80 දශකයේ උතුරු කොලඹ වෛද්‍ය පීඨයට එරෙහිව ජ. වී. පෙ ප්‍රමුඛව ආරම්භ කල විරෝධතාවය බහුජන අරගලයක් දක්වා වර්ධනය වීමත් එම අරගලය ජයග්‍රහණයකින් නිමාවට පත් වීමත් 21 වන සියවසේ දෙවන දශකයේ SAITM අරගලය හිස් බවක් පමණක් සමාජයට ශේෂ කරමින් බහුජන අරගලයක් බවට පත්වනු වෙනුවට උද්ගෝෂණ නිසා වාහන තදබදයට ලක් වූ ජනතාවගේ කෝපය ජනනය කල සිදුවීමක් බවට පත් වුයේ ඇයි? එමෙන්ම 88 විජය කුමාරණතුංග අවමගුලේදී උතුරේ ද්‍රවිඩ සංවිධාන වල ශෝක ප්‍රකාශ කියවූ උපුල් ශාන්ත සන්නස්ගල පසුකාලීනව ජනප්‍රිය සංස්කෘතියේ ප්‍රකාශකයෙකු බවට පත් විය. එහෙත් අද එවැනි වාමාංශික වේදිකා වල කථිකයන් ජනප්‍රිය සංස්කෘතියේ ප්‍රකාශකයන් බවට පත් නොවන්නේ ඇයි ?

ධනවාදය තුල මතුකළ යුතු පංති පසමිතුරුතාවය වෙනුවට අනෙකා අරමුණු කරගත් අනන්‍යතා දේශපාලනය අධිනිශ්චය වීම සහ ජනප්‍රිය සංස්කෘතිය තවදුරටත් ජනප්‍රිය මනෝභාවයක් සහිත සැබෑ මිනිසුන්ගේ පොදු අත්දැකීමක ප්‍රකාශනයක් බවට පත් නොවී මාධ්‍ය සහ සංස්ථාපිත ආයතන මගින් බිහි කරන කෘතීම නිෂ්පාදනයක් (Synthetic product ) බවට පත්වීම අද අප අත්දකිමින් සිටින්නෙමු. එමෙන්ම දෘෂ්ඨිවාදයද සම්ප්‍රදායික අරුතින් තවදුරටත් පැවැත්ම පිළිබද සැබෑ තත්වයන් සගවා දමන්නක් ලෙස නොව අර්චනකාමී ප්‍රතික්ෂේප කිරීම හා සම්බන්ධ වන්නක් බවට පත් වී තිබේ. එබැවින් දෘෂ්ඨිවාදී විචාරයේ අරමුණ විය යුත්තේ ෆැන්ටසිය මගින් සගවා දමන  යතාර්ථය ප්‍රතික්ෂේප කිරීමට ආත්මයට ඉඩ ලබා දෙන අර්චනය (fetish) හදුනා ගැනීමයි. අනන්‍යතා දේශපාලනය තුල එවැනි ආකාරයට පංති පසමිතුරුතාවයේ යථ වෙනුවට SAITM,  දෙමලාට හා  මුසල්මානුවාට එරෙහි විරෝධතා ආදිය ඉස්මතු වී ඇත.

පංති පසමිතුරුභාවය යනු සංකේතනය කිරීමට නොහැකි ක්ෂිතිමය සමාජ විභේදනයයි. වාස්තවික යතාර්ථය ස්වයං ආවෘත (Self -enclosed)සමස්තයක් ලෙස පිහිටුවා ගැනීම වළක්වාලන පසමිතුරුතාවය පන්ති අරගලය ලෙස නම් කල  හැකිය. දේශපාලනය කිරීමට ඉඩ ලැබෙන්නේ සමාජයේ සංස්ථාපනය වී ඇති වියනොහැකියාව  (impossibility) හිස් හැගවුම්කාරක නිෂ්පාදනය කිරීම මගින් පමණක් නිරූපනය වන විටය. දේශපාලනය යනු එම වියනොහැකියාව නිරූපනය කරන හිස් හැගවුම්කාරකය පුරවා දැමීම සදහා වන අරගලයයි. දේශපාලනය කිරීමට ඇති අවකාශය යනු සාමාන්‍ය හැගවුම්කාරක දාමය හා ස්වාමි හැගවුම්කාරකය අතර පවතින පරතරයයි. නමුත් අද එතැනට ආදේශ වී ඇත්තේ මාධ්‍යයි.

වර්තමානයේ සිදුවන පරිදි සමාජ කණ්ඩායම් අතර විරුද්ධතා පංති අරගලය ලෙස නම් කිරීම අපව නොමග යවන සුළුය. එය පංති අරගලය ධනාත්මක මානයකින් හදුනා ගැනීමකි. එමගින් සිදුවන්නේ පංති අරගලය සංකේතනයට බද්ධ කිරීමත් , දී ඇති අර්ථ දක්වා උණනය කිරීමත් හා පසමිතුරුතාවයේ මානය ඉන් ඉවත් කිරීමත්ය. එබැවින් අද වනවිට පංති අරගලය අනන්‍යතා දේශපාලනය දක්වා ලඝු වීම නිසා සිදුවන්නේ සමාජ ක්ෂේත්‍රයේ හෙජමොනිය වෙනුවෙන් විවිධ අරගල සිදුකිරීමයි. එමගින් පංති අරගලයට විෂය වන පංති පසමිතුරුතාවය වෙනස්කම් (difference )පමණක් බවට පත් වේ. පංති පසමිතුරුතාවය වෙනුවට එකිනෙකාගේ අන්නෝන්‍ය පිළිගැනීම මත අනන්‍යතා දේශපාලනයකට  යොමුවීම SAITM විරෝධතා වලදී වාමාංශය සහ වෛද්‍යවරුන් අතර සම්මුතිය මගින් පිළිබිබූ විය.

පංති අරගලය යනු පාලක පංතියේ සංකේතීය නියෝජනය මගහරින  යථක් ලෙස ද හදුනා ගත හැකිය. මෙහිදී පාලක පංතිය තමන් සාර්වත්‍රිකයේ නියෝජනය ලෙස ගෙනහැර දක්වයි. පාලක පන්තියේ නීත්‍යානුකුලභාවය සදහා සමාජය පසමිතුරුතා රහිත සම්පුර්ණ ස්වයං ආවෘත යමක් ලෙස පරිකල්පනය කරයි. නමුත් පාලක දෘෂ්ඨිවාදයේ පුර්ණ සාර්වත්‍රිකභාවයට ව්‍යතිරේඛයක් ලෙස පංති අරගලය නියෝජනය වේ. සාර්වත්‍රිකයේ සහ එහි ව්‍යතිරේඛයේ ස්ථාන පුරවා දමන සුවිශේෂ අන්තර්ගත ලෙස ප්‍රතිවිරෝධයන් ඉදිරිපත් වේ.

20 වන සියවසේ පංති අරගලය විස්ථාපනය වූ ආකාර දෙකක් ස්ලෙවෝ ජිජැක් පහදයි. එකක් ස්ටැලින්වාදයයි. ස්ටැලින්වාදය මගින් නිර්ව්‍යාජ විප්ලවය පිළිබද විපරීතභාවයක් පිළිබිබූ කරන විට නාසිවාදය මගින් පංති අරගලය යුදෙවුවා දක්වා විතැන් කළ ව්‍යාජ විප්ලවයක් පිළිබිබූ කරයි. වාර්ගික අර්බුදය දේශපාලන අරගලයක් ලෙස අර්ථ දැක්වූ විට සමාජ ව්‍යුහයේ එන්ද්‍රියව පවතින පංති පසමිතුරුතාවය වෙනුවට සමාජ සුසංවාදය බිදදමන ආගන්තුක කඩා දමන්නෙක් නිර්මාණය වෙයි. පංති අරගලය සහ දෘෂ්ටිවාදය අතර සම්බන්ධය මෙහිදී වැදගත් වේ. මෙහිදී දෘෂ්ඨිවාදය වෙනත් දියාරු පිලිබිබුවක් දක්වා විස්ථාපනය කරයි. SAITM සහ මහනුවර සිදුවීම් ඊට ආසන්නතම නිදසුන්ය. එවැනි විරෝධතාකරුවන් අගවන්නේ තමන් ජනතාව වෙනුවෙන් ආමන්ත්‍රණය කරන බවය. නමුත් එමගින් අවසානයේ තහවුරු වන්නේ පාලක පන්තියේ අභිලාෂයන්ය.

එවැනි විරෝධතා තුල පවතින්නේ දැනුම හා විශ්වාශය අතර දෘෂ්ඨිවාදාත්මක ගොඩනැංවීමකි. එමගින් වර්තමාන මාධ්‍ය ක්‍රියාකාරිත්වයේ ස්වරුපයද පැහැදිලි වේ. නිදසුනකට මාධ්‍ය මගින් ඉදිරිපත් කරන SAITM අරගලය නමැති මුහුණත් අගය අප පිළිගන්නේ වුවද , SAITM අරගලය නමැති මුනුනත් අගය මගින් පංති පසමිතුරුතාවය විස්ථාපනය කර ඇති බව හදුනාගන්නේ වුවද SAITM අරගලය යන සංකල්පය මාධ්‍ය මගින් දෘෂ්ඨිවාදීව ප්‍රතිනිෂ්පාදනය වේ. අනන්‍යතා දේශපාලනය මගින් සාර්වත්‍රිකයේ නොපැමිණීම ප්‍රකාශ වන අතරම සැබෑ නිදහස සහ සමානාත්මතාවය පිළිබද විශාල ඉල්ලුමක් සහිත රික්තයක් පවතින බව පෙන්වා දෙයි. SAITM විරෝධතා වැනි අධික්‍රියාකාරීත්ව මගින් එම රික්තය පුරවා දැමිය නොහැක.

එවැනි අනන්‍යතා දේශපාලනය යනු උගුලක් වන්නේ එමගින් ලබා දෙන තාවකාලික ජයග්‍රහණ අතිමුලික වෙනස (fundamental change ) සිදුකල හැකියැයි ඉගිය ලබා දෙන අතරම සුවිශේෂයන්ට ඒ මත රදා පැවතීමට ඇති අවස්ථා මගින් සාර්වත්‍රිකය සාර්ථකව ලුහුබැද යා හැකිය යන විශ්වාසය ලබා දෙන නිසාය. නමුත් සුවිශේෂයන් දෙසට වන සෑම ක්‍රියාවක්ම යථ සමග අති මුලික ලෙස අභිමුඛ වීමෙන් ඉවතට යෑමකි. එමගින් ධනවාදය සහ ධනවාදයේ රාමුව පසුබිමට යද්දී සැබෑ දේශපාලන ගැටළුවක් ලෙස SAITM හෝ මුස්ලිම් විරෝධතා පෙරබිමෙහි මාධ්‍ය ප්‍රේක්ශාවක් බවට පත්වේ.

එවිට මාධ්‍ය ප්‍රේක්ෂාවක් ලෙස SAITM විරෝධතා වලදී ප්‍රහාර වලට ලක් වීම (විනෝදය ) අධ්‍යාපනයේ සමාන අවස්ථා ලබා ගැනීම තහවුරු කිරීමක් ලෙස පෙනේ. නමුත් ඒ තුල අර්ථයක් සහිත රැඩිකල් සමානාත්මතාවයක් නොපවතියි. එමගින් පුද්ගලයා හා සාමුහික පැවැත්ම පිළිබද තත්වයන් වෙනස් නොවේ. එය මාධ්‍ය තුල ගොදුරුමභාවයට හසු වූ දේශපාලනයකි. එමෙන්ම  එය තමන්ට තමන්ට සමාජ අවකාශයේ ස්ථානයක් පවතින බවට තමන්ම කරගන්නා තහවුරු කිරීමක් පමණි. එය සාර්වත්‍රික දේශපාලනයක් නොවී සළුපිලි දවටා ගත් හුදු සුවිශේෂ මත පදනම් වූ ව්‍යාජ දේශපාලනයකි. නමුත් දේශපාලනය යනු සමාජය, එය පාලනය කරන්නේ කවුද, හා එය මේ ආකාරයට පවතින්නේ කෙසේද යන්න අති මුලිකවම ප්‍රශ්න කිරීමකි.

 මාධ්‍ය අවකාශය අධිනිශ්චය වූ විට දේශපාලනයට සිදුවන්නේ කුමක්ද?ලිප්ටන් වටරවුමේ ආදී විවිධ උද්ගෝෂණ මගින් ලබා දෙන විරෝධතා සංඥාව තොරතුරක් ලෙස සංසරණය (circulation of content ) වීමක් පමණක් මෙහිදී සිදුවේ. එම ප්‍රචාරාත්මක දේශපාලනයට රජය හෝ අදාළ ආයතන හෝ පොලිසිය ප්‍රතිචාර දක්වයි. එම ප්‍රචාරයන්ට නැවත විරෝධතාකරුවෝ (ජ. වී.පෙ පෙරටුගාමී සමාජවාදී පක්ෂය , රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආදීන් ) ප්‍රතිචාර දක්වති. ඒ අනුව සම්ප්‍රදායික සන්නිවේදන ක්‍රියාවලියේදී සිදුවන පරිදි පණිවිඩය කිසිවෙකුට ලැබෙන්නේ නැති අතර එය අනෙකාට දක්වන ප්‍රතිචාර රැසක් ලෙස මාධ්‍ය තුල සංසරණය වේ. එමගින් දේශපාලනය අන්තර්ගතයන් සංසරණය (circulation of content ) හා නිලධාරීන්ගේ ක්‍රියා (activities of officials ) පමණක් බවට පත් වේ.

එය සන්නිවේදන ධනවාදය තුල දේශපාලන විලාසයක් ලෙස ද අපට නම් කල හැක. මාධ්‍ය තුල සංසරණය වන එවැනි අනන්ත වූ අන්තර්ගත මගින් දේශපාලනයට අත්‍යවශ්‍ය පසමිතුරුතාවය වසා දමයි. එමෙන්ම මාධ්‍ය තුලින් පිළිබිබූ වන බහුවිධතාවය නමැති ප්‍රජාත්‍රන්තවදී ලක්ෂණය මගින්ම ප්‍රජාත්‍රන්තවාදය පිළිබද සංවාදය බිද දමන අතරම දේශපාලන අරගලයද අත්හිටුවයි. අප අමතක නොකළ යුත්තේ මාධ්‍ය දේශපාලන විසදුම් ලබා දෙන පද්ධතියක් නොව හුදු වෙළදපොල තර්කනය මත පමණක් ක්‍රියා කරන බවයි. කැමරාවට පෙනෙන්නට බැටන් ප්‍රහාර වලට ලක් වුවද , කදුළු ගෑස් ප්‍රහාර වලට ලක් වුවද සැබෑ දේශපාලන ප්‍රතිඵල නොලැබෙන්නේ එබැවිනි.

කැමරාව ඉදිරියේ ප්‍රහාරයට ලක්වීම දේශපාලනයක් ලෙස හුවා දැක්වීමට පොලබවන ෆැන්ටසීන් හදුනා ගැනීම මෙහිදී වැදගත්ය. පළමුවැන්න නම් බහුල බව පිළිබද ෆැන්ටසියයි. එනම්, බොහෝ පිරිසක් අතරට ප්‍රවේශ විය හැකි බවට වන විශ්වාසයයි. වාමාංශිකයන්  ගිජු ලෙස සමාජ මාධ්‍ය වලට ඇලෙන්නේද මෙම ෆැන්ටසිය නිසාය.

නමුත් 80 දශකයේ සිදුවීමකින් සන්නස්ගල ජනප්‍රිය වූ ආකාරයට වත්මන් සමාජ අවකාශය තුල එවැනි ක්‍රියා මගින් ජනප්‍රියවාදී බවක් තව දුරටත් ගොඩ නොනැගේ. දේශපාලන පණිවුඩය සංසරණය වන දෙයක් පමණක් වන බැවින් ඒවායේ පවතින ප්‍රයෝජ්‍ය වටිනාකම වෙනුවට හුවමාරු වටිනාකම පමණක් අධිනිශ්චය වේ. එවිට පණිවුඩයේ අන්තර්ගතය කුමක්ද ? එම දේශපාලන පණිවුඩය ලබා දෙන්නේ කවුද ? එය ලැබෙන්නේ කාටද ?වැනි සම්ප්‍රදායික සන්නිවේදන න්‍යායට අදාළ කරුණු වැදගත් නොවේ. එහිදී සිදුවන එකම දෙය පණිවුඩය අර්ථයක් රහිතව සංසරණය වීම පමණි. වර්තමාන මාධ්‍ය පාරිභෝගිකයා ඉල්ලා සිටින්නේ කම්පනය (shock), ප්‍රේක්ශාව සහ නම්‍යශීලී බව පමණි. පණිවුඩ වල හුවමාරු වටිනාකම අධිනිශ්චය වී ඇති නිසා පණිවුඩය තේරුම් ගැනීම අදාළ නොවන අතර පණිවුඩය පුනුරුච්චාරණය , ප්‍රතිනිෂ්පාදනය හා තැනින් තැනට සංසරණය වීම පමණක් සිදුවේ.

දෙවන ෆැන්ටසිය වන්නේ සහභාගීත්වය පිළිබද ෆැන්ටසියයි. එමගින් තමන්  ක්‍රියාකාරී හා දේශපාලනිකව සංවේදී යැයි හැගවුම් කරයි. නමුත් මෙය අන්තර් අක්‍රිය විෂයේ ලක්ෂණයකි. මෙහිදී මුලික වන්නේ අර්චනයයි. අප වටහා ගත යුත්තේ මෙහිදී ක්‍රියාකාරී වන්නේ විරෝධතාකරුවන් නොව මාධ්‍ය බවය. එවිට ගැටලුව, ගැටළුවක් බවට පත් කරන්නේ දේශපාලන ක්‍රියාකාරිකයින් නොව මාධ්‍යයි. මාධ්‍ය මගින් ප්‍රස්තුතය දේශපාලන සන්නාමයක් (brand ) බවට පත් කර එක් මතයකට එරෙහි තවත් මතයක් මතු කරමින් අලෙවි කරයි. එනම් මාධ්‍ය මගින්ම දේශපාලන අනෙකෙකු නිෂ්පාදනය කරයි. මෙහිදී අනන්‍යතා දේශපාලනය මුලික වී ඇති බැවින් නිරායාසයෙන්ම අනෙකෙකුගේ භූමිකාවට ඉඩක් නිර්මාණය වේ. දේශපාලකයා වෙනුවට මාධ්‍ය ක්‍රියාකාරී වීම නිසා සැබවින්ම යමක් සිදුවීම වලක්වයි. එබැවින් වර්තමානයේ පැවැත්වෙන විරෝධතා ව්‍යාජ වන්නේ නිර්දේශපාලනික මිනිසුන් එම දේශපාලනික විරෝධතා නොසලකා හැරීම හෝ මිනිසුන් උද්ගෝෂණ වලට සක්‍රීයව සහභාගී නොවීම නොව මාධ්‍ය මගින් විරෝධතාකරුවන්ට පෙන්වා දෙන “ අපි යමක් සිදු කරමින් සිටින්නෙමු” යන විශ්වාසයයි. විරෝධතාකරුවන් අධික්‍රියාකාරී කරවන්නේ එම විශ්වාසයයි. මධ්‍යයේ මෙම ක්‍රියාකාරීත්වය නිසා දේශපාලඥයාට වඩා චතුර, රංග ආදී බහුභුතයන් වඩා දේශපාලනික යැයි හැගවෙ. ඒ අතර වෙබ් අඩවි සහ බ්ලොග් ආරම්භ කිරීම , පුවත්පත් හා සගරා ආදිය මුද්‍රණය කිරීම වඩා දේශපාලනික යැයි විශ්වාශයක් ගොඩනැගේ. එම තත්වය මගින් දේශපාලනය නම් අසීරු කාර්යය වඩා පහසු කාර්යයක් බවට විස්ථාපනය කරයි. ඒ අනුව අද දේශපාලනය යනු විවිධ පුද්ගලයන්ගේ අර්ථකතන බවට පත්ව ඇති අතර එමගින් සැබෑ අරගලය , ගැටුම ආදිය ද්විතියික වී ඇත.

දේශපාලන අධික්‍රියාකාරිත්වය සදහා බලපාන තෙවන ෆැන්ටසිය නම් සමස්ථය පිළිබද ගොඩනගන ෆැන්ටසියයි. එමගින් විවිධ අරමුණු සහිත පුද්ගලයන් තනි ඉලක්කයක් කරා මෙහෙයවිය හැකි බවට විශ්වාසයක් ගොඩනැගේ. නිදසුනකට SAITM අරබුදයෙදී වාමාංශිකයන්, සිවිල් ක්‍රියාධරයන්, වෛද්‍යවරුන්, ශිෂ්‍යන්, ආචාර්යවරුන්, විපරීතයන්, ආදී සියලු දෙනා එකම වේදිකාවක දැකිය හැකි වුයේ එබැවිනි. නමුත් අප වටහා ගත යුත්තේ එම ගොනුවීම තුල නිශ්චිත අර්ථයක් නොපවතින බවත් අර්ථයක් ඇති බව ඒත්තු ගැන්වීමක් සිදුවන බවත්ය. එකිනෙකාට පටහැනි විවිධ කණ්ඩායම් වල එකමුතුව ශුන්‍ය මට්ටමේ (zero level ) එකමුතුවක් (සමස්ථයක් ) ලෙස අද වන විට පැහැදිලි වී තිබේ. මෙම සාර්වත්‍රිකය පරිකල්පනය හා මාධ්‍ය මගින් සාක්ෂාත් කරවූ එකකි. එය තුල පවතින්නේ දේශපාලනය නොව එකගතාවයන් පමණි. මෙම සම්මුතිවාදය නමැති ෆැන්ටසිය මගින්ද පංති පසමිතුරුතාවය වෙනුවට ගොඩනැගෙන්නේ රාක්ෂ ස්වරුපය ගත් අනෙකෙකි. නිදසුනකට SAITM අර්බුදයේදී එම අනෙකා විටෙක ජනාධිපතිවරයා වන විට තවත් විටෙක අගමැති වරයා , නෙවිල් ප්‍රනාන්දු, රාජිත සේනාරත්න, වෛද්‍ය සභාව ආදී ලෙස වරින් වර විවධ ස්වරූප ගනියි. මේ සියලු ෆැන්ටසීන් මගින් උත්තේජනය ලබා දෙන අධික්‍රියාකාරීත්වය දේශපාලනය නමැති “ වෙනස සිදුකිරීමේ ක්‍රියාව” ඉතා අසීරු කරන අතරම දේශපාලනය කිසිදාටත් වඩා අද ඉතාම අත්‍යවශ්‍ය බව පෙන්වා දෙයි.

Anushka Ariyarathne

 

ඔබේ අදහස කියන්න...