(ශ්‍රී ලංකාවේ 6 වැනි පළාත් සභා මැතිවරණය යටතේ පැවැති උතුර, වයඹ හා මධ්‍යඹ මැතිවරණ අවසන් වී ගතව ඇත්තේ තවම දින පහකි. මැතිවරණ දේශපාලනයෙහි ඇතැමුන් කී අනාවැකි වැරැදී ගොස් ඇතිවා සේම තවත් පිරිස් උදම් අනමින් සිටිති. එහෙත් රටක් හැටියට අප ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන්නේ නම් දැන් කළයුතුව ඇත්තේ මැතිවරණ ප්‍රතිඵල මඟින් සන් කරන හරයාත්මක භාවිතයන් ආලෝකයන් වීමංසනය කරමින් නිර්ප්‍රජාතන්ත්‍රවාදී භාවිතයන් බැහැර කිරීමට ප්‍රවේශයක් සකසා ගැනීමය. මෙම පශ්චාත් මැතිවරණ විමසුම ඒ වෙනුවෙනි. 2013 සැප්තැම්බර් 26 වනදා ලංකාදීප පුවත්පතේ පළ වු ලිපියකි.)

උතුරේ පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම යුද්ධය අවසන් කෙරුන වාතාවරණයක් තුළ උතුර ඒ වන විට ඉල්ලා සිටි දෙයකි. අනෙක් අතින් එය ඉන්දියාව ප්‍රමුඛ ජාත්‍යන්තර සාධකය හමුවේ රජය මුහුණ දුන් මග හැර යා නොහැකි තත්ත්වයකි. එහෙත් මේ මොහොතේම මධ්‍යම හෝ වයඹ පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම රටේ අවශ්‍යතාවයක් වත් ජාත්‍යන්තර අවශ්‍යතාවයක්වත් නොවීය. එසේනම් ආණ්ඩුව මේ මැතිවරණ තුනම එකවර පැවැත්වූයේ ඇයි ? උතුරෙහි ඡන්දයක් පැවැත්වූවොත් ලැබෙන ප්‍රතිඵලය ආණ්ඩුව කලින්ම දැන සිටියේය. එනිසා ආණ්ඩුව කළේ එයින් සිදුවන මදිපුංචිකම වලක්වා ගැනීමට තමන්ට හොදින් ජයග්‍රහණය කළ හැකි පළාත් දෙකක ඡන්දය පැවැත්වීමය. එය ආණ්ඩුවේ දේශාපාලනික උපක්‍රමය විය. මෙය තවත් ලෙසකින් කිව්වොත් උතුරේ දෙමළ සන්ධානය ජයග්‍රහණය කරන බව ආණ්ඩුව ඇතුළුව අප සැම මුළ සිටම දන්නා දෙයක් වන්නා සේම වයඹ සහ මධ්‍යම පළාත් සභා ආණ්ඩුව විසින් ජයග්‍රහණය කරනු ලබන බව ද අපි දනිමු. ඒ අනුව සරල සත්‍ය නම් දකුණේ ලබන ජයග්‍රහණය තුළින් උතුරේ සිදුවන පරාජය වසා දැමීම ආණ්ඩුවේ අවශ්‍යතාවය වූ බවය.

එහෙත් තිස් වසරක් පැවැති යුද්ධය යනු උතුරේ දෙමළ ජනතාවගේ දේශපාලන ඉල්ලීම් දකුණේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමෙහි ප්‍රතිඵලයක් ලෙස අප තේරුම් ගත්තොත් මේ මොහොතේ වයඹ සහ මධ්‍යම පළාත් සභා ජයග්‍රහණ හමුවේ උතුරේ දෙමළ සන්ධානයේ ජයග්‍රහණය වසා දැමීමට දරණ උත්සාහය අවිහිංසක දෙයක් නොවන බව තේරුම් ගත යුතුය. එම නිසා අපට යෝජනා කළ හැක්කේ උතුරේ ඡන්ද ප්‍රතිඵලය සුවිශේෂී ලෙස ගෙන එය වෙනම විග්‍රහ කළ යුතු බවත් ඒ සදහා දකුණේ ඡන්ද ප්‍රතිඵල පටලවා ගත යුතු නැති බවත්ය. නොඑසේව උතුර,මධ්‍යම සහ වයඹ යන මැතිවරණය පැවැත්වූ පළාත් සභා තුනෙහිම ප්‍රතිඵල එක සමානව ගෙන විග්‍රහ කිරීමට යෑම තුළ අප මේ ආණ්ඩුව විසින් අටවන ලද උගුලකට ඉබේම හසුවේ.

උතුරේ ජයග්‍රණය මගින් නිශ්චිත දේශපාලන ඉල්ලීමක් ඉල්ලා සිටී. දෙමළ ජාතික සන්ධානය මැතිවරණයට පෙර ඉතා නිශ්චිත කරුණු කාරණා සහිත මැතිවරණ ප්‍රකාශයක් ඉදිරිපත් කරන්නේත්, උතුරේදී සියයට 70 කට වැඩි පිරිසක් තම ඡන්දය ප්‍රකාශ කරන්නේත්, එම ඡන්දය ප්‍රකාශ කරන පිරිසෙන් සියයට අසූවකට ආසන්න පිරිසක් තම නියෝජිතයා වශයෙන් දෙමළ සන්ධානය තෝරාගන්නේත් එම දේශපාලන අභිලාෂය නිසාය. භෞතික සංවර්ධන නිසා තමන් වෙත ලැබේ යැයි ආණ්ඩුව අපේක්ෂා කල ඡන්ද සංඛ්‍යාව පවා උතුරේදී ආණ්ඩු පක්ෂයට නොලැබී යන්නේත් ඒ නිසාය. උතුර ජයගත හැක්කේ කාපට් පාරවල්, දුම්රිය මාර්ග, බැංකු, බෝක්කු ආදිය ඉදිකිරීම මගින් නොව ඔවුන්ගේ දේශපාලන ඉල්ලීම්වලට කණ් දීමෙන් බව දෙමළ ජාතික සන්ධානයේ ජයග්‍රහණය අපට තේරුම් කර දෙයි.

එහෙත් දකුණේදී ආණ්ඩුව ලැබූ ජයග්‍රහණය එලෙස නිශ්චිත දේශපාලන ඉල්ලීමක් නියෝජනය කරනවා යැයි සිතිය නොහැකිය. දකුණේ ජනතාව තම ඡන්දය ප්‍රකාශ කළේ එවැනි නිශ්චිත ප්‍රතිපත්තියකට නොවේ. එසේම එකම පක්ෂය තුළ වුවත් දකුණේ ඡන්ද අපේක්ෂකයන් ද පෙනී සිටියේ එක් ප්‍රතිපත්තියක් වෙනුවෙන් නොවේ. එම නිසා දකුණේ ඡන්ද ප්‍රතිඵලවලින් ආණ්ඩු පක්ෂට ඇති කැමැත්ත හැර නිශ්චිත දේශපාලන අභිලාෂයක් ප්‍රකාශවන්නේ යැයි කිව නොහැකිය.

පැහැදිලිවම ආණ්ඩු පක්ෂය නිශ්චිත දේශපාලන අභිලාෂයක් පෙන්නුම් කරන්නේ නැත. උදාහරණයක් ලෙස මෙම ප්‍රතිඵලය මගින් බලය බෙදීම වැනි දේශපාලන විසඳුමක් උතුරට ලබා නොදී එහි මිලිටරි පාලනයක් ගෙන යා යුතු බවට ආණ්ඩුවට බල කරන්නේය යන නිශ්චිත අර්ථයක් අප විසින් දෙනු ලබන්නේ යැයි සිතමු. එහෙත් මේ ආණ්ඩුව යනු සිංහල ජාතිකවාදීන්ගේ එම අදහස පමණක් නියෝජනය කරන ආණ්ඩුවක් යැයි සිතීම නිවැරැදි නොවේ. ආණ්ඩුව තුළ මේ වන විට බලය බෙදීමට එරෙහි, සිංහල ජාතිකවාදී ප්‍රවණතාව නියෝජනය කරන විමල් වීරවංශ, චම්පික රණවක, දිනේෂ් ගුණවර්ධන මෙන්ම එහි ප්‍රතිපක්ෂය නියෝජනය කරන වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ, ඩියු ගුණසේකර, රාජිත සේනාරත්න ද සිටී. මේ අය ප්‍රසිද්ධියේ තම ප්‍රතිවිරෝධතා පෙන්වා ගනිති. එවැනි තත්වයක් තුළ චම්පිකගේ හෙළ උරුමයෙන් සහ විමල්ගේ ජාතික නිදහස් පෙරමුණෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කළ සියලුම අපේක්ෂකයන් පරාජයට පත්වී ඇති නිසා අප මුලින් දුන් අර්ථය බිඳවැටේ.

එසේම අප අනෙක් පසට ගොස් මෙය ජාතිවාදයට විරුද්ධව ලබා දුන් ඡන්දයක් ලෙස නිශ්චිත අර්ථයක් දුන්නොත් එය ද පූර්ණ සත්‍යක් නොවේ. එනම් ආණ්ඩු පක්ෂයේ මැතිවරණ වේදිකාවල දිගින් දිගටම ඇසුණේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ, රට බේරගන්න පුළුවන් අපිට විතරයි වැනි කතාය. එනිසා මිනිස්සු ඡන්දය දුන්නේ ඒවාට යැයි පවසා එම අර්ථය ද නැවත වෙනස් කළ හැකිය. එසේත් නැතිනම් මෙය ජනාධිපතිවරයා වෙනුවෙන් දුන් ඡන්දයක් යැයි කිව හොත් එය සත්‍යක් වේද? ජනාධිපතිවරයා බොහෝ කරුණු ගැන නිශ්චිතවම යමක් පවසන්නේ නැත. වයඹ දී ඔහු පැවසූවේ ‛‛ජනතාවගේ මනාපය මගේ මනාපයයි’’ කියාය. ඒ නිසා නැවතත් අවිනිශ්චිත තාවයක් ඉතුරුවේ.

මේ අනුව දකුණේදී ආණ්ඩුව ලැබූ ජයග්‍රහණය අපට විවිධ ලෙස අර්ථ නිරූපනය කළ හැකි නමුත් උතුරේ දෙමළ සන්ධානයේ ජයග්‍රහණයට ඇත්තේ එක් අර්ථ නිරූපණයක් පමණි. ඒ දෙමළ සන්ධානය යෝජනා කරන එක් රටක් තුළ බලතල බෙදාගත් පාලන ක්‍රමයකට යාමේ ක්‍රමයට උතුරේ ජනතාවගේ කැමැත්ත ලැබී ඇති බවයි. එසේම උතුරේ දෙමළ සන්ධානයේ ජයග්‍රහණය තවත් අතකින් අපට වැදගත් වෙයි. එනම් ඔවුන් මෙම ජයග්‍රහණය ලබාගන්නේ කිසිදු දෙමළ ජාතිවාදී ඉතිහාසයක් නොමැති දකුණේ ජීවත් වූ සී.වී විග්නේෂ්වරන් මහතා සිය මහ ඇමැති අපේකෂකයා බවට පත්කරගෙනය. විග්නේෂ්වරන් මහතා මහ ඇමැති අපෙක්ෂක ලෙස මනාප 1 32,255 ලබා ගනිත්දී හමුදාවට භාරවීමෙන් පසු අතුරුදහන් වූ එල්.ටී.ටී.ඊ දේශපාලන අංශයේ නායකයෙකුගේ වූ බිරිඳ වූ ආනන්දි සසීදරන් එවැනි විශාල ප්‍රචාරයක් නොමැතිවම මනාප 87,870 ලබා ගැනීමෙන් පෙනී යන්නේ උතුරේදී එල්.ටී.ටී.ඊ. සම්භවයට තවමත් හොද වටිනාකමක් තිබෙන බවයි. එය දැන දැනත් එල්.ටී.ටී.ඊයට එරෙහිව පවා තීන්දු ලබා දී ඇති, සිය දරුවන්ට සිංහලයන් සමග විවාහවීමට ඉඩ ලබා දුන් ශේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු සිය මහ ඇමැති අපේක්ෂකයා ලෙස නම්කිරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදීව සිය අයිතිවාසිකම් දිනාගැනීමට දෙමළ සන්ධානයේ ඇති කැපවීම හොදින් පෙන්වා ඇත. එම නිසා ඔවුන් මෙම ප්‍රවාහයේම තබා ගැනීමට දකුණේ සමාජය ද යම් කැපවීම් කළ යුතුය.

වයඹ සහ මධ්‍යම පළාත් සභාවලදී එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ පසු බැස්සාද, සරත් ෆොන්සේකාගේ ප්‍රජාතත්ත්‍රවාදී පක්ෂය තුන්වැනි බලවේගයද, ආණ්ඩුවේ ජනප්‍රියභාවය අඩුවී ඇත්ද යන සංවාදයට වැඩි අවධානයක් යොමු කිරීම මේ අනුව අප මතුකර ගත යුතු සැබෑ මාතෘකාව යට කර දැමීමකි. මේ පිළිබඳව එකිනෙකට වෙනස් විවිධ අර්ථකතන රාශියක් දැනටමත් විවිධ පාර්ශ්වයන්ගෙන් ලැබී තිබේ. එහෙත් අප තේරුම් ගත යුත්තේ එම අර්ථකතන සම්බන්ධවන්නේ ඒ අර්ථකතන ගෙනඑන අයගේ පෞද්ගලික ආශා සහ කැමැත්තට මිස ලංකාවේ අනාගතය කෙරෙහි නොවන බවයි. එය මෙසේ පැහැදිලි කළ හැකිය. උතුර පරදින බව දන්නා නිසා වයඹ සහ මධ්‍යම මැතිවරණ ආණ්ඩුව විසින් පවත්වනු ලැබුවේ කෙසේ හෝ දිනාගැනීමටය. ඒ සදහා අවශ්‍ය වන රාජ්‍ය බලය, මාධ්‍ය බලය, සම්පත් ආණ්ඩු පාර්ශ්වයට තිබුන අතර ඔවුහු එයින් ජයග්‍රණය කළහ. එක්සත් ජාතික පක්ෂයේ හෝ ජනතා විමුක්ති පෙරමුණේ සමස්ථ දේශපාලන න්‍යාය පත්‍රයේ මේ කාලයේ මෙවැනි ඡන්දයක් තිබුණේ නැත. එහෙත් ප්‍රධාන දේශපාලන පක්ෂ ලෙස පවත්වන මැතිවරණවලට ඉදිරිපත්වීම අත්‍යාවශ්‍ය නිසා ඔවුහු මෙයට ඉදිරිපත් වූහ. එහිදී මැතිවරණ ව්‍යාපාරයට අවශ්‍ය ජනප්‍රිය තලයේ හැසිරීමක් පෙන්නුම් කළා මිස මෙය තීරණාත්මක මැතිවරණයක් ලෙස ඔවුන් සැලකූ බවක් අප තේරුම් ගත යුතු නැත. මේ මැතිවරණ ප්‍රතිඵලය නිසා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය අවසන් වන්නේවත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ වෙනසක්වත් සිදුවන්නේ නැති අතර එවැනි අර්ථ නිරූපන දේශපාලනය නොදන්නා අයගේ මාධ්‍ය සංදර්ශන පමණි.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආසන කිහිපයක් දිනාගැනීම එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ මෙම මැතිවරණය බරපතල ලෙස නොගැනීමෙන් හටගත් අර්බුදයේ ප්‍රතිඵලයක් මිස පක්ෂයක් ලෙස ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙස හෝ ඔවුන්ගේ ප්‍රතිපත්තිවලට ජනතා අනුමැතියක් ලැබීමක් ලෙස තේරම් ගැනීමට අප හදිස්සි විය යුතු නැත. සරත් ෆොන්සේකා මහතාගේ පවතින යම් ජනප්‍රියත්වයක් නිසා පමණක් පක්ෂයකට පැවැතිය නොහැකි අතර ඔවුන් පක්ෂයක් ලෙස ඉදිරියේදී සංවිධාන ගත වෙන්නේ කෙසේද යන්න අනුව ඔවුන්ගේ අනාගතය තීරණය වනු ඇත. මේ ලැබුන ආසන කිහිපය දැනට ඔවුන්ට ලැබුණු වාසියක් ලෙස පෙනීගියත් නිවැරැදිව කළමනාකරණය නොකළහොත් සමහර විට පක්ෂයක් ලෙස ඔවුන්ගේ විනාශයට බලපාන්නේද මෙම දිනාගත් ආසන කිහිපය වීමට ඉඩ ඇත.

දේශපාලන පක්ෂවලට තමන්ගේම වූ බල න්‍යාය පත්‍රයක් සහ එය සාක්ෂාත් කර ගැනීමට ක්‍රියාමාර්ග ඇති අතර පැවැත්වූ ඡන්දය එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ දෙමළ ජාතික සන්ධානය අතර පැවැති සටන වේ. මෙහිදී දෙමළ ජාතික සන්ධානය විග්නේෂ්වරන් නම් තුරුම්පුව ඉදිරියට අදිමින් ඉතා දක්ෂ දේශපාලන ජයග්‍රහණයක් ලබා ගත් අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය හෙවත් ආණ්ඩු පක්ෂය ද වයඹ සහ මධ්‍යම පළාත් සභා ආරක්ෂක දැළ එලීමෙන් නොවැටී තමන්ගේ ගෞරවය දක්ෂ ලෙස රැක ගත්තේය. මේ ගැටුමට පැටලෙන්නට සිදුවූ ඉතිරි දේශපාලන පක්ෂවලට සිදුවූයේ කුමක්ද යන්න ගැන විග්‍රහ කිරීමට යාම හුදු කාලය කා දැමීමක් වන්නේ ඒ නිසාය. එසේම එයින් සිදුවන්නේ මේ මොහොතේ කතා කළ යුතු අත්‍යාවශ්‍යම මාතෘකාව යට යෑමය. මේ අත්‍යාවශ්‍යම මාතෘකාව කුමක් ද?උතුරේ දෙමළ දේශපාලනය සහ දකුණේ සිංහල දේශපාලනය ඉතිහාසයේ යම් කාලයක මතවාදීව ගැටුන අතර පසුව එය අවි ආයුධ අතර ගැටුමක් බවට පත්විය. මෙම මැතිවරණයෙන් නැවතත් ඉතිහාසය අපට ස්වර්ණමය අවස්ථාවක් ලබා දී ඇත. එනම් උතුරේ දෙමළ දේශපාලනයට දකුණේ සිංහල දේශපාලනය අභිමුඛ වී ඇත.

එම නිසා දැන් නිරන්තරයෙන් මතුකර ගත යුතු මාතෘකාව වන්නේ අනාගතයේ උතුරෙහි සිදුවන වෙනස්කම් දරාගැනීමට, ඉවසීමට සහ ඒවා දේශපාලනිකව තේරුම් ගැනීමට අවශ්‍ය මානසික තත්ත්වයක් දකුණේ සමාජයේ ඇති කර ගැනීමයි. මෙම ඉවසීම මෑත කාලීනව දකුණේ සමාජයේ විශාල වශයෙන් අඩු වී තිබේ. ඉතා සුළු දේවලට පවා ගහ මරා ගන්නා තත්ත්වයට දකුණේ සමාජය වේගයෙන් ගමන් කරයි. ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් බටහිර කුමන්ත්‍රණ ලෙස දකියි. තමන්ට දියුණු වීමට ඇති බාධාව මුස්ලිම් මිනිසා හෝ දෙමළ මිනිසා යැයි සිතයි. උතුර මිලිටරිකරණයෙන් ගැලවී ප්‍රජාතන්ත්‍රවාදය දෙසට යත්දී දකුණ මිලිටරිකරණය ඉල්ලා සිටියි. එම නිසා දකුණ මේ තත්ත්වයයෙන් ගලවා ගැනීමට විශාල ක්‍රියාකාරීත්වයක් අවශ්‍යව ඇත.

දෙමළ සන්ධානය සහ ආණ්ඩු පක්ෂය මෙම මැතිවරණයේදී ප්‍රමාණාත්මක අතින් එනම් බහුතරයේ කැමැත්ත දිනා ගැනීම අතින් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ඇත. එහෙත් එය නියම විශිෂ්ට ජයග්‍රහණයක් වන්නේ තමන්ට කැමැත්ත ප්‍රකාශ කළ මෙම බහුතරය දේශපාලන විසඳුමක් දක්වා මෙහෙයවා ගැනීමට මෙම පක්ෂ දෙකට හැකි වුවහොත්ය. එනම් උතුරේ දේශපාලනයේ තීරණාත්මක සාධයක වන දකුණේ සිංහල පාලකයන් ගෙන් සිය අයිතිවාසිකම් දිනාගන්නේ කෙසේද යන සහ දකුණේ දේශපාලනයේ තීරණාත්මක සාධයක වන උතුරේ දෙමළ ජනතාව මර්දනය කර තබා සිංහල බෞද්ධ රාජ්‍යක් ගොඩ නගා ගන්නේ කෙසේද යන ප්‍රතිවිරෝධයන් දෙක එක් තැනකට ගෙන ඒමය. එසේ කර ගත හැකි වුවහොත් එය මෙම පක්ෂ දෙකෙහි පමණක් නොව ලංකාවේම අතිවිශිෂ්ට ජයග්‍රහණයක් වනු ඇත.

නීතිඥ ප්‍රබෝධ චින්තක රත්නායක

ඔබේ අදහස කියන්න...