පුරා දශක තුනක අපගේ දේශපාලන ව්‍යාපෘතිය මගින් ලංකික සමාජය තුල ව්‍යාප්ත කරන ලද න්‍යායික කතිකාව වර්තමානය වන විට විවිධ අපගමනය වීම් වලට ලක්වෙමින් අපට විරුද්ධ කතිකාවක් බවට පත් වෙමින් තිබේ. විවිධ පුද්ගලයන් ව්‍යුහවාදය, මනෝවිශ්ලේෂණය ආදී විෂයන් පිළිබද පංති පවත්වමින් සිටින මොහොතක අපගේ දේශපාලන ප්‍රවේශය සහ ඔවුන් පංති පවත්වමින් බලාපොරොත්තු වන දෙය කුමක්ද යන්න පිළිබද  පැහැදිලි අවබෝධයක් අපගේ සාමාජිකයන් සහ හිතවතුන්ට ලබා දීම වැදගත් වේ.

තවත් පැත්තකින් අපගේ දේශපාලන කතිකාව මේ වන විට ලාංකීය දේශපාලනය තුල  අධිනිශ්චය වී තිබේ. අතීතයේ අපව හැරගිය අය වර්තමානය වන විට ප්‍රධාන දේශපාලන පක්ෂ වලට  මතවාදී ප්‍රතිසංවිධානය වීම සදහා සහයෝගය ලබා දෙන අය  බවට පත්වී සිටී. මේ සියලු දේ පිළිබද අවධානයෙන් සිටින අපට පෙනී යන එක්තරා වැදගත් සාධකයක් වන්නේ අපගේ කතිකාවේ   අපගමනය වීම සහ එය භාවිතා කරන අරමුණු වල පැහැදිලි වෙනසක් දක්නට ලැබීමයි.

සොශියර් , ඩේරීඩා කියවා ඇති අප කතිකාවක් අපගමනයට ලක්වීම අනිවාර්‍යතාවයක් බව හොදින්ම දනිමු. භෞතික විද්‍යාවේදී යාන්ත්‍රික තීර්යක් තරංග පිළිබද ඉගැන්වීම සදහා උදාහරණයට ගන්නා  ජලය මතුපිට ඇතිවන දිය රැලි සිහිපත් කර ගන්න. අපගේ කතිකාවද සමාජය  තුල ව්‍යාප්ත වන්නේ එම ජල තරංග ව්‍යාප්ත වන අකාරයටය. අප විසින් ගල් කැටය සමාජය නම් ජලාශයට දමන අතර එමගින් බිහිවන නව කතිකාව ජල තරංග මෙන් ව්‍යාප්ත වෙයි. කතිකාවක් ව්‍යාප්ත වීම සහ අපගමනයට ලක් වීම එහිම වූ  මුලික ලක්ෂණයකි. අප විසින් කතිකාවක් බිහි කරනු ලබන්නේ දේශපාලන ව්‍යාපෘතියක් වෙනුවෙනි. ලාංකීය සමාජය වෙනස් කිරීමේ ආත්මීය උවමනාව වෙනුවෙනි. නමුත් අපගේ කතිකාව ව්‍යාප්ත වන විට එම අභිප්‍රායන්ම  සර්වසම්පුර්ණ විය යුතු යැයි අප විශ්වාස කරන්නේ නැත.  

 න්‍යායික දැනුම යනු ධනවාදය නම් අතිශය විප්ලවකාරී ,අවසාන වශයෙන් අමානුෂික වූ  සමාජ ක්‍රමයට එරෙහි  21 වන සියවසේ නව වාම ව්‍යාපාරයේ අයුධ පෙට්ටියයි (toolbox). මේ සුවිශේෂී මොහොතේ කෙනෙකු ධනවාදයට විරුද්ධ වීමට සිතන්නේ නම් ඔහු/ ඇය මෙම අයුධ අතට ගත යුතුය. එම අයුධ භාවිතයෙන්   තමන් අවිඥානිකව බැදී ඇති ධනවාදී ක්‍රමයේ දම්වැල් එකිනෙක කපා දමා නිදහස් විය යුතුය. අරගලය ඇත්තේ වාස්තවික ලෝකයේ නොව අපගේ ආත්මීය ලෝකය තුලය. න්‍යාය හරහා අප උත්සහ කරනුයේ දාර්ශනිකයන් බිහිකිරීම, කළාකාරයන් බිහිකිරීම හෝ  චිත්‍රපටකරුවන් බිහිකිරීම නොවේ. සියලු දේ දේශපාලනය වෙනුවෙනි. මේ දක්වා සහ ඉදිරියටත් ඔබ උගත් දේ අපගේ අරගල භුමිය තුල ක්‍රියාවේ යෙදවීමට උත්සහ කල යුතුය. පක්ෂය යනු සංකේතීය ගොඩනැංවීමකි. පක්ෂය නියෝජනය වන්නේ පක්ෂ කාර්යාලයෙන් නොවේ (බොහෝ වාමාංශික පක්ෂ වලට මේ මොහොතේ ඉතිරිව ඇත්තේ කාර්යාලය සහ බෝඩ් ලෑල්ල පමණි). පක්ෂය නියෝජනය වනු ලබන්නේ සජීවී ඔබ හරහාය.

දැන් අපට මුලින් සදහන් කල දේශපාලන පංති පිළිබද කතා කළ හැක. භාෂා ලෝකය වෙනස් කරන දේශපාලන ව්‍යාපෘතියක් ලෙස අප විසින් සමාජ ගත කරන දැනුම අපගේ ගුරුත්ව බලයෙන් මිදී ගිය වහාම අපට විරුද්ධ දැනුමක් බවට පරිවර්තනය වේ. බොහෝ දෙනා දීප්ති ඉදිරියේ පංති වලදී තමන්ට විෂය කරුණු ඉතා හොදින් තේරුණ බව පවසයි.  ඉන්පසු ටික කාලයකින්  දීප්තිගෙන් වෙන් වූ විට නැවතත් තමන්ට කිසි දෙයක් වැටහී නැති බව ඔප්පු කරයි.

කුරුණෑගල අරුණ බණ්ඩාර ජීවිතයෙන් සමුගන්නා තුරු ව්‍යුහවාදය ලෙස උගන්වා තිබුනේ සංඥාව යනු කුමක්ද යන්න පමණි. ඔහු ‘සංඥාව යනු කුමක්ද’ යනුවෙන් අවුරුදු පහක පාඨමාලාවක්  පැවැත්වීමට තරම් දක්ෂ ගුරුවරයෙක් විය. එසේම ඔහුගේ පාඨමාලාවට සහභාගී වූ අති දක්ෂ ශිෂ්‍යන් අද අඩා වැලපෙමින් අප සොයා පැමිණ ඇත. තවමත් ඔවුන් සංඥාව යනු කුමදැයි නොදනී. ගුරුවරයෙක් ශිෂයෙකුට පහර දීම පිළිබද කතා කිරීමට වඩා මෙවැනි ගුරු-සිසු සබදතාවයක් ගැන කතා කිරීම දේශපාලනික නොවන්නේද?

 රොහාන් පෙරේරා යනු පංති පිළිබද ෆුල් ඔප්ෂන් මාස්ටර් කෙනෙකි. ඔහු උගැන්වීමට නොදන්නා දෙයක් නැත. මනෝ විශ්ලේෂණය පිළිබද නිසි දැනුමක් නැති එහෙත් මානසික රෝග පිළිබද ඉතිහාසයක් පමණක් ඇති රොහාන් කවිච්චියක රෝගීන් හිදුවා විශ්ලේෂණය කිරීමේ සායනයක්  ආරම්භ කර ඇත. කවිච්චියේ නිදා සිටින කෙනා මොනවා කීවත් අහගෙන සිටීමෙන් හැන්දෑවට ගානක් හොයා ගැනීමට හැකි බව රොහාන් දනී. මනෝවිශ්ලේෂණයේ මුලික මුලධර්ම දන්නා කිසිවෙක් තමන් විශ්ලේෂකයෙකු නොවී තවත් කෙනෙකුට ප්‍රතිකාර කිරීමට යන්නේ නැත. ඒ පිළිබද ලැකාන් පැහැදිලිව සදහන් කර ඇත. පක්ෂයේ  මනෝවිශ්ලේෂණ දැනුම අනුව අපි කවිච්චි දැම්මේ නම් අද අප කෝටිපතියන්ය.

ජ.වී.පෙ ජාතික සමුළුවේදී ප්‍රභා මනුරත්න කථිකයෙකු ලෙස සහභාගී වන්නේ අපගේ කතිකාවේ ප්‍රතිඵලයක් ලෙසය. මේ මොහොතේ ජ.වී.පෙ තමන් නොදන්නා අයට අවස්ථාව ලබා දී ඇත. IRA ගරිල්ලා සංවිධානය  Sinn Féin  නම් දේශපාලන සංවිධානය බවට පත්වීම දීර්ඝ කාලීන ක්‍රියාවලියක් විය. මෙම පරිවර්තනයත් සමග ඔවුන්ට මල්පොච්චියක වවන ලද පැලයක් පොළොවේ පැල කිරීම  සිදුවිය. ජ.වී.පෙ ප්‍රභාව යොදාගන්නේ ද මෙම පරිවර්තනය සිදුකිරීම සදහාය. මේ නිසා ජ.වී.පෙට ඔවුන් බලාපොරොත්තු නොවන දෙයක් ඉදිරියේදී සිදුවීමට නියමිතය.මතවාදීව කුමන විවේචන තිබුනද ජ.වී.පෙ අප සලකන්නේ තවදුරටත් වාමාංශික බලවේගයක් ලෙසය. අපද උත්සහ කරන්නේ නුතන වාම ව්‍යාපාරයක් වෙනුවෙනි.  ප්‍රභා යනු අපගේ වාමාංශික ව්‍යාපාරය විනාශ කිරීමේදී  ප්‍රධාන භූමිකාවක් රග දැක්වූ චරිතයකි. ඇයගේ යළි ආගමනය යනු බොහෝ විට ජ.වී.පෙ අවසානය සනිටුවහන් කරන්නක් විය හැකිය.

ප්‍රභා කතා කරන ශ්‍රාවක ජනයා යනු විද්වතුන් නොව ගැමියන්ය. මධ්‍යම පාන්තිකයන්ට කතා කල යුත්තේ BMICH එක තුලය. නමුත් ජ. වි. පෙ ඒ වෙනුවෙන් සුගතදාස ක්‍රීඩාංගනය පුරවයි. විද්වතුන් සිදුකල යුත්තේ ගැමියන් ආකර්ෂණය කිරීම නොව මධ්‍යම පන්තියට කතා කිරීමයි.  මේ නිසා මෙය විප්ලවීය දෙයක් නොව බල ක්‍රීඩාවකි. මධ්‍යම පන්තිය ජ. වි. පෙ ට කැමති වන්නේ ඒ තුල වූ රැඩිකල් බව නිසාය. නමුත් ජ. වි. පෙ මධ්‍යම පාන්තික වූ විට ඔවුන් පක්ෂයට කැමති වන්නේ නැත.  මෙවැනි ක්‍රියා නිසා පක්ෂයේ රැඩිකල් බව නැති වී යාමට නියමිතය. මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ පක්ෂය නැවත දෙකඩ වීමයි.

අවසාන වශයෙන් අපගේ ගැටලුව වන්නේ පක්ෂයක් ලෙස අපෙන් ගිලිහී ගිය කතිකාවේ බලය නැවත ලබා ගන්නේ කෙසේද යන්නයි. 1904 දී ලෙනින් පරාජය වූ විට ඔහු විසින් ගොඩනැගු කතිකාව වෙනත් අය අතට මාරු වෙයි. නැවත 1917 දී ලෙනින් ජයග්‍රණය කරන්නේ තමාගෙන් ගිලිහී ගිය කතිකාවේ බලය ලබා ගැනීමෙනි. බෝලය මේ මොහොතේ අපෙන් ගිලිහී ගොස් ඇති බව අප දනිමු. එය දේශපාලන ක්‍රීඩාවේ ලක්ෂණයකි. අපි අපේ අවස්ථාව එන තුරු අවධානයෙන් සිටිමු.  ඉතිහාසයේ මෙවැනි දෙයක් සිදු කලේ ලෙනින් විසිනි.

අලුත් දෙයක් එන විට එය ඛණ්ඩනය වීම සාමන්‍ය දෙයකි. එය එක්තරා අකාරයෙන් යහපත් දෙයකි. මේ මොහොතේ අපගේ කතිකාව හසුරුවන්නේ ගිරව් මිස අපට වඩා දන්නා අය නොවේ. මේ නිසා පක්ෂයක් ලෙස මෙම ගිරව්න්ට  මුහුණ දීම අප විසින් සිදුකරන්නේ නැත. මේ මොහොතේ අප උත්සහ කරන්නේ අපගේ බීජ රට පුරා ව්‍යාප්ත කිරීමය. එය රැගෙන යන්නේ කවුරුන්ද යන්න අපට වැදගත් නොවේ. 2020 දක්වා පක්ෂයක් ලෙස අප ඉලක්ක කරන්නේ අපගේ න්‍යායික පරිනතභාවය තවදුරටත් වර්ධනය කරගැනීම සදහාය.

Anushka Ariyarathe

 

 

 

 

 

ඔබේ අදහස කියන්න...