට ගුහාවෙන් එළියට එනු ඇත. පොහොට්ටුව කරගත් ඓතිහාසික වරද ඇත්තේ, මෙතැන ය. ඔවුන් තමන්ගේ ආර්ථික අභිලාෂ සමාජයට සැගවුයේ නැත. ඊට පරස්පරව, ජවිපෙ දේශපාලනය කපටි ය. ඔවුන්ට ඇත්තේ, විවෘත අභිලාෂයන් නොව සඟවා ගත් න්‍යාය පත්‍රයක් සහිත අභිලාෂයන් ය. එය ඔවුන්ට එන්නේ, නෛසර්ගිකව මෙන් ග්‍රාමීය දරිද්‍රතාවයෙනි.

 

(H) 1956 දී සිදු වූ දේශපාලන විපර්යාසය, ප්‍රාදේශීය දෘෂ්ටිකෝණයකින් ප්‍රකාශ කරනවා නම්, ග්‍රාමීය/ නාගරික බෙදීම නම් ස්ථාවරය ගැනීමෙන් බුද්ධිමය විශ්ලේෂණයකට යාමට වඩා ඉඩකඩ ලැබෙන බව මගේ අදහසයි– නිව්ටන් ගුණසිංහ.

ධනේශ්වර සංවර්ධනය සහ පූර්ව ධනවාදී සබඳතා පිළිබඳ නිව්ටන් ගුණසිංහ විසින් ලබා දෙන රූපකයක් දෙක මෙසේය:

 

1. ධනවාදී සංවර්ධනය නම් ක්ෂේම භූමිය.

2. පූර්ව-ධනවාදී සබඳතා නම් කාන්තාරය.

 

ශ්‍රී ලංකාවේ සමාජ-ආර්ථික දේහය සිර වී ඇත්තේ, ඉහත ප්‍රතිවිරුද්ධ අන්ත දෙක අතර ය. එය, ඛේදවාචකයක් වී ඇත්තේ එම නිසා ය.

 

නිව්ටන් ගුණසිංහ ලංකාවේ අති බහුතර ගැමි වහරේ සිරවන විශ්ව විද්‍යාල බුද්ධිමතුන්ට වෙනස්ව ගම/ නගරය භේදය අතරින් නාගරික අන්තය තෝරා ගනියි. අනෙකුත් විශ්වවිද්‍යාල බුද්ධිමතුන්ට පරස්පරව අදීන ලෙස සුවිශේෂයන් (ගම, ලිංගය, කුලය, වර්ගය) වෙනුවට සාර්වත්‍රිකයන් (ඉතිහාසය, න්‍යාය, මාක්ස්වාදය) වෙනුවෙන් පෙනී සිටින ලදී.

 

ඉහත කෙටි න්‍යායික සාහිත්‍යය හරහා මා ඉදිරිපත් කරන චිත්‍රය වන්නේ, සමකාලීන යුගය තුළ මාලිමාව වෙනුවෙන් පෙනී සිටින ඊනියා විශ්වවිද්‍යාල ගුරුවරුන් එසේ පෙනී සිටින්නේ, කිසිදු න්‍යායික පදනමක සිට නොවේය යන්න ය. ඒ සඳහා, ඔවුන්ට ආධාර වන්නේ, ජහමනයාගේ ජනශ්‍රුතිය සහ ඩොක්සාවයි. එම නිසා, ඔවුන් අපට යෝජනා කරන්නේ දැවැන්ත ආර්ථික ගැටලුවක සිරවී සිටින රටක දී සාමූහිකව සිය දිවිනසා ගැනීමට අවශ්‍ය ආඛ්‍යානයකි.

Jehan.

Case Study (සිද්ධි අධ්යයනයක්) එකක් පිළිබඳ පර්යාය සටහනක්-

සුධර්මෙන් රදළියගොඩ ITN ආයතනයේ මාධ්‍යවේදියෙකි. ඊට අමතරව, ඔහු එහි උසස් නිලධාරියෙකි. දේශපාලන වැඩසටහන් මෙහෙයවීමට හැකි දක්‍ෂයෙකි. සරලව කිවහොත්, ITN නාලිකාවට ඔහු නැතිවම බැරි පුද්ගලයෙකි.

පොහොට්ටුව යුගයේ දී, ඔහු රාජපක්ෂලාට හිතවත් මතවාදය දක්‍ෂ ලෙස සංවිධානය කළ පුද්ගලයෙකි. එම නිසාම, රාජපක්ෂවාදය අවසන් වන යුගයේ දී ඔහුට බරපතල චෝදනා එල්ල විය.[1]

ඉන්පසු, වික්‍රමසිංහ-සිරිසේන ආණ්ඩුව පැමිණි අතර ටික කලකට සිරගෙදරට ද යාමට සිදු වූ අතර පසුව, යළි ආයතනයට එක් විය. ඉන්පසුව, යහපාලන ආණ්ඩුවට නැතිවම බැරි මාධ්‍යවේදියෙක් විය.[2]

ඉන්පසුව, යළිත් ගෝඨාභය රාජපක්ෂ බලයට පත්විය. එවිට, යළිත් ඔහු රාජපක්ෂවාදය ප්‍රචාරණය සඳහා සුදුසුම පුද්ගලයා විය. ඔහු ඔහුගේ වෘත්තිය හොඳින් කරගෙන ගියේය.[3]

ඉන්පසුව, කොවිඩ් වසංගතය සහ ආර්ථිකය අර්බුදයට ගමන් කළ අතර රනිල් වික්‍රමසිංහ ජනාධිපති විය. සුදර්ශන ගුණවර්ධන ITN  සභාපති විය. රනිල්ගේ ආර්ථික දෘෂ්ටිය මහජනයා අතරට ගෙන යාමට වඩාත්ම සුදුසු මාධ්‍යවේදියා බවට පත් වූයේ ඔහු ය.[4]

ඉන්පසුව, අනුර කුමාර දිසානායක ජනාධිපති විය. මාලිමාවේ මතය මහජනයා අතරට ගෙන යාමට රාජ්‍ය මාධ්‍ය අතර ඔහු තරම් හපනෙක් නැති නිසා ඔහුව රඳවා ගැනීමට නව සභාපති වෙදමුල්ලට සිදු විය.[5]

එකිනෙකට හාත්පසින් පරස්පර දෘෂ්ටිවාදයන් විසින් දේශපාලන ආධිපත්‍යය (වම/ දකුණ/ ලිබරල්/ ජාතිකවාදය/ හොරු එළවීම) ලබා ගත්ත ද සුධර්මන් නම් චරිතය ඒ සියලු දෙනාට රඳවා ගැනීමට සිදු විය. එක් පැත්තකින්, ඒ සඳහා හේතු වන්නේ ඔහුගේ වෘත්තීයභාවය යි. කොටින්ම, අන්තර්ගතයට වඩා ආකෘතිය- Form – බලවත් වීම සුධර්මන්  ඉවෙන් දැන සිටියේ ය.

අනෙක් පසින් ITN යනු, පාඩු ලබන රාජ්‍ය ආයතනයකි. පත්වන සභාපතිවරයා මසකට මිලියන 189 ක් සෙවිය යුතු අතර වෙන වැඩක් කිරීමට කාලය ඉතුරු වන්නේ නැත.

සුධර්මන්ගේ වඩා උනන්දුකාරක පැත්ත ඇත්තේ, ඉහත වාස්තවික යථාර්ථය (Objective Reality) තුළ නොවේ. ඒ සඳහා අප හැරිය යුත්තේ, වෙනත් පැත්තකට ය.

සුධර්මන් යනු, ඉතා සිත්ගන්නා සුළු චරිතයකි. ඉතාම සැහැල්ලුවෙන් ජීවත්වන, කන, බොන, රමණයේ යෙදෙන මිනිසෙකි. ද්‍රව්‍යමය සංස්කෘතිය සහ ජීවන විලාසිතාව හොඳින් සංකලනය කළ ඔහු සල්ලාපයකට ඉතා සමීප චරිතයකි. දේශපාලන වැඩ සහ වෙනත් වගකීම් වලින් හෙම්බත් වී සිටි මට ඔහු ෆැන්ටසි වස්තුවකි. මගේ ආශාව කුළුගන්වන සුළු පැවැත්මක් ඔහුට තිබුණි. කවදා හෝ සුධර්මන් මෙන් මැරෙන්න කලින් ටික කලක් හෝ ජීවත් විය යුතු යැයි හැඟිණි. මගේ පැවැත්මේ ඇති දැඩි අසංගත බව ඒකාග්‍ර කරන ඒකාත්මික පැවැත්මක් ඔහු තුළ තිබුණි. කොටින්ම, මගේ අවිනිශ්චිත පැවැත්ම තුළ ඔහුට තිබූ ස්ථීරසාර පැවැත්ම මට මහත් කුතුහලයක් විය. ඒ අනුව, මේ යුගයේ අප ‘වීරයන්ට’ වඩා අනන්‍ය වන්නේ, අපගේ අසාර ජීවිතයේ ආපතිකතාවයන්ට පිළිතුරු ලැබෙන මිනිසුන්ට ය. එම නිසා, ඔහු කිසිදු දෘෂ්ටිවාදයකට ප්‍රශ්නයක් නොව පිළිතුරක් ය. අප මේ යුගයේ අනන්‍ය වන්නේ, අර්ථයට නොව විනෝදයට ය. මා සුධර්මන්ගේ විනෝදයට – enjoyment-අනන්‍ය වීම ඒ අනුව අහම්බයක් නොව අනිවාර්යයකි. දේශපාලනිකව මහින්ද රාජපක්ෂගේ සිට මා දක්වා වූ සියලුම දේශපාලකයන් ඉදිරිපිට ඔහු ඉතිරි විය. අප ගෙදර ගිය අතර ඔහු සැමදා ITN එකේ වැඩට ගියේ ය.

සුධර්මන්ට අභියෝගයක් එන්නේ කවදා ද?

 

යම්කිසි දිනෙක ITN එක පුද්ගලික අංශයට පැවරුවහොත්, එදිනට සුධර්මන්ට අභියෝගයක් එනු ඇත. ඔහුට ද වෙනස් වීමට බල කෙරෙනු ඇත. දෘෂ්ටිවාදයන් වෙනස් වූවාට යථාර්ථය වෙනස් වන්නේ නැත. රාජ්‍යයෙන් ප්‍රාග්ධනය විතැන් කළ විට දී ලංකාව වෙනස් වනු ඇත. අපගේ විනෝදයන් විචාරය වන්නේ, එවිට ය. 

Deepthi Kumara Gunarathne

 

ඔබේ අදහස කියන්න...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here