“ සිදු වූ පුනර්ජීවනය නිසා ජර්මනියට තම දොරකඩ ඇති වූ කළබගෑනිය මග හැරිය හැක්කේ, විප්ලවයෙහි තියුණුතම හා උදාසීනතම ප්‍රේක්ෂකයා ලෙසයි. ආගම තුළ නිදහස උදාකර ගත් ජර්මානුවන්ට ආගමෙන් ඔබ්බට ළඟා කරගත යුතු නිදහසක් නොමැත්තේ, ආගමික ආයතන දැනටමත් විසරණය වී එහි ලෞකික ආධිපත්‍යය දුර්වල වී ඇති නිසා ය. රෝමයට එරෙහි කැරැල්ල දැනටමත් ඒකාධිපතිත්වය ලිහිල් කර ඇති පසුබිමක, දේශපාලන ක්ෂේත්‍රය අභ්‍යන්තරයෙන්ම වෙනස් වීමට ඉඩ හැර, කිසිදු බාධාවකින් හෝ කඩාකප්පල් ක්‍රියාවකින් තොරව සියලු විසංවාද චින්තනමය ක්ෂේත්‍රයට සීමා කරනු ලැබ ඇත.”

(Rebecca Comey, Mourning Sickness; පිටුව 18)

              අප අසා ඇති පරිදි, මැක්සිමිලියන්  රෝබ්ස්පියර් නම් ජැකොබින් ප්‍රංශ විප්ලවයේ නායකයා තම සගයන්ගෙන් ඇසුවේ, ‘ඔබට අවශ්‍ය විප්ලවයකින් තොර විප්ලවයක් ද?’ කියා ය. ඉන්, ඔහු අදහස් කළේ, භීෂණයකින් තොරව, සමාජයේ මුල් දෙදරවීමකින් තොරව විප්ලවයක් කළ නොහැකි බවයි. ප්‍රංශ විප්ලවය නම් ලස්සන මිනිස් සන්ධිස්ථානය සමරන හේගල් නොමසුරුව විප්ලවය වෙත මේ දක්වා කළ ඇති තියුණුම, රළුම අභ්‍යන්තර විවේචනය කරන ලදී. එනම්, ‘ඔබට අවශ්‍ය පුණර්ජීවනයකින් තොර විප්ලවයක් ද?’ යන්න ය. මින් හේගල් අදහස් කළේ, සමාජයක ආගම- සිහින, උපමා හා පාරභෞතික ක්ෂේත්‍රය- වෙනස් නොකර බාහිර සමාජය හා දේශපාලන ආයතන වෙනස් කළ නොහැකි බවයි. වරක් අල්තුෂර් කීවේ, දේශපාලන නායකයන් වර්ග තුනක් සිටිනා බවයි. පැරණි උපමා නැවත අලුත් කරන ස්ටාලින් වැනි නායකයින්, කිසිදු උපමාවක් යොදා නොගන්නා රැඩිකල් නායකයින් (රෝබ්ස්පියර් වැනි) සහ අලුත් උපමා නිර්මාණය කරන නායකයින් (ලෙනින් වැනි). අල්තුෂර්ට අවංක වුව ද මින් දෙවැනි වර්ගයට වඩා සාර්ථකත්වයට යොමු වන්නේ, තුන්වැනි වර්ගය යි.

              මින් අදහස් කරන්නේ, සිත වෙනස් නොකොට සමාජය වෙනස් කළ නොහැකි ය යන්න ද? තමා පතන වෙනස තමා ම විය යුතු බව ද? (ගාන්ධි සිහියට ගන්න) රෙබෙකා කොමේ නම් දාර්ශනිකාවට අනුව, චින්තනයෙහි විප්ලවයකින් තොරව ශ්‍රේෂ්ඨ ප්‍රංශ විප්ලවය වුව ද කුඩා ජන පෙළපාළියක් විය හැකි ය. ඇය අපට කියන්නේ, කාන්ට්ගේ හේතුව පාදක කරගත් කොපර්නිකානු විප්ලවය, රෝබ්ස්පියර්ගේ ජිලටීනයට වඩා ත්‍රස්තවාදී එකක් බවයි. 

              කාන්ට්ට අනුව, හේතුවේ පොදු භාවිතය (Public use of reason) “ සෑම විටම නිදහස් වන අතර එයට මිනිසා අතර ප්‍රබුද්ධත්වය රැගෙන ඒමට හැකි ය… අනෙක් අතට, හේතුවේ පුද්ගලික භාවිතය (Private use of reason) යනු, තමාට ලබා දී ඇති කිසියම් සිවිල් තනතුරක හෝ නිල තලයක අවශ්‍යතාවය උදෙසා යොදා ගන්නා තර්කනය යි.” (What is Enlightenment, Emmanuel Kant). කාන්ට් පහදන්නේ, අන් අය අපට දෙන, බාහිරින් තීරණය වූ දේවල් උදෙසා මා මගේ චින්තනය යොදවන විට මා කරන්නේ, හේතුව පුද්ගලික භාවිතාවක් වෙනුවෙන් යොදවා ගැනීම බවයි. උදාහරණයක් ලෙස, මහා ශිෂ්‍ය සංගමය කියන විට, අධ්‍යාපනය විකිණීම නතර කිරීමට ශිෂ්‍යයෙකු පාරේ උද්ඝෝෂණය කිරීම හේතුව අනෙකාගේ (බාහිර) භාවිතයේ යෙදවීමයි. 2012 වර්ෂයේ පමණ මා කැලණිය විශ්ව විද්‍යාලයේ සිටි අවධියේ පුස්තකාලය තුළ තිබූ, ශිෂ්‍ය අරගල වලට අත්‍යන්තයෙන් සම්බන්ධ මාක්ස්ගේ හා ලෙනින්ගේ පුස්කමින් තිබූ පොත් අවසන් වරට කිසිවෙකු පරිහරණය කර තිබුණේ, 1970-80 ගණන් වල දී ය. (අවසාන time stamp එක තිබුණේ එම කාලයේ ය.) තමන්ගේ චින්තනය තමන්ම තීරණය කිරීම හෙවත් හේතුව පොදු භාවිතයට යෙදවීම අසීරු, තනියම කළ යුතු කාර්යයකි.

              මින් මා අවධාරණය කිරීමට උත්සාහ කළේ, ‘සිත වෙනස් කිරීම’ හා ‘ස්වාධීන චින්තනය’ අතර පරතරය යි. පුනර්ජීවනය (Reformation) හා චින්තනය (Thinking) අතර පෑස්සිය නොහැකි සම්බන්ධය වූයේ, පුනර්ජීවනය තුළ ක්‍රිස්තියානි ‘ආගම’ වෙනස් වූයේ ආගමික ආස්ථානයන් ආචාරධාර්මික කෙළවරක් වෙත දක්කාගෙන යාමෙන් ය. එම ඓතිහාසික සංසිද්ධියෙන් බිහි වූ නව හර පද්ධතිය නම් ‘පූර්ව ඉරණම්කරණය’ (Predestination) යි. එනම්, කෙනෙකු යහපත් ක්‍රියාවක් කළ යුත්තේ බාහිර තෙරපුමක්, මඟපෙන්වීමක්, ආදීනවයන් තේරුම් ගැනීමෙන් නොව සම්පූර්ණයෙන්ම අභ්‍යන්තර, ස්වාධීන, තෝරා ගැනීමක් නිසා විය යුතු ය. එවිට, නීතිය (Law) හා නීති උල්ලංඝනය කිරීමෙන් (Transgression) ඇති ආදීනව කළමනාකරණය කිරීම නමැති සදාකාලික ප්‍රහේලිකාව, ආදරය (Love) නමැති වෙනත් තලයක දී විසඳී යයි.

              පුනර්ජීවනයෙන් (Reformation) පසුව කෙනෙකු සිතිය යුත්තේත්, ක්‍රියා කළ යුත්තේත් ආදරය (Love) වෙනුවෙන් ය. කෙනෙකුගේ ඉරණම කලින් තීරණය වී ඇති නිසා ඔබ දැන් කරන හොඳ වැඩ වලින් විපාක තීරණය කළ නොහැකි නිසා, දැන් හොඳ වැඩක් කළ යුත්තේ තමන්ගේ ‘ස්වාධීන චින්තනය’ (Public use of reason) නිසා පමණි. එම නිසා, මතක තබා ගන්න: තිළිණි ප්‍රියමාලි, හැනිබල් ලෙක්ටර්, තෝමස් ශෙල්බි (Peaky Blinders), ප්‍රභාකරන්, ශර්මි කුමාර්, Mr.Ripley, වාරියපොල දී විසිල් ගැසූ කොල්ලෙකුගේ කණට ගැසූ තිලිණි ඉමල්කා, ස්පාටකස්, නෝමන් බේට්ස් යන අය වගකියන්නේ, ඔවුන්ටමය. ඔවුන්ගේ ක්‍රියාවන් තීරණය වන්නේ, ඔවුන්ගේ ම ආචාර ධර්ම ඛණ්ඩාංක වලට අනුවයි. මේ නිසා, ඔවුන් නිදහස් (Freedom) ය.

               මෙම පුනර්ජීවනය ගැන අදහස අරබයා මගේ මූලික තර්කය පහදා දීමට මාවෝ සේතුංගේ ප්‍රතිවිරෝධතා (On Contradictions) පිළිබඳ මූලධර්මය මතක් කර ගනිමු:

        “ මිනිසා අතර ගැටුම ආසියාවේදී අප සූත්‍රගත කළ යුත්තේ, යුරෝපයේදී මෙන් පසමිතුරුභාවය තුළ දී නොවේ. ගම සහ නගරය අතර ඇත්තේ, ප්‍රතිවිරෝධයක් මිස පසමිතුරුභාවයක් නොවේ. කොළඹ එන ගැමියා නාගරිකයාට වඩා සමකාලීන ධනවාදයට අනන්‍ය වන්නේ, මේ නිසා ය.” 

(දීප්ති කුමාර ගුණරත්න, Nov 8, 2018, 3mana)

 

            මාඕට අනුව, ධනවාදී සමාජය තුළ මූලික ප්‍රතිවිරෝධය ඇත්තේ, බූෂුවා හා නිර්ධනයන් අතර යැයි කියමු (ඉෂාර නානායක්කාර හා ශර්මි කුමාර අතර, Part of no part). නැතිනම්, දීප්ති පහදන ආකාරයට ගම සහ නගරය අතර (කොළඹ කේන්ද්‍රීය ප්‍රාග්ධනය හා සේරුවිල නම් ගම) යැයි කියමු. නමුත්, සමහර අවස්ථාවල දී මෙම මූලික ප්‍රතිවිරෝධය හෙජමොනික වන්නේවත්, පසමිතුරුකාරී (Antagonistic) වන්නේවත් නැත. ලංකාවේ දී නම්, ගම-නගරය භේදයට වඩා පසමිතුරුකාර වන්නේ, ජාතික අනෙකා (දෙමළ/ මුස්ලිම්) හා සිංහල නම් ප්‍රතිවිරෝධය යි. මේ නිසා, මඕට අනුව, පන්ති අරගලය හෝ ගම-නගරය භේදය හෝ ගෝඨාභය-හොරු රැල හා අවංක මිනිසුන් ගැන අවධානය යොමු කිරීම ම පන්ති අරගලය පාවා දීමකි. දීප්ති ද සඳහන් කළ පරිදි (ඉහත ලිපිය බලන්න), ජවිපෙ ඇරඹියේ චීන පිලෙන් යැයි සිතීම ද සාවද්‍ය වන්නේ, මාඕගේ ඉහත න්‍යායගත කිරිම ජවිපෙට වඩා ඉතා දියුණු නිසා ය. දැන්, මෙම පුනර්ජීවනය ගැන අදහසත්, ප්‍රතිවිරෝධය ගැන අදහසත් මෙසේ සාරාංශගත කළ හැකිය: ඔබට අවශ්‍ය දෙමල්ලු (යම් දුරකට තම්බි) නැති විප්ලවයක් ද?

           මගේ යාපනයේ මිතුරෙකු සඳහන් කළේ, මුල්ලි වයික්කාල් වල ඇති LTTE ස්මාරකය මත ප්‍රභාකරන්ගේ නම නැති බව ය. යමෙක්ට මෙය වටහා ගත හැක්කේ, ප්‍රභාකරන්ගේ මරණය පිළි නො ගැනීමක් ලෙස ය. ඔහු තවම ජීවමානයි! නමුත්, මා කල්පනා කරන අන්දමට, මෙය ලැකාන්ගේ මාස්ටර් හැඟවුම්කාරකය (සීචනය-Suture) යන අදහසේ පැහැදිලි පිළිබිඹුවකි. ප්‍රභාකරන් යනු, දෙමළ අරගලයම ය. හැඟවුම හැඟවුම්කාරකයට ඇද වැටෙන අවස්ථාවක් (Signified falls into the signifier). අවසානයේ දී, දෙමළ අරගලය නමැති හැඟවුම (Signified) යනු, එම නම (ප්‍රභාකරන්) පමණයි. ඉන් පිටත කිසිවක් නැත. අර්ථයක් නැත. මේ හේතුව නිසා, කුමන උත්සාහය දැරුවත්, සුමන්දිරන් පෙරටු කරගත් ලිබරල් දෙමළ මිනිසුන් මොනා කියුවත්, “ප්‍රභාකරන්” යන හැඟවුම්කාරකය ඉවත් කළ විට දී දෙමළ අරගලය යනු, තවත් එක අනන්‍යතා දේශපාලනයක් පමණි.

           එම නිසා, LTTE ය ගැන ‘සිතීමට’ හා දෙමළ අරගලය වටහා ගැනීමට ද, මෑත නාගරික මුස්ලිම් ‘ආක්‍රමණය’ තේරුම් ගැනීමට ද සිංහල අපෙන් බාහිර විප්ලවයට පෙර පුනර්ජීවනයක් ඉල්ලා සිටියි. මෙම ‘අනෙකාගේ විනෝදය’ පිළිබඳ ප්‍රශ්නය (දීප්තිගේ අනර්ඝ දෙමළ අරගලය පිළිබඳ විග්‍රහය) නැතහොත්, අපගේ ශිෂ්ටත්වය පිළිබඳ ගැටලුව විසඳීමට අප පුනර්ජීවනයට යොමු විය යුතු ය. මෙම නිශ්චිත අර්ථයෙන් ‘X’ දේශපාලනය යනු, විප්ලවය වෙනුවෙන් නොව පුනර්ජීවනයක් වෙනුවෙන් ඇරඹි දේශපාලනයකි.

            චීනයේ සංස්කෘතික විප්ලවය ගැන මේ අර්ථයෙන් ස්ලාවෝජ් ජිජැක් ඉදිරිපත් කරන ලද පහත අනර්ඝ විශ්ලේෂණය සලකා බලන්න:

           “ ශෝචනීය ලිබර්ටේරියානු පිපිරීම් හා සැබෑ විප්ලවීය වෙනස්කම් අතර වෙනස වන්නේ, විප්ලවයට පසුදින සිදුවන දෙය, ‘පසුදින උදෑසන’ විපරම් කිරීමෙන්ය: එදිනෙදා ජීවිතයේ පුරුදු නැවත සමාජයට ගොඩනැංවීමට යාමේ දී ඉහත ලිබර්ටේරියානු පිපිරීයාම් වලින් තම ජවය අඩු වී, උදාසීනත්වය මුල් බැස ගනී…. මෙම ලක්ෂයේදී සංස්කෘතික විප්ලවය තීරණාත්මක ලෙස පරාජය විය.”

(Slavoj Zizek, In Defense of Lost Causes, පිටුව, 196)

Revolution or Self-Design ?

 

            ජිජැක් තව ද සඳහන් කරන්නේ, මාඕ විසින් ‘නිශේධනයේ නිශේධනය’ යන හේගලියානු ප්‍රවාදය දැඩි ලෙස ප්‍රතික්ෂේප කිරීම ඉහත පරාජය පිටුපස ඇති බවයි. ඉතා කෙටියෙන්, පළමු නිෂේධනය දෙන ලදී යථාර්ථය ඛණ්ඩනය කරන අතර (Content), දෙවන නිෂේධනය ඉහත පළමු නිශේධනය කෙරෙහි ආත්මීය ආස්ථානය වෙනස් කර ගනී (Form). උදාහරණයක් ලෙස, ජේ. ආර් හෝ විවෘත ආර්ථිකය ලංකාවේ රදළ යථාර්ථය නව අඩංගුවක් (රේඩියෝ, Tv, සිරස Tv, Toothpaste) මගින් ඛණ්ඩනය කරන අතර දෙවන නිශේධනය වන්නේ, පළමු ඛණ්ඩනයම පොදු සමාජීය අරමුණක් වෙනුවෙන් යොමු කිරීමයි. ආදරයට වැටීම (Fall in love) පළමු නිශේධනය නම්, විවාහය යනු, ආදරය එදිනෙදා ජීවිතය තුළ ගොඩනැංවීමයි- දෙවන නිශේධනය, මේ අර්ථයෙන් නව ධනාත්මක සමාජ පිළිවෙලක් නිර්මාණය කිරීමට අපට බැරි නම්, රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදය යනු, ගෝල්ෆේස් පිටියේ කෙටි රැඟුමක් පමණක් නම් ආදරය යනු,” Age of Innocence” චිත්‍රපටයේ මෙන් කෙටි ශරීර තෙරපුමක් පමණක් නම්, අප සියලු වැඩ නවතා ගෙදර යා යුතු ය. පුනර්ජීවනය යනු, මෙම දෙවන නිශේදනය යි.

            අවසාන වශයෙන්, සමාජ සබඳතා හා ලිංගික සබඳතා ක්ෂේත්‍රයන් අතර දේශපාලන මානයෙන් එක් පැහැදිලි වෙනසක් ඇත. ලිංගිකත්වය තුළ නිදහස යනු, ආදරය තුළ එම සම්මුඛ වීම අනන්තය දක්වා රැගෙන යාමයි. එනම්, සම්මුඛ වීම තුළට බැසීමයි. නමුත්, පන්ති අරගලය තුළ දී නිදහස ළඟා කරගත හැක්කේ, තිබෙන සමාජ යථාර්ථය වෙනස් කිරීමෙන් හා ඉන් ගැලවීමෙන් ය. එම නිසා, අප මනෝවිශ්ලේෂණය තුළ ඇති නියුරෝසියාව, විපරිතභාවය හා සයිකෝසිකභාවය තේරුම් ගත යුත්තේ, යථාර්ථයට දක්වන ආස්ථානයෙන් මිස සායනික අර්ථයකින් නොවේ. ඇලෙන්කා සුපන්චිත් කියන පරිදි (ඇයගේ ටුපිනම්බාගේ – Gabriel Tupinambá- පොත අරබයා පැවැති දේශනයට සවන් දෙන්න), මනෝවිශ්ලේෂණය මූලාරම්භ වූයේ, සායනයෙන් වූවත්, එහි සද්භාවවේදී සත්‍යයන් සායනයෙන් පරිබාහිරව තීව්‍ර ලෙස හඳුනාගත හැකිය. එම නිසා, මනෝවිශ්ලේෂණයේ සම්භවයට (Origin) ඕනෑවට වඩා ප්‍රමුඛත්වය දීම අර්චනකාමයකි (Why Psychoanalysis? Three Interventions, Alenka Zapancic).

            මෙම ලිපියෙහි සමස්ත අදහස කුමක් ද? දේශපාලනයේ නිශ්ටාව ආදරය නොවේ ද? එනම්, කුමන ආදරය ද? අමිනිස් ආදරය යි (Inhuman Love!). 

voice එකට මැච් වෙන් නැ..අපව ජවිපෙට පාවා දුන්නත් චාපාගේ දිශාණතිය හරි.

සෙට් නෑ හැබැයි🙁

Is it Correct? No. Content is Rubbish.

ඩිල්ෂාන් ප්‍රනාන්දු.

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. ජිලටීනයට – guillotine – ගිලටීන්
    අදහස් වෙනස් වීමක් කියන්නේ පුනර්ජීවනයක් නම් පුනර්ජීවනයක් අවශ්‍යයි

Comments are closed.