[dropcap color=”green”]ම[/dropcap]හපාරේ තැන් තැන් වලත්,අසංවිධිතව විවිධ පවුල් කුලක ආශ්‍රිතවත් පැවති රොහාන්ගේ දේශපාලන කතිකා අනු (මෙම සංවාදයේ ආරම්භක විභවයන් පැවතියේ සමාජ විද්‍යාඥයින්ගේ සංගමයේ එවකට නායකයා වූ නවිටන් ගුණසිංහ මැදිකරගෙනය ) අපට පුළුල් මහජන අවකාශයක් වෙතට රැගෙන යාමට හැකි වූයේ මංගල සමරවීර මහතා 1996 දී අපට ලබාදුන් විවෘත සහයෝගය තුළය.(එවකට අප සමග සිටි අයගෙන් මංගල සමග එකතු වනවාට විරුද්ධ වූයේ ධම්ම දිසානායක පමණි.) ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වූ රුවන් ෆර්ඩිනන්ඩ්ස් නම් ඉතාම අප්‍රකට, අවසාන කරකවන්නා නැත්තම්, මාතොට සගරාවත් X දේශපාලනයත් ජනප්‍රිය නොවීමට ඉඩ තිබුනි. ඉතා සරලව සහ කෙටියෙන් ප්‍රකාශ කළහොත් අපව සමාජගත කරවන්නට උදව් කළේ ලංකාවේ ඓතිහාසික වම නොව ලිබරල් දක්ෂිණාංශිකයන් ය. ලංකාවේ වාමාංශිකයන් බහුතරයක් අත්‍යන්ත වශයෙන් කුහක මෝඩ පිරිමින් ය. මේ අයගේ නිවෙස් වල වෙනත් අයගේ නිවෙස් වල තියෙන සරළ උපකරණයක් නැත. එය නම් තල දර්පණයයි. යථාර්ථය විග්‍රහ කරන මේ අයට හැමවිටම මගහැරී යන්නේ තමන් ද මේ විග්‍රහ කරන යථාර්ථය තුළම සිටින බවයි.

2004 වසරේ සිදු වූ නින්දාසහගත සිදු වීමට පසුත් අපට උදව් කළේ මංගල සහ රුවන්ය. ඒ මව්බිම සගරාව හරහාය. ලංකාවේ අනාගතයේ දී සිදුවීමට නියමිත භයානක දේවල් ගැන ඒ අයව අප ඒ මොහොතේම දැනුවත් කළ අතර ඔවුන් එයට දැඩ් අවධානයක් යොමු කළේ නැත. අර්නෙස්ටෝ චේගෙවාරා අද වීරයෙක් කරවන ටිල්වින් සිල්වා සහෝදරයාගේ භාවිතාවට අනුව චේ ලංකාවේ ඉපදී අරගල කළේ නම් (ඔහුත් ජාතික විමුක්ති අරගලකරුවකු මිස සෘජුවම මාක්ස්වාදියෙකු නොවන නිසා) ඔහුව නම් කරනු ඇත්තේද ත්‍රස්තවාදියා යන ලේබලයෙනි. ලංකාවේදී විප්ලවාදී දේශපාලනයට කියන තවත් නමක් වන්නේ ත්‍රස්තවාදයයි.ත්‍රස්තවාදය නම් පැල්ලම නැතිව ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගෙන නැති බව බොහෝ දෙනා නොදනියි. රනිල් වික්‍රමසිංහට ප්‍රජාතන්ත්‍රවාදියෙක් වීමට බටලන්ද වධකාගාරයක් පවත්වාගෙන යන්න විය. ප්‍රජාතන්ත්‍රවාදී ඔම්ලට් එක හදන්න මිනිස්සු මරන්න වෙනව කියන එක කවුරුත් දන්න කටුක ඇත්තක්.

රාවය පුවත්පතේ නවරැල්ල තමන් යැයි සිතා සිටින සුදර්ශණ සමරවීර වැනි ඉතිහාසය නොදන්නා බබා පාට් පත්තරකාරයෙකුට අනුව හිංසනය සහ ප්‍රජාතන්ත්‍රවාදය අතර දයලෙක්තික ගැටුම ඇත්තේ දේශපාලන පක්ෂ තුළ පමණි. ඔහු තම පුවත් පතෙහි උරුමයවත් නොදනියි. එය ඔහුගේ ගුරුවරුන් කියා දී නැත. අප දන්නා තරමින් අද පවතින රාවය යනු අතීතයේ දී රොහාන් පෙරේරාව, නිහාල් පීරිස්ව, නන්නද වීරරත්නව, තිලක් කෝදාගොඩව,කුමාර චාපාව, උවිදු කුරුකුලසූරියව එළවා දමා අයිවන්ට කැමති අයව පමණක් රදවා ගත් රාවයකි. ඒ අයව එළවන විට වික්ටර් අයිවන් විසින් නිහාල් පීරිස්ට කන්න බොන්නවත් පුළුවන් වේ දැයි සොයා බැලුවේ නැත. අයිවන් කළේ ගිරිය පුප්පා, යටිගිරියෙන් කෑ ගසා මෙසේ කීමයි. “ ඔයා යන්න නම් හදන්නේ මතක තියා ගන්න ඔයාගේ සාක්කුවේ තියෙන ID එක අපේ කියල.”

අප කියන්නේ අයිවන් ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ කෙනෙක් කියා නොවේ. ප්‍රජාතන්ත්‍රවාදය ඔහුත් බේරා ගත්තේ ප්‍රජාතන්ත්‍ර විරෝධය හරහා බවයි. අද රාවය පුවත් පතෙහි සිටින ‘ටොම් ඇන්ඩ් ජෙරී’පත්තරකාරයන්ට අනුව ‘හිංසනය’ (Violent) යනු දේශපාලනයට ගාවා ගත යුතු නැති භයානක බෙහෙතකි. නමුත් දේශපාලනය කියන ප්‍රපංචය බිහි වන්නේම හිංසනය මුල් කර ගෙනය. හිංසනයට විරුද්ධව බබා කතා කියන සජිත් ප්‍රේමදාස ගේ තාත්තා ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය යළි පිහිටුවීමට ඝාතනය කළ ජන සංඛ්‍යාව 60,000කට ආසන්නය. මේ දේවල් සියළු දෙනාට අමතක වී ප්‍රජාතන්ත්‍රවාදය සුරලොවට අයිති කරවන්නේ මෝඩ වමිමුන් සහ ධනවාදය ස්වභාවික කරගත් ලිබරල් චින්තකයන් ය. ධනවාදී ආර්ථිකය යනුම හිංසනයක් බව රාවය උක්කුං බබාලා දන්නේ නැත. රාවය ට ලක්ෂ 100 ක් එකතු කළ අය එම මුදල් සොයා ගත්තේ එළදෙනුන් ගෙන් කිරි දෙවීමෙන් ද? නැත. දහස් ගණනක් මිනිස් ජීවිත විගලිත කිරීමෙනි. අද දවසේ එ.ජා.ප ය සහ එහි කලින් මිතුරුව සිටි දැන් සතුරු වී ඇති ව්‍යාපාරිකයන් විසින් කරන ව්‍යාපාර මොනවාද කියා සොයා බැලුවහොත්  එවිට රාවයේ බබාලාට සදහටම නින්ද නොයනු ඇත.

90 දශකය යනු නව ලිබරල්වාදයේ වඩාත්ම උත්තර්ශවත් දශකයයි. මිනිසුන් සමාජ ජීවිතයෙන් ඉවත් වී පවුලට ආපසු ගමන් කර පුංචි පුංචි ආශාවන් ඉෂ්ට කරගන්නේ මේ දශකයේදීය. ධනාත්මක චින්තනය වර්ධනය වී ලිංගික විප්ලවය මගින් දේශපාලන විප්ලවය ආදේශ වුයේ ද මෙම දශකයේය. දේශපාලනයේ අණුව රාජ්‍යය නොව පුද්ගලයා බව යළි යළි සහතික කරන න්‍යායන් රජවූයේ ද මෙම දශකයේය. Regain Sri Lanka අදහස් අධිනිශ්චය වී පක්ෂයක් යනු සමාගමක් යන ව්‍යාපාරික අදහස එක්සත් ජාතික පක්ෂයට ඇතුල් වූයේ ද මෙම දශකයේ ය. ඉන්පසු පක්ෂයට එතෙක් පිටතින් ආධාර දෙමින් පමණක් සෑහීමකට පත් වූ මහරාජා වැනි ව්‍යාපරිකයන් තමන්ගේ ව්‍යාපාරික සහ පුද්ගලික ආශාවන් ඉටු කර ගැනීමේ වැඩබිමක් ලෙස එ.ජා.ප ය සලකන්නට පටන් ගත්තේය. එතැනින් නොනැවතුණු මහරාජා පක්ෂයේ මාධය රැස්වීම්,සංවාද, ප්‍රතිපත්ති වලට ඇගිලි ගහන්නට පටන් ගත්නේ රනිල් වික්‍රමසිංහ ගේ ආශිර්වාදය සහිතවය. ඉන්පසු මහරාජා තම මුදල් වලින් පාර්ලිමේන්තුවට මහජන මන්ත්‍රීවරුන් යැවීමට ද පටන් ගත්තේය. එය එළිපිටම සිදු වූ අතර කිසිවකු එයට විරුද්ධ වූයේ ද නැත.

දෙදහ දශකයේ ආරම්භයේදීම ඇමරිකාවේ ලෝක වෙළෙද මධ්‍යස්ථානයට රැඩිකල් ඉස්ලාම්වාදීන් පහර දුන් වහාම නව ලිබරල්වාදයේ පුද්ගල නිදහසේ ස්වර්ණමය අවධිය අවසන් විය. බුෂ්ගේ ප්‍රති-ත්‍රස්තවාදී ධර්මය ප්‍රාග්ධනයේ අලුත් භාෂාව විය. එහි රාජ්‍යය වුයේ ජාතික ආරක්ෂක ප්‍රතිපත්තියයි. මෙම අලුත් සුලභ සටන ලංකාවේ දෙමළ අරගලය ද ත්‍රස්තවාදයට ඌණනය වූ අතර මෙම අලුත් භාෂාව ඉතාම උපයෝගීතා ආකාරයකින් පාව්ච්චි කළ මහින්ද රාජපක්ෂ පසුව ජනාධිපති වී රාජ්‍යයේ දේශපාලනය ජාතිවාදය බවට පත් කළේය. එහි අතුරු ඵලයක් ලෙස විපක්ෂයේ එතෙක් පැවති නව ලිබරල්වාදී ආර්ථික මොඩලය සහමුලින්ම අභාවයට ගිය අතර මහරාජාගේ ඔලුවද තත්ත්වය විසින් වෙනස් කරන ලදි. කුණු වී ගගක පාවෙන හරක් ඔලුවක් ඇතුලේ ආදන්නට යහපත් පරිසරයක් බිහිවන පරිදි කිසිවකු කලින් නොදත් අරුම පුදුම භාෂාවකින් කතා කරන මිනිසුන් ප්‍රමාණයක් එ.ජා.ප ය තුළ බිහිවිය. මේ සත්වයන්ව ඇතුළට ගත් රනිල්ටම මෙම සතුන්ගේ මනෝභාවයක් වටහා ගැනීමට නොහැකිවීම ඓතිහාසික සරදමකි. මෙම අරුම පුදුම සතුන්ගේ පදනම නිර්මාණය කළ මංගල සමරවීරට ම තමන්ගේ නිර්මාණය යළි හුමු වූයේ ‘පොන්නයා’,’ නපුංසකයා ‘ ආකෘතියෙනි. 2004 වර්ෂයේ දී ආර්ථික වශයෙන් සහ මතවාදීව අපට බොහෝ උපකාර කළ ශිරාල් ලක්තිලක මහතා ද මෙම අවසානාවන්ත මංසන්ධියේ දී අපට හමු වී ඇත. මංගලත්,ශිරාලුත් එක්තරා කාලයක සිටියේ ජාතිවාදයට විරුද්ධ පැත්තේය.දෛවය විසින් ඔවුන් දෙදෙනාව ජාතිවාදීන් කරවා ඇත. එපමණක් නොව ඔවුන් දෙදෙනා විරුද්ධවාදීන් කරවා ඇත. එපමණක් නොව ඔවුන් දෙදෙනා විරුද්ධවාදීන් වී ඇත්තේ ද දෙයාකාරයකටය. ඒක් අයෙක් රනිල්වාදීය. අනෙකා විකල්ප නායකත්වයක් සොයයි. පසු ධනවාදී සමාජයකදී  සිදුවන මෙම අනන්‍යතා සංගීත පුටු තරගය පුදුමයට කාරණාවක් නොවේ. ධම්ම දිසානායක ඔහුගේ දේශපාලන සතුරාගෙන් පළි ගත්තේ බැසිල් රාජපක්ෂ එනවිට තම සතුරාව නැගිට්ටවන්නට සැලැස්වීමෙනි. වෙද මහත්වරුන් බටහිර වෛද්‍යවරුන් වන යුගයක, විශ්ව විද්‍යාල ගුරුවරුන් පරියේක්ෂණ පසෙකළා සැබෑ මිනිසෙකු තම විශ්ව විද්‍යාල තාප්පයෙන් එළියේ සොයන යුගයක, ජාතිවාදීන් ගේ හඩ මිනිස් කටහඩ වූ යුගයක මේ සිදුවන ක්‍රියාවලිය ගැන පුදුම විය යුතු නැත. 90 දශකයේ දී අපත් අතුළුව අපම වගා කරගත් දේවල් අපටම කපා ගන්නට සිදු වී ඇත.

කණගාටුවට කාරණය වන්නේ අපට උදව් කළ මංගලටත්,ශිරාල්ටත්, මේ මොහොතේ දී අපට කරන්නට කිසිවක් ඉතිරිව නොතිබීමයි. මේ යුගයේ දී රජ කරන්නේ හොල්මන් සහ අවතාර පමණි.

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. ලංකාවේ වාමාංශිකයන් බහුතරයක් අත්‍යන්ත වශයෙන් කුහක මෝඩ පිරිමින් ය Lol!

Comments are closed.