මොහොතකට මෙහෙම සිතන්න. යථාර්ථය කියන්නේ කාසියක් (Coin) කියලා සිතන්න! එසේ නම්, යථාර්ථයට පැති දෙකක් තිබේ. එනම්, යථාර්ථය කියන අදහස මතුපිටින් නොපෙනුනාට ඊට කතන්දර නැතහොත්, ප්‍රබන්ධ දෙකක් තිබේ. එක් පැත්තක, ‘සංකේතීය ප්‍රබන්ධයක්’ (Symbolic Fiction) තිබේ. අනෙක් පැත්තෙන්, අවතාරයක් ලෙස සකස් වූ (Spectral Apparition) ප්‍රබන්ධයක් තිබේ.

          මේ මෑතකදී තම අලුතින් ගොඩ නගන ලද ලක්ෂ 300ක පමණ නිවසේ පිහිණුම් තටාකයක මියගොස් පාවෙමින් සිටින ලද රෙදිපිළි ව්‍යාපාරයක හිමිකරුවාගේ අභිරහස් ඝාතනය පිළිබඳ සමාජ-මාධ්‍ය කතිකාවන් දෙකක් ඇත.

 

1. මියගොස් සිටි ව්‍යාපාරිකයා ධාර්මික පුද්ගලයෙකි. ඔහු ප්‍රසිද්ධ අසපු පන්සලක ප්‍රධාන දායකයෙකි. සවසට භාවනා කරන, කිසිවෙකුට කොටින්ම කූඹියෙකුට පවා කරදරයක් නොකරන අවිවාහක පිරිමියෙකි.[symbolic fiction]

 

    ඉහත කතිකාවට පරස්පර සැඟවිය යුතු, එහෙත් සැඟවීමට උත්සාහ කරන සැමවිටම බෝලයක් මෙන් මතුපිටට ඉපිලනය වන අශ්ලීල කතාවක් ද ඇත. මෙම කතාව වාර්තා කරන විට දී චතුර අල්විස්ගේ මුහුණ පවා වික්ෂිප්ත වෙයි. 

  දෙවැනි කතන්දරය ඉතාම ව්‍යාකූල ය. එය, ඉක්මනින් වළලා දැමිය යුතු අශ්ලීල-කෲර සාරයකි.

 

2. මියගොස් සිටින ව්‍යාපාරිකයා සමලිංගිකයෙකි. ඔහු අන්තර්ජාලය හරහා හමු වූ ලිංගික ශ්‍රමිකයෙකුගෙන් සේවා ලබාගෙන ඇත. සේවාවට අදාළව ලිංගික ශ්‍රමිකයා විසින් ඉල්ලන ලද මිල නොගෙවීම නිසා ප්‍රකෝප වූ තරුණයා ව්‍යාපාරිකයාගේ හිසට මාරාන්තික පොලු පාරවල් දෙකක් එල්ල කරන ලද අතර සිහිසුන් වූ පසු ඔහුගේ පිහිනුම් තටාකයට ඇද දමා ඇත. ලිංගික ශ්‍රමිකයා මුස්ලිම් ජාතිකයෙකි. ඊට අමතරව, ඔහු විවාහකයෙකි.[Fantasy 2 ]

 Knife In The Water.

  කාසි නිපදවන සමාගමක් මෙන් ලංකාවේ ජනමාධ්‍ය ඉහත කාසි දෙක අලවා තනි අගයක් ඇති කාසියක් නිපදවන්නේ නැත. එම නිසාම, අපට විසඳී නොයන ගැටලු ගණනාවක් ඇති වෙයි. විෂමලිංගික විවාහකයෙකු මුදල් සඳහා තම ලිංගික ශ්‍රමය විකුණයි. එය, ලංකාවේ සමලිංගිකයන්ට ප්‍රහේලිකාවකි. ප්‍රජාවක් ලෙස මුස්ලිම් ප්‍රජාවේ සංකේත ප්‍රබන්ධ සකස් වී ඇත්තේ ම සමලිංගිකත්වය පිළිකුල් කරමින් ය. විවාහයේ අනෙක් පස සිටින කාන්තාව ද මුස්ලිම් ය. ඇය මුදල් හෝ වෙනත් හේතුවක් නිසා මෙම සමලිංගික ගනුදෙනුව ඉවසා ඇත. අසපු හාමුදුරුවන්ට අනුව, තම ධාර්මික ධනපතියාට ජීවිතයේ මෙවන් ගුප්ත පැත්තක් ඇති බව වැටහෙන්නේ නැත.

  ඉහත උදාහරණය මගින් අපට තහවුරු වන්නේ, ‘යථාර්ථය’ (Reality) නම් සංකල්පය මේ දක්වා අප සිතූ පරිදි අපගෙන් ස්වායත්තව නිදැල්ලේ ස්ථිතිකව පවතින දෙයක් නොවන බව ය. මන්ද, යථාර්ථයට ෆැන්ටසි මානයක් තිබෙන නිසා ය.

        ලංකාවේ ‘යථාර්ථය’ පිළිබඳ ආතතියක් ජනිත නොවන සේ ගොඩනඟන ලද සංකල්පයේ අයිතිකරුවන් වන්නේ, ඉස්සර විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය නැතහොත්, සමකාලීනව සමානතා පක්ෂය යි. යථාර්ථය පිළිබඳ මෙම අවිච්ඡින්න සංකල්පයේ හරය වසර 40 ක් පමණ පොදුවේ පිළිගත් නිර්ණායකයක් විය. විශේෂයෙන්ම, මෙම සංකල්පයේ මුඛ්‍ය ප්‍රකාශකයන් බවට පත් වූයේ, මහාචාර්ය ගම්ලත් සහ මහාචාර්ය පියසීලි ය.

        නූතන ධනවාදයේ ගෝලීය ප්‍රසාරණය සමඟ කර්මාන්ත ප්‍රාග්ධන යුගයේ දී අධිනිශ්චය වූ ‘යථාර්ථය’ සංකල්පය පිළිබඳව ලංකාවේ බුද්ධිමතෙක් තීක්ෂණ ලෙස විමර්ශනය කොට නැත. එම නිසාම, රටේ බහුතර දෙනෙක් කිසියම් සමාජීය හෝ දේශපාලන ගැටලුවක් විග්‍රහ කිරීමේ දී මෙම යථාර්ථය පිළිබඳ න්‍යාය පරීක්ෂාවකින් තොරව පරම නිර්ණායකයක් ලෙස යොදා ගනිති. උදාහරණයක් ලෙස, අප ඉහත ඉදිරිපත් කළ ‘මිනීමැරුම’ යථාර්ථය නම් ප්‍රපංචය හරහා විග්‍රහ කිරීමට යාමේ දී තියුණු පරස්පරයන්ට මුහුණ දීමට සිදු වෙයි.

        ලංකාවේ මිනිසුන් ‘ඕනෑම මිනිසෙකුට’ අඳුරු පැත්තක් ඇතැයි යන අදහසේ එල්බගෙන සිටිති. අප මේ කියන්නට යන්නේ, එම හණමිටි අදහස ගැන නොවේ. ඊට වෙනස් ව, අප මේ කියන්නේ, මිනිසාගේ අඳුරු පැත්ත මිනිසාගේ තාර්කික පැත්තට වඩා සමකාලීන යුගය තුළ ප්‍රබුද්ධ චින්තනයට [Enlightenment] තුල්‍ය වී ඇති බවයි.

         අපගේ අලුත් ප්‍රවේශය වන්නේ, යථාර්ථය (Reality) නම් සංකල්පය තුළම ස්වයං ප්‍රතිවිරෝධයක් ඇති බවයි. ‘යථාර්ථය’ නම් සංකල්පයේ අභ්‍යන්තර ආතතිය – inner tension – විග්‍රහ කිරීමේ දී, ඒ සඳහා අප යෝජනා කරන විධික්‍රමය වන්නේ, යථාර්ථය නම් සංකල්පය පැහැදිලි කිරීමට තවත් සංකල්ප යොදා ගැනීම නොව යථාර්ථය සහ උදාහරණ අතර සැරි සැරීමයි. අපට හුරු පුරුදු ක්‍රමය වන්නේ, ‘සංකල්පයක්’ ගෙන එය වඩා තහවුරු කිරීමට උදාහරණ විශාල ගණනක් ගැනීමයි. උදාහරණ යම් තාර්කික පිළිවෙලකට සකස් කළ විට දී උදාහරණ මගින් සංකල්පයේ සංගතභාවය තහවුරු වෙයි. උදාහරණ හෝ උදාහරණයක් මගින් සංකල්පයටම අභ්‍යන්තර ‘පසමිතුරුභාවය’ හෙළිදරව් වීමක් සිදු වන්නේ නැත. එනම්, සංකල්පය එයටම අනන්‍ය (Self-identical) නැත. අප මෙවන් ආකාරයේ ස්වයං අනන්‍යතාවයක් අරබයා විවේචනය කරන්නේ නම්, මනුෂ්‍යයාගේ ආත්ම මූලිකත්වය පිළිබඳව නව න්‍යායක් වර්ධනය කළ හැකිය.

         නූතනත්වය – Modernism – සහ යථාර්ථවාදය අතර මූලික වෙනස සලකුණු කරන්නේ නැතිව අපට ඉදිරියට යාමට නොහැකි ය. යථාර්ථය හෝ යථාර්ථවාදය රජයන ලෝකයක මිනිසාගේ ආත්මමූලික නිදහස ප්‍රකාශ වීමට ඉඩක් නැත. එහිදී, පුද්ගලයා අභිබවා සමාජ යථාර්ථය අධිනිශ්චය වෙයි. කාර්මික ධනවාදය එහි ඊළඟ අදියර වන අධිරාජ්‍යවාදය වෙත ගමන් කරන විට දී ‘පුද්ගලයා’ (Individual) යන අදහස උත්පාද වෙයි. නමුත්, යථාර්ථවාදය තුළ දී පුද්ගලයාට වඩා ‘සමාජය’ යන අදහසට මුල් තැන හිමි වෙයි. උදාහරණයක් ලෙස, ඊ. එම් ෆොස්ටර්ගේ ‘A Passage To India’ හෝ වික්‍රමසිංහගේ ‘විරාගය’ තුළ දී පුද්ගලයාගේ ආත්ම භාෂණය යටපත් වී සමාජ සාරධර්ම එළිපත්තට ගමන් කරයි. මේ අර්ථයෙන්, ලංකාව තවම පවතින්නේ, යථාර්ථවාදය සහ නූතනවාදය අතරමැදි තැනක ය. පුද්ගලයා යනු, තවමත් සමාජයට වඩා පහත් යන දේශපාලනික අදහස නිසාම පුද්ගලයා තුළ බිහි වන ‘පරස්පරය’ සලකන්නේ, අත්දැකීම්වල නොමේරූභාවයක් ලෙස ය.

Body Heat.

         දැන් අපි මහාචාර්ය සුචරිත ගම්ලත් නම් යථාර්ථවාදය පිළිබඳ න්‍යායවේදියාව යථාර්ථය සහ එහි පරස්පරය නැතහොත්, පැල්මක් ලෙස විභාග කරමු.

          ජිජැක් බොහෝ විට, තම සංවාදවලදී ඉදිරියට ගෙනෙන නීල්ස් බෝර් නම් භෞතික විද්‍යාඥයාගේ උදාහරණය සලකමු. වරක්, බෝර්ගෙන් ඔහුගේ මිතුරෙකු විමසන්නේ, තම නිවෙස ඉදිරිපිට එල්ලා ඇති අශ්ව ලාඩම මගින් ගම්‍ය වන්නේ, මිථ්‍යා විශ්වාසයක් නොවේ ද යන්න ය. මෙම ප්‍රශ්නය විහිළුවක් ලෙස සලකන තම මිතුරාට ඔහු මෙවැනි පිළිතුරක් සපයයි: “ මම හොඳටම දන්නවා ඕක මිත්‍යා විශ්වාසයක් කියලා. ඒත්, මට ඕක දුන්න මිත්‍රයා මට කිව්වේ, උඹට ඔය අශ්ව ලාඩම මිත්‍යාවක් වුවත් ඉන් ඔබේ නිවසට මලගිය ප්‍රාණීන්ගෙන් වන හානිය වළක්වන බවයි. ඒ නිසා තමයි, මම ඕකට ඔහොම පවතින්න දෙන්නේ”

 

        ඉහත උදාහරණය හරහා ප්‍රකාශමාන වන්නේ, ‘විශ්වාස’ ක්‍රියාත්මක වන ආකාරය යි. කිසිදු මිනිසෙක් කිසිවක් සෘජු ලෙස විශ්වාස කරන්නේ නැත. ඒ සඳහා, අපට අප වෙනුවෙන් විශ්වාස කරන බොළඳ අනෙකෙකු අවශ්‍යය. එපමණක් නොව, විශ්වාසය නම් සංකල්පය තුළම අවිශ්වාසය ද තැන්පත්ව තිබෙන බව ඉහත උදාහරණයෙන් පැහැදිලි වෙයි. ඒ අනුව, විශ්වාසය නම් සංකල්පය (Concept of Belief) බොළඳ අනෙකෙකු හරහා විශ්වාස සමඟ අනන්‍ය වීම සහ අවිශ්වාසය සමඟ අනන්‍ය වීම යන පරස්පරයට සම්බන්ධ වෙයි.

          උදාහරණයක් ලෙස, ලංකාවේ 80 දශකයේ මාක්ස්වාදී කතිකාවට සහ යථාර්ථවාදය සහ කලාව අතර සම්බන්ධය ගොඩනඟන කතිකාවට බද්ධ වූ සිංහල කතා කරන පිරිමියෙකු ‘යථාර්ථය’ යන අදහස විශ්වාස කරන ලද්දේ, සුචරිත ගම්ලත් නම් අනෙකා හරහා යමින් ය. එම නිසා ම, යථාර්ථය පිළිබඳව කෙනෙක් විවාදයක් ගොඩනගන විට දී එම විවාදයේ ඒකමාන ස්වරූපය වටහා ගන්නේ නැත. පුද්ගලයෙකු යම්කිසි කෙනෙකුට එරෙහිව තර්ක කරන විට දී, එම තර්කයේ ආකෘතිය පිර වී යන්නේ, තම විරුද්ධවාදියාගේ අන්තර්ගතයෙන් බව අදාළ පුද්ගලයාට සංවේදනය වන්නේ නැත.

         ඉන් අදහස් වන්නේ, විවාද කරන තැනැත්තා අවසන් වශයෙන් විවාද කරන්නේ තමන්ගේ දෙයක් බවට අන්තර්ග්‍රහණය කරන ‘අනෙකාගේ අන්තර්ගතය’ සමඟ බවයි. එම නිසා, විවාදය අවසන් වන්නේ, අනෙකාට අවලාද නැගීමෙන් නොව තමා විසින් තමාටම අවලාද නැගීමෙනි. සිග්මන් ෆ්‍රොයිඩ්ගේ විශ්ලේෂිතයෙකු වන ඩෝරා ආශ්‍රය කරමින් පහදන්නේ නම්, ඩෝරා සැමවිටම පැමිණිලි කරමින් සිටියේ, තම පියාට එරෙහිව ය. නමුත්, ෆ්‍රොයිඩ් අසන මෙම ප්‍රශ්නය නිසා ඩෝරාගේ ආත්මමූලිකත්වයේ න්‍යෂ්ටිය හෙළිදරව් වෙයි. “ඔබට පුළුවන් පියා අතහැර නගරයට ගොස් නිස්කලංකව ජීවත් වෙන්න. ඇයි ඔබ එය ප්‍රමාද කරන්නේ?” මින් අදහස් වන්නේ, ඩෝරාගේ වේදනාවේ කේන්ද්‍රීය ස්වපීඩාව නැතහොත්, තමන්ටම පීඩා කරගෙන ඉන් විනෝද වීම බවයි. ඇය තම පියාව අතහැර නො යන්නේ, එමගින් ඇයට ලැබෙන පීඩාව හරහා විනෝද වීම ‘නිදහස’ ලෙසින් ඇයම අවිඥාණකව කියවන නිසා ය.

        ‘මුද්‍රිත ධනවාදය’ පසුකරමින් Facebook ධනවාදයට ඇතුල් වූ යුගයක දී පවා මිනිසුන් පැල්මක් හෝ ස්වයං ප්‍රතිවිරෝධයක් නොමැති සුසංවාදී යථාර්ථවාදයක් ගම්ලත් නම් අනෙකා හරහා විශ්වාස කරයි. මෙම පරිකල්පනය අප මෙන්ම අප නිරීක්ෂණය කරන දෙය තුළ ඇති පරිපූර්ණභාවය පිළිබඳ මායාවක් – imaginary Illusion – සපයයි. මෙම මායාව දිගටම නඩත්තු කිරීම සඳහා අප තුළ සහ අපගේ ලෝකය තුළ ඇඟිලි අතරින් රූටා යන හෝ යථාර්ථය තුළ ද ‘අප නොදකින දෙයක් ඇත’ යන සත්‍යය දැනුවත්ව අප මඟ හරිනු ලැබේ.

         උදාහරණයක් ලෙස, අනුර කුමාරගේ ‘ජාතික ජන බලවේගය’ හෝ සජිත් ප්‍රේමදාසගේ ‘සමගි ජන බලවේගය’ විසින් රටේ ආර්ථික අර්බුදයට තිරසාර විසඳුමක් ලබාදෙන බවට වූ අදහසට බොහෝ දෙනා මාරු වෙයි. කොටින්ම, මට මේ දේශපාලන ව්‍යාපාර දෙකම සන්සුන් දසුනක් පරිකල්පනය කරයි. මම ලෝකය මේ ආකාරයට දකින විට සහ පරිකල්පනීය තලයක මෙම පක්ෂ දෙක දකින විට මට අමතක වන්නේ, ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය තුළින් ඉහත ව්‍යාපාර බිහි වූ බවයි. එම නිසාම, මා ඉහත දකින දර්ශනය එක අතකින් පරිසමාප්ත ෆැන්ටසියක් වන අතර එය එතරම්ම මායාවක් ද වෙයි.

        පරිකල්පනය අප දකින දෙයෙහි පරිපූර්ණ බව සහතික කරන මායාමය රටාවක් නම්, සංකේතීය යථාර්ථය යනු, දෘෂ්‍යමය ලෝකය අනුකරණය කරන සහ නියාමනය කරන ආකෘතිය යි. අපගේ අත්දැකීම ව්‍යුහගත කරන්නේ, භාෂාව විසින් ය යන්න සපථ වන්නේ, එමගින් නිපදවන අනන්‍යතාවයට අප ඇලී සිටි නිසා ය. පියෙක්, විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක්, පෙම්වතෙක්, කලාකරුවෙක් ආදී වශයෙන් වූ සංකේතීය අනන්‍යතාවයන් මගින් මා හට මා කවුද යන්න පිළිබඳ සංවේදනයක් සපය යි. නමුත්, එම අනන්‍යතාවයන් නිමි ඇඳුමක් මෙන් මටම ගැළපෙන්නක් නොවේ. එබැවින්, මෙම සංකේත අනන්‍යතාවයන් සහ සැබෑ මම අතර යම් පරතරයක් පවතියි.[Gap] නිදසුනක් ලෙස, මහාචාර්යවරයා යන සමාජ අරුත සමඟ බාහිර මිනිසුන්ට තදාත්මික හැඟීමක් ජනනය කළ ද එය මා සම්බන්ධයෙන් පරාරෝපිත බවක් ජනනය කරයි. ලැකාන් විසින් පහදන ‘යථ’ -Real – යනු, සංකේත ලෝකයේ අසම්පූර්ණ බව හඟවන සංඥාවකි.

        පුද්ගලයෙකුගේ අනන්‍යතාවය සකස් කිරීමේ දී පරිකල්පනය අසාර්ථක වන අයුරු අපි දුටුවෙමු. උදාහරණයක් වශයෙන්, නූතන භික්ෂුව බුදු දහමේ ආරක්ෂකයන් බව ඔවුහුම ප්‍රකාශ කරයි. නමුත්, ළඟට ගොස් නැරඹූ විට දී ‘නූතන භික්ෂුව’ යනු, ධනවාදය වෙනත් ආකාරයකින් ක්‍රියාත්මක කරන පිරිසකි. එම නිසා, ඈත සිට අප භික්ෂූන් ගැන නරඹා එන නිගමනය පරිකල්පනීය එකකි. එපරිදිම, සංකේතනයට ද සීමාවක් ඇත. සංකේත වලට ලෝකය පැහැදිය හැකි දුරක් පවතින අතර එයට වඩා දුරක් යන විට අපට සැබෑව නොහොත් යථ හමු වෙයි. දෘෂ්ටිවාදය යැපෙන්නේ, මෙම යථෙහි ස්ථානයේ ය. කපුවන් ආදේශ වන්නේ, දෙවියන් නැති තැනට ය.

       බොහෝ චිත්‍රපට විශ්ලේෂකයන් තවමත් පුරුද්දට මෙන් විශ්ලේෂණය කරන්නේ, චිත්‍රපට කැමරාව විසින් අපට පෙන්වන දේවල් අරභයා ය. එනම්, දෘශ්‍ය කොටසයි. නමුත්, තදින් කල්පනා කරන විට දී අපට සිතෙන්නේ, කැමරාව අපට පෙන්වන දෙයට වඩා ‘නොපෙන්වීම්’ අවධාරණය කරන බවයි. චිත්‍රපටයේ මේ නොපෙන්වන කොටස් නිසා, එය නරඹන ප්‍රේක්ෂකයා එම හිස්තැන් පිරවීමට උත්සාහ කරයි. මේ හේතුව නිසා, චිත්‍රපටවලට ආඛ්‍යානය – narrative -යනුවෙන් යමක් හමු වෙයි. එහි දී වැදගත් වන්නේ, ප්‍රේක්ෂකයාගේ මානසික ක්‍රියාකාරීත්වය යි. අප මේ ක්‍රියාවලිය හඳුන්වන්නේ, දෘශ්‍ය කලාවන් ‘ආඛ්‍යාන කලාවන්’ – Narrative Art – බවට පරිවර්තනය කිරීමක් ලෙසිනි.

        අපි මේ පිළිබඳ උදාහරණයක් ලෙස මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ සමස්ත ජීවිතය ගනිමු. අප හොඳින් දන්නා පරිදි, ඔහු යථාර්ථවාදියෙකි. යථාර්ථවාදය නම් ඔහුම ගොඩනැගූ දුමාරය අතරින් අපට පෙනෙන දෘශ්‍යමානය – appearance – වන්නේ, මාක්ස්වාදී කලා විචාරය යි.

       2013 වර්ෂයේ දී ගම්ලත් මිය යන අතර ඔහුගේ අවමඟුල සිදු වන්නේ, කොළඹ කනත්තේ දී යථාර්ථවාදීන්ගේ තදාත්මික සහභාගිත්වයෙනි. නමුත්, යථාර්ථවාදීන් ගල් ගස්සවන සුළු සිදුවීමක් එදින අප සියලු දෙනාම දුටුවේය. ගම්ලත්ගේ අවමඟුල තුළ දී ඔහුගේ ජීවිතයේ වාදය (විවාහය) සහ විවාදය (විකල්ප විවාහය) එකට සම්මුඛ විය. සරලව කිවහොත්, ඔහුගේ විවාහක බිරිඳ සහ නිල නොවන බිරිඳ එකට හමුවීම නිසා විශාල ආතතියක් බිහි විය. හේගල් මිනිසාගේ රාත්‍රිය සඳහා කළ විග්‍රහය මෙතැනට අදාළ ය. එක තැනක, හිස සුන් මළ සිරුරකි. තවත් තැනක, නිරුවත් ස්ත්‍රියක් වියරුවෙන් නර්තනයේ යෙදේ. සුදු දුමාරය සහ ගොම්මන් කළුවර මැද සන්නස්ගල නම් වනිකයා ගැහැණුන් දෙදෙනා නම් නොගැළපෙන පලු දෙක ප්‍රතිසන්ධානගත කිරීමට එහාට මෙහාට ඉබි ගමනින් දිව යයි. [In His Bold Gaze My Ruin Is Writ Large.]

 

         චිත්‍රපටයක අයිතිකරුවෙක් නැති රාමුවක් මෙන් ඉහත රාමුව නිසා යථාර්ථවාදීන් සීසීකඩ දිව යන්නට විය. මෙම රූපයේ ‘හිස්කම’ ආතතිය විසින් මිනිස් ආත්මයට සිතන්නට පෙළඹීමක් බිහි කරයි. ගම්ලත් විසින් යථාර්ථවාදීන්ට දුන් අනන්‍යතාවය නම් වෙස්මුහුණ එදින ගැලවී ගියේය. උපමා කතාවක් ලෙස අපට මෙලෙස කීමට හැකි ය: ඇස් දෙකෙන් මෙතෙක් කල් අප දුටු ලෝකය ගම්ලත් නම් අධ්‍යක්ෂවරයා විසින් නොපෙන්වූ ලෝකයක් ළඟ නතර කර තිබේ. ඒ අනුව, ගම්ලත්ට පෙනුනු, යථාර්ථවාදීන්ට නො පෙනුන යථාර්ථයට නරඹන්නාව ආවේශ කර තිබේ. මෙතැනින් එහාට අලුත් කතාවක් නැතිව අපට ගමන් කිරීමට නොහැකි ය.

         සරලව කිවහොත්, ගම්ලත් අපට පෙන්නපු යථාර්ථයට අවිඥාණයක් තිබේ. දැන් ඔහුම එම යථාර්ථය අපට සම්මුඛ කර තිබේ. ඇත්තටම, එය අප නොදන්න දෙයක්මත් නොවේ. දැනගෙන නොදැන වගේ සිටීමකි. එනම්, මේ යුගයේ දෘෂ්ටිවාදයේ සම්භාව්‍ය පැවැත්මයි. ගම්ලත්ගේ ජීවිතයේ යථාර්ථ පැත්තට වඩා ඔහුගේ ජීවිතයේ අශ්ලීල ෆැන්ටසි පැත්තට අපි අවිඥාණකව බැඳී තිබේ. මළගෙදර උත්සවය යථාර්ථවාදීන්ට ක්ෂතිමය අත්දැකීමක් වන්නේ, ඒ නිසාය. සිනමාව වගේම යථාර්ථය කියන්නෙත් ‘පෙනෙන පැත්ත’ වෙනුවට ‘නොපෙනෙන පැත්තට’ ප්‍රේක්ෂකයා යොමු කරන පැත්තකි. මහාචාර්ය වුණත් ඒක සංකේතීය පැවැත්මක් පමණි. අපි වඩා රුචි කරන්නේ, අපේ අනෙකා “ මම හොඳ බඩු කාරයෙක්” කියලා නරඹනවාට ය. යථාර්ථය තුළ මම මාවම නො දකින්නේ, එම නිසා ය. මන්ද, එය අවිඥානික ආශාව නිසා ය. නීල්ස් බෝර් නම් භෞතික විද්‍යා මහාචාර්යවරයා මිථ්‍යාදෘෂ්ටිකයෙක් වන්නේ, කව්දෝ බොළඳ අනෙකෙකු නිසා ය. එසේ නැතිව, භෞතික විද්‍යා මහාචාර්යවරයෙක් නිසා නොවේ.

         ‘යථාර්ථවාදය’ නම් සංකල්පය මහාචාර්යවරයෙක් වහරන විට දී, එම සංකල්පය සමාජයට වඩා හොඳින් තහවුරු වෙයි. නමුත්, මළගෙදරින් එන සංඥාව අඳුරු එකකි. යථාර්ථවාදය තුළම තිබෙන අඳුරු පැල්ලම අප දුටු විට දී, ‘බහුභාර්යා සේවනය’ යන සංඥාව මතු වෙයි. එමගින්, යථාර්ථවාදය සංකල්පයේ අභ්‍යන්තරය තුළින්ම අපට පසමිතුරුභාවය – Antagonism – හමු වෙයි. එතැනින් එහාට, චලනයක් යථාර්ථවාදයට නැත. මන්ද, යථාර්ථය තුළ සැඟවුණු ‘යථ’ එයටම මුණ ගැසීම නිසා ය.

         ගම්ලත්ගේ නිල ඉතිහාස කතාව තුළ ඔහුගේ ‘විකල්ප පවුල’ හෝ ‘විකල්ප විනෝදය’ අපට හමු වීමට කිසිදු ඉඩක් නැත. එපමණක් නොව, ගම්ලත්ගේ යථාර්ථවාදය පිළිබඳ ප්‍රස්තුතයේ අතිරික්තකයක් ලෙස මිස මෙම ‘විකල්ප පවුල’ අවධාරණය වීමට නියමිත නැත. එපරිදිම, ගම්ලත්ගේ මාක්ස්වාදයේ අර්ථකතන සීමාව වන්නේ, එමගින් අනෙක් මිනිසුන්ව වෙනස් කිරීමේ විද්‍යාවක් මිස තමන්ව වෙනස් කරන විභවතාවයක් ඒ තුළ අඩංගු නොවීමයි. සද්භාවාත්මක තලයක සිට සලකා බැලූ විටදී, කොහොමද සහ ඇයි යථාර්ථය තුළ සමහර දේවල් සටහන් වන්නේ සහ සමහර දේවල් සටහන් නොවන්නේ යන්න තීරණාත්මක සාධකයකි. ඉතිහාසය ලියන කෙනෙකු ඉතිහාස ප්‍රබන්ධය නිර්මාණය කිරීමේ දී, කුමන කරුණු අහුලනවා ද, කුමන කරුණු ඉවත දමනවා ද යන්න තීරණය වන්නේ, තාර්කික බුද්ධියෙන් නොවේ. මිනිස් ඉතිහාසය නිර්මිත වන්නේ, විවිධ සංස්කෘතික නිර්මිතයන් ශ්‍රේණියක් ලෙසිනි. මෙම සංස්කෘතික ඒකාබද්ධකරණය කිරීමේ දී ඉතිහාසඥයා අවධානය යොමු කරන්නේ, ආකෘතියට මිස අන්තර්ගතයට නොවේ.

           උදාහරණයක් ලෙස, පාස්කු ඉරිදා බෝම්බ සිදුවීම සමස්තයක් ලෙස ගත්විට, ක්‍රිස්තියානි ලබ්ධිකයන්ට එරෙහි ප්‍රහාරයකි. එය, මාධ්‍ය ඇතුළත්ව සෑම තැනකම පැතිරෙන මහා ආඛ්‍යානය යි. මෙම සිදුවීම් ජාලය තුළ සිදු වූ යථාර්ථයට ඌනනය කළ නොහැකි සිදුවීමක් ඇත. එය, සිදු වූයේ දෙහිවල දී සියදිවි නසා ගන්නා බෝම්බකරුවෙකු අවන්හලක් තුළ පුපුරවා ගත් බෝම්බය නිසා ය. මෙහි ඵලයක් ලෙස, අවන්හලෙහි කාමරයක් තුළ ලිංගික සබඳතා පවත්වමින් සිටි විවාහක කොන්දොස්තරවරයෙකු සහ විවාහ ගිවිසගෙන සිටි විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් මිය ගියේය. සිදුවීමෙන් පසු, ඥාතීන් මුහුණ දුන් ගැටලුව වූයේ, මෘතදේහ නිවෙස් වලට ගෙනියනවා ද නැද්ද යන්න ය.

      අවන්හලේ කාමරයක් තුළ තරුණයෙක් සහ තරුණියක් මිය යාම අහම්බයකින් සිදු වූ දෙයකි. මන්දයත්, බෝම්බකරුවාගේ අභිප්‍රාය වූයේ, සිය දිවි නසා ගැනීම මිස වෙනත් අය ඝාතනය කිරීම නොවේ. සබුද්ධික තලයක හේතු-ඵල සම්බන්ධතා විග්‍රහ කරන විට දී, බෝම්බකරුවා මෙම මරණ දෙකෙහි වගකීම භාර ගත යුතු නැත. බෝම්බකරුගේ අභිප්‍රාය වූයේ, තමන්ගේ ජීවිතය විනාශ කිරීමයි. අහම්බයකින්, එහා කාමරයේ සිටි ජෝඩුවක් ද මිය ගොස් ඇත. මුළුමහත් පාස්කු බෝම්බ සිදුවීම පුරාම නිල හෝ නිල නොවන වාර්තාවල මෙම ජෝඩුවේ මරණ සඳහන් වන්නේ හෝ වන්දි ගෙවීමට යෝජනා වන්නේ නැත. පාස්කු ප්‍රහාරය නිසා මිය ගිය සියලු මරණ නැවත මතක් කිරීමට අදාළ ධනාත්මක මරණයන් ය. කාදිනල්ගේ සිට දේශපාලකයින් දක්වා පරාසය මෙම මරණ ගැන කතා කරයි. එපමණක් නොව, ජනමාධ්‍ය ද කතා කරයි. එසේ නම්, මෙම මරණ දෙක සිදු වූයේ, ඝාතකයාගේ අවිඥාණක පෙළඹීමක් නිසා යැයි සමපේක්ෂණය කරන්නේ නම් පාස්කු ප්‍රහාරයේ ‘සැබෑ ඉලක්කය’ වූයේ, මේ ජෝඩුව නොවේ ද?

         පාස්කු ඉරිදා ප්‍රහාරයේ ඉස්ලාම් මූලධර්මවාදීන්ගේ වියරුව යොමු වූයේ, බටහිර සංස්කෘතියට ඇබ්බැහි වූ ස්වදේශිකයන් සතු අව්‍යාජ හර පද්ධතියක් නැති වීමට එරෙහිව නොවේ. සහරාන් ඇතුළුව මුස්ලිම් මූලධර්මවාදීන්ගේ ගැටලුව වූයේ, ධනවාදී බටහිර ශිෂ්ටාචාරය අනුගමනය කරන මැද පාන්තිකයන්ගේ අවධානයට සහ පිළිගැනීමට ඔවුන් සතු වූ නො හැකියාවයි. එම නිසා, වියරුව යොමු වන්නේ, වරප්‍රසාදිත අනෙකා සතුව ඇතැයි සමපේක්ෂණය කරන විනෝදයට එරෙහිව ය. නමුත්, මූලධර්මවාදීන්ගේ ක්‍රියාව අහම්බයක් නොව අවිඥාණික ක්‍රියාවක් ලෙසින් සලකන්නේ නම්, ශුද්ධ වූ පාපකාරී ක්‍රියාවේ යෙදී සිටියේ, කාමරයේ ලිංගික සබඳතා පවත්වමින් සිටි ජෝඩුවයි.

        අධිපති සංස්කෘතියේ තර්කනයට අනුව, පාස්කු ප්‍රහාරයෙන් ඝාතනය වූ සියලු දෙනාට ධනාත්මක අනන්‍යතාවයක්- positive Identities – හිමිය. නමුත්, ධනවාදය විසින් පවා නිශේධනය කරන ඝාතනයක් හිමි වූ ජෝඩුව විඳි ‘විනෝදය’ සාධකයක් ලෙස පාස්කු වින්දිතයන් පිලිබඳ මහා ආඛ්‍යානයට අවශෝෂණය කළ නොහැකිය. ඔවුන්ව යථාර්ථයෙන් ඉවත් නොකරන්නේ නම්, ඉතිරි වින්දිතයන්ට පවා අර්ථයක් නැත. මන්ද, අප සියලු දෙනා ධනවාදයෙන් විනෝද වීම ඉදිරියේ සමානයන් වන නිසා ය. අප සියලු දෙනාම ධනවාදය සලකන්නේ, මිනිසුන් ලෙසින් නොව සෙල්ලම් බඩු කියා තහවුරු වන්නේ, ජෝඩුවේ ඝාතනය යථාර්ථයට යොමු කරනවා නම් පමණි. ඒ අර්ථයෙන් ගත් විට දී, සහරාන්ලාව නිර්මාණය කිරීම අරභයා වගවීම, වගකීම අදාළ වන්නේ කුමන ආත්මයකට ද?

         අපි දැන් අපම නිර්මාණය කරන යථාර්ථයේ ස්වයං ප්‍රතිවිරෝධය – self- excess- අරභයා රැඩිකල්ම ප්‍රකාශනය වෙතට යොමු වෙමු.

          පහත පළ වන්නේ, H නම් පුද්ගලයෙකු මගේ සමාජ කාර්යය ගැන කරන ලද ප්‍රශස්තියකි.

ඉහත පුද්ගලයා ස්ත්‍රී දුෂන චෝදනාවකට ලක්ව වැරදිකරැ වී දීර්ඝ සිර දඬූවමකට ලක් විය.

හේගල් විසින් වර නඟන සමපේක්ෂණ තර්කනයට අනුව, ‘පරමත්වය’ රස විඳීම යනු, අභ්‍යන්තර නිදහස වෙත ගමන් කිරීමයි. නූතන සන්දර්භට අනුව, බාහිර බාධාව නැතහොත්, බාහිර සතුරාට වඩා ස්වයං ප්‍රතිවිරෝධය සාධකයක් ලෙස ගැනීම දාර්ශනික ය. බාහිර බාධාව නිසා අප පසුපසට තබන අඩිය අප තබන්නේම අපගේම සීමිතකම් තුළට සහ අසංගතභාවය වෙතට ය. සරලව කිවහොත්, සතුරා පිළිබඳ ආකෘතිය ‘මම’ වන විට එම ආකෘතිය පුරවා දමන අන්තර්ගතය අයත් වන්නේ, සතුරාට ය. මා විසින් සමරන සතුරාගේ සාරය යනු, මගේම සාරය පිළිබඳ මට ඇති ගුප්ත අවබෝධය යි. ඒ අර්ථයෙන්, මට ප්‍රශස්ති වයන්නා තුළ ද ඇත්තේ මා තුළම ඇති අඳුරයි. 

Deepthi Kumara Gunarathne.

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. අර මනුස්සය සෑහෙන්න බුකියේ ප්‍රසිද්ධව හිටි කෙනෙක් නේද
    /නමුත්, මූලධර්මවාදීන්ගේ ක්‍රියාව අහම්බයක් නොව අවිඥාණික ක්‍රියාවක් ලෙසින් සලකන්නේ නම්, ශුද්ධ වූ පාපකාරී ක්‍රියාවේ යෙදී සිටියේ, කාමරයේ ලිංගික සබඳතා පවත්වමින් සිටි ජෝඩුවයි.// ප්‍රහාරය ගැන හිතුවේ නැති පැත්තක්

Comments are closed.