අමරසේකර මහතාගේ “අලියා සහ අන්ධයෝ” පළවන්නේ මෙහි පළමු මුද්‍රණයෙන් අවුරුදු පනහකට පමණ පසුවය. ඔහු එම ලිවීම අරඹන්නේ සාහිත්‍ය විචාරය ප්‍රතිනිර්මාණයක් විය යුතු බව කියමිනි. කෙටියෙන් කිවහොත් එය හුදු විවච්ඡේදන ක්‍රමයක් නොවිය යුතු බව කියන විට ඔහු පළ කරන්නේ අද කාලයේ බටහිර ප්‍රචලිතව පවතින ප්‍රවාදවලට පවා ගැලපෙන අදහසකි. අමරසේකර එහිලා විචාරය නිර්මාණාත්මක කාර්යයක් බව පවසමින් බටහිර විචාරයේ පදනම ද එය වී ඇති බව පැහැදිලි කරයි. එහි මෙසේ ලියැවී ඇත.

“වර්තමාන ඉංග්‍රිසි සාහිත්‍ය විචාරකයන් තවදුරටත් විචාරවාද ක්‍රම තනා ගැනීමට නොවෙහෙසී, විචාර සිද්ධාන්ත රිසි සේ නිර්මාණාත්මක ලෙස යොදා ගනිමින් සිය කාර්යයෙහි යෙදෙන්නේ ඔවුන් මේ බව වටහා ගත් බැවින් විය යුතුය.” (අලියා සහ අන්ධයෝ 10 පිටුව)

සාහිත්‍ය විචාරය නිර්මාණාත්මක විය යුතු බවට අමරසේකර දරන යට කී මතය සමඟ එකඟ නොවී සිටීමට හේතුවක් පෙනී නොයයි. එහෙත් ගැටලුව වන්නේ විචාරය නිර්මාණාත්මක වන්නේ කෙසේද? යන්න පිළිබඳ ඔහුගේ මතය එකී ලිපියේ ඉතිරි අඩ තුළ අර්බුදයට ලක්වීමයි. ප්‍රතිනිර්මාණය (අද කාලයේ වචනවලට පරිවර්තනය කරන්නේ නම් නැවත කියවීම නැතහොත් නැවත ලිවීම) යන්න ඔහු නිර්වචනය කරන්නේ පහත සඳහන් පරිදිය.

“සාහිත්‍ය විචාරකයා ප්‍රධාන වශයෙන් ම සහෘදයකු විය යුතුය. කිසියම් නිර්මාණයක් සමඟ එක්ව විසීමේ ශක්තිය ඔහු තුළ තිබිය යුතුය. මෙසේ එක්ව විසීම නිසා ඒ නිර්මාණයේ ගැබ් වූ සියළු රස භාවයෝ කිසිදු අඩු ලුහුඬුවක් නැතිව ඔහු සිත තුළ පිළිසිඳ ගනිති. මුල් නිර්මාණයෙහි ස්වරූපය එලෙසින් ම ඔහුගේ හදවත තුළ පිළිබිඹු වෙයි. සිය ප්‍රති නිර්මාණයට අවශ්‍ය ආභාසය මෙයයි. විචාර කාර්යය ඔහු විසින් කළ යුත්තේ ඉන් ඉක්බිතිවය. එය වූ කලී අන් කිසිවක් නොව සිය හදවත තුළ ඒ රසභාව පිළිසිඳ ගත්තේ කෙසේද යන්න හේතු ප්‍රත්‍යය සහගතව අප වෙත දැක්වීමකි.

“මෙසේ කිසියම් නිර්මාණයක් හා එක්ව විසීමේ වාසනා ගුණයෙන් තොරව සහෘද භාවයෙන් විමුක්තව කරන විචාරය ප්‍රති නිර්මාණයක් නොවේ ප්‍රති නිර්මාණය සඳහා අවශ්‍ය ආභාසය විචාරකයා ලබන්නේ ඒ නිර්මාණය හා එක්ව විසීමෙනි.” (11 පිටුව)

අමරසේකර යෝජනා කරන මෙම විචාරය නම් කළ යුත්තේ ආත්මීය විචාරයක් වශයෙනි. මේ විචාරකයා වූ කලී කතුවරයාගේ ආධිපත්‍යය හිස්මුදුනින් පිළිගත්තෙකි. කෙටියෙන් කිවහොත් ඔහු මේ සූදානම් වන්නේ කතුවරයාගේ අභිප්‍රාය හඹා යාමටය. මුල් කෘතියෙන් පිළිබිඹු වන රසභාව යනු විචාරකයාගේ ම ෆැන්ටසි විකාර මිස අන් කිසිවක් නොවේ. මුල් නිර්මාණයේ ස්වරූපයන් ඒ ආකාරයෙන් ම දැකීම තුළ ඇත්තේ කවර වූ ප්‍රති නිර්මාණයක්ද?

මෙම මතයට ප්‍රතිවිරුද්ධ යමක් කියන්නේ නම් නිර්මාණාත්මක විචාරය යනු මුල් කෘතියෙන් විකේන්ද්‍රීය වූ කිසිවකි. එය වූ කලී මුල් කෘතියේ කතුවරයාගේ අභිප්‍රාය ඉක්මවා යන කියවීමකි. එම විචාරය ලේඛකයාගේ ලිවීම නොව පාඨකයාගේ (විචාරකයා ගේ) කියවීම තුළ නැවත ලියවෙන වෙනම නිර්මාණයක් බවට පත්වන්නකි. ටෙරී ඊගල්ටන් නමැති මාක්ස්වාදී විචාරකයා ඔහු‍ගේ Literary theory නම් වූ කෘතියෙහි මෙසේ ලියයි. (මම පළමුව එය ඔහුගේ වචන වලින්ම පිටපත් කරමි.)

“All literary works, in other words, are “re – written”, it only unconsciously, by the societies which read them: indeed there is no reading of a work which is not also a re-writing.”

ඊගල්ටන් මෙහි ලා පවසන්නේ සියළු සාහිත්‍ය නිර්මාණ ඒවා කියවන සමාජ විසින් නැවත ලියන බවය. සැබවින් ම නිර්මාණයක් යළි ලිවීමකින් ද ‍තොර වූ නැවත කියවීමක් නැතැයි යනුවෙන් ඊගල්ටන් එය වර නගයි. (ඊගල්ටන් ට අනුව එය සිදුවන්නේ අවිඥානකවය)

රොලන්ඩ් බාත් නමැති ව්‍යුහවාදී විචාරකයා සාහිත්‍ය ලෝකය උඩු යටිකුරු කරවන සුළු සොයා ගැනීමක් කළේය. ඔහු ඉතා සාහසික ලෙස ප්‍රකාශයට පත් ‍කළේ කෘතිය ලියා අවසන් කිරීමෙන් පසු තවදුරටත් කතුවරයා නොපවතින බවය. ඉන්පසු මෙහි අයිතිය හිමි වන්නේ පාඨකයාටය (විචාරකයාටය.) මෙහිදී කතුවරයාගේ මියයාම (the death of the author) යනුවෙන් බාන් සඳහන් කරන්නේ කතුවරයාගේ අභිප්‍රාය මිය යන බවය.

අමරසේකර මහතා යෝජනා කරනා විචාරය තුළ පාඨකයා තම ආත්මීය එකඟතාවය ගොඩනගා ගන්නේ එකී අභිප්‍රාය සමඟය. ඒ අනුව එම විචාරකයා කරන්නේ කතුවරයා ලියා ඇති දේ ඒ සැටියෙන් ම ගැනීමයි. යථාර්ථවාදී සාහිත්‍ය විචාරයේ රෝග ලක්ෂණය වන්නේ එයයි. නවකතාකරුවා හෝ කවියා යන දෙදෙනාම උපයුක්ත කර ගන්නා භාෂාව සහ රීතිය සමඟ ඔහු‍ගේ අභිප්‍රාය (intention) ගැට ගසනු ලැබේ. මහාචාර්ය සරච්චන්ද්‍ර පවා ඇදහුයේ යමක් ලියන ලේඛකයා එය ලිවීමෙන් පළ කරන මනෝ භාවය ම අභිප්‍රාය සේ ගිනිය හැකි බවය. (බලන්න සරච්චන්ද්‍ර ගේ සාහිත්‍ය විද්‍යාව)

මාර්ටින් වික්‍රමසිංහ පවා හඹා ගියේ නවකතාකරුවා ගේ අභිප්‍රාය ඔස්සේය. ඒ අනුව මළගිය ඇත්තෝ ලිවී‍‍මෙන් සරච්චන්ද්‍ර ගේ අභිප්‍රාය වූයේ ස්වපීඩා කාමුකත්වයෙන් (masochism -enjoyment of pain : pleasure that someone gets from being abused or hurt; especially : sexual enjoyment from being hurt or punished) පෙලෙන පුද්ගලයකුගේ චරිතය නිරූපණය වන නවකතාවක් නිර්මාණය කිරීම බව වික්‍රමසිංහ සොයා ගනී. එහෙත් වික්‍රමසිංහ එකී අභිප්‍රායේ ඇති නොගැඹුරු බවට සහ එකී අභිප්‍රාය නඩත්තු කිරීමට නවකතාකරුවා උපයුක්ත කර ගන්නා රීතියේ සදොස් බවට බැටදෙයි.

අමරසේකර මහතා තම කෘතියේ පරිච්ඡේද කීපයක් ම වියදම් කරන්නේ විරාගය, මළගිය ඇත්තෝ සහ යළි උපන්නෙමි යන නවකතා ත්‍රිත්වය ඔහුගේ යටකී ආත්මීය විචාරය යොදා ගනිමින් (apply) විමර්ශනය කිරීමටය. එම කියවීම තුළ ඔහු එම නවකතා හෝ නවකතාකරුවන් නැවත සොයා ගැනීමක් නොකරයි. (යළි උපන්නෙමි අමරසේකර ගේම නවකතාවක් වන බැවින් නවකතාකරුවා‍ෙග් අභිප්‍රාය හඹා යාම ඔහුට පහසු වී ඇත.)

කෙසේ වෙතත් අමරසේකර මහතා මෙම කෘතියේ එන “පදුමවෙ නොයෙන අලිප්පමානො” විරාගය විමසීමකි නම් රචනාවේ ලා පිළිගන්නා කරුණක් නම් අරවින්දගේ චරිතය තුළ යම් හිස් තැනක් (Lack) පවතින බවය. (කියවන්න මෙම කෘතියේ 28 පිටුව) කතුවරයා සමඟ (නිවැරදිව කිවහොත් ඔහුගේ අභිප්‍රාය සමඟ) ආත්මීය ගිවිසුමකට එළඹීම ප්‍රතික්ෂේප කරන විචාරකයා තත් කෘතිය ප්‍රති නිර්මාණය කරන්නේ නවකතාවේ එම පරතරය තුළය. එහෙත් එය මග හැර යන අමරසේකර අරවින්දගේ අකර්මන්‍ය බව ඔහු හිසින් ගත් කිසියම් (අ) දේශපාලනික මතවාදයක් සමඟ ගැට ගසයි.

අමරසේකර ගේ ආත්මීය විචාරවාදයේ ඇති අනතුර නම් මුල් කෘතියේ කතුවරයා සමඟ ඇති හිතමිත්‍ර කම් තීව්ර කර ගැනීමට එය උපයෝගි කර ගැනීමේ ඇති හැකියාවයි. ලේඛකයකු සහ කවියකු ලෙස ගුණදාස අමරසේකර මහතා සිංහල සාහිත්‍යයට මහත් වූ සම්ප්‍රදානයක් කර ඇති බව ඇත්තය. එහෙත් ඔහුගේ මතකවත නමැති අලුත්ම කවිපොත විශිෂ්ට සාහිත්‍ය නිර්මාණයක් ලෙස හඳුන්වා දෙමින් කර ඇති ඉහත කී වර්ගයේ ආත්මීය විචාර ප්‍රශ්නාකාර්ය. ඒ පිළිබඳ වැඩිදුර විමසීම මම පසුවට කල් තබමි.

සමන් වික්‍රමාරච්චි

Silumina

ඔබේ අදහස කියන්න...