ධර්මසිරි බණ්ඩාරනායක විසින් අධ්‍යක්ෂණය කළ ‘තුන්වෙනි යාමය’ චිත්‍රපටය ප්‍රදර්ශනය වූයේ 1983 වර්ෂයේය. ඉන්  අදහස් වන්නේ කාලය වසර 35 ක් පමණ ගෙවී ගොස් ඇති බවය. මෙම චිත්‍රපටය ලංකාවේ ප්‍රදර්ශනය වූ යුගය යනු ලංකාවේ දේශපාලන කුණාටුවක් සහිත කාලයකි. 1983 වර්ෂයේ වාර්ගික ගැටුම් වල උත්සන්න තත්ත්වය බිහිවිය. ජේ ආර් ජයවර්ධන විසින් අලුතින් හඳුන්වා දුන් විවෘත ආර්ථිකය හරහා සමාජය වේගයෙන් කැලතෙමින් පැවැතියේය. 80 වැඩ වර්ජනය අසම්මත ආකාරයට පරාජය වූ අතර එමඟින් වෘත්තිය සමිති මත පදනම් වූ විප්ලවවාදී- පාර්ලිමේන්තුවාදී දේශපාලනය අවසන් විය.එහි  තාර්කික අනික් අන්තයේ වූයේ සන්නද්ධ දේශපාලනයයි. 87- 89 අරගලය මගින් සංකේතවත් වූයේ අධර්මිෂ්ඨ රාජ්‍ය පෙරළා දමා ධර්මිෂ්ඨ සමාජයක් පිහිටුවීම පිළිබඳ මනෝරාජිකයකි. විශාල මිනිස් ඝාතන සමූහයකට පසු සන්නද්ධ විප්ලවය පරාජයට පත් වූ අතර විවෘත ආර්ථිකය සහ නිදහස් වෙළඳපල අදහස් ලංකාවට හඳුන්වා දුන් එක්සත් ජාතික පක්ෂයද අපවාදයට ලක් විය. ජනාධිපති ප්‍රේමදාස මහතාගේ ඝාතනය ඉන් පසු සිදු වූ අතර ඉන් විවර වූ අවකාශය හරහා ‘රාවය’ පුවත්පත සංවිධානය කළ දේශපාලන සැකැස්මක් තුළ ලිබරල්වාදී අදහස් සහිත චන්ද්‍රිකා බලයට පත්විය. මේ වන විට අනාගත දේශපාලන නායකයන් ලෙස බෞතීස්ම ලැබූ  ලලිත් ඇතුලත්මුදලි ,ගාමිණී දිසානායක වැනි මහත්වරුන් ද මියගොස් සිටියේය. ඉන්පසුව 90 දශකය පුරා එල්ටීටීය සන්නද්ධ ව්‍යාපාරයක් ලෙස වර්ධනය වූ අතර 2005 වර්ෂයේදී මහින්ද රාජපක්ෂ බලයට පත්විය. 2009 වර්ෂයේ දී එල්ටීටීඊය පරාජයට පත් වූ අතර 2015 දී  මහින්ද රාජපක්ෂ පරාජයට පත්විය.පසුගිය වසර 35 ක කාලය තුළ බොහෝ දෙනෙක් වේදිකාවට අවතීර්ණ වූ අතර කිසියම් අප නොදන්නා හේතුවක් නිසා ඒ අය වේදිකාවෙන් බැස ගියේය.

 “තුන්වෙනි යාමය” චිත්‍රපටය තුළ ප්‍රධාන භූමිකාවක් සිදුකල ඉන්දිරා ජෝන්ක්ලස් 1983 වර්ෂයේදී ඩුබායි දේශය කරා ගමන් කරන අතර මේ මෑත දිනකදී ලංකාවට නැවත පැමිණ ඇත. ගතවී ගිය දශක හතරකට ආසන්න කාලය තුළ සිදු වූ සිදුවීම් වල යටි පෙළ වටහා ගත ගත හැකි අදහසක් ඇය මගින් පහත ආකාරයට ප්‍රකාශ පත්වී ඇත.

“තුන්වෙනි යාමය චිත්‍රපටය භාරගන්න මට  විශේෂ හේතුවක් තිබුණා. පොඩි කාලේ මම මනෝ විද්‍යාව සම්බන්ධව ඉතා උනන්දුයි. මේ චිත්‍රපටයේ තියෙන්නේ එවැනි තේමාවක්. මිනිසුන්ගේ ජීවිත වල  තියෙන රහස් සිතුවිලි කොච්චර දුරකට ඔවුන්ගේ ජීවිත පැවැත්මට අදාළ වෙනවාද කියන කාරණාව ගැන මම ගොඩක් කල් ඉඳන් හිත හිත හිටියේ. ඒක නිරූපණය කරන්න අවස්ථාව මට ලැබෙන කොට මට පුදුම සතුටක් දැනුණා.” සිනමාව තුළ දී මගේ අරමුන ඉටුවුනා; ඉන්දිරා ජෝන්ක්ලස් ,රාවය ,2017. 11.12, පිටුව 21

 

 පසුගිය වසර 35ක පමණ ගෙවී ගිය කාලය තුළ ලංකාවේ සමාජ- දේශපාලනික-සංස්කෘතික වපසරිය තුළ තීරණාත්මක වැඩ කොටසක් සිදු කළ කිසිදු සමාජ චරිතයක් (විජේවීර, ප්‍රභාකරන්, චන්ද්‍රිකා,රනිල්, සුචරිත ගම්ලත් යනාදී ප්‍රමුඛයන් )තමාගෙන්  නොඅසාගත් “ප්‍රශ්නය” ඉන්දිරා අප ඉදිරියේ වසර තිස් පහකට පසු ආපසු පැමිණ සරලව අසා ඇත.

මිනිසුන්ගේ ජීවිත වල තියෙන රහස් සිතුවිලි කෙතරම් දුරකට ඔවුන්ගේ සැබෑ ජීවන යථාර්ථයට (කලාත්මක හෝ දේශපාලනික වේවා )අදාළ ද යන ගැටලුව ඉතාම කපටි ලෙස  මගහැර යන ජාතිය වන්නෙ වාමාංශිකයන්ය. මිනිස් ජීවිතයට ‘රහස් පැත්තක්’ ඇත යන තේමාව වාමාංශිකයන්ට රුස්සන්නේ නැත. ඔවුන්ට අනුව මිනිසාගේ ජාගර පැත්ත වාස්තවික සමාජ යථාර්ථය තුලින් පලවා හැරිය යුතුය. පහත පළ වන්නේ මීට වසර තිස් පහකට පමණ පෙර “තුන්වෙනි යාමය” චිත්‍රපටය පිළිබඳ මහාචාර්ය සුචරිත ගම්ලත් ඉදිරිපත් කළ අදහසයි.

“ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ කෘතියෙහි වෘතාන්තය ගෙතී ඇත්තේ දෙමාපියන් කාම සම්භෝගයේ  යෙදී සිටින මොහොතක අනපේක්ෂිතව එහි පිවිසෙන දරුවා කෝපාවිෂ්ඨ පියා අතින් පහර ලැබීමේ සංවේදනය මුල්කොට ගනිමිනි.මනසින් ගොතන ලද මේ වෘත්තාන්තය පලිප්පු ලැබීම් වස් එක්දහස් නවසිය තිස් ගණන්වල අගභාගය වන විට බටහිර සිනමාකරුවන් වර්ධනය කොට තිබුණු සිනමා තාක්ෂණය ගෙඩි පිටින් කැඳවනු ලැබේ. පාඨ,ගුඪ, අඳුරු රූපරාමු, අභිරහස් සංගීතය, පැතලි හෝ විකෘතිකෘත රූප, කැටපත් බිඳීම්, මිනී මරා පලසින් වැසීම, ආගන්තුකයන් මහ රෑ නිවසට කැඳවාගෙන ඒම යනාදිය මේ තාක්ෂණයෙන් බණ්ඩාරනායකයන් ඇඳ ගත් ප්‍රධාන ලක්ෂණයන් වන්නේය.දෙවැනි ලෝක යුද්ධයෙන් පසු, ලෝකය යනු තේරුම් ගත නොහැකි ජංජාලයකි යන  අඥයවාදය  තහවුරු කිරීම් වස්  ඔපමට්ටම් කරන ලද මේ තාක්ෂණය යටකී වාස්තු කරන ලද වෘතාන්තයේ මත බරවා කකුලක් මෙන් පටවා ඇත. කුරසාවා සහ රායි යථාර්ථවාදී සිනමාව ගොඩ නැඟුවේ මේ තාක්ෂණය පුපුරවා හැරීමෙනි.”තුන්වෙනි යාමය, සුචරිත ගම්ලත්-

ඉන්දිරා  ලංකාවට නැවත සැපත් වූ  මේ සුවිශේෂී මොහොතේදී මුළුමහත් ලාංකීය සමාජයම තුන්වෙනි යාමය චිත්‍රපටයේ ආකෘතිය රැගෙන ඇත. ඉන්දිරා ලංකාවෙන් පිටත් වන මොහොතේ දී එනම්  1983 දී දේශපාලනයේත් කලාවේත් රජ කළ අදහස වූයේ යථාර්ථවාදයයි. කුප්‍රකට ෆැසිස්ට් චින්තකයෙකු  වූ නලින්ද සිල්වා මුලින්ම ප්‍රශ්න කරන ලද්දේ ද මේ යථාර්ථවාදයයි. එකල විශ්ව විද්‍යාල වල හෙජමොනික විචාර බුද්ධිය වූයේ මාක්ස්වාදයයි. දැන් මේ සියල්ල කණපිට හැරී ඇත. ගම්ලත් ගේ ජීවිතයේ අවසාන භාගයේදී ඔහුගේ රහස් සිතිවිලි පිටතට කාන්දු වූ අතර යථාර්ථවාදීන් මේ පිළිබඳව අහක බලාගත්තේය.

ධර්මසිරිගේ සිනමා කලාවට මහත් අභාෂයක්  ලබා දුන් පෝලන්ත සිනමාකරුවෙක් වූයේ රෝමන් පොලන්ස්කිය. ඔහුගේ ප්‍රථම චිත්‍රපට කතන්දරය මිනිසුන්ගේ ආශාවේ ගුප්ත  ස්වරූපය මැනවින් විදාරණය කරන්නකි. ඔහුගේ knife in the water නම් චිත්‍රපටයේ කතා තේමාව සරලය. එක්තරා මැදිවියේ මහාචාර්යවරයෙක් තමන්ගේ තරුණ ශිෂ්‍යාවක සමඟ රමණ  සුවය විඳින්නට විලක් මැද ඇති අවන්හලකට ගමන් කරයි. මෝටර් රථයකින් ගමන් කරන ඔවුන්ට පාලු පාරක ඔහේ ගමන් කරන තරුණයෙක් හමුවේ. මහාචාර්යවරයා ඔහුවත් මෝටර් රථයට ඇතුළත් කර ගනියි. රමණය  නම් තම රාජකාරිය ඉටු කර ගැනීම පසෙක ලා මගියකු මෝටර් රථයට ඇතුල් කර ගැනීම නිසා මහාචාර්යවරයා ගේ රමණ වැඩසටහන අවුල් ජාලයක් බවට පරිවර්තනය වෙයි. ඇයි ඔහු එවැන්නක් කිරීමට පෙළඹුණේ?

මිනිස් ජීවිතයේ ‘තුන්වැනි යාමයට’ අදාල වන නීති රීතීන් අපගේ ප්‍රබුද්ධ- තාර්කික ජීවිතයේදී අවලංගු වෙයි. රහස් සිතුවිලි දේශපාලනය තුලත් සමාජ ජීවිතය තුළත්  අප නොසිතන බොහෝ දේවල්වලට වගකියයි. ඉන්දිරා ජෝන්ක්ලස් යනු මිනිස් ආත්මය යනු යම්  ඇමතුමකට ලබා දෙන පිළිතුරක් බව සහතික කරන්නියකි.

Deepthi Kumara Gunarathne

ඔබේ අදහස කියන්න...