[dropcap color=”red”]නි[/dropcap]ර්මාල් රංජිත් දේවසිරි තම Face Book පිටුවෙහි අපූරු ලිපියක් පල කර තිබුණි. ලිපිය ඔහුට නිර්ණාමිකව එවන ලද්දකි. ලිපියේ අන්තර්ගතය වන්නේ නිර්මාල් ගේ ජීවිතයයි. කෙනෙකුට ඔහුගේ මුහුණු පොතේ පිටුවට ගොස් එය කියවිය හැක. අපගේ ගැටළුව වන්නේ එය එවූ තැනැත්තා හෝ ලිපියේ අන්තර්ගතය නොවේ.

තමන් ගැන අතිශය අශ්ලීල ආකාරයෙන් ලියන ලද ලිපිය විශේෂ හේතුවක් නැතිව නිර්මාල් පල කරන්නේ ඇයි? ගැටළුව වන්නේ ලිපියේ අඩංගු කරුණු සත්‍යද අසත්‍යද යන්න නොවේ.

මීට අවුරුදු 30කට පමණ පෙර ලංකාවේ මිනිසෙක් තමන්ට එරෙහිව එවන නිර්ණාමික මඩ ලිපියක් තමන්ම ප්‍රකාශයට පත් කරන්නේ නැත. නමුත් අද වන විට එය සාමාන්‍ය කරුණකි. මෙමගින් නිරූපණය වන්නේ කුමන සමාජ යථාර්ථයක් ද?

බාහිර ලෝකයේ පවතින නීති-රීති මිනිසුන් අභ්‍යන්තරීකරණය කර ගැනීම නිසා මිනිසුන් තමන්ටම වාරණයක් පනවා ගනියි.මෙම ස්වයං-වාරණයට අපට අහම එහෙමත් නැත්තම් egoව කියා කියන්නෙමු. සමාජ සම්බන්ධතා ලෝකයේ දී අපට කළ නොහැකි දේවල් අපගේ විඥාණය තුළ අවරෝධනය වන අතර පසුව ඒවා අපගේ අවිඥාණක සිත බවට පරිවර්තනය වෙයි. එබැවින් මීට වසර 30 කට පමණ පෙර ලංකාවේ ජීවත් වූ මිනිසුන් අතර අවරෝධනය සහ අහම අතර ගැටුමක් පැවතියේය. එවකට මිනිසුන්ගේ ආත්මය පැවතියේ අවිඥාණය () සහ අහම අතරය. එකළ ජීවත් වූ  මිනිසුන් තමන්ගේ අවිඥාණක අශ්ලීල ජීවිතය සමාජය නම් අවකාශයට රැගෙන ආවේ නැත. සරල ලෙස කිවහොත් එය ඔවුන්ගේ නිදන කාමරයෙන් හෝ හෝටල් කාමරයෙන් මෙපිටට ආවේ නැත. එසේ වුයේ සමාජය නම් දෙයක් ( මහා-අනෙකා) පවතියි යැයි ඔවුන් විශ්වාස කළ නිසාය. එම වැරදි විශ්වාසය නිසා සමාජ අවකාශයට අශ්ලීලත්වය සහ ප්‍රචන්ඩත්වය කඩා වැදුනේ නැත.

නමුත් දැන් එම යුගය අහවර වී ඇත. කිසිවක් විධිමත්ව තහනම් නොකරන සමාජයක දී වාරණය යන්න උණ්ඩුක පුච්චයක් බවට පත් වෙයි. දැන් එය ඇත්තේ දෘෂ්‍යමානය නඩත්තු කිරීමටය. මේ හේතුව නිසා අපගේ විඥාණයේ කොටසක් වන අහම විසින් අපගේ අවිඥාණක ආශාවන් එළියට ඒමට විරුද්ධව දමන වාරණයන් ඉවත් කරයි. අහම බිද වැටුණ මිනිසා යනු මනෝවිද්‍යාවක් රහිත මිනිසෙකි. කෙනෙකුට මනෝවිද්‍යාව අහිමි වූ විට ඒ කෙනාගේ අවිඥාණය සමාජීයකරණය වෙයි. වෙනදා සිදු වූයේ අවිඥාණක ආශාවන් යටපත් කොට ඒවා සමාජ පරමාර්ථයන් ( ක්‍රීඩකයෙක් වීම, කලාකරුවෙක් වීම, බුද්ධිමතෙක් වීම…) ලෙස උත්කර්ශණය වීමයි.

ප්‍රාග්ධනයට දේශීයව තිබූ බාධාවන් ඉවත් විමේ ක්‍රියාවලිය ලංකාවේ ආරම්භ වූයේ 78 ව්‍යවස්ථාවට පසුවය. එමගින් ශ්‍රමයට එතෙක් තිබූ සංවිධිත ආයතන බල රටාවන් විනාශ කරන ලද අතර ප්‍රාග්ධනයට තිබූ සියළුම බාධාවන් ඉවත් කරන ලදි. මෙහි අතුරු ඵලය වූයේ තහංචි විරහිත සමාජයක් බිහි වීමයි.

මනුෂ්‍යයකුගේ අහම ඔහුට අහිමි වූ පසු ඒ කෙනාගේ අවිඥාණය බිද විසිරී වාෂ්ප වී අවසාන වෙනව. එවිට තමයි අපගේ විඥාණයේ විමර්ශක අඩවිය වන සුපිරි අහම වැඩ පටන් ගන්නේ. මෙම අවධි ලක්ෂයට පසු මිනිසාට අවිඥාණයක් නැති අතර ආධිපත්‍යෙය් රූකඩයක් බවට අදාල පුද්ගලයා පත් වෙයි. ඉන්පසු ආධිපත්‍යෙයන් අපව පාලනය කරන්නේ නැති අතර ඒවා අපව අශ්ලීල විනෝදය කරා යොමු කරවයි.

නිර්මාල්ට එවන ලද ලිපිය අප සලකා බැලිය යුත්තේ අපිට එවන ලද මඩ පත්තරයක් ලෙස නොව අපට විනෝද වන්නට දෙන ලද නියෝගයක් ලෙසිනි. අහමක් අපට දැන් නැති නිසා ලැජ්ජාවක් නැති අතර පුද්ගලික මඩ පත්තරයක් පවා විනෝද විය හැකි ආකාරයකි. මෙම මඩ පත්තරය වටා මිනිසුන් සාමුහික වන්නේ ඉහත සන්දර්භය නිසාය. අවශ්‍ය නම් අපට මෙය මෙලෙස සාරාංශ ගත කළ හැක. අපගේ අවිඥාණය යනු බාහිරින් නියෝගයක් ලෙස එන අක්ෂර මාලාවයි.

 

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. ඇයි ඔබලා නිතරම නිර්මාල් දෙස බලාගෙන ඔහු කරන හැමදේම බලාගෙන ඉන්නෙ? මට පේන්නෙ ඔහුට නෙමෙයි ගැටලුව තියෙන්නෙ ඔබට…එය ඔහුගේ පුද්ගලික අවකාශය..ඒ තුල ඔහු අවශ්‍ය දෙයක් කරාවි. අනෙක නිර්මාල් කියන්නෙ මහ ලොකු සමාජිය බලපෑමක් කල හැකි චරිතයකුත් නෙමෙයි. ඔබලාට තියෙන්නෙ කුහකත්වය සහ ඉරිසියාව. ඕවට තව සිංහල වචන ඔයාල කියාවි. ඒත් මේකෙ ලිපි දහයක් ගියොත් තුන හතරක්ම නිර්මාල් ගැන..ඇත්තටම අද අපේ රටේ දේශපාලනික වටපිටාව ගත්තම ඉන්න ලොකුම සතුරා නිර්මාල්ද? එහෙම නැත්තං නිර්මාල් හෝ එවැනි ඇල්වතුර වැනි මිනිස්සුන්ද? නැහැ නෙව.. නිර්මාල්ට වඩා කොයි තරං අංකූරො ඉන්නවද. නමුත් දීප්තිට වඩා නිර්මාල ජනප්‍රිය වෙන එක දීප්තිට කාල ඉන්න බැහැ..කොයි තරං ප්‍රංශ දාර්ශනික මත යල්පැනගිය ජර්මන් පොත් පත් කියෙව්වත් දීප්තිලාට තාම වල්ගෙ ගලවගන්න බැහැ.. ඕක ලාංකික වමේ වයාපාරවල මිනිස්සුන්ට තියෙන උපංගෙයි දෝෂයක්.. මේ කමෙන්ට් එකත් මොඩෙරේට් කරලා ඔයාලගේ ලබ්බේ මාධ්‍ය සදාචාරය පෙන්වන්න හොදේ… ස්තුතියි..

    • නිර්මාල් කියන්නෙ සමාජබලවේගයක් නෙවි. අපි ඒක දන්නවා.එයා මැදිහත් කරගෙන අපි කරන්නෙ වෙන වැඩක් .

Comments are closed.