දීප්ති !       [Public Document – No 1]

අපගේ පැවැත්ම විප්ලවකරණය කිරීම උදෙසා වූ ගිණිපුපුර අප තුළම නිදන්ගත වී තිබුණ ද දෛනික ජීවිතයේ විනෝදයේ-නොසැළකිල්ල නම් අලු වලින් එම ගිණිපුපුර වැසී පවතී නම්, අප නැවත එම ගිණිපුපුර දල්වා ගන්නේ කෙසේද යන පැනය අප ඉදිරියේ දේශපාලන ගැටලුවක් ලෙස ශේෂව පවතියි. ද්‍රව්‍යමය යථාර්ථයේ නිෂ්ක්‍රීයභාවය තුළට සුභසාධක රාජ්‍යය විසින් පසුගිය වසර පනහ- හැට පුරාම ප්‍රදානය කරන ලද ද්‍රව්‍යමය වස්තූන් [උදාහරණ ලෙස- නිදහස් අධ්‍යාපනය, නොමිලේ හාල්, පොහොර සහනාධාරය, නොමිලේ නිල ඇදුම්, වැටුප් වර්ධක, වාහන බලපත‍්‍ර වැනි දෑ] ආසියාතික ආත්මයේ පූර්ව දාර්ශණික විනෝදය දිග්ගස්සනු මිස එය දශමයකින් හෝ විප්ලවීයකරණය සඳහා එය පිටුබලයක් නොවීය. ඒවායින් තව තවත් එම ආත්මයේ ගුප්ත ආගාධය වර්ධනය කළා පමණක් නොවේ ද ?
එම ආත්මයේ කලු කුහරය තුළට අවශෝෂණය කර ගන්නා වූ කිසිවකින් පෙරළා සමාජයට කිසිවක් ලබා දෙන්නේ නැහැ නොවේ ද ? ලක්ෂ ගණන් වියදම් කර වෛද්‍යවරයෙක් නිශ්පාදනය කළ ද ඇත්තමට දරුණු ලෙඩක් සෑදුණහොත් අපට සිංගප්පූරුවට යෑමට සිදුවනවා නොවේ ද ? උපාධිදාරීන් දේශපාලඥයන් ඇතුලූ හැමෝම තුළ ඇති මේ “විෂයමූලික විෂාදය” [Melancholy – මෙලන්කෝලියාව] අප පන්ති දේශපාලනය තුළ අතික්‍රමණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව මාවෝ සහ තවත් අය මුහුණ දුන් ගොවි ආත්මය [unground] විප්ලවීය කිරීම හා සමාන නොවන්නේ ද ?
ඔබගේ දේශපාලන ජීවිතය තුළ නිර්මාණය කරන ලද ප්‍රධාන දේශපාලන ප්‍රවාද සඳහා ගර්හා කරන ලද්දේ ඉහත පූර්ව-දාර්ශණික ගොවි ආත්මයේ ආගාධයේ ගොදුරු විසින් නොවේ ද ? ඔබ ඒ ගිණි පුපුර දල්වාලීමට උත්සහ කළ සෑම විටම ඔවුන් එය නිග්‍රහයට පාත‍්‍ර කළා නොවේ ද ? ඒ සෑම පශ්චාත් – නූතන මොහොතක් විසින්ම ඔබව නැවත ප්‍රති- නිර්මාණය කළා වුවත් [ප්‍රති-ජීවනය ලැබුවා වුවත්-මෙම වචනය ජිජැක්ගේය] පාවාදීම විසින්ම ඔබගේ ආත්මය නිර්මාණය කළා වුවත්, ඇයගේ විෂාදය [ආසියාතික ආත්මයේ පතුලක් නොපෙනෙන ආගාධය] විසින්ම ඔබගේ ආත්මය විප්ලවීකරණය කළා වුවත් , සත්‍ය ලෙසම අනෙකා විප්ලවීයකරණය කිරීම නම් ලෙනින්වාදියානු -මාවෝවාදී ප්‍රවේශය තුළ අනෙකා විනාශ වීම ඉතා පැහැදිළි දේශපාලන තත්ත්වයක් ලෙස අප හමුවේ පවතිනවා නොවේ ද ?

TheepanTC0411Col Theepan
ජිජැක් වෙත අපි මොහොතකට හැරෙමු,

  යක්ෂයා මිනිසා නිර්මාණය කළ ද එය මස් හා ලේ වලින් පමණක් සෑදුණ මැටි ගුළියක් පමණක් විය. එය සම්පූර්ණයෙන්ම නිස්සාර ජීවිතයක් විය. අමරණීය වූ කිසිවක් ඒ තුළ නොවීය. කොටින්ම ආත්මීය යමක් යක්ෂයාට නිර්මාණය කිරීමට නොහැකි වූ අතර ඔහුට දෙවියන්ගේ උදව් ඉල්ලීමට සිදුවිය. උදව් දීමට දෙවියන් එකග වූ අතර ඉහත යක්ෂයා නිර්මාණය කළ විෂාදී නිස්සාර භෞතික මැටි ගුළියට [Nalin’s Thesis] ජීවය දීමට දෙවියන් එකග විය. දෙවියන් අර නිස්සාර ජීවිතය තුළට ආත්මය ගෙන එන ලදී.
භෞතික ආත්මයත් ජීවිතයත් දෙකම ලබා දීම විසින් පූර්ණ මිනිසෙක් ලෙස පරිපූර්ණ වූ ඉහත ජීවිතය මෛථුන්‍යයේ සහවාසය නම් ඇදවැටීමට විපරිත කිරීම ඔස්සේ යක්ෂයා නැවත සාර්ථකභාවයට පත්විය. එවිට දෙවියන් තහනම නම් මූලික අහිමි කිරීම ඔස්සේ මිනිසාගේ ආත්මය නැවත ප්‍රති -නිර්මාණය කරන ලදී. ක්‍රිස්තියානිය විසින් මිනිස් ශිෂ්ඨාචාර්යට ලබා දුන් මෙම අතිමූලික උරුමය අප ආරක්ෂා කරගත යුතු බව ජිජැක් පවසයි. ලාංකික අර්ථයකින් විනෝදයේ ගිලී සිටි ආසියාතික ආත්මය තුළට තවතවත් පාරිභෝගික භාණ්ඩ පුරවා එම ජීවිතය පූර්ණ වශයෙන් විපරිතකරණය කිරීම ජේ.ආර් ජයවර්ධන විසින් පරිපූර්ණත්වය කරා ගෙනයන ලදී. මේ සදහා මූලික ප්‍රතිරෝධය [ආත්මය-subject- නැවත ගෙන ඒම] ජ.වි.පෙ. දෙවැනි කැරැුළ්ල හරහා විජේවීර සහෝදරයා විසින් ද [දෙවැනි කැරැුළ්ල ඔහු න්‍යායගත කළේ මූලික මාවෝවාදී ස්ථාවරය තුළට ජාතිවාදය ගෙන ඒම තුළින් විපරිත කිරීමෙනි : මෙය ඔබ විසින් ” මේ ගම මැදින් ගලනා ගඟ මනහරය “ ලිපිය තුළ මැනවින් න්‍යායගත කර ඇත ] ද්‍රවිඩ ජාතිකවාදය හරහා ප්‍රභාකරන් විසින් ද ඉස්මතු කරන ලදී. යමක් අහිමි කරන ලද සන්දර්භය තුළින් ඒ අහිමි වූ ඉඩ, හිඩැස විප්ලවීය අන්තර්ගතයකින් පුරවා දමනවා වෙනුවට ජේ.ආර්. විපරිත සෙල්ලමක් සම්පරීක්ෂණයක් ලෙස අවසන් කරන ලදී. නමුත් විජේවීර, ප‍්‍රභාකරන් කිරීමට උත්සහ කළ දෙයම ඔබ විසින් වෙනත් ආකාරයකට කිරීමට ගත් උත්සහය මෙම ගුප්ත ගොවි ආත්මයේ සිරවී සිටි විනෝද විෂය විසින් අවමානයට ලක් කළා නොවේ ද ? මොවුන්ට පිළිතුරු සැපයීමේ මෙහෙයුම වසර ගණනාවකට පසුව මීට සති කිහිපයකට කලින් අවසන් කළා වුව ද අපගේ න්‍යායගත කිරීම තවමත් නොඅවසන්ව පවතී. මේ සඳහා තවත් හැදෑරීම් සමූහයක් විවිධ දිශානතීන් ඔස්සේ [දර්ශනය,දේශපාලනය,ආර්ථිකය හා කලාව යන අංශ ඔස්සේ ]සාමූහිකව වහවහාම කළ යුතුව ඇත. මන්ද ධනවාදයට යා හැකි දුර තවත් විශාල කාලයක් නම් විය නොහැක. ආසියාවේ කිසිම රටක දේශපාලන පක්ෂයක් විසින් මෙවන් දෘෂ්ඨිමය පෙර සූදානමකින් කටයුතු නොකරන බව සෑම නිරීක්ෂණයකින්ම පැහැදිළි වෙමින් පවතී. එහි පූර්ණ ගෞරවය ඔබට හිමිය. මේ ගෞරවය ඔබට දීමට මැළිවන සෑම මොහොතක් විසින්ම ඒ පමාවන්නාගේ ආත්මය නිශ්පාදනය වීම ඒ හා සමාන කාලයකින් පමා වනවා ඇත.
පූර්වයෙන් පැවති සාරයකින් අප පූර්ව වශයෙන් ඛණ්ඩනය වී අපව මෙලොවට විසිකර දමා ඇත්නම් ( thrown into] එම නව ඓතිහාසික තත්ත්වයම [concrete historical situation ]අපගේ නිදහසේ පූර්ව කොන්දේසියක් නොවේ ද ? නව ද්‍රව්‍යමය යථාර්ථයේ නිශ්ක‍්‍රීයභාවයෙන් නිදහස් වීමේ අවශ්‍යතාවය පාපයක් ලෙස අර්ථකථනය කරන පශ්චාත් -නූතන ධනවාදය ආසියාතික බුද්ධාගමේ ඇති බාහිර යථාර්ථය සමග දුරස්ථභාවයක් පවත්වාගෙන යෑමේ සෙල්ලම -distance-තුළට අනන්‍ය වී ඇති සිංහල ගොවි ආත්මය සමග එකට ගමන් කිරීම , අභියෝග කිරීම අපගේ දේශපාලන ගමනේ ප්‍රධාන දෘෂ්ඨිමය-භාවිතාමය අභිලාෂය බවට පත්විය යුතු නොවේ ද ?
ඔබ විසින් පසුගිය දශක දෙකක පමණ කාලය තුළ විශාල වශයෙන් කළ මෙම කාර්යය නව වටයකින් පුනර්-ජීවනය කළ යුතුය. විමුක්තියේ මාර්ගය සෑදී ඇත්තේ පාපය පරාජය කිරීමෙන් නොව අපගේ නොසැළකිල්ල පරාජය කිරීමෙන් බවට ජිජැක් මතු කරන තර්කය තුළ ඇත්තේ ඉහත ආසියාතික නොසැළකිලිමත්-දුරස්ථභාවය තුළ ගිළී සිටින ගුප්ත ආත්මයට [?] අහිමි වී ඇති දෙය යන්න කුමක් ද යන්න පංති-අරගලයේ ඛණ්ඩාංක තුළම නැවත නිර්වචනය කිරීමෙන් පමණක් යැයි කිව හැකිය. සත්‍ය වශයෙන් ලාංකිකයා තමා අයිති යැයි පරිකල්පනය කරන අතීතය සත්‍ය වශයෙන්ම දෘෂ්ඨිවාදී මායාවක් නම් ? අධිරාජ්‍යවාදීන්ට අහිමි කිරීමට හෝ යමක් අප තුළ නොතිබුණේ වී නම් ? පූර්වයෙන් වූ නිවහනක් නොමැතිව අප අද්‍යතන ද්‍රව්‍යමය යථාර්ථයට විසිකර දමා ඇත්නම් ඉදින් ඒ නව අහිමිකරන ලද විතැන්වීම නව ලෝකයක් සඳහා වූ විප්ලවීය නූතන අන්තර්ගතයකින් පුරවා දැමිය යුතු වූ අනාගතයේ පූර්ව කොන්දේසිය නොවිය හැකි ද ?
තාක්‍ෂණයේ අධි-වර්ධිතයෙන් විගලිත වූ බටහිර ආත්මයේ ආතතිය සමනය කරනු ලබන්නේ බටහිර බුද්ධාගම විසිනි. නව ගෝලීය තත්ත්වය හා දුරස්ථභාවයක් පවත්වාගෙන යමින් එම ධනවාදය තුළම [එයට නොඇළී ] ජීවත්වීමේ ගුප්ත තාක්‍ෂණය බටහිර බුද්ධාගම දැන් ප්‍රගුණ කරයි.[Critique of Jayantha S. Jayamuni] සමහර භික්ෂූන් දැන් දැන් එය ලංකාව තුළ ද ප‍්‍රචලිත කරමින් සිටියි. මෙය යම් මට්ටමකින් පෙරදිග දර්ශන ආභාෂය සහිත වූ සාන්දෘෂ්ඨිකවාදය විසින් ද මීට දශක කිහිපයකට පෙර අත්හදා බලා ඇති අතර එයම නව වටයකින් නැවතත් පුනර්ජීවනය ලබමින් ඇත. මෙවර එය දර්ශනයෙන් භෞතික භාවිතාවක් දක්වා විලාසිතාතරණය කරනු ලැබ ඇත. මුඛ්‍ය වශයෙන් මෙම ගුප්ත අභ්‍යන්තර සාමය [INNER PEACE] නම් දෘෂ්ඨිවාදී මර උගුල පරාජය කළ යුතු වෙමු. එම ගුප්තබව විසින් යෝජනා කරන පැරණි සම්ප්‍රදායන්ට ආපසු ගමන් කිරීමේ තාක්‍ෂණ මායාව විප්ලවීය සන්දර්භයක් තුළ පලායෑමක් ලෙස අප දැකිය යුතුය. එනයින් ආගම යනු අබිං නම් පැරණි මාක්සියානු කියමන නැවත ප‍්‍රාණවත් කළ යුතු නොවේදැයි ජිජැක් විමසා සිටියි. බටහිර බුද්ධාගමේ මැදිහත්වීම භෞමික කාළකණ්නිභාවය වසා දමන්නා වූ දෘෂ්ඨිමය කඩතුරාවකි. ධනවාදයේ ගතිකත්වයට පූර්ණ වශයෙන් සහභාගිවීම තුළම මානසික ප්‍රකෘත්තිය පවත්වාගෙන යෑමට නිර්ධන පංතියට උදව් කිරීම අද දවසේ විප්ලවීය දේශපාලන ව්‍යාපාරයක ප්‍රමුඛතම කාර්යභාරයයි.
මැක්ස් වේබර් අද ජීවත් වූවා නම්, ප්‍රොතෙස්තන්ත‍්‍ර සදාචාරය හා ගෝලීය ධනවාදයේ ආත්මය නම් වෙලුමට තාවෝවාදී සදාචාරය නමින් තවත් වෙලුමක් එකතු කරනවා නොඅනුමානය.
[ස්ලෙවෝයි ජිජැක්]

මහේෂ් හපුගොඩ..

ප.ලි –
1. මාක්ස්වාදය යනු හුදු ද්‍රව්‍යමය තත්ත්වයන්ගේ වර්ධනයක් පමණක් සාකච්ඡුා කළ තත්ත්වයක් නොවේ. එය ආත්මීය නිර්මාණශීලිත්වය ඔප්නැංවීම පිණිස වූ ජීවන දර්ශනයක් ද වේ. ඒ තුළ නැවත අතීතය කරා යෑමේ කිසිදු ඉඩකඩක් ශේෂ නොකරනු ලබයි. අධිරාජ්‍යවාදීන් විසින් අහිමි කරා යැයි පැවසෙන අපගේ පූර්ව-යටත්යිජිතවාදී අභ්‍යන්තර සාමය යනු පූර්ව අපිළිවෙළකින් සමන්විත වූ තත්ත්වයකි. යටත්විජිතවාදය විසින් ප‍්‍රතිසංස්කරණය කරනු ලැබුවේ පැවති අසංවිධිතතාවය තුළ ශේෂ වී තිබූ සාම්ප‍්‍රදායක බැදීම් වේ. කුළය-ආගම-ඉඩම් අයිතීන්-සමාජ සංස්ථා නැවත පුනර්ජීවනය [resusitated] කරන ලද අතර ලාංකික සමාජයට යමක් අහිමිවීමක් පිළිබඳ හැගීමක් ඇති වීම ඔවුන් විසින් කපටි අයුරින් අමතක කරවන ලදී. හරියටම මෙය පූර්ණ ධනවාදය විසින් අහිමිකිරීමට යෙදෙන තත්ත්වයන් සුබසාධක රාජ්‍යයේ මැදිහත්වීම් විසින් කපටි අයුරකින් නැවත ප‍්‍රතිස්ථාපනය කරනවා වැනිය. මාවෝ විසින් කරන ලද විශිෂ්ඨතම ක‍්‍රියාව නම්, පැරණි ස්වාමියාගේ නැවත ආගමනය පූර්ණ වශයෙන් අහෝසි කිරීමයි. ඔහු විසින් චීන සමාජය පූර්ණ වශයෙන් පැරණි බන්ධනයන්ගෙන් මුදවාලීමට උත්සහ කළ අතර ඔහුගේ ප‍්‍රධානතම දුර්වලතාවය වූයේ නව තත්ත්වය තුළම ඉස්මතු වූ පරස්පරතා සත්‍ය ලෙෂ විප්ලවීකරණය තුළ නිරාකරණය කරගැනීමට උත්සහ නොකිරීමයි. පහළ ශ්‍රේණි වලින් උච්චාරණය වූ එම තත්ත්වයන් සත්‍ය ලෙසම විප්ලවයේ අඩුපාඩුකමක් නොව එහිම ගතිකත්වයක් ලෙෂ තේරුම් නොගෙනීමයි. එම ඉස්මතුවීම මර්ධනය කිරීම විප්ලවීය මරාදැමීමක් වන බවත් පූර්ව විප්ලවීය පරස්පරතා [ අතීතය හා එහි ස්වාමීන් ] හා නව පරස්පරතා ජයග‍්‍රහණය කිරීම ද්විත්ව-විප්ලවීය-ජයග‍්‍රහණයක් ලෙස ඔහු තේරුම් නොගැනීමත්ය. ජිජැක් පවසන පරිදි විප්ලවයේ සිහිනයෙන් පසු සිහින දැකීමේ මැදිළිය ද නැවත නිපදවාගත යුතු වේ.

2. පූර්ව දාර්ශණික අඩංගුව යනු  ග්‍රීක දාර්ශණය ගුප්ත ආසියාතික විශ්වයෙන් ඛණ්ඩනය වීමේ ප‍්‍රාරම්භක බටහිර අභිනයයි. මෙම ඛණ්ඩනය යනුවෙන් අදහස් වන්නේ මිත්‍යාමය ප‍්‍රබන්ධයෙන් විතැන්වීමට වඩා එය තුළම සිදු කෙරෙමින් යන අරගලයයි. දර්ශනයට මිත්‍යා ප‍්‍රබන්ධයක් අවශ්‍ය වේ. උදාහරණ ලෙස ෆ්‍රොයිඞ්ගේ පූර්ව පියා හෝ ලැකාන්ගේ ලමේලා වන් බාහිර අනවසර බලවේගයක් යථක් ලෙස පැවතීමෙන් යම්කිසි සංකල්පයක සංකල්පීය මතුපිට මසා දැමීම ඔස්සේ දර්ශනයේ අභ්‍යන්තර ගර්භය/අරටුව නිරුපද්‍රිතව පවත්වාගෙන යා හැකිය. නමුත් මේ යටපත් කළ මිත්‍යාමය ගුප්තබව පශ්චාත් නූතන සමාජයන් තුළ රැුඩිකල් අයුරින් ඉස්මතු වෙමින් පවතී. අද්‍යතන සමාජය පාලනය කිරීමේ එක් අභිනයක් ලෙස ප‍්‍රබුද්ධභාවය අභිබවා මෙම මිත්‍යාමතික අභිනය ප‍්‍රති-මිත්‍යාකරණයවීමක් දක්නට ලැබේ. මෛත‍්‍රීට විරුද්ධව එක දිගට පොල් ගසන්නේ එබැවිණි.

ඔබේ අදහස කියන්න...