ලංකාවේ කලා භාවිතාවන් තුළ දෘශ්‍යමාන මුඛ්‍ය ගැටලූවක් තිබෙනවා. ඒ න්‍යාය කෙරෙහි ලාංකික කලා නිර්මාපකයන්ගේත් විචාරකයන්ගේත් ඇති පාරඅන්ධතාවයි. මේ පිළිබඳ විවිධ අදහස් තියෙනවා. ‘‘කලාව කියන්නේ න්‍යායගත කරන්න බැරි දෙයක්, න්‍යාය ඇවිත් කලාවේ සෞන්දර්ය ගුණ මකනවා, න්‍යාය කියන්නේ බුද්ධියට අයිති දෙයක් කලාව කියන්නේ හදවතට අයිති දෙයක්’’ ආදී මෙකී නොකී න්‍යාය විරෝධී අධිපති මතවාද ගොන්නක් අපට ලංකාවේ කලා භාවිතා තුළ හම්බවෙනවා. විශේෂයෙන් කලාවේ කතාබහට ලක්වන ‘අදහස්’ විධිමත්ව විමසීමේ අලස බව ලංකාවේ කලාකරුවන්ගේත් රසිකයන්ගේත් තුළ තියෙන ගුණාංගයක්. අදහස් විමසීමේ, විචාරයේ විද්‍යාත්මක පුහුණුව මේ අය භාරගන්නේ යාන්ති‍්‍රක හෝ බුද්ධිමූලික හෝ අජීවි විෂය කලාපයක් විදිහට. මේ නිසාවෙන්ම අද දක්වා බිහිවී ඇති ලාංකික කලා නිෂ්පාදන ගෙවා ඇති වන්දිය ඉහළයි.

ලංකාවේ වේදිකා නාට්‍ය කලාවේ සමකාලීන ගාමක බලවේගයක් බවට පත්වීමට විශේෂිත නාට්‍යකරුවකු සමත්වී තිබෙනවා. ඔහුගේ නම රාජිත දිසානායක. ‘නාට්‍ය ශාලාවලට මිනිස්සු එන්නේ නෑ කියලා’ තදබල විවේචන ඉදිරිපත් වන යුගයක ඔහුගේ නාට්‍ය බලන්න සැලකිය යුතු පේ‍්‍රක්ෂකාගාරයක් පවතිනවා. එපමණකුදු නොව, නාට්‍ය කලාවේ ඊනියා සම්භාව්‍ය අර්ධයේද රාජිත යනු විධිමත් සංකේත බලයක් එක්රැස් කරගත් චරිතයක්. ඔහු විටෙක නාට්‍ය ගුරුවරයෙක්. විටෙක විනිශ්චය මණ්ඩල සාමාජිකයෙක්. නිරන්තරව වේදිකාව අත්නොහරින්නෙක්. විදෙස් නාට්‍ය දර්ශන අවස්ථාව ලබන්නෙක්. සම්මාන පිට සම්මාන ලාභියෙක්. මේ අර්ථයෙන් ඔහුගේ නාට්‍යකරණය සමකාලීන නාට්‍ය කලාවේ දරනා සංකේත භූමිකාව තරමක් තීරණාත්මකයි. එහෙත් ගැටලූවක් තිබෙනවා. රාජිතගේ බොහෝ නාට්‍ය පතෝල වැනියි. ඒවායේ විශේෂිත නරකක් නැත. විශේෂිත හොඳක්ද නැත. එහෙත් දැන් ගැටලූවක් තියෙනවා. නාට්‍යකරණය ගැන යම් නාට්‍යයක් වැනිම පතෝල අදහසක් විචාරයක් ලෙස ඉදිරිපත් කළ හැකිද? එනිසාවෙන් නැවතත් අපි මුලට යමු. කලාව ගැන මෙන්ම දෛනික ලෝක දැක්මක් ලෙස මිනිසුන්ට ලෝකයද පෙනෙන නිශ්චිත ආකාර තිබෙනවා. මේවායේ ප‍්‍රමුඛතම අදහස් අපි උපුටමු. ‘‘මිනිස්සු තුළ හොඳත් තියෙනවා. නරකත් තියෙනවා.’’ මහා දාර්ශනික අදහසක් මෙන් මේක, මිනිස්සු උච්ඡාරණය කරන්නක්. එහෙත් ප‍්‍රායෝගික ජීවිතයේ මිනිසුන් හොඳ – නරක ලෙසට කෙළවරකට වර්ගකරන රටක් අපි. පුද්ගලික ජීවිතයෙන් එළියට පැමිණි සමාජ අවකාශයක තමා මිනිස්සු මෙවන් ඊනියා දර්ශනවාද වැළඳගන්නේ. පුද්ගලික තලයේ බොහෝදෙනාට තවත් අය ගැන නිවැරදි තක්සේරුවක් තියෙනවා ඔවුන් හොඳද නරකද කියලා. ඉතින් මේ වගේ අදහස්වලට එළඹීමට මිනිසුන්ට න්‍යාය අවශ්‍ය නැහැ. දර්ශනයද අවශ්‍ය නැහැ. කලාවද අවශ්‍ය නැහැ. මේ වගේ අදහස් මගින් චින්තනය ලොප් වූ රටක විධිමත්ව කලාව අදහස් පද්ධතියක් ලෙස විමසීම අසීරු අභ්‍යාසයක්. අයෙක් මෙවැනි අදහස්වලට එරෙහිව ගෙන එන්නේ ‘‘අයියෝ, නාට්‍ය රසවින්දනය ගැන කතා කරමු, නාට්‍ය කලාවේ නාට්‍යධර්මී ගුණාංග කරළියට ගේමු’’ වැනි තර්කයි. ලංකාවේ කලා විචාරය නිරන්තර හිරවෙනවා මෙවැනි සෞන්දර්ය ගුණ අගුණ කතාබහක. කලාවේ මූලික පදනම වෙච්ච අදහස් නිෂ්පාදනයේ අක්ෂ්‍යය එවිට ද්විතීයික වෙනවා. මේ තරමක් ලෙහා ගත යුතු සංකීර්ණ තත්ත්වයක්. මොකද මීට කලින් මිනිස්සු පුනරාවර්තනය කරමින් අලූත් දේවල් නිපදවනවා කියලා හිතන් ඉන්න රටක් අපි. ‘අලූත් නාට්‍යයක්’ කියන්නේ මොකක්ද කියලා කථිකා ඇතිකරගන්න තරම් පොහොසත් නාට්‍ය කලා කථිකාවක් මේ රටේ නෑ කියලයි මගේ අදහස. යාළුමිත‍්‍රකම් මත පිටකසා ගන්නා හෝ නාට්‍ය උළෙලකින් නාට්‍යයක් විසිවුණාම උණුසුම් වෙනවා හෝ වැනි මාධ්‍ය විජ්ජා මිස නාට්‍ය කලාව ගැන බැ?රුම් විමසුම කියන එක අපේ නාට්‍යයවේදීන්ට පුරුදු නෑ.

මේ පෙරවදන අනිවාර්යයක් අපට රාජිතගේ නවතම නාට්‍යය ‘ආදර වස්තුව’ විමසීමට. මොකද අසීරු යුගයක නාට්‍යකරුවකු ලෙස වේදිකාවට පණක් දෙන්න උත්සාහකරන රාජිතගේ නාට්‍ය භාවිතාව ගැන ඇල්මැරුණු ඊනියා විශ්වවිද්‍යාල සෞන්දර්ය පීඨ දෘෂ්ටියකට එහා ගිය ජීවමාන දේශපාලනික කියවීමක් අවශ්‍යයි. පේ‍්‍රක්ෂකාගාරයකුත් රැකගෙන ප‍්‍රගතිශීලි නාට්‍යකරුවකු වීමේ අරගලයක රාජිත නිතරවෙලා ඉන්නවා අපිට පේනවා. ඉතින් රාජිතගේ දෘෂ්ටිය ලංකාවේ නාට්‍ය ක්ෂේත‍්‍රයටත් පෙරළා රාජිතගේම නාට්‍ය භාවිතාවටත් එකතු කරමින් ඉන්නා ආචරණය කෙවැනිද? අපි බලමු.

නාට්‍ය පෙළෙහි නැති ආචරණයක් ආකෘතිය විසින් ඇතිකරවන නාට්‍ය කලාවට කියනවා නාට්‍යධර්මී නාට්‍ය කලාව කියලා. රාජිතගේ නාට්‍ය මෙසේ ආකෘති මූලික නාට්‍ය කලාවක් නොවෙයි. විශේෂයෙන් ‘ආදර වස්තුව’ නාට්‍යය සම්මතයේ සැලකෙන ලෝකධර්මී හෙවත් ස්වභාවික රංග රීතියකට බර නාට්‍යයක්. තවත් සරලව කිව්වොත් අපිට ඇස්දෙකට ලෝකේ පේන හැසිරීම් රටාවම ප‍්‍රතිනිෂ්පාදනයක්. එවන් නාට්‍ය තුළ මුල මැද අග සහිත කතන්දරයක් අපිට හම්බවෙනවා. එහෙත් නාට්‍ය පෙළ විධිමත්ව සංවිධානය කර ඇති ආකාරයට මේ තුළ පරතර බිහිවෙනවා. එවිට නාට්‍යය සංජානනය අපට නැවත නැවත නාට්‍යයෙහි පෙළට අර්ථ එකතු කරනවා.

‘ආදර වස්තුව’ නාට්‍යයේ පශ්චාත් විප්ලවවාදී විශ්වවිද්‍යාල ආචාර්යවරයා වන නවීන් ගැන නාට්‍යය මුලදී අපිට යම් යම් සංඥා ප‍්‍රමාණයක් ලැබෙනවා. ඔහු ස්තී‍්‍ර ලෝලියෙක්, ඔහුට පේ‍්‍රමය සෙල්ලමක්, ඔහු දැන් දෙබිඩි ජීවිතයක් ගෙවන්නෙක් ආදී ලෙස. ඒ වගේම මාධවීගේ චරිතය ගැනත් අපිට ඉඟි ලැබෙනවා. ඇයගේ ජීවිතයේ කුළුඳුල් ආදරය නවීන් ඩැහැගෙන තියෙනවා. නාට්‍යයේ මුල සිටම මාධවීගේ චරිතයේ පෞරුෂය හෝ ශක්තිමත්භාවයත් ඊට සාපේක්ෂව නවීන්ගේ කොන්ද කැඩුණු චරිත ලක්ෂණත් මාධවී ගැන අපට යම් සාරාත්මක ඉඟියක් සැලකරනවා. සරලව නම් මාධවීගේ ආදරය නවීන් පාවාදීම තියෙනවා. නවීන්ට අදටත් ඊට ශක්තිමත්ව මූණදෙන්න බැරි වරදකාරීත්වයක් සියුම්ව ගැබ්වෙලා තියෙනවා. එහෙත් නාට්‍යයේ අතරමැද මේ චරිත ගැන අපගේ සංජානන තටාකය කැලතීමකට ලක්කරනවා. මාධවී කියන්නේ ඔත්තුකාරියක්. ඒ බව නවීන් දැනගන්නේ මේ දෙදෙනාටම වඩා නරුමයකු ලෙස දිස්වන සුරේෂ් නමැති මාධ්‍ය ප‍්‍රාග්ධන හිමිකාරයකුගෙන්. ඉතින් මෙතුවක් අපිට පරමාදර්ශි ආදරයක සලකුණු ඉ`ගිකළ මාධවීගේ වේශය මේ සමග මාරුවෙනවා. ඒ විතරක් නෙමේ, මේ බව දැනගෙනත් ‘‘ඔයාව කව්ද එව්වේ, ඔයා කොහාටද යන්නේ කියලා මම අහන්නේ නෑ. පරිස්සමින් යන්න’’ කියා ඇයව නැවත වරක් මුදා හරින පසු නූතන බෝධිසත්ව නවීන් ගැනත් අපේ සංජානන ස්ථාවරය කැළතෙනවා. ඔව්, අපි ඉතා සරලයි කියලා හිතන මිනිස්සු ගැන අපේ අදහස් පද්ධතියේ තීරණාත්මක භූමිකාවක් රගපාන හොඳ/නරක වාදය තමා මේ නාට්‍යය චලනය කරවන්නේ. එහෙත් රාජිත මීට යටිතලයක දේවලූත් අපිට නාට්‍යය තුළ ඉගි කරනවා. ඒ කුමක්ද?

විශ්වවිද්‍යාලයේ විප්ලවකාරී ශිෂ්‍ය නායකයකු ලෙස වේදිකාගත වන විදුර නම් තරුණයා එක් අතකින් නවීන්ගේ අතීත ජීවිතයේ සමරූපයක්. ඔහුත් එක් අතකින් නව අධ්‍යාපන සංශෝධනවලට විරුද්ධව කැරලිකාරයකු ලෙස නවීන්ගේ කාමරයට ආවත් මාධවී හරහා සිය පුද්ගලික අරමුණක් මුදුන්පමුණුවාගන්නත් වෙර දරන්නෙක්. ඉතින් මේක බොරුවක්ද? අපි ලංකාවේ නාට්‍ය ක්ෂේත‍්‍රයම සලකමු. ධර්මසිරි බණ්ඩාරනායක මහතාටත් පුළුවන් දකුණු අතින් නෙළුම් පොකුණට එරෙහිව සටන්කරනා අතරේ වම් අතින් නෙළුම් පොකුණේ සමරු කෘතියට සුබපැතුම් එක් කරන්න. එතැනින් නොනැවතී සිය නිර්මාණයන් එහි රගදක්වන්නත් පුළුවන්. රාජිතගේ වීරයන් මියයන තේමාව ඉගි කරන්නේ කුමක්ද? මේ පුද්ගල ආත්මවලට යටින් දිවෙන ක‍්‍රමය. සමාජ අර්ථ ක‍්‍රමය. නවීන්වත්, මාධවීවත්, ධර්මසිරිවත්, විදුරත්, සුරේෂුත් ගැටගසා ඇති හුය තමා රාජිත විද්‍යමාන කරන්න උත්සාහකරන සාරාර්ථය. ඒ මේ සමාජ ක‍්‍රමය. ක‍්‍රමය විසින් මිනිසුන්ව වෙනස්කරනවා මිස මිනිසුන් විසින් ක‍්‍රමය වෙනස් නොකරන යුගයක කතා පුවත.

දැන් අපට මූලික ගැටලූවක් ඉදිරිපත් කරන්න පුළුවන්. රාජිතගේ නාට්‍ය විසින් ඉදිරිපත් කරන දෘෂ්ටිවාදය කුමක්ද? එය නම් ‘සමාජය කුණු වී හමාරය. ඒ සමාජයේ ඉන්නා නරුමම මිනිසා තුළද ඔබට හොඳක් දකින්න පුළුවන්ද? ඔබ හොඳයි කියලා හිතන මිනිසා තුළ නරක දකින්න පුළුවන්ද?’ මේ තමා රාජිතකරණය වූ ලෝක සත්‍යය!

දැන් නැවතත් අපි මේ සටහනේ මුල මතක්කර ගනිමු. වටයක් කැරකී අපි නැවතත් පුද්ගල ආත්මවල හොඳ නරක සාරාර්ථය කරා පැමිණ තිබෙනවා. ‘ආදර වස්තුව’ නාට්‍යය බිහිකරනා දෘෂ්ටිවාදී උගුල කුතුහලය දනවනසුලූයි. එය ඔබට කියන්නේ සරල සත්‍යයක්. මේ ක‍්‍රමය තුළ මිනිසුන් සදා හොඳත් නැහැ. නරකත් නැහැ. සෙන් දහම වැනි අදහසක්. ඉතින් දැන් ගැටලූව සරලයි. මේක කියන්න නාට්‍යයක් මොකටද? රාජිතගේ නාට්‍යකරණයේ දාර්ශනික දුගීභාවය අපට මෙම කලාපයේ නිවැරදිව ස්ථානගත කර හැකියි. රාජිතට ක‍්‍රමයත් මිනිසුනුත් යනු එකක් නොව දෙකක්. ‘‘ක‍්‍රමය යනු මිනිසුන්ය’’ ලෙස පිළිගැනීමට රාජිත මැලිබවක් දක්වනවා. රාජිතගේ නාට්‍ය ‘ක‍්‍රමය ගැන’ නාට්‍ය නොවන්නේ ඒ නිසාවෙන්. ඒ වෙනුවට ඒවා සමාජ ක‍්‍රමයේම පුරුක්. ක‍්‍රමයේම දෘෂ්ටිවාදය ප‍්‍රතිනිෂ්පාදනයක්.

මෙතරම් නරුමවාදී ක‍්‍රමයකට යටින් ඇති උණුසුම් හදවත් ගැන ෆැන්ටසි රාමුව ක‍්‍රමයේ ක්ෂිතිය සමග සම්මුතිගත වීමේ රාජිතයානු ප්ලාස්ටරයයි. රාජිතට ධම්ම දිසානායකගේ හෝ ලියනගේ අමරකීර්තිගේ හෝ ඇතුගලගේ හෝ ධර්මසිරි තුළත් මජර ක‍්‍රමයේම සිටිනා උණුසුම් හදවත් හමුවෙනවා. ඇතැම් විට මෙම ලැයිස්තුව වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී වුවහොත් ඊට මර්වින් හා දුමින්ද සිල්වාද එකතු විය යුතුයි. බුර්ෂුවා කලා දෘෂ්ටිය රාජිතගේ නාට්‍යකරණයේ දුර්වලම අක්ෂ්‍යයයි. එහි කෙළවර ඊනියා ගොදුරුවාදයයි. අප ජීවත්වන නරුම පශ්චාත් දෘෂ්ටිවාදී සමාජය යනු මෙම හොඳ-නරකවාදී සත්‍යය නොදන්නා සමාජයක්ද? හොඳටම දන්නා දෙයක් නොදන්නවා වාගේ සිටීම රාජිතගේ නාට්‍යයේ දෘෂ්ටිවාදී උගුලයි. ඔහු ක‍්‍රමය වේදිකාගත කිරීම වෙනුවට ගොදුරු වේදිකාගත කරනවා. නාට්‍යය පතෝල වන්නේ එවිටයි. එනම් ක‍්‍රමය සාමාන්‍යකරණය කිරීමයි. එහි ස්වාභාවිකකත්වයක් ගැන විශ්වාසයයි. ලෝකය කැරකෙන්නේ රාජිත වටාද? නැහැ. වහලා හැමදාම වහලෙක් වුණේ නැහැ. ප‍්‍රවේණිදාසයා හැමදාම ප‍්‍රවේණිදාසයෙක්ද වුණේ නැහැ. ක‍්‍රමය විශ්ලේෂණය හෝ විවේචනය යනු ක‍්‍රමයට යටින් පවත්නා උණුසුම් හදවතක වේදනාව (දරුවාගේ ප‍්‍රසංගය මගහැරුණ නවීන් වැනි) ෆැන්ටසිකරණය නොවෙයි. අවසාන දේශපාලන විග‍්‍රහයකදී මෙය ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන ලිබරල් ගැටලූවක්. රාජිතයානු දෘෂ්ටිවාදය තහවුරු කරන්නේ ‘අයෙකුට තමන් වීමේ අයිතියයි.’ එනම් නවීන්ට ‘නවීන්’ වීම හෝ මාධවීට ‘මාධවී’ වීම හෝ ධර්මසිරිට ‘ධර්මසිරි’ වීමේ අයිතියයි. අනන්‍යතා දේශපාලනයකට ගමන් ගන්නා එවැනි පශ්චාත් දෘෂ්ටිවාදී සමාජයක මිනිස්සු සමාජය සංවිධානය වන ක‍්‍රමයක් සලකන්නේ නැහැ. ඒ සමාජය යනු අන්තර් මනුෂ්‍ය සංවාදය කෙළවර වූ සමාජයයි. ඔබේ පරම සතුරා සමග හිනාවෙමින් දිනපතා නිදාගත යුතු සමාජයයි. තවත් දුර ගෙනිච්චොත් ක‍්‍රමය ගැන නාට්‍ය නොකර ක‍්‍රමය ගැන නාට්‍යකරුවා වීමේ රාජිතට ඇති අයිතියයි. ඒ තමා ක‍්‍රමයේ දෘෂ්ටිවාදය මහහරින සමාජයක හදවතේ ‘හඩ.’

රාජිත උග‍්‍ර දෘෂ්ටිවාදී අපගමනයක සිටින බවයි මගේ අදහස. රාජිතට ඊනියා බුද්ධිමත් ලාංකික පේ‍්‍රක්ෂකාගාරයේ ප‍්‍රතිචාර ගී‍්‍රක ත්‍යාගයක් බවට පත්වෙමින් පවතී. රාජිතට ලංකාවේ නාට්‍යකරණය ගැන හොඳ ඉවක් තියෙනවා. ඔව්, ඒක මම පිළිගන්නවා. උදාහරණයකට ‘ආදර වස්තුව’ නාට්‍යයේ සෞන්දර්යාත්මක පෙළ සැකැස්මේ ජවනිකා ගැලපුම් තුළ පේ‍්‍රක්ෂකාගාරය හෝරා දෙකකට ආසන්න කාලයක් නිර්මාණශීලිව රඳවා ගැනීමට ඔහු සමත්වෙනවා. රාජිත පේ‍්‍රක්ෂකාගාරයට බියවී ඇත. රාජිත, ඔබ ක‍්‍රමයට යටින් ඇති උණුසුම් හදවත් ගැන නොව ක‍්‍රමය ගැන නාට්‍යයක් කරන්න. ඔබගේ පැවැත්ම ගැන නොව නාට්‍යයේ පැවැත්ම ගැන සිතන්න. එදිනට ඔබ අපගේ ‘යුගයේ නාට්‍යකරවා’ වෙනු ඇති. එදිනට ඔබ ‘ආදර වස්තුව’ යළි වේදිකාගත නොකරනු ඇති. මන්ද? එය නාට්‍යයක් නොවන නිසාවෙනි. රාජිත…. ඔබ, නවීන් කෙනෙක්, ධර්මසිරි කෙනෙක් නොවී ‘රාජිත’ වන්න!

බූපති නලින් වික‍්‍රමගේ

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. දැක්කද සමාජ විචාර facebook කමෙන්ටුව. මොකක්ද ඒකට නලින් ගේ ප්‍රතිචාරය.

Comments are closed.