සංවිධානයට අලුතින් එකතු වන පිරිස් සම්බන්ධීකරණය කරන සහෝදරවරුන් විසින් අපගෙන් ඉල්ලා සිටින්නේ, මේ අලුත් අය සඳහා යම් න්‍යායික රාමුවක් සකස් කරන ලෙසයි. එවන් න්‍යායික රාමුවක් සකස් කළ විට, බාහිරින් එන පුද්ගලයන්ට වැඩ කිරීමට පහසු ය. පැරණි යුගයේ දී, (විශේෂයෙන් 90 දශකය මැද) අපගේ සංවිධානයට ඇතුල් වන කෙනෙකුගේ කිසිදු ජාතකයක් අප සෙව්වේ නැත. අද අප ජීවත් වන්නේ, ඉතාම සංකීර්ණ සමාජ සබඳතා ජාලයක් තුළ ය. මේ තත්වයට මුහුණ දීම සඳහා සංවිධානයට ඇතුල් වීමට ආශා කරන අය වෙනුවෙන් යම් ප්‍රභේදගත කිරීමක් අප විසින් කර ඇත. උදා- හිතවතෙක් ලෙස වැඩ කිරීමට කැමති අය, උදව් කිරීමට සහ සම්පත් දායකත්වයක් දීමට කැමති අය, න්‍යාය පමණක් ඉගෙන ගැනීමට කැමති අය, තමන් දැනටමත් කරන අධ්‍යනයන්ට උදව් අවශ්‍ය අය, පූර්ණකාලීනව වැඩ කිරීමට කැමති අය, තමන්ගේ පවුල් ප්‍රශ්න විසඳා ගැනීමට අවශ්‍ය අය, කලා නිර්මාණ සහ ව්‍යාපාරික මට්ටමෙන් සම්බන්ධ වීමට අවශ්‍ය අය ආදී වශයෙනි.

                    සංවිධානයට ඇතුල් වීමට අවශ්‍ය ඉහත සඳහන් කුමන ආකාරයේ යෝජිත පුද්ගලයෙක්ට හෝ ඒ සඳහා කටයුතු කිරීමේ දී, මෙම ලිපිය අවසානයේ ඇති ෆෝරමය පුරවා එවිය යුතු ය. මෙම ෆෝරමය අයදුම්පතක් ලෙස අප සලකන්නේ නැත. අප එසේ කියන්නේ, ඔබට ගෞරවයක් වශයෙනි. මෙම ෆෝරමය තුළ ඔබගේ අරමුණ ඉතා නිවැරදිව කෙටියෙන් සඳහන් කිරීම අප කොට්ඨාශ දෙකටම පහසු ය. ඔබට අවශ්‍ය දේ අප විසින් වැරදියට වටහා ගත් විට, අප දෙගොල්ලන්ම අමාරුවේ වැටෙති. අපගේ න්‍යායික සාහිත්‍යය කියවීමට රුචි කෙනෙකු අපට උදව් කරන්නෙකු ලෙස වැරදියට අප වටහා ගතහොත්, ඉන් කරදරයේ වැටෙන්නේ අප සහ ඔබම ය. ඒ නිසා, ඔබගේ උවමනාව ඉතාම පැහැදිලිව කෙටියෙන් දක්වන්න!  ඔබගේ පුද්ගලික රහස්‍යභාවය රැකීමට සංවිධානය වග කිය යි. ඔබ විසින් අදාළ ෆෝරමය පුරවා email මගින් හෝ වෙනත් ක්‍රමයකින් අප වෙත එවූ විට, සංවිධානයේ බලලත් පක්ෂ සාමාජිකයෙකු ඔබ ඉන් අනතුරුව ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව ඔබව දැනුවත් කරනු ලැබේ. සමහර විට, දැනට තිබෙන කොරෝනා තත්වය තුළ ඒ සඳහා තරම කාලයක් ගත වනු ඇත. සංවිධානය සඳහා දායකත්වය සැපයීමේ දී එය කළ හැකි ආකාරය ද පැහැදිලි කරන්න. ඔබට මුදලින් ආධාර කළ නොහැකි නම් එය ෆෝරමයේ පැහැදිලිව සටහන් කරන්න. එවිට, පසුවට අනවශ්‍ය ව්‍යාකූලතා, හිත් නොහොඳ වීම් සිදු වන්නේ නැත.

                          බොහෝවිට, අපෙන් අසන පොදු ප්‍රශ්නයක් ඇත. ඒ, ‘ අප කවුද? ’ යන්න ය. අපගේ සංවිධානයේ දේශපාලනයට නිශ්චිත ස්ථිර අනන්‍යතාවයක් නැත. එය, ‘X දේශපාලනය’ යනුවෙන් හඳුන්වන්නේ ඒ නිසා ය. ඊළඟට, අපේ දේශපාලන සංවිධානය වාමාංශික සංවිධානයකි. මේ ‘වාමාංශික’ කියන්නේ, පැරණි අර්ථයෙන් නොවේ. අපි වාමාංශිකයි කියන්නේ, ධනවාදී නිදහස් වෙළෙඳපොළ ආර්ථිකය සහ එහි මතවාදී සැකැස්ම වූ ලිබරල්වාදයට වඩා උසස් ආර්ථික-ක්‍රමයක් සහ ආදරය මත පදනම් වූ, එකිනෙකා විවේචනය කර ගන්නා, සාරයක් රහිත මිනිස් සබඳතා ප්‍රාර්ථනා කරන අර්ථයෙනි. ජීවිතයේ අවසන් ඉලක්කය Happiness කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ඔම්ලට් දාන්න බිත්තර කඩන්න වෙනවා වගේ, ආදරය මත පදනම් වන මිනිස් සබඳතා හදා ගන්න තමන් ආදරය කරන කෙනා එක්කත් ගැටුමකට යන්න වෙනවා. ආතතියක් නැතිව උසස් මිනිස් සබඳතා නඩත්තු කරන්න බැහැ.

                         ‘දයලෙක්තික තර්කනය’ මිනිස් චින්තනයේ වර්ධනයට අදාළ සාධාරණ න්‍යාය යනුවෙන් අපි පිළිගන්නෙමු. සාමාන්‍ය ජන ජීවිතයට අදාළව දයලෙක්තික රාමුවක් යෝජනා කළ විට, පහත උත්තරය සැපයෙයි.

          “ ‘මිනිසා ස්වභාවයෙන් ම හොඳයි’ අප කිවහොත් අපි කිසියම් උදාර දෙයක් කියන්නෙමු යි අපි විශ්වාස කරමු. එහෙත්, ‘මිනිසා ස්වභාවයෙන් ම නරකයි’ කියන කල්හි අප ඊට වඩා උදාරතර දෙයක් කියන බව අපි අමතක කරමු ”.

                    

                           හේගල්ගේ ඉහත සඳහන් ආප්තය සාමාන්‍ය ධනේශ්වර ජීවිතයක් ගත කරන සරලම මිනිසෙකුට පවා මුළාවකින් ගැලවීමට හැකි අලුත් පියවරකි. හේගල්ට අනුව ඓතිහාසික වර්ධනයේ ගාමක බලවේගය ඉදිරිපත් වන්නේ, ‘නරක’ නමැති ස්වරූපයෙනි. කෙසේ නමුත්, නරක දෙයෙහි ඓතිහාසික කාර්යභාරය ගවේෂණය කිරීම බහුතරයට අපුලය. මෙසේ නරක ගැන විද්‍යාත්මක අවබෝධයකට යාම පැරණි භෞතිකවාදය අතහැර දමයි. ඔබ අපේ ‘සංවිධානයට’ එන්නේ, ආත්මාර්ථකාමී, රහසිගත, නරක ආත්මීය කාරණයක් නිසා යැයි ඔබ පිළිගන්නේ නම් ඔබ හොඳ යථාර්ථවාදියෙකි. මහින්ද රාජපක්ෂ මේ රටේ ජනාධිපති වුයේ, හොඳ මිනිසෙකු වූ නිසා නොව නරක මිනිසෙකු වූ නිසා ය. පංචශීලය රකින උපාසක මහත්වරුන්ට රටේ නායකයා වීමට නොහැකි ය. ඒ අර්ථයෙන්, සිංහල-බෞද්ධ හැදියාවේ අශ්ලීලම අඩංගුව අපට පහදන්නේ රාජපක්ෂලා ය. ඔවුන් හොඳ සිංහල-බෞද්ධයන් නොව එහි හොඳම විචාරකයන් වී ඇත. මිනිසුන් ක්‍රියාවට මෙහෙය වන්නා වූ සෑම දෙයක්ම ඔවුන්ගේ මනස් ඔස්සේ ගමන් කළ යුතු ය. (එංගල්ස්)

                        දයලෙක්තිය – Dialectics – නැතහොත් ‘අපෝහකය’ (පරස්පරය තර්ක කරන ක්‍රමය) පිළිබඳ ශ්‍රී ලංකාවේ පවතින අදහස කුමක්ද? එය බොහෝ විට සලකා බැලෙන්නේ, චින්තනයේ ගාමක නියාමය ලෙසිනි. මහාචාර්ය ගම්ලත්ට අනුව අපෝහකය යනු, එකිනෙකට ප්‍රතිවිරුද්ධ බලවේග දෙකක් (හොඳ/නරක) ගැටීමයි. මේ ගැටීම නිසා, එක් පාර්ශවයක නිෂේධනීය අංග හැලී අනෙක් පාර්ශවයේ සාධනීය අංග එකතු වී අලුත් දෙයක් බිහි වෙයි. ගම්ලත් මේ සඳහා යෝජනා කරන වචනය වන්නේ, ‘සමතික්‍රමණය’ යි.

                       නමුත් හේගල්ට අනුව ‘අපෝහකය’ යනු, රැඩිකල් නිශේධනයක් මිස ඉහත ආකාරයේ සමතික්‍රමණයක් නොවේ. ‘සමතික්‍රමණය’ (Sublation) යන පදයට මහාචාර්ය ගම්ලත් ලබා දෙන අලුත් කෝෂය පහත පරිදි ය.

             “පවත්නා දෙයක තිබෙන අනවශ්‍ය අනුචිත අංග හළලා, එහි තිබෙන සාධනක, වැදගත් අංග ඉතා ඉහළ මට්ටමකට ගෙනල්ලා, ඒකෙ නැති අංග අමුතුවෙන් එකතු කරලා ඉහළ මට්ටමක, ඉහළ අදියරක කරන සංස්ලේෂණයට තමයි සමතික්‍රමණය එහෙම නැත්නම්, සංස්ලේෂණය කියන්නේ”.

  • මනමේ නාට්‍ය සේවනය, පිටුව 139 –

 

                     හේගල් විසින් ඉදිරිපත් කරන තර්ක ක්‍රමය රූපික තර්කනය (A=A) ඉක්මවා යන්නකි. ‘දයලෙක්තය’ ද්වීකෝටික තර්කන ක්‍රමයකි. සරලව කිවහොත්, යමක හරය තුළම එහි විරුද්ධ දේ බිහි වෙයි. (ලෙනින්) දයලෙක්තික චින්තනය පිළිබඳ ලංකාවේ වාමවාදී ප්‍රවේශයෙහි ඇති ‘ගැටලුව’ ලෙස අප හඳුනා ගන්නේ, ‘නිශේධනය’ නම් සංකල්පය (Negation) අර්ථ ගන්වා ඇති ආකාරය යි. නිශේධනයට ප්‍රගතිය හෝ වර්ධනය හෝ පිළිබඳ අදහසක් එන්නත් කළ නොහැකි ය. ‘නිශේධනයට’ දිය හැකි බටහිර දාර්ශනික ප්‍රවේශය අප පළමුව සකස් කරගත යුතු ය. නිශේධනය වූ කලී යථාර්ථය අප විසින් දැකිය යුතු එක් ආකාරයක් පමණි. නිශේධනය කරන ආත්මයක් හිතනතාක් යථාර්ථයට ස්වභාවයක් නැත. [i think] එමඟින්, යථාර්ථයට යමක් අඩු (Subtraction) කරයි. ආත්මය වූ කලී, සියලූ දෘෂ්ටීන්ගේ දුරු කිරීම සඳහා භාවිතා කරනු ලබන උපාය මාර්ගයකි. අදාළ කාර්යය ඉටු කිරීමෙන් පසු එහි උපයෝගීතාවය අවසන් වෙයි. එහෙත්, යමෙකු හට ආත්මය දෘෂ්ටියක් වේද ඔවුන් සුව කළ නොහැක්කන් යැයි අදහස් වෙයි.

                       ශ්‍රී ලංකාවේ මිනිසුන් තම චින්තනය තුළ ‘ධනවාදය’ පිළිබඳ චතුස්කෝටික තර්කනයක් ගොඩ නඟයි.

      “තර්ක ශාස්ත්‍රයෙහි දී අපගේ විමසිල්ලට භාජනය වන ප්‍රකාශ ප්‍රස්තුත නමින් හැඳින්වේ. ප්‍රස්තුත යනු, සත්‍ය හෝ අසත්‍ය වශයෙන් පැහැදිලි ලෙස වෙන්කොට දැක්විය හැකි ප්‍රකාශන යි. සරලව කිවහොත්, ප්‍රස්තුතයක සත්‍යතාවයක් තිබිය යුතුය. සත්‍යය හෝ අසත්‍ය ලෙස වර්ග කළ නොහැකි වාක්‍ය තර්කයේ විෂය  සීමාවෙන් බැහැර කරන අතර, තර්කයේ කාර්යය සඳහා ගනු ලබන වාක්‍ය එක්කෝ සත්‍ය විය යුතු ය; නැතහොත් අසත්‍ය විය යුතු ය. මේ අනුව, ද්විකෝටික ප්‍රස්තුත නම් මෙම වර්ග දෙකෙන් එකකට වැටෙන ප්‍රකාශන යි”.

උදා- නිදසුනක් ලෙස, උසාවියක දී අසනු ලබන ‘යුෂ්මතා වැරදිකරු ද? නිවැරදිකරු ද?’ යන ප්‍රශ්නයට අප විසින් පැහැදිලි එක් පිළිතුරක් තෝරා ගත යුතු ය.

 

                       කෙනෙකු සම්බන්ධව මේ ප්‍රකාශ දෙකම එකවර සත්‍ය විය නොහැකි ය. ද්විකෝටිකයකට අනුව කෙනෙක් එක්කෝ වැරදිකරු ය. නැතහොත් නිවැරදිකරු ය. ද්විකෝටිකයට තර්ක කළ නොහැකි ප්‍රස්තුත චතුෂ්කෝටී තර්ක-ක්‍රමයෙහි අඩංගු ය. අපි මෙම තර්ක ක්‍රමය ‘ධනවාදයට’ අදාළ කරමු. (සිංහල-බෞද්ධ ඥාණ විභාගය)

  1. ධනවාදය පවතී.

  2. ධනවාදය නොපවතී.

  3. ධනවාදය පවතී, එමෙන්ම නොපවතී.

  4. ධනවාදය පවතින්නේ ද නැත, නොපවතින්නේ ද නැත.

 

                    පළමුවන ප්‍රස්තුතයෙහි නිශේධනය දෙවැනි ප්‍රස්තුතයෙන් ප්‍රකාශ වෙයි. තෙවැනි ප්‍රස්තුතය පළමු සහ දෙවන ප්‍රස්තුත එකවර දැරීමකි. එය ද්විකෝටිකයකට අනුව ස්වයං ප්‍රතිවිරෝධී ය. සිව්වැන්න වූ කලී, පළමුවන සහ දෙවන ප්‍රස්තුත දෙකම ප්‍රතික්ෂේප කිරීමකි. ඒ අනුව, හතරවන ප්‍රස්තුතයට අර්ථයක් නැත.[Jungian collective unconscious refers to structures of the unconscious mind which are shared among beings of the same species.]

  • ඉහත න්‍යායික කොටස උපුටා ගත්තේ, අසංග තිලකරත්නගේ ශූන්‍යතාවාදයෙහි දර්ශනය හා චරණය කෘතියෙනි. – 

 

                   ධනවාදයට වඩා උසස් සමාජ-ක්‍රමයක් සිතීමට උත්සාහ කිරීමේ දී, සමාජ විද්‍යාව- Sociology – සමතික්‍රමණය කළ යුතු අතර එවිට, ‘තර්කය’ – Logic- ඉතාම තීරණාත්මක තලයකට ඇද වැටෙයි. අපගේ යෝජනාව වන්නේ, ධනවාදය සම්බන්ධයෙන් සමාජ විද්‍යා ප්‍රවේශය දෝෂ සහගත බව ය. උදා- නිව්ටන් ගුණසිංහගේ ප්‍රවාදය වූ උකුණන් ලවා ගල් ඇද්දවිය නොහැක යන්න බොරු කරමින් 21 වැනි සියවස පටන් ගත් විට උකුණන් ගල් නොව කඳු පිටින් අදින්නට ගත්තේ ය.

                    ධනවාදයට වඩා උසස් සමාජ-ක්‍රමයක් වෙනුවෙන් විද්‍යාත්මක (විද්‍යාත්මක – යමක් ක්‍රමවත්ව අධ්‍යනය කිරීම) සටනක නිරත ව්‍යාපාරයක්, තමන් සමඟ අලුතින් වැඩ කිරීමට එකතු වන පුද්ගලයෙකු ගැන හිතන්නේ කෙසේ ද? උදාහරණයක් වශයෙන්, 95-2004  වැනි යුගයක අපගේ සංවිධානයට එකතු වූ සියලු සාමාජික-සාමාජිකාවන් රාමුගත කරන ලද්දේ, සමාජවාදී දෘෂ්ටියකිනි. අප සිතුවේ, ඔවුන් සමාජවාදීන් කියා ය. (ඔවුන් එසේ නොකීවත් අප එසේ උපකල්පනය කරන ලදී – subject of socialism) නමුත්, දයලෙක්තික තර්ක ක්‍රමයට අනුව තත්වය සරල නැත. පුද්ගලයෙකු ක්‍රියාකාරී දේශපාලන ව්‍යාපාරයකට එකතු වීමේ දී, ඔහු හෝ ඇයව තාර්කික ව්‍යූහ තුනක් මගින් සංවිධානය කළ යුතු ය. ඒවා මෙසේ ය.

  1. සමාජවාදී අන්තර්ගතයකින්  හෙබි පුද්ගලයා.

  1. හිස් ආත්මය.[Empty Subject]

  2. ධනවාදී අන්තර්ගතයකින් හෙබි  පුද්ගලයා.

    Marie Curie – 1867-1934 – Physicist and chemist of Polish origin; first woman Nobel Prize, the only one to have received the Nobel twice, in two different fields.

 

                     බොහෝ දේශපාලන සංවිධාන පුද්ගලයෙකු බඳවා ගැනීමේදී සලකා බලන්නේ , ඒ කෙනා යහපත් මිනිසෙක් ද යන්නයි. නමුත් අපි සංවිධානයක් ලෙස 2015 වර්ෂයට පසුව සිතන්නේ , සංවිධානයට එකතු වන කෙනෙක් නරක/ ආත්මාර්ථකාමී යැයි උපකල්පනය කොට බදවා ගන්නේ නම් එය වඩා දාර්ශනික බවයි. 2005 වර්ෂයේ සිට 2015 දක්වා විද්‍යාත්මක ක්‍රමයේ ‘නිරීක්ෂණය’- Observation- යන පියවර අධ්‍යයන කටයුතු සඳහා අපි අදාළ කර ගත්තෙමු. සිදු වෙමින් යන ක්‍රියාවලියට ඉතාම දැනුවත් ලෙස මා සහභාගී නොවූ නිසා ම පරීක්ෂණ ක්‍රියාවලිය ස්වායත්ත විය. මෙම නිරීක්ෂණය හරහා තමයි ඕනෑම සංවිධානයකට එකතු වන කෙනෙක් සඳහා ඉහත ප්‍රස්තුත තුනම අදාළ බව අප වටහා ගත්තේ.

        උදා- 2005  වර්ෂයේ දී ‘හිරාන්’ නම් සාමාජිකයෙකු ඉතාම සංකීර්ණ ආකාරයකට සංවිධානයේ න්‍යෂ්ටිය තුළ ස්ථාපිත විය. ඔහුව සමාජවාදී අන්තර්ගතයක් තුළ වටහා ගැනීම එකල පහසු විය. පළමු අවුරුදු පහ තුළ ඔහු ධනවාදයට විරුද්ධ විකල්ප බල රටාවකට අනුගත විය. 2011-12 වන විට, ඔහු ධනේශ්වර අර්ථ ක්‍රමයට අදාල ව්‍යාපාර කිහිපයකට ඇතුල් වී ඒ තුළ කාර්යක්ශම විය. මේ දෙබෙදුම – split- වටහා ගැනීමට අපි සරල උදාහරණයකට යමු. නේපාලයෙන් කන්‍යාවියන් ඩුබායි වෙත සපයන තැරැව්කරුවන් ඔවුන්ව තරු පහේ හෝටල්වල දී එමීර්වරුන්ට විකුණා දමයි. තරු පහේ හෝටල් යනු, ‘සුදු ආර්ථිකය’ (White Economy) වන අතර කන්‍යාවියන් විකිණීම ‘කළු ආර්ථිකය’ (Black Economy) යි. සුදු සහ කළු ආර්ථික අතර රැඩිකල් පරතරයක් (Gap) නැතිනම් මේ ආර්ථිකයන් දෙකටම පැවැත්මක් නැත. සුදු සහ කළු ආර්ථිකයන් හී නිශේධනය සඳහා අවශ්‍ය ‘හිස් බව’ නම් ‘ඉඩ සහ ප්‍රමාදය’ (Gap and Delay) නැතිනම් මෙම ආර්ථිකයන් දෙක සඳහා ද්විකෝටික තර්කනය ආදේශ කළ නො හැකි ය. තාර්කික පුද්ගලයෙකු සුදු ආර්ථිකයේ පැත්තේ සිට කළු ආර්ථිකයේ ගතික රටාවන් අධ්‍යයනය කරන විට, ඔහුට/ ඇයට අමතක වන්නේ මෙම සුළු/ කළු ආර්ථික භේදය සඳහා පූර්ව කොන්දේසිය වශයෙන් ‘හිස් ආත්මයක්’ – Empty Subject ; subject without substance – අවශ්‍ය බවයි. කෙනෙක් මෙම සුදු/ කළු ආර්ථික අන්තර්ගතයන්ට වශී නොවී හෝ සුදු පැත්ත හෝ කළු පැත්ත අංක 1 ලෙස නොසලකා කටයුතු කළහොත්, ඔහුට ඇයට මෙම දයලෙක්තික ක්‍රියාව පෙනී යන්නේ කෙසේ ද? තරමක බියකරු චිත්‍රයක් ඔබට නාභිගත වනු ඇත. ඔබ එහි දී කළු ආර්ථිකයේ දෘෂ්ටිකෝණයෙන් සුදු ආර්ථිකයේ අන්තර්ගතය නරඹනු ඇත. එවිට, මෙම ආර්ථිකයන් දෙකම ධනවාදී ආර්ථිකයට අභ්‍යන්තරික බව පෙනෙනු ඇත.

                 අප ‘හිරාන්’ සම්බන්ධ උදාහරණයට යන්නේ නම්, ඔහුට සමාජවාදියෙකු ලෙස ආරම්භයේ දී අප දුන් අනන්‍යතාවය වැරදි ය.[I Think] නමුත් 2012 ට පසුව, අප ඔහුට ‘ධනවාදියෙකු’ ලෙස අනන්‍යතාවය [I think therefore i am]දෙන්නේ නම්- අප එවිට පළමු අවස්ථාවටත් වඩා වැරදි ය. අප දයලෙක්තිකයෙන් වැඩ ගන්නේ නම් සිතිය යුත්තේ, මේ ආකාරයට ය. ඔහු මේ දෘෂ්ටිවාදයන් දෙකටම අනන්‍ය වූ පුද්ගලයෙක් නොවේ. සමාජවාදී කණ්නාඩි දෙකක්- Socialist Ideology- දමා ගත් විට ඔහුව අපට පෙනෙන්නේ, වාමාංශිකයෙකු ලෙස ය. ධනවාදී කණ්නාඩි දෙකක් – Capitalist Ideology- දමාගත් විට ඔහුව අපට පෙනෙන්නේ, ව්‍යාපාරිකයෙකු ලෙස ය.

                      චතුස්කෝටික තර්ක ක්‍රමය බිහි වන්නේ, වාදයන් දෙක අතර ඇති ‘හිස්තැන’ නොහොත් ‘ආත්මය’ අප විග්‍රහයෙන් මකා දමන නිසා ය. යථාර්ථයෙන් ‘ආත්මය’ ඉවත් කළ විට, භාෂාවට ඔබ්බෙහි ඇති ධර්මතාවයක් කෙරෙහි අපගේ අවධානය යොමු වෙයි.

                        අපි නැවත ‘හිරාන්’ සම්බන්ධ යථාර්ථයට ඇතුල් වන්නේ නම්, ඔහු සමාජවාදී ෆැන්ටසියෙන් මෙන්ම ධනවාදී ෆැන්ටසියෙන් ද විනෝද විය හැකි ආත්මයකි. නමුත් ඔහුට පවා ඔහු තුළ සිටින මේ ආත්මය අඥාත ය. ඒ නිසා, ඔහුගේ ‘ආත්මය’ දෙස මුල සිට ම ධනවාදී යැයි සිතුවේ නම්, අපට වඩා යථාර්ථවාදී චිත්‍රයක් සටහන් කළ හැකි ය. ඔහු ධනපතියෙකු යැයි අප අනුමාන කරන ලද්දේ නම්, ඔහුගේ සමාජවාදය සහ විප්ලවවාදය පිළිබඳ අදහස් ද ධනපති චින්තනයේම ප්‍රවර්ග ලෙස වටහා දීමට හැකිව තිබුණි. සරලව කියන්නේ නම්, ඔහු සමාජවාදියෙකු නොව ධනපතියෙකු යැයි ඔහුටම ඒත්තු ගැන්වූයේ නම් ඔහු මේ සමාජය පිළිබඳ ඉතාම තාර්කික විවේචකයෙක් වීමට හොඳටම ඉඩ තිබුණි.   

 

             අපගේ සංවිධානයට අලුතින් එකතු වන නවකයන්ට අපට කීමට ඇත්තේ, එක දෙයකි. ඔබේ සිතුවිලි සමාජවාදී ඒවා යැයි නො සිතන්න! ඒවා ධනවාදී නිදහස් සිතුවිලි යැයි සිතන්න! අලුත් ලෝකයක දොරටුව ඇත්තේ එතැන ය.

DKG

++++++++++++++++++++++++++++++++++++++++++++

අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය.

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. “චතුස්කෝටික තර්ක ක්‍රමය බිහි වන්නේ, වාදයන් දෙක අතර ඇති ‘හිස්තැන’ නොහොත් ‘ආත්මය’ අප විග්‍රහයෙන් මකා දමන නිසා ය. යථාර්ථයෙන් ‘ආත්මය’ ඉවත් කළ විට, භාෂාවට ඔබ්බෙහි ඇති ධර්මතාවයක් කෙරෙහි අපගේ අවධානය යොමු වෙයි.”
    නලින් ද සිල්වා ට , ඩෙකාට්ස් ව නයාට අදුකොල වගෙ වෙන්නෙ අහම්භයකින් නොවෙ , බව දැන් මට වැටහෙනවා Thank you Deepthi! Good Job !

Comments are closed.