සා [ප්‍රසන්න ධනසේකර]සහෝදරයාගේ මතකයට!

බාගවිට ලංකාවේ මුළු මහත් වාමාංශික ව්‍යාපාරයම නොඇසූ ‍ප්‍රථම ප්‍රශ්නය ඇසුවේ අපගේ දේශපාලන සංවිධානයයි. එනම් , විධික්‍රමය පිළිබඳව ගැටලුවයි. අපගේ ‘ගැටලුව’ (problem) මෙසේ ස්ථිතික කළ හැකිය.

           “මොන තරම් විද්‍යාත්මක ක්‍රම මඟින් ආලෝකය ලැබුවත් (දර්ශනවාදයන් ද ඇතුළත්ව) ලංකාවේ ‘සමාජ යථාර්ථය’ විනාශ නො වන්නේ ඇයි?”

           ඉහත ප්‍රශ්නයට උත්තරය ලෙස සූත්‍රගත කරගත් සමීකරණය ලංකාවේ කිසිදු පර්යේෂකයෙකුගේ විධික්‍රමය සමඟ ගැළපෙන්නේ නැත. උත්තරය සංයුක්තව මෙලෙස සාරාංශගත කිරීමට හැකිය.

         “ලංකාවේ මිනිසුන් තවම තමන්ට අවිඥානයක් තිබේ කියා අඩුම වශයෙන් විශ්වාසයක්වත් (දැනුමක් නොවේ) ලෙසවත් භාර නොගනී. එබැවින්, ඔවුන් ක්‍රියාවේදී ‘දෘෂ්ටිවාදය’ වැළඳ ගනී”.

90 දශකය මැද දී අප ශ්‍රී ලංකාවට හඳුන්වාදුන් ඥාන-විභාගය වූයේ ‘ව්‍යුහවාදී වාග් විද්‍යාවයි’[structural linguistics]. මෙමඟින්, ලංකාවේ ඒ දක්වා ‘යථාර්ථය’ නම් සංකල්පයට තිබූ වැදගත්කම අප ‘භාෂාවට’ ආරෝපණය කරන ලදී. ඒ දක්වා ලංකාවේ ඥාන විඥානයේ පදනම සාංදෘෂ්ටිකවාදය (මිනිසා යනු සත්තාවේ නිර්මාණයකි. නැතහොත් සාරාත්මක දේවල් වලට වඩා පැවැත්මේ ව්‍යාපෘතිය විචාරාත්මකය) මත පදනම් වූ ජීවන දර්ශනය විනාශ කර මිනිසා සහ සමාජ යථාර්ථය අතර පවතින්නේ භාෂා බිත්තියක් බව සංකල්පගත කරන ලදී”.

                ‘ව්‍යුහවාදය’ පිළිබඳව ජයදේව උයන්ගොඩ මෙලෙස නිර්වචනයක් ලබා දෙයි.

           “ව්‍යුහවාදය යන්නෙන් මූලික වශයෙන්ම ඇඟවෙන අදහස නම් මනුෂ්‍ය සමාජයේ ක්‍රියාකාරීත්වය සහ පරිවර්තනය අවබෝධ කරගත යුත්තේ මනුෂ්‍ය කතුවරුන්ගේ මනෝමූල අභිලාෂයන් තුළින් නොව, ඔවුන්ට සහ ඔවුන්ගේ මනසට ස්වාධීනව පවතින ව්‍යුහයන්ගේ ක්‍රියාකාරීත්වය තුළින්ය යන්නයි”.

          ව්‍යුහවාදය පිළිබඳ අපගේ සංවිධානයේ නිර්වචනය තරමක් ව්‍යාකූල සහ සන්දර්භීය එකකි. කෙටියෙන් කිවහොත්, ‘ව්‍යුහය’ (structure) යනුවෙන් අප අදහස් කරන්නේ, කතුවරයෙක් නැති භාෂාව විසින් අපව අවිඥාණිකව පාලනය කරන බවයි. මෙතැනදී,අවිඥානය යනුවෙන් අදහස් වන්නේ ෆ්‍රොයිඩ්ගේ අවිඥාණය නොවේ.මෙතැනදී, සාකච්ඡා වන්නේ ‘ව්‍යුහාත්මක අවිඥානයක්’ පිළිබඳවයි. මෙම ව්‍යුහාත්මක අවිඥානය මනෝවිශ්ලේෂණ අවිඥානයට වඩා පුරාණ සහ පූර්වගාමී එකකි. තරමක් වරද්දා කියන්නේ, මිනිසා ‘කියවීම’ නම් ක්‍රියාවට ඇතුල් වන්නේ කතුවරයා ප්‍රකෘතිය (නිශ්චල ස්වභාවයක් හෝ සාරාත්මකයක් ලෙස) ලෙස ගනිමිනි. අපි උදාහරණයකින් අපගේ විධික්‍රමය විදාරණය කරමු.

             සුමිත් චාමින්ද ”ග්‍රාම්ස්චිගේ ‘සිරගෙදර සටහන්’ ” පොත කියවන විට එහි කතුවරයා වන ග්‍රාම්ස්චිව ප්‍රකෘතියක් ,මධ්‍යයක් , logoවක් ලෙස ගනී. එනම්, ඔහුගේ පරිවර්තන කෘතිය තුළ තිබෙන හැඟවුම්කාරක පිළිවෙළ සහ හැඟවුම් පිළිවෙල අතර සංගතිය ග්‍රාම්ස්චි නම් කේන්ද්‍රයකට යා කරයි. එය ග්‍රාම්ස්චිව පාරභෞතිකකරණයකට ලක් කිරීමකි. යමක් ලියන විට සහ ලියා අහවර කළ විට කතුවරයා ඔහුගේ කෘතියේ අභිමතාර්ථය හෝ අර්ථය වෙනුවෙන් පෙනී සිටින්නේ නැත.

               පරිවර්තකයාට මඟහැරී යන සත්‍යය වන්නේ, ඔහු සහ ග්‍රාම්ස්චි නම් හැඟවුම්කාරකය අතර ඇත්තේ භාෂාව නම් බිත්තියක්-Gap– බවයි. මෙම භාෂාව නම් බිත්තිය ග්‍රාම්ස්චි ගැන කිසිවක් කියන්නේ නැත. ‍ව්‍යුහාත්මක අවිඥානය යනු , පරිවර්තකයා සහ ග්‍රාම්ස්චි නම් කතුවරයා අතර පවතින පරතරය (Gap) නොකියවීමයි. මෙම නොකියවීම අහම්බයක් නොව  පූර්ව අගතියකි. එම පූර්ව අගතිය සිංහල ජනවිඥානයේ හෝ ජනශ්‍රුතියේ සාරාත්මක අගතියකි. එබැවින්, පරිවර්තකයා ‘ව්‍යුහවාදය’ විද්‍යාවක් ලෙස කිසිදා ඉගෙන ගෙන නැත. ඔහු පූර්ව-ව්‍යුහවාදියෙකි. පරිවර්තකයා තවමත් සිතන්නේ තමන් කතුවරයාගේ සිතුවිලි පරිවර්තනය කරන බවයි. එනම්, විද්‍යාමාණයන්ගේ පාරභෞතිකය යි.[metaphysics of presence- the nature of the present or presentness] එහි අදහස වන්නේ, කතුවරයාගේ අර්ථ සම්පාදනය සඳහා කතුවරයාම පෙනී සිටින බව වාස්තවිකව ඇදහීමයි. මෙය වාගීශ්වර විශ්වාසයකි[Logo centrism]. සරලමතිකයන් ගස් ගල් වන්දනා කරන පරිදි , වාගීශ්වරවාදීන් ග්‍රාම්ස්චි නම් පිළිමයට වන්දනා කරයි.

           ඉහත සාරාංශයෙන් අප කියන්නේ, සරල දෙයකි. සුමිත් චාමින්ද කිසිදා x සංවිධානයේ ව්‍යුහවාදී පන්ති වල සිට නැත. ජීන් බෝද්‍රිලාට අනුව ඉරාක යුද්ධය යනුවෙන් දෙයක් රූපවාහිනී තිර මත මිස ඉරාක භූමියේදී සිදු නොවූ පරිදි සුමිත් චාමින්ද යනුවෙන් පුද්ගලයෙක් x කණ්ඩායමේ සාමාජිකයෙකු වන්නේ ජනප්‍රියවාදී මෝඩයන්ගේ පුවත්පත් පිටු මත මිස x පන්ති කාමරය තුළ නොවේ. ඔහු දන්නා ව්‍යුහවාදයක් නැති අතර ඔහු අයත් වන්නේ පූර්ව x යුගයේ වාම දේශපාලනය සතු කියවීමේ විධික්‍රමයටයි. එනම්, කතුවරයාගේ පාරභෞතික ගවේෂණයයි. කාල් මාක්ස්ගේ සිට අර්නස්ට් ලැක්ලෝ,ෂන්තාල් මුග් දක්වා අයව පවා චාමින්ද වර්ගයේ සරලමතිකයන් කියවන්නේ කතෘ කේන්ද්‍රීය ආඛ්‍යානයක් (මහා-ආඛ්‍යාන) ලෙසිනි. ඒ අනුව, ‘දීප්ති’ කවුද කියා චාමින්ද ඇසීම පුදුමයක් නොවේ. එතනදී , ඔහු කතුවරයා මකනයක් යටට – Under Erasureතල්ලු කරනු ලැබේ.

                                        x සංවිධානය විසින් ලංකාවට කියාදුන් ඉහත පාඩම ඉගෙන ගත්තේ කවුද? කිසිවකු නැත. තවමත් භාෂාව යනු,ව්‍යුහයක් කියා ගන්නා වාමාංශිකයන් ඉන්නවාද? ශ්‍රී ලංකාව උණ සංවර්ධනයට ලක්වේය යන තිසීසයට වඩා භාෂාව යනු චින්තනය සහ ක්‍රියාව පාලනය කරන අවිඥානක ව්‍යුහයක් ලෙස ගැනීම රැඩිකල්ය. මන්දයත්,භාෂාව හරහා කතුවරයාට පාරභෞතික උත්පත්තීන් සලකුණු කිරීම ජාතිවාදය තරම් විඥාණවාදයක් වීමයි.

02

ඊළඟට අප ලංකාවට හඳුන්වාදුන් ව්‍යුහය වන්නේ, අවිඥාණයයි. සාධාරණ වාග් විද්‍යාවට අනුව භාෂාව යනු , සාරයන් නිපදවන අඩවියක් නොව ආකෘතීන් බිහි කරන අඩවියකි. එතැන තේරුම් ගැනීම සහ අනුභූතිය යන සාධක දෙකම පාරභෞතික ක්ෂේත්‍රයකට ගමන් කරයි. සෝෂියර්ට අනුව භාෂාව යනු, අවසානයක් නැතිව වෙනස්කම් අතර අර්ථයන් පාවීමයි.එයට කේන්ද්‍රයක් නැත. විකේන්ද්‍රීයයි. භාෂාව මිනිසාගේ කටහඬ හරහා ඔහුගේ/ ඇයගේ අභ්‍යන්තරය එළියට (සන්ථවය බාහිරට විසරණය වීම) දමයි. එවිට, එය ස්වකීයත්වයක් නොව අනේකත්වයකි. මේ අනේකත්වය පාරාන්ධය.                          

භාෂාව නිදහසේ පාවෙන ඔරුවක් නම් එය කේන්ද්‍රයකට සවි වන බව පෙන්වූයේ ජාක් ලැකාන්ය. ඔහුට අනුව මිනිසා තුළින් කතා කරන්නේ සත්තාව (Being) නොව විනෝදයයි (Enjoyment). චල්‍ය වන භාෂාවට නැංගුරමක් දමන්නේ ආත්මයයි (Subject). භාෂාවට අවසන් වරට අර්ථය එන්නේ logoවෙන් නොව Logoවට එහායින් ඇතැයි සමපේක්ෂණය කරන විනෝදය තුළයි.

සුමිත් චාමින්ද දැනට වසර පහළොවක් ග්‍රාම්ස්චි නම් හැඟවුම්කාරකයේ අර්ථය විවරණය කරයි. නමුත් අසමත් වෙයි. යළි යලිත් ලියයි. ඉවරයක් නොවන මුවන්පැලැස්ස රේඩියෝ නාටකය මෙන් නැවත නැවත දිගට දිගට ලියයි. ඉවරයක් නොවන මෙම ලිවීම (Drive) වේදනාත්මක සතුටකි. ග්‍රාම්ස්චි ගැන ගොඩ නගන මෙම සිංහල පාරභෞතික භාෂාව තුළ නැත්තේ කවුද? මෙම අනවරත ලිවීම නිසා වේදනාවට පත් වී ඉන් සතුටු වන්නා නොමැතිව, මෙම අනවරත භාෂාවට පැවැත්මක් නැත. අවම වශයෙන්, පුවත්පත් කතුවරු පත්තර හෝ විකුණා ලාභ ගනිති. චාමින්දට ඇත්තේ වේදනාවෙන් සතුටු වීම පමණි. ලැකාන් පහදන අවිඥාණක ආත්මය ඇත්තේ මෙතැනය. මෙවැනි ආත්මයක පැවැත්ම ගැන අප දන්නා කිසිදු වාමාංශිකයෙකු යමක් සඳහන් කරන්නේ නැත. ව්‍යුහවාදය විඥාණවාදයක් නොවන්නේ ආත්මය විසින් භාෂාව අ-සම්පූර්ණ-incomplete- කරන නිසාය. විධික්‍රමවාදියෙකුට විනෝද වන ආත්මයේ සමාජ-දේශපාලන මානයන් විශාල ගණනක් විවරණය කර ගැනීමට හැකිය. සුමිත් චාමින්ද හෝ පැරණි x සාමාජිකයන් කිසිවෙකු මනෝවිශ්ලේෂණය ඉගෙන ගත්තේ නැති අතර ස්ත්‍රීන්ට මානසික රෝග ඇතැයි අප පවසනවා කියා අපට එරෙහිව මඩ ප්‍රහාරයක් පමණක් එල්ල කරන ලදී. මේ මඩ ප්‍රහාරයේ මූලිකයා පිරිමින්ගේ ‘අද’ අදහස් වෙළදපොල (පුරුෂාර්ථ) තුළ තම බිරිඳ විකිණී යනවා සතුටෙන් බලාසිටි. අප ඉහත කෙටියෙන් සාරාංශ ගත කරන ලද්දේ, අපගේ සංවිධානය ශ්‍රී ලංකාවේ හුදු ජනයාට ඉදිරිපත් කළ ‘ව්‍යුහාත්මක ඥාණ විභාගය’ ගැන ප්‍රථම පාඩම් දෙකයි. අප තවමත් ඉතිහාසය නම් වේදිකාව මත සිටගෙන සිටින්නේ විප්ලවවාදී ගුරුවරුන් ලෙස අපගේ භූමිකාව තවම වියැකී ගොස් නැති නිසාය.  

Party Team-2019-12 -26.

ඔබේ අදහස කියන්න...