මනෝවිශ්ලේෂණය බිහිවීමට පෙර උමතු බව සඳහා ප‍්‍රතිකාර කිරීම සිදු වූයේ අහේතුව පදනම් කර ගනිමින් ගොඩනැඟුණ වෛද්‍ය ප‍්‍රතිකාර ක‍්‍රම මඟින්ය. මෙම ප‍්‍රතිකාර ක‍්‍රම ද උමතුව මෙන්ම අහේතුක බවකින් යුක්ත වේ. එසේම ඒවා තුළ කිසියම් තාර්කික බවක් ද හඳුනාගත හැකිය. කිසියම් කතිකාවක අහේතුක කොටසක් එනම් උමතුව පැවැතීම ඉවත් කළ නොහැකි ලක්ෂණයකි. මේ නිසා උමතුව සමාජයෙන් ඉවත් කළ නොහැකි ප‍්‍රපංචයකි. නමුත් ඉතිහාසය පුරා මෙම අපගමනය වීම යථා තත්ත්වයට පත්කිරීම සඳහා විවිධ උත්සාහයන් දරා ඇත.
සිහිවිකල් වීම යනු අවදියෙන් සිටින පුද්ගලයා දකින සිහිනයක් බැවින් එම පුද්ගලයා මෙම අඩනින්දෙන් අවදි කළ යුතුය. මේ සඳහා සිහින ගැන හොඳින් දැනගැනීම වැදගත් බව ඬේකාට්ස් සිතුවේය. සිහිවිකල් වීම තුළ ඇති සවිඥානික බව පිළිබඳ අධ්‍යයනය කළ ඬේකාට්ස් අවසානයේ සවිඥානය කොටස් දෙකකට වෙන් කළ නොහැකි බව නිගමනය කළේය. වෛද්‍ය ප‍්‍රතිකාර ලබා දෙන්නේ බාහිරින්ය. මෙහි දී වෛද්‍යවරයා විසින් උමතු පුද්ගලයා තුළ සිටින සිතන පතන පුද්ගලයා නැවත ගොඩනැඟීමට උත්සාහ කරයි. මෙම ගොඩනැඟීම සම්පූර්ණයෙන්ම බාහිර වන අතර එය පුද්ගලයා මත බලහත්කාරයෙන් ඇති කරන දෙයකි. විදුලිය ඇල්ලීම, රත් වූ යකඩවලින් ඇඟ පිළිස්සීම, මෙලන්කොලික රෝගීන්ට ගැඹුරු ගණිතමය සහ රසායනික අධ්‍යයනයන් කිරීමට සැලැස්වීම, නිතර වැඩ කිරීමට සැලැස්වීම ආදිය පුද්ගලයා අවදි කිරීමේ ප‍්‍රතිකාර අතර විය. මෙහි දී රෝගියාව දරුණු මර්දනය කිරීමකට ලක් කර පසුව ටිකෙන් ටික කරුණාව දැක්වීම සිදුකෙරුණු අතර මෙම ප‍්‍රතිකාරවලින් සුව වීම පිළිබඳ පැහැදිලි කිරීමක් නොමැති විය.
නාට්‍යමය නිරූපණය තවත් එක් ප‍්‍රතිකාරයක් විය. උමතු බව නම් වැරැුද්දේ ඇති හිස්කම පරිකල්පනීයව තේරුම් කරදීම මෙහි දී සිදුවේ. තමා යක්ෂයෙකු බව සිතන උමතු රෝගියකුට ඔහු හෝ ඇය එසේ නොවන බව හේතුව මඟින් පෙන්වා දිය නොහැකිය. එවිට ඔහුගේ වෛද්‍යවරුන් එම උමතුව පිළිගෙන සුදු ඇඳුමින් සැරසුන දිව්‍යංගනාවන් ලෙස පැමිණ නාට්‍යමය ස්වරූපයකින් රෝගියාගේ පව් සමා කරයි. තමා මියගිය බව සිතන උමතු රෝගියෙකු ආහාර නොගෙන සිටී. මෙවැනි අවස්ථාවල මියගිය අය මෙන් සැරැුසුන පිරිසක් පැමිණ උමතු මිනිසාට පවසන්නේ ජීවත් වන අය මෙන් නොව මියගිය අය අඩුම තරමේ ජීවත් වන අයට වඩා ආහාර අනුභව කරන බවයි. එවිට උමතු කතිකාව අර්බුදයකට ලක් වේ. උමතු පරිකල්පනය නිසා ඇති වන පුද්ගලයාගේ පරිකල්පනීය මරණය යථාර්ථය විසින් නැතිකර දමයි. කෙසේ නමුත් නාට්‍යමය ස්වරූපය දිගටම පවත්වාගත නොහැකිය. පුද්ගලයා සුව වීම යනු නැවත ස්වභාවික මිනිසකුගේ තත්ත්වයට පත්වීමයි. මෙසේ පැමිණිය යුතු ස්වභාවික තත්ත්වය කුමක්දැයි ගැටලුවක් ඇති වේ. මේ සඳහා සදාචාරය මැදිහත් වේ. උමතු බව රෝගයක් ලෙස වෙන් කිරීම සිදු වන අතර අපගේ දැනුමේ කොන්දේසි මඟින් මෙම රාමුගත කිරීම තීරණය වේ. ඒ අනුව මනෝවිද්‍යාව වැනි විද්‍යාවක් බිහිවන්නේ උමතු බවේ සත්‍ය අර්ථ දැක්වීම සඳහා නොවේ. උමතුවේ ඇති අහේතුක කොටස පැහැදිලි නොකර බිහිවන එවැනි විද්‍යාවක් නොවැදගත් වේ. එමඟින් නිර්මාණය වන්නේ සත්‍යයක් නොමැති ප‍්‍රහේලිකාවක් පමණි. මේ නිසා අපට ෆ්‍රොයිඞ් වැදගත් වේ. ෆ්‍රොයිඞ් උමතු බවේ භාෂාව වෙත ගියේය. අහේතුක බව සමඟ සම්භාෂණය කිරීමේ භාෂාවක් ඔහු නිර්මාණය කළේය.
අහේතුක උමතු මිනිසා කොටුකර තැබීම ඇරැඹීමත් සමඟ අහේතුක බව සමාජයට එකතු වීමද සිදු විය. හේතුව විසින් එහි සීමාව ලෙස අහේතුක බව සොයා ගන්නා අතර එය විසින්ම අහේතුක බව බැහැර කරයි. උමතු මිනිසා කොටුකරන තැන යනු යක්ෂයා උපත ලබන තැනයි. මෙම යක්ෂයා සමාජයේ අනෙක් තැන්වලට ද ගමන් කළ හැකිය. මේ නිසා එළියේ සිටින මිනිසුන්ද බයෙන් ජීවත් වෙයි. දැනුම වර්ධනය කළ ද අහේතුක බවේ රූපවලට දැනුමෙන් ප‍්‍රතිකාර කළ නොහැකිය. වෛද්‍යවරයා අහේතුක බවේ ලෝකයට ඇතුළු වන්නේ රැකබලා ගන්නෙකු ලෙසය. උමතු බව සහ නිදහස සැලකූ විට මිනිසාට අතිරික්ත නිදහසක් හිමි වූ විට ඔහු ඔහුගෙන්ම පරාරෝපණය වේ. මේ නිසා ඔහු උමතු විය හැක. මුල්කාලීනව ආගම මිනිසා සදාචාරාත්මක නීති කැඩූ විට ඇති වන පසුතැවිල්ල සුවපත් කළේය. නමුත් නූතනත්වයත් සමඟ ආගම මිනිසාව ඔහුගේම ලෝකයක තනිකර දමා ඇත. මේ නිසා ආගම තුළ පුද්ගලයා උමතු වීමේ හැකියාවක් ඇත. නවකතා නාට්‍ය, චිත‍්‍රපට මඟින් පුද්ගලයා විපරිත කරන අතර ඔහුව පරිකල්පනීය ලෝකයක උමතු කරයි. මේ නිසා උමතු බව ඕනෑම අවස්ථාවක ඇති විය හැකි අතර එය ස්වභාවික දෙයක් නොවේ.
කතිකාවේ අහේතුක කොටස තුළ ජීවත් වීම සහ පරිකල්පනය මෙහෙයවීම අප බොහෝ විට සිදු කරන්නකි. එය උමතුභාවයක් වුවත් යථාර්ථය තුළ අප එය සඟවා ගනී. ඒ කොටු කිරීමට ඇති බිය නිසාය. නමුත් උමතුව සහ අහේතුක බව පිළිබඳව දැනුවත් වීම මඟින් ඊට ඇති බිය මඟහරවා ගත හැක. එමෙන්ම කොටු කිරීමේ දී නිගමනය කරන උමතු බවේ ලක්ෂණ කාලයත් සමඟ වෙනස් වී ඇත. මේ නිසා අහේතුක බව තුළ විනෝද වන උමතු රෝගීන් හඳුනා ගැනීමට නොහැකි වී අප ඊට අනන්‍ය වීම සිදුවේ. සමස්තයක් ලෙස මිනිස් කතිකාව තුළ අපට ස්ථානගත විය හැක්කේ මෙම අන්ත දෙක අතර දෝලනය වෙමින්ය.

ඔබේ අදහස කියන්න...