පසුගිය ත්‍රිමාණ ලිපියෙන් පක්ෂයේ පොඩි එකා උත්සහ කර තිබුණේ, ‘කියවීම’ නම් ක්‍රියාකාරීත්වය ‘අත්දැකීමෙන්’ [experience] ව්‍යුහාත්මක තැනකට තල්ලු කිරීමට ය. එම ලිපිය කියවූ හිටපු විදුහල්පතිවරයෙක් ඒ ගැන පහත සටහන එවා ඇත.

                 ඉතාම කෙටියෙන් මෙම තත්ත්වය ගැන විවරණයක් කරන්නේ නම්, විද්‍යාත්මක අදහස් එදිනෙදා කටවහර හරහා පැහැදිලි කරන්නට ගිය විට දී ඇතිවන ව්‍යාකූලත්වයට මූලික හේතුව මීට වසර 70 කට පමණ පෙර එවකට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති අයිවර් ජෙනින්ස් විසින් මෙසේ පහදා ඇත. 

               “ සමාන අවස්ථා ලබා දීම අපි සාදරයෙන් පිළිගත යුත්තෙමු. දේශීය කටවහර [vernacular] හෝ ස්වභාෂා හෝ විශ්වවිද්‍යාලවල උගන්වන ප්‍රමිතිගත භාෂාවන්ට ගැළපෙන්නේ නැත. ඔබලා ලංකාවේ විශ්වවිද්‍යාල වලට මේ කටවහර ඇතුල් කර ගතහොත්, තව වසර 70කින් පමණ බිහි වන්නේ ව්‍යාජ පරමාදර්ශයන් වූ සන්නස්ගල, මුතු සර්, ජනා සර් වැනි ටියුෂන් ගුරුවරුන් ය.”

මේ පොත කියවන්න.

 

               නීති විද්‍යාලයේ ලතින් ඉගැන්වීම සහ ලංකාවේ විශ්වවිද්‍යාලවල ග්‍රීක්, ජර්මන්, ප්‍රංශ වැනි මානුෂික විද්‍යාවන්වල [Humanities]හරය ඉගැන්විය හැකි භාෂාවලින් ඉගැන්වීම දළ වශයෙන් අහෝසි වූයේ, 1962 වසරේ දී ය. ඉන්, විශ්වවිද්‍යාලවල සිංහල දෙමළ කටවහරින් විශ්වවිද්‍යාලවල ඉගැන්වීම ආරම්භ කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය ආරම්භ විය. මෙමඟින්, දේශපාලනය සහ රාජ්‍ය පරිපාලනයේ ප්‍රමිතිය බිඳ වැටීම ද ආරම්භ විය. අද වන විට, සිළුමිණ පත්‍රයේ සිංහල ලිපි පරිවර්තනය කර ඔබ්සවර් පත්‍රයේ පළ වන තරමට මාධ්‍ය කලාව සිංහල කටවහරට යටත් වී ඇත. පාරිභාෂික ශබ්ද වලින් ඉගැන්විය යුතු සහ ලිවිය යුතු විෂය කරුණු සඳහා හාල්පාරුවාන් විසින් පාවිච්චි කරන්නේ, ස්වභාෂා කටවහරයි. මහාචාර්ය ගම්ලත් විසින් 90 දශකයේ මුල දී මගේ භාෂාව හඩු යැයි කියද්දී, ඒ ගැන මා නිහඬ වූ අතර ඒ වරද නිවැරදි කර ගැනීමට මම උත්සාහ කළෙමි. ‘ප්‍රමිතිගත භාෂාවේ’ ආධිපත්‍යය ගැන අප වෙනමම කතා කළ යුතු ය. වෝඩ් පෙදෙසේ උපත ලද ජේ.ආර් ගේ මිත්‍රයෙක් වූ තම සීයා ගැන ආඩම්බර වන අර්ජුන පරාක්‍රම ප්‍රමිතිගත භාෂාවේ ආධිපත්‍යය ප්‍රශ්න කරන විට දී ඔහුට වුවමනා වූයේ, කොළඹ ප්‍රභූ පැළැන්තිය අතර අනන්‍යතාවයක් දිනා ගැනීමට ය. නමුත්, 95 වැනි ඈත කාලයක දී ඔහු මම ඩෙරීඩාගේ Of Grammatology සහ Positions කියවීම ගැන සැක කරන ලදී. අග මුල සොයා ගත නොහැකි මාගේ භාෂා ව්‍යවහාරය පිළිබඳව අර්ජුනට දිගටම තිබුණේ සංශයකි. මේ ගැටලුව ඊළඟට ඇති වූයේ, නලින් සුවාරිස්ට ය. එය, ඉන්පසු කුමුදු කුසුම් කුමාරට බෝ විය. වසර 2015 දීත් ඔහු බොරු නමකින් ලිපියක් ලියා ප්‍රශ්න කරන ලද්දේ, එඩ්මන්ඩ් හුසල්ගේ ‘ප්‍රපංචවේදය’ මට වැටහෙනවා ද කියා ය. මෙය, ඉන්පසු මගේ ශිෂ්‍ය පරම්පරාවට ද බෝ විය. ඔවුන්ගෙන් විශ්ව විද්‍යාලවලට ගිය ගැමියන් සමූහයකට ද මේ අසනීපය විශේෂයෙන් බෝ විය. නමුත්, ගැටලුව වන්නේ, මා ලංකාවේ මානුෂික විද්‍යාවන්ට කළ ගුණාත්මක පරිවර්තනය ඉදිරියට ගෙන යාමට මේ කිසිවෙකුට නොහැකි වූයේ මන්ද යන්නයි. 2004 වර්ෂයේ පොරවල් වූ මේ ගැමියන් අදටත් දෙසා බාන්නේ, මා විසින් ඉදිරිපත් කරන ලද සංකල්පීයකරණයන් පමණි. විශ්වවිද්‍යාල වලට කටවහර පැමිණීම සහ කටවහර මුහුණු පොත හරහා අධිනිශ්චය වීමේ ප්‍රතිඵල මඟින් ගම්‍යමාන වන්නේ, සමකාලීන සමාජ අර්බුදය යි. අද, විශ්වවිද්‍යාල ගුරුවරු මුහුණු පොතේ ලියන්නේ කටවහරයි. ඊට උත්තර දෙන ජහමනයා ලියන්නේ ද කටවහරයි. එම නිසා, අපට චරිත හේරත් සහ සනත් නිශාන්ත අතර වෙනසක් කියවීමට නොහැකි ය.

                අපි දැන්, අපේ මාතෘකාවට එමු. ‘අවිඥාණය’ වැනි සංකීර්ණ අදහසක් නැතහොත් ෆ්‍රොයිඩියානු අවිඥාණය යනු කුමක්ද කියා සරලව ඉගැන්විය නොහැකි ද? අපි දැන්, ඒ සඳහා ප්‍රයත්නයක් දරමු.

               අපි නිර්මාල්ගේ උපුටනයකින්ම පටන් ගනිමු. ඔහු වසර 2022 දී පහත පරිදි අර්ජුන පරාක්‍රම උපුටා දක්වන ලදි. වරක්, අර්ජුන පරාක්‍රම විසින් දීප්ති ගැන මෙසේ සඳහනක් කරන ලදි.

           “ මොනවා වුනත් මිනිහා ඔය කියන පොත්වල හැඳින්වීම් හරි කියවලා තියෙන බව පේනවා.”

               නිර්මාල් මෙමඟින් කරන්නේ, තමන්ගේ මතකයක් නැවත අලුත් කරමින් තමා දන්නා කරුණක් විදහා දැක්වීමයි. ඉහත උපුටනයේ ‘අන්තර්ගතය’ කුමක්ද යන්න වැදගත් නැත. ඉන් අදහස් වන්නේ, ඔහු මට අපවාදයක් යටි හිතෙන් අපේක්ෂා කළා ද යන්න අපගේ සාකච්ඡාවේ දී අදාළ නොවන බවයි. වැදගත් වන්නේ, ආකෘතියේ තර්කය යි.

නමුත්…

මම මෙතැන එංගලන්තයේ දී දර්ශනය ගැන ශාස්ත්‍රීය අධ්‍යනයක් කළ වංගීස සුමනසේකරගේ ‘ආත්මීයත්වය සහ භෞතික ලෝකය’ යන පොතෙන් කොටසක් උපුටා දක්වමි.

              “ ඡාක් ඩෙරීඩා, මිචෙල් ෆූකෝ විසින් ස්ථාපනය කරන ලද ‘උමතුව’ විසංයෝජනය කරන අතරතුර ඩෙකාට්ස්ගේ එක පදයක් ළඟ නතර වී මෙසේ අසයි.  

      “ නමුත්…….”

 

              අප සාමාන්‍යයෙන් ‘නමුත්’, ‘එහෙත්’, ‘කෙසේ වුවත්’ ආදී වචන යොදා ගන්නේ කුමන අවස්ථාවල දී ද? අප එය යොදා ගන්නේ, එම වචනය ප්‍රකාශ කිරීමට පෙර කියූ අදහසකට වෙනස් වූ අදහසක් ප්‍රකාශ කිරීමට ය.”

  • පිටුව 52 – 

 

                 මම වංගීසට වඩා තවදුරක් ගමන් කරමින් මෙසේ කියමි. ඉහත ‘නමුත්’ වචනය, සංකල්පය ලියන්නේ මම මුත් එය නිර්මාල්ට  ගැළපෙන සන්දර්භයක දී ද ‘නමුත්’ යෙදිය හැකිය. (මෙතැන දී, මොළය හිරි වැටීමක් සිදු වෙයිද?)

               නිර්මාල් මීට වසර 17 කට පමණ පෙර ‘ලන්ඩන්’ අවසාන සඟරාවේ 6 වන පිටුවේ මෙසේ ලියා ඇත.

 “ දීප්තිගේ කියවීම් අරබයා සුමිත් විසින් කරන ලද නිරීක්ෂණයක් බුද්ධික වාර්තා කර ඇත. සුමිත්ගේ ප්‍රකාශය මෙසේ ය. “ ලොක්කා පොත්වල (ඉංග්‍රීසි පොත්?) ඉරි ගහලා තියෙන්නේ හරිම අතාර්කික (irrational) විදිහකට. වාක්‍ය කෑලි වලටත් ඉරි ගහලා.”

 

            ඉහත උපුටනය පවා අන්තර්ගතය හිස් එකක් ලෙසින් ගනිමු. එනම්, ඉහත නම් සඳහන් කිසිවෙකු එසේ කියා ඇත්තේ මා හට අපහාස කිරීමට නොවේ. එම කරුණු සත්‍ය යැයි අපි හිතමු. එසේ නම්, මා මතු කරන ගැටලුව කුමක්ද?

             අවස්ථා දෙකක දී (2005/2022) නිර්මාල් මා සම්බන්ධයෙන් මතු කරන ප්‍රකාශ දෙක සහ ඉන් ඇති කරන ලද ප්‍රතිඵල අතර සම්බන්ධයක් නැත. උදාහරණයක් ලෙස, 2005 දී ඉහත ප්‍රකාශය කියවා කෙනෙකු හිතුවොත් දීප්තිට ඉංග්‍රීසියෙන් කියවන්න බැහැ කියලා, ඒක ඒ කෙනාගේ අදහස. ඒ අදහසට හෝ අවබෝධයට නිර්මාල් වගකිව යුතු නැත. මන්ද, නිර්මාල්ට එහෙම චේතනාවක් සබුද්ධික, තාර්කික තලයක නැති බැවිනි. ඔහු, කියන්න හදන්නේ වෙනත් දෙයකි.

            නිර්මාල්ගේ ඉහත උපුටනයන් දෙක සමාජ ලෝකය තුළ නිපදවන ප්‍රතිඵල, අරමුණු, ඉලක්ක, කැපවීම් නිර්මාල්ගේ ප්‍රායෝගික අවශ්‍යතාවයක් නොවේ. එය, බාහිර ලෝකයේ ජීවත්වන මිනිසුන්ගේ හර පද්ධතියට අදාළව ගන්න ප්‍රායෝගික තීන්දු-තීරණ වලට අදාළ දෙයකි.

             සරලව කිවහොත්, නිර්මාල් විසින් දීප්ති ගැන ලියන දෙයක් නිසා දීප්තිට නින්දාවක්, අපහාසයක් වෙනවා නම්, ඒකට ඒජන්තයෙක් හැටියට නිර්මාල් වගකිව යුතු නැත. එවිට, අපි මෙතැනදි ‘සමාජ සදාචාරය’ අත්හිටුවා නිර්මාල්ගේ ‘ආචාර-ධර්මී ක්‍රියාවට’ සද්භාවාත්මක පැවැත්මක් ලබා දෙන්නෙමු. ඔහුගේ ‘නිදහස’ අපි පිළිගන්නෙමු.

                ඒජන්තයා සහ වගකීම [Agent and responsibility] පිළිබඳ සමාජ සදාචාරය සමාජ සබඳතා තුළ දී අසමමිතික ය. රාජපක්ෂ පවුලට සහයෝගය දුන්න චරිත හේරත් දූෂණය වංචාවට එරෙහි වීරයෙක් වෙයි. අනෙක් පැත්තෙන්, ඒ දෙයම කළ සනත් නිශාන්ත මැරයෙක්, දුෂ්ටයෙක් වෙයි. සමාජය තුළ දී සදාචාරය මෙලෙසින් දෙකට පැලෙන්නේ ඇයි?

                 අපි මොහොතකට මෙහෙම හිතමු. යම් කිසි පුද්ගලයෙක් මාක්ස්වාදය විශ්වාස කර, ලෝකය යහපත් අන්තයකට වෙනස් කරන්නට වෙර දරයි. අවසානයේ දී, ලෝකයේ යහපත් වීම වෙනුවට ස්ටාලීන් බලය ලබා ගෙන විප්ලවය නිලධාරීවාදයකට සීමා කර එය විනාශ කරයි. ඉහත අප හැදින්වූ අවංක මාක්ස්වාදියා ඉහත ඵල විපාකයට වගකිව යුතු ද? හෛඩගර් කියන්නේ, යුරෝපයේ කාර්මික ධනවාදයට සහ ආධ්‍යාත්මිකව හිස් වී ගිය ක්‍රිස්තියානි ආගමට එරෙහි මිනිස් සත්තාවේ අරමුණ කුමක්ද යන්න බටහිර දර්ශනය තුළ දී සන්දර්භගත කළ දාර්ශනිකයා ය. නමුත්, හිට්ලර් විසින් සිදු කළ ඝාතන වලට ඔහුට වගකීමට සිදු වුණි. විජේවීර සහ ප්‍රභාකරන්ට ලංකාවේ අලුත් රාජ්‍යයක් හදන්නට වුවමනා වුණි. අන්තිමට, ‘මිනීමරුවෝ’ කියන ලාංඡනය ගහගෙන වැඩේ නතර වුණි. යහපත් අරමුණුවල ඵලවිපාක හරිම අවිනිශ්චිතය. චන්ද්‍රිකාගේ ලිබරල්වාදය අවසන් වූයේ, චම්පික-රතන-කුමාර්ගේ සිංහල ජාතිවාදයෙනි. මේ දේවල් වලින් පැහැදිලි වන්නේ, බාහිර යථාර්ථය සහ ජීවමාන යථාර්ථය අතර වෙනසක් තිබෙන බවයි. ඉහත චිත්ත පරීක්ෂණ 2 මෙසේ සලකුණු කරමු.

 

1. X කියලා පුද්ගලයෙක් කරන ක්‍රියාවක් නිසා හටගන්නා සිදුවීමට එම X කියන පුද්ගලයා වගකිවයුතු නැහැ කියලා එන සංසිද්ධිය.

 

2. X කියලා පුද්ගලයෙක් කරන ක්‍රියාවක් නිසා හට ගන්නා සිදුවීමට, ඵල විපාකයට X කියන පුද්ගලයා වගකීමෙන් බැඳී සිටිය යුතුය. සරලව කිවහොත්, ප්‍රතිඵලය අනපේක්ෂිත වූවත් එයට X වගකිව යුතුය.

අපි දැන් නිර්මාල් විසින් ඇති කරන ලද සිදුවීම් දෙකට නව හැරවුමක් යෝජනා කරමු. සබුද්ධික, ධනාත්මක ලොවක නිර්මාල් මා සම්බන්ධයෙන් ඇති කළ ඵල විපාකය කිසිදු ආකාරයකින් නරක චේතනාවෙන් කළ එකක් නොවේ. මන්ද, ඒ අවස්ථා දෙකේදී ම ප්‍රකාශයේ අන්තර්ගතය [content] අදාළ නැති බැවිනි. නමුත්, මේ ප්‍රකාශන දෙකේම තිබෙන්නේ, එකම ආකෘතිය යි.[Excess logic of Form] ඒ අනුව, සිදුවීම් දෙක අතර වසර 17 ක විතර පරතරයක් තිබුණාට එකම ආකෘතියක් පුනරාවර්තනය [repetition]වෙයි. එනම්, ෆ්‍රොයිඩ් විසින් සොයාගත් අවිඥාණයේ එක ලක්ෂණයක් වන්නේ, අවිඥාණය කියන ව්‍යුහය නැතහොත් ගොඩනැංවීම යළි යළිත් හට ගන්නවා කියන එකයි. අපි මොහොතකට උපකල්පනය කළොත් මේ සිදුවීම් දෙකේදී පුනරාවර්තනය වන්නේ නිර්මාල්ගේ අවිඥාණය කියලා, එය හටගන්නා හේතු-ඵල සම්බන්ධය සමකාලීන භාෂා ලෝකය තුළ නැත. කියවන්නා කියවන්නේ, ලියන කෙනාගේ සන්දර්භයට පිටින් නිසා නිර්මාල්ගේ අවිඥාණයේ හේතු-ඵල සම්බන්ධය ව්‍යුහගත වන්නේ, අනෙකාගේ සන්දර්භයකදී ය. ඉහත සිදුවීම් දෙකම කියවන කියවන්නියගේ සංඥා ලෝකයට පිටතින් පවතින අලුත් සංඥාවක්, නිර්මාල් සම්බන්ධයෙන් යෝජනා කිරීමට මම කැමැත්තෙමි.

               මගේ යෝජනාව ඉතාම හිතුවක්කාරී සහ කඩාකප්පල්කාරී පුද්ගලික එකකි. කියවන්නිය කියවන නිර්මාල් සහ මා අතර ඇත්තේ, තාර්කික සහ ඥාණ-විභාගාත්මක සම්බන්ධයක් (දැනුම) පමණක් නොවේ. අප අතර අවිඥාණක බැඳීමක් ද ඇත. [unconscious relation] මා මේ කියන්නට යන්නේ, නිර්මාල්ට මා ද සම්බන්ධ වී බිහි වූ ක්ෂතිමය [Trauma] සිදුවීමකි. අපි දැන්, එම සිදුවීම [event] උදාහරණයක් කර ගනිමු.

             මේ සියවසේ මුල වසරක දී, මල්ලිකා මනුරත්න [එක්ස් සංවිධානයට දෙවන වර ජවය දුන් ගැහැණිය- 2001- 2005]දිනක් මට සුභාරංචියක් ගෙනාවා ය. ඇය කීවේ, ඇයට ”ටාජ් සමුද්‍ර” හෝටලයේ දිවා භෝජනය සඳහා ටිකට් පත්‍ර දෙකක් ලැබුණු බවයි. ඊට සහභාගි වීමට මට ඇය ආරාධනා කරන ලදී. එහි දී, මා ඇයට කොන්දේසියක් පැන වූ අතර කොන්දේසිය වූයේ, නිර්මාල්වත් මේ ගමනට සහභාගී කරගත යුතු බවයි. ඇය, ඊට අකමැත්තෙන් එකඟ විය. අප හෝටලයට ගොස් ආහාර පිඟන්වලට බෙදා ගෙන මේසයට ගොස් ආහාර ගැනීමට සූදානම් විය. මා සහ මල්ලිකා හැඳි-ගෑරුප්පු වලින් ආහාර ගත් අතර නිර්මාල් අත්ල යොදාගෙන ආහාර ගත්තේය. එක්වරම, මල්ලිකා මා වෙත කෝපය මුදා හරින ලදී: “ මං ඔයාට කිව්වනේ මෙයාව මේ වගේ තැන්වලට එක්කරගෙන එන්න එපා කියලා. අපේ තත්ත්වයත් නැති කරනවා.”

 

               ෆ්‍රොයිඩ්ගේ විග්‍රහයට අනුව, මල්ලිකාගේ එම ප්‍රකාශය නිසා නිර්මාල් තුළ කිසිදා සුව නොවන තුවාලයක් නැතහොත් ක්ෂතියක් ඇති වීම වැළැක්වීමට නොහැකි ය. ලැකාන්ට අනුව කිවහොත්, නිර්මාල්ගේ යථාර්ථය ආන්තික කරවා (Reality is Marginal) ඔහුගේ ‘සැබෑව’ (Real) සංකේත ලෝකය තුළ මැකී යයි. උදාහරණයක් ලෙස, නිර්මාල්ගේ භාෂාව තුළ මල්ලිකා මනුරත්න නම් ජීවියෙකු කොතැනකවත් නැත. සරලව කිවහොත්, ‘ඇයව’ ඔහුගේ අවිඥාණය විසින් සිහිකටයුතු ලෝකයෙන් ඉවත් කර ඇත (Subtraction). මින් අදහස් වන්නේ, නිර්මාල්ගේ අසංගතභාවය රැඳී ඇත්තේ, බාහිර ලෝකය තුළ නොව ආත්මීයත්වය තුළ බවයි. මල්ලිකා නිර්මාල්ගේ ආත්මීයත්වය තුළ ප්‍රාදුර්භූත කළ විනෝදය නැතහොත්, වේදනාවෙන් සතුටු වීම තාර්කික පවුරු බිඳ දමමින් යළි යළිත් පුනරාවර්තනය වෙයි.

             මා ඉහත කියන්නේ, නිර්මාල්ගේ ක්ෂතිමය අත්දැකීමේ හේතු-ඵල සම්බන්ධය මල්ලිකා යන්න නොවේ. නැතහොත්, නිර්මාල්ගේ ආත්මය බිහි කළ හේතුව මල්ලිකා යන්න ද නොවේ. මගේ යෝජනාව ලැකානියානු ආප්තයකි. මල්ලිකා යනු, නිර්මාල්ගේ ෆැන්ටසියක් පසුආවර්තිතව ගොඩනගන ක්ෂතියකි. මේ ෆැන්ටසිවල අන්තර්ගතය කොහෙත්ම වැඩක් නැත. ඒවායේ අන්තර්ගතය තුළ සිටින පුද්ගලයන්ගෙන් ද වැඩක් නැත. සලකා බැලිය යුත්තේ, යළි යළිත් පුනරාවර්තනය වන මල්ලිකා ෆැන්ටසියේ ආකෘතිය යි. එනම්, මට ඇය අහිමි වූයේ, ඔහු නිසා යන ආකෘතිය යි. එය, නිර්මාල්ගේ අවිඥාණක ආශාව ලෙස හැඳින්විය හැකි ය. මගේ යෝජනාව වන්නේ, හෝටලයේ සිදුවීම ඇත්ත එකක් ද බොරුවක් ද යන කරුණුමය සත්‍යය නොවේ. ඊට පරස්පරව, අපගේ ආත්ම මූලිකත්වය [subjectivity] විඥාණයට පරස්පරව අනෙකාගේ ආශාව දෙසට දිශානත වීමයි. ඇය, අපගේ උත්පාද ලක්ෂය සේම විනාශයේ ලක්ෂය ද වෙයි. අප අනුභූතිකව සමරන ජීවිතය අයත් වන්නේ, සමාජ වෙස් මුහුණ ආරක්ෂා කිරීම පැත්තටය. නමුත්, අපගේ සැබෑ ජීවිතය සමහර සබුද්ධික සළකුණු මගින් විටින් විට අපගේ සිහිය තුළම ගැවසෙයි. අප එය අභිරහසක් කරවන තරමට එය වේදනාවට බර වෙයි.

               අප නිර්මාල්ගේ සිදුවීම් දෙකට අදාළව ඉදිරිපත් කළ පළමු ප්‍රවාදය වූයේ, නිර්මාල් විටින් විට ලියන ප්‍රකාශනවලට නිර්මාල් ඒජන්තයෙක් ලෙස වගකිව යුතු නැති බවයි. නැතහොත්, ඒ ගැන ඔහුට වරදකාරී හැඟීමක් නැති බවයි. නමුත්, ඔහු සහ මා එක්තරා වැළලී ගිය අතීතයක කොටස්කරුවන් වන්නෙමු. අප දෙදෙනා මැද ස්ත්‍රී මෘත ශරීරයක් ඇත. ‘ඇය’ ගැන තමලු මලිත්තට හෝ බුද්ධිකට හෝ සුමිත්ට මතකයක් හෝ ස්මරණයක් නැත. මගේ ඉංග්‍රීසි දැනුම නම් අන්තර්ගතයේ වේශයෙන් එන ”ආකෘතිය” ස්ත්‍රියකි.[unknown woman]

                අප දෙදෙනාගේ ඉතිහාසය නොදන්නා කියවන්නියක් අපගේ ලිවීම් තුළ කුමන අන්තර්ගතයක් සොයා ගත්තත්, එය අපට පහසු ය. අප දෙදෙනාගේම ජීවිත මහත් සේ වෙනත් මාර්ග වලට හැරවූ ඇය වෙනුවට එතැනට තමලු මලිත්ත හෝ වෙන ඕනෑම හොල්මනක් ආදේශ වීම අපගේ ‘සැබෑව’ වෙනත් තැනකට විස්ථාපනය කිරීමකි.[ideological displacement] ඇයගේ ජීවිතය අකාලයේ විනාශ වී යාමට අප දෙදෙනාම වගකිව යුතු යැයි සිතන කිසිදු මිනිස් ප්‍රාණියෙක් අප දෙදෙනාගේම ප්‍රේක්ෂකාගාරය තුළ නැත.[Specters of Mallika: The State of the Debt, the Work of Mourning and the New International.]

නමුත්, අවිඥාණිකව අප දෙදෙනාම ඇයගේ විනාශයට වගකිව යුතු ය. නමුත්, එය අවිනිශ්චිත, අවිශ්වාස කළ හැකි අදහසකි. අපව වරදකරුවන් ලෙස හඳුනාගත හැක්කේ අනාගත කොමියුනිස්ට් ආත්මයකට පමණි. එය, එසේ වන තුරු අපට සැනසිල්ලේ ජීවත් විය හැකි ය.

 

අනුරාධා ! 

මම කලාකරුවෙක් ද? 

Deepthi Kumara Gunarathne.

 

ඔබේ අදහස කියන්න...