ජුලියන් අසාන්ජ් යනු කවුදැයි යන්න ලෝකයේ සිටින බහුතර ජනතාවක් දනිති. ඔහු ඇමරිකානු රාජ්‍ය ආයතනයක් වන CIA සංවිධානයේ බලය (Power) ක්‍රියාත්මක වන රහස්‍ය ආකෘතිය විකේතනය කළ පුද්ගලයා ය. මේ හේතුව නිසා, පසුගිය දශකයක කාලයක් තුළ ඔහු සන්නද්ධ විප්ලවවාදී අරගලකරුවෙකුටත් වඩා වාම දේශපාලනය තුළ ජනප්‍රිය විය. නමුත් බොහෝ දෙනෙකුට ප්‍රහේලිකාවක් වූයේ ඔහුව අත්අඩංගුවට පත්වූ පසුබිම් කතාවයි.

 

            විකිලීක්ස් වෙබ් අඩවිය විසින් ඇමරිකන් රාජ්‍ය රහස් හෙළිදරව් කළ මුල් අවධියේදී, (2010 වර්ෂය) අසාන්ජ් හට විවිධ දේශන සඳහා ආරාධනා ලැබුණු අතර ස්විඩනයේදී පැවති එක් දේශනයක් අවසානයේ දී, සුන්දර බුද්ධිමත් තරුණ කාන්තාවන් ඔහු සමඟ නිදහස් ගමනාන්තයක් කරා ගමන් කිරීමට යෝජනා කරන ලදී. ඒ අනුව, ඔහුගේ නියුරෝසික දේශපාලන ආශාව යටපත් වී මොහොතකට විපරිත පරපීඩා ආශාව අධිනිශ්චය විය. එම ලිබරල් නිදහස් ලිංගික සම්බන්ධය පසුදින සිට අසාන්ජ් අමතක කරන මුත් අර කී තරුණිය තමන්ට ලිංගිකව අඩත්තේට්ටම් කළ බවට පැමිණිල්ලක් අසාන්ජ්ට විරුද්ධව දමයි. මෙමඟින් සියල්ල කණපිට හැරීම ආරම්භ විය.

           ගැටලුව වන්නේ කුමක්ද? එක පැත්තකින් අතිශය ප්‍රගතිශීලී ආකාරයට ඇමරිකන් අධිරාජ්‍යයේ රහස් එළියට දමන පුද්ගලයෙක් , අනෙක් පසින් තමා සමඟ විවෘත ලිංගික සම්බන්ධයකට එන තරුණියකට ලිංගික අඩත්තේට්ටම් කරන්නේ මන්ද යන කාරණය යි. මෙතැනදි, ඔහුගේ ළමා කාලය පිළිබඳව තිබෙන කතන්දර බොහෝමයක් මනෝවිද්‍යාත්මක ය. අසාන්ජ්ට ළමා කාලයක් නොතිබුණු අතර ඔහුගේ මවගේ විවාහය විටින් විට දෙදරා යාම නිසා ඔහු නන්නත්තාර වී ඇත. මේ හේතුව නිසා අසාන්ජ්ගේ ආශාව ඔහුටම ප්‍රහේලිකාවක් විය. යම් කෙනෙකු අමාරුවේ වැටෙන්නේ මෙම ආශාව නිසාය. මන්දයත්, ආශාව සෑමවිටම තෘප්ත නොවන අතිරික්තයක් ඉතුරු කරන නිසාය. විප්ලවවාදී පක්ෂයක් නැතිව නිදහස් දේශපාලනය තුළ විප්ලවවාදී වැඩ කරන්නට යන අයගේ ඉරණම  අසාන්ජ්ගේ අවසානයට වෙනස් නැත. අපට අපව හික්මවා ගන්නට පිටතින් යම් බලයක් අවශ්‍යය. අද කාලයේ යම්කිසි කෙනෙකු ලෙනින්වාදී පක්ෂයක් අවශ්‍ය නැත යනුවෙන් හඬගාන්නේ නම් කරුණාකර ඔහුගේ/ ඇයගේ ආශාවේ මූලධර්මය -LIBIDOව-වටහා ගන්න! දෘශ්‍යමානයේ දී, එවැන්නන් අතිශය බැරෑරුම් සංවාද මෙහෙයවන බවට සැකයක් නැත.නමුත් පිටුපස පැත්තෙදී, ස්ත්‍රියකගේ මුහුණට කෙළ ගසා කොණ්ඩයෙන් හොලවා බෙල්ල මිරිකන්නෙකුද ඔබට පෙනෙනු ඇත. මේ දෙවෙනි පැත්ත නැතිව පළමු පැත්ත නැත.

                ලියොන් ට්‍රොට්ස්කි සිතූ ආකාරයට, මිනිසා සොබාදහම ජය ගෙන සෘජු ලෙස සංස්කෘතියට ඇතුළු වන්නේ නැත. මිනිසා යනු අපූර්ව සත්වයෙකි. මිනිසා සොබාදහමින් සංස්කෘතියට ගමන් කරද්දී උමතුව නම් පැසේජයක් තුළින් ගමන් කරයි. ජුලියන් අසාන්ජ් හට තමා කවුද යන ප්‍රශ්නයට ඍජු පිළිතුරක් නැත.  බහුතරයට සහ ඔහුට අනුව ඔහු මේ සියල්ල කළේ, ප්‍රජාතන්ත්‍රවාදය සහ පාරදෘශ්‍යභාවය වෙනුවෙනි. නමුත් පුද්ගලයාට පවුලෙන් සෘජු ලෙස සමාජ සබඳතා ලෝකයට යා නොහැකිය. ඒ සඳහා, ඔහු/ ඇය අමතර දුරක් දිවිය යුතුය. ඒ උමතුව නම් අමතර දුරයි. ජුලියන් අසාන්ජ්ට තම අසාර්ථක ළමාවියෙන් සාර්ථක දේශපාලන ප්‍රකාශකයෙකු වීමට නම්, යම් ස්ත්‍රියකට අතරමැදදී පහර දිය යුතුය. ‘ආත්මයට’ ධනාත්මක විද්‍යාවක් නැත. එයට ඇත්තේ නාස්තික-Negative- විද්‍යාවකි. මෙම නාස්තික විද්‍යාවට සමකාලීන ලාංකීය දේශපාලනය තුළ වඩාත්ම බියවන්නේ වාමාංශිකයන් ය. දේශපාලන පක්ෂ විනයකින් තොරව පුද්ගලයාට ස්වයං හීලෑ වීමක් නැත. මෙය කාන්ට්ගේ ආප්තයකි. 

             පසුගිය දිනෙක, ජවිපෙ විසින් සංවිධානය කළ සම්මන්ත්‍රණයකදී, ඉතා සංවේදී දෛනික ජීවිතයේ දේශපාලනය කතා කළ පුද්ගලයාට ‍ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් කිසිදු විශ්වවිද්‍යාල තනතුරකට බඳවා ගත යුතු නොවන කෙනෙක් ලෙස චක්‍ර ලේඛණයක් පවා නිකුත් කර ඇත. හේතුව වන්නේ, ශිෂ්‍යාවන්ට ලිංගික අඩන්තේට්ටම් කිරීමයි. රුවිනි තල්පාගොඩ (නම වැරදියට සඳහන් කොට ඇත) නම් තරුණියට පහර දීම සම්බන්ධයෙන්ද මේ පුද්ගලයාට (2007 වැනි ඈත යුගයක) විරුද්ධව චෝදනා එල්ල විය. දැන් මේ පුද්ගලයා සම්බන්ධ මෙම අපරාධකාරී චෝදනා, (මධ්‍යම පාන්තික ලැජ්ජාව සහ ලංකාවේ #MeToo movement  වර්ගයේ ව්‍යාපාරයක් නැති නිසා) ඉදිරි දිනෙක ‘ජනතා විමුක්ති පෙරමුණ’ පවත්වන මාධ්‍ය සාකච්ඡාවක දී ප්‍රශ්න නැඟිමට අප සංවිධානය බලාපොරොත්තු වෙමු. සාරුවා සුනිල්ලා සිටින්නේ, ඇල්පිටියේ පමණක් නොවන බව ජවිපෙ මහත්වරුන් හොඳින් මතක තබාගත යුතුය.

            දැන් මේ චෝදනා ගැන ඊනියා ප්‍රගතිශීලීන් දක්වන ප්‍රතිචාර ගැන අපි හොඳින් දන්නෙමු. ”අපිට ඔය පුද්ගලික ප්‍රශ්න වැඩක් නැත.” අර කී සම්මන්ත්‍රණයේදී කතා කළ සිංහල-බෞද්ධ සිමොන් දි බුවාර්ගෙන් අපි මෙසේ සෘජු ලෙස අසන්නෙමු. ”ඔබගේ දියණියගේ කොණ්ඩයෙන් ඇදගෙන පඩිපෙලක් දිගේ පහළට ඇදගෙන විත් මුහුණට නිල් වන්නට යමකු පහර දුන්නොත් ඔබ යන්නේ පොලීසියටද නැතහොත් මානව හිමිකම් කොමිසමට ද?”

            තාරික් රාමදාන් යනු බටහිර ලෝකයේ වඩාත්ම ජනප්‍රිය ඉස්ලාමික දාර්ශනිකයා ය. තේල්ස් සිට ඩෙරීඩා දක්වා දර්ශන විෂය ගැන වතුර මෙන් කතා කිරීමට හැකිය. ලෞකිකත්වය සහ ආගම අතර ඇතිවී ඇති නව විරුද්ධාභාසය ගැන හොඳම ප්‍රවාද ගොඩ නංවා ඇත්තේ ද ඔහුය. නමුත් මේ මෑතකදී, ප්‍රංශ තරුණියක් සහ අංගවිකල භාවයෙන් පෙළෙන තරුණියක් ඔහුට විරුද්ධව බරපතළ ලිංගික අපචාර චෝදනා එල්ල කර ඇත. එක් තරුණියක් පාපොච්චාරණය කරමින් කියා සිටියේ, තාරික් රාමදාන් ප්‍රසිද්ධ දේශනයක් කරන අතරවාරයේ Q & A අවස්ථාවේදී ඔහු නැවතී සිටින කාමරයට පැමිණ තමා දූෂණය කොට නැවත දේශන ශාලාව වෙතට ගිය වගයි. මෙම සිදුවීම් නිසා බටහිර ඇකඩමික (තාරික් රාමදාන් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ තුලනාත්මක ආගම් ගැන මහාචාර්යවරයෙකි) සංස්කෘතියම පතුලෙන් කම්පා වී ඇත.

              මීට අමතරව, අවිතාල් රොනෙල් නම් අතිදක්ෂ සාහිත්‍ය මහාචාර්යවරියකට එරෙහිව ලිංගික අඩත්තේට්ටම් චෝදනා යටතේ සමලිංගික ශිෂ්‍යයෙක් චෝදනා කර ඇත. නිව්යෝර්ක් විශ්වවිද්‍යාලයේ විසංයෝජනය පිළිබඳව ඩෙරීඩාගේ හොඳම ශිෂ්‍යාවක් වන අවිතාල් රොනෙල් යනු ලෙස්බියන් කාන්තාවකි. ඒ අනුව, ලෙස්බියන් කාන්තාවක් සමලිංගික පිරිමියෙකුට හිරිහැර කර ඇත. ස්ලාවෝජ් ජිජැක් මේ සම්බන්ධයෙන් මෙසේ ප්‍රකාශ කර ඇත. ”නූතන බල සබඳතා ලෝකය තුළ හටගත් තවත් අශ්ලීල හෙළිදරව්වක්. ‘මම දන්නා අවිතාල් රොනෙල් නම් එහෙම කෙනෙක් නෙමෙයි’ ”.

               ඉහත උදාහරණ වැල හරහා අප ප්‍රකාශ කරමින් සිටින්නේ, අප මේ ජීවත්වන යුගයේ යහපත මතට වැටී ඇති අශ්ලීල හෙවනැල්ලයි. අර්බුදය දැන් කෙතරම් මෝරා ගොස් තිබේද කිවහොත්, ජනතා විමුක්ති පෙරමුණට පවා අද කුලියට ගැනීමට සිදුවී ඇත්තේ ලිංගික අපරාධකරුවන්ය. අවශ්‍ය නම්, මිනීමරුවන්ට මෙය සිනහවට ගත හැකි කරුණකි. ‘අයියෝ ඕවා පොඩි දේවල් නේ?’ දේශපාලන ගැටලු, සමාජ ගැටලු සංස්කෘතිය සහ සදාචාරය දක්වා ඌනනය කරන බවක් මින් ගම්‍ය වන්නේ නම් එය අපගේ දෝෂයක් නොවේ. ධනවාදී ආර්ථිකය පුළුල් වන විට ලංකාවේ අධ්‍යාපන ආයතන පද්ධතියම පිරිහී ඇත. විශ්වවිද්‍යාලවල ගුරුවරුන්ට ඉහළ වැටුපක් ගෙවතත් ඔවුන්ගේ සේවයේ ගුණාත්මක තත්ත්වය බින්දුවටම වැටී ඇත. එබැවින්, මෙම කරුණු කිම නිසා අපගේ තරහකරුවන් ලැයිස්තුව දිගු වන බව අප නොදන්නවා නොවේ. මේ දේවල් වලට, දිලිත් ජයවීර සම්බන්ධ වීම ගැන අප පුදුම නො වන අතර මේවාට ප්‍රචාරක කටයුතු ජවිපෙ විසින් කරන විට ඒ ගැන ප්‍රශ්න කළ යුතුය.

            පවතින දුෂ්ට, අමානුෂික සමාජ ක්‍රමය වෙනස් කිරීම අත්‍යවශ්‍ය බව අපගේ පිළිගැනීම වුවත්, ඒ සඳහා අප කරට අත දා ගන්නේ අපරාධකරුවන් නම් ඔවුන් විසින් ඇති කරන ධනවාදයට වඩා විනාශකාරීය. ග්‍රාමීය දුගීභාවය ගැන කතා නොකර මැද පාන්තිකයන්ගේ ඕලාරික ලිංගික ජීවිතය ගැන උලුප්පා කතා කිරීම අපගේ මෝස්තරය නොවේ. දශක දෙකක් තිස්සේ අප කළේ ෆ්‍රොයිඩ් කළ දෙයයි. එනම්, හැමදෙයක්ම ලිංගික යැයි සිතීම දෘෂ්ටිවාදයක් බව පෙන්වා දීමයි. නිදි ඇඳේ පැවති විපරිත ලිංගික ෆැන්ටසීන්, ඇකඩමියාවට සහ දේශපාලනයට වැද්ද ගත්තේ අප නොව ලංකාවේ පාදඩ මධ්‍යම පන්තියයි. ලෙනින්වාදී පක්ෂයක විනය අප නැවත නැවත අවධාරණය කරන්නේ, විපරිතයන් පරාජය කිරීම (ජාතිවාදය සහ විවිධ අනන්‍යතා දේශපාලනය) අද දවසේ අපගේ ප්‍රධාන කර්තවය නිසාය.

Deepthi Kumara Gunarathne

 

ඔබේ අදහස කියන්න...