අද පළ වන්නේ මහේෂ් හපුගොඩ සමග පවත්වන ‘ජිජැක් පිළිබඳ දේශපාලන අධ්‍යනයක්’ සාකච්ඡා මාලාවේ දොළොස්වන කොටස යි.

අපි පසුගිය සතියේ අවසන් කළේ පොලිස් නිලධාරියකුට ජනතාව යටත් වීමේ නෛතික රාමුව පිළිබඳ ලකාන්ගේ තර්කය කුමක්ද යන තැනින්…

ඔව්… මෙතනදි සිද්ධ වෙන්නෙ සංකේතීය තත්ත්වයක් තුළදී ඒ හා අනන්‍යය වීමක්. මෙය ඉතා සංකීර්ණ තත්ත්වයක්.  අද සමායේ ජීවත්වන ලාංකිකයො පොලිස් නිලධාරීන් සමග සෙල්ෆි පිතූර ගන්නවා. පොලිස් නිලධාරීන් සමග ගැටුම් ඇති කර ගන්නවා. අනන්‍යතාව පවත්වාගෙන යන්න උත්සාහ කරන්නෙ පොලිස් නිලධාරියා සමග. නමුත් පොලිස් නිලධාරියා යනු පොලිස් නිලධාරියා නොවෙයි. ඔහු වෙනත් සංකේතීය ආයතනයක, එසේත් නැතිනම් නීතිමය ආයතනයක (Law Institute)  නියෝජිතයෙක්. ඒ නිසා ලකාන් ගේන තර්කය වෙන්නෙ ‘‘ඔබ ඔහු සමග අනන්‍ය නොවන්න. ඔහුට යටත් වෙන්න’’ යන්න යි. පොලිස් නිලධාරියා නළාව නාද කළාම අපි එයට යටත් වී නැවතිය යුතුයි.

එබඳු අවස්ථාවක අපි නොනැවතුනොත් මොකද වෙන්නෙ. සංකේතීය තත්ත්වය අවුල් වෙන්නෙ මෙන්න මෙතනදි. මිනිස්සු වටහා ගන්නෙ නැහැ පොලිස් නිලධාරියා යනු සංකේතීය පද්ධතියක් බව. ඒ නිසා නිහාල් සිල්වා වගේ නොනවත්වා යනවා. මෙතනදි පොලිස් නිලධාරියා හරිද වැරදිද යන කාරණය පසෙක තැබිය යුතුයි. ඒ වගේ ම අධිකරණය හරිද වැරදිද යන කාරණයත් පසෙක තැබිය යුතුයි. පොලිස් නිලධාරියා සහ අධිකරණය යන සංකේතීය පද්ධති දෙකම වැරැදි වෙන්න පුළුවන්. නමුත් අපේ කාර්යභාරය විය යුතුතේ මේ කිසිවක් සමග අනන්‍ය වීම නොවෙයි. එයට සංකේතියව යටත් වීම.

ඇතැම් විට කෙනෙක් මෙය ප්‍රශ්න කළ හැකියි. ‘කොහොමද එහෙම යටත් වෙන්නෙ? පුද්ගලත්වයට විශාල ශක්තියක් තිබෙනවා. මේක දැවැන්ත නිදහස් සමාජයක්. පොලිස් නිලධාරීන්ට වුවමනා ආකාරයට යටත් වෙන්න අපි සූදානම් නැහැ.’ මෙන්න මේ වගේ අර්බුද මතුවෙන්න පුළුවන්. ඒකට හොඳම විසඳුම සොයාගැනීම සඳහා සහ නිවැරැදි අවබෝධයක් ලබාගැනීම සඳහා අපි මනෝ විශ්ලේෂණයට යා යුතුයි. එසේ නොමැතිව මොනයම් හෝ සමාජ යාන්ත්‍රණයක් පිළිබඳ සාකච්ඡා කළත් පුද්ගලයා එයට බද්ධ වන්නේ කෙසේ ද සහ පුද්ගලයා එයට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන නිවැරැදි අවබෝධයක් අපට නොමැති නම් එයින් කිසිඳු ප්‍රයෝජනයක් අත් වෙන්නේ නැහැ.

දැන් අපි තව අදහසකට යමු. එනම්, ‘ඔබ දන්නවා. නොදන්නවා වගේ ඉන්නවා’ (theory of disavowal) යන කාරණාව.  මේ පවතින තත්ත්වය අවුල් බව ඔබ, මම සහ අපි සියලු දෙනා ම හොඳට ම දන්නවා. මහින්ද රාජපක්ෂ ඒකාධිපති ලක්ෂණ පළ කරමින් සිටි බව හැමෝ ම හොඳින් ම දැනගෙන හිටියා. 18 වන සංශෝධනය ගේන විට, ශිරාණි බණ්ඩාරනායක එළවා දමන විට ඒකාධිපති රෝග ලක්ෂණ මතුවුණ බව පැහැදිලි කාරණාවක්. මේ සියල්ල වික්ටර් අයිවන් ප්‍රමුඛ උගත්, බුද්ධිමත් යැයි නාමකරණයට ලක් වූ අය දැනගෙන සිටියා.  නමුත් ඔවුන් මොකද කළේ…? ඒ කිසිවක් නොදන්නවා වාගේ හැසුරුණා. එය නරුමවාදයක්. වික්ටර් අයිවන්ගේ විචාර කිසි දවසක මහින්ද රාජපක්ෂ ඒකාධිපතිත්වය කරා යනවා ය කියන තැනට යොමු වුනේ නැහැ. ඔහු කිසිදිනකවත්, කොතැනකවත් ඒ අදහස ඍජුව ප්‍රකාශ නොකරන්න වග බලාගත්තා.  කිසිවක් ඍජුව ප්‍රකාශ නොකර ඔහු කළේ කුමක්ද? වෙන කුඩා කුඩා කැබලි අල්ලාගෙන දේශපාලන විචාර ලියන්න පටන් ගත්තා. ‘මහින්ද කකුල තියන්න තිබ්බෙ ඒ විදියට නෙවෙයි මේ විදියට. ඒ විදයට තිබ්බ නම් වෙන්න තිබුනෙ මේ විදියට. එහෙම නොවුණ නිසා මෙහම වුණා.’ වැනි බොරු වාක්‍යය හරහා ඔහු මහින්දටත් අවවාද දෙන තැනට ආවා. නමුත් ඔහු කළ යුතුව තිබුණේ එය නොවෙයි. මෙය ඉතාමත් විපරීත තත්ත්වයක්.  ඔහු සහ එවැනි සිවිල් පුද්ගලයන් කළ යුතුව තිබුණේ එවැනි ණිශ්චිත ඒකාධිපති ලක්ෂණ මතු වන විට අවශ්‍ය වන්නේ එබඳු නිහඩතාවක් අනුගමනය කිරීම නොවෙයි. නිශ්චිත විවේචනයක් සහ ඊට එරෙහි නිශ්චිත ක්‍රියාත්මක භාවයක නිරත වීම. නමුත් පැවති දේශපාලන තත්ත්වයට සාපේක්ෂව එවැන්නක් ක්‍රියාත්මක වුණේ නැහැ. මෙන්න මේ තත්ත්වය තමයි (theory of disavowal) යනුවෙන් හඳුන්වන්නේ. වඩාත් පැහැදිලි කරනවා නම්, ‘ප්‍රතික්ෂේපන න්‍යාය’  හෙවත් ‘දන්නවා. නමුත් නොදන්නවා සේ සිටීම’ මෙවැනි පුද්ගලයන්ට කළ හැකි කිසිවක් නැහැ. මොකද හොරට නිදා සිටිනවුන්ට කළ හැකි කිසිවක් නැහැ. මෙය මනෝ විශ්ලේෂණයේ සාකච්ඡා කරන ප්‍රධාන ම කාරණයක්. එනම්, මනුෂ්‍ය ක්‍රියාකාරිත්වය සහ කතා කරන විෂයේ ක්‍රියාකාරිත්වය අතර වෙනස.

සමාජයේ වගකිව යුතු පුද්ගලයන් සහ සිවිල් සංවිධාන මෙවැනි තත්ත්වයකට පත්වෙන්නෙ ඇයි?

ඒකට හේතුවක් තිබෙනවා. මම ඔබ සමග කතා කරමින් සිටිනවා. නමුත් ඔබට මාව නොතේරෙනවා නම් මේ කතාව මෙතැනින් ඉදිරියට යන්නෙ නැහැ. මම හරියට ම ඔබ තේරුම් ගන්නවා කියන්නෙත් ඔබගේ අශ්ලීල හැම දෙයක් ම මම හොයාගන්නවා කියන කාරණයත් නොවෙයි. මම නායකය සම්බන්ධයෙනුත් මෙය පැහැදිලි කළා. එනම් නායකයාගේ සියලු දේ ම දැනගතයුතු නැහැ කියන කාරණය. නමුත් ඔබගේ සාරය නියෝජනය කරන්නේ කොතැනද? ඒ කුමක් සඳහාද?  යන කාරණය පිළිබඳ මට නිශ්චිත අදහසක් තිබිය යුතුයි. ඓන්ද්‍රීය සම්බන්ධයක් ගොඩනගාගන්න පුළුවන් වෙන්නෙ මේ කාරණය දැන සිටීමෙන් පමණයි.

දැන් අපි පුද්ගල ක්‍රියාත්මක භාවය දර්ශනයක් විදියට අරගමු. මතවාදයක් විදියට මනෝ විශ්ලේෂණය මෙතරම් වැදගත් වෙන්නෙත් මෙන්න මේ නිසා. ඒ නිසා මේ සමගම මම තව අදහසක් ඉදිරිපත් කරන්නම්. මෙය ම දන්නා තරමින් මෙතෙක් සාකචඡා කර නැහැ. ඒ වගේ ම කුමනාකාරයට මතභේදයට තුඩු දේද දන්නෙත් නැහැ.  එනම්, බාහිර ලෝකය පිළිබඳ අපි පවත්වාගෙන යන දුරස්ථ භාවය පිළිබඳ කාරණය.

මෑත කාලයේ ජිජැක් පැවැත් වූ දේශන ගණනාවක මුඛ්‍ය මාතෘකාව වුණේ බුද්ධාගම. ලංකාවේ බුද්ධාගම දන්න අය හෝ එයට විරුද්ධ අදහස් දක්වන අය අතරින් මෙය ඉදිරියට නොඑන්නෙ ඇයි කියන කාරණය මම දන්නෙ නැහැ. ජිජැක් බුද්ධාගමට ගෙනෙන ප්‍රධාන විවේචනයක් තිබෙනවා. එනම්, බුද්ධාගම අපිට බාහිර ලෝකයත් සමග දුරස්ථ භාවයක් ගොඩනගාගැනීම සඳහා අවශ්‍යය: න්‍යායික, මතවාදී මෙන්ම දෘෂ්ටිවාදී පදනම සපයනවා ය යන කාරණය. ඔහු ඒ සඳහා ඉදිරියට රැගෙන එන්නෙ සෙන් බුද්ධාගම. සෙන් බුද්ධාගමේ තිබෙන එක් කාරණයක් එනම්, ‘ඔබට මිනිසුන් මැරිමට වුවමනා නම් එය ඔබට කළ හැකියි.’ යන කාරණය. එය සිදු වෙන ආකාරය ජිජැක් ඉතා නිවැරැදිව සහ ඉතාමත් ලස්සනට පැහැදිලි කරනවා.  දෘෂ්ටිවාදය අපේ මනුෂ්‍ය ජීවිත සමග කෙතරම් බද්ධ වී තිබෙනවාද යන කාරණයත් මෙතනදි පැහැදිලි වෙනවා. 

මෙය වඩාත් පැහැදිලි කරගන්න නම්, ලංකාවේ යුද්ධය පවතින අවස්ථාවේ දී ලංකාවේ බුද්ධාගමේ කාර්යභාරය වුණේ කුමක්ද කියල හිතල බලන්න.  අපි ලබන සතියෙ මේ පිළිබඳ සාකච්ඡා කරමු.

|මතු සම්බන්ධයි
සාකච්ඡා සටහන – ජයසිරි අලවත්ත

සත්හඬ ලිපිය මෙතනින් බලන්න

පසුගිය සියලු ලිපි බලන්න මෙතනින් පිවිසෙන්න.

 

 

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. bududhamme darshanika sathyan ahalakatawath zijakta enna baha ohu kohomahari allaganne ohuta galapen de vitharayi eka hari naha wagema nivaradith naha saba budu dhama danna darshanika mathavada danna kenk ekka palamuwa sakachcha karanna wena …nathinam mathuwenne adala nathi deyak

Comments are closed.