‘ඉන්දියාවේ ඉතිහාසය’ නම් ග්‍රන්ථය මහාචාර්ය රොමිලා තාපර් ආරම්භ කරන්නේ මෙසේය.

               “යුරෝපීයයන් බොහෝ දෙනෙකු ඉන්දියාව සම්බන්ධයෙන් මවා ගත්තේ, මහා රාජාවරුන්, නයි නටවන්නන් සහ කඹ විජ්ජාව පිළිබඳ දර්ශනයකි. (ෆැන්ටසිය?) එහෙත්, පසුගිය වසර 20 තුළ දී ආර්ථික අතින් ඌන සංවර්ධන රටක් වශයෙන් ඉන්දියාව ගැන වැඩි වැඩියෙන් සඳහන් වනු සමඟම, මහා රජාවරුන්, නයි නටවන්නන් සහ කඹ විජ්ජා ආශ්‍රිතව ඇති වී තිබුණු ඝන පටලය තුළින් ඉන්දියාව තරමක් චංචල, ප්‍රාණවත් රටක් වශයෙන් දක්වන චිත්‍රය ඉස්මතු වන්නට විය. මහාරජාවරු දැන් වේගයෙන් අතුරුදන් වී ගෙන යති.”

           ඉන්දියාව සම්බන්ධයෙන් ‘කාල් මාක්ස්’, 1853 දී සටහන් කරන්නේ පහත ආකාරයටය.

             “ඉන්දියානු සමාජයට ඉතිහාසයක් නැත. යටත් පිරිසෙයින් එවැන්නක් තිබුණා දැයි මෙතෙක් දැනගන්නට නැත. ඉතිහාසය වශයෙන් අප හඳුනාගන්නේ නොයෙක් වතාවලදී එහි පැමිණි ආක්‍රමණිකයන් විසින් පිහිටුවන ලද අධිරාජ්‍යයන්ගේ ඉතිහාසයයි. එලෙස අධිරාජ්‍යයන් පිහිටු වන විට, ඉන්දියාව ඒවාට විරෝධය පා නැත. එසේම, ඉන්දීය සමාජය වෙනස් නොවී එකතැන පල්වෙන එකක්ද වෙයි. එංගලන්තෙට ඉන්දියාව තුළ ද්විත්ව මෙහෙවරක් ඉටු කරන්නට සිද්ධ වී තිබේ. එයින් එකක්, නාශකාරීය. අනෙක, ප්‍රතිජනනාත්මකය. පැරණි ආසියාතික සමාජය මුලින්ම උපුටා දමා, ආසියාව තුළ ‘බටහිර සමාජයක්’ ඉදි කිරීම සඳහා කටයුතු කරන්නට එංගලන්තයට සිදුවී තිබේ”. 

          -The Future Results of British-India in India; Karl Marx-

               ‘අධිරාජ්‍යවාදය’ සහ ‘යටත්විජිතය’ යන සංකල්ප වටහා ගැනීමට යාමේදී, ජාතිවාදයා සහ මාක්ස්වාදීයා අතර වෙනසක් නැත. ඔවුන් දෙදෙනාම අනුගමනය කරන්නේ පහත ආකාරයේ කාල අනුක්‍රමණයකි. (රූපික තර්ක ව්‍යුහය)

 (A) ඉන්දියාව- පරිපූර්ණත්වය- සංවාදය

(B) බ්‍රිතාන්‍ය ආක්‍රමණය- පරිපූර්ණ බව අහිමි වීම. පරගැතිභාවය- විසංවාදය

(C)  ස්ව රාජ්‍යය- (නිදහස)- ‘බටහිර’ ඉන්දියාවට පැමිණීමට පෙර පැවති අයහපත් අංග හලා බටහිර චින්තනයේ සාධනීය අංග ද එකතු කොට අලුත් ඉන්දියාවක් නිම කිරීම. නූතන ඉන්දියාවට අලුත් අඩංගුවක් එකතු කළේ, ඉන්දීය ජාතික ව්‍යාපාරය යි.

\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\\

        හේගලියානු දයලෙක්තික තර්ක ව්‍යුහය යොදා ගනිමින් කරන ”මනෝවිශ්ලේෂණ භෞතිකවාදයේ” අනුක්‍රමණය පහත පරිදි වේ. මේ දයලෙක්තික ක්‍රමයට අනුව, තර්කය අවසානයේ යමක් එකතු වීම [+] වෙනුවට යමක් අහිමි [-] වෙයි.

          1) බ්‍රිතාන්‍ය ඉන්දියාව ආක්‍රමණය කිරීම නොහොත් නිශේධනය.[Negation]- ඒ වන විට, ‘ඉන්දියාවට’ ඉන්දියාව යනුවෙන් නමක්වත් නැත. එවිට එහි පැවතියේ, අත්තනෝමතික ප්‍රාදේශීය පරිපාලනයකි. ඒ අනුව, ඉන්දියාවට ‘ආශාව’ – desire- හඳුන්වා දෙන්නේ එංගලන්තයයි. එනම්, හැම්ලට්ගේ ආශාවයි. එනම්, අඩමාණ ආශාවයි.

(1.1) ඉන්දීය කල්පිත පරිපූර්ණත්වය (රාජ්‍යය) බිහි වීම. ඉන්දීය අතීතය; ස්වාර්ථක දෘෂ්ටිවාදය.

(1.2) ඉන්දීය කල්පිත පරිපූර්ණත්වය බ්‍රිතාන්‍ය නිර්මාණයක් බව වටහා ගැනීම– ඉන්දීය වර්තමානය; පරාර්ථක දෘෂ්ටිවාදය– ඉන්දීය රාජ්‍යය මතවාදී උපකරණ.

(1.3) ස්ව රාජ්‍ය බිහිවීම නැතහොත් ඉන්දියාව නිදහස් සටනින් දිනීම– ඉන්දීය පරිපූර්ණත්වය මොහොතකට බිහි වී, එම මොහොතේම එය බ්‍රිතාන්‍ය නිර්මාණයක් බව වටහා ගැනීම. අහිමි වූ දෙය හිමි වනවා නොව අහිමි වූ දෙයක් අහිමි වීම- ඕපපාතික දෘෂ්ටිවාදය. වර්තමාන ඉන්දියානුවාට මේ නිසා අනාගතයක් නැත. 

                ඉන්දීය ආත්මීය අවශ්‍යතාවයක් වෙනුවෙන් බ්‍රිතාන්‍ය නම් බාහිර අනන්‍යතාවය ග්‍රහණය කිරීම ඉන්දීය දෘෂ්ටිවාදයයි.

              ඉන්දියානුවන්ට ‘ඉන්දීය දෘෂ්ටිවාදය’ ග්‍රහණය කිරීමට අවශ්‍ය නම්, තම ඉතිහාසය දයලෙක්තික තර්ක ව්‍යුහය තුළට රැගෙන ආ යුතුය. එය කළ හැක්කේ, ඉන්දියාව ඥාණයක් ලෙස තේරුම් නොගෙන ‘ආත්මීය සාධකයක්’ ලෙස කියවීමෙනි. ඉන්දීය දෘෂ්ටිවාදයේ හරය තුළ ඇති ප්‍රතිවිරෝධය කියවීමට ඉන්දීය මහජනයා සත්භාවවේදයට (Ontology) ඇතුළු විය යුතුය.

               සද්භාවය යන සංකල්පයේ අන්තර්ගතය වන්නේ, පැවැත්මක් නැති දෙයකට මිනිසුන් විසින් පැවැත්මක් තිබෙනවා යැයි සිතීමයි. උදාහරණයක් ලෙස, ‘මකරුන් කටින් ගිනිදැල් පිට කරයි’. ඇත්තටම, මකරුන් යනුවෙන් දෙයක් නැත. එමෙන්ම, මකරුන් යනු, පුටු, මේස වැනි දෙයක් ද නොවේ. නමුත් මිනිසුන් විසින් මකරුන් යනුවෙන් සත්ත්ව කොට්ඨාසයක් සිටිනවා යැයි විශ්වාස කරන අතර ඔවුන්ට පැවැත්මක් තිබෙනවා යැයි සිතයි.

          ඒ අනුව, ඉන්දියානුවන් සිතනවා ඔවුන්ට ‘ධනවාදයක්’ තිබෙනවා කියලා. නමුත් ඇත්තටම ඔවුන්ට ධනවාදයක් නැහැ. මන්ද, බ්‍රිතාන්‍ය විසින් ඔවුන්ව ආක්‍රමණය නොකළේ නම් ඔවුන්ට ධනවාදයක් නැති බැවිනි. එහෙත්, ඔවුන්ට අද ධනවාදයක් තිබෙන්නේ බ්‍රිතාන්‍ය විසින් ඔවුන්ව ආක්‍රමණය කළ නිසාය. එබැවින්, ඔවුන් ඔවුන්ට ධනවාදයක් තිබෙනවා යනුවෙන් සිතුවත්, ‍බ්‍රිතාන්‍ය නොපැමිණියේ නම් ඔවුන්ට අද ‘ධනවාදයක්’ කියා දෙයක් නැත. මෙහිදී සිදු වී තිබෙන්නේ, ඉන්දියානුවන් විසින්  ‘නැති දෙයක්’ ‘තිබෙනවා’ යනුවෙන් සිතීමයි.

               ඒ අනුව, ‘ඉතිහාස අධ්‍යයනය’ සඳහා අපි නව-ක්‍රමවේදයක් යෝජනා කරන්නෙමු. ජාතිකවාදී ඉතිහාසවේදයන්ට එරෙහිව සටන් කිරීමේදී, මෙම ඥාණ විභාගය ඉතා ප්‍රයෝජනවත් විය හැකිය. ‘මාක්ස්වාදය’ පුනර්ජීවනය කිරීමේ ක්‍රමවේදය මෙයයි. මෑතකදී, පළවු ‘ඉන්දීය ඉතිහාසය’ පිළිබඳ පොතකට අනුව වැඩි කාලයක් ඉන්දියාව පාලනය කර ඇත්තේ, බ්‍රිතාන්‍ය කිරීටය හෝ පාර්ලිමේන්තුව නොව ‘නැගෙනහිර ඉන්දීය සමාගමයි’. ඒ අනුව, ලංකාව පාලනය කලේ කවුද යන්න නැවත නිර්වචනය කළ යුතුය.

=========================+++++++++++++++++++++++++++

ඔබට උත්තර යෝජනා නොකරන, නිවැරදි ප්‍රශ්නය ඇසීමට, අධ්‍යයනය කරන අප සමඟ එකතු වෙන්න.

ඉගෙන ගැනීමට අවශ්‍ය නම්, අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය

 

ඔබේ අදහස කියන්න...