මාධ්‍යවේදී නන්දන වීරරත්න මහතා විසින් මෑතකදී අනගාරික ධර්මපාලතුමා සමරිසියෙකු බවට උපකල්පනය කිරීමේ සාධක තිබෙන බවට හෙලි කරමින් පවත්වන ලද කතාවක් ශ්‍රවණය කිරීමෙන් පසුව මෙම ලිපිය ලිවීමට අදහස් කලෙමි. 
නන්දන වීරරත්න මහතා පෙන්වා දෙන ආකාරයට අනගාරික ධර්මපාලතුමා ගේ ලිංගික ජීවිතය පිලිබඳ බ්‍රිතාන්‍ය ඔත්තු සේවය සතුව ලියකියවිලි පවතින අතර තවමත් ඒවා ප්‍රකාශයට පත් කොට නැත​. තවද අනගාරික ධර්මපාලතුමා සහ විමලානන්ද නම් ගිහි සිසුවෙකු අතර ( මේ මහාචාර්‍ය තෙන්නකෝන් විමලානන්ද බව වීරරත්න මහතා ව්‍යංගයෙන් පෙන්වා දෙයි ) සමරිසි ඇසුරක් පැවති බව උපකල්පනය කල හැකි බවද ඔහු පවසයි. 
මාධ්‍යවේදී නන්දන වීරරත්න මහතා විසින් පවසන මෙම අනුමානයන් සත්‍යද ? 
අනගාරික ධර්මපාලතුමා (ගිහි නාමය දොන් ඩේවිඩ් හේවාවිතාරණ ) උපත ලබන්නේ 1864 වසරේදීය​. උප්පත්තියේදීම ඩේවිඩ් හේවාවිතාරණ ගේ පාදයේ ආබාධයක් තිබීම නිසා ඔහු තමන් ශාරීරික වශයෙන් දුර්වලයෙකු බව සිතයි. මූලිකවම  තමන්ට දාව ශක්තිමත් පරම්පරාවක් බිහි කිරීමට නොහැකි බව සිතීම නිසා  ඔහු බ‍්‍රහ්මචාරී වෘතයට අනුගත වෙයි. මේ පිලිබඳව අනගාරික ධර්මපාලතුමා තම දිනපොතේ ද සඳහන් කොට ඇත​. 
ඉන්දියාවේ වාසය කල සමයේදී උඩකැන්දවල ශ්‍රී සරණංකර  හිමියන් මෙන්ම අනෙකුත් භික්‍ෂූන් විසින් අනගාරික ධර්මපාලතුමා ගේ  ඇතැම් හැසිරීම් රටාවන් විවේචනයට බඳුන් කරන ලදි. සමහරෙකු විසින් ධර්මපාලතුමා විමලානන්ද නම් සිසුවාට  අනවශ්‍ය ලෙසින් නිදහස ලබා දුන් බවට චෝදනාද තිබේ. විමලානන්ද නම් සිසුවා කරන වැරදි වලදී ධර්මපාලතුමා නිසොල්මන්ව සිටි අවස්ථාද ඔවුන් සඳහන් කරති. එහෙත් අනගාරික ධර්මපාලතුමා ගේ දිනපොතක විමලානන්ද නම් සිසුවා මුරණ්ඩු අයෙකු බවටද සඳහනක් තිබේ. 
අනගාරික ධර්මපාලතුමාට  හිනිඳුම වත්තේ කොන්දොස්තර වූ ලුවිස් සමග ඉතා කිට්ටු සබඳතාවක් තිබ්බේය​. ලුවිස් විවාහකයෙකු වූ අතර ඔහුට දරු පවුල විශාල නොකරගන්නා ලෙසට ධර්මපාලතුමා අවවාද දෙයි. එසේම හොනලූලූ නගරයේ ෆෝස්ටර් මහත්මිය සහ ධර්මපාලතුමා අතර ඉතා ලඟ මිත්‍රත්වයක් තිබුනේය​. ෆෝස්ටර් මහත්මිය ධර්මපාලතුමා ගේ බුද්ධගයා ව්‍යාපාරයට මුදලින් ද ආධාර දුන්නාය​. ෆෝස්ටර් මහත්මිය තමන්ට මවක් මෙන් වූ බවට ධර්මපාලතුමා සඳහන් කරයි. මේ සබඳතා හුදු උණුසුම් මානවීය සබඳතා බව පෙනී යයි. 
ඉංග්‍රීසි යටත් විජිත පාලකයෝ අනගාරික ධර්මපාලතුමාට  කැමැත්තක් දැක්වූයේ නැත​. ඔවුන් විසින් නිරන්තරයෙන්ම එතුමාගේ වියාපාරයන්ට බාධා එල්ල කරන ලදි. තවද අමධ්‍යප සංගමයේ ක්‍රියාකාරකම් මෙන්ම  1915 සිංහල මුස්ලිම් කෝලාහලය නිසාද ඉංග්‍රීසී පාලකයන් සිංහල බෞද්ධ ප්‍රභූන් කෙරෙහි බැළුවේ සැක සහිතවය​. එසේම හැකි සෑම අවස්ථාවකදීම ඔවුන්ව නීතිය ඉදිරියට ගෙන ඒමට යටත් විජිත පාලකයෝ ක්‍රියා කළහ​. 1915 සිංහල මුස්ලිම් කෝලාහල සමයේදී අනගාරික ධර්මපාලතුමාට ලංකාවට ඒම පවා තහනම් කරන ලදි. යම් ලෙසකින් නන්දන වීරරත්න මහතා පවසන අන්දමට අනගාරික ධර්මපාලතුමා ගේ  සමරිසි සබඳතාවන් පිලිබඳව බ්‍රිතාන්‍ය ඔත්තු සේවය දැන සිටියා නම් ඔවුන් එය අනගාරික ධර්මපාලතුමාට එරෙහිව භාවිතා නොකලේ මන්ද  යන සැකය මෙහිදී මතුවේ. මේ සමයේදී එංගලන්තයේ සමරිසි නීති ඉතා තද කාලයක් විය​. ඔස්කා වයිල්ඩ් වැනි පුද්ගලයෝ පවා වික්ටෝ‍රියානු ප්‍රති සමරිසි නීති හමුවේ සිරගත වූහ​. මේ නිසා බ්‍රිතාන්‍ය ආණ්ඩුවට ධර්මපාලතුමා සම්බන්ධයෙන් ඔප්පු කල හැකි සාධක තිබුනේ නම් ඔවුන් ධර්මපාලතුමාට එදිරිව නීතිය ක්‍රියාත්මක කිරීමට දෙවරක් සිතන්නේ නැත​. එමගින් ඔවුන්ට ධර්මපාලතුමා සිරගත කිරීමට මෙන්ම ජනප්‍රිය නායකයෙකු ලෙස ඔහු සතුව තිබූ කීර්තියටද ඉන් පහර දීමටද හැකියාව තිබුණි. නමුත් අනගාරික ධර්මපාලතුමාට සමරිසි චෝදනා ගොනු වූයේ නැත​. 
වෛද්‍ය රුවන් එම් ජයතුංග 

ඔබේ අදහස කියන්න...