ශ්‍රී ලංකාවේ වම යළිත් අලුතින් නිර්වචනය විය යුතුය. එවැන්නක් ඉබේටම සිදු නොවේ. ඒ සදහා සටන් කරන මිනිසුන් වර්ග දෙකක් අරගලය තුළම මිය යනු ඇත.
     (1). මින් එක් වර්ගයක් අරගලයේ පැරණි වැඩ ශෛලියෙන් මුසපත්ව, තමන්ට ඇත්තේ සීතල යුද්ධ යථාර්තයක් යැයි   සිතා අරගලකරුවන් සාරාත්මකව නිපදවීම සදහා ජීවිතය කැප කරනු ඇත. මෙම තත්ත්වය තනි පුද්ගලයකුට ඌනනය කළ නොහැකි අතර එය පරාසයකි. එය අශෝකගෙන් පටන් ගෙන පුබුදු හරහා කුමාර් දක්වා දිගු විය හැකිය. කුමාර්ගේ විවේචකයන් පවා වැටෙන්නේ ඔහුගේම කුළකයටය.
    (2). දෙවැනි වර්ගය වඩා භයානක සහ බාහිරට හාස්‍යය ජනිත කරමින්, ‘ වාස්තවිකත්වය ‘ යනුම දෘෂ්ටිවාදයක් බව පෙන්නුම් කරන්නන්ය. කැලුම් අමරසිංහ පහත වීඩියෝව හරහා පෙන්නුම් කරන්නේ වාස්තවිකත්වය වෙනුවට සත්තාව වෙනස් කළ යුතු බවයි. U.N.P. ය වෙනස් කිරීම ද වමේ යථාර්තයට අවශෝෂණය විය යුතු බවට අදහසක් ඔහු යෝජනා කරයි. ‘‘ ජිජැක් ‘‘ කැලුම් හිතන ආකාරයට මාක්ස්වාදය අතහැර නැති බව ඔහු නොදනිතත් කැලුම් විදිහට හිතන අය ද අපට අද අවශ්‍යය.  එවැනි අයට අනාගතයේ දී සිදුවන දෙය අපගේ පර්යේෂණ කටයුතු සදහා වඩාත් වැදගත් දේවල් උගන්වනු ඇත.
කැලුම් මතු කරන ඉතා වැදගත් අදහස වන්නේ පශ්චාත් – සීතල යුද්ධ සමයක සහ අනන්‍යතා දේශපාලනය රජයන සමාජයක වාමාංශික ක්‍රියාකාරීන් සහ බුද්ධිමතුන් බිහිකරන්නේ කෙසේද යන ප්‍රායෝගික ගැටලුවයි. අපගේ පුද්ගලික අදහස වන්නේ අනාගත වාම ව්‍යාපාරයට වඩාත් වැදගත් පාඩම් ඉගෙන ගැනීමට ඇත්තේ ඉහත දෙවැනි කාණ්ඩයෙන් බවයි. පළමු කාණ්ඩයට වඩා ඉක්මනින් දෙවැනි කාණ්ඩය වද වී යනු ඇත. කැලුම්ලාගෙන් සහ සුමිත්ලාගෙන් අපට ඉතා වැදගත් පාඩම් ඉගෙනගත හැක. ඔවුන්ගේ මරණ පරීක්ෂණ වාර්තා  නිසැක ලෙස සත්තාව වෙනස් කිරීම පිළිබද ගැටලුවට අපව යොමු කරනු ඇත.
සිතීමට, ඉන් බාහිර සත්තාව සම්පූර්ණයෙන් අවශෝෂණය කරගත හැකිය යන ප්‍රවාදය තවමත් නිවැරදි බව සිතන්නේ ඉහත පළමු වර්ගයයි. ඒ නයින්ම ඔවුන් ක්‍රියාවේ දී වඩාත්ම විඥාණවාදී ප්‍රවර්ගයයි. එබැවින්ම ඔවුන්ට ‘ දෘෂ්ටිවාදය ‘ ගැන ඇති සංවේදනය වඩාත් පැතලිය. අනෙක් අතට දෙවැනි ප්‍රවර්ගය මිනිසුන් සිතන තැනේදී නොව ක්‍රියා කරන තැනේ දී සමාජ – ක්‍රමයට අනුරාගිකව බැදෙන බව බුද්ධිමය වශයෙන් ඥාණනය කරයි. එපරිදිම ඔවුන් ‘ දෘෂ්ටිවාදය ‘ පන්ති විග්‍රහයට වඩා ස්වායත්ත බව සංවේදනය කරයි.
කෙසේ වෙතත් ඉහත ප්‍රවර්ග දෙකටම අයිති මිනිසුන් ජීවිතය පරදුවට තබා මේ මොහොතේ ක්‍රියා කරමින් සිටියි. ඔවුන්ව සිහිපත් කිරීමට අපට යම් සංගීතයක් අවශ්‍යය. ඒ සදහා ඉතාම කදිම උදාහරණය අපට සපයා ගත හැක්කේ ඇලන් පාර්ක් විසින් නිර්මාණය කරන ලද Midnight Express චිත්‍රපටයේ තේමා සංගීතයෙනි. එම කථාවට පදනම් වන්නේ ‘ බිලී හේස් ‘ නම් ඇමරිකානු තරුණයෙක් තුර්කියේ දී මත්ද්‍රව්‍ය ප්‍රවාහණය කිරීමට ගොස් අත්අඩංගුවට පත්වීමයි. තුර්කියේ දී නඩු විභාගයට මුහුණ දෙන ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් ලැබෙන අතර ඔහුගේ සිරගෙදර ජීවිතය ඉතා කර්කෂ වෙයි. 
සිරගෙදරදී බිලී මුහුණ දෙන තුර්කි යථාර්තය විසින් ඔහුව සපුරා වෙනස් මිනිසකු කරවයි. සැබවින්ම ඔහු එක්තරා මොහොතකට පසු උමතු වෙයි. වසර 5 කට පසු සිරගෙදරට පැමිණෙන ඔහුගේ පෙම්වතිය වන ‘ සූසන් ‘ ඔහු ඉදිරියේ පෙනී සිටීම නිසා ඔහුගේ උමතුව හොද අතට හැරී ඔහු යළිත් අවදි වෙයි. ස්ත්‍රියකගේ සිරුර දැකීම (වසර 5 කට පසු) නිසා පිබිදෙන ‘බිලී‘ ඉන්පසු සිරගෙදරින් නිදහස්වීමේ මාවතට එළබෙයි. ඉහත අප සාකච්ඡා කළ මිනිසුන් ප්‍රවර්ග දෙකම යථාර්තයෙන් අතුරුදහන් වීමට තව වැඩිකල් නොයනු ඇත. ජියෝජියෝ මෝර්ඩෝර් විසින් මෙම චිත්‍රපටය සදහා තේමා සංගීතය නිර්මාණය කර ඇත. යම් දිනෙක ඔබටත් නැවත මතක් වීම සදහා මෙම සංගීත ඛන්ඩය පහත අසන්නට සළස්වා ඇත. බිලී හේස්ලා අතීත මාක්ස්වාදීන් බවට කිසිදු සැකයක් නැත. නමුත් අනාගතයත් ඔවුන් සතු ද ? පිළිතුර විවෘතය. 
තුර්කිය යනු සීතල යුද සමයේ ඇමරිකාව විසින් ප්‍රතිවාමාංශික අදහස් තහවුරු කළ රටකි. එහි ජනයාට ‘සංස්කෘතිය‘ මූලධර්මයකි.  
Chase – Giorgio Mordor

ඔබේ අදහස කියන්න...