[dropcap color=”pink-orange”]එච්[/dropcap].ආර් ජෝතිපාල ගේ කනත්තේ පැවති ප්‍රසිද්ධ අවමගුලට පසුව සිංහල දේශපාලනයට ජනප්‍රිය මිනිසුන් අවශ්‍ය විය. විජය කුමාර තුංරණතුංගගෙන් පටන් ගත් එම රැල්ල මේ වන විට නදීෂා හේමමාලි,හිරුණිකා ප්‍රේමචන්ද්‍ර දක්වා දිගුවිය. ජනප්‍රිය මිනිසුන් අපට අවශ්‍ය ඇයි?

ලංකාවේ ද ජනප්‍රිය වූ “THE KARATE KID”  නම් ච්ත්‍රපටය අපි නොසිතන දෙයක් කියා දෙයි. ඩැනියල් නම් චරිතය කරාතේ ක්‍රීඩාව ඉගෙන ගැනීමට ආසියාතිකයෙකු වූ මියැගි මහතා ලගට යයි. නමුත් ගුරුවරයා කරාතේ උගන්වන්නේ අමුතු ආකාරයකටයි. ගුරුවරයා බොහෝ විට කරාතේ ඉගැන්වීම වෙනුවට තමන්ගේ මෝටර් රථය සෝදන්න කියයි. එසේත් නැත්නම් වත්ත සුද්ද කර ගනියි. ගුරුවරයාට අනුව ඔහු ඩැනියල් ට මේ සියල්ල හරහා උගන්වන්නේ කරාතේ ක්‍රීඩාවයි. නමුත් ඒ ගැන ඩැනියල්ට වැටහීමක් නැත. ටික කලක් යන විට ඩැනියල්ට වැටහෙන්නේ තමා ගුරුවරයා වෙනුවෙන් සේවය කරන්නේ ඔහුට ඇති ආදාරයකට නොව තමන්ට කරාතේ උගත යුතු නිසා බවයි.

ඉහත ජනප්‍රිය ච්ත්‍රපට උදාහරණය හරහා අපට වටහා ගත හැකි කරුණ වන්නේ දැනුම සම්ප්‍රෙක්ෂණය කළ හැකි බවයි. සරලව කිව්වොත් ඩැනියල්ට තම කරාතේ ගුරුවරයා හරහා ආපසු ලැබෙන්නේ තමන් ගැනම වූ දැනුමක්, හැබැයි කණපිට පෙරලල. කෙනෙකුට තමන්ගේ පණිවිඩය ආපසු ලැබෙන්නේ කණපිට හැරීමෙන් පසුවය. උදාහරණයක් වශයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් විජය කුමාරණතුංගට ආශා කරන ලද්දේ ඔහු අතිශය ජනප්‍රිය නළුවෙක් නිසා බවට වූ ජනප්‍රවාදයක් අප රටේ පවතියි. නමුත් ඇත්ත තත්ත්වය වන්නේ ‘විජය’යනු චන්ද්‍රිකා ගේ ආශාව ඇයට යළිත් කණපිට හැරී ලැබීමයි. චන්ද්‍රිකා අවිඥාණකව විජය හරහා අනුමාන කරන ලද්දේ චපල ස්වාමිපුරුෂයෙකි. ඩැනියල් සේම ඇයත් විජය වෙනුවෙන් බොහෝ පරිත්‍යාග කරන ලදි. නමුත් ඇය ඔහුගෙන් අවිඥාණකව බලාපොරොත්තු වුයේ ඇයව කණගාටුවට,කරදරයට,හිංසනයට පත් කරන සැමියෙකි. ඇත්තටම ඇයට එම තත්ත්වය විජය ගෙන් පසුව ආරෝපණය විය. ඇය ඔහු හරහා ඇගේ ජීවිතය යනු අවුල් ජාලාවක් බව වටහා ගත්තාය. එය ඇගේ පණිවිඩය ඇයටම කණපිට හැරී තැපෑලෙන් ලැබීමකි. මගේම එක අර්ධයක් යළිත් ලිපියක් මෙන් මගේ නිවසට තැපෑලෙන් ආ විට ඒ ‘මම’  යැයි මටවත් වටහා ගත නොහැක.

ජනප්‍රිය සහ ප්‍රසිද්ධ පුද්ගලයන්ට අප ආශා කරන්නේ මන්ද? නිසැක වශයෙන්ම මට එවැන්නකු මුණ ගැසීමෙන් අනතුරුව අවසානයේ හමු වන්නේ දුකට පත් වූ මමම මිස අදාල ජනප්‍රිය පුද්ගලයා නොවේ. ඔවුන් අපට උගන්වන්නේ අපගේම ආශාව ගැනය. අප එය පිළිගැනීමට සූදානම් ද?

ඔබේ අදහස කියන්න...