මේ රහස් කවුළුවෙන් එබෙන්න – කෞශල්‍ය කුමාරසිංහ

කෞශල්‍ය කුමාරසිංහ තම ප්‍රථම නවකතාව ලියයි. ඔහු එය නම් කරන්නේ මේ රහස් කවුළුවෙන් එබෙන්න යනුවෙනි. නවකතාවේ තේමාව නැරඹුම් කාමයයි (scopic drive). මේ නිසා නැවත කියවීමකදී එහි නම අපට නැවත ගොඩ නැඟීමට අවකාශ සලසයි. එබැවින් මෙහි දේශපාලනික අර්ථ දැක්වීම අනෙකාගේ ආශාව රහසේ නරඹන්න ලෙස මම කියවමි. අප එයට න්‍යායිකව කියන්නේ දැක්ම (gaze) යනුවෙනි.

මෙම නවකත‍ාවේ ප්‍රබල ආධ්‍යානිත උපක්‍රමය නම් ලේඛකයා කැමරාවක් බවට රූපාන්තරණය වී සමාජය තුළ චලනය වන බවක් කියවන්නියට වැටහීමය. කැමරා ඇසක් දකින ආකාරයට ඔහු දේවල් විස්තර කරයි. එවිට අප දකින්නේ එම ‍ෙද්වල්වල දෘශ්‍යමානයයි.

කැමරාව යනු සමකාලීන සමාජය තුළ දේශපාලනික හැඟවුම් කාරකයක් නිසා, (political Signifier) අපට කිසි දෙයක් රහසේ කළ නොහැක. අප කරන හැම දේම දෙස කව්රු හෝ රහසින් බලා සිටී. දැන් අද්‍යතන මිනිසාට පුද්ගලික ජීවිතයක් නැති තරම්ය. කැමරාව හැම තැනකදීම අ‍පගේ පුද්ගලික ජීවිතය ආක්‍රමණය කරයි. කෙටියෙන් කිවහොත් අපට රහසේ වැසිකිළියටවත් යා නොහැක. එහි කොහෝ හෝ මුල්ලක සිට කැමරා ඇසක් අප දෙස බලා සිටිනවා විය හැක.

අප මෙහිදී නැගිය යුතු ප්‍රශ්නය නම් ඔවුන් මේ නරඹන්නේ කුමක් ද? යන්නය. ඔවුන්ගේ ආශාව වූ කලී කවුරුන් හෝ රහසේ කරන දේ නරඹා විනෝද වීමය. එනම් ඔවුන් ගවේෂණය කරන්නේ අනෙකාගේ ආශාවය. එවිට ඔවුනට තමන්ගේ ආශාව මුන ගැසෙයි. මෙම නවකතාව තිර රචනයක ආඛ්‍යානික ශෛලියකින් කැමරා ඇසක චලනයකින් යුතුව එහි සියලු චරිත ඡායා යටින් ගවේෂණය කරන්නේ ‍එම ආශාවයි. අප දැක්ම (gaze) යනුවෙන් නම් කරන්නේ එයයි.

මෙහිදී වැදගත් වන්නේ ඇස (eye) සහ දැක්ම (gaze) අතර සම්බන්ධය කුමක් ද? යන්නය. ඇස හැම විටම සංකේතිකය. එනම් අප යමක් දෙස හෙළන මුල් බැල්ම සංකේතිත බවය. එහෙත් ඒ සංකේතිකයට යටින් පරිකල්පනික දැක්මක් වේ. අප gaze යනුවෙන් න්‍යාය ගත කරන්නේ එයයි. එම දැක්ම හැම විටම ලිංගික වන අතර ඒ තරමින්ම විපරිත වේ.

මෙම නවකතාව ආරම්භ වන්නේ තිවංක නමැති චරිතය තම නිවසට ඇතුළු වද්දී තම බිරිඳ වෙනත් පුරුෂයකු සමඟ යහන්ගතව සිටිනු දැකීමෙනි. ඔහු එම දර්ශනය තම ජංගම දුරකථනයෙන් වීඩියෝ කරයි. ඉන්පසුව ඔහු කරන්නේ තම බිරිඳගේ සොර සැමියාගේ බිරිඳ සමඟ උපක්‍රමශීලි ලෙස මිතුරුවී ඇය සමඟ රමණය කරන ආකාරය ඇයට රහසින් වීඩියෝ කිරීමය. මෙම වීඩියෝ පට පිළිවෙළින් ඔහු තම බිරිඳටත් ඇගේ සැමියාටත් යවයි. දර්ශන කාමියා (exibitionist) හැම විටම තමා ඔහු නරඹමින් සිටින බව අනෙකාට දැනෙන්නට සලස්වයි. ඔහුගේ දර්ශන කාමය සම්පූර්ණ වන්නේ එයිනි. මෙම කතාව අවසන් වන්නේ ඔවුන් සිව් දෙනාම එකම යහනක රමණය කරනු ඇතැයි බලාපොරොත්තුවක් කියවන්නිය තුළ ජනිත කරමිනි.

මේ සිදුවෙමින් තිබෙන දේ වටහා ගැනීමට න්‍යායික ප්‍රවේශයක් අපට අවශ්‍යය. කැමරාව මෙහිලා ක්‍රියා කරන්නේ මිනිස් ඇසක් මෙනි. ඇස යනු හුදු සංජානනීය අවයවයකි. එය යමක් අවබෝධ කර ගැනීමට උපකාර වන අවයවයක් නොවේ. එය වූ කලී සතුටේ අවයවයකි. ඇස සහ දැක්ම (gaze) අතර අයලෙක්තික සබඳතාවක් ඇත. ඇස සම්බන්ධ වන්නේ සංකේතික පැවැත්මට වන අතර දැක්ම ලුහු බඳින්නේ නෙසිස්මික (ආත්මරාගී) වූ ෆැන්ටසියයි. හැම වස්තුවක් තුළම පරිකල්පනීය ෆැන්ටසිය සහ සංකේතිකයේ ඉල්ලීම නැත්තම් අනෙකාගේ ආශාව අතර ගැටුම අන්තර්ගතය.

කෞශල්‍ය ගේ නවකතාව කියවීමට ප්‍රවේශයක් ලෙස මම යට කී න්‍යායික පිළිවිසීම පැහැදිලි කිරීමට උදාහරණයක් සපයමි. එය වූ කලී අධි යථාර්ථවාදී සිතුවමකි. එම සිතුවම ඇඳ තිබුණේ ප්‍රංශ අධි යථාර්ථවාදී චිත්‍ර ශිල්පියකු වූ රෙනෙ මැග්‍රිට් (Rene Maggritte.) විසිනි. එය ඔහු නම් කර තිබුනේ The Rape යනුවෙනි. මෙම අධි යථාර්ථමය සිතුවම තුළ පූර්ව කොන්දේසියක් ලෙස විෂයී බව නැත්නම් ස්වකීය බව (subjectivity) තුළම අනෙකාමය බව (otherness) මිශ්‍ර වී ඇත.

මෙම සිතුවම තුළ මුල් බැල්මට අප දකින්නේ ස්ත්‍රියකගේ විසිරුණ කේශ කලාපයක් සහිත මුහුණකි. මදක් ඒ දෙස බලා සිටින විට ඇස් දෙක වෙනුවට එහි තිබෙන්නේ තන පුඩු දෙකක් බව අපට පෙනී යයි. නහය වූ කලී පෙකනියකි. කට ස්ත්‍රියකගේ කෙසරු සහිත යෝනියක් බව අපට පෙනී යයි. ඇත්ත. මුහුණක් යනුම ලිංගිකත්වය උතුරා යන මුහුණක් තමයි. මුහුණ කෙනෙකු තුළ ලිංගික හැඟීම් දනවන මුත් එය යටපත් කරන ලෙස සංස්කෘතිය අණ කරයි. මේ නිසා මුහුණේ ලිංගිකත්වය අප හසුකර ගන්නේ දැක්ම (gaze) නම් වූ තියුණු ක්‍රියාවලිය තුළ පමණකි.

රෙනෙ මැග්‍රිට් ගේ මෙම සිතුවම දැක්ම පැහැදිලි කරනා රූපික අවස්ථාවකි. එහි ආශාව සේම අනෙකාගේ ආශාව විසින් එම ආශාව ආක්‍රමණය කිරීම ද අඩංගු කර ගනී. ස්ත්‍රී දූෂණය යනු එයයි. සංස්කෘතිය විසින් රාමු ගත කරන ලද මුහුණ සපුරාම ලිංගික වූ දෙයක් බවට පත්වෙයි. මෙම පින්තූරය තුළ සිදුවන්නේ සිත්තරාගේ සංකේතික ඇස නරඹන්නාගේ නාසිස්මිත වූ (ආත්ම රාගී) දැක්මට බාධා කිරීමය. එවිට ඔහු චිත්‍රයේ දැක්වෙන ඇස් තන පුඩු ලෙස දකී. නරඹන්නිය එහිදී ලුබ්ධිමය බවේ (libidinal) සර්ව ව්‍යාප්තිය වටහා ගනී. දැක්ම විපරිත වන්නේ එයින් ය.

කෞශල්‍ය මෙම නවකතාව ලියමින් කරන්නේ ද නරඹන්නාගේ ආත්ම රාගී දර්ශනයට බාධා කිරීමය. එවිට කියවන්නිය සංස්කෘතිය විසින් රාමු ගත කළ සදාචාරවත් සමාජය වෙනුවට අශ්ලීල ලෝකයක් පිළිබඳ තොරතුරු කියවයි. මේ නවකතාවේ වටිනාකම තීරණය කරන්නේ නවකතාකරුවාගේ එකීන්‍යායික ප්‍රවේශ අනුවය. ඒ අතින් කෞශල්‍ය තවදුරටත් නවකතාවට නවකයකු නොවේ. ඔහු වූ කලී ගැඹුරු සමාජ කියවන්නෙකි.

සමන් වික්‍රමාරච්චි

ඔබේ අදහස කියන්න...