ලාංකික මාක්ස්වාදී-ලෙනින්වාදී අධ්‍යාත්මය පෝෂණය කළ රුසියානු සාහිත්‍ය කෘති දෙකක් වේ. ඉන් එකක් මක්සිම් ගෝර්කිගේ ‘අම්මා’ වන අතර අනෙක් කෘතිය වනාහී චින්ගීස් ආයිත්මාතව් නම් කිර්ගීසියානු ලේඛකයා විසින් රචිත සුප‍්‍රසිද්ධ ‘ගුරු ගීතය’ (1962) නම් කෙටි නවකතාවයි. ලාංකික විප්ලවවාදී දේශපාලනයේ නියැළුණ බොහෝ දෙනෙක් මෙම නවකතාව කියවා තිබූ අතර ඒ බොහෝ දෙනකුට දුයිෂෙන්ගේ චරිතය තම විප්ලවීය ක‍්‍රියාව තුළ රඟදැක්වීමට ද අවශ්‍ය වූවේ එම කතාව තුළින් ඉස්මතු වන ගැඹුරු අධ්‍යාත්මික මානයේ තිබූ සටන්කාමී බව මෙන්ම අනේකත්වයට මිනිස් විෂය සම්මුඛ වීමේ දී ඉස්මතු වූ ආත්මරාගය වෙනුවට පරිත්‍යාගය ඉස්මතු වන කොමියුනිස්ට් හැඟීම විකසිත වීම කරණකොටගෙනය. විදීමට සිදු වූ සියලූ දුක්ගැහැට දුයිෂෙන් අන්තර්කරණය කරගන්නේ තම ශිෂ්‍යාව හට නව ලෝකයක් උදාකර දීම පිණිසය. වෘකයන්ගෙන් හෙවත් ග‍්‍රාමීය එකතැන පල්වීමෙන් මුදවා ගැනීම පිණිසය. අල්තිනායිගේ නො-අවසන් චිත‍්‍රය විසින් කියාපාන්නේ සංකේතනයට නැඟිය නොහැකි තරම් ප‍්‍රබල ඇයගේ ගැඹුරු ආදරය නොවේද?

දෙදාහ දශකයේ X දේශපාලනයට ආශක්ත වූ ‘විප්ලවවාදීන්ද’ ගුරු ගීතය කියවා තිබුණාට සැක නැත. ඔවුන්ද දුයිෂෙන් මෙන් වීමට ආශා කළ බවට ද සැක නැත. ”අපේ අනාගතය ගැන ඔහු දුටු සිහින නිසාත්, අපි හැම දෙනෙක්ම ඔහුට ආදරය කළෙමු” යන වැකිය ඔවුන් සියල්ලෝම කියවා තිබුණි. ලෙනින්ගේ සිහිනය කිර්ගීසියානු අයිලය තුළ යථාර්ථයක් බවට පත් කළේ දුයිෂෙන්ය. එතරම් අකුරු නොදත් මෙම  මිනිසා කළ මහත්ම විප්ලවීය ක‍්‍රියාව නම් පැන්සල අල්ලාගන්නා සැටි කියා දීමයි. එසේ නැතිව මහා ව්‍යාකරණ ඉගැන්වීම නොවේ. ”ඔහු හෝඩිය කියා දුන් හැටි අල්තිනායි උගත්තේ පාරිශුද්ධ බවේ සංකේතයන් ලෙසය”

(ගුරු ගීතය, පිටුව 46).

දුයිෂෙන්ට මිනිසුන් අගෞරව කරන විට ඈ හිතෙන් කෑ ගසයි. ”(අපේ ගුරුවරයාට නින්දා කරන්න එපා! නුඹලා මෝඩ අශිලාචාර මිනිස්සු!” (48)

නූතනත්වයේ – මානව ප‍්‍රගතිශීලී බවේ හැඟවුම තුළ සාර්වත‍්‍රික ලෙස තැන්පත් වූවේ එසේය.

”යන්තම් උගත් ඒ තරුණයා වචනයෙන් වචනය අකුරු ගළපා උච්චාරණය කරමින්” කළ ඒ ශ්‍රේෂ්ඨ ක‍්‍රියාව තුළ තිබූ දුෂ්කර බව X දේශපාලනය කළ අය තේරුම් ගත්තේ නැත.

‘විප්ලවය’ යන්න ලිවීමට ඔහුට අවුරුද්දක් ගත විය. නමුත් අල්තිනායිට එම ‘යන්තම් උගත්’ කරුණු හිරු මෙන් ඇත්ත විය.

(පිටුව 45).

අල්තිනායි යනුවෙන් යමෙක් බිහි වන්නේ දුයිෂෙන්ව ප‍්‍රශ්න කර ඔහුව පාගා දැමීම තුළ නොවේ. ඇය ඒ වන විට මදන මෝදක ගුලි අනුභව කර තිබුණේ නැත. දුයිෂෙන් අතික‍්‍රමණය කරනු වෙනුවට ඇය කළේ ඔහු කියා දුන් ‘යන්තම් කරුණු’ වෙත වඩ වඩාත් භක්තිමත් වීමය. විශ්වාස කිරීමය. ඔහු එනතුරු ස්ටෙප්ස් තණ බිම දෙස බලා සිටීමය. ඔහු ඇය තුළ ස්ථාපිත කළ ස්වාමි හැඟවුම වූ ‘අර ඉන්නේ ලෙනින්’ යන්න වෙත වඩ වඩාත් භක්තිවන්ත වීමය. අපේ යුගයේ ‘ගුරු ගීතය’ අපි නැවත ලියන්නෙමු.

 A Comment….

දීප්ති මේ පාර අයවැය ගැන කියන කරුණ හරි. මොකද කවුරුත් පොඩි බබාල වගේ හැසිරෙන්න ඕනි නැහැ රාජ්‍ය ප්‍රතිපත්ති වගේ කරුණු එක්ක. ඔය ගැන වී. එස්. නයිපෝල් (V.S. Naipaul) කියන පශ්චාත් යටත්විජිත ලේඛකයා එයාගේ Among the Believers (1981) කියන පොතේ මෙහෙම කියනවා. පශ්චාත් යටත්විජිත සන්දර්භයක් ඇතුලේ දෘෂ්ටිමය රාජ්‍යයක් (ideological state) හදන්න ගත්ත පළමු උත්සාහය තමයි පකිස්ථානය කියන්නේ. එයට මුල්ගල තිබ්බේ ශ්‍රීමත් මොහොමඩ් ඉක්බාල් කියන කවියා. ඉක්බාල් කියන්නේ පාකිස්තානේ අධ්‍යාත්මික නායකයා. ඔහුගේ සිහිනය වුනේ පිරිසිදු පකිස්තානයක් හදන එක (මත්පැන් නැති, සිගරට් නැති, රාත්‍රී සමාජ ශාලා නැති). ඔහුට ඕනි උනා ඉස්ලාමය ආගමක් වනවාට අමතරව රාජ්‍ය පාලන ක්‍රමවේදයක් (polity) කරන්න. නමුත් 1947 පකිස්ථානය බිහිවුනාට පස්සේ එහි ආගම ඉස්ලාම් වුනාට එම ඉස්ලාම් දෘෂ්ටිවාදය ආයතනගත කරන්න (institutionalize) පුළුවන් උනේ නැහැ පකිස්ථාන පාලකයන්ට. ඒ කියන්නේ සුදු ස්වාමියා පෙරදිග ලෝකයේ පරිපාලනය ආයතන ගත කරන්නේ ලොකු වෑයමක් දරල. ඒකට එයාලට පරිපාලන න්‍යායන් තිබුණ. රෙගුලාසි හදල තිබුණ. නීති රීති හදල තිබුණ. ලෞකික බව ගැන න්‍යායන් තිබුණ. ආගම ගැනත් න්‍යායන් තිබුණ. නමුත් එහෙම මුකුත් කුරාණයේ කියල තිබුණේ නැති නිසා නව පකිස්ථානයට මාලිමාවක් තිබුණේ නැහැ ඉස්ලාමය පරිපාලනය ඇතුලේ නීතිගත කරන්න. ආයතනගත කරන්න. ඒ නිසා පකිස්තානෙට සිදු වුණේ ලෝකයේ අසමත්ම රාජ්‍යයක් (failed state) බවට අවුරුදු පනහක ඇවෑමෙන් පත්වෙන එක. අපේ රටේ කාලකන්ණි අතීතකාමීන් ට වුවමනා වෙලා තියෙන්නෙත් අපිව පකිස්තානෙ වගේ කරන්න. අන්තවාදය මෙහෙටත් ගෙනල්ල මෙහෙට තවත් විනේ කටින්න. නිදහසෙන් පසු දැන්වත් කලයුතු ඉතාම වැදගත් දෙය තමයි ස්වාමියා අපට කළේ මොකක්ද කියල තේරුම් ගන්න එක, ඔවුන් අතික්‍රමණය කරන්න කලින්. මොකද නැත්නම් අපිට වෙන්නේ තවත් පස්සට යන්න. පශ්චාත් යටත් විජිතවාදය ඉතාම හොදින් අපේ රටේ අය අධ්‍යනය කරන්න ඕනි. නැත්නම් ඉතුරු අවුරුදු පනහටත් කෙල වෙනවා සිකුරුයි.

ඔබේ අදහස කියන්න...