[dropcap color=”red”]එ[/dropcap]ක්සත් වාමාංශික පෙරමුණක් ගොඩනැගීමට නම් සියළු දෙනාට එක අරමුණක් තිබිය යුතුය. එක්සත් වාම සංධානයක් ගොඩනැගීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය මූලික කොට ගත් ව්‍යපාරය විවේචනය කිරීමට පසුගිය දිනවල බොහෝදෙනා බොහෝ ලිපි ලිවූහ. එම ලිපි ඉතාම දිග ලිපිය. මේ ලිපි වලින් බොහොමයක් තමාගේම කියවීම පිණිස රචනා කරන ලද ඒවාය. නමුත් ඒවා අන්තර්ජාලයට නිකුත් කළ විට තත්ත්වය බරපතල වෙයි. මන්ද යත් තමාගේම කියවීමට ලියන ලද ලිපි විසින් මහත් පාඨක සංඛ්‍යවක් සොයන නිසාය. එහෙයින් මේ ආරයේ ප්‍රබන්ධ අනාවරණය කළ යුතුය. සැබැවින්ම එක්සත් වමක් වෙනුවෙන් ලියන්නේ නම් පහත රීති අනුගමනය කරන්න.

01-      විවිධ දේවල් පරිස්සමට සොයා බලන්න. වැඩි වැඩියෙන් නිරීක්ෂණය කරන්න. ඔබ දුටුවේ ස්වල්පයක් නම් නොලියන්න.

02-      ඔබට ලිවීමට කරුණු නැත්තම් බලෙන් නොලියන්න.-අප කරන්නේ කුමක්ද?අපට කීමට කිසිවක් නැති බව පෙනෙන විට    පවා අපි වදෙන් පොරෙන් දිගටම ලියාගෙන යන්නෙමු. එතැනින් නතර නොවී අපි සමහර විට වෙනත් අයවද කිති කවා,ඔවුන්වද තේරුමක් නැතිව ලියන්නට පොළඹවන්නෙමු.

03-      ලියා අවසාන වීමෙන් පසු අඩු වශයෙන් දෙවතාවක් ඔබේ ලිපිය කියවන්න.අනවශ්‍ය වචන,වාසගම්,නම් සහ ජේද අනුකම්පා විරහිතව කපා දමන්න.

04-       ඔබට පමණක් අවබෝධ වන නව යෙදුම්,වචන,නම් හෝ එවැනි දේ හෝ වාත්තු නොකරන්න!

සතුරන්ට පහර දීමට අවශ්‍ය නම් ඒ සදහා වචන පාවිච්චි කිරීමට වඩා අත පය පාවිච්චි කරීම යෝග්‍යය.මන්ද වචන නිසා බොහෝ අය නොමග යන නිසාත් අත පය නිසා කිහිප දෙනෙක් පමණක් රෝහල් ගත වන නිසාත්ය.

පහත පල වන්නේ පෙරටුගාමි සමාජවාදී පක්ෂ විසින් වම එක්සත් කිරීම උදෙසා පවත්වනු ලබන සාකච්ඡා මාලාව සදහා සමාජවාදී සමානතා පක්ෂයේ ක්‍රියාධරයෙකු විසින් ලෝක සමාජවාදී වෙබ් අඩවියට ලියන ලද ලිපි හතරකින් යුත් ලිපි මලාවයි….

පෙරටුගාමී සමාජවාදී පක්ෂය:නව දක්ෂිනාංශික ව්‍යාජ-වාම කන්ඩායමක්

කේ. රත්නායක විසිනි, 2013 දෙසැම්බර් 20

මෙහි පලවන්නේ කොටස් හතරකින් යුතු ලිපි මාලාවක පලමුවැන්නයි.

ජනතා විමුක්ති පෙරමුනෙන් (ජවිපෙ) භේද වූ කන්ඩායමක් ගිය අවුරුද්දේ උත්සවශ‍්‍රීයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) පිහිටුවා ගැනීම නිවේදනය කලේය. ව්‍යාජ වම්මුන්ගේ නව සමසමාජ පක්ෂය (නසසප) හා එක්සත් සමාජවාදී පක්ෂය (එසප), එම පක්ෂය පිහිටුවීම ලංකාවේ දේශපාලන තත්වය තුල ඇතිවූ “ප‍්‍රගතිශීලී” වර්ධනයකැයි වග වර්නනා කලහ.

මෙම සලුපිලි ඇන්දවීම කීතු කරමින්, පෙසප පසුගිය අවුරුදු දෙකකට ආසන්න කාලය තුල සනාථ කර ඇත්තේ, එය වනාහී ධනවාදී පද්ධතියට ද ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුවට ද එරෙහිව පෙරලිකාරී වන වැඩකරන ජනතාවට හා තරුනයින්ට උගුල් මානන දක්ෂිනාංශික සංවිධානයක් බව යි.

දශක ගනනාවක් තිස්සේ ජවිපෙ ප‍්‍රතිගාමී පිලිවෙත් ආරක්ෂා කල පෙසප නායකයින් ඉන් කැඩී ගියේ එය බරපතල ම අර්බුදයක ගිලෙන තත්වයක ය. ලංකාවේ හා ජාත්‍යන්තර ජනමාධ්‍යයන් ජවිපෙ “මාක්ස්වාදී” පක්ෂයකැයි පින්තාරු කරන නමුත් ඊට මාක්ස්වාදය සමග කිසි කලෙකවත් සම්බන්ධයක් තිබුනේ නැත. 1960 ගනන් අග ගම්බද තරුනයන් අතර එම පක්ෂය සංවිධානය කෙරුනේ මා ඕවාදය හා සිංහල ජනතාවාදය උඩ පදනම් වෙමින් සන්නද්ධ අරගලය උත්කර්ෂයට නංවමිනි. 1964 ලංකා සමසමාජ පක්ෂය (ලසසප) ධනපති ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය (ශී‍්‍රලනිප) සමග සභාගයකට එක්වෙමින් සිදු කල ඓතිහාසික පාවාදීමේ කොන්දේසි තුල විරක්ෂාභාවයේ හා දරිද්‍රතාවේ ගිලී පෙරලිකාරී වෙමින් සිටි ගම්බද තරුනයින් ජවිපෙ දුටුවේ “වාමාංශික” සංවිධානයක් ලෙස ය.

සන්නද්ධ අතිධාවනකාරීත්වයේ සිට පාර්ලිමේන්තු දේශපාලනයක් දක්වා පැද්දුනු ජවිපෙ දැන් ධනපති දේශපාලන සංස්ථාපිතයට තරයේ ම බද්ධ වූ සංවිධානයකි. ජවිපෙ දෙමල ජනයාට එරෙහි වර්ගවාදී යුද්ධයට සහයෝගය දුන්නේ ය; 1988-1990 දී කම්කරුවන්ට හා දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව ෆැසිස්ට් ප‍්‍රහාර මුදා හැරියේ ය. 2004 දී එවක ජනාධිපති වූ චන්ද්‍රිකා කුමාරතුංග සමග හවුල් ආන්ඩුවකට ඇතුලු වූවේ ය. රාජපක්ෂ ආන්ඩුව යලි ඇරඹූ යුද්ධයට ද වැඩකරන ජනයාට එල්ල කල ප‍්‍රහාරවලට ද සහයෝගය දුන් ජවිපෙ ඉන් අනතුරුව දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (එජාප) සමග සන්ධානගත වී හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා පොදු ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට හවුල් විය. මේ ප‍්‍රතිගාමී උපාමාරු මුදුන් පෙත්තට ගෙන යමින් ජවිපෙ ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් අධිරාජ්‍යවාදී අවශ්‍යතා මත 2001 සැප්තැම්බරයේ නිව් යෝර්ක් නගරයට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු ඇරඹූ ඊනියා ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයට සහයෝගය පල කලේ ය.

මේ ප‍්‍රතිගාමී කි‍්‍රයා කලාපය නිසා ජවිපෙ තරුනයින් හා දුගීන් අතර අපකීර්තියට පත්ව සිටියි. එහි එක් දර්ශකයක් වූයේ පක්ෂයේ පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 2004 දී 39ක් ව තිබී 2010දී ආසන තුනකට පල්ලම් බැසීම යි.

කල් ඉකුත් වී, මෙම දක්ෂිනාංශික පිලිවෙත්වලින් සමහරක් ගැන විවේචන එල්ල කරමින් පෙසප නායකයන් ජවිපෙන් භේද වූයේ, පක්ෂයේ ආරම්භකයා වූ රෝහන විජේවීරගේ උරුමය වෙතට පෙරලා යන බව ප‍්‍රකාශ කරමිනි. ඇත්තට ම නම් මේ “උරුමය”, අවස්ථාවාදී හා ප‍්‍රතිගාමී එකකි. ජවිපෙ ගැන කලකිරුනු තරුනයින්, ඊට එරෙහිව වාගාලාප දෙඩූ අලුත් පක්ෂයට ඇදී ගියේ ඉන් විකල්පයක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙමිනි. ජවිපෙ විසින් පාලනය කෙරුනු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම) ද කැඩී ගිය කන්ඩායමට එක් විය.

පෙසප ද දැන් දේශපාලන අර්බුදයක ගිලී ඇත. ජවිපෙ ගැන විස්වාසය බිඳී එක් වූ තරුනයින් බොහෝ දෙනෙක් පෙසප අත්හැර ගොසිනි. පක්ෂයේ මුද්‍රිත පුවත්පත් දෙක “තාවකාලිකව” වසා දමා තිබේ. ඇතැම් නායකයන් පක්ෂය අත් හැර සරු තනබිම් සොයා ගොස් ඇත. පෙසප නායකයෙකු වන සේනාධීර ගුනතිලක ද නේෂන් පුවත්පතට ප‍්‍රකාශ කලේ, “මතභේද නිසා අපේ පක්ෂයේ සාමාජිකයන් කිහිප දෙනෙක්” පක්ෂයට අහිමි වී ඇති බවයි.

පෙසප දැන් කලෙක සිට තොරොම්බල් කල “වාම සංවිධාන” යලි කාන්ඩ ගස්වා ගැනීමේ ව්‍යායාමය පෙරට දමා ඇත. පෙසප මේ සඳහා ධනේශ්වර කන්ඩායම් වලට හා ව්‍යාජ වම්මුන්ගේ සංවිධානවලට ආරධනා කර ඇත. පෙසප දැන් වෙර දරන්නේ තමන් ද ඇතුලු කන්ඩායම්වල අතීත ප‍්‍රතිගාමී කි‍්‍රයාවලට අලුත් වහන්තරාවක් දමාගෙන කම්කරු පන්තිය පීලී පැන්නවීමට හා එහි අරගල මැඩලීමට පලල් වාම පෙරමුනක් ඇටවීමට යි. පෙසප අන් ඊනියා වම්මුන් මෙන් ම භීතියට පත්ව සිටින්නේ ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනයේ ආඥා පරිදි කප්පාදු පිලිවෙත් කි‍්‍රයාවට දමන රාජපක්ෂ ආන්ඩුවට විරුද්ධව, ලෝක පරිමානව සිදුවන්නා සේ, කම්කරුවන්ගේ විප්ලවවාදී අරගල ලංකාව තුල ද පුපුරා එනු ඇති නිසා ය.

නසසප හා එසප මෙම කාන්ඩ ගැසීමට හවුල්කර ගැනීම එහි දක්ෂිනාංශික ස්වභාවය ප‍්‍රදර්ශනය කරයි. මෙම පක්ෂ ධනේශ්වරයේ සෑම කන්ඩායමක් සමග ම එක් වීමෙන් ද දැන් යූඇන්පිය සමග පෙල ගැසීමෙන් ද දුර්දාන්ත අවස්ථාවාදී ද්‍රෝහීත්වය කර පින්නා ගෙන සිටී.

ගී‍්‍රසියේ සයිරිසා (රැඩිකල් වාම සභාගය) සංවිධානය ලංකාවේ වාම කාන්ඩ ගැසීමකට හොඳම මොඩලය ලෙස පෙසප පින්තාරු කරයි. ගිය අවුරුද්දේ සැප්තැම්බර් 2 දා පෙසප පුවත්පතක් වන ජනරල “ගී‍්‍රසියේ සයිරිසා වැනි රැඩිකල් වමක සුන්දර බලාපොරොත්තුව දැල්වීම සඳහා වන ඒ කතිකාව” එනම් වාම කන්ඩායම් කතිකාවේ යෙදීමේ උවමනාව, අවධාරනය කලේ ය. ධනේශ්වර හා ව්‍යාජ වාම කන්ඩායම්වල සයිරිසා හවුල ගී‍්‍රසිය තුල ධනවාදයට එරෙහිව කම්කරු පන්තිය විප්ලවවාදීව බලමුලු ගැන්වීමට විරුද්ධ පවුරක් ලෙස ක‍්‍රියාකරන අතර ම අධිරාජ්‍යවාදී යුරෝපා සංගමය සමග එකට කටයුතු කිරීමට එකහෙලා පක්ෂපාතීත්වය ප‍්‍රකාශ කර ඇත. සයිරිසා නායක ඇලෙක්සැන්ඩර් සිප්රාස් වොෂිංටනය ද ඇතුලු අධිරාජ්‍යවාදී ලෝකයේ අගනුවරවල කරක් ගසමින් ඔහුත් ඔහුගේ සංවිධානයත් ගැන බය වීමට කිසිදු හේතුවක් නැති බව ඒත්තු ගන්වමින් සිටී.

සයිරිසා මොඩලය පෙසප විසින් තොරොම්බල් කරනු ලැබීම, එය ඉටු කරන්ට යන ප‍්‍රතිගාමී කි‍්‍රයා කලාපය කල් තියා ප‍්‍රකාශයට පත් කිරීමකි.

ලෝක ධනවාදයේ අර්බුදය ගැඹුරුවන තතු තුල විප්ලවවාදී අරගල වර්ධනය වෙද්දී කම්කරු පන්තිය පීලි පැන්නවීමට රටක් රටක් පාසා අලුත් වාම කාන්ඩ ගැසීම් සිදුවෙමින් පවතී. සයිරිසා හැරුනු විට, ප‍්‍රන්සයේ නව ධනපති-විරෝධී පක්ෂය, එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය සහ ඊජිප්තුවේ විප්ලවවාදී සමාජවාදියෝ ධනපති සහ අධිරාජ්‍යවාදී න්‍යාය පත‍්‍රයන්ට සහයෝගය දෙන මේ කන්ඩායම් අතරින් කිහිපයකි.

පෙසප, ජවිපෙ දේශපාලනයෙන් තමන් බිඳුනු බවට කයිවාරු ගසයි. එහෙත් පසුගිය මාසවල එහි කි‍්‍රයාකලාපයෙන් පෙන්නුම් කර ඇත්තේ මෙම පක්ෂයට ජවිපෙ දේශපාලන පිලිවෙතින් මොනම මූලික බිඳීමක්වත් නැති බව යි.

පක්ෂයේ ප‍්‍රධාන පදනම ලෙස සැලකෙන ශිෂ්‍යයන් අතර පෙසප කි‍්‍රයාකලාපය ඊට එක් සාක්ෂියකි. ජවිපෙ මෙන් ම පෙසප ද විශ්ව විද්‍යාල සිසුන් අතර කි‍්‍රයා කරන්නේ අවිශිබමය හරහා ය. පහසුකම් නැතිකම, සරසවි අධ්‍යාපනය පුද්ගලීකරනය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් අහෝසි කිරීම නිසා ශිෂ්‍යයෝ රැඩිකලීකරනය වී සිටිති. නමුත්, රාජපක්ෂ ආන්ඩුව බලපෑම්වලට නතුකර ගත හැකියයි බොරු දෙසාබාමින් සිසුන් අතර කෝපය වාෂ්ප කර දැමීමට අවිශිබමය එකකට පසු තවෙකක් බැගින් විරෝධතා සංවිධානය කරයි. සබරගමු සිසුන්ගේ අයිතීන්ට ආන්ඩුව ප‍්‍රහාර එල්ල කිරීමට විරුද්ධත්වය පෑම සඳහා අවිශිබමය හැරුනේ අධිරාජ්‍යවාදීන් විසින් හසුරුවන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය වෙත යි.

මෙලෙස නිරර්ථක විරෝධතා වංකගිරියක් තුල සිසුන් හිර කරමින් ආන්ඩුවේ අඛන්ඩ ප‍්‍රහාරයකට පෙසප දොර හැර ඇත. සමාජවාදී සමානතා පක්ෂය (සසප) ද එහි සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ ද, නිදහස් අධ්‍යාපනය රැක ගැනීම සඳහා රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව සමාජවාදී ප‍්‍රතිපත්ති මත සටන් කිරීමට කම්කරු පන්තිය වෙත ශිෂ්‍යයන් හරවා ගැනීමට කරන අරගලයට පෙසප හා අවිශිබම මාරාන්තික ලෙස සතුරු ය.

සමාජවාදී ප‍්‍රතිපත්ති මත රාජපක්ෂ ආන්ඩුවට එරෙහි දේශපාලන අරගලයක් බලමුලු ගැන්වීමට පෙසප සතුරුකම පසුගිය අවුරුද්දේ මාස දෙකකට අධික කාලයක් පැවැති විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයේ දී හෙලිදරව් විය. සසප වැඩපිලිවෙලට එරෙහිව ජනරල කතුවැකියක් තුල මෙසේ ලීවේ ය: “අධ්‍යාපනයට දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට හයක් වෙන් කිරීම නැමැති කාරනාව දක්වා දැන් මෙම ‘වෘත්තීය අරගලය’ රැගෙනවුත් තිබේ. . . එය එසේ කිරීමෙන් අධ්‍යාපන ගැටලුව විසඳෙයි ද? නැත. එහෙත් එය ස්ථිරලෙස ම ‘සිත්ගන්නා සුලු’ ප‍්‍රතිසංස්කරනයක් වනු ඇත. අට අනූවක් රෝග හා නවානුවක් ව්‍යාධීන් සුවපත් කරගැනීම සඳහා (ජාතික ගැටලුව ද ඇතුලු) සමාජවාදය ස්ථාපිත කරන තෙක් බලා සිටීමේ විනෝදාංශයක් අපට නැත.”

මේ සඳහන් කරන්නේ රාජපක්ෂ ආන්ඩුවෙන් “සිත් ගන්නා සුලු ප‍්‍රතිසංස්කරන” දිනා ගත හැකි බවයි, සමාජවාදය සඳහා අරගලය නම් බලා සිටීමට බැරිතරම් දුරස්ථ එකක් බවයි. ආචාර්යවරුන්ගේ සංගමය රාජපක්ෂ ආන්ඩුවෙන් කෙසේ හෝ ඉල්ලීම් දිනා ගැනීමේ නමින් සරසවි ගුරු අරගලය ආන්ඩුව සමග ගනුදෙනු කිරීමට කොටුකර පාවාදීමට ක‍්‍රියා කරන විට, පෙසප ඊට හවුල් වූයේ එලෙස ය.

ජවිපෙ වර්ගවාදී දේශපාලනයට තමන් විරුද්ධ බව මවා පෙන්වීමට පෙසප මංමුලාසහගත ලෙස වෑයම් කරයි. එහි කොටසක් ලෙස මෙම පක්ෂය රාජපක්ෂ ආන්ඩුව මානුෂික අයිතීන් උල්ලංඝනය කිරීම ගැන විවේචනය කරයි. මෙම බොරු උනන්දුව දෙමල ජාතිය සම්බන්ධයෙන් තම වර්ගවාදී පිලිවෙත ආවරනය කර ගැනීමේ තැතකි.

ජාතික ප‍්‍රශ්නය විසඳීම සඳහා ඊනියා ප‍්‍රායෝගික මූලිකත්වය ගැනීම නමින් පෙසප පල්ල ගිය පුරසාරමක් දොඩා ඇත. මේ ‘ප‍්‍රායෝගික මූලිකත්වය ගැනීමේ’ නමින් පෙසප “සම අයිතිවාසිකම් ව්‍යාපාරයක්” දියත් කලේ ය. (මෙම ව්‍යාපාරය දැන් පෙනෙන්ට නැත). එය ඕනෑම ධනේශ්වර කන්ඩායමක් ඉදිරිපත් කරනු ඇති වංචනික ඉල්ලීම් 16ක් ප‍්‍රසිද්ධ කලේ ය. දෙමල ජනයාට තමන්ගේ ම භාෂාවෙන් කටයුතු කිරීමට ඉඩ සැලසීම, යුද්ධයෙන් විනාශ වූ දේපොලවලට වන්දි ගෙවීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, සරනාගතව පිටරට ගොස් සිටින අයට ලංකාව තුල හොඳ ජීවිතයක් සහතික කිරීම හා උතුරු-නැගෙනහිර මිලිටරි පන්නයේ පාලනය අවසන් කිරීම ඒ ඉල්ලීම් අතර වේ.

එහෙත් පෙසප රාජපක්ෂ පාලනය ද ඇතුලු සියලු ආන්ඩු ගෙන ගිය වර්ගවාදී යුද්ධයට විරුද්ධ වී නැතිවා පමනක් නොව උතුරෙන් හා නැගෙනහිරින් කොන්දේසි විරහිතව හමුදා ඉවත් කිරීමේ ඉල්ලීමට ද විරුද්ධ ය.

තම ගුරා වන ජවිපෙ අනුයමින් පෙසප ඉන්දියානු විරෝධය ඇවිස්සීමට ද හවුල් වී සිටී. ඉන්දු-ලංකා ගිවිසුම අනුව ඇති කල 13 වන ව්‍යවස්ථා සංශෝධනයට එම පක්ෂයේ විරුද්ධත්වයෙන් පෙන්නුම් කරන්නේ එය යි. ජවිපෙ හා අනෙකුත් ධනපති කන්ඩායම් මෙන් ම පෙසප ප‍්‍රකාශ කරන්නේ මෙම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ඉන්දියාව ලංකාවට අත දමා ඇති බවයි.

1987 ජූලි ඉන්දියාවේ හා ලංකාවේ ආන්ඩු විසින් ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කරනු ලැබුවේ ලංකාවේ ධනේශ්වර ඒකීය රාජ්‍යය ආරක්ෂා කිරීමට, දෙමල විමුක්ති කොටි සංවිධානය නිරායුධ කිරීමට සහ දෙමල ප‍්‍රභූවට සීමිත පාලන බලතල ලබා දීම සඳහා ය. රාජපක්ෂ ආන්ඩුව දැන් 13 වන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව සිංහල-බෞද්ධ වර්ගවාදී කන්ඩායම්වල පිටුබලය ද කැඳවා ගනිමින් වර්ගවාදය ඇවිස්සීමේ යෙදී සිටින්නේ කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ බෙදා සිය ප‍්‍රහාර තීව‍්‍ර කිරීමට ය. ජවිපෙ හා පෙසප ආන්ඩුවේ මෙම ව්‍යාපාරය සමග පෙලගැසී සිටී.

මෙම ස්වෝත්තමවාදී දේශපාලනයන්ට එරෙහිව පිහිටා සිටිමින් ම සසප ඉන්දු-ලංකා ගිවිසුමට ද 13 වන ව්‍යවස්ථා සංශෝධනයට ද විරුද්ධව නැගී සිටින්නේ කම්කරු පන්තියේ ජාත්‍යන්තරවාදී ආස්ථානයේ පිහිටා ගෙන ය. එනම්, සිංහල, දෙමල, මුස්ලිම් කම්කරුවන් එකමුතුව ගොඩ නගා ගෙන, දකුනු ආසියාවේ සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස ශී‍්‍ර ලංකා – ඊලම් සමාජවාදී සමූහාන්ඩුවකට සටන් වැදීමේ ඉදිරිදර්ශනය මත ය. එය ජාත්‍යන්තර පරිමාන සමාජවාදය සඳහා කරන අරගලයක කොටසකි.

මෙම අරගලයට එකහෙලා විරුද්ධ පෙසප සමාජවාදය යන වචනය ව්‍යාජව හරඹ කරන්නේ ධනපති ක‍්‍රමය ආරක්ෂා කිරීමේ තම කි‍්‍රයා කලාපය ආවරනය කර ගැනීමට ය.

ජවිපෙ ඉතිහාසය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය

කේ. රත්නායක විසිනි, 2013 දෙසැම්බර් 21

පෙරටුගාමී සමාජවාදී පක්ෂය කම්කරුවන් හා තරුනයන් ධනපති ක‍්‍රමයට කොටු කර දීමේ කි‍්‍රයා කලාපයක යෙදී සිටී.

මෙහි පලවන්නේ කොටස් හතරකින් යුතු ලිපි මාලාවක දෙවන කොටසයි. 

2012 අපේ‍්‍රල් මාසයේ දී පෙසප දියත් කරන විට, ජවිපෙ අවස්ථාවාදී දේශපාලනයෙන් තමන් බිඳුනේ යැයි ප‍්‍රකාශ කරමින් 1978-2012 ජවිපෙ ගමන් මග: පක්ෂය දෙස ස්වයං විවේචනාත්මකව ආපසු හැරී බැලීමක් සහ අනාගතය වෙත ප‍්‍රවේශයක් (ස්වයං විවේචනය) නමින් පොතක් නිකුත් කලේ ය. මෙම පොත තහවුරු කරන්නේ ජවිපෙ දේශපාලන කුනුවීම පමනක් නොව තමන්ගේ දක්ෂිනාංශික දේශපාලන උපාමාරුවට කවරයක් ලෙස ව්‍යාජ වාම වචන දොඩවන නමුත් පෙසප ද එම දේශපාලනයෙන් බිඳී නැති බවයි.

1965 ජවිපෙ පිහිටුවනු ලැබුවේ, නිර්ධන පන්ති ජාත්‍යන්තරවාදය ද කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය ද පාවා දෙමින් 1964 දී ලසසපය ධනපති ශී‍්‍රලනිපය සමග හවුල් ආන්ඩුවකට ඇතුලුවීමෙන් ජනිත කෙරුනාවූ ගැඹුරු දේශපාලන අර්බුදය මධ්‍යයේ ය. 1953 අගෝස්තු 12 දා හර්තාලයෙන් ප‍්‍රකාශයට පත් කෙරුනා වූ 1950 ගනන්වල කම්කරු පන්තියේ පෙරලිකාරිත්වයට වල කැපීම සඳහා ඇවිස්සූ ශී‍්‍රලනිපයේ සිංහල අධිපතිවාදයට ලසසප නග්නවම අනුගත විය.

ලසසප පාවාදීම සූදානම් කරනු ලැබුවේ, කම්කරු පන්තියේ ස්වාධීන විප්ලවවාදී පක්ෂ ගොඩනැගීමේ කි‍්‍රයාමාර්ගය ප‍්‍රතික්ෂේප කරමින් හතරවන ජාත්‍යන්තරය තුල පැන නැගුනා වූ පැබ්ලෝවාදී සංශෝධනවාදී ප‍්‍රවනතාවේ නායකයින් විසිනි. පැබ්ලෝවාදී ප‍්‍රවනතාව ධනවාදයේ පශ්චාත් යුදකාලීන සමථයට අනුගත වූ අතර ස්ටැලින්වාදී නිලධරය ප‍්‍රගතිශීලී කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි ප‍්‍රකාශ කලේ ය. ට්‍රොට්ස්කිවාදී පක්ෂ ස්ටැලින්වාදී, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා ජාතික ධනපති පක්ෂවලට ඇතුලු වී ඒවා වමට තල්ලු කල යුතුයැයි පැබ්ලෝවාදියෝ කියා සිටියහ. ලසසපය පැබ්ලෝවාදීන්ගේ මෙම පිලිවෙතට සහයෝගය දුන්නේ ය. පැබ්ලෝවාදියෝ, අනෙක් අතට, ධනේශ්වර සභාගයක් තුලට පැද යාමට ලසසපයට අනුබල දුන්හ.

ලසසප පාවාදීම, 1960 ගනන්වල ජවිපෙ ද, 1970 බලයට ආ ශී‍්‍රලනිප-ලසසප-කොප දෙවන සභාග ආන්ඩු සමයේ එල්ටීටීඊයේ ද පැන නැගීම ඇතුලු සුලු ධනේශ්වර කන්ඩායම්වල මතුවීමට දොර හැරියේ ය.

ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙකුව සිටි විජේවීර පීකිං කන්ඩායම ඉන් වෙන් ව මා ඕවාදී පක්ෂයක් තනන විට ඊට එක් වී පසුව ඉනිදු කැඩී ගොස් ජවිපෙ සංවිධානය කලේ ය. මා ඕවාදය හා කස්ත්‍රෝවාදය සිංහල ජාතිවාදය සමග මිශ‍්‍ර කර ගත් ජවිපෙ දේශපාලනය ගම්බද දුගීන්ගේ විමුක්තිය සඳහා වෙනම මාවතක් ඇතැයි ප‍්‍රකාශ කරමින් දේශපේ‍්‍රමී ව්‍යාපාරයක් තැනීමට කැප වී ගත් එකක් විය.

1968 දී හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ලංකා ශාඛාව ලෙස සසප පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය ගොඩ නැගුනේ 1960 ගනන්වල පැන නැගි මේ දේශපාලන අර්බුදය මධ්‍යයේ ය. ලසසප පාවාදීමට හා පැබ්ලෝවාදී අවස්ථාවාදයට එරෙහිව හජාජාක කල අරගලයේ පාඩම් උකහා ගනිමින් විකොස සකලාකාර ජාතිකවාදයන් ප‍්‍රතික්ෂේප කලේ ය. විකොස ඉදිරි දර්ශනය පාදක වූයේ, පසුගාමී රටවල ප‍්‍රජාතන්ත‍්‍රවාදී කර්තව්‍යයන් ඉටු කල හැකි වන්නේ කම්කරු පන්තිය, ගම්බද දුගීන්ට නායකත්වය ලබා දෙමින් සිදු කරන සමාජවාදී විප්ලවයේ අතුරුඵලයක් ලෙස ය යන්න අවධාරනය කල ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය මත ය.

එවක විකොස ප‍්‍රධාන ලේකම්ව සිටි, අභාවප්‍රාප්ත කීර්ති බාලසූරිය 1970 දී ලියූ ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය හා පන්ති ස්වභාවය නමැති ලිපි මාලාවෙන් (මෙම ලිපි මෙනමින් ම පොතක් වශයෙන් මුද්‍රනය කර ඇත) තීක්ෂන විශ්ලේෂනයකින් ජවිපෙ දේශපාලන වංකගිරිය හා ප‍්‍රතිගාමී ස්වභාවය එලිදරව් කලේ ය.

කම්කරු පන්තිය හෙවත් නිර්ධන පන්තිය මෙම ධනවාදී යුගයේ ප‍්‍රධාන විප්ලවවාදී බලවේගය ය යන කම්කරු පන්තිය පිලිබඳ මාක්ස්වාදී විද්‍යාත්මක ආස්ථානය ප‍්‍රතික්ෂේප කරමින් නිර්ධන පන්තිය යනු ගම්බද දුගීන් ඇතුලු සියලු පීඩිතයන් අන්තර්ගත කර ගත් සමාජ ඛන්ඩයක් යයි පරාගතවාදී සුත‍්‍රයක් ජවිපෙ ඉදිරිපත් කලේය. ජවිපෙ ස්ටැලින්වාදී අවධි දෙකේ විප්ලව න්‍යාය – එනම් විප්ලවයේ පලමු අවධිය යනු ජාතික ධනේශ්වරය සමග පෙල ගැසී කරන ධනේශ්වර විප්ලවයකට ද සමාජවාදී විප්ලවය අනාගත අවධියකට ද බෙදීම – වැලඳ ගනිමින් ජාතික ධනපති පන්තිය ප‍්‍රගතිශීලී කර්තව්‍යයන් ඉටු කිරීමට සමත් බව ප‍්‍රකාශ කලේ ය.

තම කොන්දේසි වැඩි දියුනු කරගැනීමට කම්කරුවන් අරගලයට ආ විට ජවිපෙ ඒවා හෙලා දුටුවේ, “කැඳ කෝප්ප සටන්” ලෙස යි. ඉන්දියානු සම්භවයක් සහිත දෙමල වතු කම්කරුවන් හංවඩු ගැසුවේ “වරප‍්‍රසාදිත කන්ඩායමක්” සහ “ඉන්දියානු ව්‍යාප්තවාදයේ” ඉත්තෙක් ලෙස ය. – මෙම ආස්ථානයෙන් පෙන්නුම් කෙරුනේ ජවිපෙ දේශපාලනය තුල අනාගත ෆැසිස්ට්වාදී දිශාවනතියක බීජ බව බාලසූරිය පැහැදිලි කලේ ය.

තමන්ගේ සුලු ධනපති න්‍යායන් මත පාදකව 1971 අපේ‍්‍රල් මාසයේ ජවිපෙ දියත් කල අතිධාවනකාරී ගරිල්ලා නැගිටීම පාලක සභාග ආන්ඩුව විසින් තලා දමනු ලැබුවේ 15,000 ගම්බද තරුනයින් ඝාතනය කරමිනි.

1971 ව්‍යසනය ජවිපෙ ගැන විකොස විශ්ලේෂනය සනාථ කලේ ය. 1970 සභාග ආන්ඩුව බලයට ගෙන ඒමට කි‍්‍රයාකරන අතර ම එය “ප‍්‍රතිවිප්ලවයන්ගෙන්” ආරක්ෂා කිරීමට පොරොන්දු වෙමින් ජවිපෙ සිදු කල අවස්ථාවාදී අනුගත වීම විකොස හෙලිදරව් කලේය. කම්කරු පන්තිය ප‍්‍රතික්ෂේප කොට දියත් කෙරෙන හුදකලා, අතිධානවකාරී ගරිල්ලා කැරැල්ලකින් සභාග ආන්ඩුවේ අත් ශක්තිමත් කරන බව විකොස අවධාරනය කලේ ය. කෙසේවුවත්, තම මූලධර්මාත්මක දේශපාලන ශක්තිය ප‍්‍රදර්ශනය කරමින් ජවිපෙ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට විකොස බලගතු අරගලයක මූලිකත්වය ගත්තේ ය.

මෙම අර්බුදයෙන් පසුව, විජේවීර 1978 දී, 1971 අපේ‍්‍රල් දෙස ස්වයං-විවේචනාත්මකව ආපසු හැරී බලමු නම් වූ ස්වයං විවේචන ප‍්‍රකාශයක් නිකුත් කලේ ය. එය ජවිපෙ දේශපාලන ආවෘත අන්තය ආවරනය කිරීමකි. ඔහු ප‍්‍රකාශ කලේ තම පක්ෂය බිහිවූයේ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයේ “මෙන්ෂෙවික්වාදී ගර්භාෂයෙන්” බවයි. ස්ටැලින්වාදයට සහ ලසසප-කොප දේශපාලනයට විරුද්ධ වීම බඳු හොඳ ගුනාංග ද පක්ෂය සතුව තිබුනු බව ඔහු කියා සිටියේ ය. මේ ප‍්‍රකාශ අමු බේගල් ය. ජවිපෙ ස්ටැලින්වාදී දේශපාලනයේ ගිලුනු, සභාගයට පිටුබලය දුන්, පක්ෂයකි. ස්වයං විවේචනයක නමින් සාරසංග‍්‍රහවාදී අච්චාරුවක් ඔහු ඉදිරිපත් කලේ කලකිරුනු සාමාජිකයන් පක්ෂයට බැඳ තබා ගැනීමට ය.

පක්ෂය ස්වයං විවේචනයෙන් පාරිශුද්ධ කර ගත්තේයැයි විජේවීර කල පූච්චානම දෙඩවීම වනාහී 1977 බලයට ආ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ යූඇන්පී ආන්ඩුව කම්කරුවන්ට හා දුගීන්ට එරෙහිව දියත් කල රුදුරු ප‍්‍රහාරයට අනුගත වෙමින් ජවිපෙ ගත් වේගවත් දක්ෂිනාංශික හැරීම ආවරනය කෙරුනු වෙස් බැඳීමක් විය. ශී‍්‍රලනිප-ලසසප-කොප හවුල් ආන්ඩුවට එරෙහි මහජන කෝපය ගසාකෑමට ජයවර්ධන ජවිපෙ දේශපාලන සිරකරුවන් නිදහස් කලේ ය. එහෙත් ඔහුගේ ගනන් බැලීම වූයේ මෙම සුලු ධනපති ව්‍යාපාරය කම්කරු පන්තියට එරෙහි ප‍්‍රතිබලයක් ලෙස යොදා ගැනීම යි. ජවිපෙ එම ක‍්‍රියා කලාපය ලජ්ජා විරහිත ලෙස ඉටු කලේ ය.

කම්කරු පන්තියට එරෙහි යූඇන්පී ආන්ඩුවේ ප‍්‍රහාරය ගෝලීය ක‍්‍රියාවලියක කොටසක් විය. දෙවන ලෝක යුද්ධය අවසානයේ ඇතිකල සමථයෙන් පසු ලෝක ධනවාදයේ ප‍්‍රථම බරපතල ආර්ථික අර්බුදය, 1971 අගෝස්තුවේ ඇමෙරිකානු ජනාධිපති රිචඩ් නික්සන් ඩොලරයේ රන් පදනම ඉවත් කිරීමෙන් සලකුනු කෙරුනි. ඉන් ඇති කෙරුනු අර්බුදය පටවමින් සෑම රටකම කම්කරු පන්තියේ කොන්දේසිවලට එල්ල කල ප‍්‍රහාර පෘතුගාලය හා ග‍්‍රීසිය ඇතුලූ යුරෝපීය රටවල විප්ලවවාදී අරගල පුපුරා ඒමට තුඩු දුන්නේ ය. ඇමෙරිකාව තුල පන්ති ගැටුම් ද දේශපාලන විපර්යාසයන් ද තියුනු විය. බොහෝ යටත්විජිත හා අර්ධ යටත්විජිත රටවල් ද ඒ සමාන කැරැලිකාරීත්වයන්ගෙන් ඇලලුනි.

පැබ්ලෝවාදීන්ගේ සහාය ලද සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා ස්ටැලින්වාදී පක්ෂවල උදව්වෙන් මහජන විප්ලවවාදී රැල්ල මැඩලා ගැනීමට ඒ ඒ රටවල ආන්ඩු සමත් විය. පසුගාමී රටවල ලාභ ශ‍්‍රම තටාකවලට කඩාවැදී සූරාකෑම උග‍්‍ර කර සුපිරි ලාභ උපුටා ගැනීමට, වර්ධනය කෙරෙමින් පැවැති නව තාක්ෂනය ද යොදා ගෙන ගෝලීය පරිමානයෙන් නිෂ්පාදනය සංවිධානය කිරීමට ප‍්‍රධාන අධිරාජ්‍යවාදී රටවල් හැරුනි. මේ ප‍්‍රහාරයේ ආරම්භක අවස්ථාවේ ම විදේශ ආයෝජකයන්ට ආර්ථිකය විවෘත කර දීමට හැරුනු රට ලංකාව යි.

ජයවර්ධන අධිකාරිවාදී ජනාධිපති පාලනයක් පිහිටුවමින් කප්පාදු වැඩපිලිවෙලක් ක‍්‍රියාවට දමා විවෘත ආර්ථික පිලිවෙත පෙරට තල්ලූ කලේ ය. මෙම ප‍්‍රහාරයේ කොටසක් ලෙස 1980 ජූලි මහා වර්ජනය මර්දනය කර රාජ්‍ය අංශයේ සේවකයන් ලක්ෂයක් රැුකියාවලින් නෙරපා හැරුනි. අන් සියල්ලටමත් ඉහලින්, දෙමල විරෝධී ස්වෝත්තමවාදී ප‍්‍රකෝපකරනයන් මාලාවකට පසුව ජයවර්ධන 1983 දී බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහි යුද්ධය ඇවිල වූයේ කම්කරු පන්තිය වාර්ගිකව බෙදා තම න්‍යාය පත‍්‍රය ක‍්‍රියාවට දැමීමට ය. 1983 ජූලිවල දකුනු ප‍්‍රදේශයේ, වෙසෙසින් ම ලංකාවේ ප‍්‍රධාන කම්කරු පන්ති මධ්‍යස්ථානය වූ කොලඹ දෙමල විරෝධී ජනඝාතන කැරැලි ඇවිලවූ ආන්ඩුව ජවිපෙ, නසසප හා කොපට කැරැලිවල වගකීම පටවමින් එම පක්ෂ තහනම් කිරීමට පියවර ගත්තේ ය.

මෙම වකවානුව ගැන සිය ස්වයං විවේචනයේ ලියන පෙසප ව්‍යාජ විවේචනයකට මුවා වී ජවිපෙ සීග‍්‍රයෙන් දකුනට යාම ආවරනය කරයි. 1980 නිකුත් කල ජවිපෙ විප්ලවවාදී ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය නම්වූ ලියවිල්ල “විවෘත ආර්ථිකය හෙවත් නව-ලිබරල්වාදී ප‍්‍රතිපත්තියේ ප‍්‍රථම ඉනිම පැහැදිලිව හඳුනා ගෙන නැත” යන්න එක් විවේචනයකි. ලැයිස්තු කර ඇති ජවිපෙ අනෙකුත් “වැරැදිවලට” විධායක ජනාධිපති ක‍්‍රමය ඇති කිරීමට විරුද්ධව ”ප‍්‍රමානවත් අරගලයක් නොකිරීම” සහ හිටපු අගමැති සිරිමා බන්ඩාරනායකගේ සිවිල් අයිතීන් අහෝසි කිරීමට ආන්ඩුව ගත් පියවරට සහයෝගය දීම ඇතුලත් ය. දෙමල ජනයාට එරෙහි ප‍්‍රහාර එල්ල කිරීම ගැන “ප‍්‍රමානවත් අවධානයක් පක්ෂය නොදුන්” බව පෙසප ප‍්‍රකාශ කරයි. නමුත්, පෙසප 1980 ජූලි වර්ජනයට එරෙහිව පක්ෂය කල හොරිකඩකම ආරක්ෂා කරයි. පලල් ලෙස අපකීර්තියට පත් වූ මෙම කම්කරු විරෝධී ක‍්‍රියාව නිසා ලංකා ගුරු සංගමය ජවිපෙන් කැඩී වර්ජනයට සහභාගී විය.

මෙම ප‍්‍රතිගාමී ක‍්‍රියා සරල “වරදවල්” නොවේ. ඒවායින් පෙන්නුම් කෙරුනේ ජවිපෙ දක්ෂිනාංශික ගමන හා එය යූඇන්පීය සමග නොනිල සන්ධානයක සිටීම ය. ජවිපෙ දෙමල ජනයාට එරෙහි ප‍්‍රහාර ගැන “ප‍්‍රමානවත් අවධාරනයක් නොදුනේනේ” එය සිංහල වර්ගවාදය තුල කිඳී සිටීම නිසා ය. යුද්ධය පටන් ගත් තැන් පටන් ජවිපෙ එහි ප‍්‍රධානත ම කසකරුවා ලෙස ඉදිරිපත් වූවේ ය. පෙසපය, ජවිපෙ විසිහය අවුරුදු මෘග යුද්ධයට සහාය දීමට විරුද්ධ වී නැතිවා පමනක් නොව තමන් ද යුද්ධයට විරුද්ධ නැති බව අඟවා සිටී. අනෙකුත් ධනේශ්වර හා ස්වෝත්තමවාදී කන්ඩායම්වල මෙන් ම ජවිපෙ ද පිලිවෙත වූයේ ඒකීය ධනේශ්වර රාජ්‍යය රැකීම යි.

මර්දනකාරී යුද්ධයට මුහුන දුන් උතුරු-නැගෙනහිර දෙමල ජනයා දසහස් ගනනින් දකුනු ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තය ද ඇතුලු විදෙස් රටවලට සරනාගතයන් ලෙස පැන ගියහ. ලංකාවේ දෙමල ජනයාට එරෙහිව මර්දනය තමිල්නාඩුවේ වෙසෙන සමීප ජනාවාර්ගික සම්බන්ධකම් ඇති ජනයා අතර බරපතල නොසන්සුන්කමක් ඇවිල වූවේ ය. තමිල්නාඩුවේ දේශපාලන අස්ථාවරත්වය සන්සිඳුවීමට නව දිල්ලිය කලේ ලංකාවේ දෙමල, සිංහල හා මුස්ලිම් ප‍්‍රභුන් අතර සීමිත බලය බෙදීමක් සඳහා “දේශපාලන විසඳුමක්” යෝජනා කිරීම යි.

ජවිපෙ මෙය ඩැහැ ගත්තේ ශ‍්‍රී ලංකා “මාතෘ භූමිය” ඉන්දියාව විසින් ආක‍්‍රමනය කිරීම අත ලඟ යැයි හඬතලමින් ස්වෝත්තමවාදී උද්ඝෝෂනය ත‍්‍රීව‍්‍ර කිරීමට යි. ඒ මුවාවෙන් “ජාතිය ගලවා ගැනීමේ” නමින් ශ‍්‍රීලනිපය සමග දේශපේ‍්‍රමී ව්‍යාපාරයක් සංවිධානය කිරීමට ජවිපෙ තැත් කලේ ය.

මෙම ප‍්‍රතිගාමී උද්ඝෝෂනය විප්ලවීය පරිශ‍්‍රමයක් ලෙස හුවා දක්වමින් පෙසප මෙසේ ලියා ඇත:

“දේශපාලන වසයෙන් ලඟ එන ඉන්දියානු ආක‍්‍රමනයකට ඒකාබද්ධ කල යුතු බලවේගයන් ඒකරාශී කිරීම සඳහා වූ වැඩපිලිවෙලකට මුල පුරන ලදි. 1986 ගොඩ නගන ලද මව්බිම සුරැකීමේ ව්‍යාපාරය මෙවැනි උත්සහායක් වූ අතර නිද්‍රාශීලිත්වයට හා අක‍්‍රීය කොට තිබූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, පැන නැගී ඇති තත්වයට එරෙහිව අවදි කිරීමේ උත්සහායක් ද ගන්නා ලදි.”

එල්ටීටීඊය නිරායුධ කරන ගමන් ම දෙමල ප‍්‍රභූවට සීමිත බලය බෙදීමක් යෝජනා කෙරුනු 1987 ජූලි ඉන්දු-ලංකා ගිවිසුම දෙරටේ ආන්ඩු විසින් අත්සන් කෙරුනු විට ජවිපෙ ප‍්‍රකෝපකාරී උද්ඝෝෂනය සන්නියක් මට්ටමට ම නැග්ගේය. එය ව්‍යාජ ලෙස ප‍්‍රකාශ කලේ, ජයවර්ධන ආන්ඩුවත් ඉන්දියාවත් “මාතෘභූමිය” බෙදා උතුර හා දකුන බන්දේසියක තබා එල්ටීටීඊයට දීමට තැත් කරන බව යි.

සිය ස්වෝත්තමවාදී උද්ඝෝෂනයට විරුද්ධවූවන් මරා දැමීමට ජවිපෙ සන්නද්ධ ෆැසිස්ට්වාදී මිනීමරු ප‍්‍රහාර එල්ල කලේ ය. එහි මැරයන් 1988-90 වකවානුවේ එලෙස මරා දැමූ දේශපාලන විරුද්ධවාදීන් හා කම්කරුවන් සිය ගනනකි. එහි ෆැසිස්ට්වාදී ප‍්‍රහාරවලට ද යූඇන්පී ආන්ඩුවේ භීෂනයට ද විරුද්ධව කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට අරගල කල නිසා ජවිපෙ මැරයෝ විකොස සාමාජිකයන් තිදෙනෙක් මරා දැමූහ.

ජවිපෙ මෙන් ම පෙසප ද මෙම මිනීමරු ප‍්‍රහාර මුලුමනින් ම යුක්තිසහගත කරයි. පක්ෂය තහනම් කර තිබූ නිසා එහි ”දේශපාලන කටයුතු නව අදියරක් දක්වා පියමං කල යුතු තත්වයක් උදාවී තිබුනි. දේශපේ‍්‍රමී සන්නද්ධ අරගලයට විවෘතව ම නායකත්වය දීම සඳහා [ජවිපෙ] යොමු වන්නේ මෙම නව තත්වය යටතේ ය” යි පෙසප කියා සිටී. පෙසප මූලික නායකයින් වන කුමාර් ගුනරත්නම් ද සේනාධීර ද මෙම මැරයන් සමග එකට වැඩ කල අය යි.

“දේශපේ‍්‍රමියෙකු” ලෙස ජවිපෙ විසින් ඔටුනු දැමූ හිටපු යූඇන්පී ජනාධිපති ආර්. පේ‍්‍රමදාස සමග විජේවීර රහසේ උපාමාරු දැමී ය. ජවිපෙ පේ‍්‍රමදාසට ඇදී යාමට එක් හේතුවක් වූයේ ඔහුගේ වර්ගවාදී ඉන්දියානු විරෝධය යි. කෙසේවුව ද මෙම උපාමාරු වැරැදී යාමෙන් පසු පේ‍්‍රමදාස ජවිපෙට විරුද්ධව හැරුනේ මිලිටරිය විසින් සංවිධානය කෙරුනු ඝාතක කල්ලි මුදාහැර විජේවීර ද ඇතුලු ජවිපෙ නායකයන් හා සාමාජිකයන් විනාශ කර දැමුවේ ය. මේ භීෂනය අවසන් කෙරුනේ තම දරිද්‍රතාව නිසා පෙරලිකාරී වී සිටි ගම්බද තරුනයන් 60,000ක් පමන මරා දමමිනි.

මෙම ෆැසිස්ට් ව්‍යාපාරය “සමාජවාදය සඳහා විරෝදාර අරගලයක්” ලෙස හුවා දක්වා අවුරුදු පතා අනුස්මරන රැස්වීම් පවත්වමින් එහි ගෞරවය තමන් වෙත ලබා ගැනීමට ජවිපෙ ද පෙසප ද පොරකති. මෙම නින්දිත කි‍්‍රයාවෙන් පෙන්නුම් කෙරෙන්නේ පෙසප ස්වයං විවේචනය අමු ප්‍රෝඩාවක් බවත් ජවිපෙ දේශපාලනය වෙස් ගන්වා ගෙන ඉදිරියට ගෙන යන බවත් ය. පාලක ප‍්‍රභූව හා එහි එජාප ආන්ඩුව මෙම ජනඝාතනයේ මූලික වගකීම දරන නමුත් පෙසප නායකයන් ඇතුලු ජවිපෙ ගම්බද තරුනයින් විනාශයට යැවීම ගැන දේශපාලනිකව වගකිව යුතු ය.

මෙම තීරනාත්මක දේශපාලන තත්වයේ දී ආන්ඩුවේ මර්දනයටත් ජවිපෙ ප‍්‍රහාරවලටත් විරුද්ධව කම්කරු පන්ති සංවිධානවල ඒකාබද්ධ ක‍්‍රියාවන් සංවිධානය කිරීමට එක්සත් පෙරමුනක් සඳහා මූලධර්මාත්මක ආස්ථානයක් ගත්තේ විකොස පමනකි. විකොස සැබෑ ජාත්‍යන්තරවාදී ජවයකින් හජාජාක පක්ෂවල සහයෝගය ඇතිව ජාත්‍යන්තරව කම්කරු පන්තියේ සහයෝගය එම අරගලයට දිනා ගැනීමට සටන් කලේ ය. එහෙත් ලසසප, කොප හා නසසප ද ඇතුලු පක්ෂ යූඇන්පීයේ මර්දනය සමග පෙල ගැසුනි. ගම්බද තරුනයින් ඝාතනයට ද ජවිපෙ මර්දනයට ද එරෙහි වෙමින් කම්කරු පන්තිය ඉදිරියේ මතු වන අන්තරායන් පිලිබඳ අනතුරු ඇඟවූයේ විකොස යි.

 

 

ජවිපෙ ඉතිහාසය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය

කේ. රත්නායක විසිනි, 2013 දෙසැම්බර් 23

පෙරටුගාමී සමාජවාදී පක්ෂය කම්කරුවන් හා තරුනයන් ධනපති ක‍්‍රමයට කොටු කර දීමේ කි‍්‍රයා කලාපයක යෙදී සිටී.

මෙහි පලවන්නේ කොටස් හතරකින් යුතු ලිපි මාලාවක තුන් වන කොටසයි. පලමු වන සහ දෙවන කොටස් 20, 21 දිනයන්හි පලවිය..

 

1990 දශකයේ පටන් ජවිපෙ තියුනු දක්ෂිනාංශික පරිහානියක් තුලට ගමන් කලේ ය. පෙසප මෙම වෙනස්කම් ගැන සිය දක්ෂිනාංශික උපාමාරුවට ගැලපෙන සේ ආවරනය කරයි, නැතහොත් ව්‍යාජ විවේචන දමයි.

1990 ගනන්වල ලංකාවේ පාලක ප‍්‍රභූව ගැඹුරු දේශපාලන අර්බුදයක ගිලී සිටියේ ය. උතුරු නැගෙනහිර යුද්ධයේ බර ද ගම්බද තරුනයන් දසදහස් ගනන් ඝාතනය කිරීම ද වැඩ කරන ජනතාවගේ ජීවන තත්තවයන්ට පහර දීම ද නිසා යූඇන්පී ආන්ඩුවට එරෙහි මහජන විරෝධය ඇවිලෙමින් තිබුනි. ආතති තත්වයට මුහුන දෙන්නේ කෙසේද යන්න ගැන යූඇන්පීය තුල උද්ගත වූ ප‍්‍රතිවාදී කන්ඩායම් අතර ගැටීම් ආන්ඩුවේ බිඳ වැටීම සලකුනු කරමින් එවක ජනාධිපති වූ පේ‍්‍රමදාස ඇතුලූ මූලික නායකයන් මැරීමෙන් කුලු ගැන්වුනි. මේ මිනීමැරුම් පිලිබඳ වගකීම එල්ටීටීඊය මත පැවරුන ද යූඇන්පීය තුල යුද වැදුනු කන්ඩායම්වල වගකීම පිලිබඳ කරුන නොතකා හැරිය නොහැකි ය.

අර්බුදයෙන් ගොඩ ඒම සඳහා, “සාමය” ද “ප‍්‍රජාතන්ත‍්‍රවාදය” ද ගෙන එන බවට පූච්චානම් දෙඩ වූ, ශී‍්‍රලනිප නායිකාව බවට පත්ව සිටි චන්ද්‍රිකා කුමාරතුංග බලයට ගෙන ඒමට පාලක පන්තියේ සැලකිය යුතු කොටසක් තීන්දු කල අතර ම, මහජනයා අතර අසන්තුෂ්ටිය වාෂ්ප කර දැමීමේ ආරක්ෂක ඉපියාවක් ලෙස පාවිච්චි කිරීම සඳහා තහනමේ පැවැති ජවිපෙන් ඉතිරි වී සිටි කොටසට විවෘත දේශපාලනයට කැඳවීමට ද කි‍්‍රයා කලේය. ජවිපෙ පලමු වන දේශපාලන කි‍්‍රයාව වූයේ කුමාරතුංගට බලයට ඒමට උදව් කිරීමට ඇය සමග කුජීත ගනුදෙනුවකින් තම ජනාධිපති අපේක්ෂකයා ඉවත් කර ගැනීම යි.

ජවිපෙ දක්ෂිනාංශික හැරීම, නැගෙනහිර යුරෝපයේ ස්ටැලින්වාදී පාලන තන්ත‍්‍රයන් වැටීමෙන් අනතුරුව 1991 සෝවියට් සංගමයේ බිඳ වැටීමත් සමග ලෝකය පුරා ජාතික ධනපති හා සුලු ධනපති ව්‍යාපාර දකුනට තල්ලු කලා වූ ගෝලීය සන්තතියක ප‍්‍රකාශනයකි. සෝවියට් සමූහාන්ඩු සංගමයට හා ස්ටැලින්වාදයට සමීපව සිටි අවස්ථාවාදී හා රැඩිකල්වාදී සංවිධාන රොත්තක් ස්ටැලින්වාදය හා සමාජවාදය අනන්‍ය කරමින් ප‍්‍රකාශ කර සිටියේ සෝවියට් සංගමය දියකර දැමීම “සමාජවාදී කඳවුරේ” බිඳ වැටීමක් සලකුනු කර ඇති බව යි.

සෝවියට් සංගමය විසිරුවා හැරීමෙන් නියෝජනය කෙරුනේ සමාජවාදය බිඳ වැටීමක් නොවන බව ද ඉන් සලකුනු වූයේ ලෝක ආර්ථිකය සහ ජාතික රාජ්‍ය පද්ධතිය අතර ප‍්‍රතිඝතිතාව තීව‍්‍රවන තතු තුල ජාතිකවාදී ස්ටැලින්වාදී “තනිරටේ සමාජවාදය” නමැති පරාගතවාදී ව්‍යාපෘතිය බිඳ වැටීම යයි ද අවධාරනය කලේ හජජාක සහ විකොස / සසප ඇතුලු එහි ශාඛා විසින් පමනකි. සෝවියට් සංගමය බිඳ වැටීම ධනවාදී සමෘද්ධියක නව කාල පරිච්ඡෙදයක් ගෙන නො එන බවත් ලෝක ධනපති අර්බුදයේ නව කාල පරිච්ඡෙදයක් සටහන් කරන බවත් ප‍්‍රකාශ කලේ අප පමනි. සීතල යුද්ධයේ දේශපාලන පර්යාය තුල සෝවියට් සංගමය හා එක්සත් ජනපද අධිරාජ්‍යවාදය අතර තුලනය වෙමින් සිටි පලස්තීන විමුක්ති සංවිධානය බඳු කන්ඩායම් රොත්තක් ම සන්නද්ධ අරගලය අත්හැර සීග‍්‍රයෙන් වොෂිංටනයට හැරී ගත්හ.

මෙම දේශපාලන වර්ධනයන්ට අනුගත වීම පිලිබඳව පෙසප හා ජවිපෙ අතර වෙනසක් නැත. සෝවියට් සංගමයේ බිඳ වැටීමෙන් “බල තුලනය” ඇමෙරිකානු අධිරාජ්‍යවාදයට හිතකර ලෙස වෙනස් වී “එක්සත් ජනපද ආධිපත්‍යය තරගයකින් තොරව ම තහවුරු වී ඇත”යි පෙසප පවසයි. පක්ෂය දියත් කිරීමෙන් පසුව ජනරල පුවත්පතට දුන් සම්මුඛ සාකච්ඡාවක දී පෙසප ප‍්‍රධාන නායකයෙකු වන කුමාර් ගුනරත්නම් ප‍්‍රකාශ කලේ, “ඒ වගේ ම සමාජවාදී කඳවුරක් දැන් නැහැ. සෝවියට් දේශය නැහැ. චීනය පිරිහිලා. අධිරාජ්‍යවාදය ඉතාමත් ශක්තිමත්. ඒ තත්වය තුල සන්නද්ධ අරගලය වලංගුවීමට ඉඩක් නැහැ” යනුවෙනි.

ගුනරත්නම් පැවති සමාජවාදය ලෙස සඳහන් කරන්නේ ස්ටැලින්වාදය යි. ඔහු එවක ජවිපෙ කි‍්‍රයාකාරිකයෙක් ලෙස හා දැන් පෙසප නායකයෙක් හැටියට එකතු වී සිටින්නේ “සමාජවාදය අසාර්ථක වී ඇත,” අධිරාජ්‍යවාදය සකල වසයෙන් ම ශක්තිමත් ය යනුවෙන් කෙරෙන ප‍්‍රතිගාමී ප‍්‍රචාරක රැල්ල බදාගෙන මධ්‍යම පන්තික අසාරදර්ශනය වැපිරීමට යි.

2001 සැප්තැම්බර් 11 දා නිව්යෝක් නගරයට ත‍්‍රස්ත ප‍්‍රහාරය එල්ල වූ සැනෙකින් එක්සත් ජනපද බුෂ් පරිපාලනය ඊනියා ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය ප‍්‍රකාශ කිරීමත් සමග ලෝක දේශපාලන තත්වය තියුනුව වෙනස් විය. බුෂ් පාලනයේ ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයට ප‍්‍රශංසා කරමින් ජවිපෙ නිකුත් කල ප‍්‍රකාශය කියා සිටියේ එක්සත් ජනපදය “තමන්ගේ විද්‍යාත්මක ඥානය ද ආර්ථික හැකියාවන් ද මනුෂ්‍ය වර්ගයාගේ යහපතට යොදවන්නේ නම්” එයට “කිසිම අමාරුවක් නැතිව ලෝක නායකයා බවට” පත්විය හැකිය යනුවෙනි.

එක්සත් ජනපද හා අනෙකුත් ප‍්‍රධාන බලයන් ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය සඳහා ගෙන යන ප‍්‍රහාරය හමුවේ තමන් කොන් වී යතැයි බියට පත් එල්ටීටීඊය, එවක යූඇන්පී ආන්ඩුව සමග “සාම කි‍්‍රයාවලියකට” එකඟ වෙමින් 2002 පෙබරවාරි මාසයේ වෙඩි නැවැත්වීමේ ගිවිසුමකට ඇතුලූ විය. ජවිපෙ මෙම ගිවිසුමට තරයේ ම සතුරු වූයේ, යූඇන්පිය රට බෙදා එල්ටීටීඊයට උතුරු-නැගෙනහිර පාවා දීමට සැලසුම් කරන බවට චෝදනා කරමින් ගිවිසුම අහෝසි කරන ලෙස කියා සිටියේ ය. මෙය, වර්ගවාදය ඇවිස්සීම සඳහා ප‍්‍රචාරය කල අමු බොරුවකි. යූඇන්පියේ සැලසුම වූයේ එල්ටීටීඊය කනිෂ්ට සහකරුවෙකු කර ඉතා සීමිත බලතල කීපයක් ලබා දී තම අධිරාජ්‍යගැති වැඩපිලිවෙල කි‍්‍රයාවට දැමීම සඳහා එහි ආධාරය ලබා ගැනීමයි.

මිලිටරිය මෙන් ම ජවිපෙ ද වෙඩි නැවැත්වීමේ ගිවිසුමට එරෙහිව සිටි ජනාධිපති කුමාරතුංගට “සාම ගිවිසුම” බිඳ දමන ලෙස බල කලේ ය. 2003 නොවැම්බරයේ දී ආරක්ෂක, අභ්‍යන්තර සහ ප‍්‍රවෘත්ති අමාත්‍යාංශය ඇය යටතට පවරා ගත් කුමාරතුංග 2004 පෙබරවාරියේ දී යූඇන්පී ආන්ඩුව නෙරපා දැමුවා ය. මෙම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කි‍්‍රයාවන් ජවිපෙ විසින් අමන්දානන්දයෙන් අනුමත කලේ, “මාතෘ භූමිය” රැකීමට ගත් නිර්භීත පියවර ලෙස ය.

ජවිපෙ කුමාරතුංග නායකත්වය දුන් ශී‍්‍රලනිපය සමග සන්ධානයකට ගියේ 2004 අපේ‍්‍රල් මාසයේ ඒ යටතේ පාර්ලිමේන්තු මැතිවරනය තරග කලේ ය. සන්ධානය මැතිවරනය ජයගත් පසුව ජවිපෙ නායකයන් හතර දෙනෙක් කුමාරතුංගගේ කැබිනට්ටුවට රිංගා ගත්තෝ ය. ධනපති දේශපාලන සංස්ථාපිතයට සම්පූර්නයෙන් ම බද්ධවෙමින් ජවිපෙ ගත් මෙම පියවර එහි තීරනාත්මක දක්ෂිනාංශික සන්ධිස්ථානයකි.

ජවිපෙ සියලු සාපරාධී කි‍්‍රයාවලට සහයෝගය දුන් පෙසප නායකයෝ, 2004 ශී‍්‍රලනිපය සමග සන්ධානගත වීම, “එහි තීරනාත්මක සන්ධිස්ථානය” ලෙස සඳහන් කිරීම අතිශයෝක්තියක් නො වේ, යයි යැයි ප‍්‍රකාශ කර ඇත.

පෙසප වහංගු කරන්නේ මේ පියවර ජවිපෙ දේශපාලනයෙන් තර්කානුකූලව ගලා ආ බවයි. 1970 දී විජේවීර ශී‍්‍රලනිප නායකත්වය දුන් සභාගයට සහයෝගය දුන්නේ ය. 1977 දී ජවිපෙ ජයවර්ධනගේ යූඇන්පීය බලයට ගෙන ඒමට රහසේ උදව් කලේ ය. 1994 දී ජනාධිපතිවරනයෙන් කුමාරතුංග බලයට ගෙන ඒමට ජවිපෙ ඇය සමග ගනුදෙනුවකට එලැඹුනේ ය.

තමන් ප‍්‍රතිගාමී වෙනස්කමක් ඇති කර ගත් බව ඇමෙරිකානු අධිරාජ්‍යවාදයට දැනුම් දීමට 2005 අපේ‍්‍රල් මාසයේ ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ එරට දකුනු හා මධ්‍යම ආසියාව භාර උප රාජ්‍ය ලේකම් කි‍්‍රස්ටිනා රොකා කොලඹ දී බැහැදැක ලිපියක් භාර දුන්නේ ය. අමරසිංහ ප‍්‍රමෝදයෙන් තම ලිපියේ මෙසේ සඳහන් කර තිබුනි: “පාර්ලිමේන්තුවාදී පක්ෂයක් ලෙසට ද මිශ‍්‍ර ආර්ථිකය පිලිගැනීමට ද සංක‍්‍රාම වූ ප‍්‍රථම විප්ලවවාදී පක්ෂය බවට පත්වීමට අපි අපේක්ෂා කලෙමු.” බුෂ්ගේ ඊනියා ත‍්‍රස්ත විරෝධී යුද්ධයට සහයෝගය යලිත් පුදකර සිටි අමරසිංහගේ ලිපිය එල්ටීටීඊයට එරෙහි යුද්ධයට වොෂිංටනයේ ආධාරය ලබා දෙන ලෙස රොකාට ආයාචනා කලේ ය.

ජවිපෙ යලිත් තහවුරු කලේ තම පක්ෂය ඇමරිකානු අධිරාජ්‍යවාදය සමග කෙලින්ම ගනුදෙනු කිරීමට සැදී පැහැදුනු පක්ෂයක් බවට පත්ව සිටින බවයි. ඇමරිකානු අධිරාජ්‍යවාදයට විරුද්ධ යයි විටින් විට එහි කොලඹ තානාපති කාර්යාලය ඉදිරිපිට ජවිපෙ පවත්වන විරෝධතා තුච්ඡම ගනයේ වංචනික කි‍්‍රයාවන් ය.

කුමාරතුංගගේ ආන්ඩුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු පිලිවෙත් කි‍්‍රයාවට දැමීම සඳහා ඉඳුරා සහාය දුන් මෙම පක්ෂය 2005 ජූනි මාසයේ ආන්ඩුවෙන් එලියට බැස්සේ විසකුරු ලෙස සිංහල වර්ගවාදය අවුලුවමිනි. තවමත් වෙඩි නැවැත්වීමේ ගිවිසුමට බැඳී සිටි එල්ටීටීඊය සමග 2004 දෙසැම්බරයේ ආසියානු සුනාමියෙන් ව්‍යසනයට ගොදුරු වී සිටි දෙමල මුස්ලිම් ජනයාට “ආධාර ලබාදීමේ” යාන්ත‍්‍රනයක් හැදීමට කුමාරතුංග ගෙන ආ යෝජනාවට ජවිපෙ එකහෙලා විරුද්ධ වූයේ ය.

මහජනයා අතර අපකීර්තියට පත්ව තමන්ගේ පදනම් සීග‍්‍රයෙන් ඛාදනය වී යන තත්වය තුල ආන්ඩුවෙන් එලියට බැස්ස නමුත් ජවිපෙ 2005 සැප්තැම්බර් මාසයේ ශී‍්‍රලනිප ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ සමග සන්ධානයකට පැන ගත්තේ ය. සන්ධානගතවීමට ඉදිරිපත් කල මූලික කොන්දේසිය වූයේ බලයට ආ පසු එල්ටීටීඊය සමග ඇති කර ගෙන තිබූ වෙඩි නැවැත්වීමේ ගිවිසුම යලි විමර්ශනය කිරීම යි. එහි තේරුම වූයේ යුද්ධය යලි ඇරඹිය යුතුය යන්න යි. ප‍්‍රකෝපකිරීම් මාලාවකට පසු 2006 ජූලි මාසයේ රාජපක්ෂ යුද්ධය යලි ඇරඹීමෙන් පසු ඊලඟ අවුරුදු තුනේ ජවිපෙ සිටියේ යුද්ධයේ පෙරමුනු රාල ලෙස යි.

පක්ෂය එහි ඊනියා රතු හමුදාව මිලිටරියට යුද අගල් කපා දීමට මෙහෙය වූයේ ය. මිලිටරි බුද්ධි අංශය සමග වැඩ කල ජවිපෙ සිංහල ජනයා අතර යුද්ධයට විරුද්ධව සිටි අය අල්ලා ගැනීමට තොරතුරු සම්පාදනය කලේ ය. කම්කරුවන්ගේ අරගල මැඞීමට යොදාගත් ආයුධය වූයේ, “පලමුව මාතෘ භූමිය” යන්න යි. මෙම සාපරාධී කි‍්‍රයා ගලා ආවේ පක්ෂය පදනම් වී සිටින දේශපේ‍්‍රමය පිලිබඳ ප‍්‍රතිගාමී දෘෂ්ටිවාදයෙනි. ජවිපෙ රාජපක්ෂ ආන්ඩුවේ යුද අපරාධවලට සහය දී ඒවා ආරක්ෂා කලේ ය. පෙසප නායකයෝ ජවිපෙ සිටිමින් මෙම ක‍්‍රියාවන් නිර්ලජ්ජිතව අනුමත කලහ.

2008 දී ජවිපෙ ආන්ඩුවට සහාය දීම “නතර කරන බව” ප‍්‍රකාශ කලත් යුද්ධයට අඛන්ඩව සහාය දුන්නේ ය. ආන්ඩුවට සහාය දීම නතර කිරීමේ උප්පරවැට්ටිය දැම්මේ වැඩකරන ජනයා අතර පක්ෂය තව තවත් කුජීත වන තතු තුල ය. යුද්ධය දිනීමෙන් පසු ආන්ඩුවට යලි ඇතුලූවීමට තැත් කරමින් එය දූෂනයෙන් සුද්ධ කර ගැනීමේ යෝජනා සමග ජවිපෙ ඉදිරිපත් වුවත් එය වැලකුනේ රාජපක්ෂ එම ඉල්ලීම කුනු කූඩයට දැමූ නිසා ය. 2010 ජනාධිපතිවරනයේ දී, ජවිපෙ යූඇන්පිය සමග එක්ව රාජපක්ෂගේ යුද්ධය කි‍්‍රයාවට දැමූ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට තවත් අධම සන්ධානයකට ඇතුලූ විය.

පෙසප නායකයන් ජවිපෙන් වෙන්වූයේ මෙම දක්ෂිනාංශික ප‍්‍රතිගාමී කි‍්‍රයාවන් එකක් නෑර අනුමත කර ඒවාට සහාය දීමෙන් පසුව ය. මෙම භේදවීම අහම්බයක් නො වේ.

ඊජිප්තුවේ විප්ලවවාදී අරගලවලින් සලකුනු වූ, ජාත්‍යන්තර කම්කරු පන්තියේ නව විප්ලවවාදී නැගිටීම්වල කාල පරිච්ඡෙදයක් උදා වී ඇත. ලංකාවේ පාලක පන්තියේ දේශපාලන අර්බුදය දිග හැරෙමින් තිබේ. ජාත්‍යන්තර විප්ලවවාදී උද්ගාමකය ලංකාව තුල දෝංකාර දෙනු ඇතැයි පාලක පන්තිය ද එහි රාජපක්ෂ ආන්ඩුව ද භීතියට පත්ව ඇත. වර්ධනය වන ලෝක අර්බුදය තුල එල්ල වන ප‍්‍රහාරවලට විරුද්ධව කම්කරුවන්ගේ, දුගීන්ගේ සහ තරුනයන්ගේ ප‍්‍රතිරෝධය වැඩෙමින් පවතී.

ලෝක ධනවාදය බිඳ වැටීමක් තුලින් ගමන් කරයි. ධනපති පන්තිය, කම්කරු පන්තියෙන් ආරක්ෂා වීම සඳහා නව ආයුධ සොයමින් හා තනමින් සිටියි. පෙසප වනාහී මෙම කි‍්‍රයා කලාපය ඉටු කිරීමට ලංකාව තුල පෙරට ආ දක්ෂිනාංශික උපාමාරුවක් නියෝජනය කරයි. පෙසප ඉදිරිපත්ව සිටින්නේ තමන් හා සමාන ව්‍යාජ වම්මු හා ධනපති කන්ඩායම් ගලතා ගත් යලි කාන්ඩ ගැසීමක් මගින් ධනවාදයට එරෙහි කම්කරු පන්ති විප්ලවය මග අවුරා මැඩලීමට කොටු පවුරක් සැදීමේ ප‍්‍රතිවිප්ලවවාදී කාර්යය ඉටු කිරීම සඳහා ය.

 

 

 

පෙරටුගාමී සමාජවාදී පක්ෂය ප‍්‍රති-මාක්ස්වාදී පෙරමුනක් ගොඩ නැගීමට සැරැසේ

කේ. රත්නායක විසිනි, 2013 දෙසැම්බර් 28

පෙරටුගාමී සමාජවාදී පක්ෂය කම්කරුවන් හා තරුනයන් ධනපති ක‍්‍රමයට කොටු කර දීමේ කි‍්‍රයා කලාපයක යෙදී සිටී.

මෙහි පලවන්නේ කොටස් හතරකින් යුතු ලිපි මාලාවක අවසාන කොටසයි. පලමු වන, දෙ වන,තුන් වන කොටස් 20,21,23 දිනයන්හි පලවිය.

පෙසප දැන් භාරගෙන ඇති ප‍්‍රධාන කාර්යය ලංකාව තුල ප‍්‍රතිවිප්ලවයකට පාර කැපීම සඳහා කම්කරු පන්තිය කොටු කිරීමට ව්‍යාජ වාම කන්ඩායම් එකතු කර ප‍්‍රති-මාක්ස්වාදී පෙරමුනක් තැනීම යි. ඒ සඳහා පෙසප “වාම” කන්ඩායම් සමග සංවාදයක් පටන් ගනිමින් මාක්ස්වාදයේ මූලික පදනම්වලට ද කම්කරු පන්තියේ නායක විප්ලවවාදී ක‍්‍රියාකලාපය පිලිබඳ මාක්ස්වාදී ආස්ථානයට ද පහර දීම අලුත් මට්ටමකට නංවා ඇත.

නොවැම්බර් 23 වන දා මෙම කන්ඩායම් සමග ඇරැඹූ සංවාදයකට පක්ෂය තුල දැනටමත් පටන් ගෙන තිබෙන සාකච්ඡාවක ලියවිලි තොගයක් පෙසප විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත. ඒවා සමග යැවූ හැඳින්වීමේ ලිපියක සඳහන් කර ඇත්තේ, දශක ගනනාවක් තිස්සේ “මාක්ස් ලෙනින්වාදය ලෙස විවිධ අවස්ථාවාදී මතවාදයන් ප‍්‍රචාරය කර ඇති තත්වය තුල කොමියුනිස්ට්වාදයේ මූලධර්ම යලි තහවුරු කර ගැනීම හා නිරවුල් කර ගැනීම” සාකච්ඡාවේ අරමුන බවයි. “පන්ති සංයුතියේත් සමාජ විඤ්ඤානයේත් සිදුව ඇති සංකීර්නතා හමුවේ, ධනේශ්වර දෘෂ්ටිවාදී මෙවලම් වඩාත් දියුනු වී දෘෂ්ටිවාදී මෙහෙයුම වේගවත් කර ඇති තත්තවයක් තුල එම මූලධර්ම වර්තමානයට ගලපා ගැනීමට අවශ්‍ය වේ” යයි එම හැඳින්වීමේ කියා ඇත.

මෙම “මෙහෙයුමට” මාක්ස්වාදයට පහර දීම හැර වෙනත් සම්බන්ධයක් නැත. ජවිපෙට මෙන්ම පෙසපට මාක්ස්වාදය සමග කිසිදු සම්බන්ධයක් තිබුනේ නැත. “මාක්ස්වාදී මූලධර්ම වර්තමානයට ගලපා ගැනීම” යනුවෙන් අවධාරනය කෙරෙන්නේ කම්කරු පන්තිය ද මාක්ස්වාදයට ආකර්ශනය වන අනෙකුත් කොටස් ද ධනවාදයට අනුගත වන “මූලධර්ම” වැලඳ ගත යුතු බවයි. “පන්ති සංයුතියේ සංකීර්නතා” සිදුවීම ලෙස දක්වන්නේ මාක්ස් නිර්වචනය කල අන්දමේ කම්කරු පන්තියක් දැන් නැති බවයි. මෙම ආස්ථානයන්ගෙන් පෙන්නුම් කෙරෙන්නේ පෙසප හදන්නට යන නව වාම කාන්ඩ ගැසීමේ ප‍්‍රති-මාක්ස්වාදී ස්වභාවය යි.

1977 යූඇන්පී ආන්ඩුව විවෘත ආර්ථික පිලිවෙත් ක‍්‍රියාවට දැමූ තැන් පටන් කම්කරු පන්තිය ධනේශ්වර සමාජයට බද්ධ වී ඇති බව පෙසප සිය ස්වයං විවේචන පොතේ සඳහන් කර තිබේ. ඒ මෙසේය: “පරිභෝජනවාදයේත් උපයෝගිතාවාදයේත් ගොදුරු බවට ලාංකේය සමාජය පරිවර්තනය වීම ඇරඹෙන්නේ මෙම වෙනස හමුවේ ය. කේවල මිනිසාට මෙම ප‍්‍රතිසංස්කරනයන්ගේ කඩාවැදීමෙන් සිය ජීවිත රටාවේ සැලකිය යුතු වෙනස්කමක් සිදු විය. . . නිර්ධන පන්තිය තුල මැද පන්තික මිත්‍යාවක් තහවුරු විය. මැද පන්තිය භෞතිකමය ගොඩ නැංවීමක් ලෙස නොව ආසියාතික හීනමානයේ මායාමය ගොඩ නැංවීමක් ලෙස තහවුරු විය.”

විප්ලවවාදී ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය නමින් පෙසප නිකුත් කර ඇති ලියවිල්ල තවත් එහාට යමින් “නව ලිබරල් උපාය මාර්ගයට අනුව එහි පලමු අවධියේ සිට ම හුවමාරු භාන්ඩ අධි වන්දනය හා පරිභෝජනවාදී සංස්කෘතියක්” තහවුරු කෙරුනු බව ද එමගින් “ජීවිතයේ මනුෂ්‍ය සාරය අහිමි කර නරුමවාදයට ඇද දැමූ සමාජය තුල ආත්මාර්ථකාමීත්වය ද බොරු සන්දර්ශනවාදය වංචාව හා ස්වයං රැවටීම ද” ව්‍යාප්ත කරවමින් තිබෙන බව ද කියයි. “ලාංකීය සමාජයේ සමාජවාදය ගොඩ නැගීම සඳහා අවශ්‍ය සාමූහිකත්වය පිලිබද ගුනාංග වර්ධනය කිරීම අභියෝගයක් වී තිබේ” යයි එම ලියවිල්ල කියා සිටී.

මෙම වාගාලාපවලින් පෙරට ගෙන ඇත්තේ දැන් පශ්චාත් නූතනවාදීන් ඇතුලු මධ්‍යම පන්තික කන්ඩායම් පරිභෝජනවාදය මගින් කම්කරු පන්තිය ධනේශ්වර සමාජයට බද්ධ වී ඇති නිසා මාක්ස්වාදීන් පෙන්නුම් කරන එහි විප්ලවවාදී ක‍්‍රියාකලාපය අහෝසි වී ඇත යන විසකුරු ප‍්‍රචාරය යි. විශේෂයෙන්ම, 1991 සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු මෙම ප‍්‍රතිගාමී ප‍්‍රචාරය උත්සන්න කෙරුනි.

1960 ගනන්වල ෆ‍්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය ද ඇතුලු සුලු ධනපති ප‍්‍රවනතා පරිභෝජනවාදයෙන් කම්කරු පන්තිය ධනේශ්වර සමාජය තුල ගිලී යාම පිලිබඳව මාක්ස්වාදයට සතුරුව ඉදිරිපත් කල න්‍යායන් මෙම කන්ඩායම් තුලින් අද දින පෙරී අවුත් තිබේ. ෆ‍්‍රැන්ක්ෆර්ට් ගුරු කුලයේ ප‍්‍රමුඛයෙකු වූ හර්බට් මාර්ක්‍යුස් මෙසේ ප‍්‍රකාශ කලේ ය: “මහජනයා තමන්ව හඳුන්වා ගන්නේ ඔවුන් සතු භාන්ඩ තුලිනි; ඔවුහු තමන්ගේ යාන වාහන, හයි-ෆයි භාන්ඩ, බහුතල නිවෙස් සහ මුලුතැන්ගෙයි උපකරන තුලින් සිය ආත්මය දකිති. කේවල මිනිසා සිය සමාජයට බැඳ තබන යාන්ත‍්‍රනය වෙනස් වී ඇත….”

එදා මෙම ආස්ථානයන් ඉදිරිපත් කෙරුනේ පශ්චාත් යුදකාලීන සමථය තුල ලෝක ධනවාදයේ ඇතිවූ වෙනස්කම්වල අනුගත වෙමිනි. මෙම අදහස් දැන් ඉදිරිපත් කෙරෙන්නේ, නිෂ්පාදනයේ භූගෝලීයකරනය තුල නව ලිබරල් ආර්ථික ක‍්‍රියාමාර්ග හෙවත් විවෘත වෙලඳපොල ආර්ථික පිලිවෙත් ක‍්‍රියාවට දැමෙන තත්වයක ඇති වී තිබෙන නව වෙනස්කම් ලෙසය.

පෙසප මෙම අදහස් බෙදාහදා ගන්නවුන් අතර ස්ලැවොක් ජිජෙක් නම් වූ දාර්ශනියෙකු ලෙස පෙනී සිටින ප‍්‍රති-කොමියුනිස්ට්වාදී පශ්චාත් නූතනවාදියා ද වේ. ඔහු රැඩිකලුන් හා ව්‍යාජ වම්මුන් විසින් වැලඳ ගනු ලැබූවෙකි. ජිජෙක්, “සමාජය පරිභෝජනවාදයට” යටවීම පිලිබඳ උත්සුක වී පරිභෝජනවාද විරෝධියෙකු ලෙස පෙනී සිටී. බොහෝ ලිපිවල මෙය හුවා දක්වන ජිජෙක්, 2010 ලන්ඩන් නුවර තරුන කැරැලි හෙලා දකිමින් සඳහන් කලේ, ඒවා “පාරිභෝජනවාදී දෘෂ්ටියට ප‍්‍රතිචාරයක්” සහ “පරිභෝජනවාදී ආශාවේ ප‍්‍රකාශනයක්” ලෙස යි. ඔහු එම තරුනයන් හෙලා දැක්කේ “හැඩිරැලක්” හා “මුර්ගයන්” පිරිසක් ලෙසයි.

කම්කරු පන්තිය පරිභෝජනවාදයට යට වී ධනේශ්වර සමාජයට බද්ධ වී ඇතැයි ව්‍යාජ පින්තූරයක් පෙසප ඉදිරිපත් කරන්නේ, මාක්ස්වාදී ඓතිහාසික භෞතිකවාදී විධික‍්‍රමයට එරෙහිව යි. කම්කරුවාගේ කම්කරු පන්තිමය ස්වභාවය කේවල මිනිසෙකුගේ තැනට සිඳුවා ඇත. තතු එසේ නම්, සමාජවාදය සඳහා අරගලයට කොන්දේසි නැත.

ධනපති සහ සුලුධනපති දාර්ශනිකයන් විසින් සමාජය කේවල මිනිසුන්ගේ එකතුවක් ලෙස දැක්වීම මාක්ස් ප‍්‍රතික්ෂේප කලේ ය. මාක්ස් ගෘන්ඩ්රීස්හි පැහැදිලි කල අයුරු “සමාජය සමන්විත වනුයේ තනි පුද්ගලයන්ගෙන් නෙවේ, එය අන්තර්සබඳතාවන්ගේ සමස්තය ප‍්‍රකාශයට පත් කරයි. මෙම පුද්ගලයන් සිටින්නේ එම සබඳතා තුල ය.” එනම් පන්ති සම්බන්ධතාවල ප‍්‍රකාශනයකි.

සමාජවාදය සඳහා අරගලය ඓතිහාසික අවශ්‍යතාවකි. එහි ඓතිහාසික භෞතිකවාදී පදනම් පැහැදිලි කරමින් මාක්ස් මෙසේ පැවසීය: “මිනිසුන්ගේ පැවැත්ම නිර්නය කෙරෙනුයේ ඔවුන්ගේ විඤ්ඤානයෙන් නොවේ. ඊට විපරීතව ඔවුන්ගේ විඤ්ඤානය නිර්නය කෙරෙනුයේ සමාජ පැවැත්ම විසිනි. සමාජයේ ද්‍රව්‍යමය නිෂ්පාදන බලවේගයෝ, ඒවායේ සංවර්ධනයේ නිශ්චිත අවධියකදී, පවත්නා නිෂ්පාදන සම්බන්ධතා සමග ගැටෙති… මෙම නිෂ්පාදන සම්බන්ධතාවයෝ නිෂ්පාදන බලවේගවල වර්ධනයේ රාමුවල සිට ඒවායේ විලංගු බවට පත් වෙති. එවිට සමාජ විප්ලවයන්ගේ අවධියක් ඇරඹේ.”

පැතිර පවත්නා ධනේශ්වර දෘෂ්ටීන්ගේ බන්ධන කම්කරු පන්තිය තුලින් කපා හැරීමේ කොන්දේසි සකසන්නේ මෙම ඓතිහාසික වෛෂයික වර්ධනයන් විසිනි. එම අරගලය සඳහා විප්ලවවාදී පක්ෂයක් අවශ්‍ය වේ. නිෂ්පාදන බලවේගයන්ගේ සමාජීයකරනය හා පුද්ගලික දේපොල අයිතිය ද නිෂ්පාදනයේ ගෝලීයකරනයෙන් ගැඹුරු කෙරුනාවූ ලෝක ආර්ථිකය හා ජාතික රාජ්‍යය ද අතර ප්‍රතිඝතිතාව ලෙස වර්ධනය වී ඇත්තේ නිෂ්පාදන බලවේග හා නිෂ්පාදන සම්බන්ධතා අතර මාක්ස් පෙන්වූ ගැටීමයි. ලෝක ධනවාදයේ බිඳ වැටීම ද වර්ධනය වන විප්ලවවාදී අරගල ද අද දින එබඳු කාල පරිච්ඡෙදයක් විවෘත කර ඇත.

ඊට එරෙහිව, පෙසප තුල යන ප‍්‍රතිමාක්ස්වාදී සාකච්ඡා එය විසින් බෙදා හැරුනු ලිපිවලින් පෙන්නුම් කෙරේ. “පන්තිය, සංවිධානය හා විප්ලවය” නමින් ඉදිරිපත් වී ඇති ලිපියක මෙසේ සඳහන් වේ: “ධනවාදය මිනිස් ආත්මීයත්වයේ සියුම් නාඩි වැටීම හා රික්තයන් අවබෝධ කරගෙන පරිභෝජනවාදය තුලින් එම රික්තයන් පුරවමින්” පවතින තත්වයක “ධනවාදයේ බිඳ වැටීමක් කිසිසේත් ම අපේක්ෂා කර නොහැකි තත්වයක් තුල… නිෂ්පාදන සබඳතා හා බලවේග අතර ගැටුම තුලින් විප්ලවය පැතීමෙන් අපට අත්විය හැක්කේ මිරිගුව පිටුපස ගිය මුවාගේ ඉරනම පමනි”. මෙය වනාහි ධනවාදය එකම සක්‍ය ක‍්‍රමය ලෙස පිලිගැනීමකි.

“භාන්ඩ අභිවන්දනය” ගැන පෙසප ප‍්‍රකාශ, මාක්ස් භාන්ඩ අභිවන්දනය ලෙස පැහැදිලි කල සුවිශිෂ්ට න්‍යායික විදාරනයට හාත්පසින්ම වෙනස් එකකි. මාක්ස් භාන්ඩ අභිවන්දනය ලෙස පෙන්වා දුන්නේ, වෙලඳභාන්ඩ නිෂ්පාදනය කරන ධනපති සමාජය තුල (භාන්ඩ නිෂ්පාදනයේ) සමාජ සම්බන්ධතා භාන්ඩ අතර සම්බන්ධතාවයක් ලෙස දිස්වීමයි. භාන්ඩ හුවමාරුව සඳහා මුදල් භාවිතාව මෙම සමාජ සම්බන්ධතා ගුඪකරනය කරයි. මාක්ස්ගේ මෙම සොයා ගැනීම ධනවාදය තුල සැඟවී තිබෙන සැබෑ සමාජ සබඳතා හෙලි පෙහෙලි කලේය. පෙසප “භාන්ඩ අධි වන්දනාව” යන්න නරුම ලෙස යොදා ගෙන ඇත්තේ කම්කරු පන්තියට ගැරහීම සඳහා ය.

පෙසප කම්කරු විරෝධයෙන් නලියන සංවිධානයකි. ඉහත කී සාකච්ඡාවට බෙදා හැර ඇති “පක්ෂය හා විප්ලවීය මහජන ව්‍යාපාරය” නමැති තවත් ලියවිල්ලක මෙසේ සඳහන්ව ඇත; “1953 දී හාල් සේරුව ශත 25කින් වැඩි කල විට, වහා නැගිටීමක් සිදු කල ජනතාවක් දැන් දූෂනය, යුද්ධය හා මිලිටරි මැදිහත්වීම් ආදී ඉන් එහා ප‍්‍රහාරයන්ට මුහුන දීත් ‘ඒවාට එරෙහිව විටින් විට නැගෙන විරෝධතාවන් නොසලකා සිටින්නේ එම ජනතාවගේ බහුතරය රාජපක්ෂ හෙජමොනිය සමග ඇතිකර ගෙන තිබෙන සහමතික බැඳීම නිසා ය.’”

මෙම ප‍්‍රකාශ නිකුත් වන්නේ, රාජපක්ෂ පාලනය පොලිස් රාජ්‍යයක් වර්ධනය කිරීමට ජවිපෙ තුලින් සහයෝගය දෙමින් සිට ඉන් ඉවත් වූ පුද්ගලයන්ගෙන් ය. තව ද පෙසප එසේ ප‍්‍රකාශ කරන්නේ අනෙකුත් ව්‍යාජ වම්මු හා වෘත්තීය සමිති ද ධනපති කන්ඩායම් ද සමග එකතුව රාජපක්ෂ ආන්ඩුවට හා ධනපති ක‍්‍රමයට එරෙහිව සමාජවාදී ක‍්‍රියාමාර්ගය මත දේශපාලන අරගලයක් කිරීමට එරෙහි පරම සතුරන් ලෙස සිටින ගමන් ය.

රාජපක්ෂ ආන්ඩුව නිසා තමන්ගේ කොටස අහිමිව යූඇන්පිය ද ඉහල මධ්‍යම පන්තිකයන්ගේ කොටස් ද මෙලෙස කම්කරුවන්ට නිතර බැන වදිති. කම්කරුවන් හා අනෙකුත් ජන කොටස් ව්‍යාකුල කොට ආන්ඩුවේ අත ශක්තිමත් කිරීම ගැන වග කිව යුත්තේ පෙසප ඇතුලු ව්‍යාජ වම්මු හා වෘත්තීය සමිති ය. කම්කරුවන් හා සිසුන් අරගලයට ආ කල ඔවුන් දුර්මුඛ කර ආපසු හරවා යැව්‍ වේ මොවුන් ය.

මෙම ලියවිල්ලට අනුව ආන්ඩුවේ මංකොල්ලකාරිත්වය “අබිබවා යමින්” ජනයා “ප‍්‍රතිධ‍්‍රැවය” වෙතට ඇදේ. “එහෙත් ප‍්‍රතිධ‍්‍රැවය බෙල හීන ය… වමේ කියන බලවේග ද සිටින්නේ බලපෑමක් කිරීමේ හැකියාවෙන් දුරස්ථව ය.” එසේ නම්, පෙසපට අනුව කල යුත්තේ කුමක් ද? “ලාංකීය විප්ලවීය පොදුජන අරගල ව්‍යාපාරය ගොඩ නැගීම අන් වාමාංශික පක්ෂ හා සංවිධානවල එකතුවෙන් ම සිදුවිය යුත්තකි.” එනම් පෙසප මෙහෙයුම ධනේශ්වර පන්ති පාලනය රැකීමට කැපවූ සංවිධාන එක බුරුත්තට පෙල ගස්වා ගැනීම යි. දක්ෂිනාංශික යූඇන්පිය සමග පෙරමුනක සිටින නව සම සමාජ පක්ෂය ඉන් එකකි. රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව යකා සමග එක් වුවත් කමක් නැතැයි කියමින් යූඇන්පියට හේත්තුවී සිටින එක්සත් සමාජවාදී පක්ෂය තව එකකි.

පෙසප මෙම තතු තුල, ග‍්‍රීසියේ ව්‍යාජ වම්මුන් හා ධනපති කොටස් වල සභාගයක් වන සයිරිසා සංවිධානයට ආකර්ෂනය වීම ද ඊට මුලුමනින් ම සහයෝගය දෙන ජිජෙක් තම ගුරෙකු ලෙස ගැනීම ද පුදුමයක් නොවේ. පෙසප සයිරිසා සංවිධානයේ “නැගීම පිලිබඳ අධ්‍යනය කිරීම” ප‍්‍රමුඛ කටයුත්තක් ලෙස නිවේදය කර තිබේ. සයිරිසා ග‍්‍රීක ධනපති ක‍්‍රමයට ද යුරෝපා සංගමයට ද කැපවූ සංවිධානයකි. සයිරිසා ආරම්භයේ පටන්ම ඔජවැඩවූ ජිජෙක් මැයි මාසයේ ක්‍රොඒසියාවේ ෂබ්‍රෙග්හි දී සයිරිසා නායක අලෙක්ෂිස් සිප්රාස් සමග පැවැත්වූ විවාදයකදී මෙසේ උපදෙස් දුන්නේය: “යුරෝපීය දේශපාලන ප‍්‍රභූවට සිය පාලනය කිරීමේ හැකියාව කෙමෙන් නැතිවී යයි. සයිරිසාව ඉදිරියේ ඇති කාර්යය උමතු රැඩිකල් පියවර ගැනීම නොව, සරලවම… තත්වය ස්ථාවර කිරීමයි.”

ජිජෙක් තමන්ව හඳුන්වා ගෙන ඇත්තේ මෙසේ ය: “මේ අහන්න, මම මාක්ස්වාදියෙක් මි, නමුත් කොමියුනිස්ට්වාදයේ පැරැනි දෘෂ්ටියට අප යා යුතුයැයි මම සිතන්නේ නෑ. විප්ලවය ඉවරයි; එය අසාර්ථක වුනා. ඇත්තෙන් ම අවිස්වාස නොකට යුතු ලෙස ම, ධනවාදය, මොනවා හෝ හේතුවක් නිසා, මේ සියවසේ පැහැදිලි දෘෂ්ටිවාදාත්මක ජයග‍්‍රාහියා යි….” ජිජැක් දර්ශනය පෙසපට ඇති තරම් සමීප ය. පෙසප, ජිජෙක් පමනක් නොව ඒ හා සමාන ප‍්‍රතිමාක්ස්වාදී ප‍්‍රවනතා අනුව යන්නකි.

කම්කරු පන්තිය විප්ලවවාදී බලවේගයය යන මාක්ස්වාදී අස්ථානයට වල කැපීම සඳහා පෙසප තවත් ඉදිරියට යයි. දැන් තවත් බලවේග ඊට එකතු කර ගත යුතුය යන කඩතුරාවට මුවාවී එම අදහස ඉදිරිපත් කෙරේ. නව ලිබරල්වාදී ප‍්‍රතිපත්ති යටතේ “පන්ති සංයුතියේ වෙනස්කම් සිදුවී ඇතැයි” මෙම පක්ෂය පවසන්නේ එයයි. ස්වයං විවේචනය මෙසේ සඳහන් කරයි: “කම්කරු පන්තික කොටස් ප‍්‍රමුඛ වැටුප් ශ‍්‍රමික බලවේගයේ ප‍්‍රමුඛතාව පිලිබඳ අදහසේ වෙනසක් අප තුල නොමැති නමුත් ඊට එක්කර ගත යුතු නව බලවේගයන්ගේ ස්වාභාවයන් – ද්‍රව්‍යමය හා සමාජ විඤ්ඤානයට අදාල ශක්‍යතාවන් අප හඳුනා ගත යුතු ය.” ජයග‍්‍රහනයන් අත්කර ගැනීමට නම්, “වත්මන් ධනවාදයේ ලීවරයන් සැනින්-එසැනින් අකි‍්‍රය කලහැකි බලවේගයන්ගේ බහුතරය දිනා ගැනීම අවශ්‍ය ය.”

පෙසප මෙම බලවේගයන් නම් කර නැත. පෙසප කම්කරු පන්තියට එකතු කර ගතයුතුයයි යෝජනා කරන නව “බලවේගයන්” නම් නිෂ්පාදනයේ ගෝලීයකරනයත් සමග සශ‍්‍රීකව මතු වී ඇති කලමනාකාර කොටස් හා වෘත්තීයවේදීන් ය. කම්කරු පන්තිය මොවුන්ගේ අධිකාරයට යටකර දැමීම පෙසප ඉලක්කයයි.

පෙසප නියෝජනය කරන්නේ ධනේශ්වර ප‍්‍රභූව සහ අධිරාජ්‍යවාදීන් වෙතට හැරුනු ඉහල මධ්‍යම පන්තික කන්ඩායම්ය. නිෂ්පාදනයේ ගෝලීයකරනය සමග හා පසුගිය සමයේ වඩවඩාත් නිෂ්පාදනයෙන් ඉවත්ව වැඩී ඇති මුල්‍ය කතිපයාධිකාරයට සමාන්තරව අනෙකුත් රටවල මෙන්ම ලංකාවේ ද කොටස් වෙලඳපොල සමපෙක්ෂනයට, වානිජ හා බැංකු ඇතුලු මුල්‍ය ක්ෂේත‍්‍රයේ හා වෘත්තියවේදයන්ට සම්බන්ධිතව පලල් මධ්‍යම පන්තික කන්ඩායමක් බිහිව ඇත. සමාජ අසාධාරනයන් විවේචනය කරමින්, සමාජ පාරිශුද්ධත්වය හා යහපාලනය දේශනා කරන, බොහෝවිට විදෙස් මුදලෙන් යැපෙන, රාජ්‍ය නොවන සංවිධාන රොත්තක් ද ඉහත වර්ධනයන් සමග මතුවී ඇත. බොහෝ වෘත්තීය සමිති නිලධරයන් ද අධිරාජ්‍යවාදී රටවල රාජ්‍ය නොවන සංවිධානවලින් යැපෙයි.

ඉහල මධ්‍යම පන්තිය හා ධනේශ්වරයේ සැලකිය යුතු කොටසක් රාජපක්ෂ ප‍්‍රමුඛ පාලක කල්ලිය රට ආන්ඩු කිරීම ගැන කලකිරීමට හා අතෘප්තියට පත්ව සිටිති. ඊට හේතුව, රාජපක්ෂ කල්ලිය ආර්ථිකයේ විශාල කොටසක ඒකධිකාරය අත්කර ගෙන, එහි ප‍්‍රතිලාභ තම දේශපාලනික හා ව්‍යාපාරික ඥාතීන් සමග බෙදා හදා ගැනීම යි. දේශපාලනිකව කි‍්‍රයාකාරී මධ්‍යම පන්තික කන්ඩයාම්වල ආන්ඩු විරෝධී පදනම එය යි. ඔවුන්ගෙන් සෑහෙන කොටසක් තමන්ගේ ව්‍යායාමයට ඇමෙරිකාව ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදීන්ගේ ආධාරය පතා සිටිති. පෙසප අධිරාජ්‍යවාදය, වෙසෙසින් ඇමෙරිකානු අධිරාජ්‍යවාදය මහත් බලවන්තයෙක් ව ඇතැයි පිලිගත් සංවිධානයකි.

ඉහල මධ්‍යම පන්තිය මත පදනම් වූ පෙසප ඇතුලු ලංකාව තුල ව්‍යාජ වම්මුන්ගේ මූලික ම ලක්ෂනය නම් මාක්ස්වාදයට හා කම්කරු පන්තියේ නායක විප්ලවවාදී කි‍්‍රයාකාරිත්වයට සතුරුකම යි. පෙසප ඇතුලු මෙම කන්ඩායම් මාක්ස්වාදය සඳහා අරගලයේ ඓතිහාසික අඛන්ඩතාව නියෝජනය කරන ට්‍රොට්ස්කිවාදී හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට හා එහි ලංකා ශාඛාව වන සමාජවාදී සාමානතා පක්ෂය (සසප)ට ද මුලුමනින් ම සතුරු ය.

පෙසප ව්‍යාජ වම්මුන්ගේ කාන්ඩ ගැසීමක් සූදානම් කරන්නේ ලෝක ධනවාදයේ බිඳ වැටීම තුල ජාත්‍යන්තරව වර්ධනය වන විප්ලවවාදී අරගලයන් ලංකාව තුල පුපුරා ඒම මැඩලා දැමීමට ධනපති පන්තියටත් අධිරාජ්‍යවාදයටත් සහයෝගය දීම සඳහා ය. කම්කරුවන් තරුනයන් හා බුද්ධිමතුන් සමාජවාදී විප්ලවයට නායකත්වය දීම සඳහා සසප ගොඩනැගීමට එක්වීම හදිසිභාවයකින් යුතුව මතු වී තිබේ. ජාත්‍යන්තර සමාජවාදය සඳහා ඉදිරි දර්ශනයට දකුනු ආසියාව තුල සටන් කරන්නේ සසප පමනි.

ඔබේ අදහස කියන්න...

1 COMMENT

Comments are closed.