සදාකාලික සමස්වරත්වය (Eternal Harmony) සහ ශුන්‍යතාවය (Nothingness) පිළිබද චායාරූපයකි. යම් සිද්ධියක් විසින් සත්‍යය (සත්‍ය ම සත්‍යය – යථාව) එළිදරව් කෙරේ නම් අප එයට සත්‍ය සිද්ධිය (Truth-Event) යැයි කියමු (මෙය ඇලන් බදිව් විසින් යෝජනා කරන වචනයකි). කුරුසියේ සිහි විකල්ලෙන් සහ වේදනාවෙන් සිටි ක්‍රිස්තුන් වහන්සේ තම වේදනාව් තම පියා (දෙවියන්) වෙත අනුභූති උත්තර ලෙස සන්නිවේදනය කරන මොහොතේ දෙවියන් ගේ ගැඹුරු නිශ්ශබ්ද බව විසින් ඔහුට සත්‍යය අවබෝධ කර දෙනු ලබයි. බුදුන් වහන්සේ අත්ථකිලමථානු යෝගය කෙලවර ඇතිවන කොමා තත්වය  (ආහාර නොමැතිව ගෞතම බුද්ධ ගේ සිහිය නැතිවීම ගැන සද්ගුරු දීර්ඝ විවරණයක් කරයි) ඔස්සේ තේරුම් ගන්නේ ද එකම සත්‍යයකි. එනම් ශරීරයට දුක් දීමෙන් සත්‍යය අවබෝධ නොවන බවයි. සත්‍යය ඇත්තේ තම අවබෝධය තුල මිස තමාගෙන් පිටත නොවන බවයි. අවබෝධය සඳහා බාහිර සරණක් නොමැති බවයි. මෙතැන දී යේසුන් සහ බුදුන් තම පාර අනුභූතික අත්දැකීම (transcendental experience) සහ සත්‍යානුබෝධය තුල ගැඹුරු සමාන කමක් පෙන්වයි. දුක, වේදනාව, සහ සත්‍යය යන කරුණු තුනේදී ම මේ ආගම් දෙක අති මුලික තලයේ සමස්වරත්වයක සිටි. එනම් මේ ආගම් දෙකම සත්‍යය ඥාණනය කරන ආකාරය එක සමානය (epistemology). සත්‍ය සහජීවනයක් සඳහා ගැඹුරු වේදනාවක් අවශ්‍ය වේ. පාස්කු ඉරිදා වේදනාව සහ ආතතිය විසින් අපට ලාංකික දේශපාලනයේ ‘සත්‍යය’ (ඇත්ත ම ඇත්ත අවබෝධය) පෙන්වා දෙන ලදී. ප්‍රංශ විප්ලවය සිදු වුවේද මෙවන් සත්‍ය සිදුවීමක් (පාන් නැත්නම් කේක් කාපල්ලා – truth event) පාදක කර ගෙනය. මාරි ඇන්ටොනටි ට මෙන්ම මිනිසුන් ගැන ඇත්ත ආදරයක් මේ පාලකයින්ට ද නැති බව ට මීට වඩා කරුණු කුමට ද? දැන් සත්‍යය උවමනා වටත් වඩා හොඳින් වැටහේ. ඉතින් මෙතැනින් පසු තව දුරටත් අප සදාකාලික නිද්‍රාවේ (eternal slumber) පසුවිය යුතුද?      

 

ක්‍රිස්තියානියේ ආගමනයෙන් පසුව අන් සියළු ආගම් අවසන් කරන අටියෙන් ඉස්ලාම් නමින් ආගමක් බිහි වූවේ කෙසේද? මේ බටහිර ඉතිහාසඥයින් මුහුණ දී ඇති මූලික ම ගැටළුවකි. පෙරදිග සග අපරදිග අතර භූගෝලීය බිම් කඩක ඇතිවූ මෙම ආගම විසින් පෙරදිග බුද්ධාගම සහ අපරදිග ක්‍රිස්තියානිය අතර සිදුවීමට තිබූ අනිවාර්ය සරණ මංගල්‍යය පසුපසට දමන ලදී. ලෙවී ස්ට්‍රවුස් දකින අයුරින් ගත්විට ක්‍රිස්තියානිය සහ බුද්ධාගම අතර අදහස් වල ගැඹුරු සමානකමක් පවතී. නමුත් ඉස්ලාමය විසින් බටහිර අප ඉස්ලාම්කරණය* (Islamized) කර ඇති අතර ඇත්තටම සිදුවිය යුතුව තිබුණේ බුද්ධාගම විසින් අපව වඩාත් ක්‍රිස්තියානි කරණය කිරීමය. නමුත් සිදුවුවේ අනෙකකි. බුද්ධාගම පුරුෂයා ලෙසත් ක්‍රිස්තියානිය ගැහැණිය ලෙසත් ඇතිවිය යුතුව තිබූ සුසංවාදය ඉස්ලාමය විසින් මඟ හරවන ලදී. එසේ වී නම් ඉතිහාසය තුල අපට බටහිරයින් වශයෙන් සදාකාලික ගැහැණිය ලෙසත් බුදුදහම සදාකාලික පිරිමියා ලෙසත් සදාකාලික සාමයෙන් ජීවත් වීමට තිබුණි. ඒ සදාකාලික සාමය අහිමි කලේ ඉස්ලාමය විසිනි (ජිජැක්, The Antinomies of Tolerant Reason). සදාකාලික මිනිස් නිද්‍රාව අහිමි කිරීම ජිජැක්ගේ ම දර්ශනයට අනුව හොඳ දෙයක් වුවත් ඉස්ලාමය ඔස්සේ මෙතැන සිදුවන්නේ කුමක් ද? ලොව අන් සියලු ආගම් අතර ඉස්ලාම් ආගම වෙනස් මුහුණුවරක් ගන්නේ එය අන් කිසිදු ආගමක් සමග ගැඹුරු සහජීවනයක් නොපවත්වන හෙයිනි. ගැඹුරු එකඟතාවක් නොපවත්වන හෙයිනි. යම් බහුතර ජාතියක් සමග ඔවුන් එකඟත්වයෙන් සිටිනා බව පෙන්නුවත් (වෙළඳ වසඟය**) ඔවුන්ට බලය ලැබුන වහාම එය අනෙකා තම ආගමේ නීතින් ට අනුව ප්‍රචණ්ඩ ලෙස වෙනස් කරනු ලබයි. තස්ලිමා නස්රීන් ඉස්ලාමයට විරුද්ධ වන්නේ මේ හේතුව නිසාය (ඇය දකින්නේ මෙය කුරාණයේ ම ප්‍රශ්නයක් ලෙසයි. රුෂ්ඩි ගේ මතය ද එයට වෙනස් නැත). ලෝකයේ සෞන්දර්යය වශයෙන් සලකන විවිධත්වය ගරු කරනු වෙනුවට ඔවුන් සමජාතීය ලෝකයක් වෙනුවෙන් වෙහෙස වේ. උදාහරණ වශයෙන් පැරණි ඉන්දියාවේ කොතරම් විවිධ ආගම් එකට පැවතියේ ද සහ එකිනෙකා විනාශ කර ගන්නේ නැතිව ඔවුන් කෙතරම් සහජීවනයෙන් ජීවත් වූවේද යන්න සද්ගුරු පෙන්වා දෙයි. නමුත් වෙනස නොයිවසන ඉස්ලාමය විසින් එවන් සහජිවනයන් සම්පුර්ණයෙන් මුලිනුපුටා දමන ලද අතර යටත් විජිත ‘ඉස්ලාම් කරණය වූ ක්‍රිස්තියානිය’ විසින් ඉතිරි සියල්ල ද විනාශ කර දමන ලදී. බෞද්ධ දර්ශනය සහ යුරෝපීය ජීවන ලෝකය ලෞකික සන්දර්භයක් තුල එකට ගැට ගසා ගත හැක්කේ මේ ශිෂ්ටාචාර වෙනස විනාශ කිරීම ඔස්සේ නොව වෙනස නූතන බව වෙතට සමමුහුර්ත කිරීම ඔස්සේ ය. එසේම අවසානයේ වෙනස් කම ඔස්සේ ම සියළු ආගම් වල ඇති මිනිස් නිදහස පිළිබද පොදු ලෞකික ප්‍රස්තුතය දාර්ශනිකව ඔප මට්ටම් කර ගැනීම ඔස්සේ ය. නමුත් ලංකාවේ සහජීවනය වෙනුවෙන් මරාගෙන මැරීමට ඉදිරිපත් වී ඇති (සහරාන් බඳු) එක්සත් ජාතික පක්ෂයේ ‘විශ්වීයවාදීන්’ ගෙන් මාසික වැටුප් ලබනා කුළී ලියන්නන් විසින් කරනු ලබන්නේ ඉස්ලාමය තුල ඇති ඇත්ත නපුර (evil) ගැන කතා කිරීම මඟ හැරීමයි. එසේ මඟ හැර ඒ වෙනුවට හිස් එකමුතු වීමක් ගැන කතා කිරීමයි. මෙය සහජීවනය නොව වසඟය යි. සහජීවනය ඇති වන්නේ චායාරූප වලට එකට පෙනී සිටියාට හෝ වෙසක් කූඩු හැදුවාට නොව එකිනෙකා ගැඹුරින් තේරුම් ගැනීම ඔස්සේ ය. බොහෝ චායාරූප ගෙන වෙඩින් ඇල්බම් වලට රුපියල් ලක්ෂ ගණන් වියදම් කර විවාහ වන ජෝඩු ඇල්බම් එක සාදා නිම කිරීමටත් පෙර දික්කසාද නඩු දමන්නේ මිනිස් ගැඹුර සපර්ශ නොකිරීමේ ඉහත තර්කය නිසාය.   

ඉස්ලාමය තුළ ඇති මුලික ප්‍රශ්නය ලෙස ජිජැක් දකින්නේ එය ස්ත්‍රී නාභිය ඔස්සේ පදනම් වන පුරුෂ සහ ස්ත්‍රී බව අතර ශිෂ්ටාචාර සම්බන්දය කපා දැමීමයි (umbilical code). එය තවත් ශිෂ්ටාචාරයක් සමග ගැඹුරින් සම්බන්ද නොවන්නේ මේ කරුණ නිසාය. මනෝ විශ්ලේෂණයට අනුව ගැඹුරු සම්බන්දයෙක් සෑම විටම ස්ත්‍රී සහ පුරුෂ ස්වභාවයක් ගනී. හැමෝම පිරිමි වශයෙන් තවත් පිරිමි ලෝකයක් (male + male) සමග සම්බන්ද වීමට උත්සාහ ගත හොත් එය සාර්ථක සම්බන්දයක් වන්නේ නැත (සමලිංගික වේවා). ඉස්ලාමය විසින් බටහිර තව තවත් ‘පුරුෂකරණය’ කරන ලද බව ජිජැක් පවසයි. එනයින් ඔවුන්ට පෙරදිග ලෝකයේ බුදුදහම ඉදිරියේ ස්ත්‍රියගේ භූමිකාව රඟ පෑමට නොහැකි විය. එසේ සිදු වුවේ ඉස්ලාමය නිසා ඔවුන්ට ක්‍රිස්‌තියානි යෙන් ඔබ්බට ගොස් වඩා ක්‍රිස්තියානි වීමට (පුරුෂ වීමට) සිදු වීම නිසාය (ඉස්ලාමය හමුවේ). පුරුෂ යුදෙව් ආගමේ සිට ක්‍රිස්තියානිය නැවතත් ඉස්ලාමය ඔස්සේ තම ස්ත්‍රී අභිනය අත්හැර දමා ඇති බව ජිජැක් අවධාරණය කරයි. එනයින් තව දුරටත් ලෝකය යුදෙව් ක්‍රිස්තියානි (ආදරය සහ අනෙකා) ලෝකයක් නොවන බව ජිජැක් කියා සිටි. මෙය නලින් විසින් උච්චාරණය කරන දෙයට තරමක් වෙනස් වෙනස් නව තත්වයකි. ඒ අනුව දැන් පවතින්නේ යුදෙව් ඉස්ලාම් ලෝකයක් බව ඔහු අවධාරනය කර සිටි. ඉස්ලාමය යුදෙව් ආගමට මෙතරම් වෛර කරන්නේ මේ දෙක තුල ඇති අති මහත් සමානකම නිසාය. ඉදින් පෙරදිග සහ අපරදිග අතර පාලම තැනීමේදී ඒ අතර මැද ඇති කළු පැල්ලම (ෆ්‍රොයිඩියානු බාධාව) ඉස්ලාමය වේ. ඉස්ලාමය මේ අනුව පෙරදිග සහ අපරදිග අතර නිමවා ඇති අවතාරයකි. එම අවතාරය විසින් කරනු ලබන්නේ ශිෂ්ටාචාර දෙකක් එකතු වීම වැලැක්වීම ය. ඉස්ලාමය යනු ෆැන්ටස්මික විනිවිදිය නොහැකි මදයකි (phantasmic impenetrable core). එය විසින් ශිෂ්ටාචාර දෙකේම සංකේත විශ්වීය ට ඔබ්බෙන් තම ස්ථානය සලකුණු කර ඇත (ඉස්ලාමික ගැහැණිය දෙස බැලූ විට ඔබට මෙය පැහැදිලි වනු ඇත). ආදරයේ උරුමය අප සොයන්නේ නම් අප නැවතත් ක්‍රිස්තියානි ආදරය වෙනුවෙන් සටන් කල යුතුය. මෙම නිමේෂයේ දේශපාලනය කරන බොහෝ දෙනෙක් සිටින්නේ පුරුෂ අභිනයක (masculine gesture) වන අතර ඒ නිසාම එක්සත් වීම පිළිබද කතිකාව ක්‍රම ක්‍රමයෙන් පසුපසට යයි***. වමේ එකමුතු වීම පිළිබද කතාවේදී මා යෝජනා කරන්නේ ස්ත්‍රී අභිනයකි. එය අනෙක් සියළුම ලොකු කුඩා පුරුෂ පක්ෂ වල මතුපිට ප්‍රවේශයෙන් වෙනස් වේ. ස්ත්‍රීවාදී අය පවා සිටිනු ලබන්නේ පුරුෂ මානසිකත්වයක ය. අපගෙන් ප්‍රශ්න අසන බොහෝ දෙනෙකුට අපගේ මේ මොහොතේ අන්තර් ආත්මමූලික අනේකත්ව (intersubjective Otherness) ස්ථාවරය නොතේරෙන්නේ මේ ගැඹුරු න්‍යායික කරුණ නිසාය (ශිෂ්ටාචාර ගත කරුණ). මිනිසා ගැඹුරින් වෙනස් විය යුතුය යන ස්ථාවරයේ සිටින අපට මෙතැනදී සහජීවනය වැනි කරුණක් සමග පොදුවේ සිටගත නොහැක්කේ සහජීවනය යන්න ඔවුන් ගැඹුරින් වරනඟා නැති හෙයිනි. යුදෙව් ආගම සහ ඉස්ලාමය පිහිටා ඇත්තේ ඉතාම ලංවය (close proximity). මෙය හෙගල් පවා පිළිගත් කරුණක් බව ජිජැක් දක්වා සිටී. ඉඳින් අපට ආදරය වෙනුවට වෛරය තෝරා ගත නොහැක. අප ක්‍රිස්තියානි ආදරය වෙනුවෙන් පෙනී සිටිමු. 

අපගේ විචාරකයින් සාමාන්‍යයෙන් වැඩිපුර ජාතිකවාදී කඳවුර විසින් ගෙනෙන විවේචන ගණන් ගන්නේ නැති ඒවා නොදුටුවා සේ සිටින ප්‍රතිපත්තියක සිටී. නමුත් එම කඳවුරේ භික්ෂුන් පවා යම් යම් යථාවේ ගතිකයන් පැහැදිළි කරමින් පැවත ඇති බව පසුගිය සිදුවීම් වලින් පෙනේ. උදාහරණ වශයෙන් බොදු බල සේනා හි ගලගොඩ අත්තේ ස්වාමින් වහන්සේ විසින් එවන් යථාවේ ගතිකයක් වන මුස්ලිම් අන්තවාදය ගැන මීට පෙර දිගින් දිගට කරුණු ඉදිරිපත් කලත් බෝම්බයක් පුපුරණ තුරු ඒ ස්වාමීන් වහන්සේ කී දේ අපට වැටහුණේ නැත. දැන් මෙය අනිවාර්යයෙන් විශ්වීයවාදී ලියන්නන් විසින් හක්කේ තබා සූප්පු කරනු ඇත. තවත් එවැනි ම වැදගත් ප්‍රකාශයක් ගැටඹේ රාජෝපවනාරාධිපති හිමියන් විසින් ද කරනු ලැබිය. එතුමන් කිවේ මෙවැන්නකි. ‘ලංකාවේ පාලකයෙක් වීමට නම් අවම වශයෙන් දරු සුරතල් බැලිය හැකි පුද්ගලයෙක් විය යුතුය’ යන්නය. ලංකාවේ භූමිය (ෂෙලිනියානු අර්ථයෙන් Ground) ගැන කල ඒ ගැඹුරු මනෝ විශ්ලේෂී ප්‍රකාශය ගැන කිසිවක් විශ්වීයවාදී කුලී ලියන්නන් විසින් කීවේ නැත. බොහෝ අයට එය සිනහා උපදවන ප්‍රකාශයක් විය. ජීව විද්‍යාත්මක දරුවෝ මොකටද පාලකයෙක් වෙන්න? උසස් නූතන බව විශ්වාස කළ බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් පවා කිවේ ජීව විද්‍යාත්මක මවට වඩා (නටාලියා) සංස්කෘතික මවට (ගෘෂා) මවටත් වඩා මවක් වියහැකි යන්න ය (more mother than mother). ඉතින් පාලකයෙක් අනිවාර්යයෙන් ජීව විද්‍යාත්මක පියෙක් විය යුතුද? සංස්කෘතික පාලකයෙක් වඩා වැදගත් නොවේද (දරුවන් හුරතල් කරන මහින්ද ට වඩා රනිල් එතැනදී සංස්කෘතික නොවේද යන්න අප මෙතෙක් දැන සිටි ස්ථාවරය වේ). යතිවරයෙක් ලෙස ගැටඹේ හිමියන් ගිහියන් වන අපට කියන මේ ලකානියානු සත්‍යය කුමක්ද යන්න අප විභාග නොකරන්නේ එසේ විභාග කිරීමෙන් ජාතිකවාදී කඳවුරට යම් වාසියක් අත්වනු ඇති බවට වන විශ්වාසයෙනි. නමුත් සත්‍යය අහිමි වන්නේ අපටම ය. එකම දෙය නම් අප මඟ හරින සත්‍යයක් ගිහියෙක් විසින් පෙන්වා දෙනු වෙනුවට පැවිද්දෙක් විසින් ගිහියන්ට කියා දීමය. විරුද්ධාභාෂී අයුරින් පැවිද්දෙක් විසින් ගිහියන්ට ‘ආශා කිරීමට’ කියා දීමය. ‘නව උපතක් වෙනුවෙන් ආශා කරන්න’ යන්න බුදු දහමේ සංකේත විශ්වයෙන් එළියට විත් (රාහුල බන්ධනයෙන් එළියට විත්) එම ස්වාමින් වහන්සේ විසින් ආශාව මියගිය අපට කියාදේ (සාමාන්‍යයෙන් ගැටඹේ හිමියන් ඉතිහාසය පුරා එ. ජා. ප. විරෝධී ලෙස ප්‍රකටය). මුහුණේ ලේ පොදක් නැති සුදුමැළි වූ අයට ආශා කරනු වෙනුවට ඉඳින් ගැහැණුන් පන්සල් වලට යන්නේ මන්දැ’යි සහ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති වරයාට ආශා කරන්නේ මන්ද යන්න දැන් ඔබට පැහැදිලි වනු ඇත. මුහුණ මළානික වී තිබීම නිර්ධන පන්තිය සහ පෝෂ්‍යදායක ආහාර නැතිවීම සමග පටලවා නොගන්න. මන්ද කොළඹ ඉහල පන්තිය හොඳ ගුණදායක ආහාර ගන්නා බව නොරහසකි. ගැටළුව ඇත්තේ මහින්ද තුල හෝ ගැටඹේ හිමියන් තුල හෝ නිර්ධන පන්තිය තුල හෝ නොව ‘ආශා කිරීමට’ නොදන්නා අප තුළය. ආශාව මියගිය පිරිමි කම තුල ය. ආශා නොකරන්නෙකුට භූමියක් හිමිවීමේ කිසිදු ඓතිහාසික හේතුවක් නැත (යහපාලනය තුල සිදුවූ විපරීත බව හැර). එසේනම් ආශාව සහ භුමිය අතර ඇති ෂෙලිනියානු සම්බන්දය කුමක් ද? 

අප මෙලොවට විසිකර දමා ඇති භුමිය (Ground) යන්න හේතුව (Reason) තුල හෝ සද්භාවය තුල අර්ථ නිරූපණය කල නොහැකි බව ෂෙලින් පාදක කර ගනිමින් ජිජැක් දක්වා සිටි (කියවන්න Abyss of Freedom: Ages of the Word හි 7 වැනි පිටුව). දෙවියන් පැමිණීමට පෙර භූමිය තුළ පවා පැවතියේ උමතුවක් (madness) බව ක්‍රිස්තියානි රූපකය පදනම් කර ගනිමින් ෂෙලින් දක්වා සිටියි. භූමිය තුල ඇති හිස් බව අත්දකිමින් දෙවියන් පවා සිටියේ උමතුවෙනි (divine madness). ඉඳින් දෙවියන් තුල ම දෙවියන් ගේ දිව්‍යමය බවට ආදාල නොවන දිව්‍යමය බවෙන් පරිබාහිර යමක් පැවතීම යනු (‘තමා’ තුල ම ‘තමා නොවන දෙයක්’ ලෙස ආත්මය බෙදී පැවතීම) එම දෙවියන් සහ දිව්‍යමය බව අතර පැල්මක් හට ගනී යන්න ජර්මානු විඥාන වාදියෙක් ලෙස ෂෙලින් ගේ තර්කය යි. ඇතැම් විට මේ පරස්පර බව ජර්මානු විඥානවාදය ඉස්මතු කර ගන්නේ බුද්ධ දර්ශනයේ ඇති විඥානවාදය ඔස්සේ ද විය හැකිය. දෙවියන් තුල ඇති උමතුව (අපරිපූර්ණ බව) වනාහී දිව්‍යමය පරිපූර්ණ (perfection) බවට පරස්පර දෙයකි. එසේ නම් පුරුෂ දිව්‍යමය බව තුල ම අපරිපූර්ණ (imperfection) උමතු හිස්ටරික බවක් තිබී ඇත. එයින් අර්ථවත් වන්නේ භූමිය තුල සෑමවිටම අපරිපූර්ණ (incomplete) හිස්ටරික උමතුවක් සැඟව ඇති බවයි. ක්‍රිස්තියානියේ උරුමය වන්නේ දෙවියන් තුල ම තිබු මේ සංස්ථිතික නොවන බව (inconsistency) තම ආගමික දිව්‍යමය බව තුල ම එසේ තිබෙන්නට හැරීමයි. එනම් ‘භූමියේ සත්‍යය’ (උමතුව) දෙවියන් ගේ දිව්‍යමය බව තුල ද එසේම තිබෙන්නට හැරීමයි. ඉස්ලාමය කරනු ලබන්නේ දෙවියන් සියල්ල දත්, සියළු ආකාරයෙන් පරිපුර්ණ, සියලු ආකාරයෙන් ශුද්ධ වූ දෙයක් බවට – සමස්තතා තත්වයක් බවට – පත් කිරීමයි. ඉහත අපරිපූර්ණ බව අහෝසි කර දැමීමයි. මිනිසාට දෙවියන් වෙත සම්බන්ද වීමට තිබූ අපරිපූර්ණ උමතු හිඩැස (gap) මකා දැමීමයි. වෙනස වන්නේ එයයි. දෙවියන් තුළ තිබූ ඔහුටමත් නොතේරුන ඔහුගේ ම උමතුව (භූමියේ සත්‍යය) ඔහූ ප්‍රති නිර්මාණය කරන්නේ ස්ත්‍රිය නමිනි (එනිසා නෛසර්ගිකව ම ගැහැණිය දෙවියන් ට එරෙහිව සිටිනවා පමණක් නොව පිරිමියා ට ද දෙවියන් ට එරෙහි වන ලෙස උසි ගන්වයි. ඒ ඇයගේ ස්වභාවයයි). එනිසා ස්ත්‍රිය යනු අප දෙවියන්ගේ උමතුව අප පැවැත්ම තුල අත් විඳින එක් ආකෘතියකි. නව ජීවයක් මෙළොවට උපදවන්නේ ඇය යි. අපට ඇය ඔස්සේ ද දෙවියන් මුණගැසේ. ඇය දරා සිටින්නේ උමතු භූමියේ ආකෘතියකි. දරුවන් වදමින්, රෙදි සෝදමින්, දහ දුක් විඳිමින්, හේනේ කුඹුරේ වැඩ කරමින්, ගාමන්ට් යමින්, තේ නෙළමින්, මැද පෙරදිග යමින්, වධ හිංසා විඳිමින් ඇය හැපෙන්නේ පොළොව සමගය. ප්‍රගතිය පිණිසය. යමක් උපයනු පිණිසය. ඒ අතර පාර භෞතික වල පැටලී සිටින පිරිමියා ආගම නමින් යුද්ධ කරයි. ඒ අතර ම ඒ පාර භෞතික පිරිමියාගේ ශිෂ්ටාචාර බර ද ඇය විසින් දරා සිටී. ඒ පාර භෞතික වලින් ඔහු මියයන විට ඇය කඳුළු සලයි. වරෙක පිරිමියා වෙනුවෙන් ම දෙවියන් ට එරෙහි වූ ඇය පසුව දෙවියන් ගෙන් සමාව ඉල්ලා සිටී. ඇය උමතු භූමියේ ආකෘතිය වන අතර මේ උමතු බව සහ ශිෂ්ට බව අතර දිව්‍යමය දෝලනයේ දී ඇයගේ පැවැත්ම විරුද්ධාභාෂයක් වේ. පිරිමියාට වඩා ඇය ආතතිගත වන්නේ මේ නිසාය. පිරිමියාට භූමිය තුල ඇති පුර්ණ ස්ත්‍රී බව (උමතු බව) වැළඳ ගත නොහැකි වන අතර පිරිමියා බිය වන්නේ මෙතැනදී බව ෂෙලින් දක්වා සිටී. පුරුෂ වචනයට (logos) විනිවිදිය නොහැකි ස්ත්‍රී පාදම වන්නේ භූමිය යි. භූමිය ගැඹුරු අරුතින් ගත්විට නිශ්ශබ්ද ය. ඒ මිනිස් ආත්ම මූලිකත්වයේ මදය (kernel of subjectivity) ඇය නියෝජනය කරමින් පුරුෂ සබුද්ධික බව (වචනය) සෑමවිට ම අභියෝගයට ලක් කරන නිසාය. නිශ්ශබ්ද ඇය ආත්මයේ රාත්‍රිය වන්නේ ඒ අයුරිණි (night of the Self). 

Mahesh Hapugoda

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. //නමුත් ලංකාවේ සහජීවනය වෙනුවෙන් මරාගෙන මැරීමට ඉදිරිපත් වී ඇති (සහරාන් බඳු) එක්සත් ජාතික පක්ෂයේ ‘විශ්වීයවාදීන්’ ගෙන් මාසික වැටුප් ලබනා කුළී ලියන්නන් විසින් කරනු ලබන්නේ ඉස්ලාමය තුල ඇති ඇත්ත නපුර (evil) ගැන කතා කිරීම මඟ හැරීමයි. එසේ මඟ හැර ඒ වෙනුවට හිස් එකමුතු වීමක් ගැන කතා කිරීමයි. මෙය සහජීවනය නොව වසඟය යි.// ඔබගේ මේ අදහසට එකඟයි. බුකිය පුරාම විහිදී තිබෙන ප්‍රශ්නයක්. ඉස්ලාමය පමණක් නොව අනිකුත් ආගම්වලද ඇති සමාජ විරෝධී භාවය පසෙකලා සිංහල බෞද්ධ ගෙරි හමට තඩි බා ෂේප් වීමේ න්‍යායයක් අනුගමනය කරනු පෙනේ. සිංහල බෞද්ධ අන්තවාදය මෙන්ම හැම සමාජ විරෝධී ක්‍රියාවකටම විරෝධය පෑමක් නොපෙනේ.

  2. This I think will lead to a very IMPORTANT discussion.
    අපගේ ඇතුලාන්තය එහෙම නැත්නම් inner core/kernel එක පතුලක් නැති හිස්බවක් (abyss) බව සහ ඒ හිස්බව දරාගැනීමට නොහැකි අපි නොයෙකුත් signifiers වලින් ඒ හිස්බව පිරවීමේදී ආත්මය (subject) ගොඩනැගෙන බව” මා ලකෙනියානු මනෝවිද්‍යාව මත පදනම්වූ දීප්තිගේ ඉගැන්වීම් වල හරය වශයෙන් තේරුම් ගත් දෙයයි. මම නිතරම කල්පනා කලේ බුදු දහමට මෙතරම් සමීප න්‍යායකින් දීප්තිට සිංහල බෞද්ධ ‘නාඩිය’ අල්ලන්න බැරි ඇයි කියන එක. දැන් මහේෂ් ගේ ලිපිවල මේ අලුත් trajectory එක 3 මානයට නව මානයක් (a FOURTH DIMENSION) එකතු කරයි කියන එක මගේ විශ්වාශය සහ බලාපොරොත්තුවයි.

    ඉහත “ගමයා” ගේ comment එකේ කියනවා වගේම මමත් මහේෂ්ගේ “‘විශ්වීයවාදීන්’ ගෙන් මාසික වැටුප් ලබනා කුළී ලියන්නන් විසින් කරනු ලබන්නේ ඉස්ලාමය තුල ඇති ඇත්ත නපුර (evil) ගැන කතා කිරීම මඟ හැරීමයි. එසේ මඟ හැර ඒ වෙනුවට හිස් එකමුතු වීමක් ගැන කතා කිරීමයි. මෙය සහජීවනය නොව වසඟය යි.” ප්‍රකාශයට 500% එකඟයි.
    ඇත්තෙන්ම මහේෂ් කියන මේ “‘විශ්වීයවාදීන්’ ගෙන් මාසික වැටුප් ලබනා කුළී ලියන්නන්” සහරාන්ලට වඩා භයානකයි.
    ඒ වගේම “ගමයා” කියනවා වගේම මේ අය “බුකිය” පුරා විහිදී ඉන්නවා පමණක් නොව මේඅය අතුරින් ‘ඉහල තලයේ’ ඉන්න අය (උද: කොළඹ විශ්ව විද්‍යාලවලට සම්බන්ද) “බුකියේ” මතවාදී හෙජමනියක් නිර්මාණය කරමින් ඒ හරහා නොයෙකුත් දේශීය/විදේශීය වරප්‍රසාද බුක්ති විඳින පිරිසක්.

    ඇත්තෙන්ම ‘බුකියේත්’ බුකියෙන් පිටත කරෙන NGO/INGO සම්මන්ත්‍රණ වලදීත් මොවුන්ගේ ‘ජනප්‍රියතම ක්‍රීඩාව’ ඉහත “ගමයා” කියනා පරිදිම “ඉස්ලාමය පමණක් නොව අනිකුත් ආගම්වලද ඇති සමාජ විරෝධී භාවය පසෙකලා සිංහල බෞද්ධ ගෙරි හමට [පමණක්] තඩි තඩිබෑමයි”.
    මොවුන් දමාගෙන ඉන්න කන්නාඩි (the “Ideological spectacles” of Nada in “They Live”) වලට පෙනෙන්නේ සිංහල බෞද්ධ අන්තවාදය සහ සිංහලයාගේ ජාතිවාදය විතරමයි. සුළු ජාතින් ඒ කන්නාඩි වලට පෙනෙන්නේ සුප්පු කටේ ගහන් ඉන්න ලස්සන හුරතල් අහිංසක පුංචි බබාලා වගේ!

    Please Keep on this track Mahesh, I am sure you can take us all to a new dimension. Best Wishes!

Comments are closed.