සාහිත්‍ය ෂානරයක් (genre) ලෙස ස්වයං චරිතාපදාන මා දකින්නේ ව්‍යාජ ප්‍රකාශන වශයෙනි. එයට හේතුව අනෙකක් නොව ස්වයංචරිතාපදානයක දී තොරොම්බල් වන්නේ ‘මම’ (චරිතාපදාන රචකයා) බැවිනි. එවිට එම ලිවීම තුළ “අනෙකාට මම කව්ද?” යන ප්‍රශ්නය දහස්වර වර නැ‍ඟෙයි. එනයින් ම, ස්වයං චරිතාපදානයක් යනු උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් ලියන නවකතාවක් නොවේ. එහි රචකයා එය ලියන්නේ තමා උත්තම පුරුෂයකු හෝ උත්තම ස්ත්‍රියක බව හුවා දැක්වීමටය.

මෙහි ඇති සුවිශේෂතාව නම් ආත්ම භාෂණයක් ලෙස කෙනෙකු ලියන්නේ අනෙකා (Other) තමා ගැන සිතන්නේ යයි ෆැන්ටසිකරණය කරන දේවල් කන්දරාවක් වීමයි. එවිට එහි සිටින්නේ අනෙකා විසින් ගොඩ නගනු ලබන ‘මම’ කෙනෙකි. අනෝමා ජනාදරිගේ පුනරෝකථන සහ පුනරාගමනය කෘතිවල කරන ලියවිලිවලදී ‘මම’ අර්බුදයට ලක්වන්නේ එලෙස ය. මෙම ආත්ම චරිත කතාවලින් එළිදරව් කරන ඇත්ත අනෙකක් නොව කෙනෙකුට තමා උත්කර්ෂයට නංවා ගැනීමට අවශ්‍ය නම් කළ යුත්තේ බොහෝ සිදුවීම් අවරෝධනය (repress) කිරීම සහ නොසිදුවීම් සිදුවීම් ලෙස නිර්මාණය කිරීම වන බව ය.

මෙම කතාබහ මීට වඩා විද්‍යාත්මක තලයකට රැගෙන යාමට නම් අපේ කාලයේ දාර්ශනිකයකු වූ ස්ලෝවේනියානු ජාතික ස්ලැවෝජ් ජිජැක් හමුවීම මැනවි. ජිජැක් ගේ ජර්මානු විඥානවාදය (හේගල්, කාන්ට්, ෆීෂේ සහ ෂෙලින් වැනි දාර්ශනිකයින්ගේ කෘතීන් මගින් විශද වන දර්ශනය) පිළිබඳ කියවීම වැදගත්වන්නේ එතන දී ය. පොදුවේ පිළිගැනෙන පරිදි ජර්මානු දර්ශනවාදය සත්‍යය ලෙස විග්‍රහ කරන්නේ යම් දෙයක් තුළම පවතින කිසිවක් ලෙස ය‍. එහෙත් ජර්මානු දර්ශනය පිළිබඳ ජිජැකියානු කියවීම්වලට අනුව සත්‍යය යනු එම දෙයට බාහිරව පවතින කිසිවකි. එනම් අප ලබන අත්දැකීම්වල සත්‍යය පවතින්නේ බාහිරවය. අපට අප තුළටම එබී බලා අප කවුන්දැයි සොයා ගත නොහැක.

අනෝමා ජනාදරී පුනරුක්ති, පුනරෝකථන සහ පුනරාගමන යනුවෙන් පොත් තුන් ඈඳුත්තක් ලියා මෙන්න මං යයි එයට ලේබලයක් අලවයි. මෙම පොත් තුන තුළ ඇත්ත අනෝමා අපට හමුවිය හැකි ද? ඇත්ත අනෝමා යනු ඇය මේ පොත් තුනෙහි වචනවලට නගන අනෝමාද? වචනය යනු විශාලනයේ (expansion) වෙස් මුහුණ ලා ගත් සංකෝචනයකි. (Contraction) මේ අනුව වචනයක් ලියූ සැනින් විෂයය (Subject) නැතහොත් පුද්ගලයා තමාට බාහිරව පවතින ‍තම පැවැත්ම සංකෝචනය කර දක්වයි. ඒ අනුව ‘මම’ යන සංඥාව තුළ මා සෙවිය යුත්තේ මට බාහිරව ය. එබැවින් අපට සැබෑ අනෝමා හමු විය හැක්කේ ඇය එළිදරව් කරන දේවල් තුළ නොව ඇය අවරෝධනය කරන දේවල් තුළ ය.

තමා ඩග්ලස් සර්ගේ (ඩග්ලස් සිරිවර්ධන) නාට්‍ය පාඨමාලාවෙන් එළියට පැමිණි දක්ෂ නිළියක බව ඇය මෙහි ලා පරසක්වල ගසන කාරණයකි. එතැනදී ඇය අවරෝධනය කරන්නේ කුමක්ද? උපුල් ශාන්ත සන්නස්ගලට ඒ පිළිබඳව කීමට ඇත්තේ වෙනස් කතාවකි.‍ ඔහුට අනුව ඇය විශ්වවිද්‍යාලයේ දී මුල්වරට රඟ පාන්නේ ඔහු නිර්මාණය කළ නාට්‍යයක ඔහු සමඟ ය. ඩග්ලස් කරළියට පැමිණෙන්නේ එම නාට්‍යය ද සහිත නාට්‍ය උලෙළේ තරග විනිශ්චයකරුවකු ලෙස ය. එහෙත් ඇගේ ජීවිත කතාව තුළ සන්නස්ගල තමාගේ වසරේ සිසුවකු ලෙස සිටි බවක් හේ සඳහන් නොවේ‍. ඇය අවරෝධනය කරන්නේ කුමක්ද? සන්නස්ගල කියන්නේ ඇත්තක් නම් එහි ඇත්තේ ඇගේ මතකය පිළිබඳ සරල කාරණයක් නොවේ. සත්‍යය යනු ප්‍රබන්ධයක් (fictional) මිස අන් කිසිවක් නොවන බව ඇය ස්ඵුට කරමින් සිටින්නීය.

කෙනෙකු යමක් කියන්නට වන් කල ඔහු/ ඇය අතින් ඝාතනය වන්නේ අනුභූතික යථාර්ථයයි. (empirical reality) ලැකාන් සහ ජිජැක්ට අනුව සෑම වචනයක් ම සොහොන් කොතක් වන්නේ එමගින් කියන දේ අතුරුදන් කර එම වචනයාගේ නියෝජනය පමණක් ඉතිරි කරන බැවිනි. රෙනෙ ඩෙකාට්ස් (Rene Descartes) නම් දාර්ශනිකයා පැවසුවේ “මම සිතමි. එහෙයින් මම පවතිමි” යනුවෙනි. එහෙත් ලැකාන් මෙය වෙනස් කරන්නේ මා සිතන්නේ මා නොසිටින තැන ය යනුවෙනි. මේ නිසා මම වූකලී මා නොසිතන තැන සිටින තැනැත්තාය. මෙම න්‍යායික ප්‍රවාදය අනෝමාගේ ලියවිලි කියවීමේ යතුර සේ ගතහොත් ඇය අප හඳුනා ගන්නේ වචන මගින් නියෝජනය කරන ඇගේ ම ෆැන්ටසීන් තුළ නොව ඇය නොකියන දේ තුළ ය‍.

මෙම පොත් ලිවීමෙන් අනෝමා ලැකිනියානු ප්‍රවාදවල එන එක් වැදගත් අදහසක් ස්ඵුට කරන්නීය. එනම් ස්ත්‍රීය නොපවතී (Woman does not exist) යන්නයි. ලැකාන් මෙය වර නගන්නේ ස්ත්‍රිය යනුවෙන් කියා දෙයක් නැත යනුවෙනි. ඇය වූ කලී ‍රෝග ලක්ෂණයකි. (Symptom) එසේ ය. ඇය පුරුෂයාගේ රෝග ලක්ෂණයයි. ඇය පුරුෂයාගේ මානසික ආර්ථිකය (psychic economy) තුළට කඩා වදින්නේ ඔහුගේ ෆැන්ටසි වස්තුවක් ලෙස ය. එනම් ඔහුගේ ආශාවේ හේතුව ලෙස ය. අනෝමා ජනාදරී වූ කලී හඳයාගේ ආශාවේ වස්තුව (object of desire) විය.

මෙම කතුවරිය නිර්ලජ්ජිත ලෙස තමා සහ හඳයා අර්ධ මෛථුනයේ යෙදුන අවස්ථාවක් මෙහි ලා උත්කර්ෂයට නංවයි. ඔවුන් මෙම කාර්යය කරන්නට ඇත්තේ සෙනඟ පිරුණ බස් රථයක් තුළ හෝ සරසවි ආපන ශාලාවේ මේසයක් මත ප්‍රසිද්ධියේ විය නොහැක. එහෙත් ඇය දැන් එම සිදුවීම සුවහසක් පිරිස් මැද සිදුකළ මෛථුනයක් බවට පත් කර ඇත. කෙටියෙන් කිවහොත් කැලණිය විශ්වවිද්‍යාලයේ තාප්පයක ඇති සිදුරු වලින් මෙවැනි දසුන් නරඹන විපරිතයකුගේ තැනට පාඨකයා පත් කර ඇත.

ඇත්ත කාරණය නම් ලිංගික කාර්යය සම්පූර්ණ වීමට එය නරඹන තුන්වැන්නකු ද අවශ්‍ය බව ය. එහි යෙදෙන්නිය තුන්වැන්නකු (මහා අනෙකා) එදෙස බලා සිටීම අවිඥානිකව අපේක්ෂා කරයි. මේ නිසා මිනිසා ස්වභාවයෙන් ම දර්ශනකාමී (Scopic) වන්නා සේ ම ප්‍රදර්ශනකාමී ද වේ. මෙම ලිවීම තුළ එළියට පනින්නේ ඇගේ ප්‍රදර්ශනකාමය නොවේ නම් අන් කුමක්ද?

හඳයාගේ පැත්තෙන් අප මෙය නම් කරන්නේ ප්‍රමෝදය (Jouissance) ලෙස ය. එනම් එම සිදුවීම ඔහුට වේදනාත්මක සතුටක් (Painful Pleasure) වී තිබෙන බව ය. දැන් මෙබඳු ස්ත්‍රියක සමඟ වැසීමෙන් සමාජයෙන් සැඟවී සිටීම සඳහා ඔහුට ගොලු බෙලි කටුවක් සොයා ගැනීමට සිදුවී ඇත. මා දුක්වන්නේ හඳයා ගැන නොව ඔහුට පසු ඇයට හමුවූ පුරුෂයින් ගැන ය. කිසියම් දිනෙක සැඟවී සිටීම සඳහා ඔවුන් ගොලු බෙලි කටු දැන් සිටම සූදානම් කර ගැනීම යෙහෙකිය.

සමන් වික්‍රමාරච්චි

ඔබේ අදහස කියන්න...