399627_4074493479022_1819419447_n

[dropcap color=”red”]මේ[/dropcap] දසුන චිත්‍රයක්ද?………. නැත.
එය සංස්කරණය කල ජායාරුපයක්ද……. නැත.
මෙය සත්‍ය ජායාරූපයක්ද ?………. ඔව්.
මෙම සිදුවීම ස්වභාව ධර්මය විසින් කල පලිගැනීමක්ද ?…….නැත.
මෙය මිනිසා විසින් මිනිසා හට ඛේදවාචකයක් අත්කළ සිදුවීමක්ද ? ඔව්.
මෙම ජායාරුපයේ කතාව කුමක්ද ? කියවන්න පුළුවන්නම්……

මහල් අටක ගොඩනැඟිල්ලක්. සාප්පු සංකීර්ණ,බැංකු,ඇඟලුම් කම්හලක් පවත්වාගෙන ගිය ගොඩනැඟිල්ලක්. මෙම මහල් ගොඩනැඟිල්ල කඩාවැටුනා.
දිනකට පෙරත් ඉරිතැලීමක් තිබිලා තියෙනවා. බැංකු කට්ටිය නම් එහි සේවකයන් හට නිවාඩු දීලා. ඇඟලුම් සේවිකාවන්ට නිවාඩු දීලා නැහැ. පුද්ගලයන් 334 ක් ජිවිතක්ෂයට පත් වුනා. පුද්ගලයන් 2300 ක් මුදවාගෙන තියෙනවා. තවත් කොන්ක්‍රීට් සුන් බුන් අතරේ කී දෙනෙක් ඉන්නවාද කියලා කව්රුත් දන්නේ නැහැ. එක් කාන්තාවක් මුදාගන්නට පෙර දින බිලිඳකු බිහි කරලා. සුන් බුන් අතරේ සිර වෙලා ඉන්න සමහරක් අය ජංගම දුරකතනයෙන් කතා කරලා කියනවා. තමන්ට අනතුරක් නැහැ හැකි ඉක්මනින් එලියට ගන්න කියලා. අනතුරට ලක්වුනගොඩනැඟිල්ල අසළ ඥාතීන් හොයමින් විලාප තියන ගැහැණු පිරිමි ආපදා සේවකයන් හට බාධාවක් වෙලා. ඒ අතරේ උද්ඝෝෂණ. කඳුළු ගෑස්. බැටන් ප්‍රහාර. මුදාගත් අය වගේම මුදාගත් එහෙත් ජිවිතක්ෂයට පත් වුන අයගේ ඥාතීන්ගේ විලාපයන් හැම තැනම.මේ අතරේ මංකොල්ලකෑම්.කොල්ලකෑම්.

කොහෙද මේක වුනේ… ?
මේ සියල්ලම සිදු වුනේ බංගලිදේශයේ අගනුවර ඩකා නුවර අසළ සවර් හී රානා ප්ලාසා නමැති ගොඩනැඟිල්ල කඩා වැටීම නිසා.දැන් දවස් දෙකක් වෙනවා.එහි අයිතිකරුවන්,ඇඟලුම් කම්හලේ අයිතිකරුවන්,ගෘහ නිර්මාණ ශිල්පීන්ද ඇතුළු 8 දෙනක් අත් අඩංගුවට අරන්.

ඉහත ඡායාරූපය සහ විස්තරය පළ කර තිබුනේ ෆේස් බුක් පිටුවකය. මේ සම්බන්ධයෙන් ලියන්නට සිතාගෙන සිටි මොහොතක මේ ඡායාරූපය නෙත ගැටුන නිසා එය පළකර මේ සම්බන්ධයෙන් විග්‍රහයක් කිරීම වඩාත් ඵලදායක වනු ඇතැයි සිතුනා.

බංගාලාදේශයේ මෙම ඇගලුම් ආයතනය මගින් ඇදුම් මසා දෙන ක්‍රොන්තරාත්තුව බාර ඇගලුම් අලෙවි ආයතනය වන්නේ එංගලන්තයේ ට්‍රයිමාර්ක් ආයතනයයි. මෙම ආයතනයේ ඇදුම් මිලදී ගන්නේ එංගලන්තයේ branded  ඇදුම් නොඅදින වෙළෙද නාමය ගැන වැඩි පුර කල්පනා නොකරන පිරිසයි. මෙම ආයතයෙන් ඇදුම් මිලදී ගැනීම ඒ අයට වඩාත් ලාභදායි වනවා. මෙමඅනතුරෙන් පසුව බී.බී.සී ලෝක සේවය මේ සම්බන්ධයෙන් එංගලන්තයේ දී සමීක්ෂණයක් පවත්වනවා. ඒ අය මේ සමීක්ෂණයට සහභාගි වන අයගෙන් අසන්නේ තමන් අදින ඇදුම් මසා නිම කරන්නේ කවුරුන්ද යන වග ඒ අය දන්නවාද යන්නයි. එයට බොහෝ අය ලබා දෙන පිළිතුර වන්නේ තමන් ඒ ගැන නොදන්නා බවයි.

පසුව බී.බී.සී කණ්ඩායම මේ අයට මේ අනතුර ගැන පවසනවා. එවිට බොහෝ පිරිසක් මහත් පුදුමයට හා කම්පාවට පත් වෙනවා. මිය ගිය පුද්ගලයන් ගැන අනුකම්පාවන් කතා කරනවා. මෙවැනි ඇගලුම් ආයතන වල පහසුකම් වැඩි දියුණු කළයුතු බවට යෝජනා කරනවා. නමුත් අනාගතයේ දී ඒ දෙය ඒ ආකාරයෙන්ම සිදු වෙයිද? සාමාන්‍යෙයන් සිදු වන්නට නියමිත වන්නේ මහත් පුදුමයට හා අනුකම්පාවට පත් උදවියම යළිත් මෙවැනි අනතුරක් සිදු වූ පසුවත් අලුතින් ඒ ගැන දැනගත් ආකාරයට පුදුමයට,කනස්සල්ලට හා කණගාටුවට පත්වීමයි. නමුත් පවතින ක්‍රමය කිසිදු වෙනසකින් තොරව ජනතාව ඇතුලතින් කා දමමින් ඉදිරියටත් වර්ධනය වෙනවා.

අපි ජීවත් වන්නේ ධනවාදී සමාජයක යන කාරනාව බොහෝ දෙනෙකුට අමතකව ඇති බවට මෙය කදිම නිදර්ශනයක්. නමුත් අපිට අවශ්‍ය නම් මේ ඛේදවාචකය නිමිත්තක් කරගෙන එංගලන්තයේ ඒකාබද්ධ වාමාංශික මැයි රැලියක් සංවිධානය කරන්න පුලුවන්. නමුත් මේ ආකාරයෙන් දිගින් දිගටම කේන්ද්‍රෙය් මිනිසුන් ගේ ජීවිත සුඛෝපභොගී කරන්න පරිවාරයේ පීඩිතයන් තව දහස් ගණනකට මිය යන්නට සිදුවෙයි. ඒ ගැන කිසිවෙකුටවත් වගේ වගක් නෑ. අද වන විට බොහෝ කේන්ද්‍රෙය් රටවල් පරිවායේ තමන් වගේම මිනිසුන් පිරිසක් අන්ත දුක් විදින බව දන්නේ නෑ. කේන්ද්‍රෙය් මිනිසුන්ගේ ජීවිත සුරවිමනක් කරවන්නට පරිවාරයේ රටවල මිනිසුන් දහසක් ගනනක් ලේ.කදුලු.දහදිය වගුරවමින් දෛනික මිය ඇදෙන බව බොහෝ දෙනෙකුට අමතක වෙලා. මේ සිදුවීම අපට ඒ පිළිබදව ලැබෙන එක් උදාහරණයක් විතරයි. මෙය හරියටම ශිෂ්ටාචාරය බිහි වන්නට පෙර තිබුන පූර්ව ශිෂ්ටාචාර යුගයට සමාන වෙනවා.

වර්ථමානය වන විට මනිසුන් භාණ්ඩ බවට ඌණනය වී භාණ්ඩ මිනිසුන් බවට පත්ව තිබෙනවා. සාමාන්‍යෙයන් අපි කරන්නේ මිනිසුන්ට ආදරය කිරීම සහ භාණ්ඩ පාවිච්චි කිරීමයි. නමුත් අද වන විට මිනිසුන් පාවිච්චි කර භාණ්ඩ වලට ආදරය කරන සමාජයක් බිහිව තිබෙනවා. අපිට මේ තත්ත්වය ධනවාදයේ තුන්වන කාර්තුවේ අග්‍රඵලය ලෙස සලකන්නට පුලුවන්. ඒ නිසා අපිට මගතොටේ දී හමුවන්නේ විවිධ විලාසිතා, වාහන, ගොඩනැගිල වගේ දේවල් විතරයි. මිනිසුන් අපට මුණ ගැසෙන්නේ නෑ. ඒ නිසා තමයි අපි කියන්නේ මේ යුගය අයිති අවතාර වලටයි කියලා. මේ වන විටත් මගතොටේ ස්මාර්ට් ෆෝන් වලට ආදරය කරන ගමන් මිනිසුන්ව පාවිච්චි කරන අය අනත්තවත් මුණ ගැහෙනවා. මේ ගොඩක් අය තමන් මේ සෙල්ලම් දාන ගැලැක්සි දුරකඵනය නිෂ්පාදනය කරන්න අවශ්‍ය අමු ද්‍රව්‍ය මහපොලොවෙන් ගොඩ ගන්න පතල් සහ ආකාර වල කම්කරුවන් ජීවිතය පරදුවට තියලා ශ්‍රමය වගුරවන බව දන්නේ නෑ.

ඉතිං ඒවගේ පිරිසකගෙන් බී.බී.සී සේවය තමන් ආඩම්බරයෙන් ඇදගෙන ඉන්න ඇදුම මහපු බංගාදේශ කම්කරුවන් මේ තරම් දියුණු ලෝකයක අබලන් ගොඩනැගිල්ල නිසා මරණය පත්වුනා කියන කාරණවා අහන කොට මවිතයට පත්වෙලා ඒ ගැන කණගාටු වෙනවා. ඒත් ඇත්තටම හෙට උදේ ඉදන් හැමෝටම මේ සිද්ධිය ඉතිහාසයේ තවත් එක් අනුවේදනිය සිද්ධියක් විතරයි.

පවතින ක්‍රමය වෙනස් කිරීමෙන් විතරයි මානව වර්ගයාට විමුක්තිය උදාවන්නේ කියන කාරණය අපිට යළි මතක් කරන්න වෙනවා. කණගාටු වුනාට, අනුකම්පා කලාට,මියගිය අය සැමරුවාට, පුදුමයට, මවිතයට පත්වුණාට පවතින ක්‍රමය නිකම් හාස්කමකින් වෙනස් වෙන්නේ නෑ. ඒ සදහා මානව වර්ගයා සාමුහිකව අරගල කරන්න ඕන. අරගල කරන්න නම් නිවරදි දේශපාලන නායකත්ව සහ මධ්‍යගත දේශපාලන සංවිධානයක් අවශ්‍ය වෙනවා. මේ යුගයේ දේශපාලන අභියෝගය කියන්නේ ඒකටයි. විදුලි බිල වැඩි වෙනකොට පන්දම් පත්තු කරන් පාරේ ගියා කියලා පවතන ක්‍රමය වෙනස් වෙන්නෑ. ක්‍රමය වෙනස් කරන්න නම් ඒ සදහා වැඩ කල යුතුයි. ඒ අරගය දෘෂ්ටිවාදී සහ ප්‍රායෝගික එකක් වෙන්න ඕන. බී.බී.සී සේවයේ පහත සබැදියාවෙන්  ඒ සම්බන්ධයෙන් යමක් සිතන්න යැයි අපි ඔබට ආරාධනා කරනවා.

http://www.bbc.co.uk/news/world-asia-22302595

 

 

 

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. “නිවරදි දේශපාලන නායකත්ව සහ මධ්‍යගත දේශපාලන සංවිධානයක් අවශ්‍ය වෙනවා.” ඔබලා පක්ෂයක් විදියට ඊට නායකත්වය දෙන්න සූදානම් ද? නැත්නම් බුද්ධිමය තලයට කරන මැදිහත්වීම් වලට පමණක් සීමා වෙනවාද?

    • ඔබට ඉදිරියේ දී ඒපිළිබදව නිගමනයකට එළැබිය හැකියි…

Comments are closed.