රුසියානු නවකතාකරුවෙකු වන වැලඩීමර් නබොකෝ  විසින් රචිත ලෝලිටා නවකතාවේ කතා ශාරාංශය මෙසේය. හම්බර්ට් හම්බර්ට් නමැති පුද්ගලයෙකු තමන්ට වඩා වයසින් ඉතා අඩු ලෝලිටා නමැති තරුණියකට දැඩි ලෙස ආදරය කරයි. මෙම අසම්මත ආදරය සමග කාලය ගෙවී යන අතර ක්වෙල්ටි නම් පුද්ගලයෙකු ඒ අතරමැදට පැමිණෙයි. ක්වෙල්ටි විසින් හම්බර්ට්ගෙන් ලෝලිටා වෙන් කරයි. නවකතාවේ අවසානයෙදී හම්බර්ට් විසින් ක්වෙල්ටි නම් සතුරාව ඝාතනය කරයි.

හම්බර්ට්ගේ ආදර කතාව තුල හමුවන ක්වෙල්ටි නම් සතුරා අප විසින් හදුනාගනු ලබන්නේ බාහිර සතුරෙකු ලෙසය. නමුත් මනෝවිශ්ලේෂණයට අනුව ක්වෙල්ටි යනු බාහිර සතුරෙකු නොව හම්බර්ට්ගේ ෆැන්ටසිය ආරක්ෂා කර දෙනු ලබන එසේත් නොමැති නම් ෆැන්ටසිය යතාර්ථයක් බවට පත්වීම වලක්වාලනු ලබන හම්බර්ට්ගේම අභ්‍යන්තරික සතුරෙකි. ක්වෙල්ටි යනු හම්බර්ට්ගේම කොටසක් මිස ඔහුගෙන් බාහිර පුද්ගලයෙකු නොවේ.

අප තුලම සිටින අපේම අනන්‍යතාවය පරිපුර්ණ වීමට ඉඩ නොදෙන අභ්‍යන්තරික සතුරා යනු අපගේ ආත්මයේ මුලික ගැටලුවකි. අභ්‍යන්තරික සතුරා බාහිර සතුරාගෙන් වෙන් වන්නේ මෙසේය. ජේ.ආර් තමාගේ සතුරෙක් බව ඇන්. එම් පෙරේරා ප්‍රකාශ කර ඇත.  ඇන්. එම් පෙරේරාට අනුව ජේ.ආර් ඔහුගේ පන්ති සතුරෙකි. ඒ අනුව අපට සැබෑ ලෙසම යථාර්ථයේ හමුවන සතුරා යනු අපගේ පන්ති සතුරාය. නමුත් යතාර්ථය වියැකී යමින් සියලු දේ ඩිජිටල්කරණය වන යුගයක අපට සැබෑ පන්ති සතුරා මුණ ගැසීම වැළකීයයි. මේ නිසා  අපට නව ආකෘතියක සතුරෙකු ගොඩනැගීමට සිදු වේ.

දෙමළා යනු එසේ අප විසින් ගොඩනැගු එක් සතුරෙකි. ඊට සමගාමීව මුසල්මානුවා සහ වෙනත් ඕනෑම අන්‍යජාතිකයෙකු සතුරාගේ භූමිකාවට ආදේශ වීම සිදුවේ. ඕනෑම සංකේත පද්ධතියක් (symbolic) පැවතීම සදහා මධ්‍යයේ හිස් තැනක් තිබීම අත්‍යවශ්‍ය වේ. සමකාලීනව මෙම හිස්තැන පුරවනු ලබන්නේ මෙකී අභ්‍යන්තරික සතුරා විසිනි. වර්තමාන මාධ්‍ය  අභ්‍යන්තරික සතුරන් නිර්මාණය කරන කර්මාන්තශාලා වෙති. මධුෂ් යනු මෙකී හිස්තැනට  අද ආදේශ වී ඇති පුද්ගලයාය. කුඩු කාරයන්, ගණිකාවන්, මිනිමරුවන්, නොමැති සුන්දර රටක් නිර්මාණය කර ගැනීම අප සියලු දෙනාගේ අශාවය. මෙම බලාපොරොත්තුවට බාධා කරන්නේ යැයි මාධ්‍ය විසින් හදුන්වාදෙන ඕනෑම කෙනෙකු අපගේ සතුරෙක් බවට පත් වේ. මෙහිදී අප තේරුම්ගත යුත්තේ මධුෂ් වැනි පාතාලයන් යනු යතාර්ථය තුල සිටින බාහිර සතුරන්  නොවන බවයි. මෙවැනි සතුරන් අපගේ ආත්මයේම නිර්මාණයකි. වෙනත් ආකාරයකට කිවහොත් එවැනි සතුරන් බිහිවන්නේ අපගේ ආත්මයේ මුලික ගැටළුවක් නිසාවෙනි. මෙම සතුරා නොමැති විට අපට අපගේම නිරුවත පෙනෙන්නට පටන් ගනී.

පශ්චාත් නුතන දාර්ශනිකයෙකු වන ජින් බෝද්‍රිලාද් 90 දශකයේදී  ධනවාදය සංකේතීය පද්ධතියකට ඌනනය කරමින් නිර්වචනය කර  ඇත. තවද ඔහු ධනවාදය විසින් එම යුගයේ බලය වෙනුවට වසගය යොදා ගැනීමත් තමන්ගේ වැඩේ කරගැනීම සදහා පුද්ගලයා විසින් වේශ නිරුපනය (simulation)  යොදා ගැනීමත් පිළිබද පැහැදිලි කර ඇත. නමුත් ධනවාදයේ සමකාලීන සන්දර්භය තුල බෝද්‍රිලාද්ගේ නිර්වචන බිදවැටේ. ධනවාදය පිලිබදව බෝද්‍රිලාද්ට මගහැරෙන දෙය සොයා ගනු ලබන්නේ ලැකාන් විසිනි.

එකී ප්‍රපංචය වටහා ගැනීම සදහා පරිකල්පනය(imaginary) , සංකේතනය (symbolic( සහ යථ (real) යන අප හොදින්ම දන්නා  ලැකානියානු රෙජිස්ටර් තුන අපට  වැදගත් වේ. ධනවාදය සංකේත පද්ධතියකට ඌනනය කිරීමට මගින් බෝද්‍රිලාද් උත්සහ කරනු ලබන්නේ යථ සංකේතකරණය කිරීමටය. යථ යනු භාෂාවේ නොහැකියාවයි. සියලු දේ භාෂාව මගින් සංකේතකරණය කරන විට අපට මගහැරී යන කොටසක් පවතී. මෙම කොටස වචනයට ගෙන ඒමට භාෂාව අසමත්ය. උදාහරණයකට තමන් අලුතින් මිලදී ගත් Lexus මෝටර් රථයෙන් බැස අත් අල්ලාගෙන සතුටින් දිව යන මධ්‍යම පාන්තික පවුලට මධුෂ් ගේ කුඩු පාතාලය යනු භාෂාවෙන් පැහැදිලි කල නොහැකි ඔවුන් වෙත කඩාවැටෙන තේරුම්ගත නොහැකි ප්‍රපංචයකි. ඔවුන්ගේ  භාෂා ලෝකයට අනුව  වැරදි කරන මෙවැනි පුද්ගලයන් එල්ලා මරා දැමිය යුතුය. නමුත් ඉතා දියුණු හෝ අතිශයිම නොදියුණු සමාජයකදී පවා අපගේ භාෂා ලෝකයෙන් ඉවත් වී යන යථහි පැවැත්ම නැති කල නොහැක. අපගේ දෙයිනික ජීවිතය ඩිජිටල්කරණය  වීම හරහා යථ සම්මුඛ වීම වැලක්වීමට ක්‍රමය විසින් උත්සහ කරයි. සැබෑ සමාජ යතාර්ථය තුල යථහි පැවැත්ම අනිවාර්‍ය නිසා ඉන් ඇතිවන දරුණු ප්‍රතිඵල වලින් ගැලවීමට සදහා පුද්ගලයා තත්‍යසමාන අවකාශය (virtual space)වෙත ගමන් කරයි.  වර්තමානයේ CCTV කැමරා මගින් උත්සහ කරනු ලබන්නේ යථහි කඩා වැදීම වැලැක්වීමටය. පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම, මාරක රිය අනතුරක් සිදුවීම මගින් සමාජ අවකාශය තුල ඇති මගහැරිය නොහැකි සැබෑව (යථ) අප වෙත කඩාවදී. නමුත් CCTV කැමරා වල පටිගත වී ඇති එවැනි සිදුවීමක් නැවත විකාශනය කිරීමෙන් එකී සැබෑව අර්ථ ලෝකයට ගෙන ඒමට අප උත්සහ කරනු ලබයි. 

යථ සහ සංකේතනය අතර වෙනස නොපෙනී යාම තුල දේශපාලනයෙන්ද යථ ඉවත් වී තිබේ. අන්‍ය ජාතිකයා, වාමාංශිකයා ප්‍රතික්ෂේප කිරීම මෙහි ප්‍රතිඵලයකි. 90 දශකයේ භෞතිකවාදයක් වූ බෝද්‍රිලාද්ගේ දර්ශනය අද විඥානවාදයක් බවට පත් වී තිබේ. අද පුද්ගලයා තමන් කරන්නේ කුමද්දැයි නොදනී. දේශපාලන පක්ෂ , රාජ්‍ය ආයතන, NGO, ආගමික සංස්ථාවන් ආදී සියල්ල කඩා වැටී ඇති අතර ඒවා කිසිවක් කරගත නොහැකි තත්වයට පත් වී තිබේ. ජනතාව මෙම ආයතන වලට කියන්නේ ඔවුන්ට  කැමති දෙයක් අපිට කරන්න කියාය. මෙය එක්තරා ආකාරයට විපරීත තත්වයකි. මේ යුගය යනු ධනවාදයේ විපරීත සහ සයිකෝටික (ලෝකය පිළිබද පුද්ගලික තේරුම් දීම) අවධියකි. සයිකෝටික බව තවදුරටත් තේරුම් ගැනීමට අවශ්‍ය නම් නිර්මාල් රංජිත් වැනි පුද්ගලයෙකුගේ Facebook ගිණුම පරීක්ෂා කර බලන්න.

මේ යුගයේ අප අනුරාගිකව බැදෙන්නේ  අපගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරන නායකයන් වෙත නොව බලාපොරොත්තු සුන් කරන ට්‍රම්ප් , රනිල් වැනි නායකයන් වෙතය. කවුරුත් තමන්ට අවශ්‍ය කුමක්ද යන්න නොදන්නා නිසා කිසිවෙකුටත් ආශාවක් ගොඩනගා ගත නොහැක. මේ නිසා මේ යුගයේ අපට ඇත්තේ හබයාම් (drives) පමණි. හබයාම් බල එක් ලක්ෂණයක් වන්නේ එය අපගේ ඉලක්කය අසමත් කිරීමයි. අප විනෝද වන්නේ මෙම අසමත් බව මගිනි. පැරණි දේශපාලකයන් අපගේ බලාපොරොත්තු ඉෂ්ඨ කිරීමට උත්සහ කරන ලදී. නමුත් දැන් අපට අවශ්‍ය අපව අසමත් කරන දේශපාලකයන්ය. අපි කැමති අපි වගේම අසමත් දේශපාලකයන්ටය. මෙතැනදී අපගේ ආත්මයත් , ආත්මයෙන් බාහිර වස්තුවත් (object) යන දෙකම කොටස් දෙකකට පැලී වෙන් වී ඇත.

ඉහත සදහන් කල තත්වය තුල අපට ඇති විකල්පය කුමක්ද යන ගැටලුව සියලු දෙනා වරනගන ගැටලුවයි. මේ සදහා දේශපාලනය ඔබ තෝරාගෙන ඇත්නම් අපට කියන්නට ඇත්තේ දේශපාලනය යනු උත්තරයක් නොවන බවයි. ධනවාදය යනු දේශපාලන ප්‍රශ්නයකි. අපට ප්‍රශ්නය කුමක්ද යන්න හදුනාගත හැක. නමුත් ඒ සදහා උත්තරයක් අපට නැත. ධනවාදයට එරෙහිව අප විසින් යෝජනා කරන්නේ බුද්ධිමය ව්‍යාපෘතියකි. එය විසි එක්වන සියවසේ වාම ව්‍යාපෘතිය ලෙස අප නම් කරන්නෙමු.

අපගේ විඥානයේ ගතිකය වන්නේ සංසුන්බව නොව ආතතියයි. පවතින ක්‍රමය මගින් අවසානයේ අපට ඉතුරු කරන්නේ අනවර්ත ආතතියකි. මෙම ආතතියෙන් ගැලවීමට උත්සහ කිරීම යනු දෘෂ්ටිවාදයකි. ආතතියෙන් ගැලවීම සදහා කෙනෙකු වනගත වීමට පුළුවන, තවත් කෙනෙකු ඩුබායි නගරයේ නිවාඩුවක් සදහා පිටත් වී යාමට  පුළුවන. මේ කුමට උත්සාහය දැරුවද ක්‍රමය මගින් අපගේ විඥානය තුල ඇති කරන ආතතිය නැවතත් අප පසුපස පැමිණේ. ක්‍රමය සදාකාලික නම් අපට ඇති ආතතියද සදාකාලික වේ. තමන්ගේ ජීවිතය අවසන් වන්නේ ආතතියකින් බව තේරුම් ගන්නා පුද්ගලයාට ක්‍රමයට ජීවය දීමෙන් වැළකිය හැක. අරගලයේ මාවත බුද්ධිය සහ භාෂා ලෝකය වෙත විතැන් විය යුතු බව අප කියන්නේ මේ නිසාය.

Anushka Ariyarathne

ඔබේ අදහස කියන්න...