වෙනත් න්‍යායවේදීන්ගෙන්  ඛණ්ඩනය වී, ෆ්‍රොයිඩ් විසින් ප්‍රජාවක සබඳතා සබුද්ධිකව ග්‍රහණය කළ නොහැකි බවත්,එය වටහා ගත හැක්කේ ලුබ්ධිමය ආකෘතියකින් බව 20 වැනි සියවස මුලදීම වටහා ගත්තේය. උදාහරණයක් ලෙස ගතහොත්, ‘සිංහල-බෞද්ධ’ ප්‍රජාවේ සමාජීය බන්ධනය සබුද්ධික නීතීන්ගෙන් වටහාගත නොහැකි අතර එය අවබෝධ කරගත හැක්කේ, දෙමළ ප්‍රජාවට හෝ වෙනත් සුළු ජාතික ප්‍රජාවකට එරෙහි බුද්ධිමය ( ඔවුන් අප විඳින විනෝදය තර්ජනයට ලක් කරනවා හෝ අපගේ විනෝදය පැහැර ගැනීමට නියමිතය) විවාදයක් තුළිනි. මේ අනුව, සිග්මන් ෆ්‍රොයිඩ් සාමූහිකත්වය පිළිබඳ පුද්ගලික න්‍යායක් ඉදිරිපත් කරයි. ‘කණ්ඩායම් මානසිකත්වය සහ අහම-ego- පිළිබඳ විශ්ලේෂණය’ නම් ලිපිය තුළ ෆ්‍රොයිඩ් සාමූහික බව පිළිබඳ සාම්ප්‍රදායික නොවන නූතන න්‍යායක් ඉදිරිපත් කරයි.

                 ඔහුට අනුව, යම් කණ්ඩායමක තනි තනි සාමාජික සාමාජිකාවන් එකට බැඳෙන්නේ ඔවුන් සියලු දෙනා තනි කේන්ද්‍රයකට පොදුවේ ආදරය කරන නිසාය. ගැටලුව මෙම කේන්ද්‍රය බවට කෙනෙකු පත් වන්නේ කෙසේද යන්න සහ ඔහුට කරන ආදරයේ ස්වභාවය කුමක්ද යන්නයි. නායකයෙකුට අප ආදරය කරද්දී, අප ආදරය කරන්නේ ජීවමාන පුද්ගලයකුට නොව අප විසින් කල්පිතකරණය කරන පුද්ගලයකුටයි. බාහිර අප කරන තාර්කීය විමර්ශන වලින් නායකයන්ගේ කල්පිත ප්‍රතිරූප විසංයෝජනය නොවන්නේ ඒ නිසාය. ඉතා හොඳින් සංවිධානය වූ පුද්ගල කණ්ඩායම්වල නායකත්වය නම් ස්ථානය පුරවා දමන්නේ, කල්පිත සහ විවෘත පුද්ගලයෙකි. මෙවැනි පුද්ගලයන් සිටින සංකේතීය භූමිකා කරුණු සහ විශ්ලේෂණ වලින් බිඳ දැමිය නොහැකි වීම, ඒ අනුව අහම්බයක් නොවේ.

             ආදරණීය නායකයෙකු/ හෝ නායිකාවක සහ ඔවුන්ගේ පිරිවර අතර අනන්‍යකරණය වටහා ගැනීමේදී, එක් මූලික කරුණක් අමතක නොකළ යුතුය. මෙවන් ආදරණීය නායකයෙකු සමග මිනිසුන් අනන්‍යකරණය වන්නේ, ඔවුන්ගේ දෘෂ්ටිකෝණයෙන් නායකයා දෙස බලන විට ඔහු/ ඇය යහපත් නිසා නොවේ. සත්‍ය වන්නේ, එහි ප්‍රතිවර්තනය යි. මිනිසුන් අනන්‍යකරණය වන්නේ, තම ආදරණීය නායකයා තමන් දෙස බලන දෘෂ්ඨිකෝණයට ය. අප කෙනෙකු සමඟ ආදරයෙන්  බැඳෙන්නට කැමති වන්නේ, ‘ආදරය කරන්නාගේ’ දෘෂ්ටියට මිස ‘ආදරය ලබන්නාගේ’ දෘෂ්ටියට නොවේ. ඒ නිසා, අප ආදරය කරන්නාගේ දෘෂ්‍යමානය හෝ ඔහු/ ඇය මතුපිටින් කියන දෙය නොසලකා හරියි. ඉවෝන් ජොන්සන්ගේ ඝාතකයාට එරෙහිව පෙළපාලි යන රැඩිකල් ස්ත්‍රීවාදීන්, කසුන් කල්හාරට එරෙහිව පෙළපාලි නොයන්නේ මේ නිසා ය. අපට ආදරය කරන්නට පුද්ගලයෙකු හමු වූ විට, එම පුද්ගලයාගේ දෘෂ්‍යමානය අප නොතකා හරින්නේ ‘පෙනීමට’ වඩා ‘දැක්ම’ වැදගත් වන නිසාය. සැබෑ තත්වය මෙසේ නම්, ලුවී අල්තූෂර්ගේ පොළා පැනීම පිළිබඳ න්‍යාය තරමක් සංශෝධනය කිරීමට සිදුවෙයි.

               ජනප්‍රිය නායකයකු සමඟ මහජනයා අනන්‍යකරණය වන විට, එම ක්‍රියාවට සමපේක්ෂණ ස්වභාවයක් නොමැත. මිනිසුන් සතුන්ට වෙනස්ව භාෂාව මත පරායත්ත ය. ඔවුන්ට ස්වායත්තතාව එන්නේ ස්වභාවයෙන් නොව වාග් යථාර්ථයෙනි. එනම්, මිනිසුන් තමන්ගේ ප්‍රතිරූපය (Image) තම ජනප්‍රිය නායකයා තුළින් නිරූපණය වීමක් අපේක්ෂා කරන්නේ නැත. ඒ වෙනුවට, ඔවුන් තම ආදරණීය නායකයාගේ දෘෂ්ටිකෝණයට අනුවර්තනය (Adopt his point of view) වෙයි. මෙය, අනුකරණය නොව අනුවර්තනය යි. ජනතාව ජනප්‍රිය නායකයාගේ ‘ජනතාව’ පිළිබඳ ප්‍රතිරූපය අනුගමනය කරනවා යන එහි විලෝමය අසත්‍යය.

           සිග්මන් ෆ්‍රොයිඩ්ගේ විග්‍රහයට අනුව, ඉහත තත්වය ‘යුද හමුදාව’ නම් ආයතනය මූලික කොටගෙන හොඳින් වටහා ගැනීමට හැකිය. හමුදාවක සොල්දාදුවන් තම ජෙනරාල්වරයාගේ පර්යාවලෝකනය සමඟ අනන්‍ය  වනවා මිස තමන්ගේ ජනරාල්වරයාගේ පර්යාවලෝකනය ගැන තම අදහස කියන්නට යන්නේ නැත. මෙම තත්ත්වය, යුද හමුදාව නම් ආයතනයට පිටින් සිටින අයට පෙනෙන්නේ මහා අසම්මතයක් ලෙසිනි. වඩා පැහැදිලිව කිවහොත්, මෙම තත්ත්වය වඩා කිට්ටු වන්නේ මෝහනයටයි. යුද හමුදාව නම් ආයතනය සොල්දාදුවන්ව ධෛර්යමත් කරන්නේ, ජනරාල්වරයාගේ අහම-ආදර්ශය සමඟ අනන්‍ය වීමට මිස ඔහුගේ පරමාදර්ශී අහම සමඟ අනන්‍ය වීමට නොවේ. ඒ අනුව, සොල්දාදුවන් ජනරාල්වරයාව අනුකරණය කරනවා වෙනුවට ඔවුන් ඔහුගේ දැක්ම අභ්‍යන්තරීයකරණය කර ගනියි. කෙනෙකුට ආදරය කරන විට අප අනන්‍ය වන්නේ, ඒ තැනැත්තාගේ ප්‍රතිරූපයට[image] නොව ඒ තැනැත්තා අප දෙස බලන දැක්මට යි [Gaze] . 

        ඉහත ඡේදයේ පහදන ලද අනන්‍යකරණය කෙතරම් රැඩිකල් ද යත් ඊට අනුව, මිනිසුන් තම තමන්ගේ පරිකල්පනාවන් ආදරණීය නායකයෙකුට ප්‍රක්ෂේපණය කරන්නේ නැත. සිදු වන්නේ එහි ප්‍රතිවර්තනය යි. ආදරණීය නායකයන් තම තමන්ගේ දැක්ම ජනතාවට දමා ගසන අතර මිනිසුන් හෝ යටත්වැසියන් ඊට උදාසීන ලෙස අනන්‍ය වෙයි. බොහෝ ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපටවල මෙම තේමාව සටහන් වෙයි. උදාහරණයක් ලෙස, ස්ටැන්ලි කුබ්රික්ගේ (Full Metal Jacket) නම් චිත්‍රපටයේ සරඹ පුහුණු කරන සාජන්වරයා තම සොල්දාදුවන්ට විවිධ නම් ආදේශ කරයි. එනම්, ‘පොන්න වේසිගෙ පුතා ,ගූ බෙට්ට, පුංචි බිජ්ජා’. ඉන්පසු, සාජන්වරයා පුහුණු කටයුතුවලදී සොල්දාදුවන්ගෙන් මෙසේ අසයි. ‘තොගේ නම කුමක්ද?’ (Who are you?) එවිට, සොල්දාදුවා මෙසේ කියයි. “සර් මම තමයි  පොන්න වේසිගෙ පුතා, සර් මම තමයි පුංචි බිජ්ජා’. මිනිසුන්ට මෙසේ අපහාසාත්මක නම් කියා හඬ ගෑ විට, මිනිසුන් ඊට ස්වකැමැත්තෙන් ඒවා තමන්ගේ නම ලෙස බාර ගනී. ඒ අනුව, ජනප්‍රිය නායකයෙකු සමඟ ජනතාව අනන්‍ය වන විට ඔවුන් අනන්‍ය වන්නේ, තම පරමාදර්ශී අහම සමග නොව අහමාදර්ශය සමඟයි. රොනල්ඩ් රීගන් ඇමරිකාවේ ජනාධිපති වූ යුගයේදී, ඇමරිකානු ජනමාධ්‍ය ඔහුගේ විකාර සහගත ක්‍රියා සහ බොළඳ ප්‍රතිරූපය තදින් විචාරයට බඳුන් කරන ලදී. නමුත් මාධ්‍ය වල මෙම ක්‍රියාව නිසා රීගන්ගේ ජනප්‍රියත්වය මදකින් හෝ අඩු නොවීය. ඊට හේතු වූයේ, අමෙරිකානු ජනයා ඔහුගේ දැක්ම සමඟ මිස ඔහුගේ ප්‍රතිරූපය සමඟ අනන්‍ය වී නැති නිසාය. රීගන් යනු, දුර්වල තීරණ ගත නොහැකි, පොන්නයෙක් ලෙසින් මාධ්‍ය වල ප්‍රචාරණය වන විට ජනතාව තමන්ට අනන්‍ය වූයේ ද එම ප්‍රතිරූපය හරහාම ය.එනම්, ජනතාවද තම ස්ව-ප්‍රතිරූපය (self-image) ලෙස අවබෝධ කරගන්නේ කිසිවක් කරකියාගත නොහැකි පොන්නයා ලෙසින්මය. ඒ අනුව, රීගන් විසින් ජනතාවට දුන් නම වූයේ, ‘පොන්නයො’ යන නම වන අතර මිනිස්සු ඊට කැමැත්තෙන් ආදේශ විය. අනන්‍යකරණයේ හැඟීම්බර කොටස වන්නේ, මිනිසුන් තම නායකයන්ට ස්වයවස්තුකරණය ඔස්සේ යා වීමයි. තමන් දුර්වල යැයි සිතන මිනිසකු අනන්‍ය වන්නේ, තමන් වැනිම දුර්වල පුද්ගලයකුට මිස ප්‍රබලයෙකුට නොවේ. දැන් මෙතනදි, අපට අලුත් දුෂ්කරතාවයක් මුණ ගැසේ. මිනිසුන් නායකයන්ට අනන්‍ය වන්නේ, ඔවුන් ලබාදෙන ‘නම’ නිසා නොව එම ‘නම’ සහ තමන් අතර යම් පරතරයක් තිබෙන නිසාය. ජනප්‍රියවාදී නායකයන්ට මිනිසුන් රැචි කරන්නේ, එක්තරා හෙම්බත් වීමකට පසුවයි. නූතන වෙළඳපොලේ සමාජ සාරධර්ම තුළ ආශාව මියගොස් ඇති නිසා එය පුනර්ජීවනය කරගත යුතුය. නමුත් අප යමකට ආශා කරන්නේම, ඒ තුළ අප අකමැති දෙයක් තිබෙන නිසාය. එනම්, යම් අසහනයක් අපේ පැත්තෙන් අවශ්‍ය නිසාය. ඒ අනුව, බොහෝ විට අප ආදරය කරන අයගෙන් අප බලාපොරොත්තු වන්නේ අපගේ විනාශයයි. වාසුදේව වැනි දේශපාලකයෙක්, වික්‍රමබාහු වැනි දේශපාලකයෙක් පිළිවෙලින් මහින්දගෙන් සහ රනිල්ගෙන් අවිඥාණකව බලාපොරොත්තු වූයේ කුමක්ද? වාමාංශය මහජනයාගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද?

Party Team

 

ඔබේ අදහස කියන්න...