අගෝස්තු මස 16 වන දා බර්ලින් නගර මධ්‍යයේ පවතින පොදු උද්‍යානයක් තුළ ගමන් කරමින් සිටියදී චෙච්නියානු හිටපු ගරිල්ලා නායකයෙකු රුසියන් ඔත්තු සේවයේ ඔත්තුකරුවෙකු විසින් මහදවල් මරා දමන ලදී. නූතනවාදී ගරිල්ලන්ට වෙනස්ව ”පශ්චාත්- නූතන” ගරිල්ලන්ගේ මූලික මාරාන්තික වෙනස්කමක් ඇත. 60 දශකය තුළ දී ආරම්භ වූ අර්නෙස්ටෝ චේගෙවාරා මූලික කොට ගත් ගරිල්ලා ව්‍යාපාරයේ ප්‍රධාන සටන් පාඨය වූයේ විප්ලවය ජවලනය කළ යුතු එකක් මිස ඉබේ හට ගන්නා එකක් නොවන බවයි. ප්‍රංශ දේශපාලන චින්තකයෙකු සහ 60 දශකයේ ලතින් ඇමරිකානු ගරිල්ලා නායකයෙකු වූ රෙජිස් ඩෙබ්රේ විසින් චෙගෙවාරාගේ චින්තනය සහ භාවිතාව පදනම් කරමින් ගරිල්ලා න්‍යායක් නිපදවන ලදී. එහි සිත්ගන්නා සුළු නාමය වූයේ ‘ෆොකෝ න්‍යායයි’ (Foco Theory) 80 දශකය මැද දී ජවිපෙන් විගාමික වූ විකල්ප කණ්ඩායමටද මෙම න්‍යාය එකළ දයාන් ජයතිලක හරහා කාන්දු විය. ජනතාවගේ අවධානය කුඩා කණ්ඩායමක ක්‍රියාකාරීත්වය හරහා අරගලය දෙසට නාභිගත කිරීමෙන් සමාජ විප්ලවයක් ආරම්භ කළ හැකි යැයි ෆොකෝවාදීන් විශ්වාස කළහ.

නමුත් 70 දශකය තුළ දී ඇමරිකානු CIA සංවිධානයේ ප්‍රතිත්‍රස්ත ව්‍යාපෘතිය නිසා ලතින් ඇමරිකාව තුළ අධිනිශ්චය වූ ෆොකෝවාදී නාගරික ගරිල්ලා ව්‍යාපාරය නින්දාසහගත ලෙස පරාජයට පත් විය. මාඩ්ගේ ‘මහජන යුද්ධය’ සංකල්පය ඔස්සේ ගමන් කළ සැන්ඩිනිස්ටා ව්‍යාපාරය 1979 වර්ෂයේ අරගලය ජයග්‍රහණය කළ මුත් ඇමරිකන් මැදිහත්වීම නිසා අවසානයේ දී අවස්ථාවාදයට යටත් විය.

ඉහත අප සාකච්ඡා කළ ‌එතිහාසික පසුබිම තුළ පැවති නූතනවාදී ගරිල්ලා ව්‍යාපාරවල මුඛ්‍ය ලක්ෂණය වූයේ ‘තහංචිය’ පිළිගැනීමයි. එනිසා ඔවුන් යමක් කැප කර අරගලයට සහභාගි විය. නමුත් 9/11 ප්‍රහාරයට පසු බිහි වූ පශ්චාත්- තලේඛාන්වාදී නාගරික ගරිල්ලා ව්‍යාපාර වල මුඛ්‍ය ලක්ෂණය වූයේ ඒවා කැප කිරීම හෝ පරිත්‍යාගය මත පදනම් නොවී ‘විනෝදය’ (Enjoyment) මත පදනම් වීමයි.

අප මෙම ලිපිය ආරම්භයේ සාකච්ඡාව පටන් ගත් හිටපු ගරිල්ලා නායකයා විනෝද ආර්ථිකය මත පදනම් වූවෙකි. ඔහු බර්ලින් නුවර ජර්මානු රාජ්‍යය විසින් ලබා දුන් වරප්‍රසාද සහ දීමනා හරහා මධ්‍යම පාන්තික ජීවිතයක් ගත කිරීම පටන් ගෙන තිබුණි. සෑම සිකුරාදා දිනයකම පල්ලියේ සිට නිවස කරා යාමට භාවිත කරන ලද්දේ එකම මාර්ගයකි. බර්ලිනයට ගොස් පදිංචි වූවාට පසුව අරගලයට පසු පහසු ජීවිතයක් ඔහු ආරම්භ කර තිබුණි. විනෝද ආර්ථිකයක ගිලී ගිය ඔහු වැනි ජීවිතයක් විනාශ කිරීමට සතුරු රාජ්‍යයට ඉතා පහසු විය. තමන් සමඟ එකට සිටි අය පාවා දී විනෝදජනක පහසු ජිවිතයක් බර්ලිනයේ ගත කිරීම ඔහුගේ අරමුණ විය. නගරය තුළ මූලයන් නැති, ග්‍රාමීය සමාජ පරිසරයෙන් මුල් උදුරා ගත් මෙම පශ්චාත්-නූතන ගරිල්ලා නායකයන් උභයජීවීන්ය. ඔවුන් නගරයටත් නැති, ගමටත් නැති ඔ්පපාතිකයන් ලෙස නාගරික අවකාශය තුළ සැරි සරති. නාගරික ලෝකය තුළ සමකාලීනව පවතින සියළුම ඇබ්බැහියන්ට (මත්ද්‍රව්‍ය, නිල් සිනමාව, මුහුණුපොත්මේනියාව) මොවුහු අනාවරණය වෙති.

දේශපාලන අර්ථයෙන් ගත් කළ මෙම උභයජීවීන් ට “අවිඥාණය” යනුවෙන් දෙයක් නැත. සංස්කෘතිකමය වශයෙන් මෙවැනි පුද්ගලයන්ට අවිඥාණක ආශාව කියා දෙයක් නැත. සිග්මන් ෆ්‍රොයිඩ් 20 වන සියවස මුලදී න්‍යායගත කල ආශාව නීතිය ඉදිරියේ මර්ධනය කළ නියුරෝසිකයා හට විවිධ රෝග ලක්ෂණ ආදේශ විය. කට වැරදීම් හිස්ටීරියාව යනු මෙම රෝග ලක්ෂණ වලින් ප්‍රකට ලක්ෂණ දෙකකි. එමඟින් ප්‍රකාශ කරන ලද්දේ ශිෂ්ටාචාරය සතු මර්ධනීය ලක්ෂණයකි. මෙවැනි ලක්ෂණ පෙන්නුම් කරන මානසික ව්‍යුහයන්ට මනෝවිශ්ලේෂණයේ කථන භාශාව මඟින් ප්‍රතිකාර කළ හැකි බව ෆ්‍රොයිඩ් පවසන ලදී.

ඉහත අප විද්‍යමාණ කරන ලද ආශා කරන ආත්මය විසි එක්වන සියවස මුල වන විට සමකාලීන ධනවාදය මඟින් අභියෝගයට ලක් කර ඇත. කිසිවෙකු කලින් අනුමාණ නොකළ පරිදි ආශා කරන පුද්ගලයාට සමකාලීන පශ්චාත්- නූතන ධනවාදය තුළ තම අවිඥාණය මඟ හැර සෘජු ලෙස විනෝදයට සම්මුඛ විය හැක. ඒ අනුව සමකාලීන පරිභෝජන ධනවාදය තුළ අතෘප්තිය යන අදහස යල් පැණ ගිය යථාර්ථයක් බවට පත් වී ඇත. මේ හේතුව නිසා සමකාලීන පුද්ගලයන් සමාජය සමඟ එකඟතාවයන්ට එළඹීමෙන් ‘තෘප්තිය’ සොයා යනවාට වඩා සමාජ නිතිය උල්ලංඝණය කිරීමෙන් මහත් ප්‍රහර්ශයක් ලබයි. ආශාව යනු සමාජ පිළිවෙළ සමඟ කරන කොන්දේසි සහිත පරිමිත සතුටකි. පැරණි නූතනත්වය තුළ ආශාවේ අපරිමිත අගය සදහටම කල් දමා ඇති දෙයකි. මේ පැරණි අදහසට අනුව ගෙවිය නොහැකි ණයක් ගන්න එපා යනු නූතනවාදී සදාචාරයකි. නමුත් නුතන පශ්චාත්-නූතන පරිභෝජනවාදය තුළ දී අව්‍යාජව ජීවත් වීම සඳහා ඔ්නෑම මිළක් ගෙව්වාට කමක් නැත. දුර සිට බුදුන් ජීවත් වූ ප්‍රදේශය සිහි කරනවාට වඩා වැඩිහිටි බහුතරය අද උත්සහ කරන්නේ දඹදිව වන්දනාවේ යාමටය. එසේ දඹදිව වැඳ පුදා යළිත් කොළඹට එන අයගේ ගමන් මලු තුල Black Label විස්කි බෝතල් ගෙන ඒම දඹදිව වන්දනා ගමන් සංවිධානය කරන සංචාරක සමාගම් රහසින් ඉටු කර ඉන් විනෝද වීමද සමකාලීන යුගයේ තවත් හැඩයන් කිහිපයකි.

නුතන පශ්චාත්- නූතන ධනවාදී හර පද්ධතිය විසින් අලුත් ආරක නාසිස්මික පුද්ගලයෙකු බිහි කර ඇත. මේ පුද්ගලයා සෘජු ලෙස යොමු වී ඇත්තේ අපරිමිත විනෝදය දෙසටය. නමුත් මෙසේ කිරීම හරහා පුද්ගලයා සහ සමාජය යන ප්‍රපංච දෙකම විනාශයට පත් වෙයි. ආශාව මඟ හැර සෘජු ලෙස විනෝදයට මුහුණ දීමට යාම නිසා විනෝදය පවා අභියෝගයට ලක් වෙයි. මිනිසාගේ අවිඥාණක ආශාව බිහි වන්නේ ඔහු/ඇය සංකේත නීතියට දක්වන සහසම්බන්ධය මතය. ඉන් අදහස් වන්නේ පරිබාහිර අනෙකා යන්නට සබඳතාවයක් නැති තැන පුද්ගලයාගේ ආශාව යන්නම ප්‍රහෙලිකාවක් වන බවය. ආශාව අත්විඳීමට කෙනෙකුට අවශ්‍ය නම් ඒ කෙනා අනෙකාගේ සීමාව (ආදරය, පාසැල, පක්ෂය, සමාජය, රාජ්‍යය) දත යුතුය. පුද්ගල චර්යාව බිහි වන්නේ මේ සංකේත අනෙකාගේ සීමාව අවබෝධ කරගන්නා සන්දර්භයක් තුළය. නමුත් විනෝදය පමණක් පසුපස හඹා යන කෙනෙකුට තම ‘අනෙකා’ පිළිබඳ වගකීමක් නැත. මේ හේතුව නිසා මානසික ව්‍යාධීන් ආකෘති දෙකකින් මෙම සමකාලීන සමාජය තුළ බිහි වෙයි.

(1) පාලනයකින් තොරව ප්‍රේරණය වන නිසා පුද්ගලභාවයට හිමි මනස අහිමි වීම සහ ශරීරයක් රහිත ලුබ්ධි ඉන්ද්‍රීන් අධික්‍රියාකාරීත්වයකට ලඟා වීම. මෙය අධික පරිභෝජනය සහ මත්ද්‍රව්‍ය ඇබ්බැහිය මඟින් විද්‍යමාන වෙයි.

(2) අධිකතර ලෙස යම් යම් දේවල් වල අනන්‍ය වීම: මෙය අධිඅනන්‍යතාවය ලෙසද හැඳින්විය හැක. සමකාලීන මුහුණු පොත තුළ ඇත්තේ මොහාතින් මොහොත අනන්‍යතාවයන් දිය වී යාමයි. මෙහි ඊළඟ ලක්ෂණය වන්නේ සමීපතරයා අධික ලෙස අවිශ්වාස කිරීම සහ අසල්වැසියා තමන් නොවිඳින දෙයක් විඳිනු ඇතැයි යන ආකල්පය තුළ හිර වීමයි. මෙම තත්වය පශ්චාත්- නූතන ජාතිවාදය නිපදවයි. මෙමඟින් සමානයන්ගේ සමාජයක් බිහි වෙයි.

ඉහත ධනවාදයේ සිදු වී ඇති ව්‍යුහාත්මක වෙනස් වීම නිසා ගරිල්ලන් පවා තහංචියෙන් විනෝදය කරා විතැන් වී ඇත. සමකාලීන ගරිල්ලා භටයා පවා ධනවාදයට රහසින් ආශා කරන අතර තමන් නිසා ද ධනවාදය ප්‍රතිනිෂ්පාදනය වන බව ඥාණනය නොකරයි. මෙය ඔවුන් වටහා නොගන්නේ ඔවුන් අවිඥාණය විශ්වාස නොකරන නිසාය.

Deepthi Kumara Gunarathne

 

ඔබේ අදහස කියන්න...