1979 සිට 1990 දක්වා එංගලන්තය පාලනය කළ මාග්‍රට් තැචර් මිය ගොස් ඇත. ඇය ඇමෙරිකාවේ රොනල්ඩ් රීගන් සමග එක්ව ගොඩනැගූ දේශපාලන අත්තිවාරමට අප කියන්නේ නව-ලිබරල්වාදය කියාය. දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝක සාමය ගොඩ නැගීම අරබයා බටහිර ජාතීන් විසින් ගොඩනගන ලද දේශපාලන දර්ශණය වූයේ සමාජ-ප්‍රජාතන්ත්‍රවාදයයි. එහිදී රාජ්‍ය අංශයට මුල්තැන ලැබුන අතර පුද්ගලික අංශය රාජ්‍ය අංශයට යටත් කරන ලදි. එහිදී ආර්ථික දර්ශණය වූයේ සුභසාධනයට සහ ඉහළ අනුපාතයකින් ආදායම් බදු එකතු කිරීමය. මෙය ‛කෙන්සියානු’ රාජ්‍ය ප්‍රතිපත්තිය ලෙසද හදුන්වන ලදි.

මාග්‍රටි තැචර් ගේ ආණ්ඩුක්‍රමය ‛තැචර්වාදය’ යන නමින් හැඳින් වූයේ එංගලන්තයේ තවමත් ජීවත් වන වාමාංශිකයෙකු වන ‛ස්ටුවට් හෝල්ය’ ඔහුට අනුව තැචර් ගේ දේශපාලනය හුදු ආර්ථික වැඩ සටහනක් පමණක් නොවේ. එයට සංස්කෘතික අර්ථයක් පැවතුණි. එමගින් සාමාන්‍ය මිනිසාට කාවද්දන ලද ජනප්‍රිය සටන් පාඨය මෙසේය.‛‛ ඔබ සියළු දෙනාම මහන්සි වී වැඩ කළොත් කවදා හරි පොහොසත් වෙිවි.’’ මෙම අදහසට බොහෝ බ්‍රිතාන්‍ය මැද-පංතිය පමණක් නොව වැඩ කරන පන්තියද ආකර්ශණය විය. දෙවන සටන් පාඨය මෙසේය. ‛‛ සමාජය කියලා දෙයක් නැහැ. ඉන්නේ පුද්ගලයෝ විතරයි.’’

තැචර්වාදයේ සංස්කෘතික නිර්මිතය පැහැදිලි කිරීමට ස්ටුවට් හෝල්ට ග්‍රම්ස්ච් ගේ හෙජමොනිය සංකල්පය අවශ්‍ය විය. තැචර්වාදය අවසාන ව්ග්‍රහයක දී එක පංතියක ලෝක දැක්මක් නොව සියළු පංතීන් ගේ අනන්‍යතාවය බවට පත්විය. ඒ අනුව බ්‍රිතාන්‍ය, තැචර් පාලනය කරනු ලැබුවේ බලහත්කාරයෙන් නොව කැමැත්තෙනි. අසූව දශකයෙන් ඇරඹි තැචර්වාදය විසින් ක්‍රම ක්‍රමයෙන් අනූව දශකය අවසන් වන විට බ්‍රිතාන්‍යයේ ‛සාමාන්‍ය දැනුම’ (common sense) වෙනස් කරන ලදි. එමගින් රාජ්‍යයේ වියදම් අඩුකළ අතර බදු අය කිරීම අඩුකර රාජ්‍ය ව්‍යපාර පුද්ගලයන්ට පවරා දෙන ලදි. තැචර්වාදයේ සංස්කෘතිය වික්ටෝරියානු ඇගැයුම් පද්දතියකි. එහි අර්ථය මෙසේය. ඔබේ ආර්ථිකය ලිබරල්ය. ඔබේ සංස්කෘතිය ආරක්ෂණවාදීය. තැචර්වාදය එංගලන්තයේ වෙනස් කරන ලද්දේ ආර්ථිකය නොව ආත්මයයි. එමගින් අමතන ලද්දේ සැබෑ ප්‍රශ්ණය. සැබෑ ප්‍රතිවිරෝධතාවයන්ය.

තැචර්වාදය එංගලන්ත සමාජයේ කෙතරම් මුල් බැස ගත්තේ ද යත් ‛ටෝනි බ්ලෙයාර්’ දක්වා ඇයගේ සියළු අනුගාමිකයන් අනුගමනය කරන ලද්දේ ඇගේ දර්ශණයමය. එය අද බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂයේ ද රාජ්‍ය ප්‍රතිපත්තියයි. දශකයක පමණ තම පාලන කාලය තුළ එංගලන්ත වැඩ කරන පංතියේ සංවිධාන ඇය විසින් විනාශ කරන ලදි. IRA සමග යුද්ධය තිවෘර කරන ලද අතර ඒ නිසා සිදු වූ විනාශයද විශාලය. ඇය එංගලන්තයෙන් සමුගන්නා විට එංගලන්ත අගමැති  ඩෙිවිඩ් කැමරන් කී ප්‍රකාශයකින් සනාථ වන්නේ ඇගේ බලපෑමේ තරමයි. ‛‛ ඇය රට පාලනය කලා විතරක් නෙවී ඇය අපේ රට බේරා ගත්තා ’’

ලංකාව වැනි රට වලද අනුගමනය කරන නව-ලිබරල්වාදය යනු තැචර්වාදයේම ඌන-සංවර්ධිත ආකෘතියකි. එමගින්  ලංකාවේ ද ‛සාමන්‍ය දැනුම’ වෙනස් වී ඇත. සමාජයක් දැන් නැති අතර එම තැන බිහිව ඇත්තේ නාස්මික පුද්ගලවාදියෙකි. නව-ලිබරල්වාදය නිදහස් වෙළෙදපොල පමණක් නොව ආධ්‍යාත්මික ජාතිවාදයක් ද බිහි කරන බව අපි වටහා ගත යුතුය. ආර්ථිකය වඩ වඩා ලිබරල් වන විට රාජ්‍ය යන්ත්‍රය පාලනය කිරීමට ඒකාධිපතියෙකු අවශ්‍ය වීම අහම්බයක් නම් නොවේ.

ඔබේ අදහස කියන්න...