මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වූ වහාම මගේ මතකයට පැමිණියේ පීටර් ෂාෆර් නම් නාට්‍යවේදියාගේ අපූර්ව නාට්‍යක් වූ “අශ්වයෝ” (Equus) නම් නාටකයයි. මෙම නාටකය 2007 ඔක්තෝබර් මාසයේ බ්‍රිතාන්‍ය පාසලේ රංග ශාලාවේදී  නිරූපණය කරන ලදී. එහි ලාංකීය නිෂ්පාදනය නිර්මාණය කරන ලද්දේ ස්ටීව් ඩී සිල්වාය.

                      “අශ්වයෝ” නාට්‍ය යේ තේමාව අප ගේ සැහැසි ආශාවන් කුලුප්පන සුළුය. නාට්‍ය නරඹන අතරතුර ඔබට දැනෙන්නේ ඔබගේ අශාවන් ඔබට වඩා හොඳින් නාට්‍යකරුවා අවබෝධකරගෙන සිටින සැටියකි.

                     කතාව අප කරා එන්නේ මනෝවෛද්‍යවරයෙකුගේ දෘෂ්ටිකෝණයෙනි. මාටින් ඩයිසාර්ට් යනු ඔහුගේ නමයි. පොලීසිය විසින් ඔහුට යොමු කරන ඇලන් ස්ට්‍රෑන් යනු අපගේ කතා නායකයා ය. කිසිවෙකුට සිතාගත නොහැකි සාහසික අපරාධයක් ඔහු සිදු කර ඇත. වයස 17 ක් පමණ වන මෙම ඇලන් ස්ට්‍රෑන් යන ගැටවරයා විසින් තමන් සේවය කරන අශ්ව ගාලෙහි ඉස්තාලය තුළදී පිහියකින් ඇන වටිනා අශ්වයින් හය දෙනෙකුගේ ඇස් අන්ධ කරයි. තේරුම් ගැනීමට දුෂ්කර වන්නේ මෙම අපරාධයෙහි ස්වභාවයයි. මාටින් ඩයිසාර්ට් නම් මනෝ චිකිත්සකයා  උත්සාහ කරන්නේ ඇලන්ගේ අතීත ජීවිත කතාව හරහා මෙම ප්‍ර හෙලිකාව විසඳීමයට ය. ඒ සඳහා ඔහු කෑලි අමුණා නිශ්චිත මුල මැද අග සහිත කතාවක් නිර්මාණය කරයි. අපගේ කුතුහලය අවුස්සන්නේ මෙම කතන්දරයයි.

                  ඇලන් ස්ට්‍රෑන් නම් ගැටවරයාගේ පවුල යනු අපූර්ව විසංවාදයකි. ඔහුගේ මව දැඩි කතෝලික භක්තිකයෙකි. ඔහුගේ පියා මෙහි කනපිට පැත්ත නිරූපණය කරයි.  ඔහු අදේව වාදියෙකු සහ භෞතිකවාදියෙකි.  මියගිය පසු මළමිණිය වහාම භූමදානය කරන්නැයි ඉල්ලා සිටින තාර්කික මූලධර්මවාදියෙකි. ඇලන් ස්ට්‍රෑන් නම් කොලු ගැටයා නිර්මාණය වන්නේ පවුලේ මෙම විසංවාදය හෝ දෙපැත්තට ඇදිල්ල තුළය. මෙම විරුද්ධාභාසය තුළ ඇලන් ස්ට්‍රෑන් තදින් ඇබ්බැහි වන්නේ අතීත වන්දනාවකටය. ඔහු ගස් -ගල් වන්දනාවට සහ සතුන් කෙරෙහි දැඩි අර්චනයක් (හේතුවකින් තොරව භක්තිමත්වීම) දක්වයි. තම නිවසෙහි කුරුසියේ ඇණ ගසා තිබෙන ජේසුස් වහන්සේගේ රූපය සහිත ඡායාරූපය ඉන් ඉවත් කරන ඇලන් එතැනට අශ්වයෙකුගේ රූපය ආදේශ කරයි. ඉන්පසු එම ඡායාරූපය ඉදිරිපිට දණගසා යාඥා කරන්නට පටන් ගනියි. අශ්වයා මඟින් ඔහු ලිංගික තෘප්තියක් විඳියි.

            ඇලන් ස්ට්‍රෑන් ඉහත පසුබිම් කතාවට අනුව මිථ්‍යාදෘෂ්ටියෙකි. ඒක දේව වාදයට පෙර පැවැති භක්තිය යනු ගස් – ගල් සතා- සීපාව අදහන ආගම්ය. ඒක දේවවාදය පැමිණීමත් සමඟ බටහිරින් ඉතා ඉක්මනට තුරන් වී ගියේ මෙම මිථ්‍යා විශ්වාසයන් ය. ඇලන් ස්ට්‍රෑන් වෘත්තියක් සහ විනෝදයක් ලෙස කරන්නේ අශ්ව ගාලක අශ්වයින් බලා ගැනීමයි. ඔහු සමහර සඳ නැති, තරු පමණක් ඇති රාත්‍රියට නිරුවතින් අශ්වයින් පිට නැඟී කදු මුදුන් වලට අශ්වයින් පදවයි.  අශ්වයින්ගේ පිට උඩ නැග රිද්මයකට ගැස්සි ගැස්සී ගමන් කරන ඔහුගේ ශරීරය මෙම වතාවත නිසාම ලිංගිකව උත්තේජනය වෙයි. එක් දිනකදී තමන් සමඟ අශ්ව ගාලෙහි සේවය කරන ජිල් නම් ගැටවරියටද ඇලන් අශ්වයා පිටේ ගමන් කිරීමට ආරාධනා කරයි. අතරමැදදී ජිල් විසින් ඇලන්ට සුන්දර ආරාධනයක් කරයි. එනම් ඇය සමඟ අශ්ව ඉස්තාලය තුළ රමණය කිරීමටය. මෙය සාදරයෙන් පිළිගන්නා ඇලන් තම කටයුත්ත ආරම්භ කරත්ම යම් අපහසුතාවයකින් පෙළෙන්නට පටන් ගනීයි. ඇලන්ගේ ගැටළුව වන්නේ තමන්ගේ ලිංගය ප්‍රාණවත් නොවීමයි. මොහොතකට පසුව මෙමඟින් දැඩි ලෙස කෝපයට පත්වන ඇලන්ට අපූර්ව දර්ශනයක් පෙනෙන්නට පටන් ගනියි. තමාගේ මෙම බෙලහීනතාවය අශ්වගාලෙහි සිටින අශ්වයින් හය දෙනා නරඹමින් සිටින බව ඇලන්ට වැටහෙන්නට පටන් ගනී (Guilt). ඇලන්ගේ ජීවිතයේ අශ්වයින් යනු ප්‍රමෝදයේ සංඥාවයි. නැතහොත් මවගේ ආශාවයි. පියාගේ වචන වල බලය හමුන තුරු දරුවෙකුට ඇති ප්‍ර හෙලිකාව වන්නේ මවගේ ආශාවේ ගුප්ත භාවයයි. ඇලන්ගේ පවුල තුළ පියා අදේව වාදියෙක් නිසා මෙම  “ නම”   මගින් කෙරෙන කර්තවය ඉෂ්ඨ වන්නේ නැත. සීමා විරහිත විනෝදයේ සංකේතයක් ලෙස අශ්වයා නම් අර්චනය ඇලන් තෝරා ගන්නේ  මේ නිසාය.

            ඇලන් ස්ට්‍රෑන් නම් ගැටවර රෝගියාට ප්‍රතිකාර කරන මාර්ටින් ඩයිසාර්ට් නම් මනෝ චිකිත්සකයා මෙතනදී අලුත් උභතෝකෝටිකයකට මුහුණ දෙයි. ඇලන්ගේ කතාව හරහා මාටින්ට වැටහෙන්නේ ක්‍රිස්තියානි ආගමෙන් අශ්වලබ්ධියට  ලඟාවූ මිථ්‍යාදෘෂ්ටිකයෙකි. අනෙක් පසින් මාටින් ඩයිසාර්ට් යනුද ග්‍රීක මිථ්‍යාකතාවලට තදින් ඇබ්බැහි වූ පුද්ගලයෙකි. ඒ නිසා මේ සුවිශේෂ මංසංන්ධයේදි එකිනෙකට හමු වී ඇත්තේ මිථ්‍යා දෘෂ්ටිකයන් දෙදෙනෙකි. විද්‍යාව මෙම විශේෂ මංසංන්ධියේදී අකර්මණ්‍ය වෙයි. මාටින් ඩයිසාර්ට් තමන්ගේ පුද්ගලික ජීවිතයේ වඳ භාවයෙන් ගැලවීමට ග්‍රීක මිථ්‍යාකතාවලට ඇබ්බැහි වෙයි. අනෙක් පැත්තෙන් පවුලේ පුද්ගලික පරාරෝපණයට මැදිවන ඇලන් ස්ට්‍රෑන් අශ්වයා ආගමක් ලෙස අදහන්නට පටන් ගනීයි. ඇලන්ගේ ලුබ්ධිමය ආශාවේ මූලය මවගේ ආශාව කුමක්ද යන්නට පිළිතුරයි. ඇලන් විසින් තම මවගෙන් අසන්නේ මෙවැනි ප්‍රශ්නයකි. “ඔබ කතෝලික ආගමෙන් විඳින මේ අසම සම විනෝදය කුමක්ද?” යන්නය. මේ විනෝදය වරදක්ද?

            නමුත් අප ඇසිය යුතු වැදගත් ප්‍රශ්නය වන්නේ මෙවැනි අතීතකාමී කතාවලින් කොළඹ වාණිජ මැද පංතියට අවශ්‍ය කරන්නේ කුමක්ද යන්නය. විවාදයකින් තොරව කොළඹ මැද පාංතික ජීවිතයෙන් රසය, විවාදශීලීත්වය, සුහදබව, සංවාදමය අනෙකා, විශ්වාසවන්ත ලිංගික සහකාරිය යන මේ සංඝටක සියල්ල වෙළෙඳපල විසින් ඉවත් කර ඇත. කෙටියෙන් කිවහොත් කොළඹ මැද පංතියේ ජීවිතය සතු මදය ඉන් ඉවත් කෙරී ඇත. මදය හිස්කළ කවචයට අලුතින් අන්තර්ගතයක් අවශ්‍යය. එය පිරවීමට හැකි පහසුම ආකාරය වන්නේ අතීතතයි. එනම් අතීතයට සහ අතීතයේ පැවතීයයි අනුමාන කරන ෆැන්ටසිමය ජීවිතයයි. තමන්ගේ ඇත්ත ජීවිතයේ නැති ත්‍රාසය වෙන කෙනෙකු තුළ ඇත්නම් අප එයට රුචිය. පොළොන්නරුව හෝ අනුරාධපුරය ගුප්ත නැත. ඒ ප්‍රදේශවල ජනයා පුරවා දමන්නේ අපට (නාගරිකයාට) අවශ්‍ය දෙයයි. අප ඔවුන්ගෙන් බලාපොරොත්තු වූයේ සැහැසි ප්‍රතිචාරයකි. නාගරික අපගේ ආශාව අපටම ප්‍රහෙලිකාවක් නිසා අප ගැමියන් දෙසට හැරී විසඳුමක් අපෙක්ෂා කළෙමු. අපගේ අශ්ව ඇස් වෙතට ඔවුන් රඟපෑමක් කර ඇත. එය ඡන්ද ප්‍රතිඵලයක් ලෙසින් අර්ථකථනය කිරීම අපට සහනයකි.

 

ඔබේ අදහස කියන්න...